logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


බක්‌ මහේ මිනීමැරුමට මමත් හවුල්!

බක්‌ මහේ සිද්ධ වුණ ඒ සමූහ මිනීමැරුමට ඔබ වගකිව යුතු නැතැයි ඔබට කිව හැකි ද? මාත් ඔබත් අපි කවුරුත් එයට වගකිව යුතු නො වේ ද?

සිංහල අලුත් අවුරුද්ද උදාවත් එක්‌ක මීතොටමුල්ල 'කුණු කන්ද' ඒ අවට ජීවත් වුණ අසරණ මිනිසුන් ගේ හිස මතට කඩා වැටුණේ 'සංවර්ධනයේ' හා 'දියුණුවේ' උරුමක්‌කරුවන් වූ අපේ කෙරුවාවේ තවත් එක්‌ පැතිකඩක්‌ අපට අපේ ඇස්‌ පනාපිට ම පසක්‌ කරමිනි. අනුන් ගේ කුණු කන්දකට සිය ගෙල තැබීමට සිදු වූ මේ අසරණ මිනිසුන් ගේ ඉරණම කියාපාන්නේ එක අතකින් බටහිර සංවර්ධනයේ විසම බව ය. අනෙක්‌ අතට බටහිර සංවර්ධනය ක්‍රියාවට නැංවීමේ දී සිදු වන බලහත්කාරකම් ය. එක්‌ තැනක සංවර්ධනය වෙනුවෙන් එක ම රටේ වුව තවත් තැනක්‌ දූෂණයට ලක්‌ වීම හා විනාශයට පත් වීම, පරිසරය සූරාකෑමෙන් තොර නො වූ බටහිර සංවර්ධනයේ අනිවාර්ය වූ අංගයකි.

එක්‌ තැනක්‌ දූෂණයට ලක්‌ නො වී, විනාශයට පත් නො වී තවත් තැනක සංවර්ධනය (බටහිර සංවර්ධනය) ළගා කරගත නොහැකි ය. නගර නගරාන්තරයන්හි ඉදි වන සුවිසාල ගොඩනැගිලි, මන්දිර හා මං මාවත් සදහා පමණක්‌ නො ව අප අද ඉදි කරන නිවාස සදහා ද යොදාගැනෙන ගල්, වැලි, ගඩොල්, පස්‌ හා ගස්‌ ද එක්‌ රැස්‌ කරගන්නේ කෙසේ ද? එම ඉදිකිරීම් සිදු වන ස්‌ථානයන්ට හාත්පසින් ම බැහැර ස්‌ථානයන්හි පරිසරය ගෙඩි පිටින් ම විනාශ කර දැමීමෙනි. සූරාකනු ලැබීමෙනි. එසේ නො කොට, එම බලහත්කාරකමෙන් තොර ව අද අප බොහෝ දෙනකුට අවශ්‍ය 'සංවර්ධනය' හා 'දියුණුව' ළගා කරගත නොහැකි ය. එම ඉදිකිරීම් කටයුතු සිදු වන ස්‌ථානයෙන් හෝ අවම වශයෙන් ඒ අවටින් හෝ අදාළ ඉදි කිරීම සදහා අවශ්‍ය වන ද්‍රව්‍ය ද එක්‌ රැස්‌ කරගැනීමට අප උත්සාහ ගන්නේ නම් මේ 'සංවර්ධනයේ', 'දියුණුවේ' රග (සීමාන්තික බව) ඉක්‌මනින් ම අපට අවබෝධ වනු ඇත. තමා අවට පරිසරය විනාශ වනවා දකින්නට කැමැති කවුද? අප කවුරු කවුරුත් උත්සහා ගන්නේ අපේ ගේ දොර වත්ත පිටිය ලස්‌සනට තියාගන්නයි.

අද යම් යම් 'සංවර්ධන' ව්‍යාපෘති ආරම්භයට පෙර එමගින් පරිසරයට වන බලපෑම් අධ්‍යයනය කළ යුතු යෑයි පනතක්‌ වේ. ඒ අනුව සිදු වන අධ්‍යයන වාර්තා මගින් නිර්දේශ කරනු ලබන පරිසර කළමනාකරණ සැලසුම් ව්‍යාපෘතියක්‌ ම වනුයේ මේ 'සංවර්ධනය' පරිසරය රැකීමත් එක්‌ක නො පෑහෙන බැවිනි. යා දෙක නොරත රත යෑයි අපේ පැරැණි කියමනක්‌ වේ.

