logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


හිරු එළියෙන් රට ගොඩනැගීම කෙසේ සිදු විය යුතු ද?

ලෝකයේ දියුණුව කරා පියනැගූ රටවල් දෙස බැලීමේ දී එම දියුණුවෙහි ප්‍රධානතම සාධකයක්‌ ලෙස විදුලිබලය හැඳින්විය හැකි ය. ජපානය ආදී රටවල් කිහිපයක න්‍යෂ්ටික බලාගාර අනතුරු සිදු වුව ද ඔවුන් න්‍යෂ්ටික බලාගාර අත් නො හරින්නේ සිය පැවැත්ම බලශක්‌තිය මත රදා පවතින බව ඔවුන් දන්නා නිසාවෙනි. අප රටෙහි දියුණුවට එරෙහි ව බලපා ඇති එක්‌ ප්‍රධානතම බාධකයක්‌ වන්නේ බලශක්‌ති අර්බුදයයි. එමෙන් ම නිපදවෙන විදුලිබලයෙන් ඉතා විශාල ප්‍රතිශතයක්‌ වැය වන්නේ එදිනෙදා පරිභෝජන කටයුතු සදහා වන අතර කර්මාන්ත ආදිය සදහා යෙදෙන විදුලිබලය ඉතා අඩු ප්‍රතිශතයකි.

ලෝකයේ බොහෝ රටවල් හා සැසඳීමේ දී අප රටෙහි විදුලි ඒකකයක මිල අධික අගයකි. එබැවින් ආයෝජකයෝ ආයෝජනයට මැළිකමක්‌ දක්‌වති. ශ්‍රී ලංකාවේ දෛනික විදුලිබල පරිභෝජනය 2000 MW පමණ වේ. වසරේ වැඩි කාලයක දී එයින් වැඩි ප්‍රතිශතයක්‌ නිපදවනුයේ තාප බලාගාර මගිනි. ගල් අගුරු, තෙල් යන කුමන ආකාරයෙන් ක්‍රියා කළ ද ඉදිරි වසර කීපය තුළ දී මිල ඉහළ යැම, තෙල් නිධි අවසන් වීම යන කරුණු නිසා එම බලාගාර මත පැවැත්ම රටට විශාල අවදානමකි.

ශ්‍රී ලංකාව කුඩා රටක්‌ වුව ද ජනගහනය ඉතා ඉහළ නිසා බලාගාර ආකෘතියෙන් බලශක්‌ති අර්බුදයට එක්‌ හොද විසදුමක්‌ විය හැක්‌කේ න්‍යෂ්ටික බලාගාරයයි. එහෙත් න්‍යෂ්ටික බලාගාරයක්‌ අත් කරගැනීමට අප රටෙහි ජනතාව ගේ සහ පාලකයන් ගේ අවබෝධය, ආකල්ප, කැප වීම හා ශක්‌තිය තවමත් ප්‍රමාණවත් තැනක නැත. එම නිසා වෙනත් විකල්ප කෙරෙහි යොමු වීම ඉතා වැදගත් වේ.

වසරකට පෘථිවියට ලැබෙන සූර්ය ශක්‌තිය 173000 TW පමණ වේ. එය මානව අවශ්‍යතාව මෙන් 10000 ගුණයකි. එම නිසා පරිසර සාධක ආදී සියලු කරුණු සැලකිල්ලට ගත් විට මුළු ලෝකය ම යොමු විය යුතු ප්‍රධානතම බලශක්‌ති ප්‍රභවය විය යුත්තේ සූර්ය ශක්‌තියයි. එම නිසා මේ ලිපියෙහි අරමුණ වනුයේ අප රටෙහි විදුලිබල අර්බුදයට හා ඉදිරි සංවර්ධනයට සූර්ය පැනල යොදාගත යුතු ආකාරය විමසීමයි.

පසුගිය වසර පහක පමණ කාලය තුළ සූර්ය කෝෂ නිපදවීම සදහා වන වියදම 50% පමණ අඩු වී ඇත. එය ඉදිරි වසර දෙක තුළ තවත් 40% පමණ අඩු වනු ඇති බවට පුරෝකථනය කර ඇත. එම නිසා අප වැනි මැදි ආදායම් ලබන රටකට සූර්ය ශක්‌තිය සදහා යොමු වීමට මෙය අනගි කාලයකි.

දැනටමත් ලොව ප්‍රබල රටවල් වන ජර්මනිය, චීනය, ජපානය, ඉතාලිය, ඇමෙරිකා එක්‌සත් ජනපදය, ප්‍රංශය වැනි රටවල් සූර්ය පැනල භාවිතය අතින් ද ඉදිරියෙන් ම සිටී. ජර්මනිය සූර්ය පැනල මගින් 40000 MW පමණ විදුලිබලයක්‌ නිපදවයි. එය අප රටෙහි දෛනික විදුලි පරිභෝජනය සාමාන්‍යය මෙන් 20 ගුණයක්‌ පමණ වේ.

අප බොහෝ තාක්‌ෂණයන් වැළදගන්නේ නිසි ප්‍රතිපත්තියකින් තොර ව වීම නිසා එම තාක්‌ෂණයේ නිසි ප්‍රතිඵල රටක්‌ ලෙස හෝ පුද්ගලයන් ලෙස හෝ අපි භුක්‌ති නො විඳින්නෙමු. උදාහරණයක්‌ ලෙස ලෝකයේ තිබෙන හොද ම වටිනා ම වාහන අප රටෙහි මිනිසුන් කොතෙකුත් භාවිත කළ ද මාර්ග තදබදය ආදිය නිසා වාහනයක ප්‍රයෝජනය නිසි ලෙස නො ලැබෙයි. එම නිසා සූර්ය පැනල මගින් රට නැංවීමට නම් එය රටට උචිත ම ආකාරයට යොදාගැනීමට අප උත්සුක විය යුතු ය.

අප රටෙහි මෑතකාලීනව සූර්ය පැනල භාවිතයට ජනතාව උනන්දු කරවීමට රජය මෙන්ම පෞද්ගලික ආයතන සමාගම් ආදිය ද විශාල උනන්දුවක්‌ දක්‌වයි. එය ඉතා පැසසුම්කටයුතු ය. දැනට සිදු කෙරෙන වැඩපිළිවෙළ තුළ පෞද්ගලික වියදමින් මිනිසුන් සූර්ය පැනල හා අනෙකුත් උපාංග සවි කරගත යුතු ය. ඒ සදහා බැංකු ණය සපයා දීමට බැංකු ඉදිරිපත් වී ඇත. නිපදවන අතිරික්‌ත විදුලි බලයට ගෙවීම් සිදු කරයි. මේ සියල්ල පැසසුම් කටයුතු වුව ද එමගින් දැනෙන වාසියන් ඇත්aතේ ඉතා ඉහළ විදුලි පරිභෝජනයක්‌ සහිත පිරිසකට පමණි. එම නිසා දැනට කෙරෙන වැඩපිළිවෙළ තුළින් අප රටට විශාල ජයග්‍රහණයක්‌ අත් කරගැනීම අපහසු වනු ඇත. මන්ද යත් සූර්ය පැනල සදහා කරන ලද ආයෝජනය දැනෙන ලාභයක්‌ බවට පත් වීමට අවුරුදු 10ක පමණ කාලයක්‌ ගත වන බැවිනි. මේ ක්‍රියාවලිය තුළ අපහසුවෙන් හෝ නිවාස ලක්‌ෂයක පමණ අවම වශයෙන් 1 KW සූර්යපැනල පද්ධති සවි කළ ද අපට නිපදවාගත හැකි වනුයේ 100 MW තරමේ විදුලිබලයක්‌ පමණි.

අප රටක්‌ ලෙස ජයග්‍රහණයක්‌ ලබාගැනීමට නම් විශාල කර්මාන්ත ප්‍රමාණයක්‌ ඇති විය යුතු ය. ඒ සදහා 5000 MW පමණ විදුලි බලයක්‌ අවශ්‍ය වනු ඇත.එවැනි විදුලි බලයක්‌ තාප බලාගාර භාවිතයෙන් නිපදවීම අන් රටවල් පොහොසත් කිරීමක්‌ මිස අපේ දියුණුවක්‌ නො වනු ඇත. මෙවැනි විදුලි බලයක්‌ සූර්ය පැනල මගින් ලබාගත හැකිනම් එය විශාල ජයග්‍රහණයකි. මෙවැනි විශාල විදුලි බලයක්‌ සූර්ය පැනල මගින් ලබාගැනීමට විශාල ඉඩකඩක්‌ අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් අද පවතින සූර්ය පැනලවල කාර්යක්‌ෂමතාව අනුව 5000 MW නිපදවීම සදහා වර්ග කිලෝමීටර 150ක පමණ භූමි ප්‍රමාණයක්‌ අවශ්‍ය වේ. ලෝකයේ ඇතැම් රටවල කාන්තාර මුඩුබිම් යොදාගෙන මෙවැනි විශාල සූර්ය පැනල ව්‍යාපෘති ඉදි කර ඇති නමුත් ලංකාව වැනි කුඩා එමෙන් ම සරුසාර හරිත පොළොවක්‌ සහිත රටකට එවැනි විශාල ඉඩකඩක්‌ මෙවැනි ව්‍යාපෘතියකට වෙන් කළ නොහැකි ය.

එසේ නම් අප කළ යුත්තේ කුමක්‌ ද? මා ගේ අදහස නම් අප කළ යුත්තේ සෑම නිවසක වහලයක්‌ ම 1 KW පමණ සූර්යපැනල බලාගාරයක්‌ කළ යුතුය. විදුලිබල මණ්‌ඩලයට අනුව ඔවුන් නිවාස ලක්‌ෂ පනස්‌දෙකට වැඩි ප්‍රමාණයකට විදුලිබලය සපයා ඇත. මේ අනුව නිවාස ලක්‌ෂ පනහක්‌ මගින් ඉතා පහසුවෙන් අපට 5000MW විදුලි බලයක්‌ ජනනය කළ හැක. ජනනය වන විදුලි බලය බෙදාහැරීම දැනට පවතින ජාලය මගින්ම සිදුවන නිසා ඉතා පහසුවනු ඇත.

මා ගේ අදහස අනුව නම් රජය සැම නිවසකට ම ණයක්‌ යටතේ නොමිලේ සූර්ය පැනල සහිත පද්ධති සැපයිය යුතු ය. දිනකට නිවසක්‌ අවම වශයෙන් 5-6 kWh පමණ නිපදවන නිසා නිවෙස්‌ හිමියන්ට තමා ගේ ණය වාරික එම නිපදවෙන විදුලිබලයේ ඉපැයීමෙන් ගෙවිය හැකි ය. එම නිසා කිසි ම නිවෙස්‌ හිමියකු ඒ සදහා විරුද්ධ නො වනු ඇත.

මෙහි දී බොහෝ දෙනකුට මතු වන ප්‍රශ්නය වනුයේ නිවාස ලක්‌ෂ පනහකට සූර්ය පැනල සවි කිරීමට රජයක්‌ වියදම් කරනුයේ කෙසේ ද යන්න ය. ශ්‍රී ලංකා රජය ලක්‌ විජය තාප බලාගාරය නිපදවීම සදහා රුපියල් බිලියන දෙ සියයක්‌ පමණ වැය කර ඇත. එහි උපරිම ධාරිතාව 900 MWකි. එහෙත් මා මෙහි සදහන් කරන පරිදි සැම නිවසකට ම 1 KW ආනයනික සූර්ය පැනල පද්ධති සවි කිරීම සදහා වැය වන්නේ රුපියල් බිලියන හය සියයක්‌ පමණ අගයකි. වැය තුන් ගුණයක්‌ වුව ද නිපදවිය හැකි විදුලි බලය ලක්‌ විජය තාප බලාගාරය මෙන් හය ගුණයකි. එමෙන් ම අවුරුදු විසි පහක්‌ පමණ නොමිලේ ම විදුලිය ලැබිය හැකි ය. නිවෙස්‌ හිමියන් නිපදවන විදුලි ඒකක ඉතුරුවක්‌ මගින් (එනම් දිනකට එක්‌ ඒකකයක මුදල නිවාස හිමියන්ට නො ගෙවා එය භාරයක්‌ මගින් ඉතුරු කිරීමෙන්) අවුරුදු 25කට පසු නැවත රජයට බරක්‌ නො වී රටට ම සූර්ය පැනල සවි කළ හැකි ය.

එමෙන් ම ආනයනික සූර්ය පැනල සදහා වන වියදම රජය මැදිහත් ව ලංකාව තුළ සූර්ය පැනල නිපදවීමේ හා අපවර්තක සැකසීමේ කර්මාන්ත ඇති කළ හොත් මා ගේ ගණනය කිරීම් (ආසන්න ලෙස) අනුව මේ වියදම අඩකින් පමණ අඩු වනු ඇත. එමෙන් ම එමගින් ඉතා විශාල රැකියා ප්‍රමාණයක්‌ බිහි වනු ඇත.

සූර්ය පැනල ව්‍යාපෘති මගින් ද අනාගතයේ විශාල පාරිසරික ගැටලු මතු වනු ඇත. මන්ද මේවා ඉවත් කරන විට එය විසල් ගැටලුවකට මග පාදන බැවිනි. එම නිසා දැනටමත් සූර්ය පැනල සවි කරන හා ඒවා මෙරටට ගෙන්වන ආයතන ඒවා නැවත බැහැර කරන ආකාරය පිළිබදව පැහැදිලි කළ යුතු ය. එමෙන් ම ඇතැම් සූර්ය කෝෂ විෂ සහිත සංයෝග මගින් නිපදවෙන නිසා ඒවා ලංකාවට ගෙන ඒමේ දී රජය ඉතා සැලකිලිමත් විය යුතු ය.

සූර්ය පැනල මගින් විදුලිය ලබාගැනීමේ දී සූර්ය එළිය පවතින කාලය පිළිබද ගැටලුව බොහෝ අය තුළ උදාසීනත්වයක්‌ ඇති කරයි. එහෙත් අප කළ යුත්තේ අද පවතින බලාගාර වැඩි වශයෙන් රාත්‍රියට භාවිත කර දිවා කාලයේ සූර්ය බලය යොදාගැනීමයි. එමෙන් ම අද වන විට කෝෂවල තාක්‌ෂණය ද ශීඝ්‍රයෙන් දියුණු වන නිසා ඉතා නුදුරේ දී ම ශක්‌තිය පහසුවෙන් ගබඩා කරගැනීම එතරම් ගැටලුවක්‌ නො වනු ඇත.

ආචාර්ය කේ. එම්. ඩී. චරිත් ජයතිලක
භෞතික විද්‍යාඅංශය
කැලණිය විශ්වවිද්‍යාලය