logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


කැළිකසළ ප්‍රශ්නයේ වගකීම පැවරෙන්නේ කාට ද?

කැලිකසළ ප්‍රශ්නය යළිත් කරළියට පැමිණ තිබේ. ඒ අප්‍රේල් 14 දින කොලොන්නාවේ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි කුණු කන්ද ආශ්‍රිත භූමියේ කොටසක්‌ නාය යැමෙන් ඇති වූ ෙදවාචකයත් සමගිනි. මේ සටහන තබන ඉරිදා සවස්‌ වන විට එම අනතුර නිසා විසි පස්‌ දෙනකු පමණ මිය ගොස්‌ ඇති අතර නිවාස

රැසක්‌ විනාශ වී තිබේ. මේ සිදුවීමත් සමග කැළිකසළ ගැටලුව විසඳීම සඳහා ගත හැකි හා ගත හැකි ව තිබූ ක්‍රියාමාර්ග ගැන නොයෙක්‌ අදහස්‌ විවිධ මාධ්‍ය ඔස්‌සේ පළ වනු දැකිය හැකි ය. මෙහි ලා සමාජ ජාල ඔස්‌සේ හුවමාරු වන අදහස්‌ අනුව පෙනෙන්නේ මේ ගැටලුව පිළිබඳව සාමාන්‍ය ජනතාව මෙන්ම යමක්‌ දන්නා පිරිස්‌ අතර ඇති දැනුවත්භාවයේ තරම ය.

විවෘත කසළ බැහැරලීමක ඇති වූ මෙවැනි පළමු අනතුර කොලොන්නාව නො වේ. මෙවැනි ම කුණු කන්දක්‌ වන බ්ලූමැන්ඩල් කුණු කන්ද ආශ්‍රිත ව 2009 මාර්තු මාසයේ දී ගිනිගැනීමක්‌ හා කඩා වැටීමක්‌ නිසා ආසන්නයේ පිහිටා තිබූ පැල්පත් නිවාස ගණනාවකට හානි සිදු විය. ඒ අවස්‌ථාවේ දී ජීවිත හානි සිදු නො වූයේ නිවැසියන් ඒ අවස්‌ථාවේ නිවාසවලින් බැහැර ව සිටි නිසා බව කියෑවේ. කොළඹ තරම් කුණු එකතු නො වන බදුල්ලේ කසළ එකතු කරන ස්‌ථානයක්‌ ගිනිගැනීමෙන් ගැටලුවක්‌ ඇති වූයේ මීට මාස කිහිපයකට ඉහත දී ය. එහෙත් කොලොන්නාවේ කුණු කන්දේ නාය යැම මෙතෙක්‌ එවැන්නක්‌ ආශ්‍රිත ව සිදු වූ විශාලතම අනතුර වේ.

වසර ගණනක්‌ තිස්‌සේ කැළිකසළ හෙවත් ඝන අපද්‍රව්‍ය ගැටලුව සඳහා විවිධ විසඳුම් ඉදිරිපත් වූ ආකාරය මෙරට සිදු වන කටයුතු පිළිබඳව අවදියෙන් සිටි ඕනෑ ම අයකු දැක ඇති බවට සැකයක්‌ නැත. ඒ අතර කසළ අවම කිරීම, ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීම හා කිසිත් කළ නොහැකි සෙසු අපද්‍රව්‍ය බැහැර ලීම සඳහා සනීපාරක්‌ෂක බිම් පිරවුම් සඳහා වූ යෝජනාව වැනි ක්‍රියාමාර්ග විය. අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ නෛතික වගකීම ඇත්තේ මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභ යන පළාත් පාලන ආයතනවලට ය. එහෙත් ඊට සහාය වීම සඳහා පළාත් සභා මෙන්ම මධ්‍යම රජය මගින් ද ගත් විවිධ ක්‍රියාමාර්ග ගණනාවක්‌ ම අපි දැක ඇත්තෙමු. ඒ අතර විවිධ ව්‍යාපෘති ද වේ. එහෙත් ඒ කිසිවකින් මේ ප්‍රශ්නයට නිසි පිළිතුරක්‌ මේ දක්‌වා ලැබී නොමැති බව මේ ආකාරයෙන් විවෘත කසළ කඳු ගොඩගැසීමෙන් හා ඇති වූ ෙදවාචකයෙන් මනාව පැහැදිලි වේ.

අතීතයේ සිට අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ. අතීතයේ දී සිදු කළ කසළ පිළිස්‌සීම මේ වන විට සිදු නො කෙරෙන තරම් ය. නාගරික ඝන අපද්‍රව්‍යවල ඇති අධික තෙත් සහිත බව නිසා එය එතරම් ප්‍රායෝගික නො වේ. එසේ ම කසළ යොදාගනිමින් කොම්පෝස්‌ට්‌ පොහොර නිපදවීම ඇතැම් පළාත් පාලන ආයතන මගින් සාර්ථකව සිදු කරනු ලබයි. එහෙත් ඇතැම් ස්‌ථානවල දී එය දිගුකාලීනව ක්‍රියාත්මක වී නැත. ඒ පිළිබඳ වාර්තා වන අත්දැකීම් අනුව පෙනෙන්නේ අඛණ්‌ඩව ක්‍රියාත්මක කිරීම, අවශ්‍යතාව හා දේශපාලන සහයෝගය මත රඳා පවත්නා බව ය. එසේ ම විශාල ලෙස අපද්‍රව්‍ය එකතු වන කොළඹ වැනි ප්‍රදේශයක දී කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනය මහා පරිමාණයෙන් කළ යුත්තකි. එවැන්නක්‌ සඳහා ප්‍රමාණවත් උත්සාහයක්‌ සිදු වී නොමැත. අපද්‍රව්‍ය අතර ඇති ප්‍රතිචක්‍රිකරණය කළ හැකි ද්‍රව්‍ය වෙන් කර ඒ සඳහා යොමු කිරීම පිළිබඳව වැඩි උනන්දුවක්‌ මේ වන විට ඇති වී තිබේ. එහෙත් එය ප්‍රමාණවත් නොමැත.

අපද්‍රව්‍ය ප්‍රමාණය වර්ධනය සඳහා හේතු

නාගරීකකරණය, ජනගහන වර්ධනය, කාර්මිකකරණය හා ඒක පුද්ගල ආදායමේ වර්ධනය යන කරුණු රටක කසළ ජනනය ඉහළ යැම සඳහා බලපාන සාධක අතර වේ. අපේ රටේ ඝන අපද්‍රව්‍ය ගැටලුව වඩාත් බරපතළ ව දැකිය හැක්‌කේ නාගරික ප්‍රදේශවල ය. කොළඹ පමණක්‌ නො ව රටේ සියලු නාගරික ප්‍රදේශවල අපද්‍රව්‍ය ජනනය මේ සඳහා නිදසුන් ය. ග්‍රාමීය ප්‍රදේශවල ජනනය වන අපද්‍රව්‍ය ප්‍රමාණය සාපේක්‌ෂව අඩු ය. එසේ ම ජනගහනය වර්ධනය වීමත් සමග නිෂ්පාදනය වන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය ද ඉහළ යමින් තිබේ. රටේ කාර්මිකකරණය ද මේ තත්ත්වයට බලපා ඇත. ජනතාව ගේ ඒක පුද්ගල ආදායම් වර්ධනය සමග අපද්‍රව්‍ය ජනනය වන ප්‍රමාණය ඉහළ යන බව ද පෙන්වා දී තිබේ. 2003 වර්ෂයේ පළ වූ අධ්‍යයනයකට අනුව ශ්‍රී ලාංකිකයකු විසින් එක්‌ දිනකට ජනනය කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 0.62කි. මෙසේ ජනනය වන අපද්‍රව්‍ය අතරින් සියල්ල ම පළාත් පාලන ආයතනවලින් ගෙන යැම සඳහා බැහැර කරනු නො ලැබේ. 2008 වර්ෂයේ දී පළ වූ වාර්තාවකට අනුව මෙරට පළාත්පාලන ආයතන මගින් එක්‌ දිනකට එකතු කරනු ලබන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙටි්‍රක්‌ ටොන් 2,838ක්‌ පමණ වේ. ඉන් 59%ක්‌ පමණ එකතු වන්නේ බස්‌නාහිර පළාත ඇතුළත වන අතර, කොළඹ දිස්‌ත්‍රික්‌කය ඉන් 44%කට දායක වේ.

කෙසේ වෙතත් මේ සියල්ලට ම පදනම් වන්නේ අද අප අනුගමනය කරන ජීවන රටාව ය. එය අප නිපදවන අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ යැමට බලපා ඇත. බටහිර ශෛලියේ පරිභෝජනවාදී ජීවන රටාව නිසා ආහාර ඇතුළු වෙනත් ද්‍රව්‍ය අවශ්‍ය තරමටත් වඩා වැඩියෙන් පරිභෝජනය කිරීමට පෙලැඹීම එයට හේතුවයි. මෙය අතීතයේ අපේ පැවැති සරල හා අල්පේච්ඡ දිවිපෙවෙතට වෙනස්‌ ය. එහෙත් වර්තමාන සමාජ රටාව තුළ මේ ජීවන රටාවෙන් මිදීමට හැකි බවක්‌ නො පෙනේ. මේ පිළිබඳව ආකල්පමය වෙනසක්‌ ඇති කිරීමට විවිධ පිරිස්‌ හා ආයතන ගත් උත්සාහය මේ දක්‌වා සාර්ථක වී ඇති බවක්‌ නො පෙනේ. එසේ නම්, කළ යුත්තේ මේ පවත්නා තත්ත්වයට විසඳුම් සෙවීම ය.

මේ හා සමාන තත්ත්ව වෙනත් දියුණු වන රටවල ද දැකිය හැකි ය. නිදසුනක්‌ ලෙස සමාජවාදී රටක්‌ ලෙස සැලකෙන චීනයේ අපද්‍රව්‍ය ජනනය වීම අධික වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. ඒ සඳහා බලපා ඇත්තේ වේගවත් කාර්මිකකරණයක්‌ හා නාගරිකකරණයක්‌ සිදුවීම ය. 2000 දශකය මුල දී චීනය ලෝකයේ වැඩි ම නාගරික ඝන අපද්‍රව්‍ය ජනනය කරන රට බවට පත් වූයේ ඇමෙරිකාව පසු කරමිනි. මේ වන විට ලෝකයේ කසළ ජනනය වැඩී වීමේ ඉහළ ම වේගය වාර්තා කර ඇත්තේ ද චීනය බව ලෝක බැංකු වාර්තාවක සඳහන් වේ.

එහෙයින් කසළ පිළිබඳ ගැටලු ආමන්ත්‍රණය කිරීමේ දී ඒ පිළිබඳ ගත හැකි තනි පියවරක්‌ නො ව ගත හැකි පියවර ගණනාවක්‌ ඇති බව තතු දන්නවුන් ගේ මතයයි. එය අපද්‍රව්‍ය මූලාශ්‍රයේ දී හෙවත් අපද්‍රව්‍ය ජනනය වීමේ සිට ම ගත හැකි ක්‍රියාමාර්ගවලින් යුක්‌ත ය. අපද්‍රව්‍ය ජනනය වන ප්‍රමාණය අවම කළ හැකි නම් එය පළමුව වැදගත් ය. දෙවනුව වැදගත් වන්නේ ප්‍රතිචක්‍රිකරණය හා කොම්පෝස්‌ට්‌ නිපදවීම සඳහා යොමු කිරීමයි. තුන්වැනි ව වැදගත් වන්නේ කිසිත් කළ නොහැකි කසළ නිසි ලෙස බැහැර ලීම ය. ඒ පිළිබඳව විමසීමේ දී පෙනෙන්නේ අපද්‍රව්‍ය පිළිබඳ වගකීම කසළ ජනනය කරන ජනතාව වෙත මෙන්ම කසළ බැහැර කිරීමේ යෙදී සිටින ආයතන හා රජය වෙත ද පැවරෙන බවයි.

පුද්ගල වගකීමෙන් මිදිය නොහැකි ය

කසළ කඳු ලෙස ගොඩගැසුණ ද ඒවා අතරින් වැඩි ප්‍රමාණයක්‌ ජනනය වන්නේ ගෘහාශ්‍රිත ව ය. වාණිජ හා කාර්මික අංශයෙන් ජනනය වන කසළ ප්‍රමාණය ද ඉහළ ය. ගෘහස්‌ථ මට්‌ටමින් කසළ ජනනය වීම පාලනය සඳහා ගත හැකි පියවර ගණනාවක්‌ වේ. 3R සංකල්පය (Reduce, Reuse, Recycle) මෙහි වැදගත් බව කලක්‌ තිස්‌සේ පුන පුනා පවසා තිබේ. ඉන් පළමුවැන්න විවිධ ද්‍රව්‍ය භාවිතය අවම කිරීමයි. දෙවැන්න ප්‍රතිභාවිතයයි. එමගින් අපද්‍රව්‍ය ලෙස ජනනය වන ප්‍රමාණය අඩු කළ හැකි ය. තෙවැන්න එසේ භාවිත කළ ද්‍රව්‍ය හැකිතාක්‌ ප්‍රතිචක්‍රිකරණය කිරීමයි. මේ සඳහා යොදාගත හැකි අපද්‍රව්‍ය වන ද්‍රව්‍ය අතර ඇති පොලිතින්, ප්ලාස්‌ටික්‌, වීදුරු යනාදී ද්‍රව්‍ය වේ. කෙසේ වෙතත් ඉහත සඳහන් සංකල්ප භාවිතය ප්‍රමාණවත් තරම් වර්ධනය වී තිබේ ද? අප එවැනි දේ භාවිතය අවම කිරීමට හා නැවත භාවිතය සඳහා යොමු වී තිබේ ද? ප්‍රතිචක්‍රිකරණය කළ හැකි දේ අතරින් කොපමණ ප්‍රතිශතයක්‌ අප ප්‍රතිචක්‍රිකරණය සඳහා යොමු කරන්නේ ද? මේ අප හමුවේ ඇති ගැටලු ය. 90% ඉක්‌මවූ සාක්‌ෂරතාවක්‌ ඇති රටක්‌ ලෙස අපට ඉහත පියවර සඳහා යොමු ව ඇති ප්‍රමාණය ගැන සතුටු විය හැකි ද? ඒ සඳහා විවිධ වැඩසටහන් හා ව්‍යාපෘති දියත් වී ඇතත් ජනතාවට පහසු හා නිසි ක්‍රමවේදයක්‌ ගොඩනැගී තිබේ ද? අනෙක්‌ අතට කසළ ප්‍රවාහයට එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය අතරින් වැඩි වශයෙන් ඇති දිරාපත් වන අපද්‍රව්‍ය ප්‍රමාණය (මේ ප්‍රමාණය ප්‍රදේශය අනුව විවිධ විය හැකි බව අධ්‍යයන අනුව පෙනේ. එහෙත් එය 50%කට වඩා අධික ය.) අවම කිරීම සඳහා හේතු වන කොම්පෝස්‌ට්‌ නිපදවීම ප්‍රවර්ධනය ගැන බොහෝ දැනුවත් කිරීම් සිදු කර ඇත. එහෙත් ගෘහාශ්‍රිත ව එය සිදු වන ප්‍රමාණය ගැන අපට සතුටු විය හැකි ද? එහෙත් මේ ක්‍රියාමාර්ගය අනුගමනය කර දිරාපත් වන කසළ ප්‍රයෝජනවත් කාර්යයක්‌ සඳහා යොදාගනු ලබන්නේ කොපමණ පිරිසක්‌ විසින් ද යන්න විමසිය යුතු කරුණකි. ඉහත කරුණු සඳහා සැම පුද්ගලයකුට ම හා පවුලකට ම වගකීමක්‌ ඇත. එය ඉටු කළ හැකි හා ඉටු කළ යුතු වගකීමක්‌ වන අතර ඒ සඳහා අපේ දායකත්වය ඉහළ නැංවිය යුතු බව පැහැදිලි ය. එසේ ම මේ කටයුතු මගින් අපද්‍රව්‍ය ජනනය අඩු කළ හැකි බැවින් බැහැර ලිය යුතු අපද්‍රව්‍ය ප්‍රමාණය ද අඩු වන බව පැහැදිලි ය.

මේ පිළිබඳව තවත් වැදගත් කරුණක්‌ වන්නේ පරිශ්‍රවලින් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය ඒවා ජනනය වන ස්‌ථානයේ දී හෙවත් නිවෙස්‌ හා වාණිජ පරිශ්‍රවල දී ම වර්ග කිරීම ය. මේ වගකීම ඇත්තේ ද ජනතාවට ය. කලක්‌ තිස්‌සේ බොහෝ දෙනා පුරුදු ව සිටියේ සියලු කසළ එක්‌ බඳුනක බහා කසළ එකතු කරන රථය වෙත ලබා දීමට ය. එහෙත් මේ වන විට බොහෝ පළාත් පාලන ආයතනවල ඒ සඳහා විශේෂිත රථ යොදවා වෙන් කරන ලද කසළ ගෙන යැම සිදු කරනු ලැබේ. ඒ සඳහා පෙලඹවීමක්‌ ලෙස වර්ග නො කළ කසළ එකතු කරනු නො ලබන බවට මේ ආයතනවලින් මාස කිහිපයකට ඉහත දී දැනුම් දී ඇත. ඒවා අතර ඇති ප්‍රතිචක්‍රිකරණය කළ හැකි කඩදාසි, වීදුරු, පොලිතින් හා ප්ලාස්‌ටික්‌ ආදිය ඒ සඳහා යොමු කරනු ඇතැයි අපි සිතමු. අප එසේ සටහන් කළේ එය නිසි ලෙස සිදු නො වන බව මේ වැඩපිළිවෙළ හඳුන්වා දුන් මුල් කාලයේ මාධ්‍යවල වාර්තා වූ නිසා ය.

සනීපාරක්‌ෂක බිම් පිරවුමක අවශ්‍යතාව

මෙසේ බැහැර කරනු ලබන කසළ සම්බන්ධ වගකීම පැවරෙන්නේ පළාත් පාලන ආයතනවලට ය. කොම්පෝස්‌ට්‌ කළ හැකි හා ප්‍රතිචක්‍රිකරණය කළ හැකි මෙන්ම නැවත භාවිත කළ හැකි කසළ ඉවත් කිරීමෙන් පසු ඉතිරි වන කසළ බැහැර ලීම සඳහා කිසියම් වූ බිම් පිරවුමක්‌ අවශ්‍ය වේ. එහෙත් මේ දක්‌වා අපේ රටේ සිදු කරන්නේ විවෘත බැහැරලීම් (open dump) බව පෙනේ. මේ විවෘත බිම් පිරවුම් පසුපස ඇති දේශපාලනය හා විවිධ අයථා ගනුදෙනු ප්‍රසිද්ධ රහසකි. එහෙත් නිසි අපද්‍රව්‍ය කළමනාකරණයක්‌ සඳහා අවශ්‍ය වන්නේ සනීපාරක්‌ෂන බිම් පිරවුමකි (sanitary landfill).

සනීපාරක්‌ෂක බිම් පිරවුමක්‌ සම්බන්ධ යෝජනාව කලක පටන්ම ඇති එකකි. 1990 දශකයේ දී යෝජනා වූ මීපේ මෙන්ම වඩාත් මෑත දී පුත්තලමේ අරුවක්‌කාලු වැනි ස්‌ථාන කිහිපයක්‌ ම ඒ සඳහා යෝජනා වූ අතර විවිධ හේතු නිසා ඒවා යටපත් විය. කෙසේ වෙතත් කුඩා පරිමාණයේ එවැනි බිම් පිරවුම් කිහිපයක්‌ රටේ ක්‍රියාත්මක වේ. දොම්පේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන්නේ එවැනි නියමු ව්‍යාපෘතියකි. එසේ ම කොළඹ හා තදාසන්න නාගරික ප්‍රදේශ වැනි විශාල ලෙස අපද්‍රව්‍ය එකතු වන ප්‍රදේශවල ජනනය වන කිසිත් කළ නොහැකි අපද්‍රව්‍ය සඳහා යෝග්‍ය ස්‌ථානයක විශාල පරිමාණයේ බිම් පිරවුමක්‌ පිහිටුවීම කඩිනමින් කළ යුත්තක්‌ වේ. ඒ සඳහා වැය වන පිරිවැය හා අවශ්‍ය සංවිධානය සඳහා මධ්‍යම රජයේ හා පළාත් පාලන ආයතනවල මැදිහත් වීම වැදගත් වේ.

එහෙත් සනීපාරක්‌ෂක බිම් පිරවුමක්‌ ස්‌ථාපිත කිරීම සිදු කළ යුත්තේ ඒ නිසා ඇති විය හැකි පාරිසරික බලපෑම පිළිබඳව නිසි සැලකිල්ල යොමු කිරීමෙන් අනතුරු ව ය. මෙය මනා අධ්‍යයනයකින් පසුව කළ යුත්තකි. එසේ ම ඒ සඳහා විද්‍යාත්මක සාධක යොදාගත යුතු ය. එසේ ම සියලු පාර්ශ්වකරුවන් ගේ සහභාගිත්වය ද මෙහි දී අවශ්‍ය ය. ඒ සඳහා පමා වීමෙන් සිදු වන්නේ මීතොටමුල්ල වෙනුවට වෙනත් තැනක විවෘත කසළ බැහැර ලීමක්‌ හෙවත් කුණු කන්දක්‌ ඇති වීම පමණක්‌ වනු ඇත.

ධනේෂ් විසුම්පෙරුම