![]() |
||||
වේගයෙන් වැනසී යන මුහුදු ඌරා ගේ
කඳුළු කතාව![]() පෙනහළු සහිත මේ සතුන්ට විනාඩි 6ක් පමණ ජලය යට හුස්ම අල්ලාගෙන සිටිය හැකි වුවත්, ඉන් පසු හුස්ම ගැනීම සදහා සාගර මතුපිටට පැමිණිය යුතු වේ. සිරේනියා ගෝත්‍රයට (Sirenia) අයත් මුහුදු ඌරා ඉංගී්රසියෙන් 'ඩියුගොන්' (Dugong) ලෙස හඳුන්වනු ලබයි. 'ඩියුගොන්' යන ඉංගී්රසි වචනය මැලේ භාෂාවෙන් දිය කිඳුරු ජනප්‍රවාදය හා සම්බන්ධ ව "සාගරයේ කාන්තාව" (Lady of the sea) යන තේරුම ඇති නමක් ලෙස මූලිකව ඇති වූ බව පත පොතේ සදහන් වේ. මෙය තරමක් අසාමාන්‍ය නමක් මෙන්ම 'දිය කිඳුරන්' පිළිබඳ ජනප්රවාදයේ වැනි සත්ත්වයකු සැබැවින් මෙතෙක් හමු වී නැති නිසා මේ දියකිඳුරු ජනප්‍රවාදය අධ්‍යයනය කළ විද්වතුන් ගේ එක් මතයක් වනුයේ දිය කිඳුරන් යනු දුරින් සිට දක්නට ලැබුණු මුහුදු ඌරා බවයි. ජනප්රවාදයට අනුව 'දියකිඳුරා'ට මිනිස් දේහයකුත්, මත්ස්‍යයකු ගේ මෙන් යටි කයකුත් හිමි ය. ඩියුගොන් සත්ත්වයා ගේත් යටි කයේ විශාල තනි වරලක් දකින්නට ලැබෙන අතර, කෙටි හොම්බ නිතර ම සිනහමුසු ස්වභාවයකින් පෙනී සිටින මිනිස් මුහුණකට සමාන ව දුර සිට බලන කල දෘෂ්ටි මායාවක් ලෙස පෙනී යැමට ඉඩ තිබේ. ලංකාවේ වයඹදිග හා උතුරු මුහුදු තීරයන්හි මන්නාරම් බොක්ක හා පෝක් සමුද්‍ර සන්ධිය ආශ්රිත ව අතීතයේ දී මුහුදු ඌරන් බහුලව සිටියත්, මස් පිණිස දඩයම් කිරීම නිසා මේ වන විට එම ප්‍රදේශයෙන් වඳ වී යැමේ තර්ජනයට ලක් වී ඇත. මේ සතුන්ට ඇති අනතුර තේරුම්ගෙන ඔවුන් දඩයම් කිරීම 1970 ගණන්වල දී තහනම් කළත්, තවමත් දැල්වලට පැටලීමෙන් මෙන්ම නීති විරෝධී ඩයිනමයිට් පිපිරවීමෙන් මසුන් ඇල්ලීම නිසාත් මුහුදු ඌරන් නිතර අනතුරට පත් වේ. ![]() "පසුගිය 2016 වසරේ පමණක් මුහුදු ඌරන් 13ක් මිය ගිය බවට වාර්තා තිබෙනවා. ඒ කියන්නේ, මාසයකට සාමාන්‍යයෙන් එක සත්ත්වයෙක් බැගින් මැරිලා. ඉතා ම දුර්ලභ මේ වගේ සාමුද්‍රික ජීවියකුට සාපේක්ෂව ඒක සැලකිය යුතු ප්‍රමාණයක්" යනුවෙන් සාගර සම්පත් සුරැකීමේ සංවිධානයේ (ORCA) ප්‍රසන්න වීරක්කොඩි පවසයි. ![]() මෑතක දී ම සිදු වූ මුහුදු ඌරකු ගේ මරණය වාර්තා වූයේ පසුගිය දෙසැම්බර් මාසයේ දී මන්නාරමේ නඩුකුඩා වෙරළිනි. මරණය සිදු වී පැය කිහිපයකින් ම මේ සත්ත්වයා ගොඩ ගසා තිබූ බව ප්‍රසන්න වීරක්කොඩි අනාවරණය කළේ ය. කෙසේ වෙතත් ඊට සති කිහිපයකට පෙර, ඒ ආශ්රිත තවිල්පාඩු වෙරළේ දී ද, හොඳින් වැඩුණු මුහුදු ඌරකු ගේ නරක් වූ මළ කුණක් හමු වී තිබිණි. ![]() සමහර දැල්වලට පැටලීමෙන් ද මුහුදු ඌරා මිය යා හැකි බව පැවසූ ප්‍රසන්න වීරක්කොඩි වැඩිදුරටත් කියා සිටින්නේ සැබැවින් ම යුද්ධය තිබූ කාලයේ, මේ ප්‍රදේශවල ධීවර කටයුතු පාලනය වූ නිසා, මුහුදු ඌරන්ට මීට වඩා ආරක්ෂාවක් තිබූ බවයි. ![]() ලංකාව අවට මුහුදේ මුහුදු ඌරන් සංරක්ෂණය පිළිබඳ වැඩපිළිවෙළක් ද මේ වන විට ක්‍රියාත්මක වේ. "මුහුදු ඌරන් සහ සමුද්‍ර තෘණ භූමි සංරක්ෂණ ව්‍යාපෘතිය" ලෙස නම් කර ඇති මේ වැඩසටහන 2015 සිට 2018 දක්වා ක්‍රියාත්මක බව, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආචාර්ය ලක්ෂ්මන් පීරිස් අනාවරණය කළේ ය. මේ "මුහුදු ඌරන් සහ සමුද්‍ර තෘණ භූමි සංරක්ෂණ ව්‍යාපෘතිය" අන්තර්ජාතික පාරිසරික අරමුදල (GEF)හි මූල්‍යමය උපකාර මත එක්සත් ජාතීන් ගේ පාරිසරික වැඩසටහන (UNEP) මගින් රටවල් කීපයක ම ක්‍රියාත්මක කරන අතර මේ සත්ත්වයන් සංරක්ෂණ ම අරමුණු කරගත් පළමු විශාල ම ව්‍යාපෘතිය වේ. මුහුදු ඌරන් ශාක-භක්ෂක වන අතර, ඔවුන් රැකගැනීමට නම් ඔවුන් ආහාරයට ගන්නා සමුද්‍ර තෘණ භූමි ආරක්ෂාව ද වැදගත් බව රාජසූරිය මහතා පවසයි. "මුහුදු ඌරා සංරක්ෂණයට මූලික අවශ්‍යතාවක් තමයි මේ සතුන් වැඩියෙන් ගැවසෙන තැන් සොයාගැනීම. සමුද්‍ර තෘණ භූමි සිතියම්ගත කිරීමත් වැදගත්." ආචාර්ය පීරිස් කියයි. ![]() මේ "මුහුදු ඌරන් සහ සාමුද්‍රීය තෘණ භූමි සංරක්ෂණ ව්‍යාපෘතිය" යටතේ ශ්‍රී ලංකාවේ විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නො වන ආයතන කිහිපයක් විවිධ ක්‍රම මගින් මුහුදු ඌරා සංරක්ෂණයට දායක වේ. සාමුද්‍රීය සම්පත් පර්යේෂණ ආයතනය (නාරා) සාමුද්‍රීය ඌ තෘණ භුමි සිතියම්ගත කිරීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති අතර, සාමුද්‍රීය සම්පත් සුරැකීමේ සංවිධානය (ORCA) මගින් මේ තෘණ භූමි අධ්‍යයනය සිදු කෙරෙයි. මේ සිතියම්ගත කිරීම අවසන් වූ විට මුහුදු ඌරන් සංරක්ෂණ කලාපයක් නම් කිරීමත්, සංරක්ෂණය කළමනාකරණය උදෙසා නිසි ක්‍රමවේදයක් සකස් කිරීමත් අන්තර්ජාතික සංරක්ෂණ සංවිධානය (IUCN) මගින් සිදු කෙරෙනු ඇත. මීට අමතරව ධීවරයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ජෛව විවිධත්වය අධ්‍යාපන සහ අධ්‍යයන ආයතනය (BEAR) මගින් සිදු කෙරේ. කැස්බෑ සංරක්ෂණ සංවිධානය (TCP) මෙයට දායකත්වය දෙනුයේ ධීවර පවුල්වලට අමතර අදායම් මාර්ග සලසා දීම මගින් ඔවුන් වැඩි ආදායමක් ලැබෙන තහනම් පන්න ක්‍රම භාවිතයෙන් ඉවත් වීමට උනන්දු කිරීමෙනි. ![]() මුහුදු ඌරන් සංරක්ෂණයට නව තාක්ෂණය මුහුදු ඌරන් සදහා අවශ්‍ය සාමුද්‍රීය තෘණ සහිත ප්‍රදේශ අධ්‍යයනය උදෙසා මුහුද යට සෝනාර් මෙන්ම මුහුද උඩින් යවන නියමුවන් රහිත කුඩා Drone යානා ද භාවිත කරන ආකාරය අපට දැකගත හැකි විය. මුහුදු ඌරකු වාර්තා උන ප්‍රදේශයේ මුහුදු පත්ල පළමුව සෝනාර් මගින් අධ්‍යයනය කර, මුහුදු තෘණ තිබේ නම් පමණක් ඉන් පසු කිමිදීම මගින් ඒවා තවදුරටත් අධ්‍යයනය කෙරේ. මේ මගින් කාලය ඉතිරි කරගත හැකි අතර වැඩි සාගර ප්‍රදේශයක් අධ්‍යයනයට ඉඩ ලැබේ. බෝට්ටුව ගෙන යා නොහැකි නොගැඹුරු ප්‍රදේශ අධ්‍යයනය Drone යානා මගින් සිදු කරන බව ප්‍රසන්න වීරක්කොඩි පැවසූයේ, මේ යානාවක් ක්‍රියාත්මක කරන ආකාරය ප්‍රායෝගිකව පෙන්වමිනි. මැලේසියාව වැනි වෙනත් රටවල් ද මුහුදු තෘණ ඇති ප්‍රදේශ සිතියම්ගත කිරීමට Drone යානා උපයෝගී කරගැනෙයි. මුහුදු ඌරන් ගේ ගහණය තරමක් සතුටුදායක ප්‍රදේශවල දී මේ සත්ත්වයන් ගේ හැසිරීම් අධ්‍යයනයට පවා Drone යානා උපයෝගී කරගෙන ඇත. මීට අමතරව මුහුදු ඌරකු දුටුව හොත් ඒ බව ක්ෂණිකව ජංගම දුරකථන ඔස්සේ වාර්තාගත කිරීමට හැකි මෘදුකාංගයක් ද මේ ව්‍යාපෘතිය යටතේ වන ජීවී දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කරනු ලැබ තිබේ. එම සත්ත්වයා දුටු ස්ථානයේ ඉතා නිවැරැදි ව මෙහි GPS තාක්ෂණය ඔස්සේ සටහන් වන අතර, අවස්ථාවක් ඇතොත් ඡායාරූපයක් ගැනීමේ හැකියාව ද තිබෙන බව වන ජීවී දෙපාර්තමේන්තුවේ සාමුද්‍රීය අංශයේ චන්න සුරවීර පැවසී ය. මාලක රොඩි්රගෝ |
||||
|
||||