සිංහල අලුත් අවුරුද්ද උදාවත් සමග ම සිදු වූ මේ ෙදවාචකය කියා දෙන පාඩම ඉගෙනීමට ඊට හවුල් වුණ අප සූදානම් ද? ඉර හද පවතින තුරු පවතින ජීවන ක්‍රමයක්‌ උදා කිරීමට සමත් වූ ජාතියක්‌ ස්‌වකීය ජීවන උරුමය අත් හැරීමේ/ හැරවීමේ ප්‍රතිඵලය නො වේ ද මේ අප විදවනුයේ?

නගර හා නගරාශ්‍රිත ව කුණු එකතු කිරීම හා තෝරාගත් ප්‍රදේශවලට එම කුණු බැහැර ලීම කවදා සිට ඇරඹුණේ ද?

මේ ලේඛකයාට මතක ඇති කාලයේ දී ද එනම් මීට අවුරුදු හතළිහකට හතළිස්‌ පහකට පමණ පෙර ද (එනම් 1970 දසකයේ මුල භාගයේ) මේ ලේඛකයා ජීවත් වූ නාවල ප්‍රදේශයේ ද මංමාවත්වල ඇතැම් තැන්වලට (බොහෝ විට මේ තැන් තුන් මං හන්දි විය) තමන් ගේ කුණු ගෙනැවිත් දමන සිරිත පටන් ගෙනයි තිබුණේ. ඒ කාලේ ගෙවත්තක ඉඩකඩ පර්චස්‌ 20කට නොඅඩු වූයේ ඉතා කලාතුරකින් වුව ද ගෙවත්තේ ඉඩකඩ තිබුණ ද ගස්‌ කොළන් තිබුණ ද තම නිවසේ එකතු වන කුණු ගෙවත්තෙන් එළියට දමන සිරිත ඒ වන විට ද පටන් ගෙන තිබිණි. එම තැන්වල එකතු වන කුණු මාසයකට කිහිප වතාවක්‌ එන නගර සභාවේ කුණු ට්‍රැක්‌ටරයෙන් ගෙන යයි. එසේ ගෙන යන කුණු ඇතැම් පහත් බිම් පිරවීම සදහා යොදාගනු ලැබීම ඒ කාලයේ දී ද සිදු විය. භූ ජල සංරක්‌ෂණයේ අනිවාර්ය අංගයක්‌ වූ පහත් බිම් (බොහෝ විට මේවා වගුරු බිම් විය) ඒ ආකාරයෙන් ගොඩ කරනු ලැබ ඒ මත නිවාස ද ගොඩනැගිලි ද ඉදි වන්නට විය. පසු කාලෙක ජාතියට බත සපයන ලද කුඔqරු ගොඩ කිරීම සදහා ද එසේ ගෙන යන ලද කුණු යොදා ගනු ලැබී ය.

සමාජය පරිවර්තනය වීම ආරම්භ වී තිබූ ඒ කාලයේ දී ද තම නිවෙස්‌වලින් බැහැර ලන කුණු සිය ගෙවත්තේ ම පිටුපස තැනක කපන ලද වළකට හෝ ගසක්‌ මුලට හෝ දමන පෙර සිරිත අනුගමනය කරන්නන් ද දැකගත හැකි විය. එමගින් එය නැවත සිය ගෙවත්තට (මහ පොළොවට) ම පොහොර විය. එකල කුණු, කුණු නො වී ය. පොහොර ම විය. මේ කාලයට තරමක පෙර කාලයක පටන් ම ඈත ගම් දනව්වල සිට ජනී ජනයා රැකියා සදහා හෝ වෙළෝදාම සදහා හෝ කොළඹ සහ කොළඹ ආශ්‍රිත ප්‍රදේශ වෙත සංක්‍රමණය වීමට පටන් ගෙන තිබිණි. කොළඹ නගරය සමීප ව පිහිටි නියං ගමක්‌ වූ නාවල ප්‍රදේශයේ ද මෙසේ පැමිණියවුන් පදිංචි වීමට පටන්ගෙන තිබුණ අතර 70 දශකය වන විට ද නාවල ගම අර්ධ නගරයක්‌ බවට පරිවර්තනය වීමට පටන්ගෙන ය.

