logo3.gif (702 bytes)

HOME


විද්‍යා ප්‍රබන්ධය
බබළන්නෝ - 4 කොටස

පැය විසි හතරකට පස්‌සෙ මම "පොකිරිස්‌ස" ඇතුළට වෙලා හානි වුණ ජාලය දිහාවට හෙමින් පහත බහිමින් හිටිය. මෙහෙයුම රහසක්‌ විදිහට තියාගන්න කිසි ම විදිහක්‌ තිබුණෙ නැති නිසා ජෝ ළඟපාත යාත්‍රාවක හිටිය උනන්දුසහගත නරඹන්නෙක්‌ වෙලා හිටිය. ඒක රුසියානුවන් ගෙ ප්‍රශ්නයක්‌ මිස මගේ ප්‍රශ්නයක්‌ නෙවෙයි. ජෝ විශ්වාස කටයුතු කෙනෙක්‌ විදිහට පිළිගන්න කියල මං ෂපිරෝට කියල බැලුවා. ඒත් කාර්පකින් ගෙ ස්‌ලැවික්‌ මානසිතක්‌වය ඒ අදහස නිෂේධ කරල දැම්ම. ත්‍රිකුණාමලය කියන්නෙ දැන් වැදගත් ප්‍රවෘත්තිමය වටිනාකමක්‌ තියන තැනක්‌ කියන පැහැදිලි ව ම පේන පිළිතුර නො සලකා හැරල, ඇමෙරිකන් වාර්තාකාරයෙක්‌ මේ වෙලාවේ මෙහාට කඩාපාත් වෙන්නෙ ඇයි කියල ඔහු කල්පනා කරන හැටි කෙනෙක්‌ට පේන තරම්.

හරියට කරනව නම්, ගැඹුරු මුහුදෙ කරන ක්‍රියාකාරකම්වල කිසි ප්‍රබෝධවත් ගතියක්‌ වත් ආවේගශීලී ගතියක්‌ වත් ඇත්තෙ නැහැ. ආවේගශීලීත්වය කියන්නෙ දූරදර්ශීභාවයක්‌ නැතිකම, ඒ කියන්නෙ අදක්‌ෂභාවය. මගේ වෘත්තියෙ අදක්‌ෂ අයට වැඩි ආයුෂ නැහැ. ආවේගශීලී අයට වෙන්නෙත් ඒ ටික මයි. මං මගේ රැකියාවෙ යෙදුණෙ කාන්දු වෙන කරාමයක්‌ එක්‌ක ඔට්‌ටු වෙන ජල නළ කාර්මිකයෙක්‌ට තියෙන විදිහේ සංයමයකින්.

කොයි වෙලාවක හරි ඒව ගලවල අලුත් කොටස්‌ හයි කරන්න වෙන නිසා ජාලය නිර්මාණය කරල තිබ්බෙ නඩත්තු කරන්න පහසු වෙන ආකාරයටයි. වාසනාවකට වගේ පොටවල්වලට හානි වෙලා තිබුණෙ නැහැ. විදුලි ඉස්‌කුරුප්පු නියනෙන් ඇල්ලුව ම සම්බන්ධක මුරිච්චි පහසුවෙන් ගැලවිල ආව. ඊළඟට මම බරපතළ වැඩට පාවිච්චි කරන අඬුවට පාලනය මාරු කරල ජාලයේ හානි උන කොටස කිසි ම අපහසුවකින් තොර ව ඔසවල ගත්ත.

දිය යට කරන ක්‍රියාකාරකමක්‌ දඩිබිඩියෙ කරන්න නරකයි. ඔබ එකපාර ගොඩක්‌ දේවල් කරන්න හැදුවොතින් ඔබ අතින් වැරැද්දක්‌ වෙන්න තියන ඉඩකඩ වැඩියි. අනිත් අතට වැඩ ටික හොඳින් සිද්ධ වෙලා, සතියක්‌ වැය වෙනව කියල ඔබ කියපු වැඩේ දවසකින් ඉවර කරොත්, ඔහු ගෙවන මුදලට හරියන සේවාවක්‌ සැපයුවෙ නැහැ කියල සේවාලාභියාට හිතෙන්න පුළුවන්. එදා හවස ම ජාලයෙ අලුත් කොටස සවි කරන්න පුළුවන්කම තිබුණ උනත් මම හානි උන ඒකකය මතුපිටට ගෙනල්ල එදා දවසෙ වැඩ කටයුතු අහවර කළා.

