logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


දුම්රියේ අලින් ගැටීම වැළැක්‌වීමට වනජීවී භාරයෙන් ඉලෙක්‌ට්‍රොනික පද්ධතියක්‌

(ධාවක රාජසිංහ)

දුම්රියවල අලින් ගැටීම වළක්‌වාලීමට සමත් උපක්‍රම සමූහයකින් සමන්විත ස්‌වයංක්‍රීයකෘත (automated) ඉලෙක්‌ට්‍රොනික පද්ධතියක්‌ වනජීවී භාරය විසින් සැලසුම් කරනු ලැබ ඇත. මෙහි මුල් ම ඒකකය අද දින (15) මන්නාරම් දුම්රිය මාර්ගයේ ප්‍රකට අලිමංකඩක්‌ වන සෙට්‌ටිකුලම් ප්‍රදේශයේ 263 වැනි කිලෝමීටර කණුව ආසන්නයෙහි සවි කිරීමට නියමිත බව වනජීවී භාරයේ අධ්‍යක්‌ෂ සී. සී. හිදැල්ලආරච්චි මහතා විදුසරට පැවසී ය.

පසුගිය කාලය පුරාවට ම දුම්රියේ අලින් ගැටීමේ සිදුවීම් වාර්තා වූ අතර මෙයින් සිදු වූ හානි අලින්ට, දුම්රියට පමණක්‌ නො ව සමස්‌ත ජාතික නිෂ්පාදන ඵලදායිතාවට ම වක්‍ර ලෙස බලපෑ බව හිදැල්ලආරච්චි මහතා කරුණු සහිතව පෙන්වා දුන්නේ ය. නිදසුනක්‌ ලෙස අලින් ගැටීමේ සිදුවීම් බහුලව වාර්තා වන උතුරු දුම්රිය මාර්ගයේ අලිමංකඩවල් ආශ්‍රිත ප්‍රදේශවල දුම්රිය ධාවනය කෙරෙන්නේ යා හැකි වේගයෙන් හරි අඩක වේගයෙනි. මේ නිසා දෛනිකව රැකියාවලට යන ජනයා සේවයට වාර්තා කිරීමේ පමාවක්‌ සිදු වේ. රැකියාවල නියුතු 2000ක පමණ පිරිසක්‌ එක්‌ දුම්රියක ගමන් කරන්නේ යෑයි සැලකුව හොත් ඔවුන් සියලු දෙනා ම එම පමාව පියවාගැනීමට අමතර කාලයක්‌ සේවය කළේ නම් ඒ වෙනුවෙන් අමතර අතිකාල දීමනාවක්‌ ගෙවීමට සේවා ස්‌ථානවලට සිදු වේ. මීට අමතරව දුම්රිය එන්ජින්වලට බරපතළ හානි සිදු වූ අවස්‌ථා වාර්තා වී ඇත.

දුම්රියේ අලින් ගැටීම වළක්‌වාගැනීම සඳහා මීට පෙර ගත් කිසිදු පියවරක්‌ ස්‌ථිරසාර වූයේ නැති බව පෙන්වා දුන් හිදැල්ලආරච්චි මහතා තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය යටතේ ඇති ආයතනයක්‌ වන වනජීවී භාරය හඳුන්වා දෙන ඉලෙක්‌ට්‍රොනික පද්ධතිය මේ සඳහා අතිශයින් ම තිරසාර හා සාර්ථක පිළියමක්‌ බව මූලික අත්හදාබැලීම්වල දී තහවුරු වී ඇති බව පැවසී ය.

සොබාදහම සංරක්‌ෂණය උදෙසා ප්‍රජාව දැනුම්වත් කිරීම සහ ඒ ආශ්‍රිත ගැටලුවලට තිරසාර පිළියම් ගවේෂණය අරමුණු කරගෙන 1993 වසරේ දී පිහිටුවන ලද වනජීවී භාරය භාණ්‌ඩාගාරයෙන් ප්‍රතිපාදන නො ලබන රාජ්‍ය ආයතනයක්‌ වන අතර එහි වියදම් පියවාගනු ලබන්නේ අරමුදලකින් ලැබෙන සීමිත පොලී මුදලකිනි. එවැනි සීමිත පහසුකම් යටතේ මෙවැනි ජාතික ගැටලුවකට තිරසාර විසඳුමක්‌ දීමට සිය ආයතනයට හැකි වීම විශාල ජයග්‍රහණයක්‌ බව හිදැල්ලආරච්චි මහතා සඳහන් කර සිටියේ ය.

Railway Elephant Accident Prevention (REAP) System නමින් හැඳින්වෙන නව ඉලෙක්‌ට්‍රොනි පද්ධතිය සැලසුම් කිරීමේ කටයුතු අරඹා තිබෙන්නේ මීට මාස 8කට පමණ පෙර ය. ව්‍යාපෘති ඉංජිනේරු ඉරෝෂ පෙරේරා මහතා මේ සඳහා අවශ්‍ය තාක්‌ෂණික දැනුම සපයා තිබේ.

ඉරෝෂ පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් උතුරු දුම්රිය මාර්ගයේ aඅලින් බියකින් තොර ව වැඩියෙන් ගැවසීමට එක්‌ හේතුවක්‌ ලෙස දුම්රිය ගමන් කිරීමේ දී පෙර මෙන් දෙදරුම් හඩක්‌ නො නැගීම පෙන්වා දුන්නේ ය. නවීකරණයෙන් පසු එහි රේල් පීලි පුරුද්දා ඇත්තේ අධි වේගයෙන් දුම්රිය ධාවනය වීමට උචිත ආකාරයෙනි. එහි ප්‍රසාරණ අන්තරය ලෙස හිස්‌ ඉඩක්‌ තබා නොමැති බැවින් දුම්රියක්‌ එන විට රේල් පීලි කම්පනය වීමෙන් නැගන හඩ අවම ය.

හඳුන්වා දෙනු ලබන නව ඉලෙක්‌ට්‍රොනික පද්ධතිය, දුම්රිය පැමිණෙන බව හඳුනාගැනීමට සමත් කම්පන සංවේදකයකින්, අලින් (හෝ වෙනත් ඕනෑ ම අඩි 6ක උස මට්‌ටමක්‌ ඇති චලනය වන වස්‌තුවක්‌) ගැවසෙන බව හඳුනාගැනීමට සමත් ලේසර් උපකරණ ශ්‍රේණියකින්, එවැනි හඳුනාගැනීමක්‌ සිදු වුව හොත් ඒ බව දැනගෙන අලින් පලවාහැරීමට ක්‍රියාත්මක වන අවවනික (infrasonic) සහ අතිවනික ((ultrasonic) ශබ්ද සංඛ්‍යාත නිකුත් කරන උපකරණ ශ්‍රේණියකින් සහ අවධානයෙන් ධාවනය කරන ලෙස කල් තබා දුම්රිය රියදුරුට දැනුම් දෙන වර්ණ සංඥා පුවරුවකින් සමන්විත ය. මේ සියලු කටයුතු සම්බන්ධීකරණය හා පාලනය කෙරෙන ප්‍රධාන ක්‌ෂුද්‍ර පරිගණක පද්ධතියක්‌ සහ පද්ධතියට බලය සපයන සූර්ය පැනලයක්‌ ද ඊට ඇතුළත් ය. (මේ පද්ධතිය ක්‍රියා කරන ආකාරය ඇතුළත් ලිපියක්‌ අද පත්‍රයේ 9 වැනි පිටුවේ පළ වී ඇත).

මේ උපකරණ පද්ධතිය තැනීම සඳහා වැය වී ඇත්තේ රු. ලක්‌ෂ 6ක පමණ මුදලක්‌ පමණි. සිංහ සමාජය මේ මුදලින් කොටසක්‌ සඳහා අනුග්‍රහය දක්‌වා තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව අවශ්‍යතා සපයා දීමෙන් විශාල සහයෝගයක්‌ දක්‌වා ඇත.

මෙවැනි මුදලක්‌ හෝ වැය වූයේ අලින් ගැවසෙන ස්‌ථාන පිළිබඳව දත්ත එක්‌රැස්‌ කර සිතියම් සැකසීම, විද්‍යාගාර හා ක්‌ෂෙත්‍ර පරීක්‌ෂණ සිදු කිරීම වැනි මූලික කාර්යයන් ගණනාවක්‌ ම සිදු කළ යුතු ව තිබූ බැවින් යෑයි පවසන හිදැල්ලආරච්චි මහතා ඉදිරියේ දී සිදු කළ යුත්තේ උපකරණ මිල දී ගැනීම හා එකලස්‌ කිරීම පමණක්‌ බැවින් මේ වියදම තවත් අඩු වනු ඇතැයි පෙන්වා දුන්නේ ය. දුම්රිය දෙපාර්තමේන්තුව මෙහි ඉදිරි වියදම් දරනු ඇතැයි අපේක්‌ෂා කෙරෙයි.

මේ වන විට මේ පද්ධතිය සවි කිරීමට සුදුසු යෑයි හඳුනාගෙන ඇති රට පුරා පිහිටි සමස්‌ත දුම්රිය ගමන් මාර්ගයට අයත් තීරවල දිග එකතුව කිලෝමීටර 130කි. මේ සියල්ල ම පාහේ මහව දුම්රිය නැවතුම්පළින් ඔබ්බට උතුරු හා නැෙගනහිර දෙසට දිවෙන මාර්ග ආශ්‍රිත කලාප වේ. ඉන් කිලෝමීටර 43ක්‌ අලි මංකඩවල් හරහා දුම්රිය මග දිවෙන කලාප වන අතර කිලෝමීටර 87ක්‌ අලින් දුම්රිය මග අවට ගැවසෙන කලාප වේ. පළමුව සඳහන් කළ කිලෝමීටර 43 උපකරණ පද්ධතිය අත්‍යවශ්‍යයෙන් ම සවි කළ යුතු කලාප ලෙස තීරණය වී ඇත.

මේ පද්ධතිය නිසි අයුරින් ක්‍රියාත්මක වේ ද යන්න පරීක්‌ෂා කිරීම සිදු කර ඇත්තේ පින්නවල අලි අනාථාගාරය ආශ්‍රිත ව ය. මේ සඳහා දෙස්‌ විදෙස්‌ විද්‍යාඥන් පිරිසක්‌ ද සහභාගි වී ඇත.

මේ පද්ධතිය ඉදිරියේ දී වැඩිදියුණු කිරීමට ද හැකි වන අයුරින් නිමවීමට සැලකිලිමත් වූ බව පවසන ඉංජිනේරු ඉරෝෂ පෙරේරා මහතා අවශ්‍ය නම් මෙය දුම්රිය මග හරහා වැටී ඇති හරස්‌ මාර්ගවල සිදු වන පොදු අනතුරු වළක්‌වාගැනීමට ද ආදේශ කරගත හැකි බව පෙන්වා දෙයි.

විදුසර නැගූ පැනයකට පිළිතුරු දුන් ඉරෝෂ පෙරේරා මහතා ලෝකයේ වෙනත් රටවල සතුන් පලවාහැරීම සඳහා මෙවැනි ශබ්ද තරංග යොදාගන්නා නමුත් මෙවැනි බහුකාර්ය පද්ධතියක්‌ ලෙස එම පහසුකම උපයෝගි කරගනු ලබන්නේ පළමු වතාවට බවත් මෙහි පේටන්ට්‌ අයිතිය සඳහා දැනටමත් වනජීවී භාරය අයදුම් කර ඇති බවත් සඳහන් කර සිටියේ ය.