එහෙත් එකල මෙන්ම අදත් වැසිකිළිවලින් බැහැර වන අපද්‍රව්‍ය (මළ/ මුත්‍රා) බැහැර ලීමට සහ කුස්‌සියෙන් බැහැර වන ඉඳුල් ජලය බැහැර ලීමට ගෙවත්තේ ම තැනක්‌ වෙන් කිරීම අනිවාර්ය ය. නිවසක්‌ තැනීම සදහා පළාත් පාලන ආයතනයෙන් අවසරය ලබාගන්නා එක අනිවාර්ය සාධකයකි. එහෙත් ගෙවත්ත තුළ කුණු දාන්න තැනක්‌ වෙන් කිරීම (කුණු වළක්‌ කැපීම) ඒ සදහා අනිවාර්ය සාධකයක්‌ නො වෙයි. කොළඹ නගරයෙන් බැහැර, කුණු එකතු කරන සැම ප්‍රදේශයක ම තත්ත්වය මෙයයි.

කොළඹ නගරයේ මළ/මුත්‍රා ද බැහැර ලනුයේ බිම්ගත නළ මාර්ගයෙන් ඈත මුහුදට ගෙන ගොස්‌ අත හැරීමෙනි. එසේ කරනුයේ ගැඹුරු මුහුදේ ජීවත් වන මාළුන්ට එය සුදුසු ආහාරයක්‌ වන නිසා නො වේ. කොළඹ නගරයේ ජීවත් වන මිනිසුන් ගේ ජීවිත සුවපහසු කිරීම සදහා ය. මුහුදට කුමක්‌ සිදු වුව ද 'සංවර්ධනය' සදහා නම්, 'දියුණුව' සදහා නම් එය කළ යුතු ය. 'දියුණුවේ' හැටි එහෙම ය. එබැවින් කුණු දැමීමට තැනක්‌ ගෙවත්තේ ම වෙන් නො කිරීම කොළඹ දී ඒ ආකාරයෙන් ම ඇසිය නොහැකි ය.

එහෙත් නොපමා ව කොළඹ නගරයෙන් බැහැර ප්‍රදේශවල ගෙවත්තේ ම තැනක්‌ කුණු දැමීම සදහා වෙන් කිරීම නම් අනිවාර්ය කළ යුතු ය. එය මේ ප්‍රශ්නය විසඳීම සදහා වහා ගත යුතු එක්‌ පියවරකි. ඒ සමග ම කොළඹ නගරයෙන් බැහැර ප්‍රදේශවලින් කුණු එකතු කිරීම ද පියවර කිහිපයකින් සම්පූර්ණයෙන් නතර කළ යුතු ය. ඒ තමුන් ගේ කුණු තම ගෙවත්තට ම පොහොර වන්නට හරිනවා විනා අනුන් ගේ වතුවලට අත හැරීමට ඉඩ දීම "බලු වැඩක්‌" අනුමත කිරීමක්‌ වන බැවිනි. එක ගෙදරකින් කන බොන බල්ලා අල්ලපු ගෙදර වත්තට වැද කරන දේ කවුරුත් දනියි. මිනිස්‌සු 'දියුණු' වෙලා නම් බල්ලා ගෙන් වෙනස්‌ විය යුතු ය.

එසේ කිරීමට අපහසු ප්‍රදේශවල එක ගමකට/ගම් කිහිපයකට (හෝ එක කුඩා නගරයකට) එක පොදු ස්‌ථානයක්‌ (භූමි භාගයක්‌) සම්මුතියෙන් තෝරාගෙන එම ස්‌ථානයට අදාළ ගමේ (නැත හොත් තෝරාගත් ගම් කිහිපයක එකතුවේ/කුඩා නගරයේ) කුණු එකතු කර එතැන දී ම චක්‍රීයකරනයට ලක්‌ කළ හැකි ය.

ඉතා දැඩි ලෙස නාගරීකරණයට ලක්‌ ව ඇති, ඉතා වැඩි පිරිස තට්‌ටු නිවාසවල වෙසෙන කොළඹ නගරයේ සහ තවත් එවැනි ඉතා සීමිත තැන් කිහිපයකත් ඉහත ආකාරයට ස්‌ථානීය ලෙස, එනම් කුණු බැහැර ප්‍රදේශයකට ගෙන නො ගොස්‌ එම ස්‌ථානවල ම, කුණු එකතු කර චක්‍රීයකරණය කරන කුඩා මධ්‍යස්‌ථාන ඉදි කළ යුතු ය. එමගින් කොළඹ කුණුවලට කර ගැසීමට එම කුණුවලට කිසි ම සම්බන්ධයක්‌ නැති ජනතාවකට සිදු නො වේ.

