logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


විද්‍යා ප්‍රබන්ධය
බබළන්නෝ - 5 කොටස

මම කොහොමටත් සෝනාරය නිවා දමන්නෙ නැහැ. ඒ වගේ ම එහා මෙහා නො යන වෙලාවෙට උනත් මං විනාඩියකට සැරයක්‌ විතර තිරය දිහා බලල සාමාන්‍ය තත්ත්වය කොහොම ද කියල සෝදිසි කරල බලනව. දැන් ඇති වෙල තිබ්බ තත්ත්වේ තමයි, 'පොකිරිස්‌ස්‌ තරම් ම ලොකු මොකක්‌ හරි උතුරු පැත්තෙ ඉඳල එන්න පටන්ගෙන තිබුණ එක. මම දකිද්දී ඒක අඩි පන් සීයක්‌ විතර සීමාවෙ ඉඳල හෙමින් කිට්‌ටු වෙමින් තිබුණ. මගේ විදුලි ආලෝකයන් නිවා දමපු මම, සැඩ පහරෙ සමබරව ඉන්න අව බලයෙන් දුවවමින් තිබුණ ජෙට්‌ කපා හැරල දියවැල දිගේ පාවෙන්න උනා.

ෂපිරෝට කතා කරල මෙහෙ තව කවුරු හරි ඉන්නව කියන්න ඕනකම තිබුණ උනත්, තව තොරතුරු ටිකක්‌ හොයාගන්නකං ඉවසල ඉන්න මං තීරණේ කරා. මේ තරං ගැඹුරෙ වැඩ කරන්න පුළුවන් කිමිදුම් යාත්‍රා තිබුණේ තව රටවල් තුනකට විතරයි. ඒ හැමෝත් එක්‌ක ම මට බොහොම හොඳ, සුහදශීලී සබඳතා තිබ්බා. එකපාර කලබල වෙලා අනවශ්‍ය දේශපාලන අවුලක පැටලෙන්න කොහොමත් ඕන නෑ.

සෝනාරය නැතුව ඉන්නව කියන්නෙ අන්ධ වෙලා ඉන්නව වගේ. ඒත් මම මෙතන ඉන්නව කියල හඟවන්න ඕන නැති නිසා අකැමැත්තෙන් උනත් ඒක වහල දාල මගේ ඇස්‌ දෙකට පේන දෙයින් විතරක්‌ යෑපෙන්න මට සිද්ධ උනා. මෙච්චර ගැඹුරෙ වැඩ කරන කවුරු උනත් විදුලි ආලෝකයක්‌ පාවිච්චි කරන්න ඕන. ඒක නිසා ඒගොල්ලන්ට මාව පේන්න ගොඩක්‌ කලින් මට ඒගොල්ලන්ව පේන්න ඕන. ඉතින් මං උණුසුම් වගේම නිහඬ පුංචි කුටියට වෙලා, බොහොම හොඳ අවධානයෙන් වගේ ම සුපරික්‌ෂාකාරී ව පිටත අන්ධකාරය දිහා බලාගෙන හිටියා. කොහොම නමුත් මං හිටියෙ එච්චරට ම හිතේ කරදරෙන් නෙවෙයි.

ඉස්‌සරවෙලා ම, හරියට ම කොච්චර දුරින් ද කියල කියන්න බැරි තැනකින් දුර්වල ආලෝකයක්‌ පේන්න පටන් ගත්ත. ඒක ටිකින් ටික ලොකු උනා. ඒත් මගේ මනසට වටහගන්න පුළුවන් විදිහෙ හැඩයකට හැරෙන්න තවමත් ඒකට බැරි උනා. ඒකෙ විසිරුණු දිළිසීම ටිකින් ටික දිළිසෙන තිත් දහස්‌ ගානක්‌ බවට පත් උනා. අන්තිමේ දි ඒක පෙනුණෙ තාරකා මණ්‌ඩලයක්‌ මගේ දිහාට පා වීගෙන එනව වගේ. ක්‌ෂීරපථයේ මැදට වෙන්න තියන ග්‍රහලෝකයක ඉඳන් බැලුව ම මන්දාකිණියේ තියන තාරකා වලාවන් පායන හැටි පේනව ඇත්තෙත් මේ වගේ.

නො දන්න දේවල්වලට මිනිස්‌සු බයයි කියන එක ඇත්තක්‌ නෙවෙයි. මිනිස්‌සුන්ව බය කරන්න පුළුවන් ඔවුන් දන්න සහ දැනටමත් අත්විඳලා තියන දේවල්වලට විතරයි. මගේ දිහාට එන්නෙ මොකක්‌ ද කියල හිතාගන්න මට පුළුවන්කමක්‌ තිබුණෙ නැහැ. ඒත් මුහුදෙ ඉන්න මොන ම සතකුට වත් අඟල් හයක්‌ ගණකම ඉස්‌තරම් ස්‌විස්‌ යුධ සන්නාහ තහඩුවලින් වට වෙල ඉන්න මට අතක්‌ තියන්න පුළුවන්කමක්‌ නැහැ.

තමන් ගෙ ම ආලෝකයෙන් බබළමින් හිටිය ඒක වලාකුළු දෙකකට බෙදිල වෙන් වෙද්දි තිබුණෙ මම හිටිය තැනට ගොඩක්‌ ම කිට්‌ටුවෙන්. ටිකින් ටික ඒ මොනාද කියල මගේ බුද්ධියට වැටහෙන්න පටන්ගත්ත. අන්ධකාර අගාධයේ ඉඳල මගේ දිහාට එමින් ඉන්නෙ සුන්දරත්වය සහ භීතිය කියන දෙක ම කියල මට තේරුම් ගියා.

මං ඉන්න තැනට කිට්‌ටු වෙමින් ඉන්නෙ විශාල දැල්ලො කියල දැනගත්තම මට ඉස්‌සරවෙලා ම දැනුණෙ භීතිය. ජෝ ගේ කතා ඔක්‌කොම මගේ ඔලුව ඇතුළේ දෝංකාර දෙන්න ගත්ත. ඊළඟට, සැලකිය යුතු තරමෙ බලාපොරොත්තු කඩ වීමකුත් එක්‌ක මට තේරුම් ගියේ උන් ගේ විශාලත්වය අඩි විස්‌සක්‌ විතර විතරයි කියල. උන් 'පොකිරිස්‌සට' වැඩිය ටිකක්‌ ලොකු උනාට උන් ගෙ බර ඒකෙ බරෙන් බොහොම සුළු කොටසක්‌ විතරයි. මට කිසි ම හිංසාවක්‌ කරන්න උන්ට බැහැ. ඒ ඇරත් උන් ගෙ තිබුණ විස්‌තර කරන්න බැරි තරමේ සුන්දරත්වය උන් ගෙ අනතුරුදායක බව පලවා හැරිය.

මේ කතාව විකාරයක්‌ වගේ දැනෙයි. ඒත් ඒක තමයි ඇත්ත. මගේ සංචාරවල දි මං ලෝකෙ ඉන්න සත්තුන් ගෙන් වැඩි හරියක්‌ දැකල තියනව. ඒත් දැන් මගේ ඉස්‌සරහ පා වි පා වි තියන බබළන භූත රූප වගේ දෙයක්‌ නං මං කවදා වත් දැකල නැහැ. උන් ගෙ සිරුරු දිගේ ස්‌පන්දනය වෙමින් සහ නටමින් ගමන් කරන වෛවර්ණ ආලෝකයන් නිසා උන්ව පෙනුණෙ හරියට මැණික්‌ කැටවලින් සැරසිල ඉන්නව වගේ. ඒව තත්පර දෙකකට වඩා එක විදිහට තිබුණෙ නැහැ. චංචල රසදිය චාපයන් වගේ දීප්තිමත් නිල් පාටින් දිළිසෙමින් තිබුණ පුල්ලි එකපාරට ම තාප දීප්ත නියොන් රතු පාටට මාරු උනා. ග්‍රාහිකාවන් පෙනුණෙ හරියට වතුර දිගේ ඇදීගෙන යන බබළන පබළු වැල් වගේ. එහෙමත් නැත්නම් රෑට අහසෙ ඉඳන් බැලුව ම අධිවේගී මාර්ගයක්‌ දෙපැත්තෙ තියන පහන් කණුවල ආලෝකය පේනව වගේ. උන්ගෙ අතිවිශාල ඇස්‌, මේ පසුබිම් දීප්තියට වසන් වෙලා යන්තමින් පේන්න තිබුණ. අද්භූත විදිහට මනුස්‌ස ගතියක්‌ වගේම බුද්ධිමත් බවකුත් තිබුණ ඒව දිළිසෙන මුතුවලින් හැදුණු ඔටුන්නක්‌ වගේ රටාවකින් වට වෙලා තිබුණ.

මට සමාවෙන්න. ඒත් මට විස්‌තර කරන්න පුළුවන් ඉස්‌තරම් ම විදිහ තමයි ඔය. මේ සජීවී බහුරූපේක්‌ෂයන්ට සාධාරණේ ඉෂ්ඨ කරන්න පුළුවන් චිත්‍රපට කැමරාවකට විතරයි. මං කොයි තරම් වෙලාවක්‌ උන් දිහා බලාගෙන හිටිය ද කියල නිච්චියක්‌ නැහැ. ඔවුන් ගෙ බබළන අලංකාරයට කොච්චර වශී වෙලා හිටිය ද කියනව නං ඒ වෙනකොට මගේ මෙහෙයුම ගැනත් මට අමතක වෙලයි තිබුණෙ. උන් ගෙ සියුමැලි, කෙසඟ ග්‍රාහිකාවලින් ජාලය කඩන්න බැහැයි කියල හොඳට ම පේන්න තිබුණ. ඒත් මේ සත්තු මෙතනට ආපු එක බොහොම කුතුහලය දනවනසුලුයි. කාර්පකින් ඒකට සැක සහිතයි. කියල කියයි.

මං මුහුද මතුපිටට කතා කරන්න ලෑස්‌ති වෙච්ච වෙලාවෙ අදහගන්න බැරි දෙයක්‌ දැක්‌ක. ඒක මෙච්චර වෙලාවක්‌ මගේ ඇස්‌ පනාපිට ම තිබිල තියනව. ඒත් මේ වෙනකං ම ඒ මොකක්‌ ද කියල මං තේරුම් අරං තිබිල නැහැ.

දැල්ලො දෙන්න එකිනෙකා එක්‌ක කතා කරමින් ඉන්නව.

අර දිළිසෙන, ඉක්‌මනින් ඇති වෙලා නැති වෙලා යන රටාවන් අහඹු විදිහට ඇති වෙනව, නැතිවෙනව නෙවෙයි. ඒවගෙ 'බ්රෝණීඩ් වේ'වල හරි 'පිකඩිලි'වල හරි තියන ආලෝක සංඥා පුවරුවල තරම් ම අර්ථවත් බවක්‌ තියනවයි කියල සහතික වෙන්න මට පුළුවන්. හැම තත්පර කීපයකට ම වතාවක්‌ මුළුමනින් ම තේරුම් ගන්න පුළුවන් විදිහෙ රූපයක්‌ දිස්‌ උනා. ඒත් ඒ මොකක්‌ ද කියල පහදගන්න කලින් ඒක මැකිල ගියා. නිතර දෙවේලෙ දකින බූවල්ලත් ණික ව පාට වෙනස්‌ කරල උගේ හැඟීම් ප්‍රකාශ කරනව කියල මං දැනං හිටිය. ඒත් මේක ඊට වඩා ගොඩක්‌ දියුණු දෙයක්‌. ඒක ඇත්ත ම සන්නිවේදන ක්‍රමයක්‌. මෙතන ඉන්නෙ එකිනෙකා අතර පණිවිඩ හුවමාරු කරමින් ඉන්නෙ සජීවී විදුලි ආලෝක සංඥා පුවරු දෙකක්‌.

'පොකිරිස්‌ස්‌ ගෙ නො වරදින රූපයක්‌ දැක්‌කම මගේ හිතේ තිබ්බ සැකේ අන්තිම බින්දුවත් නැති වෙලා ගියා. මම විද්‍යාඥයෙක්‌ නො වුණත් මේ වෙලාවෙ මට දැනෙන්න ඇත්තෙ ලොකු සොයාගැනීමක්‌ කරපු වෙලාවෙ නිවුටන්ට හරි අයින්ස්‌ටයින්ට හරි දැනිච්ච විදිහට මයි. මේක මාව ලෝක ප්‍රසිද්ධ කරයි.....

ඊළඟට, බොහොම අපූරු විදිහකට රූපය වෙනස්‌ උනා. 'පොකිරිස්‌ස්‌ ආයිත් පාරක්‌ ඒ රූපෙ තිබ්බා. හැබැයි ටිකක්‌ පොඩියට. ඒක ළඟින් තව ටිකක්‌ පොඩියට අමුතු විදිහෙ රූප දෙකක්‌ තිබ්බ. ඒව සමන්විත උනේ පොඩි කළු පාට තිත් දෙකක්‌ වටේට විහිදිච්ච ඉරි දහයක රටාවකින්.

