logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ක්‌වොන්ටාවේ කතාව 26
යින් - යැංග් ක්‌වොන්ටම් ලෝකයට?

හයිසන්බර්ග් අවිනිශ්චිතතා මූලධර්මය ගොඩනගන කාලයේ ම නිවාඩුවක්‌ සඳහා නෝර්වේ ගොස්‌ සිටි බෝර් ද අංශු-තරංග ද්විත්ව හැසිරීම පැහැදිලි කිරීමට මගක්‌ සොයමින් සිටියේ ය. ඔහු සිය අනුපූරකතා මූලධර්මය (Complementary Principle) ගොඩනැගූවේ ඒ සඳහා ය. ක්‌වොන්ටම් සංසිද්ධිවල දී අංශු තරංග ද්විත්ව හැසිරීම බෝර් පිළිගත්තේ ය. ස්‌ථානීය අංශුව හා විසිරී ගිය තරංගය ප්‍රතිවිරුද්ධ ගුණයන් ගෙන් යුක්‌ත ය. මේ ප්‍රතිවිරුද්ධ ගුණයන් දෙක වෙළී පවතී. එකක්‌ අනෙකට වඩා මූලික ද නො වේ. පූර්ණ පැහැදිලි කිරීමක්‌ සඳහා මේ ප්‍රතිවිරුද්ධ ගුණ දෙක ම අවශ්‍ය වේ. එය එක ම කාසියේ පැති දෙකක්‌ මෙනි. අපට යම් නිරීක්‌ෂණයක්‌ මගින් මේ ප්‍රතිවිරුද්ධ ගුණවලින් ග්‍රහණය වන්නේ එකක්‌ පමණි. ඉලෙක්‌ට්‍රොaන එක්‌කෝ තරංගයක්‌ ලෙස අපි දකිමු නැතිනම් අංශු ලෙස අපි දකිමු. කිසිදු පරීක්‌ෂණයකින් අංශු තරංග ගුණ දෙක එක වර ඉලෙක්‌ට්‍රොaනයකින් දිස්‌ විය නොහැක්‌කේ ඒ ගුණ දෙක ප්‍රතිවිරුද්ධ බැවිනි. ඉලෙක්‌ට්‍රොaනය යනුවෙන් අංශු තරංග දෙකට ම යටින් දිවෙන ආකාරගත පැවැත්මක්‌ නැත. බෝර් මෙසේ අතරමැදි තැනකට පැමිණ හයිසන්බර්ග් හා ෙෂ්‍රාaඩිංගර් ගේ විරසකය සමනය කරන්නට උත්සාහය කළේ ය.

හයිසන්බර්ග් ගේ අවිනිශ්චිතතා මූලධර්මයට බෝර් සංශෝධන ඉදිරිපත් කළා අපි දුටුවෙමු. කෙසේ වෙතත් අවිනිශ්චිතතා මූලධර්මය සිය අනුපූරකතා මූලධර්මයට තවත් සාක්‌ෂියක්‌ බව බෝර්ට පෙනී ගියේ ය. ඒ ගැන ඔහු සතුටු විය. ඉලෙක්‌ට්‍රොaනයේ පිහිටීමත් ගම්‍යතාවත් ප්‍රතිබද්ධයන් ලෙස බෝර් සැලකූවේ ය. ගුණ දෙක ම එක වර නිරීක්‌ෂණය කළ හැකි නො වේ. එහෙත් නිවැරැදි අර්ථයන් සඳහා මේ ගුණ දෙක ම ඒ ඒ සන්දර්භවල දී අවශ්‍ය වේ. හයිසන්බර්ග් නම් බෝර් ගේ අනුපූරකතාව පිළිගත්තේ නැත. "යමකු ක්‌වොන්ටම්වල අංශු තරංග දෙක ම පවතී යෑයි කියන්නේ නම් ඔහුට සියල්ල සංගත කළ හැකියි" හයිසන්බර්ග් උපහාසාත්මක ලෙස ලීවේ ය.

බෝර් ගේ අනුපූරකතා මූලධර්මය අනුව ඉලෙක්‌ට්‍රොaනවල හෝ ආලෝකයේ අංශු තරංග ද්විත්ව හැසිරීම පිළිගත යුතු අතර, නිරීක්‌ෂණ තේරුම්ගැනීමට එම ගුණ දෙක ම අවශ්‍ය වේ. එමෙන් ම මේ ගුණ දෙක ම එක වර නිරීක්‌ෂණය කිරීම සිදු කළ නොහැකි ය. ආලෝකයේ වර්තනය, විවර්තනය වැනි ගුණවල දී (එක සන්දර්භයක දී) එය තරංගයක්‌ මෙන් ද, ප්‍රකාශ විද්යුත් ආචරණයේ දී (වෙනත් සන්දර්භයක දී) අංශු ප්‍රවාහයක්‌ මෙන් ද හැසිරේ. එනම්( අපේ පරීක්‌ෂණය මත හැසිරීම තීරණය වේ. වැදගත් වන්නේ අප කරන්නේ කිනම් පරීක්‌ෂණයක්‌ ද යන්නයි. හයිසන්බර්ග් කියන ලෙස හුදු නිරීක්‌ෂණය නිසා ක්‌වොන්ටම් සංසිද්ධි කැලඹේ ය යන්න බෝර් ද පිළිගත්තේ ය. "සාමාන්‍ය ලෝකයේ අප ගේ උපකල්පනය වන්නේ අප යම් සංසිද්ධියක්‌ නිරීක්‌ෂණය කරන විට එම සංසිද්ධිය අප ගේ නිරීක්‌ෂණය නිසා වෙනස්‌ නො වන බවයි. එහෙත් ක්‌වොන්ටම් ලෝකයේ කිසිදු නිරීක්‌ෂණයක්‌ අදාළ සංසිද්ධියට බාධාවක්‌ නො කොට සිදු කළ නොහැකි ය" බෝර් ලීවේ ය.

කෙසේ වෙතත් බෝර්ට අනුව මූලික වන්නේ කුමක්‌ නිරීක්‌ෂණය කිරීමට (තරංග ගතිය හෝ අංශු ගතිය, පිහිටීම හෝ ගම්‍යතාව) කිනම් පරීක්‌ෂණයක්‌ තෝරාගන්නේ ද යන්නයි. විශේෂයෙන් ම එහි දී මිනුම් උපකරණයේ ක්‍රියාව වැදගත් වේ. පිහිටීම නිරීක්‌ෂණය කිරීම, එනම්( ඒ සඳහා වූ උපකරණය (සන්දර්භය) තෝරාගත් විට එමගින් ගම්‍යතාව ලෙසින් ගුණයක්‌ නිර්ණය නො වේ. එනම්( එම සන්දර්භයට සාපේක්‌ෂව ඉලෙක්‌ට්‍රොaනයට ගම්‍යතාව නම් ගුණයක්‌ නොමැත.

බෝර් මේ සඳහා උදාහරණයක්‌ දුන්නේ ය. පිහිටීම නිවැරැදිව මැනීමට නම්, එම මිනුම් උපකරණය නිශ්චල විය යුතු අතර ගම්‍යතාව මැනීමට උපකරණයට චලිත වීමට ඉඩ තිබිය යුතු වේ. එබැවින් ඒ දෙක ම එක වර කළ නොහැකි බව පැහැදිලි ය. ඒ පරිදි ම විවර්තන රටා නිරීක්‌ෂණය කිරීම තෝරාගත් විට අංශුමය හැසිරීම අහෝසි වේ. ප්‍රමුඛ වන්නේ අප ගේ තෝරාගැනීම ය. බෝර් ගේ අදහස එයයි. මෙය පෙන්වා දෙන්නේ අප ගේ විදීම්වල සන්දර්භයට ඇති සාපේක්‌ෂ බව ය. ලෝකය ලෙස වූ ගොඩනැංවීම එය සිදු කරන සන්දර්භයට අනුව වෙනස්‌ වේ. එහි සන්දර්භ විනිවිද යන යථාර්ථයක්‌ නොමැත. අංශුවට හා තරංගයට යටින් ඇති ඉලෙක්‌ට්‍රොaනය නම් වෙනස්‌ නො වන යථාර්ථයක්‌ නැත.

පෙර ලිපිවල අප දුටු පරිදි සිරස්‌ බැමුම පවතින විට තිරස්‌ බැමුම අර්ථ නො දැක්‌වේ. එනම් සිරස්‌ බැමුම මැනීම නිරූපනය කරන හර්මිෂියන් න්‍යාසයේ (M) හා තිරස්‌ බැමුම මැනීම නිරූපනය කරන හර්මිෂියන් න්‍යාසයේ (N) ගුණිතය න්‍යාදේශ්‍ය න්‍යායට එකඟ නො වේ. අනෙක්‌ අතට MN ≠ NM නම්, M (සිරස්‌ බැමුම මැනීම) මගින් නිශ්චිත ප්‍රතිඵලයක්‌ දෙන අවස්‌ථාවක්‌ (උදා( පහළට බැමුම, |D〉) සඳහා, N (තිරස්‌ බැමුම මැනීම) මගින් නිශ්චිත ප්‍රතිඵලයක්‌ නො දේ. එනම් එම ගුණ සෛද්ධාන්තික ව ම එක වර නො පවතී. වෙන වෙනස්‌ සන්දර්භවල දී ඒවා අර්ථ දැක්‌වේ. සිරස්‌ බැමුම නිරීක්‌ෂණය (මැනුම) කරනු ලබන ක්‍රියාවේ දී තිරස්‌ බැමුමක්‌ හඳුනා නො ගැනේ. එනම් ඉලෙක්‌ට්‍රොaනයේ සිරස්‌ බැමුම යනු මේ සිරස්‌ බැමුම නිර්ණය කිරීම සඳහා වූ නිශ්චිත නිරීක්‌ෂණයේ ප්‍රතිඵලයක්‌ ද වන අතර ඒ සිරස්‌ බැමුම නිරීක්‌ෂණයෙන් ස්‌වාධීනව පවතින ඉලෙක්‌ට්‍රොaනයට පමණක්‌ අයිති ගුණයක්‌ නො වේ. නිරීක්‌ෂණය මගින් ගුණ තීරණය වේ.

මෙහි දී වැදගත් දෙයක්‌ නම් බෝර්ට අනුව පිහිටීම නිරීක්‌ෂණය කරන විට ගම්‍යතාවට අර්ථයක්‌ නැත. ගම්‍යතාව නිරීක්‌ෂණය කරන විට පිහිටීම යන්නට අර්ථයක්‌ නැත. එහෙත් හයිසන්බර්ග් ගේ අවිනිශ්චිතතා මූලධර්මයෙන් කියන්නේ පිහිටීම හා ගම්‍යතාව යම් දෝෂයන් සහිත ව එක වර පවතින බවයි. පිහිටීම 100%ක්‌ නිවැරැදි විට පමණක්‌ ගම්‍යතාව අර්ථ නො දැක්‌වේ. (අවිනිශ්චිතතා මූලධර්මය = P Q ≥ h/2, P ගම්‍යතාවේ දෝෂය හා Q පිහිටීමේ දෝෂය වේ.) මේ අනුව එක්‌ දෝෂයක්‌ අඩු කරනන්ට උත්සාහ කරන විට අනෙක්‌ දෝෂය වැඩි වේ. එක දෝෂයක්‌ ශුන්‍ය කළ හොත් අනෙක්‌ දෝෂය අපරිමිත වේ. එහෙත් මේ අනුව දෝෂයන් සහිත P සහ Q එක වර පවතින අවස්‌ථා පවතී. එහි දී අනුපූරක ගුණ එක වර පවතින්නේ ද? කෙසේ වුවත් එවිට ඒ ගුණ දෙක ම නිශ්චිත නො වනවා ලෙස සැලකිය හැකි ය. එකක්‌ නිශ්චිත වන විට එහි අනුපූරක ගුණය නො පවතිනවා යන බෝර් ගේ මතයට ඉන් බාධාවක්‌ නැත.

බෝර්ට ඔහු ගේ අනුපූරකතා මූලධර්මය ගොඩනැගීමේ දී චීන තාවෝවාදයේ එන යින්-යැංග් (yin-yang) සංකල්පයෙන් ආභාෂය ලැබී ඇති බව කියවේ. ඔහු 1947 දී ත්‍යාග ප්‍රදාන උත්සවයකට ඇඳ සිටි කබායේ අතේ මුද්‍රණය කොට තිබුණේ යින්-යැංග් සංකේතයයි. කෝපන්හේගන් සරසවියේ ඇති බෝර් ගේ ප්‍රතිමාවේ ද ඒ සංකේතය කොටා ඇත. මේ යින්-යැංග් සංකල්පයෙන් කියවන්නේ කුමක්‌ ද? එහි දී ස්‌වභාවයේ ක්‍රියාවල චක්‍රීයභාවය පිළිගන්නා අතර, ක්‍රියාවලිය තුළ අන්ත දෙකක්‌ ගොඩනැෙගන බව ද හඳුනාගැනේ. යම් තැනකින් පටන්ගෙන උපරිමයකට ගොස්‌ නැවත මුල් ස්‌වභාවයට පැමිණේ. යින් අන්තයෙන් පටන්ගෙන යින්හි උපරිමයට යනවා යනු යැංග්හි ඇරඹුමයි. එසේ වෙනස්‌ වෙමින් යැංග්හි උපරිමයට පැමිණේ. යැංග්හි උපරිමය යනු යින්හි ඇරඹුමයි. මෙසේ චක්‍රීය ලෝකය තුළ යින්-යැංග් වෙළී ඇති අතර විටෙක දෙකෙන් එකක්‌ සාපෙක්‌ෂ ව ප්‍රමුඛ වේ.

යින්-යැංග් මාක්‌ස්‌ ගේ දයලෙක්‌තිකයේ මෙන් එකක (ප්‍රතිවිරුද්ධයේ) ජයෙන් කෙළවර වන රේය ගැලීමක්‌ නො වේ. අනිත්‍ය වූ ප්‍රපංචවල ඇත්තෙන් ම සියලු ප්‍රපංචවල ප්‍රතිවිරුද්ධයන් (එය නො වන දේ) එකට පැවතීම සඳහා වූ තර්ක ක්‍රම ද ඇත. එවන් ප්‍රපංච වෙනස්‌ සන්දර්භයක්‌ තුළ දත යුතු අතර එවන් ප්‍රපංචවලට රූපික ද්විකෝටික තර්කය යෙදීමෙන් හෙවත් එක්‌ ආකාරයක හෙවත් ස්‌ථිතික පැවැත්මක්‌ පමණක්‌ ඇතැයි ගැනීමෙන් විසංවාදයක්‌ පැනනගී. සන්තතිකතාවයේ දී යම් ක්‌ෂණයක දී වුව අකාරගත පැවැත්මක්‌ ගැන කතා කළ නොහැකි අතර කාල අවකාශ ක්‌ෂණයක පවා අප සලකන පැවැත්මත් එහි ප්‍රතිවිරුද්ධයත් (එය නො වන දේත්) එකවර පවතී යන්න විසංවාදයෙන් ගොඩ ඒමේ එක්‌ මඟකි. එය වෙන ම සාකච්ඡා කළ යුක්‌තකි.

කෙසේ වුවත් මෙහි වෙනසක්‌ ඇත. යින්-යැංග්හි දී ලෝකයේ සන්තතික වූ ගතිකත්වය සලකන අතර එය ප්‍රපංචවල චක්‍රීය වූ දෝලනය පිළිබඳ වේ. එහි දී යින් හා යැංග් නමින් යම් අන්ත දෙකක්‌ ද අප සාපෙක්‌ෂ ව වෙන් කරගෙන ඇත. එමෙන් ම යින් අන්තයට (ප්‍රමුඛ වීමට) එළඹුණ විට පවා පද්ධතියේ යැංග් ගුණය ගැබ් ව පවතියි. යින්-යැංග් සංකේතයේ (☯) සුදු සහ කළු කුඩා රවුම්වලින් දැක්‌වෙන්නේ එය ය. අන්තවලට දෝලනය වුවත් සමස්‌තයේ ගුණ සීඳී නො යන බව මින් නිරූපනය වේ. යින්-යැංග් එසේ ගතිකත්වය තුළ ව්‍යqහ, අනන්‍යතා ගොඩනැගීම සමස්‌තයේ ප්‍රතිඵලයක්‌ බවත් ඌනතිවාදයට එහි තැනක්‌ නොමති බවත් කියා දේ. භෞතික විද්‍යාවේ යාන්ත්‍රික ඌනතිවාදී දැක්‌ම යින්-යැංග්ට ප්‍රතිවිරුද්ධ වේ. බෝර් ගේ අනුපූරකතා මූලධර්මයේ කියන්නේ අසන්තතික ගුණ යුගලයන් පිළිබඳව වන අතර ඒ එක්‌ හඳුනාගැනීමක්‌ අනෙක බවට සන්තතිකව වෙනස්‌ නො වේ. ගම්‍යතාව හා පිහිටීම එකක්‌ අනෙක බවට පත් වන ගුණයන් නො වේ. එසේ ඒ ගුණ අතර ගතිකත්වයක්‌ නොමැති අතර කුමන ගුණයක්‌ නිරීක්‌ෂණය වේ ද යන්න නිරීක්‌ෂණයේ ස්‌වභාවය මත තීරණය වේ. එමෙන් ම බෝර් ගේ අනුපූරකතා මූලධර්මයේ ගම්‍යතාව අර්ථදැක්‌වෙන විට පිහිටීම නම් ගුණය නො පවතී. එහෙත් යින්-යැංග්හි එක්‌ අන්තයක දී වුව එහි ප්‍රතිවිරුද්ධ ගුණය සමස්‌තයේ ගැබ් ව පවතී. එහෙයින් යින්-යැංග් සහ අනුපූරකතා මූලධර්මය යනු වෙනස්‌ ම වූ සන්දර්භ තුළ ගොඩනැගුණු වෙනස්‌ ආකෘතීන් දෙකක්‌ බව පැහැදිලි ය. ඒවා එකිනෙක සංසන්දනය කළ නොහැකි ය.

ලබන සතියේ : 27 කොටස : අප නොබලන විට ලෝකය නො පවතී ද?

සමිත ප්‍රසන්න හේවගේ