එහෙත් ඉහත සදහන් ආකාරයේ පියවර ගත්ත ද ප්‍රශ්නය සම්පූර්ණයෙන් නො විසෙදනු ඇත. එයට ප්‍රධාන ම හේතුව නම් පොලිතින් (හා ප්ලාස්‌ටික්‌) ය. මෙයට අවුරුදු හතළිහකට පමණ පෙර කුණු පාරවල් අයිනේ ගොඩ ගැසුණ ද ට්‍රැක්‌ටර්වලින් ගෙන ගොස්‌ නොයෙකුත් ස්‌ථානවල අත හැරිය ද එය ස්‌වභාව දහමට දැරිය නොහැකි බරක්‌ නො වූයේ ඒවා දිරා ගිය බැවිනි. ස්‌වාභාවික චක්‍රීයකරණයට ලක්‌ ව පොළොවට පොහොර ලෙස අවශෝෂණය වූ නිසා ය. එහෙත් අද කුණු පොහොර නො වේ. අද කුණු නො දිරන අපද්‍රව්‍යයකි. ඒ නො දිරන පොලිතින් හා ප්ලාස්‌ටික්‌ නිසා ය.

මීතොටමුල්ලට අතහරින ලද්දේ කුණු නො ව පොලිතින් හා ප්ලාස්‌ටික්‌ සමග මිශ්‍ර වූ අපද්‍රව්‍ය ය. එය කෙටි කලකින් ම 'කුණු' කන්දක්‌ බවට පත් වූයේ එම අපද්‍රව්‍ය දිරා නො ගිය නිසා ය. දිරා යනසුලු ඉඳුල් ඇතුළු ආහාර කොටස්‌ ද සත්ත්ව කොටස්‌ ද, ශාක කොටස්‌ ද පොලිතින් හා ප්ලාස්‌ටික්‌ අතර සිර වී පල් ගද ගසන නොයෙකුත් බැක්‌ටීරියාවන් ගෙන් ගහන ලෙඩ රෝග පතුරුවන අපද්‍රව්‍ය බවට පත් ව ඇත. එම අපද්‍රව්‍ය කන්ද අභ්‍යන්තරයේ නොයෙකුත් විෂ වායූන් ද නිපදවෙන්නට ඇත. වැස්‌සත් සමග අපද්‍රව්‍ය කන්දේ ඇති වූ වෙනස්‌කම් (ප්‍රසාරණයන්) සමග පොලිතින් බහුල අපද්‍රව්‍ය කන්ද පොලිතින් මතින් ම පහසුවෙන් ම ලිස්‌සා යන්නට ඇත. අභ්‍යන්තරයේ නිපදවෙන වායුන් එම ක්‍රියාවලිය තවත් පහසු කරන්නට ඇත.

අද සමස්‌ත ලෝකය ම රදා පවතිනුයේ ෆොසිල ඉන්ධන මත ය. පොලිතින් හා ප්ලාස්‌ටික්‌ යනු ද ෆොසිල ඉන්ධන පිරිපහදුවේ අතුරු ඵලයකි. පොලිතින් භාවිතය වර්තමාන පාරිභෝජන සමාජයක්‌ තුළ අත්හළ නොහැකි දෙයක්‌ ලෙස හුවා දැක්‌වුව ද මීට අවුරුදු හතළිහකට පමණ පෙර පොලිතින් භාවිතයක්‌ අපේ රටේ දක්‌නට නො වූ තරම් ය. එකල මේ ලේඛකයාට පිටරට සිට පැමිණි ඥාතියකු විසින් දෙන ලද තෑග්ගක්‌ අසුරා තිබූ පොලිතින් කවරය සිය ප්‍රථම පොලිතින් අත්දැකීම වූ අතර බොහෝ කාලයක්‌ යන තුරා එය සුරැකි ව තබාගන්නා ලදී. එකල ද ඇසුරුම්කරණයක්‌ වූ මුත් එය අද මෙන් අසීමිත ඇසුරුම්කරණයක්‌ නො වී ය.