මම කිව්ව නෙ ස්‌විස්‌ ජාතිකයො භාෂා තේරුම් ගන්න දක්‌ෂයි කියල. කොහොම උනත්, දැල්ලෙක්‌ තමන්ට තමන්ව පේන විදිහ නිරූපනය කරන්නෙ මෙහෙමයි කියල තේරුම් ගන්න පොඩ්ඩක්‌ ඔළුව පාවිච්චි කරන්න උනා. මට පේන්න තිබ්බේ දැන් තත්ත්වය නිරූපනය කරන දළ සටහනක්‌. ඒත් ඇයි දැල්ලො දෙන්නව රූපෙ මෙච්චර පුංචියට පෙන්නන්නේ?

ඒකට උත්තරයක්‌ කල්පනා කරගන්න පුළුවන් වෙන්න කලින් තුන්වැනි දැල්ලෙක්‌ ගේ රූපයක්‌ සජීවී තිරය මත දර්ශනය උනා. මේක අති විශාලයි. ඒකත් එක්‌ක සංසන්දනය කරද්දි අනිත් රූප පෙනුණෙ ගොඩක්‌ ම පොඩියට. සදාකාලික රාත්‍රිය පසුබිම් කරගෙන ඒ පණිවිඩය තත්පර කීපයක්‌ පේන්න තිබ්බ. ඊළඟට ඒ පණිවිඩය පෙන්නපු දැල්ලා තමන් ගෙ සගයා මට තනි රකින්න තියල පුදුමාකාර වේගෙකින් පිට වෙලා ගියා.

දැන් ඒකෙ තේරුම හොඳට ම පැහැදිලියි. "දෙයියනේෘ" මං මට ම කියාගත්ත. "මාව ඒගොල්ලන්ට ආංබාං කරගන්න බැරි වෙයි කියල ඒගොල්ලො හිතනව. ඒගොල්ලො ගියේ ඒගොල්ලන් ගෙ 'ලොකු සහෝදරය'ව එක්‌කරගෙන එන්න".

ලොකු සහෝදරයට කරන්න පුළුවන් දේවල් ගැන ජෝ වොට්‌කින්ස්‌ට එයා ගෙ පරීක්‌ෂණවලිනුයි පත්තර කෑලිවලිනුයි ලැබිල තිබුණට වැඩිය හොඳ සාක්‌කි මට ලැබිල තිබුණ.

අන්න ඒකයි කාරණාව. මම එතන තවදුරටත්

රැඳිල නො ඉන්න තීරණේ කරපු එක ගැන ඔයගොල්ලො පුදුම වෙන එකක්‌ නැහැ. ඒත්, යන්න කලින් මාත් ටිකක්‌ කතා කරල යන්න ඕනි කියල මට හිතුණ.

ගොඩ වෙලාවක්‌ අන්ධකාරයේ ම හිටිය නිසා මගේ විදුලි ආලෝකය කොච්චර ප්‍රබල ද කියල මට ම අමතක වෙලයි තිබුණෙ. ඒවගෙ එළියට මගේ ඇස්‌ රිදෙන්න ගත්ත. අවාසනාවන්ත දැල්ලට ඒකෙන් දැනෙන්න ඇත්තෙ බොහොම කටුක වේදනාවක්‌. දරාගන්න බැරි දැඩි ආලෝකයෙන් භ්‍රාන්ත උන උගේ ආලෝකය සහ අලංකාරය සම්පූර්ණයෙන් ම නැති වෙලා ගිහින්, ඇස්‌වලට කළුපාට බොත්තම් දෙකක්‌ තියන නිකං ම නිකං සුදුමැලි ජල්ලිමය පැසක්‌ වගේ ඌව පේන්න ගත්ත. ටික වෙලාවක්‌ යනකං ඌ හිටියෙ ඇතිවෙච්ච කම්පනය නිසා සිහි නැති වෙලා වගේ. ඊළඟට, මම ලොකු වෙනසක්‌ සිද්ධ වෙන්න යන ලෝකයක්‌ දිහාට ඉහළනගින අතරෙ ඌ තමන් ගෙ සගය ගිය දිහාට ම ඉක්‌මනින් පිට වෙලා යන්න ගියා.

"මට ඔයා ගෙ කඩාකප්පල්කාරයා හම්බ උනා." ඒගොල්ලො 'පොකිරිස්‌ස්‌ ගෙ දොර ඇරපු වෙලාවෙ මම කාර්පකින්ට කිව්ව. "එයා ගැන විස්‌තර හැම එකක්‌ ම දැනගන්න ඕන නං ජෝ වොට්‌කින්ස්‌ ගෙන් අහල බලන්න."

ඔහු ගෙ මූණ වෙනස්‌ වෙච්ච හැටි දැකල සතුටු වෙන ගමන්, ඒ ගැන ටිකක්‌ ඔළුව වෙහෙසන්න මං දිමිත්‍රිට ඉඩ හැරිය. ඊළඟට මං ටිකක්‌ වෙනස්‌කම් කරපු මගේ වාර්තාව දුන්න. කෙළින් ම එහෙම කියන්නෙ නැතුව, මට හමු උන දැල්ලො වෙලා තිබ්බ හානිය සිදු කරන්න තරම් ශක්‌තිමත් කියල මං මගේ වාර්තාවෙන් හැඟෙන්න ඇරිය. මං දැක්‌ක සංවාදය ගැන මොනාවත් ම කියන්න ගියේ නැහැ. ඒකෙන් වෙන්නෙ විශ්වාස කරන්න බැරි දෙයක්‌ බවට ඒක පත් වෙන එක. ඒ ඇරත්, මේ ගැන හිතල බලන්න සහ පුළුවන් නං තවමත් පැහැදිලි නැති දේවල්වලට උත්තර හොයාගන්න මට ටිකක්‌ කල් ඕන උනා.

රුසියානුවො දන්න තරමට වඩා වෙන මොනාවත් නො දන්නව උනත් ජෝ මේකට ලොකු උදව්වක්‌ උනා. කොච්චර විස්‌මයජනක විදිහට සකස්‌ උන ස්‌නායු පද්ධතියක්‌ දැල්ලොන්ට තියනව ද කියල ඔහු මට කිව්ව. උන් ගෙන් සමහරක්‌ තමන් ගෙ ඇඟ පුරා ම තියන අපූරු 'වර්ණධර' පාවිච්චි කරල තත්කාලීන තුන් පැහැ මුද්‍රණයෙන් තමන් ගේ පෙනුම ණික ව වෙනස්‌ කරගන්න හැටි ඔහු විස්‌තර කරා. නොඅනුමාන ව ම මේ හැකියාව ඇති වෙන්න ඇත්තෙ වේෂාන්තරණයට උදව් වෙන්න. ඒත් ඒක සන්නිවේදන මාධ්‍යයක්‌ විදිහට දියුණු වීම ස්‌වාභාවිකයි වගේ ම අනිවාර්යයෙන් ම සිදු විය යුතු දෙයක්‌.

ඒත් ජෝ ට තේරුම්ගන්න බැරි එක දෙයක්‌ තියනව.

"උන් ජාලය ගාව කර කර හිටියෙ මොකක්‌ ද?" ඔහු මගෙන් දිගින් දිගට ම අහනව. "උන් ශීත රුධිරය තියන අපෘෂ්ඨවංශිකයො. හරිනං උන් ආලෝකයට වගේ ම උණුසුමටත් අකැමැති වෙන්න ඕන."

ඒ ඇයි කියල ජෝට තේරුම් ගන්න බැහැ. ඒත් මට ඒ ඇයි කියල තේරෙනව. මේ අභිරහස විසඳන්න උදව් වෙන වැදගත් ම තොරතුරත් ඒකයි.

ඒ දැල්ලො 'ටි්‍රන්කො ඩීප්'වලට ඇවිල්ල තියෙන්නෙ මිනිස්‌සු දක්‌ෂිණ ධැවයට හරි හඳට හරි යන හේතුව නිසා මයි කියල මට විශ්වාසයි. පිරිසිදු විද්‍යත්මක කුතුහලය නිසා, කුරුබිලියේ පැත්තකින් පැනනගින මේ උණු දිය ගීසරය අධ්‍යයනය කරන්න තමන් ගෙ ශීත නිවහනෙන් එළියට උන් ඇදිල එන්න ඇති. මේ තියෙන්නෙ අමුතු සහ පැහැදිලි කල නොහැකි සංසිද්ධියක්‌. සමහර විට මේක උන් ජීවත් වෙන පිළිවෙළට තර්ජනයක්‌ වෙන දෙයක්‌ වෙන්න පුළුවන්. ඉතින් ඔවුන් තමන් ගෙ යෝධ ඥාති සහෝදරයට (සේවකයා? වහලා:) කියල අධ්‍යයනය කරන්න ඒකෙන් කොටසක්‌ ගෙන්න ගන්නව. ඒ මොකක්‌ ද කියල ඒගොල්ලො තේරුම්ගනී කියල මං හිතන්නෙ නෑ. දැනට සියවසකට කලින් හිටිය විද්‍යාඥයෙකුට වත් ඒක කරන්න පුළුවන් වෙන්නෙ නැහැ. ඒත් ඒගොල්ලො උත්සාහ කරනව. ඒකයි වැදගත්.

