logo3.gif (702 bytes)

HOME


විද්‍යා ප්‍රබන්ධය
බබළන්නෝ - 2 කොටස

පැය දෙකකට පස්‌සෙ මං හිටියෙ ඇල්ප්ස්‌ කඳුකරේට උඩින් පියාසර කරමින්. මගේ පවුලේ අයට රේඩියෝ මගින් සමුගැනීමේ පණිවිඩයක්‌ යවන ගමන් මං කල්පනා කරේ, විචාර බුද්ධිය තියන අනිත් ස්‌විස්‌ ජාතිකයෝ වගේ මාත් බැංකුකරුවෙක්‌ උනේ නැත්තේ හරි, අත් ඔරලෝසු ව්‍යාපාරයට සම්බන්ධ උනේ නැත්තේ හරි ඇයි කියලයි. ඒක තනිකර ම පිකාඩ් සහ හෑන්ස්‌ කෙලර් ගේ වැරැද්ද. මං මට ම තරහින් කියාගත්ත. ලෝකෙ මෙච්චර රටවල් තියෙද්දි ඒගොල්ලන්ට ස්‌විට්‌සර්ලන්තෙ ම මේ ගැඹුරු මුහුදත් එක්‌ක ඔට්‌ටු වෙන සම්ප්‍රදාය පටන්ගන්න ඕනි උනේ ඇයි? පණිවිඩේ යවල ඉවර වෙලා මම ටිකක්‌ නිදාගන්න හරිබරි ගැහුණ. ඉස්‌සරහට එන දවස්‌වල දී ඇති තරං නින්දක්‌ ලබාගන්න වෙන එකක්‌ නැහැයි කියල මං දැනං හිටිය.

පාන්දර පහු උන ගමන් ම වගේ අපි ත්‍රිකුණාමලේට ගොඩබැස්‌සා. භූගෝලීය පිහිටීම මට කවදා වත් හරියට ම ප්‍රගුණ කරගන්න බැරි උන, තුඩු, දූපත්, එකිනෙකට සම්බන්ධ ජල මාර්ග සහ ලෝකේ තියෙන සියලු ම නාවික හමුදාවන් රඳවල තියාගන්න පුළුවන් තරමේ විශාල ගංගාධරයන් ගෙන් සමන්විත අති විශාල වගේ ම සංකීර්ණ වරාය මට පෙනුණේ එක ම අවුල් ජාලාවක්‌ වගේ. සුදු පාට ලොකු පාලන ගොඩනැගිල්ල තරමක්‌ විචිත්‍ර ගෘහ නිර්මාණ ශෛලියකට අනුව, ඉන්දියන් සාගරයට පිටුපාන ආකරයට, තුඩුවක ගොඩනංවල තියනව දැකගන්න පුළුවන් උනා.

වැඩබිම සම්පූර්ණයෙන් ම වගේ ලොකු ප්‍රචාරණ ගුණ්‌ඩුවක්‌. ඒත් මං රුසියානුවෙක්‌ උනා නං මං ඒකට කියනව ඇත්තේ, "මහජන සබඳතා වැඩිදියුණු කරගැනීම" කියල.

මං මගේ ගනුදෙනුකරුවන්ට දොස්‌ කියනව එහෙම නෙවෙයි. ඒ අයට මේ ව්‍යාපෘතිය ගැන ආඩම්බර වෙන්න ලොකු හේතුවක්‌ තිබ්බ. සාගරයේ එක්‌රැස්‌ වෙලා තියන තාප ශක්‌තිය ප්‍රයෝජනයට ගන්න දැනට දරල තියෙන දැවැන්ත ම වගේ ම ගොඩක්‌ දෙනා බලාපොරොත්තු තියාගෙන ඉන්න උත්සාහය තමයි මේ. හැබැයි මේක මේ වගේ දෙයක්‌ කරන්න හදපු පළවෙනි වතාව නෙවෙයි. එක්‌ දහස්‌ නව සිය තිස්‌ ගණන්වල ප්‍රංශ විද්‍යාඥයෙක්‌ වෙච්ච ජෝර්ඡ් ක්‌ලෝඩ් මේ දේට අසාර්ථක උත්සාහයක්‌ දරල තියනව. එක්‌ දාස්‌ නව සිය පනස්‌ ගණන්වල අප්‍රිකාවේ බටහිර වෙරළෙ අබිජාන්වල ඊට වඩා ලොකුවට කරපු ව්‍යාපෘතියත් අසාර්ථක උනා.

මේ හැම ව්‍යාපෘතියක්‌ ම ප්‍රයෝජනයට ගත්තේ එක ම පුදුමාකාර සංසිද්ධියක්‌. නිවර්තන කලාපෙ දි උනත් හැතැක්‌මක්‌ ගැඹුරෙ දි මුහුදේ තියෙන්නෙ අයිස්‌ මිදෙන උෂ්ණත්වයට කිට්‌ටු උෂ්ණත්වයක්‌. ජලය ටොන් බිලියන ගානක්‌ සැලකිල්ලට ගත්ත ම මේ උෂ්ණත්ව වෙනස අති විශාල ශක්‌ති ප්‍රමාණයක්‌ සහ බලශක්‌ති අර්බුදයෙන් පීඩා විඳින රටවල්වල ඉංජිනේරුවන්ට ඉස්‌තරම් අභියෝගයක්‌ සපයනව.

ක්‌ලෝඩ් සහ ඔහු ගේ අනුප්‍රාප්තිකයන් මේ ශක්‌තිය ලබාගන්න උත්සහ කරේ අඩු පීඩන වාෂ්ප එන්ජින් පාවිච්චි කරලා. රුසියානුවෝ මේකට පාවිච්චි කරල තිබ්බේ ඊට වඩා සරල සහ Rජු ක්‍රමවේදයක්‌.

එක අග්‍රයක්‌ රත් කරල අනෙත් අග්‍රය සිසිල් කරොත් ගොඩක්‌ ද්‍රව්‍ය තුළින් විදුලි දහරාවන් ගලා යනවයි කියන කාරණාව අපි අවුරුදු සීයකටත් වඩා වැඩි කාලයක්‌ තිස්‌සේ දැනගෙන හිටිය දෙයක්‌. එක්‌ දාස්‌ නව සිය හතළිස්‌ ගණන්වල ඉඳල රුසියානු විද්‍යාඥයො මේ "තාප විද්යුත් ආචරණය" ප්‍රායෝගික භාවිතයකට යොදාගන්න වැඩ කටයුතු කරමින් හිටිය. ඒ අය ගේ මුල් ම උපකරණ එච්චර කාර්යක්‌ෂම ඒව උනේ නැතත්, භූමිතෙල් ලාම්පුවල උණුසුමින් ගුවන් විදුලි යන්ත්‍ර දහස්‌ ගානකට බලය සපයන්න තරම් හොඳ තත්වෙක තිබුණ. ඒත් 1974 දී, ඒ අය තවමත් රහසක්‌ විදිහට තියාගෙන ඉන්න විශාල සොයාගැනීමක්‌ කරා. පද්ධතියේ සිසිල් පැත්තේ තාප විද්යුත් උපකරණ සවි කරේ මම. ඒ උනත් මං ඇත්තට ම ඒවා මොන වගේ ද කියල දැක්‌කේ නැහැ. ඒව තිබ්බේ මළ බැඳීම වළක්‌වන්න ගාපු තීන්තවලින් වැහිලා. මම දන්නෙ අන්තිමේ දි ඒවගෙන් ලොකු දැලක්‌ හැදුන කියල විතරයි. හරියට පරණ වාෂ්ප රේඩියේටර් ගොඩක්‌ එකට පුරුද්දව්ව වගේ.

ත්‍රිකුණාමලය ගුවන් පථයේ මං එනකං බලාගෙන හිටිය පොඩි කණ්‌ඩායමේ වැඩි හරියක්‌ තිබ්බේ මං අඳුනන මුහුණු. සතුරු වේ වා, මිතුරු වේ වා ඒ අය හැමෝ ම මාව දකින්න කැමැත්තෙන් හිටිය බව පේන්න තිබ්බ. විශේෂයෙන් ම ප්‍රධාන ඉංජිනේරු ෂපිරෝ.

"ඉතින් ලෙව්, මොකක්‌ ද ප්‍රශ්නෙ?" අපි ස්‌ටේෂන් වැගන් රථයට නැගල පිටත් වෙන වෙලාවෙ මං ඇහැව්ව.

"අපි දන්නෙ නැහැ..." ඔහු ඇත්ත ම කිව්ව. "... ප්‍රශ්නෙ මොකක්‌ ද කියල හොයාගෙන ඒක හරිගස්‌සන එක තමයි ඔයා ගෙ වැඩේ."

"ඉතින් මොකක්‌ ද උනේ?"

"පූර්ණ බල පරීක්‌ෂාවලට එනකං හැම දේ ම නියමාකාරයෙන් සිද්ධ උනා. අගහරුවාදා පාන්දර 01.34 වෙද්දිත් ප්‍රතිදානයේ තිබ්බේ ඇස්‌තමේන්තු කරපු ප්‍රමාණයෙන් සියයට පහක වෙනසක්‌..." ඔහු එහෙම කිව්වෙ මූණ ඇඹුල් කරගෙන. අනිවාර්යයයෙන් ම ඒ වෙලාව ඔහු ගේ හිතේ තදින් ම කාවැදිල ඇති. "...ඊළගට වෝල්ටීයතාව බොහොම දරුණු විදිහට විචලනය වෙන්න පටන් ගත්ත. ඉතින් අපි විද්යුත් භාරය කපා හැරල මාපාංකයන් සෝදිසි කරල බැලුව. මං හිතව්වෙ කවුරු හරි බූරු නැව් කපිතාන් කෙනෙක්‌ කේබල්වල නැංගුරම පටලෝගෙන ඇති කියල. ඔයා දන්නව නෙ, ඒක එහෙම වෙන එක වළක්‌වගන්න අපි කොච්චර කරදර වින්ද ද කියල. ඉතින් අපි සර්ච් ලයිට්‌ පත්තු කරල මුහුද සෝදිසි කරල බැලුවා. පේන තෙක්‌ මානෙක නැවක්‌ තිබුන් නෑ. ඇරත්, පැහැදිලි අහසක්‌ තියන සන්සුන් රෑක වරායෙන් පිට නැංගූරම් දාන්න හදන්නෙ කවුද?

උපකරණ දිහා බලාගෙන දිගට ම අත්හදාබැලීම් කරනව ඇරෙන්න අපිට කරන්න වෙන කිසි ම දෙයක්‌ තිබුණෙ නෑ. අපි කාර්යාලයට ගියා ම මං ඔක්‌කොම ප්‍රස්‌ථාර ටික පෙන්නන්නං. විනාඩි හතරකට පස්‌සෙ හැම දේ ම විසන්ධි වෙලා ගියා. බිඳවැටීම උනේ කොතන ද කියල හරියට ම කියන්න අපිට පුළුවන්. ඒක වෙලා තියෙන්නෙ ගැඹුරු ම කොටසෙ, ජාලෙ තියන හරියෙමයි... ඒක අනිවාර්යයෙන් ම වෙලා තියෙන්නෙ ඕනි එහා කොනේ, නැතුව පද්ධතියේ මෙහා කොනේ නං නෙවෙයි." ජනේලෙන් එළිය දිහාට ඇගිල්ල දික්‌ කරන ගමන් ඔහු කනස්‌සල්ලෙන් කිව්ව.

අපි ඒ වෙලාවේ හිටියෙ සූර්ය පොකුණ පහු කරන ගමන්. සාම්ප්‍රදායික තාප එන්ජිමක බොයිලේරුවෙන් කෙරෙන වැඩේ මෙතන දි සිද්ධ උනේ ඒකේ ආධාරයෙන්. මේක රුසියානුවෝ ඊශ්‍රායෙල් ජාතිකයන් ගෙන් ණයට ගත්ත අදහසක්‌. සරලව කිව්වොත් ඒක සාන්ද්‍ර, කරදිය ද්‍රdවණයක්‌ පුරවපු, අඩිය කළු කරපු, නොගැඹුරු විලක්‌. ඒක බොහොම කාර්යක්‌ෂම තාප උගුලක්‌ විදිහට ක්‍රියා කරල සූර්ය තාපයෙන් ඒකෙ තියන ද්‍රවයේ උෂ්ණත්වය ෆැරන්හයිට්‌ දෙසීයකට කිට්‌ටු වෙන්න ඉහළ දානව. ඒ ද්‍රවයේ බඹ දෙකක්‌ ගැඹුරින් තමයි අගලක්‌ අගලක්‌ ගානේ තාප විද්යුත් පද්ධතියේ 'උණුසුම්' ජාලයන් ගිල්වල තියෙන්නේ. අති විශාල කේබල් ගොන්නකින් ඒව ඊට වඩා අංශක එක සිය පනහක්‌ ශීතලෙන් යුත් මට අයිති ඒකකයත් එක්‌ක සම්බන්ධ වෙනව. ඒක තියන්නෙ අඩි තුන් දාහක්‌ පහළිsන්, ත්‍රිකුණාමල වරායේ මුවවිට කිට්‌ටුවට ම එන මුහුද යට කුරුබිලිය පතුලේ.

"භූමිකම්පාවක්‌ උනා ද කියල ඔයාල පරීක්‌ෂා කරල බලන්න ඇති කියල මං හිතනව?" මම එහෙම ඇහැව්වෙ එච්චර බලාපොරොත්තු තියාගෙන නෙවෙයි.

"ඇත්තෙන් ම අපි එහෙම කරා. භූකම්පනමානයේ මොනාවත් පෙන්නුම් කරේ නෑ."

"එතකොට තල්මස්‌සු? උන් ගෙන් කරදර වෙන්න පුළුවන් කියල මං ඔයාට කලිනුත් අනතුරු අගවලයි තිබ්බෙ."

දකුණු ඇමෙරිකාව කිට්‌ටුව මුහුදෙ හැතැක්‌ම බාගයක්‌ ගැඹුරෙ තිබ්බ ටෙලිග්‍රාෆ් කම්බියක පැටලිල මැරිල හිටිය යෝධ තල්මහ ගැන දැනට අවුරුද්දකට විතර කලින්, ප්‍රධාන සන්නායක මුහුදේ එලන කාලෙ, මං ඉංජිනේරුවන්ට කියල තිබ්බ. ඒ වගෙ සිද්ධි දුසිමක්‌ විතර දැනට වාර්තා වෙලා තියනව. ඒත් පේන්න තිබ්බ විදිහට අපේ සිද්ධිය එහෙම එකක්‌ නෙවෙයි.

"අපිට ඊළගට කල්පනා උනෙත් ඒක ම තමයි..." ෂපිරෝ කිව්ව. "...අපි ධීවර දෙපාර්තමේන්තුවටයි, නාවික හමුදාවටයි, ගුවන් හමුදාවටයි කතා කරල බැලුව. වෙරළට කිට්‌ටුව කොහේ වත් තල්මස්‌සු හිටියෙ නෑ."

අන්න ඒ වෙලාවෙ දි තමයි මං හේතු අනුමාන කරන එක නවත්තල දැම්මේ. මොකද කියනව නං, අනිත් අය කතා වෙනව ඇහිච්ච දෙයකින් මාව ටිකක්‌ ගැස්‌සිල ගිය නිසා. අනිත් හැම ස්‌විස්‌ ජාතිකයෙක්‌ට වගේ ම මටත් භාෂා තේරුම්ගැනීමේ හොඳ හැකියාවක්‌ තියනව විතරක්‌ නෙවෙයි, රුසියානු වචනවලින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ අල්ලගන්නත් මට පුළුවන් වෙලා තියනව. ඒ කොහොම උනත් 'සැබොටාෂ්' කියන වචනෙ තේරුං ගන්න කෙනෙක්‌ වාග් වේදියෙක්‌ වෙන්න ම ඕනි නෑ.

ඒක කිව්වෙ ව්‍යාපෘතියේ දේශපාලන උපදේශක දිමිත්රි කාර්පකින්. මට ඔහු ගැන පැහැදීමක්‌ තිබ්බෙ නැහැ. අනිත් ඉංජිනේරුවොත් ඔහුට කැමති උනේ නැහැ. ඒ නිසා ම සමහර වෙලාවල දි ඒ අය ඔහුට සැලකුවේ ඕනෑවටත් වඩා අවිනීත විදිහට. ස්‌ටාලින් ගේ හෙවනැල්ලෙන් එහෙමපිටින්ම ගැලවෙන්න බැරි උන පරණ තාලෙ කොමියුනිස්‌ට්‌කාරයන් ගෙන් කෙනෙක්‌ වෙච්චි ඔහු සෝවියට්‌ සංගමයෙන් පිටත තිබ්බ හැම දෙයක්‌ දිහා මයි, සෝවියට්‌ සංගමේ ඇතුළෙ තිබ්බ දේවල්වලින් වැඩි හරියක්‌ දිහායි බැලුවෙ සැකෙන්. 'කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌' කියන්නේ ඔහු ගොඩක්‌ ම කැමති වෙන විදිහෙ පැහැදිලි කිරීමක්‌.

ඇත්ත ම කියනව නං, ත්‍රිකුණාමල විදුලි ව්‍යාපෘතිය අසාර්ථක වීම ගැන දුක්‌ වෙන්නෙ නැති ගොඩ දෙනෙක්‌ හිටිය. දේශපාලනමය වශයෙන් බැලුව ම සෝවියට්‌ සංගමයේ ගෞරවය මේ එක්‌ක බැඳිල තිබ්බ. ආර්ථිකමය වශයෙන් බැලුව ම බිලියන ගානක්‌. මොකද, ජලතාප බලාගාර සාර්ථකයි කියල ඔප්පු උනොත් ඒවට තෙල්වලට, ගල්අගුරුවලට, ජල විදුලියට වගේ ම විශේෂයෙන් ම න්‍යෂ්ටික බලයට තරගයක්‌ දෙන්න පුළුවන් නිසා.

ඒ උනත් මේක කඩාකප්පල්කාරී වැඩක්‌ වෙන්න ඇති කියල මම තාමත් විශ්වාස කළේ නැහැ. අනික, මේ වෙත්දි සීතල යුද්ධෙත් ඉවර වෙලා. හැබැයි ජාලයෙන් කොටසක්‌ නියෑදියක්‌ විදිහට කඩා ගන්න කවුරු හරි ඔලමොට්‌ටල විදිහට උත්සාහ කරා වෙන්න පුළුවන්. ඒත් ඒක උනත් වෙන්න පුළුවන් කියල හිතන්න බැහැ. ඒ වගේ වැඩකට අතගහන්න පුළුවන් අය හිටියේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්. එයිනුත් බාගයක්‌ දෙනා මගෙන් පඩි ගන්න උදවිය.

දිය යට ක්‍රියා කරන කැමරාව එදා හවස ම ගෙනාව. රෑ එළි වෙනකං වැඩ කරල අපි කැමරා, මොනිටර වගේ ම සන්නිවේදන කේබල් හැතැක්‌මක්‌ විතරත් යාත්‍රාවකට පටවගත්ත. අපි වරායෙන් පිටත් වෙන වෙලාවේ, කලින් හොඳට දැකල පුරුදු කෙනෙක්‌ ජැටියේ හිටගෙන ඉන්නව මං දැක්‌ක. ඒත් මම හිටියේ ඒ කවුද කියල හරියට ම කියන්න බැරි තරම් දුරිනුයි. අනිත් අතට ඒ වෙලාවේ මගේ ඔළුවේ වෙන අදහස්‌ ටිකක්‌ වැඩ කර කරයි තිබ්බේ. ඔබට දැන ගන්න ම ඕනිනං මම කියන්නං. මම හොඳ නැවියෙක්‌ නෙවෙයි. මම ඇත්තට ම තෘප්තිමත් මුහුද යට දි විතරයි.

(මතු සම්බන්ධයි)

(ආතර් සී. ක්‌ලාක්‌ විසින්, 1962 දී රචිත ''The Shining Ones'' කතාවේ අසංක්‌ෂිප්ත සිංහල පරිවර්තනයකි)

පරිවර්තනය

කෝසල තෙන්නකෝන්

විදුසර සටහන ( මේ පරිවර්තනයෙහි ජීවමාන ගුණයට හානියක්‌ නො වීම පිණිස, ලේඛකයා ගේ භාෂා ශෛලිය ඒ අයුරින් ම පාහේ (ව්‍යාකරණමය සංස්‌කරණ ඉතා අවම ව) ඉදිරිපත් කර ඇත.