logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


දුම්රිය-අලි ගැටුම් අවම කිරීමට මෙරට රාජ්‍ය ආයතනයකින් පලදායක විසඳුමක්‌



පසුගිය වසරේ අගෝස්‌තු මාසයේ දී උතුරු දුම්රිය මාර්ගයේ සෙට්‌ටිකුලම් ප්‍රදේශයේ දී ෙදනීය අනතුරක්‌ අසන්නට ලැබිණි. අනතුරට ලක්‌ වූයේ අලි රංචුවකි. ඇතින්නක්‌ හා පැටවු තිදෙනෙක්‌ එම අනතුරෙන් ජීවිතක්‌ෂයට පත් වූ හ. මෙතෙක්‌ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සතුන් සම්බන්ධ අවාසනාවන්ත ම අනතුර ලෙස සැලකෙන මේ සිදුවීමේ දී එක්‌ අලි පැටවකු දුම්රිය එන්ජිමෙහි ඇමි, මීටර 300ක්‌ පමණ දුරක්‌ දක්‌වා ඇදී ගොස්‌ තිබූ බව වාර්තා විය.

වසර ගණනාවක්‌ තිස්‌සේ අලින් දුම්රියට ගැටීමේ සිදුවීම් වාර්තා වුව ද, කම්පාවට පත් වනවාට වඩා දෙයක්‌ කිසිවකුට කරගත හැකි ව තිබුණේ නැත. විවිධ විසඳුම් අත්හදා බැලුව ද අනතුරු දිගින් දිගට ම සිදු විය. එක්‌ අතකින් මෙරට අලි ගහනය තවදුරටත් අඩු කිරීමට මේ දුම්රිය අනතුරු දායක වෙද්දී අනෙක්‌ අතින් දුම්රිය පමාව, දුම්රියට සිදු වන අලාබ ද සැලකිය යුතු ගැටලු ලෙස පැවතිණි. ඒ අනුව මෙය වනජීවී සම්පතකට මෙන්ම රටේ ආර්ථිකයට ද බලපා තිබූ ගැටලුවක්‌ ලෙස හඳුනාගත හැකි ව තිබිණි.

දුම්රියක අලියකු ගැටෙන්නට ආසන්න ම හේතුවක්‌ වන්නේ දුම්රිය නවත්වාගත හැකි දුරක දී අලියා රියදුරුට දර්ශනය නො වීම ය. නිදසුනක්‌ ලෙස වංගුවකට ඔබ්බෙන් අලියකු දුම්රිය මෙගහි සිටින අවස්‌ථාවක්‌ දැක්‌විය හැකි ය. මෑතක දී ඉදි කරන ලද උතුරු දුම්රිය මාර්ගයෙහි දුම්රිය ධාවනය සිදු වන්නේ ද පැයට කිලෝමීටර 100ක්‌ වැනි අධික වේගයකින් බැවින් දුම්රියක්‌ කෙටි දුරක දී නවතා ගැනීම අපහසු ය. අඩු තරමින් කිලෝමීටරයක වත් දුරක දී වේගය අඩාළ කරගෙන තිරිංග යෙදීම ඇරඹිය යුතු වේ. අනෙක්‌ අතට නව දුම්රිය මාර්ගයෙහි පීලි එකිනෙක සවි කර ඇති ආකාරය සාම්ප්‍රදායික දුම්රිය මගකට වඩා වෙනස්‌ බැවින් දුම්රියක්‌ ධාවනය වන විට විශාල හඩක්‌ නැෙගන්නේ ද නැත. එනිසා දුම්රියක්‌ ළග එන බව වංගුවක සිටින අලියකුට ද පහසුවෙන් සංවේදනය වන්නේ නැත.

මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් මේ ගැටලුවට සාධනීය විසඳුමක්‌ දිය හැකි උපකරණ පද්ධතියක්‌ දැන් කල එළි දැක ඇත. බොහෝ තාක්‌ෂණික විසඳුම් විදෙස්‌ රටවලින් ඉහළ මිල ගණන්වලට ආනයනය කිරීමේ ප්‍රවණතාවක්‌ ඇති රටක මේ උපකරණ පද්ධතිය අපේ රටේ ම රාජ්‍ය ආයතනයක පිරිසක්‌ එකතු වී නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. මීට වැය වී ඇති මුදල ද සාපේක්‌ෂව අඩු ය. මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ වනජීවී භාරයේ අධ්‍යක්‌ෂ සී. සී. හිදැල්ලආරච්චි මහතා වන අතර තාක්‌ෂණික දැනුමින් ව්‍යාපෘතියට අනගි දායකත්වයක්‌ ලබා දුන්නේ එම ආයතනයේ ඉංජිනේරු ඉරෝෂ පෙරේරා මහතා ය. ගුවන් යානා ඉංජිනේරුවකු ද වන ඒ මහතා නවීනතම ඉලෙක්‌ට්‍රොනික තාක්‌ෂණය යොදාගෙන සිත්ගන්නාසුලු විසඳුමක්‌ අලි-දුම්රිය ගැටුම අවම කිරීම සඳහා ඉදිරිපත් කරයි.

Railway Elephant Accident Prevention (REAP) System නමින් හැඳින්වෙන මෙය මුළුමනින් ම ස්‌වයංක්‍රීයකෘත (automated) ඉලෙක්‌ට්‍රොනික පද්ධතියකි.

ඉරෝෂ පෙරේරා මහතා මේ පද්ධතියේ ක්‍රියාකාරිත්වය විදුසරට විස්‌තර කර සිටියේ මේ අයුරිනි.

'මේ පද්ධතියේ එක්‌ අදියරක්‌ දුම්රිය මාර්ගයේ කිලෝමීටරයකුත් මීටර 700ක්‌ පමණ දිගක බලපැවැත්වෙන එකක්‌. එහි දෙකෙළවර තිබෙන්නේ දුම්රිය පැමිණෙන බව හඳුනාගැනීමේ අනාවරක (detector) උපකරණ දෙකක්‌. දුම්රිය පැමිණෙන දෙසින් වූ අනාවරකය දුම්රිය පැමිණෙන විට දැනෙන කම්පනයෙන් සක්‍රිය වී පද්ධතියට අයත් සියලු උපකරණ සක්‍රිය කිරීමට සංඥාවක්‌ නිකුත් කරනවා. එම අනාවරකයේ සිට මීටර 800ක දුරින් රතු, කහ, කොළ වර්ණවලින් යුත් විදුලි බුබුළු සහිත වර්ණ සංඥා කණුවක්‌ සිටුවා තිබෙනවා. එතැනින් ඔබ්බට තිබෙන්නේ අලින් ළගපාතක ගැවසෙනවා ද යන්න හඳුනාගැනීමට සමත් සංවේදක පෙළක්‌ හා අලින් ළගපාතක සිටින්නේ නම් ඔවුන් පලවාහැරීමට සමත් සියුම් ශබ්ද හා කම්පන තරංග නිකුත් කරන උපාංග පෙළක්‌. ඒ වගේ ම මේ සියලු කටයුතු පාලනය හා සම්බන්ධීකරණය කරන ක්‌ෂුද්‍ර පරිගණක පද්ධතියක්‌ ද මේ කලාපයෙහි සවි කර තිබෙනවා. එම සීමාවෙන් ඔබ්බෙහි නැවතත් තිබෙන්නේ විරුද්ධ දෙසට මුහුණ ලා ඇති වර්ණ සංඥා කණුවක්‌. (විරුද්ධ දෙසින් පැමිණෙන දුම්රිය සඳහා). එතැන් සිට නැවතත් මීටර 800ක දුරින් පෙර අන්තයේ සවි කර ඇති ආකාරයේ ම දුම්රිය අනාවරක උපාංගයක්‌ සවි කර තිබෙනවා. මේ දෙකෙළවර සවි කර තිබෙන දුම්රිය අනාවරක දෙක එක්‌ එක්‌ අන්තයෙන් පැමිණෙන දුම්රිය හඳුනාගෙන පද්ධතිය සක්‍රිය කරනවා වගේ ම එක්‌ එක්‌ අන්තයෙන් දුම්රියක්‌ නික්‌ම ගිය විගස පද්ධතිය අක්‍රිය කිරීමට ද වගබලාගන්නවා.'



මේ පද්ධතිය සක්‍රිය වූ විට එහි පළමු ක්‍රියාව වන්නේ දුම්රිය මාර්ගයේ සිටින අලින් පලවාහැරීමයි. ඒ සදහා පද්ධතිය අසල බිම් මට්‌ටමෙහි සවි කර ඇති විශේෂ උපාංග පෙළක්‌ මගින් අලින් පලවා හැරීමට සමත් අතිවනික (ultrasonic) හා අවවනික (infrasonic) තරංග නිකුත් කිරීමට සලස්‌වයි.

මේ පද්ධතියේ දෙවැනි අදියර ලෙස දුම්රිය මාර්ගයෙන් ඉවත් නො වූ අලින් සිටී නම් ඒ බව දුම්රිය රියදුරු වෙත දැන්වීම අනතුරු හැගවීමේ සංඥාවක්‌ නිකුත් කිරීම මගින් සිදු කෙරෙයි.

මෙහි අලින් ගැවසීම සංවේදනය කරනු ලබන්නේ අදාළ දුම්රිය මාර්ග කොටස ඇතුළත් සෘජුකෝණාස්‍රාකාර කලාපය තුළ සිටින එකදු අලියකු හෝ මග නො හැරෙන ආකාරයට එම සෘජුකෝණාස්‍රයෙහි කොන් හතරෙහි ස්‌ථානගත කර ඇති ලේසර් කිරණ නිකුත් කරන උපාංග (emitter) මගිණි. එක්‌ එක්‌ සංවේදකයේ සිට නිකුත් කෙරෙන ලේසර් කිරණ ග්‍රහණය කිරීම පිණිස ආදායක උපාංග ද (receiver) සෘජුකෝණාස්‍රයේ සවි කර ඇත. එක්‌ එක්‌ සංවේදක උපාංගයේ සිට සෙසු සංවේදක හරහා හෝ සෘජු ව ම හෝ ග්‍රාහක උපාංග වෙත එක විට ලේසර් කිරණ ජාලයක්‌ ගමන් කරයි. සෘජුකෝණාස්‍රය තුළට අලියකු පිවිසියේ නම් මේ ලේසර් කිරණ ජාලයෙන් කවරකට හෝ හසු වෙයි. ලේසර් උපාංග සවි කර ඇත්තේ දුම්රිය මෙගහි මට්‌ටමින් අඩි 6ක්‌ උසින් බැවින් වැඩුණු අලියකු පහසුවෙන් ම ග්‍රහණය වෙයි. (පැටවුන් අඩි 6ට වඩා උසින් අඩු විය හැකි වුව ද පැටවුන් සැම විට ම වැඩිහිටියන් සමග රංචුවක්‌ ලෙස ගැවසෙන බැවින් මෙය සැලකිය යුතු ගැටලුවක්‌ නො වනු ඇතැයි උපකල්පනය කර ඇත). තව ද මේ ලේසර් ධාරාවලින් අලින් ගේ දෑස්‌වලට බලපෑමක්‌ නො වීම පිණිස අඩු වොට්‌ අගයක ඒවා පවත්වාගැනීමට නිර්මාණකරු වගබලාගෙන ඇත.

අලියකු, මේ පද්ධතිය මගින් ආරක්‌ෂා කර ඇති කලාපයේ සිටීම හේතුවෙන් ලේසර් කිරණ ගමනට බාධා වීමක්‌ සිදු වුව හොත් එය හඳුනාගන්නා ආදායක උපාංග ඒ බව ක්‌ෂුද්‍ර පරිගණක පද්ධතිය වෙත දන්වයි. එවිට එමගින් ක්‌ෂණිකව පියවරක්‌ ගනු ලැබේ. ඒ දුම්රිය පැමිණෙන දෙසට මුහුණ ලා ඇති වර්ණ සංඥා පුවරුවේ අනතුර හගවන වර්ණ විදුලි බුබුළු නිවෙමින් දැල්වීමට සැලැස්‌වීමයි. සතුන් සිටින්නේ දුම්රිය මෙගහි නම් රතු වර්ණය නිවෙමින් දැල්වේ. නිවෙමින් දැල්වෙන රතු වර්ණය දුටුව හොත් රියදුරු දුම්රියෙහි තිරිංග යොදා වේගය පැයට කිලෝමීටර 20 දක්‌වා අඩාළ කරගත යුතු වේ. දුම්රිය අනාවරකයත් සංඥා පුවරුවත් අතර මීටර 800ක දුර පරතරයක්‌ ඇති බැවින් සුදුසු ප්‍රතික්‍රියාවක්‌ දැක්‌වීමට දුම්රියට සාධාරණ කාලයක්‌ ලැබෙයි. පද්ධතිය මගින් ආරක්‌ෂා කර ඇති කලාපයේ බාධකයක්‌ නොමැති නම් කොළ වර්ණ විදුලි බුබුළු දැල්වෙයි. පද්ධතියේ යම් උපාංගයක දෝෂයක්‌ හටගත හොත් කහ වර්ණයෙන් විදුලි බුබුළු නිවෙමින් දැල්වෙනු ඇත. නිවෙමින් දැල්වෙන කහ වර්ණයෙන් රියදුරුට ලබා දෙන සංඥාව වනුයේ එන්ජිමේ බලසැපයුම විසන්ධි කර එම කොටස ධාවනය කළ යුතු බවයි. එවිට දුම්රිය තවදුරටත් ඉදිරියට ඇදෙන නමුත් බලසැපයුම විසන්ධි කර ඇති බැවින් ඕනෑ ම මොහොතක දුම්රිය ඉක්‌මනින් නතර කරගත හැකි ය. දුම්රිය, දුම්රිය මෙගහි අනෙක්‌ අන්තයේ ඇති අනාවරකය පසු කර ගිය සැණින් පද්ධතිය අක්‍රිය වෙයි.

මේ පද්ධතියේ තවත් වැදගත් ම විශේෂාංගයක්‌ වන්නේ යම් උපාංගයක දෝෂයක්‌ හටගත හොත් එය ද අනාවරණය කරගෙන අදාළ ස්‌ථානවලට වාර්තා කිරීමට එය සමත් වීම ය. ස්‌වයංක්‍රීයව ස්‌වකීය දෝෂ හඳුනාගැනීම සඳහා (self diagnosis) ස්‌වාධීන නිරීක්‌ෂණ උපකරණ මේ පද්ධතිය තුළ සවි කර ඇති අතර දෝෂ හා බිදවැටීම් පිළිබදව ශ්‍රී ලංකා වනජීවී භාරයේ ඇති මධ්‍යගත කරන ලද 'සොබා' වනජීවී නිරීක්‌ෂණ පද්ධතිය වෙත වහා ම දැනුම් දෙනු ඇත. ඒ සමග ම හානි වූ කොටසට විදුලිය සැපයීම නවත්වා ඉතිරි කොටස්‌වලින් පද්ධතිය පවත්වාගෙන යැමටත් බිදවැටීමක දී ක්‍රියාත්මක විය යුතු අමතර පද්ධතිය (Backup) ස්‌වයංක්‍රියව ක්‍රියාත්මක කිරීමටත් පද්ධතියේ පරිගණකය ක්‍රියා කරනු ඇත. ඒ සමග ම ප්‍රධාන ක්‌ෂුද්‍ර පරිගණකය විසන්ධි වූ විට ඒ බව හදුනාගෙන රියදුරුට අනතුරු හැගවීමේ ස්‌වාධීන පද්ධතියක්‌ ද මෙයට ඇතුළත් කර ඇත. එවිට නඩත්තු නිලධාරීන්ට කෙටි කාලයකින් එහි පැමිණ දෝෂය නිරාකරණය කිරීමේ හැකියාව ලැබේ. මේ උපකරණ කාලගුණ තත්ත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයට මුද්‍රd තබා ඇතත් අකුණු පහරක්‌ වැනි අවස්‌ථාවක ක්‍රියාකාරිත්වයට බලපෑමක්‌ සිදු වීමේ ඉඩකඩක්‌ නැතුවා නො වේ. අලුත්වැඩියාවන් සිදු වන තුරු තිබෙන අවම උපකරණ ප්‍රමාණයෙන් වුව පද්ධතිය ක්‍රියාත්මක වන ලෙස එය නිර්මාණය කර ඇති බව ඉංජිනේරු ඉරෝෂ පවසයි. එමෙන් ම අලියකු හෝ මිනිසකු හෝ මේ උපකරණ ගැලවීමට උත්සාහ කළ හොත් ඔවුන් පලවාහැරීමට ද මෙහි ආරක්‌ෂක උපක්‍රමයක්‌ යොදා ඇත.

ධාවක රාජසිංහ