හෙට අපි අපේ බාධක උපායන් යොදන්න පටන් ගන්නවා. දැල්ලොන්ව ඈත් කරල තියන්න සමත් වෙයි කියල ෂපිරෝ හිතන විශාල විදුලි ආලෝක සවි කරන්න මම ආයිත් 'ටි්‍රන්කො ඩීප්' වෙත යනවා. ඒත් බුද්ධිය ගැඹුරු මුහුදේ ඇති වෙමින් තියනව නං ඒ උපක්‍රමය කොච්චර කාලයක්‌ වැඩ කරයි ද?

මම මේක පටිගත කරන්නෙ ත්‍රිකුණාමලය බළකොටුවෙ පුරාණ ආරක්‌ෂක පවුර පාමුල වාඩි වෙලා, ඉන්දියානු සාගරයට ඉහළින් හඳ පායන හැටි බලාගෙන ඉන්න ගමන්. හැම දේ ම හොඳින් සිද්ධ උනොත්, මේක ජෝ මට ලියන්න කියල වද කරමින් ඉන්න පොතට ආරම්භයක්‌ සපයල දෙයි. එහෙම නො වුණොත් - එහෙනං, හෙලෝ ජෝ, මං දැන් කතා කරන්නෙ ඔයාට. කරුණාකරල මේක ප්‍රකාශනය කරන්න ඔයාට හොඳයි කියල හිතෙන විදිහට සංස්‌කරණය කරන්න. ඒ වගේ ම තොරතුරු හැම එකක්‌ ම නො දීම ගැන මම ඔබෙන් සහ ලෙව් ගෙන් සමාව ඉල්ලනව. ඒ ඇයි කියල දැන් ඔයගොල්ලන්ට තේරෙනව ඇති.

මොන දේ සිද්ධ උනත්, කරුණාකරල මේක මතක තියාගන්න. ඒ අය ලස්‌සන, චමත්කාරජනක සත්ත්වයො. ඔයාලට පුළුවන්නම් ඒ අයත් එක්‌ක සමාදානෙන් ඉන්න.

*** *** *** ***

වෙත: බලශක්‌ති අමාත්‍යංශය, මොස්‌කව්

විසින්: ලෙව් ෂපිරෝ, ප්‍රධාන ඉංජිනේරු, ත්‍රිකුණාමලය තාප විදුලි ව්‍යාපෘතිය.

හර් ක්‌ලවුස්‌ මුලර් ගේ අවසාන කිමිදුමෙන් පසු ඔහු ගේ බඩුබාහිරාදිය අතර තිබී සොයාගත් පටිගත කිරීමේ සම්පූර්ණ අත් පිටපත මේ සමග ඇත. වැදගත් කරුණු කිහිපයක්‌ නිරාකරණය කරගැනීම සඳහා සහාය ලබා දීම පිළිබඳව ටයිම්ස්‌ පුවත්පතේ ජෝ වොට්‌කින්ස්‌ මහතාට අපි බොහෝ කෘතඥපූර්වක වෙමු.

හර් මුලර් ගේ අවසාන තේරුම්ගත හැකි පණිවිඩය යොමු කෙරුණේ වොට්‌කින්ස්‌ මහතාට බවත් එය පහත පරිදි බවත් ඔබලාට මතක ඇතැයි සිතමි.

"ජෝ! මෙල්විල් ගැන ඔයා කියපු කතාව හරි! මේ සතා අති විශාලයි"

නිමි.

(ආතර් සී. ක්‌ලාක්‌ විසින්, 1962 දී රචිත "The Shining Ones" කතාවේ අසංක්‌ෂිප්ත සිංහල පරිවර්තනයකි)

පරිවර්තනය

කෝසල තෙන්නකෝන්