තාප මූලාවයවය පරීක්‌ෂා කිරීම සඳහා කඩිමුඩියෙ ම අරගෙන ගියාට පස්‌සෙ, මම හවස්‌ වරුවෙ ඉතිරි හරිය ජෝ ගෙන් හැංගි හැංගි ගත කරා. ත්‍රිකුණාමලය කියන්නෙ පොඩි නගරයක්‌ උනත්, ප්‍රදේශයේ සිනමා ශාලාවට ගොඩ වෙච්ච මට ඔහු ගෙන් වසන් වෙලා ඉන්න පුළුවන් උනා. එතන පැය කීපයක්‌ තිස්‌සෙ වාඩි වෙලා, වරද්දාගත් අනන්‍යාව, බේබදුකම, අත්හැර යැම, මරණය සහ සිහි විකල් වීම කියන එක ම ගෘහස්‌ථ අර්බුද ටිකට පිට පිට පරම්පරා තුනක්‌ තිස්‌සෙ මුහුණ දෙන පවුලක්‌ ගැන කියවෙන කෙළවරක්‌ නැති දෙමළ චිත්‍රපටයක්‌ බලන්න මට අවස්‌ථාව ලැබුණ. නිකං ම නෙවෙයි, වෛවර්ණ ව වගේ ම උපරිම සද්දෙට.

පොඩි හිසේ කැක්‌කුමක්‌ තිබුණ උනත්, පහුව දා හිමිදිරිය පහු උන ගමන් ම වගේ මම හිටියෙ වැඩ බිමේ. (ජෝත් එතනට ඇවිත් හිටිය. ඒ විතරක්‌ නෙවෙයි, නිස්‌කලංක දවසක මාළු බාන්න ඕන හැම දේ ම සූදානම් කරගෙන ම සර්ගෙයිත් ඇවිත් හිටිය). 'පොකිරිස්‌ස්‌ට ගොඩවිච්ච මම, යාත්‍රවේ දොඹකරයෙන් ඒක මුහුදට පහත් කරන අතරවාරයේ දී ප්‍රීතියෙන් ඔවුන්ට අත වැනුවා. ජෝට නො පෙනෙන්න, යාත්‍රාවේ අනෙක්‌ පැත්තෙන්, අලුතින් සවි කරන්න යන ජාලය මුහුදට පහත් කරා. බඹ කීපයක්‌ යට දී මම ඒක දොඹකරයෙන් ඉවත් කරගෙන 'ටි්‍රන්කො ඩීප්'හි පතුලට අරගෙන ගියා.

පස්‌වරුවෙ මැදක්‌ වෙන කොට කිසි කරදරයක්‌ නැතුව ඒක සවි කරල අවසන් කළා. මම ආපහු මතුපිටට එන්න කලින්, අගුලු මුරිච්චි හොඳින් තද කරල සන්නායක තිත් පෑස්‌සුම් කළා වගේ ම, ගොඩබිම හිටිය ඉංජිනේරුවෝ ඒ අය ගෙ අඛණ්‌ඩතා පරීක්‌ෂණත් සම්පූර්ණ කරා. මම නැව් තට්‌ටුවට පය ගහන වෙලාව වෙද්දී පද්ධතිය නැවත ක්‍රියා කරන්න පටන්ගෙන තිබ්බ. හැම දේ ම සාමාන්‍ය අතට හැරිල තිබ්බ වගේ ම, (තවමත් කාට වත් උත්තරයක්‌ හොයාගන්න බැරි උන ප්‍රශ්නය ගැන කල්පනා නො කර ඉන්න වෙලාවේ දී ඇරෙන්න) කාර්පකින් පවා හිනා වෙමින් හිටිය.

වඩා හොඳ පැහැදිලි කිරීමක්‌ ඕන වෙලා තිබුණත්, තවමත් මගේ අදහස උනේ ලොකු ගලක්‌ වැටීම නිසා මේ දේ වෙන්න ඇතියි කියල. ඒක රුසියානුවොත් පිළිගනියි කියල මං බලාපොරොත්තු උනා. එතකොට ජෝත් එක්‌ක කරගෙන යන මේ හැංගිමුත්තං සෙල්ලම අපිට නවත්තල දාන්න පුළුවන් වෙයි.

ෂපිරෝයි කාර්පකිනුයි දෙන්න ම මූණවල් දික්‌ කරගෙන මාව මුණගැහෙන්න ආවම, ඒ වැඩේ හරියන්නෙ නෑ කියල මං තේරුම්ගත්ත.

"ක්‌ලවුස්‌,...." ලෙව් කිව්ව. "...ඔයා ආයිත් පහළට යන්න ඕනි."

"ඔයගොල්ලන් ගෙ සල්ලි තමයි ඉතිං..." මම උත්තර දුන්න. "ඒත් මම මොනා ද කරන්න ඕන?"

"හානි වෙච්ච ජාලය අපි පරීක්‌ෂා කරල බැලුව. තාප මූලාවයවයෙ කොටසක්‌ අඩුයි. "කවුරු හරි. ඕනකමින් ම ඒක කඩල අරගෙන යන්න ඇති කියල දිමිත්‍රි හිතනව."

"එහෙනං ඒගොල්ලො ඒක කරල තියෙන්නෙ අන්තිම මෝඩ විදිහට" මම උත්තර දුන්න. "ඒ මං ගාව වැඩ කරන කෙනෙක්‌ නං නෙවෙයි කියල ඔයගොල්ලන්ට සහතික වෙන්න මට පුළුවං."

කාර්පකින් ඉන්න තැන ඒ වගෙ විහිළු කරන එක අවදානම්. කවුරු වත් පොඩ්ඩක්‌වත් හිනා උනේ නැහැ. අඩු ම තරමෙ මං වත්. ඔහුට මොකක්‌ හරි පොටක්‌ පෑදිල ඇති කියල මට මේ වෙද්දී හිතෙන්න පටන් අරගෙනයි තිබ්බෙ.

'ටි්‍රන්කො ඩීප්' වෙතට මගේ අවසන් කිමිදුම පටන් ගනිද්දී ඉර බහිමින් තිබුණ. ඒත් දවසෙ අවසානයට මේ ගැඹුරෙ කිසි ම තේරුමක්‌ ඇත්තෙ නැහැ. මුහුදෙ ඉන්න බබළන සත්තු අන්ධකාරයේ නිවෙන දැල්වෙන දිහා වගේ ම සමහර වෙලාවල දී නිරීක්‌ෂණ කවුළුවට පිටතින් අහස්‌ කූරු වගේ පුපුරා හැළෙන හැටිත් බලාගෙන ඉන්න මම කැමැති නිසා ආලෝකය රහිත ව ම මම අඩි දෙ දාහක්‌ පහළට ගමන් කළා. මේ විවෘත ජලයේ දී මොකක වත් ගැටීමේ අනතුරක්‌ තිබ්බෙ නැහැ. ඒ කොහොම උනත් මම පුළුල් පරාස සෝනා උපකරණය ක්‍රියාත්මක කරල තිබ්බ. මගේ ඇස්‌වලින් කරනවට වඩා හොඳට ඒකෙන් අනතුරු හඳුනගන්න පුළුවන්කම තිබ්බ.

බඹ හාර සීයෙ දී, මොකක්‌ හරි වැරැද්දක්‌ වෙලා තියනව කියල මට දැනුණ. සිරස්‌ හඬකුරුවට පතුළ පෙනෙන්න පටන්ගෙන තිබ්බ උනත්, ඒක ළං වෙමින් තිබ්බෙ බොහොම හෙමින්. මගේ පහළ බැසීමේ වේගය ගොඩක්‌ ම අඩු වෙලා. තවත් ඉපිලුම් ටැංකියකට වතුර පිරෙන්න ඇරල ඒක ලේසියෙන් ම වැඩි කරන්න මට පුළුවන්කම තිබුණ උනත්, මම එහෙම කරන්න අදිමදි කරා. මගේ වෘත්තියෙ දි, අසාමාන්‍ය හැම දේට ම පැහැදිලි කිරීමක්‌ අවශ්‍යයි. එහෙම එකක්‌ ලැබෙන කං පමා වීම නිසා තුන් පාරක්‌ මම පණ බේරගෙන තියනව.

උෂ්ණත්වමානයෙන් මට උත්තරය ලැබුණ. පිටත උෂ්ණත්වය තියෙන්න ඕන ප්‍රමාණයට වඩා අංශක පහක්‌ වැඩියි. ඒත් ඒ ඇයි කියල තේරුම්ගන්න මට තත්පර කීපයක්‌ ගියා.

මං ඉන්න තැනට අඩි දෙ තුන් සීයක්‌ පහළින් තියන අලුත්වැඩියා කරපු ජාලය දැන් ඒකෙ උපරිම බලයෙන් ක්‍රියාත්මක වෙනව. 'ටි්‍රන්කො ඩීප්' සහ උඩ ගොඩබිමේ තියන සූර්ය පොකුණ අතර උෂ්ණත්ව වෙනස සමබර කරන්න ගන්න උත්සාහයෙ දි ඒක මෙගාවොට්‌ ගානක්‌ තාපය පිට කරනව. ඒකට කොහොම වත් සමබරතාවකට එන්න බැහැ. ඒත් ඒක එහෙම කරන්න ගන්න උත්සාහයෙ දි විදුලිය නිපදවෙනවා. ඒ ක්‍රියාවලියේ අමතර අතුරුඵලයක්‌ වෙච්ච උණු දිය ගීසරය මාව ඉහළට තල්ලු කරමින් ඉන්නවා.

මම ජාලය කිට්‌ටුවට ආවට පස්‌සේ, ඉහළ නගින ජල ප්‍රවාහයේ 'පොකිරිස්‌සා' එක විදිහකට තියාගන්න එක ගොඩක්‌ ම අපහසු උනා. තාපය කැබින් කුටිය තුළට කාන්දු වෙමින් තිබුණ නිසා මට දාඩිය දාන්න පටන්ගෙන තිබ්බා. මුහුදු පතුළේ දී රස්‌නේ නිසා දාඩිය දානව කියන්නෙ අලුත් ම අත්දැකීමක්‌. ඉහළ නගින ජලය නිසා අවට මිරිඟුවක්‌ වගේ පෙනෙන එකත් ඒ වගේ ම අලුත් අත්දැකීමක්‌. ඒක මගේ විදුලි ආලෝකය මං සෝදිසි කරමින් හිටිය පාෂාණ බිත්තිය මත නටන්න සැලැස්‌සුව.

බඹ පන් සීයක්‌ ගැඹුරු අන්ධකාරයේ ආලෝකයෙන් දිළිසි දිළිසි, ඒ වෙද්දි වහලයක තියන තරමේ තියුණු බෑවුමක්‌ තිබ්බ කුරුබිලියේ මුහුණත දිගේ හෙමින් පහළට ගමන් කරන මාව හිතින් මවා ගන්න කො. නැති උන මූලාවයව කොටස තවමත් තියනව නං ඒක මේ කිට්‌ටුවපාත ම තියෙන්න ඕන. එක්‌කො ඒක මට විනාඩි දහයක්‌ ඇතුළත හම්බ වෙන්න ඕන, එහෙම නැත්නම් ඒක හම්බ වෙන්නෙ ම නැහැ.

පැයක සෝදිසියකින් පස්‌සෙ කැඩ්ච්ච විදුලි බුබුළු කීපයක්‌ (ඒව කොච්චරක්‌ නැව්වලින් මුහුදට වීසි කරනව ද කියන එක පුදුම එළවන සුලුයි. ලෝකෙ මුහුදු පතුලවල් ඒවගෙන් වැහිලයි තියෙන්නෙ), හිස්‌ බියර් බෝතලයක්‌ (ඒ ගැන කියන්න වෙන්නෙත් ඒ කතාව මයි), සහ අලුත් ම අලුත් බූට්‌ සපත්තුවක්‌ හොයාගන්න මට පුළුවන් උනා. ඒ තමයි මම හොයාගත්ත අන්තිම දේ. මොකද, මම තවදුරටත් ඉන්නෙ තනියම නෙවෙයි කියල ඊළඟට මම හොයාගත්ත නිසා.

(ලබන සතියේ අවසන් කොටස)
පරිවර්තනය
කෝසල තෙන්නකෝන්