logo3.gif (702 bytes)

HOME


දේශගුණ විපර්යාස හමුවේ අපේ වගකීම්

1970 වර්ෂයේ සිට මිහිතලය සුරැකීම සඳහා විවිධ පාරිසරික තේමාවන් ඔස්‌සේ ගෝලීය ප්‍රජාව විසින් සැම වර්ෂයක ම අප්‍රේල් මස 22 වැනි දින ලෝක මිහිතල දිනය සමරනු ලබයි. මෙවර එහි තේමාව "පාරිසරික හා දේශගුණික සාක්‌ෂරතාව" වේ.

රටක උන්නතියෙහි පදනම ඉහළ සාක්‌ෂරතාවයි. දේශගුණික විපර්යාස හා ඉන් මිහිතලයට එල්ල වන පෙර නො වූ විරූ පාරිසරික තර්ජන පිළිබඳව ගෝලීය ප්‍රජාව ගේ දැනුවත්භාවය වඩාත් හොඳින් ඉහළ නැංවීම, ඒවා අවම කරගැනීමට මහෝපකාරී වේ. පරිසරය ආරක්‌ෂා කිරීම පිළිබඳ අවධානය හා ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ධෛර්යවත් කිරීම සඳහා සියලු ලෝකවාසී ප්‍රජාව දැනුමින් සවිබල ගැන්වීම කාලීන අවශ්‍යතාවකි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම නිසා සිදු වන දේශගුණ විපර්යාස මිනිසා ගේ පැවැත්මට ඇති ප්‍රධාන අභියෝගය ලෙස මේ වන විට හඳුනාගෙන තිබේ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයට එකතු වන හරිතාගාර වායුවල ප්‍රතිඵලයක්‌ වේ.

දේශගුණ විපර්යාස යනු මිනිසා ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයේ ඇති වායු සංයුතියෙහි වෙනස්‌ වීම නිසා දේශගුණයේ ඇති වන නොයෙකුත් වෙනස්‌ වීම් ලෙස සරලව හඳුන්වා දිය හැකි ය. දේශගුණ ක්‍රියාවලිය සංකීර්ණ, එකිනෙක සමග අන්තර් ක්‍රියා කරන, එකිනෙක සමග සම්බන්ධතාවක්‌ ඇති, වායුගෝලය, ගොඩබිම, අයිස්‌ හා හිම, සාගර හා අනෙකුත් ජල පද්ධතිවලින් සමන්විත වූවක්‌ වන අතර එම දේශගුණ පද්ධති සදහා අවශ්‍ය ශක්‌තිය සූර්ය විකිරණ මගින් ලබා දේ. ෆොසිල ඉන්ධන දහනය වැඩි වශයෙන් සිදු වීම දේශගුණ විපර්යාසවල ප්‍රධාන හේතුව වී ඇත. එම නිසා නිශ්චිත ව ම වර්තමාන සහ අනාගත පරපුරට දේශගුණ විපර්යාසවලට මුහුණ දෙමින් ජීවත් වීමට සිදු වන බව දේශගුණ විපර්යාස පිළිබද අන්තර් රාජ්‍යය මණ්‌ඩලය (Inter Governmental Panel on Climate Change - IPCC) තහවුරු කර ඇත. නිවර්තන කලාපයට අයත් සංවර්ධනය වෙමින් පවතින රටක්‌ වන ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාසවලට හේතු වන ක්‍රියාකාරකම් සදහා ඉතා ම අඩුවෙන් දායක වුවත්, දේශගුණ විපර්යාස නිසා ඇති වන අහිතකර බලපෑම්වලට මුහුණ දීමට සිදු ව ඇති රටකි.

ලෝකයේ කාර්මීකරණය ආරම්භ වූයේ 18 වැනි සියවසෙහි එංගලන්තයෙහි සිදු වූ කාර්මික විප්ලවයත් සමග ය. කාර්මික විප්ලවයෙහි ප්‍රධාන ලක්‌ෂණය වූයේ එය මූලිකව ම බලශක්‌තිය මත රදා පැවතීම සහ ඒ සදහා මූලික ප්‍රභවය ලෙස ෆොසිල ඉන්ධන භාවිත කිරීම ය. ගල් අගුරු වැනි ෆොසිල ඉන්ධන දහනය නිසා පිට වන කාබන්ඩයොක්‌සයිඩ් (CO2) වායුව දේශගුණය කෙරෙහි විශාල බලපෑමක්‌ සිදු කර ඇත. කලකට ඉහත දී සියලු ම දේශගුණික විපර්යාස ස්‌වාභාවිකව සිදු වුවත් කාර්මික විප්ලවයෙන් පසුව කෘෂිකර්මාන්තය සහ කර්මාන්තශාලා වැනි දේ නිසා පාරිසරික සහ දේශගුණික වෙනස්‌ වීම් ආරම්භ වී ඇත.

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට දේශගුණ විපර්යාසවලට අනුවර්තනය (අනුහුරු) වීමට ඇති හැකියාව අඩු නිසා දැඩි අවදානමකට ලක්‌ වී තිබේ. අධික වර්ෂාපතනයකින් පසු ඇති වන ණික ජල ගැලීම්, නාය යැම් සහ දිගුකාලීන නියං තත්ත්වයන් ශ්‍රී ලංකාවේ සුලබ ව දක්‌නට ඇත. ඉක්‌මනින් වෙනස්‌ වන කාලගුණයක්‌ ඇති ශ්‍රී ලංකාව තුළ ආර්ථික හා සමාජීය ක්‍රියාකාරකම් වෙනස්‌ කිරීමට මේ දේශගුණ විපර්යාසවල බලපෑම හේතු වී ඇත. එම නිසා මේ අහිතකර දේශගුණ විපර්යාස වලට මුහුණ දීමට හැකි වන පරිදි රට තුළ දේශගුණ විපර්යාස සදහා අනුවර්තනය වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්යයෙන් සිදු කළ යුතු ව ඇත.

ප්‍රධාන ලෙස ම CO2 මුදා හරින ප්‍රභවයන්

බලශක්‌ති උත්පාදනය( බලශක්‌තිය, විදුලිය හා තාපය උත්පාදනය සදහා ගල් අගුරු සහ ඛනිජ තෙල් වැනි ෆොසිල ඉන්ධන භාවිතය හේතුවෙන් වායුගෝලයට CO2 මුදා හැරේ.

කර්මාන්තශාලා( කර්මාන්තශාලාවලට අවශ්‍ය බලශක්‌තිය උත්පාදනය සදහා ෆොසිල ඉන්ධන දහනය මගින් ද, ශක්‌තිය ජනනය නො වන රසායනික, ලෝහමය හා ඛනිජමය ක්‍රියාවලි මගින් ද හරිතාගාර වායු විමෝචනය සිදු වේ.

භුමි පරිභෝජනය සහ වනාන්තර විනාශය( මෙහි දී ප්‍රධාන ලෙස ම CO2 පිට වීම සිදු වේ. වන විනාශය සහ වන හායනය සහ වගා කිරීම සදහා භුමි සැකසීම වැනි ක්‍රියාවලිවල දී CO2 පිට වේ.

කෘෂිකර්මාන්තය: කෘෂිකර්මාන්තය සදහා යොදාගන්නා ඉඩම්වල පස සැකසීමේ දී පශු සම්පත් කළමනාකරණයේ දී සහ ප්‍රධාන වශයෙන් වී වගාව ආශ්‍රිත ව හරිතාගාර වායු විමෝචනය වන බව සොයාගෙන ඇත.

ප්‍රවාහනය හා ගමනාගමනය: මේ ෙත්‍රයෙහි ප්‍රධාන ලෙස ම හරිතාගාර වායු මුදාහැරෙන්නේ ෆොසිල ඉන්ධන දහනය මගිනි. මෙය මහා මාර්ග, ගුවන් සහ නැව් මාර්ග යන ප්‍රවාහන අංශ 03 මගින් ම සිදු වේ. ලෝකයේ ප්‍රවාහනයට අවශ්‍ය ශක්‌තිය වැඩි වශයෙන් ම ලබාගන්නේ පෙට්‍රොaලියම් ඉන්ධන මූලාශ්‍ර ලෙස යොදාගෙන ය. උද: ගැසොලින් හා ඩීසල්

නිවාස හා ව්‍යාපාරික ගොඩනැගිලි: ශීත කාලගුණ තත්ත්ව යටතේ ඇති නිවාස සහ ව්‍යාපරික ස්‌ථාන උණුසුම් කරගැනීමට හා උණුසුම් කාලගුණ තත්ත්වවල දී ගොඩනැගිලි ඇතුළත සිසිල් කිරීම සදහා අවශ්‍ය ශක්‌තිය ලබාගැනීමට ද නිවෙස්‌වල ඉවුම් පිහුම් කටයුතුවල දී සිදු කරන ඉන්ධන දහනය මගින් ද විවිධ කටයුතුවල දී සිදු කරන ඉන්ධන දහනය මගින් ද විවිධ විදුලි උපකරණ භාවිතයේ දී ද හරිතාගාර වායු විමෝචනය සිදු වේ.

අපද්‍රව්‍ය හා අප ජලය: වගුරු බිම්වලින් පිට වන මීතේන් (CH4) හා අපජලයෙන් පිට වන නයිට්‍රස්‌ ඔක්‌සයිඩ් (N2O) වායු හරිතාගාර ආචරණයට ප්‍රධාන ලෙස ම දායක වේ. තව ද කසළ ගොඩගැසීම හා දහනය මගින් මීතේන් හා කාබන්ඩයොක්‌සයිඩ් වායු පිට වේ.

දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑම්හි බරපතළකම හඳුනාගත් අන්තර්ජාතික ප්‍රජාව විසින් ගෝලීය උණුසුම් වීමේ ගැටලුව නිරාකරණය කිරීම සඳහා එක්‌සත් ජාතීන් ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය, 1992 දී බ්‍රසීලයේ පැවැති රියෝ මිහිතල සමුළුවේ දී ස්‌ථාපිත කරන ලදී. මේ සම්මුතියේ අරමුණ වූයේ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට මුදාහරින හරිතාගාර වායු සාන්ද්‍රණය හානිකර නො වන අන්දමින් පවත්වාගැනීම ය. ශ්‍රී ලංකාව 1993 දී මේ සම්මුතියෙහි පාර්ශ්වකරුවකු වූ අතර වර්තමානයේ එහි පාර්ශ්වකරුවන් 196ක්‌ වේ. තව ද එක්‌සත් ජාතීන් ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියෙහි සංවර්ධිත රටවල් සදහා හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට නීත්‍යනුකූල පදනමක්‌ සහිත කියෝතෝ සන්ධානය 1997 දී ඇති කරගත් අතර 2002 දී ශ්‍රී ලංකාව එහි පාර්ශ්වකරුවෙක්‌ විය. ඊට අමතර ව සම්මුතියෙහි සියලු ම පාර්ශ්වකරුවන්a හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම මගින් පූර්ව කාර්මීකරණ මට්‌ටමට සාපේක්‌ෂව ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය වැඩි වීම සෙන්ටිග්‍රේඩ් අංශක 2කට වඩා අඩුවෙන් පවත්වාගෙන යැම සහ සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 නො ඉක්‌මවීම සදහා වන සැම උත්සාහයක්‌ ම දැරීමේ එකගතාව මත 2015 දී පැරිස්‌ නුවර පැවැති මේ සම්මුතියෙහි පාර්ශ්වකරුවන් ගේ 21 වැනි සමුළුවේ දී ගෝලීය ප්‍රජාව විසින් පැරිස්‌ ගිවිසුම සම්මත කරගන්නා ලදී. ශ්‍රී ලංකාව ද ඊට 2016 අප්‍රේල් 22 අත්සන් තැබූ අතර 2016 සැත්තැම්බර් 21 අපරානුමැතිය ලබා දෙන ලදී.

දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑම්

ලොව පුරා ඇති ග්ලැසියර දිය වී යැම. උත්තර ධ්‍රැවයේ, ඇන්ටාක්‌ටිකාවේ, ගී්‍රන්ලන්තයේ සහ ආක්‌ටික්‌හි ඇති අයිස්‌ දිය වී යැම නිසා මුහුදු ජල මට්‌ටම ඉහළ යැමෙන් ශ්‍රී ලංකාව ද ඇතුළුව කුඩා දූපත් ජලයෙන් යට වීමේ ප්‍රවණතාව ඉහළ යැම.

අධික උෂ්ණත්වයක්‌ ඇති දිනයන් ඇති වීම සහ අධික තීව්‍ර වැසි ඇති වීම හේතුවෙන් ණික ගං වතුර, නාය යැම් ආදි ආපදා තත්ත්වයන් නිතර ඇති වීම හේතුවෙන් සිදු වන ජීවිත හා දේපළ හානි මෙන්ම ස්‌වාභාවික පරිසර පද්ධතීන්ට ද හානි සිදු වේ.

දේශගුණ රටාවන් වෙනස්‌ වීම හා ආන්තික කාලගුණ තත්ත්ව වැඩි වශයෙන් ඇති වීම තුළ මිනිසා ගේ එදිනෙදා කටයුතුවලට බලපෑම් එල්ල වීම හා කාලයක්‌ තිස්‌සේ ඒ ඒ ප්‍රදේශවල වගා කරමින් පැවතුණු බෝග වර්ග තවදුරටත් වගා කළ නොහැකි වීම.

මෝසම් රටාව වෙනස්‌ වීම මඟින් නිසි කලට වැසි නො ලැබී යැම සහ දීර්ඝකාලීන නියං තත්ත්වයන් හේතුවෙන් ආහාර සුරක්‌ෂිතතාවට සහ මානව සෞඛ්‍යයට අනිසි බලපෑම් එල්ල වීම.

දේශගුණ විපර්යාස හේතුවෙන් උෂ්ණත්වය ඉහළ යැම නිසාත් වර්ෂාපතන රටාවේ වෙනස්‌කම් නිසාත් ඩෙංගු, මැලේරියා වැනි රෝග පැතිර යැමේ ප්‍රවණතාව ඉහළ යැම.

හරිකේන්, සුළි සුළං සහ අනෙකුත් කුණාටුවල ප්‍රබලතාව වැඩි වීම.

පරිසර පද්ධති වෙනස්‌ වීම, සමහර ශාක හා සත්ත්ව විශේෂ සංක්‍රමණය වීම, සමහර විශේෂ දේශගුණික විපර්යාසවලට හොඳින් අනුවර්තනය වීම හෝ සමහර විශේෂ එසේ නො වීම නිසා නෂ්ඨ වී යැම.

එක්‌සත් ජාතීන් ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියෙහි සහ කියෝතෝ සන්ධානයෙහි ජාතික කේන්ද්‍රීය මධ්‍යස්‌ථානය (National Focal Point) ලෙස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයෙහි දේශගුණ විපර්යාස ලේකම් කාර්යාලය ක්‍රියා කරයි. ඒ අනුව දේශගුණ විපර්යාස අවම කිරීම හා එහි අහිතකර බලපෑම්වලට අනුහුරු වීම සදහා පහත සදහන් ක්‍රියාකාරකම් සිදු කරන ලදී.

දේශගුණ විපර්යාස හේතුවෙන් ඇති වන අවදානම ඇගයීම 2009 සහ 2010 කාලය තුළ සිදු කළ අතර එහි දී ප්‍රධාන අවදානම් ෙත්‍ර ලෙස හදුනාගත් කෘෂිකර්මය හා ධීවර, ජලය, සෞඛ්‍ය, ජෛව විවිධත්ව සහ පරිසර පද්ධති, නගර සංවර්ධනය, මානව ජනාවාස හා යටිතල පහසුකම් යන ෙත්‍ර 05 සදහා අවදානම් පැතිකඩ 5ක්‌ සකස්‌ කරන ලදී. එහි ප්‍රතිඵලයක්‌ ලෙස 2010 දී දේශගුණ විපර්යාස සදහා අනුවර්තනය වීමේ ජාතික ක්‍රමෝපාය සකස්‌ කෙරිණි.

2012 දී ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාස පිළිබද ජාතික ප්‍රතිපත්තිය සකස්‌ කොට ක්‍රියාවට නැංවීම.

2012 දී දේශගුණ විපර්යාස පිළිබද ජාතික සම්බන්ධීකරණ කමිටුව, දේශගුණ විපර්යාස සදහා අනුවර්තනය වීම පිළිබද ජාතික විශේෂඥ කමිටුව සහ දේශගුණ විපර්යාස අවම කිරීම පිළිබද ජාතික විශේෂඥ කමිටුව ස්‌ථාපනය කොට පවත්වාගෙන යැම.

2013 දී ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාසවලට අනුහුරු වීම හා හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සදහා තාක්‌ෂණ අවශ්‍යතා ඇගයීම සිදු කිරීම හා ක්‍රියාවට නැංවීම.

2014 දී හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට බලශක්‌ති අංශය සදහා ජාතිකව යෝග්‍ය හරිතාගාර වායු විමෝචනය අවම කිරීමේ ක්‍රියාකාරකම් සකස්‌ කිරීම සහ ක්‍රියාත්මක කිරීම. (NAMA-National Appropriate Mitigation Action)

2015 දී දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑම් සදහා අනුහුරු වීමේ ජාතික සැලැස්‌ම සකස්‌ කොට ක්‍රියාවට නැංවීම.

2016 දී පැරිස්‌ ගිවිසුමේ බැඳීම් ක්‍රියාත්මක කිරීමට ක්‌ෂේත්‍ර 14ක්‌ සඳහා තුන් අවුරුදු පෙර සූදානම් සැලැස්‌ම සකස්‌ කිරීම හා ක්‍රියාවට නැංවීම.



1. ඉහළ බලශක්‌ති කාර්යක්‌ෂමතාවෙන් යුතු උපකරණ භාවිත කිරීම සහ බලශක්‌තිය කාර්යක්‌ෂමතාවෙන් යුතු ව පරිහරණය කිරීම.

2. අඩු බලශක්‌තියක්‌ වැය වන විදුලි බුබුළු භාවිත කිරීම සහ අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම.

3. හැකි සැම විට ම පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීම.

4. පරිසර හිතකාමී දෙමුහුන් වාහන සහ විද්යුත් වාහන භාවිත කිරීම.

5. පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍යයක්‌ වන පාපැදිය භාවිතයට හුරු වීම.

6. සිසිල් පරිසරයක දී වාහනයේ වායුසමන ක්‍රියා විරහිත කර ස්‌වාභාවික පරිසරයෙහි සිසිල විදගැනීම.

7. මෝටර් රථයේ එන්ජිම නිකරුණේ පණ ගැන්වීමෙන් වැළකීම.

8. හැකි සැම විට ම විදුලි ආලෝකය වෙනුවට ස්‌වාභාවික ආලෝකය භාවිත කිරීම.

9. දේශීය නිෂ්පාදන සදහා හුරු වීම.

10. දේශගුණ විපර්යාස පිළිබද තමන් සතු අවබෝධය අන් අයට ලබා දීම.

11. නිවසේ අපතේ යන කාබනික අපද්‍රව්‍යවලින් කොම්පෝස්‌ට්‌ නිපදවා ගෙවත්ත තුළ ම භෝග වගා කිරීම.

12. පුනර්ජනනීය බලශක්‌ති භාවිතය සදහා යොමු වීම.

13. පරිසර සහතික ලත් හරිත ද්‍රව්‍ය මිල දී ගැනීම.

14. හැකි උපරිමයෙන් ගස්‌ සිටුවීම සහ සිටුවන ලද ගස්‌ සුරක්‌ෂිත ව රැක බලාගැනීමට කැප වීම.

15. ජලය සුරක්‌ෂිතව භාවිතය හා රැකගැනීම.

16. අනවශ්‍ය අවස්‌ථාවල දී රූපවාහිනි යන්ත්‍ර ආදී විදුලි උපකරණ ක්‍රියා විරහිත කිරීම.

17. ඇදුම් මැදීම එක වර සිදු කර විදුලිය පිරිමැසීම.

18. ගොඩනැගිලි සැලසුම් කිරීමේ දී හරිත ගොඩනැගිලි සංකල්පය අනුව යමින් ස්‌වාභාවික පාරිසරික සම්පත් (ආලෝකය, වාතාශ්‍රය වැනි) උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම.

ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාස පිළිබද වැඩිමනක්‌ තොරතුරු දැනගැනීම පිණිස www.climatechange.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

දේශගුණ විපර්යාස ලේකම් කාර්යාලය
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය