logo3.gif (702 bytes)

HOME


විද්‍යා ප්‍රබන්ධය
බබළන්නෝ - 3 කොටස

ත්‍රිකුණාමලය ප්‍රදීපාගාරය දිහාට පරෙස්‌සමින් යාත්‍රාව යොමු කරපු අපි හරියට ම ජාලයට උඩින් ස්‌ථානගත උනා. කුඩා කිමිදුම් යාත්‍රාවක්‌ වගේ පේන ස්‌වයං ප්‍රචාලක කැමරාව බෝට්‌ටුවේ එක්‌ පැත්තකින් මුහුදට දැමුණා. මොනිටර දිහා ඇස්‌ දල්වගෙන බලා හිටපු අපි මනසින් ඒකත් සමග ම මුහුදු පතුල දිහාවට යන්න උනා.

ජලය පුදුමාකාර විදිහට පැහැදිලියි වගේ ම පුදුමාකාර විදිහට පාළුයි. ඒ උනත් ජීවීන් ඇති බව පෙන්වන සලකුණු කිහිපයක්‌ මුහුදු පතුලට කිට්‌ටු වෙද්දි අපිට දැකගන්න පුළුවන් උනා. කුඩා මෝරෙක්‌ ඇවිත් අපිට එරෙව්වා. ඊළගට ස්‌පන්දනය වෙන ලපයක්‌ වගේ ජල්ලියෙක්‌ පා වෙලා ගියා. ඌව ලුහුබැඳගෙන ගියේ එකිනෙක සමග පැටලුණ සහ ලෝමවලින් ගැවසුණ අඬු සිය ගණනක්‌ තියන ලොකු මකුළුවෙක්‌ වගේ සතෙක්‌. අන්තිමේ දි බෑවුම් සහිත කුරුබිලි බිත්තිය දර්ශන පථයට ආවා. අපි හරියට ම ඉලක්‌කයට ඇවිත් හිටියා. මුහුද අභ්‍යන්තරයට ගමන් කරන මහත කේබල්, මම මාස හයකට ඉස්‌සරවෙලා අවසාන පරීක්‌ෂා කිරීම කරද්දි දකින්න තිබුණ විදිහට ම තිබුණා.

අව බල ජෙට්‌ ක්‍රියාත්මක කරපු මම කැමරාවට විදුලි කේබල් දිගේ පහළට පා වෙලා යන්න ඉඩ හැරියා. පාෂාණමය බිත්තියට කාවද්දපු කූඤ්ඤවලින් සවිමත් ව සම්බන්ධ වෙලා තිබ්බ ඒව හොඳ තත්වයෙන් තියෙන බව පේන්න තිබ්බා. ආපදාවක්‌ වෙලා තියන බව කියවෙන සලකුණක්‌ හරි දකින්න ලැබුණෙ ජාලය ළගට ආවමයි.

ලයිට්‌ කණුවක හැප්පුණ කාර් එකක රේඩියේටරේ දැකල තියනව ද? ජාලයේ එක කොටසක්‌ පෙනුණෙ ආන්න ඒ වගේ. මොකක්‌ හරි නිසා ඒක පොඩිපට්‌ටම් වෙලා තිබ්බ. හරියට පිස්‌සෙක්‌ කුළුගෙඩියකින් ඒකට තඩිබාල වගේ.

මගේ කරට උඩින් බලාගෙන හිටපු අය පුදුමයෙන් වගේ ම තරහින් මුමුණන්න පටන් ගත්ත. ඒ අස්‌සෙ කවුරු හරි 'සැබොටාෂ්' කියල කියනව ඇහිච්ච මම පළවෙනි වතාවට එහෙම දෙයක්‌ ගැන වද වෙන්න පටන් ගත්ත. මේකට තිබ්බ අනෙත් එක ම පැහැදිලි කිරීම තමයි ලොකු ගලක්‌ වැටීම නිසා මෙහෙම උනා කියන එක. ඒත් එහෙම වැටෙන්න පුළුවන් ගල් තියනව ද කියල බලන්න ඒ වෙන කොටත් කුරුබිලියේ බෑවුම් ප්‍රදේශයක්‌ බොහොම පරිස්‌සමින් පරීක්‌ෂා කරලයි තිබ්බේ.

හේතුව මොක උනත් හානියට පත් උන ජාලයේ කොටස්‌ මාරු කරන්න සිද්ධ වෙනව. මගේ ටොන් විස්‌සෙ 'පොකිරිස්‌සා' ඒක වැඩට ගන්නෙ නැති වෙලාවට තියල තියන ස්‌පෙට්‌සියාවෙ තටාකාංගනයේ ඉඳල මෙහාට ගුවන් මගින් ගේනකං ඒ වැඩේ කරන්න විදිහක්‌ නැහැ.

"ඉතින්, ඒකට කොච්චර කාලයක්‌ යයි ද?" මම මගේ දෘෂ්‍ය පිරික්‌සුම අවසාන කරල තිරය මත තිබ්බ කණගාටුදායක දර්ශනය ඡායාරූපගත කරාට පස්‌සේ ෂපිරෝ ඇහුව.

මම එක පාරට ම උත්තරයක්‌ දෙන්න කැමති උනේ නැහැ. මුහුද යට කරන වැඩවල දි මං ඉගෙනගත්ත මුල් ම දේ තමයි, මොන ම වැඩක්‌ වත් තමන් හිතාගෙන ඉන්න විදිහට කරන්න බැහැ කියන එක. තමන් ගනුදෙනු කරන්නේ මොන වගේ දෙයක්‌ එක්‌ක ද කියල තමන්ට හරියටම තේරුම් යන්නේ වැඩේ බාගයක්‌ විතර කරගෙන යද්දි. ඉතින් යන වියදම සහ කාලය ගැන හරියට ම ඇස්‌තමේන්තු කරල කියන්න බැහැ.

මගේ පුද්ගලික අදහස උනේ මේකට දවස්‌ තුනක්‌ යයි කියල. ඒ නිසා "හැම දේ ම හොඳින් සිද්ද උනොත් සතියකට වඩා යන එකක්‌ නෑ" කියල මම කිව්ව.

"ඊට වැඩිය ඉක්‌මනට කරන්න බැරි ද?" ෂපිරෝ කෙඳිරි ගෑව.

"මම දුර දිග බලන්නේ නැතුව තදියමේ වැඩ කරල අමාරුවේ වැටෙන්න යන්නෙ නෑ. කොහොම උනත් ඒකෙන් ඔයාට ඉතිරි වැඩ ටික ඉවර කරන්න සති දෙකක්‌ ලැබෙනව."

ආයෙත් වරායට එනකන් ම කංකෙඳිරි ගෑව උනත්, ඒ උත්තරෙන් සෑහීමට පත් වෙන්න ඔහුට සිද්ධ උනා. අපි වරායට ළගා උනාට පස්‌සෙ ඔහුට කල්පනා කරන්න වෙන දෙයක්‌ හම්බ උනා.

"සුබ උදෑසනක්‌ ජෝ ..." ජැටියට වෙලා අපි එනකං ඉවසිල්ලෙන් මග බලාගෙන හිටිය පුද්ගලයට මම කිව්ව. "... අපි පිටත් වෙලා යද්දි දැක්‌කෙ ඔයා වෙන්න ඕනි කියල මං හිතුව. මොකද මෙහෙ කරන්නෙ?"

"මමත් ඔයා ගෙන් අහන්න හිටියේ ඒ ප්‍රශ්නෙමයි."

"ඔයා මගේ ලොක්‌කත් එක්‌ක කතා කරන එක වැඩිය හොඳයි. ප්‍රධාන ඉංජිනේරු ෂපිරෝ, මේ තමයි ජෝ වොට්‌කින්ස්‌, ටයිම්ස්‌ පත්තරේ විද්‍යා වාර්තාකරු."

ලෙව් ගේ ප්‍රතිචාරය එච්චරට ම සුහදශීලී උනේ නැහැ. සාමාන්‍යයෙන් සතියකට එක්‌කෙනා ගානේ විතර එන පත්තර වාර්තාකාරයොත් එක්‌ක කතා කරනවට වඩා ඔහු කැමති දෙයක්‌ තවත් ඇත්තෙ නැහැ. දැන් විවෘත කරන දවස කිට්‌ටු නිසා හැම දිහාකින් ම වාර්තාකාරයෝ එන්න පටන්ගනියි. රුසියාවෙන් පවා. ඒත් ඇති වෙලා තියන තත්වය අනුව 'ටාස්‌' එකට උනත් ටයිම්ස්‌ පත්තරේට තරම් ම මෙහෙ දොරවල් වැහිලයි තියෙන්නෙ.

කාර්පකින් තත්වය පාලනය කරපු හැටි ඇත්තෙන් ම විනෝදජනකයි. ඔහු ඒ මොහොතේ ඉඳන් මාර්ගෝපදේශනයට, දාර්ශනික මතවාද සාකච්ඡාවට වගේ ම අඩියක්‌ ගහන්න සහයෝගයටත් එක්‌ක සර්ගෙයි මාර්කොව් කියල ප්‍රසන්න, තරුණ මහජන සම්බන්ධතා නිලධාරියෙක්‌ ජෝට ඈඳල තිබ්බ. කොච්චර උත්සාහ කරත් ජෝට ඔහුව හලල දාන්න බැරි උනා. ෂපිරෝ ගෙ කාර්යාලයේ තිබුණ දිග සාකච්ඡාවකට පස්‌සෙ විඩාපත් වෙලා හිටිය මම, පස්‌වරුවේ මැද දි, කල් පහුවෙච්ච දවල් කෑමකට රජයේ තානායමේ දි ඔවුන්ව මුණගැහුණා.

"මෙහෙ මොනා ද වෙන්නෙ ක්‌ලවුස්‌?..." සානුකම්පිත විදිහට ජෝ ඇහුව. "...මොකක්‌ හරි අවුලක්‌ තියනව කියල මට දැනෙනව. ඒත් කවුරුත් මොනාවත් පිළිගන්නෙ නෑ නෙ."

මම කරියක්‌ එක්‌ක ඔට්‌ටු වෙමිනුයි හිටියේ. කෑමට ගන්න පරෙස්‌සම් කොටස්‌වලින්, කෑවම කන්වලින් දුං විසික්‌ වෙන කොටස්‌ ටික වෙන් කරගන්න උත්සාහ කරන ගමන් මං උත්තර දුන්න.

"සේවාලාභියෙක්‌ එක්‌ක තියන ගනුදෙනු මං ඔයත් එක්‌ක කතා කරයි කියල බලාපොරොත්තු වෙන්න ඔයාට බැහැ."

"ජිබ්‍රොaල්ටා වේල්ලෙට ඕන කරන සමීක්‌ෂණ කරද්දි ඔයා ඇති තරම් කතා කරා." ජෝ මට මතක්‌ කරල දුන්න.

"ඔව්..." මං පිළිගත්ත. "...ඒ වගේ ම ඔයා ඒ ගැන ලියපු ලිපියට මං ස්‌තූතිවන්ත වෙනව. ඒත් මේ පාර ව්‍යාපාරික රහස්‌ වගයක්‌ තියනව. මේ - මේ - මං පද්ධතියේ කාර්යක්‌ෂමතාව වැඩි කරන්න අන්තිම මොහොතෙ කරන සීරු මාරු කිරීම් වගයක්‌ කරනව."

ඒක බොරුවක්‌ නෙවෙයි. මං ඇත්තට ම උත්සාහ කරමින් හිටියේ දැනට බිංදුවේ තියන පද්ධතියේ කාර්යක්‌ෂමතාවය ඊට වඩා වැඩි කරන්න.

"හ්ම්... බොහොම ස්‌තූතියි." ජෝ ඇනුම්පදයක්‌ කිව්ව.

"ඒක නෙවෙයි, ඔයා ගෙ අර පිස්‌සු සිද්ධාන්තවලින් අලුත් ම එක මොකක්‌ ද?" කතාව වෙන අතකට හරෝගන්න හිතාගෙන මම ඇහැව්ව.

අති දක්‌ෂ විද්‍යා ලේඛකයෙක්‌ උනත් ජෝට අරුම පුදුම සහ ඇදහිය නොහැකි දේවල් ගැන හොයන්න අමුතු ආසාවක්‌ තියනව. සමහර විට ඒක එදිනෙදා වැඩවලින් පොඩි විවේකයක්‌ ගන්න ඔහු කරන දෙයක්‌ වෙන්න ඇති. මං දන්න විදිහට ඔහු විද්‍යා ප්‍රබන්ධත් ලියනවා. හැබැයි ඒක ඔහු ඔහු ගෙ සේවායෝජකයන් ගෙන් බොහොම පරිස්‌සමට හංගගෙන ඉන්න රහසක්‌. අවතාර ගැන, අතීන්ද්‍රිය සංජානනය ගැන වගේ ම පියාඹන පීරිසි ගැනත් අත්හැරගන්න බැරි කැමැත්තක්‌ ඔහුට තියනව. ඒත් ඔහු ගෙ නියම විශේෂඥතාව තියෙන්නෙ අතුරුදහන් උන මහාද්වීප ගැන.

"මං අදහස්‌ දෙක තුනක්‌ ගැන හොයා බල බලයි ඉන්නෙ .." ඔහු පිළිගත්තා. "...ඒ ඔක්‌කොම මතු උනේ මම මේ කතාව ගැන විස්‌තර හොයද්දි."

"කියාගෙන යන්නකො" මම කරමින් හිටිය කරිය අධ්‍යයනය කිරීමේ මෙහෙයුමෙන් ඔළුව උස්‌සන්න මහන්සි නො ගෙන ම කිව්ව.

"ටික දවසකට කලින් මට ගොඩක්‌ පරණ ලංකා සිතියමක්‌ හම්බ උනා. ඒක ටොලමි ඇඳපු එකක්‌. ඒක දැක්‌කම මට මගේ එකතුවේ තිබ්බ තවත් සිතියමක්‌ ගැන කල්පනා උනා. මම ඒ සිතියමත් අරගෙන බැලුව. සිතියම් දෙකේ ම තිබ්බෙ එක ම මධ්‍යම කඳුකරේ, එක ම විදිහෙ ගංගා. ඒත් මේ අනිත් සිතියම ඇට්‌ලන්ටිස්‌වල එකක්‌."

"හපොයිෘ.." මම කිව්ව. "...අන්තිම වතාවට අපි මුණගැහිච්ච වෙලාවෙ ඔයා සහතික කරල ම කිව්ව නේ ද ඇට්‌ලන්ටිස්‌ තිබ්බේ බටහිර මධ්‍යධරණි ෙද්‍රdaණියෙ කියල."

ජෝ ඔහු ගෙ සිත්ගන්නාසුලු හිනාව දැම්ම.

"මට වරදින්න පුළුවං, නැද්ද? ඒ කොහොම උනත් මං ගාව ඊටත් වඩා සිත් ඇදගන්නාසුලු සාක්‌කියක්‌ තියනව. ලංකාවට පැරණි කාලෙ ඉඳන් ම කියන නම ගැන ඔයාට මොකද හිතෙන්නෙ."

මම ටික වෙලාවක්‌ කල්පනා කරා. "දෙයියනේ., 'ලං'-කා, ඇට්‌-'ලං'-ටිස්‌." මම නම් දෙක එහාට මෙහාට පෙරළල ඒ දෙකේ තියෙන සමානතාව දිහා බැළුව.

"හරියට ම හරි,..." ජෝ කිව්ව. "...ඒත්, කොච්චර සිත් ඇදගන්නාසුලු උනත් හෝඩුවාවල් දෙකකින් අංග සම්පූර්ණ සිද්ධාන්තයක්‌ ගොඩනගන්න බෑ. ඉතින්, දැනට මං ගාව ඔයිට වැඩිය දෙයක්‌ ඇත්තෙ නැහැ."

"අපරාදෙ,..." ඇත්තට ම බලාපොරොත්තු කඩවෙච්ච මං කිව්ව "...එතකොට ඔයා ගෙ අනෙක්‌ ව්‍යාපෘතිය?"

"මේකට නං ඇත්තට ම ඔයා කැමති වෙයි." ජෝ ආඩම්බරකාර හඬකින් කිව්ව.

හැම තැන ම අරගෙන යන ඔහු ගෙ පරණ බීෆ්කේසයට අතපොවපු ඔහු ඒකෙන් පත්තර මිටියක්‌ එළියට ඇදල ගත්ත.

"මෙහාට හැතැක්‌ම එක සිය අසූවක්‌ විතර එහායින් මේක සිද්ද වෙලා තියෙන්නෙ දැනට අවුරුදු සීයකට විතර උඩ දි. පේනව නෙ, මට තොරතුරු ලැබුණ මූලාශ්‍රය දැනට තියන ඒව ගෙන් හොඳ ම එකක්‌."

ඔහු මගෙ අතට ඡායා පිටපතක්‌ දුන්න. ඒක 1874 ජූලි හතර වැනි දා ලන්ඩන් ටයිම්ස්‌ පත්තරේ පිටුවක්‌. ජෝ හැම තිස්‌සෙ ම වගේ පුරාණ පත්තරවල කෑලි දික්‌ කරන නිසා මං ඒක කියවන්න ගත්තෙ එච්චර උනන්දුවකින් නෙවෙයි. කොහොම උනත් මගේ උදාසීන ගතිය එච්චර වෙලාවක්‌ තිබ්බෙ නෑ.

මම සම්පූර්ණ විස්‌තරේ ම කියන්න උනත් කැමතියි. ඒත් ඔබට වැඩිදුර විස්‌තර උවමනා නම් තත්පර දහයක්‌ ඇතුළත පුරාණ දේශීය පුස්‌තකාලයකින් අවශ්‍ය කරන පිටපත් ලබා දෙයි. කෙටියෙන් කියනව නම්, ඒකෙ විස්‌තර කරල තිබ්බෙ 1874 මැයි මාසෙ මුල ලංකාවෙන් පිටත් උන 'පර්ල්' කියන ටොන් එක සිය පනහෙ කුඹ දෙකේ රුවල් නැව බෙංගාල බොක්‌කෙ දි අනතුරට පත් උනේ කොහොම ද කියලයි.

මැයි දහ වෙනිද අඳුර වැටෙන්න ටික වෙලාවකට කලින් නැවට හැතැක්‌ම බාගයක්‌ විතර දුරින් අති විශාල දැල්ලෙක්‌ මුහුදෙන් මතු වෙල තියනව. නැවේ කපිතාන් තැන මෝඩය වගේ තමන් ගෙ රයිෆලයෙන් ඌට වෙඩි තියල.

කෙලින්ම 'පර්ල්' දිහාවට පීනගෙන ආපු දැල්ලා උගේ අඬු කුඹගස්‌වල පටලෝල නැව පැත්තට පෙරළල තියනව. තත්පර ගානක්‌ ඇතුළත නැව ගිලිල ගිහින් තියෙන්නෙ නාවිකයො දෙන්නෙකුටත් මරු කැඳවමින්. වාසනාවකට වගේ මේ සිද්ධිය දැක්‌ක, ඒ කිට්‌ටුවෙන් ගිය 'ස්‌ට්‌රැත්හෝවන්' කියන පෙනින්සියුලර් සහ ඔරියන්ටල් දුම් නැව් සමාගමට අයත් දුම් නැවෙන් අනිත් අයව බේරගෙන තියනව.

"ඉතිං, මොකද හිතෙන්නෙ?"

මම ඒක දෙවෙනි පාරටත් කියෙව්වට පස්‌සෙ ජෝ ඇහැව්ව.

"මුහුදු රාක්‌ෂයො ගැන මං විශ්වාස කරන්නෙ නෑ."

"ලන්ඩන් ටයිම්ස්‌ කියන්නෙ ප්‍රවෘත්ති මවල පළ කරන පත්තරයක්‌ නෙවෙයි...." ජෝ උත්තර දුන්න. "...ඒ වගේ ම යෝධ දැල්ලො ඉන්නව. අපි දැනට දන්න ලොකු ම දැල්ලොන්ට අඩි හතළිහක්‌ විතර දිග අඬු තිබ්බ උනත් උන් ටොන් එකක්‌ වත් බර නැති සියුමැලි වගේ ම දුර්වල සත්තු."

"ඉතින්, ඒ වගේ සතෙක්‌ට ටොන් එක සිය පනහෙ නැවක්‌ පෙරළන්න බෑ නෙ?"

"ඇත්ත, ඒත් අපි දැං ඔය යෝධ දැල්ල කියල කියන්නෙ නිකං ම නිකං ලොකු දැල්ලෙක්‌ට කියල කියන්න සාක්‌ෂි තියනව. ඇත්තෙන් ම අති විශාල දශ පාදිකයො සමහර විට මුහුදෙ ඉන්න පුළුවං. දැං බලන්න, මේ 'පර්ල්' සිද්ධියෙන් අවුරුද්දකට විතර පස්‌සෙ, යෝධ තල්මහෙක්‌ ඌව වෙලාගෙන හිටිය සහ අන්තිමේ දි ඌව මුහුදු පතුලට ඇදගෙන ගිය අති විශාල දරණෙකින් බේරෙන්න දගලනව බ්‍රසීලයට කිට්‌ටු මුහුදෙ දි දකින්න ලැබිල තියනව. 1875 නොවැම්බර් විසි වෙනිද චිත්‍ර සහිත ලන්ඩන් නිව්ස්‌ පත්තරේ ඒ සිද්ධිය වාර්තා කරල තියනව. ඊළගට 'මොබි-ඩික්‌' පොතේ අර පරිච්ඡේදය තියනව..."

"මොන පරිච්ඡේදය ද?"

"ඇයි අර 'දැල්ලා' කියන පරිච්ඡේදය. මෙල්විල් කියන්නෙ හොඳ නිරීක්‌ෂකයෙක්‌ කියල අපි දන්නව. ඒත් මෙතන දි ඔහු අපිට විකාරයක්‌ වගේ හැඟෙන දෙයක්‌ කියනව. ඔහු, - ('මේ දැන් කන්දකින් කඩාහැළුණු ලොකු හිම කුට්‌ටියක්‌ වගේ') - සුදු පාට අති විශාල යමක්‌ මුහුදෙන් මතු වුණ සන්සුන් දවසක්‌ ගැන විස්‌තර කරනව. මේක සිද්ධ උනෙත් ඉන්දියන් සාගරේ මයි. සමහර විට 'පර්ල්' සිද්ධිය උන තැනට හැතැක්‌ම දාහක්‌ විතර දකුණින් වෙන්න ඕන. හොඳට මතක තියා ගන්න, කාලගුණ තත්වය එහෙමත් කලින් සිද්ධිය උන වෙලාවෙ දි වගේමයි.

"මට මේ ඡේදේ කට පාඩං. මං ඒක එච්චරට ම හොඳ සැලකිල්ලෙන් කියවල තියනව."

"අති විශාල, ලොඳ වැනි යමක්‌ ජලයේ පා වන අයුරු 'පීකොඩ්'හි නැවියෝ දුට හ. දිගින් සහ පළලින් පර්ලෝම ගණනාවක්‌ වූ එය දිළිසෙන ක්‍රීම් පැහැයකින් යුතු විය. ඇනකොන්ඩාවන් සමූහයක්‌ සිහි ගන්වන ආකාරයේ ඇඹරෙන සහ දගර ගැසෙන අඬු ගිණිය නොහැකි තරම් ප්‍රමාණයක්‌ එහි මධ්‍යයේ සිට පිටතට විහිදී තිබිණි."

"පොඩ්ඩක්‌ ඉන්න, ..." මේ හැම දේ ම හොඳ අවධානයෙන් අහගෙන හිටිය සර්ගෙයි කිව්ව. "...පර්ලෝමයක්‌ කියන්නෙ මොකට ද?"

ඒ ප්‍රශ්නය නිසා ටිකක්‌ විතර අපහසුවට පත් උන ගතියක්‌ ජෝ ගෙන් පේන්න තිබ්බ.

"හරියට ම කිව්වොතින්, ඒක හැතැක්‌මකින් අටෙන් පංගුවක්‌, අඩි හය සිය හැටක්‌..."

අපේ අවිශ්වාසය පළ කරන හිනාව නවත්තගන්න කියල ඔහු එක අතක්‌ උස්‌සල සන් කරා.

"...මෙල්විල් ඒක ඒ විදිහට ම අදහස්‌ කරන්න නැතුව ඇති කියල මට විශ්වාසයි. ඒත් මෙන්න, යෝධ තල්මස්‌සු හැම දා ම දකින මනුස්‌සයෙක්‌ ඊට වඩා ගොඩක්‌ ලොකු දෙයක්‌ ගැන පැහැදිලි කරන්න වෙනත් දිග මනින ඒකකයක්‌ හොයනව. ඉතින් ඔහු ඉබේ ම බඹවලින් පර්ලෝමවලට මාරු වෙනව. කොහොම උනත්, ඒක තමයි මගේ සිද්ධාන්තය."

ඉතුරු වෙලා තිබ්බ කරියෙ අතගහන්න බැරි හරිය මම පැත්තකට කරා.

"මගේ රස්‌සාව එපා වෙන තරමට මාව බය කරා කියල ඔයා හිතනව නං, ඔයාට හොඳට ම වැරදිල..." මම කිව්ව. "...ඒත් මං ඔයාට මේක පොරොන්දු වෙන්නං. මට යෝධ දැල්ලෙක්‌ මුණගැහුණ ම, සිහිවටනයක්‌ හැටියට මං උගෙ ග්‍රාහිකාවක්‌ කපාගෙන එනව."

(මතු සම්බන්ධයි)

(ආතර් සී. ක්‌ලාක්‌ විසින්, 1962 දී රචිත ''The Shining Ones'' කතාවේ අසංක්‌ෂිප්ත සිංහල පරිවර්තනයකි)

පරිවර්තනය

කෝසල තෙන්නකෝන්