logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ජීවයට නැතිව ම බැරි කාබන්

කාබන් යනු මානවයා ඉතා ඈත අතීතයේ සිට ම දන්නා ද්‍රව්‍යයකි. අගුරු හා දැලි ලෙස කාබන් හඳුනාගෙන සිටිය ද, එය මූලද්‍රව්‍යයක්‌ ලෙස දහ අට වැනි ශත වර්ෂයේ දෙවැනි භාගය වන තෙක්‌ ම හදුනාගෙන නො තිබිණි. ඉතා ඈත අතීතයේ දැලි මගින් කළු වර්ණක ලබාගැනීම සමහර ශිෂ්ටාචාර මගින් සිදු කොට ඇත.

කාබන් යන නාමය ලතින් බසින් ගල් අගුරු යන අරුත ඇති carbo යන්නෙන් සැදී ඇත.

කාබන් යනු ජීවයේ පදනම සදහා මූලික වූ මූලද්‍රව්‍යය මෙන්ම විශාල ලෙස කාර්මික වශයෙන් වැදගත් මූලද්‍රව්‍යයකි.

දියමන්ති හා මිනිරන් යනු කාබන්වල බහුල ම බහුරූපී ආකාර දෙකයි. මේ ස්‌ඵටිකරූපී ආකාර දෙක ම කාබන් පරමාණු මගින් තැනී ඇති නමුදු, එකිනෙකට වෙනස්‌ වූ රසායනික හා භෞතික ලක්‌ෂණ පෙන්වනු ලබයි. දියමන්ති හා මිනිරන්වලට අමතරව, ෆුලරින්ස්‌ (fullerenes) හා කාබන් නැනෝ නාළ (carbon nanotubes) හා ග්‍රැෆීන් (graphene) කාබන්වල වෙනත් ආකාර වේ. මේ ආකාර හතරෙහි ව්‍යqහයන් පහත දක්‌වා ඇත.

මිනිරන් (Graphite)

මිනිරන් වියළි අවස්‌ථාවේ දී ඉතා ඉහළ ලිහිසි ගුණ පෙන්වයි. රුපයේ පෙන්වා ඇති පරිදි, දුබල අන්තර් අණුක බන්ධන මගින් එකෙනෙක බැදී පවතින ස්‌ථර ලෙස සකස්‌ වී ඇති කාබන් පරමාණු ලෙහෙසියෙන් ලිස්‌සා යැමට ඇති හැකියාව නිසා මෙලෙස මිනිරන් ලිහිසි ගුණ පෙන්වයි. මේ ගුණය භාවිත කොට මිනිරන් පැන්සල් නිපදවා ඇත, මිනිරන් සතු ව ඇති ලිහිසි ගුණය නිසා පැන්සල් තුඩ ලෙහෙසියෙන්, ලියන කඩදාසිය මත ලිස්‌සා යයි. තව ද මිනිරන් සතු ව අධික උෂ්ණත්වයට ඔරොත්තු දීමේ සහ විද්යුතය සන්නයනය කිරීමේ හැකියාවක්‌ ඇත. මිට අමතරව මිනිරන් තන්තු (Graphite fibers) යොදාගෙන ශක්‌තිමත් හා අඩු ස්‌කන්ධයෙන් යුතු සංයෝග නිපදවීම වර්තමානයේ සිදු කෙරෙයි. මේ නව සංයෝග මගින් විවිධ ක්‍රීඩා උපාංග, රථ වාහන සහ ගුවන් යානා කොටස්‌ නිපදවීම දැනටමත් සිදු කෙරෙයි. මිනිරන් යනු සාමාන්‍ය උෂ්ණත්වයේ දී හා පීඩනයේ දී කාබන්වල වඩාත් ම ස්‌ථායි ආකාරය වේ. මිනිරන්, උෂ්ණත්වය

30000C සහ පීඩනය 104 atm (වායුගෝල ඒකක) දක්‌වා ස්‌ථායි වේ. (atm යනු පීඩනය මැනීමට භාවිත කරන ඒකකයකි. මුහුදු මට්‌ටමේ දී වායුගෝලය මගින් ඇති කෙරෙන පීඩනය වායුගෝල එකක්‌ (one atmosphere හෝ atm) ලෙස දැක්‌විය හැකි ය). මිනිරන් කාර්මික වශයෙන් 105 atm සහ උෂ්ණත්වය 1000 - 20000C තත්ත්ව යටතේ දියමන්ති බවට පරිවර්තනය කළ හැකි ය.

ග්‍රැෆීන් (graphene)



මිනිරන් යනු අක්‍රමවත් ලෙස සැකසුණු සඩස්‍ර ආකාරයේ කාබන් වළලූවලින් තැනුණු ස්‌ථර විශාල ගණනක එකතුවකි. සඩස්‍ර ආකාරයේ කාබන් වළලූවලින් තැනුණු එක ස්‌තරයක්‌

ග්‍රැෆීන් (graphene) ලෙස හදුන්වනු ලබයි. මෑතක්‌ වන තෙක්‌ මේ වැනි තනි ස්‌තරයක්‌ ලබාගැනීම සිදු කළ නොහැක්‌කක්‌ ලෙස සලකන ලදී. එහෙත් 2004 වසරේ දී තනි ස්‌ථර වෙන් කළ හැකි බව එංගලන්ත විද්‍යාඥ දෙපළක්‌ වන Andre Geivm හා Konstantin Novoselov විසින් සොයාගන්නා ලදී. මේ පෙරැළිකාර සොයාගැනීම වෙනුවෙන් මොවුන් දෙපළ විසින් 2010 දී භෞතික විද්‍යාව සදහා වූ නොබෙල් ත්‍යාගය දිනාගන්නා ලදී.

දියමන්ති (Diamonds)

ස්‌වාභාවික දියමන්ති බොහෝ විට ආභරණ තැනීම සදහා යොදාගන්නා අතර, කාර්මිකව නිපදවන කෘත්‍රිම දියමන්ති කාර්මික කටයුතු සදහා යොදාගැනෙයි. කාර්මිකව දියමන්ති යොදාගැනීමට මූලික හේතු වනුයේ, ඒ සතු ඉතා ම දෘඪ බව හා ඉතා ඉහළ තාප සන්නායකතාව වේ. දියමන්ති යනු දෘඪතා පරිමාණයේ (Mohs hardness scale) ඒකක 10 පෙන්වන සංයෝගයකි. එම නිසා විදුම් කටු වැනි කාර්මික නිෂ්පාදන සදහා දියමන්ති යොදාගනී. දෘඪතාවට අමතරව ඉහළ තාප සන්නායකතාව නිසා විදුම් කටු වැනි දියමන්ති යොදා නිපදවන ලද උපාංගවල නිපදවෙන තාපය හොඳින් සන්නයනය වීමෙන් එවැනි උපාංග ඉක්‌මනින් සිසිල් වීම සිදු වේ.

වර්තමානයේ කාර්මික ව විවිධ උපාංග මත තුනී දියමන්ති ස්‌ථර තැන්පත් කිරීම මගින් එම උපාංග ඉහළ තාප සන්නායකතාවක්‌ ඇති උපාංග බවට පත් කිරීම සිදු කෙරෙයි. මේ ක්‍රමය මගින් පරිගණක උපාංගවල තාප සන්නායකතාව ඉහළ නංවා ඉක්‌මනින් එම උපාංග සිසිල් කළ හැකි ය.

දියමන්ති ස්‌ථායි වන්නේ ඉහළ උෂ්ණත්ව හා පීඩනවල දී පමණකි. එසේ නම් සාමාන්‍ය උෂ්ණත්වයේ දී හා පීඩනයන්හි දී දියමන්ති නැවත මිනිරන් බවට පත් විය යුතුය. ඔබ මිලදී ගන්නා දියමන්තියක්‌ දින කිහිපයක දී මිනිරන් බවට පත් වුවොත් කුමක්‌ සිදු වේ ද? ඔබ ගේ වාසනාවට මේ පරිවර්තනය තාප ගති විද්‍යාව අනුව ස්‌වයංසිද්ධ වුවත්, එම පරිවර්තනය ඉතා ම සෙමින් සිදු වන පරිවර්තනයකි. එම නිසා දියමන්ති සාමාන්‍ය උෂ්ණත්ව පීඩනවල දී මිනිරන් බවට පත් විය යුතු වුවත් එය ඉතා ම සෙමින් සිදු වන නිසා මේ වෙනස අපට නිරීක්‌ෂණය කළ නොහැකි තරම් ය.

ෆුලරින් (fullerenes)



ෆුලරින් යනු කාබන්වල තවත් ආකාරයකි. ෆුලරින් යන නාමය ඇමෙරිකානු ගෘහ නිර්මාණ ශිල්පියකු, චින්තකයකු, ලේඛකයකු හා නව නිපැයුම්කරුවකු වන Richard Buckminster ,"Bucky" Fuller ගේ නම ඇසුරෙන් තැනුණකි. මුල් වරට කාබන්වල මේ බහුරූපී ආකාරය 1985 දී Richard E. Smalley හා Sir Harold W හීලියම් සහිත පරිසරයක්‌ තුළ මිනිරන් කුරක්‌ තුළින් අධික විද්යුත් ධාරාවක්‌ යෑවීම මගින් නිෂ්පාදනය කරන ලදී. මේ සොයාගැනීම සදහා 1996 දී Richard E. Smalley, Sir Harold W. Kroto හා Robert F. Curl Jr. විසින් රසායන විද්‍යාව සදහා වන නොබෙල් ත්‍යාගය දිනාගන්නා ලදී.

ෆුලරින්වල කාබන් පරමාණු එකනෙක සම්බන්ධ වී ගෝලයක්‌ ලෙස පවතී. පවතින කාබන් පරමාණු සංඛ්‍යා අනුව එකිනෙකට වෙනස්‌ ෆුලරින් විශාල ගණනක්‌ ඇත. මේ ෆුලරින්වලින් කාබන් පරමාණු 60ක්‌ සහිත බක්‌මිනිස්‌ටර්ෆුලරින් (buckminsterfullerene), නිෂ්පාදනය කිරීමට පහසු ම ආකාරය වේ. මේ කාබන් 60ක්‌ සහිත කාබන්වල බහුරූපී ආකාරය C60 ලෙස දැක්‌විය හැකි ය. මේ සූත්‍රයේ ඇති සංඛ්‍යාවෙන් නිරූපණය වන්නේ කාබන් පරමාණු ගණනයි.

කාබන් නැනෝ නාළ (carbon nanotubes)

කාබන් නැනෝ නාළ යනු කුඩා ග්‍රැෆීන් (graphene) තහඩුවක්‌ බටයක්‌ ආකාරයට නැවූ විට ලැබෙන ආකාරයේ ව්‍යqහයකි. කාබන් නැනෝ නාළ සොයාගනු ලැබුවේ 1991 දී ජපන් විද්‍යාඥයෙකු වන Sumio Iijima විසිනි. කාබන් නැනෝනාළවල ඇති කාබන් පරමාණු රසායනික බන්ධන මගින් එකිනෙක බැඳී ඇති නිසා නැනෝනාළ ඉතා ඉහළ ශක්‌තියකින් යුක්‌ත වේ. තව ද, නැනෝ නාළ ඉතා ම හොද විද්යුත් සන්නායක ගුණ පෙන්වයි.

කාබන් 14 කාල නිර්ණය



කාබන් සමස්‌ථානික තුන අතුරින් කාබන් 14 සමස්‌ථානිකය පමණක්‌ විකිරණශීලී වේ. අනෙකුත් සමස්‌ථානික දෙක ස්‌ථායි ය. කාබන් 14 සමස්‌ථානිකය විකිරණශීලී වීම නිසා කාලය ගත වීමේ දී එම පරමාණු විකිරණ පිට කරමින් නයිට්‍රජන් පරමාණු බවට පත් වේ. කාබන් 14 සමස්‌ථානිකයේ යම් ප්‍රමාණයක්‌ එම ප්‍රමාණයෙන් අර්ධයක්‌ වීම සදහා ගත වන කාලය වසර 5730ක්‌ පමණ වේ. එම අර්ධය නැවතත් අර්ධයක්‌, එනම් මුල් ප්‍රමාණයෙන් 1/4ක්‌ (හතරෙන් එකක්‌) වීමට තවත් වසර 5730ක්‌ පමණ ගත වේ. එමෙන් ම ඉහළ වායු ගෝලයේ ඇති නයිට්‍රජන් පරමාණු අභ්‍යවකාශයේ සිට පැමිණෙන අධි ශක්‌ති කිරණ සමග ගැටීම මගින් කාබන් 14 සමස්‌ථානිකය නො නවත්වා නිෂ්පාදනය වේ.

වසරකට නිෂ්පාදනය වන කාබන් 14 සමස්‌ථානික ප්‍රමාණය කිලෝග්රෑම් 7.5ක්‌ පමණ වේ. මෙලෙස නිෂ්පාදනය වීමේ හා විනාශ වීමේ ක්‍රියාවලිය නිසා, වායුගෝලයේ ඇති කාබන් 14 සමස්‌ථානික ප්‍රමාණය නියතයක්‌ වේ. වායුගෝලයේ ඇති කාබන්ඩයොක්‌සයිඩ්හි ඇති කාබන් ඉහත සදහන් කළ සියලු ම සමස්‌ථානිකවලින් සමන්විත වේ. එම නිසා ප්‍රභාසංශ්ලේෂණයේ දී ශාක විසින් එක ලෙස කාබන් 12 හා කාබන් 14 සමස්‌ථානිකයන් ගෙන් යුතු කාබන්ඩයොක්‌සයිඩ් භාවිත කරමින් ආහාර නිෂ්පාදනය කෙරෙයි. තව ද එලෙස එම ආහාර පරිභෝජනය කරන අනෙකුත් ජීවීන් තුළට ද කාබන් 14 සමස්‌ථානිකය ඇතුළු වේ. යම් ජීවියකු ජීවත් ව සිටින කාලය තුළ ආහාර බාහිර පරිසරයෙන් ලබාගැනීම නිසා ජීවියා ගේ ශරීරයේ කාබන් 12 හා කාබන් 14 සමස්‌ථානික අනුපාතය පරිසරයේ එම අනුපාතය හා සමතුලිත ව ඇත. එහෙත් ජීවියකු මිය ගිය විට බාහිර පරිසරයෙන් ආහාර ලබාගැනීම නැවතීම හේතු කොටගෙන පරිසරයෙන් කාබන් 14 සමස්‌ථානිකය ඇතුළු වීම නවතී. එහෙත්, කාබන් 14 සමස්‌ථානිකය නයිට්‍රජන් බවට පත් වීම නො නවත්වා සිදු වේ. එම නිසා ජීවියකු මිය ගිය විට කාලයත් සමග ජීවියා ගේ පටකවල කාබන් 14 සමස්‌ථානික ප්‍රමාණය අඩු වේ. යම් ජීවී පටකයක මිය යන අවස්‌ථාවේ සිට අඩු වූ කාබන් 14 ප්‍රමාණය ගණනය කිරීම මගින්, එම පටකයේ වයස නිර්ණය කිරීම කාබන් 14 කාල නිර්ණය නම් වේ.

මේ සංකල්පය මුලින් ම ලොවට ඉදිරිපත් කරන ලද්දේ 1946 වර්ෂයේ දී, ඇමෙරිකා එක්‌සත් ජනපදයේ, භෞතික රසායනික විද්‍යාඥයකු වූ Willard Frank Libby විසිනි. මේ සොයාගැනීම වෙනුවෙන් ඔහු විසින් 1960 වසරේ දී රසායන විද්‍යාව වෙනුවෙන් හිමි වන නොබෙල් ත්‍යාගය දිනාගන්නා ලදි.

කාබන් බද්ද

ෆොසිල ඉන්ධන වැනි පුනර්ජනනීය නො වන ඉන්ධන භාවිත කිරීමේ දී වායුගෝලයට කාබන්ඩයොක්‌සයිඩ් හා වෙනත් කාබන් අඩංගු සංයෝග එකතු වීම සිදු වේ. මෙසේ එකතු වන කාබන්ඩයොක්‌සයිඩ් මගින් පරිසරයට හානි සිදු වන බව දැනට පිළිගත් මතයකි. කාබන් බද්ද යනු මෙලෙස ෆොසිල ඉන්ධන භාවිතයේ දී පරිසරයට සිදු වන බලපෑම අනුව එම බලශක්‌ති ප්‍රමාණය මත ගණනය කරන ලද මිලකි. මෙය කෙටියෙන් කාබන් බද්ද හෝ CO2 බද්ද (carbon tax or CO2 Tax) ලෙස හැඳින්වේ.



මේ බද්ද පෘථිවි තලයෙන් ෆොසිල ඉන්ධන ඉවතට ගන්නා අවස්‌ථාවේ එම ඉන්ධන ප්‍රමාණය මත ගණනය කොට අය කරගැනීමට දැනට යෝජනා කොට ඇත. මෙලෙස එකතු වන බද්ද මගින් එම නිසා ඉන්ධන මිල ඉහළ යැමක්‌ සිදු වන අතර එමගින් ෆොසිල ඉන්ධන භාවිතය අවම කරවීම සිදු වේ. ෆොසිල ඉන්ධන මිල වැඩි වීම නිසා මහජනතාව පුනර්ජනනය වන බලශක්‌ති භාවිතයට උනන්දු කරවීම ද මේ බද්ද මගින් සිදු වේ.



මේ බද්ද මගින් ෆොසිල ඉන්ධන භාවිතයේ දී විමෝචනය වන කාබන්ඩයොක්‌සයිඩ් මෙටි්‍රක්‌ ටොන් එකක්‌ සදහා යෝජනා කොට ඇති හෝ දැනට ම ක්‍රියාත්මක වන බදු ප්‍රමාණයන් කිහිපයක්‌ පහතින් දැක්‌වේ.

ෆීන්ලන්තය - ද්‍රව ෆොසිල ඉන්ධන සදහා ඇමෙරිකානු ඩොලර් 65 හා අනෙකුත් ෆොසිල ඉන්ධන සදහා ඇමෙරිකානු ඩොලර් 60.



ප්‍රංශය - සියලු ම ෆොසිල ඉන්ධන සදහා ඇමෙරිකානු ඩොලර් 25.

අයර්ලන්තය - සියලු ම ෆොසිල ඉන්ධන සදහා ඇමෙරිකානු ඩොලර් 22.

මේ පිළිබද වැඩි විස්‌තර ඔබට https://www.carbontax.org යන වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

බන්ධන 6ක්‌ සාදන කාබන්



ඉතා මෑතක්‌ වන තුරු සලකන ලද්දේ 14 වැනි කාණ්‌ඩයේ මූලද්‍රව්‍යයක්‌ වන කාබන් මගින් සංයෝග සෑදීමේ දී සෑදිය හැකි උපරිම බන්ධන ගණන හතරක්‌ ලෙස ය. එහෙත් පසුගිය වසරේ දෙසැම්බර් මස පළ කෙරුණු විද්‍යාත්මක පත්‍රිකාවක්‌ මගින් මේ මූලික රසායනික විද්‍යාත්මක සංකල්පය අභියෝගයට ලක්‌ කොට ඇත. ජර්මනියේ බර්ලින් විශ්වවිද්‍යාලයයේ රසායන විද්‍යාව පිළිබද පර්යේෂණ කණ්‌ඩායමක්‌ විසින් පළමුවරට කාබන් මගින් බන්ධන හයක්‌ සාදනු ලබන සංයෝගයක්‌ පිළිබදව අනාවරණය කිරීම මේ විද්‍යාත්මක පත්‍රිකාව මගින් සිදු කොට ඇත. (මේ ලිපිය ලිවීම සදහා මූලික නිමිත්ත වූයේ ද කාබන් මගින් බන්ධන හයක්‌ සෑදීම අනාවරණය කෙරුණු මේ විද්‍යාත්මක පත්‍රිකාවයි). ජර්මනියේ බර්ලින් විශ්වවිද්‍යාලයයේ රසායන විද්‍යාව, අකාබනික රසායන විද්‍යාව පිළිබද මහාචාර්ය Konrad Seppelt ඇතුළු පර්යේෂණ කණ්‌ඩායමක්‌ විසින් සොයාගැනුණු C6(CH3)2+ සංයෝගයේ එක්‌ කාබන් පරමාණුවක්‌ විසින් බන්ධන හයක්‌ සාදනු ලබනු බවට අනාවරණය කරගෙන ඇත. මේ සංයෝගයේ ව්‍යqහය පහතින් පෙන්වා ඇත.

මෙහි ඉහළින් ඇති CH3 සමග සම්බන්ධ වී ඇති කාබන් පරමාණුව ඊට පහළින් ඇති තවත් කාබන් පරමාණු පහක්‌ සමග බන්ධන පහක්‌ සාදා ඇත. මේ කාබන් පරමාණුව තවත් කාබන් පරමාණු හයක්‌ සමග බන්ධන හයක්‌ ඇති බව රූපය නිරීක්‌ෂණය කිරීමේ දී වටහාගත හැකි ය. මේ පර්යේෂණ කණ්‌ඩායම සදහන් කර ඇති පරිදි, වර්ෂ 1973 දී මේ සංයෝගය මුල් වරට ඉතා අඩු උෂ්ණත්වයක දී නිෂ්පාදනය කිරීමට හැති ව ඇත. එහෙත් මෙහි ව්‍යqහය තහවුරු කිරීම සදහා අවශ්‍ය පර්යේෂණාත්මක සාධක නොමැති වීම හේතුවෙන් මෙය වරේතා කිරීම ප්‍රමාද කිරීමට ඔවුන් තීරණය කොට ඇත. අවසානයේ ගිය වසරේ දී එයට අවශ්‍ය සාධක සමග ඔවුන් ගේ මේ සොයාගැනීම වන පංචතලීය පිරමිඩ හැඩයක්‌ සහිත ව්‍යqහය වර්තා කරන ලදී. මේ සොයාගැනීම නිසා කාබන් පිළිබද අප දන්නා කරුණු සමහරක්‌ ඉදිරියේ දී වෙනස්‌ කිරීමට සිදු විය හැකි ය.

මේ ලිපියේ එන පාරිභාෂික වචන සඳහා සරල අරුත්

බහුරූපී ආකාර

එක ම වර්ගයක පරමාණු එකිනෙක බැඳී පවතින ආකාරය අනුව එක ම මූලද්‍රව්‍යයට වෙනස්‌ භෞතික හා රසායනික ගුණ තිබිය හැකි ය. එවැනි එකිනෙකට වෙනස්‌ ආකාරයට පරමාණු සංයෝජනය වීම නිසා ඇති වන එක ම මූලද්‍රව්‍යයේ වෙනස්‌ ආකාර 'බහුරූපී ආකාර' වේ. උදාහරණයක්‌ ලෙස, ඔක්‌සිජන් හා ඕසෝන් යනු ඔක්‌සිජන් මුලද්‍රව්‍යයේ බහුරූපී ආකාර වේ. බහුරූපී ආකාර සතු ව එකිනෙක වෙනස්‌ ව්‍යqහ සූත්‍රයක්‌ තිබිය හැකි ය. ඔක්‌සිජන් යනු ඔක්‌සිජන් පරමාණු දෙකක්‌ එකිනෙක බැඳුණු ද්විපරමාණුක අණු වන අතර ඕසෝන් යනු ඔක්‌සිජන් පරමාණු තුනක්‌ එකිනෙක බැඳීමෙන් සෑදුණු ත්‍රිපරමාණුක අණුවක්‌ වේ.

දෘඪතා පරිමාණය

වසර 1812 දී, ජර්මානු විද්‍යාඥයකු වන Friderich Mohs විසින් බහුල ව හමු වන ඛනිජ වර්ග දහයක්‌ භාවිත කොට ඛනිජවල දෘඪතාව සංසන්දනය සදහා පරිමාණයක්‌ හඳුන්වා දෙන ලදි. මේ පරිමාණයේ අවම අගය වන 1 ටැල්ක්‌ සදහා ද, ඉහළ ම අගය වන 10, දියමන්ති සදහා ද ලබා දී ඇත. මේ පරිමාණය සදහා ඔහු විසින් භාවිත කරන ලද ඛනිජ වර්ග දහය සහ එම ඛනිජ වර්ග සදහා දෙනු ලැබූ පරිමාණයේ අගයන් පහතින් දක්‌වා ඇත.

ටැල්ක්‌ (ටැල්කම් කුඩු) = 1, ජිප්සම් (පැරිස්‌ බදාම) = 2, කැල්සයිට්‌ (හුණු ගල්) = 3, ෆ්ලුවොරයිට්‌ = 4, ඇපටයිට්‌ = 5, ඔර්තෝක්‌ලේස්‌ = 6, ක්‌වෝට්‌ස්‌ (තිරුවානා) = 7, ටොපැස්‌ = 8, කොරන්ඩම් = 9, දියමන්ති = 10

පරමාණුක ක්‍රමාංකය

ආවර්තිතා වගුවේ පරමාණු පෙළගස්‌වා ඇත්තේ පරමාණුක ක්‍රමාංකය වැඩි වන ආකාරයට ය. පරමාණුවක 'භූමි අවස්‌ථාවේ' ඇති ඉලෙක්‌ට්‍රොaන හෝ ප්‍රොaටෝන සංඛ්‍යාව එහි පරමාණුක ක්‍රමාංකය වේ.

පරමාණුවක ඇති මුළු ප්‍රොaටෝන හා න්‍යqට්‍රොaන සංඛ්‍යාව එම පරමාණුවේ ස්‌කන්ධ ක්‍රමාංකය වේ.

සමස්‌ථානික



එක ම වර්ගයේ පරමාණුවල න්‍යෂ්ටිය තුළ ඇති ඉලෙක්‌ට්‍රොaන හෝ ප්‍රොaටෝන සංඛ්‍යාව එක ම විය යුතු ය. එහෙත් න්‍යෂ්ටිය තුළ ඇති න්‍යqට්‍රොaන සංඛ්‍යාව වෙනස්‌ විය හැකි ය. එවැනි, ඉලෙක්‌ට්‍රොaන හෝ ප්‍රොaටෝන ගණන එක ම මුත්, වෙනස්‌ න්‍යqට්‍රොaන සංඛ්‍යාවක්‌ සහිත පරමාණු 'සමස්‌ථානික' ලෙස හැඳින්වේ. කාබන් සතු ව සමස්‌ථානික තුනක්‌ ඇත. එම සමස්‌ථානික පහතින් දක්‌වා ඇත.

සමස්‌ථානික සතු ව එක ම පරමාණුක ක්‍රමාංකයක්‌ ඇති නිසා ආවර්තිතා වගුවේ 'එක ම ස්‌ථානයක ඇත' යන අරුතෙන් මේ එකිනෙකට ස්‌කන්ධයෙන් වෙනස්‌ වුවත් එක ම පරමාණුක ක්‍රමාංකයක්‌ ඇති පරමාණු 'සමස්‌ථානික' ලෙස නම් කර ඇත.

ආචාර්ය එම්. එන්. කෞමාල්

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රසායන විද්‍යා දෙපාර්තමේන්තුව,

කොළඹ විශ්වවිද්‍යාලයය.