logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


විද්‍යා ප්‍රබන්ධ
අඟහරු ගේ හිමිකරුවෝ


(1994 ජනවාරි 19 සිට පෙබරවාරි 09 දක්‌වා විදුසර පුවත්පතෙහි පළ වූ ප්‍රබන්ධයකි. ප්‍රබන්ධ කතා ලිවීමට උනන්දුවක්‌ දක්‌වන නවක පිරිස්‌වලට මඟපෙන්වීමක්‌ වශයෙන් එකල පළ වූ විශිෂ්ට ගණයේ ප්‍රබන්ධ කතා මෙසේ නැවත පළ කරමු).

පවුලේ සියලු දෙනා ම බෝට්‌ටුවෙන් විනෝද සවාරියක්‌ යා යුතු ය යන යෝජනාව ගෙන ආවේ අම්ම්d වුව ද එය තාත්තා ගේ අදහසක්‌ ක්‍රියාවට නැඟීමක්‌ වන බව ටිමොති දැන සිටියේ ය. යෝජනාව ඉදිරිපත් වූ වහා ම ළමයින් අතරින් මහත් ඝෝෂාවක්‌ පැනනැඟි අතර සියල්ලෝ ම ගමනට සූදානම් වූ හ. තාත්තා අඟහරු අහස දෙස නෙත් යොමාගෙන සිටියේ ය. ළමුයි තිදෙනා මෝටර් බෝට්‌ටුව තුළට පැනගත් හ.

"හුරා" බෝට්‌ටුව ඈත දියඹට ඇදී යද්දී සියල්ලෝ ම එකවර ප්‍රීති ඝෝෂා කළ හ.

ටිමොති බෝට්‌ටුවේ පිටුපස තාත්තා ළඟින් වාඩි වී සිටියේ ය. පෘථිවියේ සිට ඔවුන් පැමිණි පෞද්ගලික රොකට්‌ටුව ගොඩබැස්‌වූ ස්‌ථානය ඔහුට පෙනිණි. පෘථිවියෙන් නික්‌ම ඒමට පෙර දින රාත්‍රිය ඔහුට සිහිපත් විය. තාත්තා කොතැනකින් හෝ කවර අන්දමකින් හෝ රොකට්‌ටුවක්‌ සොයාගෙන තිබිණි. නිවාඩුව ගත කිරීම සඳහා අඟහරු ලොව යන බව කියෑවිණි. ඔවුන් අඟහරු ලොවට පැමිණියේ ඒ අන්දමට ය.

බෝට්‌ටුව ඈතට ඇදී යද්දී තාත්තා ගේ මුහුණේ සටහන් වී තිබූ අමුතු පෙනුම ටිමොතිට ගැටලුවක්‌ විය.

"අපි කොයි තරම් ඈතට යනව ද තාත්තේ?" රොබට්‌ විමසී ය.

"අවුරුදු දස ලක්‌ෂයක්‌ ඈතට."

තාත්තා කියද්දී රොබට්‌ ගේ මුහුණෙන් පිළිබිඹු වූයේ විස්‌මයකි.

"අර බලන්න, මිය ගිය නගරයක්‌." අම්මා අත දිගු කර පෙන්වූවා ය.

ඔවුන් ගේ බලාපොරොත්තු සහගත බැල්ම ඒ දෙසට යොමු විය. අගහරු අහසේ වූ හිරු ගේ රශ්මියෙන් ගිනියම් වී තිබූ රෝස පැහැති ගල් තලාවක්‌, ගරා වැටුණු කුලුනු කිහිපයක්‌, හුදෙකලා වූ කොතක්‌ හා මායිම් ක්‌ෂිතිජයේ සීමාවෙන් ඔබ්බට දිව ගිය වැලි කතරක්‌ බැල්මට හසු විය.

ටිමොති, තෙරක්‌ නො පෙනෙන නිල් අහස දෙස බලා සිටියේ ය. පෘථිවිය, යුද්ධය, විනාශ වී ගිය නගර, එකිනෙකා කුලල් කාගන්නා මිනිසුන් ඔහුට සිහිපත් විය. එහෙත් ඔහුට ඒ කිසිවක්‌ නො පෙනෙණි.

"කොහොම ද ටිම් ගමන?"

විලියම් තෝමස්‌ තම නළල පිස දමමින් පුතු ටිමොති දෙස බැලී ය.