අද පාන් ගෙඩියේ පටන් සියලු ම දෑ පොලිතින් ආශ්‍රිතව ඇසුරුම්කරණය වී ඇත. ඒ නිසා ගෙදරට බඩු ගෙනා විට පොලිතින් පොදියක්‌ ද එකතු වේ. එසේ ම එකල අද මෙන් අසීමිත ලෙස ආහාරය සදහා වෙළෝදපළ මත රදා පැවැත්මක්‌ ද නො විණි. උදාහරණයක්‌ ලෙස කුළු බඩු (තුන පහ, මිරිස්‌ කුඩු/කෑලි මිරිස්‌ ආදිය) ආදිය ගෙදරදීම සාදාගනු ලැබී ය. පිටි ද ගෙදර දී ම කොටාගනු ලැබී ය. රෑට කඩයෙන් මිල දී ගන්නා හොදි මාළු පිනි ආදිය පොලිතින් ඇසුරුම්වල දමාගෙන ගෙදර ගෙනැවිත් කෑමේ පුරුද්දක්‌ ද නො වී ය. තත්ත්වය ශීඝ්‍රයෙන් වෙනස්‌ වීමට පටන්ගත්තේ බටහිර 'සංවර්ධන' මායාව පසුපස හඹා යැම වේගවත් වීමත් සමග ය. 'සංවර්ධනය' අත්පත් කරගැනීමට දරන වෙහෙසත්, තරගයත් නිසා අවට හාත්පස සිදු වන්නේ කුමක්‌ ද යන්න පිළිබදව අපට සිහියක්‌ නැත. යෝනිසෝමනසිකාරය උපදවා ගන්නේ ම නැත.

ජාතියක්‌ ලෙස අපට වැරදුණ බව, වැරැදි පාරක ගමන් ගන්නා බව පිළිsගැනීමට අප සූදානම් විය යුතු ය. එවිට මුල දී යම් අපහසුතාවකට මුහුණ දුන්න ද විසඳුමකට එළඹීමට අපට හැකි වේ. පොලිතින් භාවිතයෙන් තොර වීමට අපට නොහැකි වී ඇත්තේ අපේ ජීවන රටාව ද අද ඒ සමග ම බැඳී ඇති බැවිනි. එම ජීවන රටාව වෙනස්‌ කරගැනීමට අප දක්‌වන අකැමැත්ත හේතුවෙනි.

අප දක්‌වන එම අකැමැත්ත අප තව තවත් බොරු වළවලට ඇද වැටීමට හේතු වේ. හරිත තාක්‌ෂණය (Green Technology) යන ලේබලය යටතේ හඳුන්වා දෙන විකල්ප අපව ඇද දමනුයේ නො සිතූ විරූ ආගාධයකට බව ඉතා ඉක්‌මනින් ම අප වටහාගත යුතු ය. මේ 'හරිත විකල්ප' මගින් අවසාන වශයෙන් සිදු වනුයේ මෙතෙක්‌ ෆොසිල ඉන්ධන භාවිතය නිසා සිදු වූ වායුගෝලීය දූෂණය වෙනුවට පස දූෂණය වීමට සැලැස්‌වීම ය. ජල මූලාශ්‍ර සහිත ජීවයේ පැවැත්ම රදා පවතින පස දූෂණය වීම වායු ගෝලය දූෂණය වීමට වඩා ඉතා භයානක ය. දීර්ඝ කාලීන විපාක ගෙන දෙන්නකි. ඒ අනුව අප ඉතා හොඳින් ම තේරුම්ගත යුතු ඉතා වැදගත් ම කරුණ නම් "ෆොසිල ඉන්ධන" මත පදනම් වූ ලෝකයට 'විකල්ප' නොමැති බව ය.

කුණු ප්‍රශ්නයට ඇති විසඳුම අපේ ජීවන ක්‍රමයේ ඇති කරගත යුතු වෙනසත් සමග තඳින්ම බැඳී පවතින බව අප ඉතා හොඳින් තේරුම්ගත යුතු ය. ඒ සදහා අප තබන අධිෂ්ඨානශීලී පියවර ඉර හද පවතින තුරු පවතින ජීවන ක්‍රමයක්‌ නැවතත් උදා කරගැනීමට තබන එක්‌ වැදගත් පියවරක්‌ වනු ඇත.

සංජීව විඡේසිංහ
වරලත් ඉංජිනේරු
ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය