logo3.gif (702 bytes)

HOME


විදුපත් ඉරුව

මතුපිට ජලය හිඳී යද්දී මෙන්ම කාර්මිකකරණයෙන් මෙන්ම ජනාවාසකරණයෙන් ද නිපැදවෙන අපද්‍රව්‍ය නිසා භාවිතයට ගත හැකි මතුපිට ජල මූලාශ්‍ර අහිමි වෙමින් යයි. ලංකාවේ බොහොමයක්‌ ප්‍රදේශවල මේ වන විට ජල අවශ්‍යතාව සපුරාගන්නේ භූ අභ්‍යන්තරයේ රැඳුණ ජලයෙනි. මේ භූගත ජලය ලබාගැනීම සඳහා ඉවක්‌ බවක්‌ නොමැති ව නළ ළිං ඉදි කිරීම සිදු වෙයි. කළමනාකරණයකින් තොර ව නළ ළිං ඉදි කිරීම ශ්‍රී ලාංකික ජල සම්පතෙහි අනාගතය තව තවත් අඳුරු කරන්නට හේතු වන බව අප සිහි තබාගත යුතු ය.

භූගත ජලය පවතින්නේ භූගත ජල නිධිවල වන අතර එලෙස පවතින ආකාර දෙකකි. ඒ අනවහිරත ජල නිධි (unconfined aquifer) සහ අවහිරත ජල නිධි (confined aquifer) ලෙසිනි. මින් පළමුවැන්න බොහෝ විට පවතින්නේ නොගැඹුරු භූ අභ්‍යන්තරයේ වන අතර ජලය පවතින්නේ පාංශු ස්‌තර සහ ඒ හා ආසන්නයේ පවතින පාෂාණ කලාප අතර ය. මේ නිසා මේ ජල නිධිවල ජල මට්‌ටම කාලගුණයට අනුරූපීය ව උච්චාවචනය වේ. වර්ෂා කාලයේ දී වැඩි වන ජල මට්‌ටම ඉඩෝර කාලවල දී පහළ බසී. ශ්‍රී ලංකාවේ බොහොමයක්‌ සාමාන්‍ය ළිං නිර්මාණය කර ඇත්තේ මේ ජල නිධි ඇසුරු කරගෙන ය.

දෙවැන්න වන අවහිරත ජල නිධි පිහිටන්නේ භූ අභ්‍යන්තරයේ පාෂාණ තට්‌ටු අතර වේ. මේ ජල නිධි නිර්මාණයේ දී ජලය එක්‌ රැස්‌ වීම සඳහා පාෂාණවල දුර්වල කලාප බෙහෙවින් වැදගත් වෙයි. පාෂාණ තුළ පිහිටන පැලුම්, කුස්‌තුර පමණක්‌ නො ව විවරයන් සහ බිලයන් ද මේ සඳහා අතිශය උපකාරී වේ. ඉහළින් සහ පහළින් අපාරගම්‍ය පාෂාණ තට්‌ටු හෝ මැටි වැනි ද්‍රව්‍යයන් ගෙන් අවහිර වී පවතින මේ නිධිවල ජලය පීඩනයක්‌ යටතේ පැවතීම සුවිශේෂී වේ.

අනවහිරත ජල නිධි පෝෂණය වන්නේ එම ස්‌ථානයට හෝ ඒ හා ළඟ ස්‌ථානවලට වසින වැසි ජලය නොගැඹුරු පස සහ පාෂාණය තුළට කිඳා බැසීමෙනි. එහෙත් අවහිරත ජල නිධි පෝෂණය කරන ජල මූලාශ්‍ර පවතින්නේ ජල නිධියට බොහෝ ඈතින් විය හැකි ය. උදාහරණයක්‌ ලෙස කඳුකර ප්‍රදේශවල නිම්නවල පවතින අවහිරත ජල නිධි පෝෂණය වන්නේ කඳුකරයේ ශිඛර ප්‍රදේශවලට ලැබෙන ජලය මගිනි.

න්‍යායාත්මකව ගත් කල මේ ජල නිධිවලින් කිසියම් ම හෝ ක්‍රමවේදයකට ජලය ගන්නා වේගය එම ජල නිධි පෝෂණය වන්නා වූ වේගයට වඩා වැඩි නම් ජල නිධි හිස්‌ වන්නට පටන්ගනී. එනම් නළ ළිං භාවිතයේ දී ද ඉතා පැහැදිලිව මෙය සත්‍යයක්‌ වන අතර සලකන එක්‌තරා ප්‍රදේශයක්‌ තුළ සවි කළ හැකි නළ ළිං සංඛ්‍යාව සීමිත වනු ඇත. මේ ජල නිධි පෝෂණය වන ශීඝ්‍රතාව විද්‍යාත්මකව නිශ්චය කර සවි කළ හැකි නළ ළිං ප්‍රමාණය ගණනය කළ යුතු ය. මේ සදහා භූ ජල විද්‍යාත්මක ක්‍රමවේදයන් ස්‌ථාපනය වී ඇත.

අසීමාන්තික නළ ළිං ස්‌ථාපනය ගැටලු රාශියක්‌ ඇති කරයි. මෙහි ප්‍රමුඛ බලපෑම ඇති වන්නේ අනවහිරත ජල නිධිවල ස්‌ථාපනය කර ඇති සාමාන්‍ය ළිංවලට ය. එනිසා ජල මට්‌ටම අඩු විය හැකි අතර ඉඩෝර කාලයක දී තත්ත්වය උග්‍ර වෙයි. මේ නිසා භූගත ජල මට්‌ටම පහත බසින අතර එය Rජු ව ම වන වැස්‌මට ද වගාවන්වලට ද හානි පමුණුවයි.

සාගරය ආසන්නයේ පිහිටි අනවහිරත ජල නිධිවල ජල මට්‌ටම මේ හේතුවෙන් අඩු වීම නිසා මුහුදු ජලය මුසු වීමේ ප්‍රවණතාවක්‌ ගොඩනැෙගනු ඇත. එය ජල දූෂණයකට හේතු විය හැකි අතර දිගුකාලීනව ගත් කල යථා තත්ත්වයට පත් කිරීමට අපහසු තත්ත්වයක්‌ ඇති විය හැකි ය.

අවහිරත ජල නිධි සදහා ද මෙය සත්‍යයක්‌ වන අතර භූ අභ්‍යන්තරික පැලුම් රටා නිසා ඉතා පහසුවෙන් මුහුදු ජලය මුසු වීමේ හැකියාව ඇත. බොහොමයක්‌ අවහිරත ජල නිධි කෙළවර වන්නේ නොඑසේ නම් පොළොව මතුපිටට සම්බන්ධ වන්නේ අනවහිරත ජල නිධි ලෙසිනි. එනිසා අවහිරත ජල නිධිවල ස්‌ථාපනය කරන නළ ළිං ප්‍රමාණය වැඩි වීම ද ලබාගන්නා ජල ප්‍රමාණය වැඩි වීම ද අනවහිරත කලාපයේ ජල මට්‌ටම අඩු කරන්නට හේතු විය හැකි ය.

අනවහිරත හෝ අවහිරත ජල නිධිවල නළ ළිං ස්‌ථාපනය කර දිගින් දිගට ම නො නවත්වා ජලය ලබාගැනීම සහ විශාල ප්‍රමාණයක්‌ නළ ළිං ස්‌ථාපනය කිරීමෙන් විශාල ජල ප්‍රමාණයක්‌ එක වර ලබාගැනීම සදාකාලිකව ම මේ ජල නිධි අභාවයට යවන්නට හේතු විය හැකි ය.

භූගත ජලය ඇති පදම ලබාගන්නට හැකි වුව ද එහි ගුණාත්මකභාවය පිළිsබඳ අධ්‍යයනයන් සිදු කළ යුතු ය. භූ අභ්‍යන්තරයේ පිහිටි විවිධ පාෂාණ මගින් දිය වන රසායනයන් නිසා ජලයේ ගුණාත්මකභාවයට හානි වීමේ හැකියාවක්‌ ඇත.

මේ තත්ත්වය වළකාගැනීම සදහා විධිමත් ක්‍රමවේද මගින් විද්‍යාත්මක අධ්‍යයනයන් සිදු කර හානියකින් තොර ව එනම් තිරසාර ක්‍රමවේදයකට නළ ළිං ස්‌ථාපනය සිදු කළ යුතු වේ. ශ්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක පසුබිම අතිශය සංකීර්ණ වේ. මේ නිසා සමහර විට එළඹෙන නිගමන සාවද්‍ය වීමේ හැකියාව ද පවතී. එනිසා ඉතා විස්‌තරාත්මක, කෙටිකාලීන පමණක්‌ නො ව දිගුකාලීන ද විද්‍යාත්මක අධ්‍යයනයන් සිදු කර නිගමනවලට එළඹීම නුවණැති කාරණයක්‌ වෙයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