"හොඳයි, තාත්තේ. තාත්තා මොකද ඔය තරම් අහස දිහා බලන්නේ?"

"මම හොයන්නේ යුක්‌තිය, හරි දැක්‌ම, හොඳ ආණ්‌ඩුවක්‌, සාමය, වගකීම වගේ දේවල්."

"අහසේ?"

"නැහැ, පුතා. දැන් ඒවා එහෙ නැහැ. සමහර විට නැවත ඇති වන ඒකකුත් නැහැ." එක්‌වර ම ළමයින් ගෙන් මහත් ඝෝෂාවක්‌ ඇති විය. බෝට්‌ටුව අසලට පැමිණ සිටි රිදී පැහැති මාළුවකු, ආහාර කැබැලි ගැනීමට පොරබදන අයුරු බැලීමට ළමයින් එක්‌ රොක්‌ වීම නිසා බෝට්‌ටුව තදින් පැද්දිණි.

"හරියට ම යුද්ධය වගේ. යුද්ධය පිහිනාගෙන එනවා, ආහාර දකිනවා, ගිවිසුම් ඇති කරගන්නවා, ඊට මොහොතකට පස්‌සේ පෘථිවිය විනාශයි."

"විලියම්" අම්මා ගේ ස්‌වරයේ වූයේ අනතුරු ඇඟවීමකි.

"කණගාටුයි" තාත්තා සෙමෙන් කීවේ ය.



ඔවුහු නිසලව ඉදගෙන ගලා බසින සිසිල් වූ ජල කද ස්‌පර්ශ කළ හ. ඇසුණේ, ගලාබසින ජලයේ හඩත්, බෝට්‌ටුවේ මෝටරයේ හඩත් පමණි.

"කොයි වෙලාවට ද තාත්තේ, අපි අඟහරු ලෝකේ මිනිස්‌සු දකින්නේ?" මයිකල් ඇසුවේ ය.

"ඉක්‌මනට සමහර විට අද රෑට ම" තාත්තා කීවේ ය.

"ඒ ගොල්ලෝ දැන් වඳ වෙලා." අම්මා කීවා ය.

"නැහැ. මම කොහොම හරි පෙන්නන්නම් කෝ." තාත්තා ස්‌ථිර කොට කීවේ ය.

ටිමොති කිසිවක්‌ කීවේ නැත.

"ඒ ගොල්ලෝ කොයි වගේ ද?" මයිකල්ට දැනගැනීමට උවමනා විය.

"ඒ අයව දැක්‌කම දැනගන්න පුළුවන් වෙයි." තාත්තා කීවේ මඳ සිනාවකින් යුතු ව ය.

අම්මා ගේ මුහුණේ වූ කල්පනාකාරී ස්‌වභාවය ටිමොතිට තවමත් ගැටලුවක්‌ විය.

ඔවුහු සැතපුම් දස ලක්‌ෂ ගණනක්‌ ගෙවා පැමිණියේ හුදෙක්‌ මේ විනෝද චාරිකාවේ යෙදෙන්නට ද? රොකට්‌ටුව තුළ තුවක්‌කුවක්‌ තිබුණේ ඇයි? ඔවුන්ට වසර ගණනාවකට ප්‍රමාණවත් වන තරම් ආහාර තොගයක්‌ ඔවුන් ගේ රොකට්‌ටුව ආසන්නයේ සඟවා තබා තිබුණේ ඇයි? විනෝද සවාරියකට වඩා වෙනස්‌ හා බිය ගෙන දෙන දෙයක්‌ ඒ පිටුපස ඇත. එහෙත් එම කඩතුරාව ඉවත් කිරීමට ටිමොතිට හැකියාවක්‌ නො වී ය. වයස 8 හා 10 වන අනෙක්‌ දරුවන් දෙදෙනාට ඒ ගැන තේරුමක්‌ නැත.

"අඟහරු ලෝකේ මිනිස්‌සු තවමත් නැහැ නේ." රොබට්‌, තම නිකට දැත් මත තබා ජල කද දෙස බලමින් කණගාටුවෙන් කීවේ ය.

තාත්තා පරමාණුක රේඩියෝවක්‌ අතේ බැඳගෙන විත් තිබිණි. එය ක්‍රියා කළේ යල් පැනගිය සිද්ධාන්තයකට අනුව ය. ඔබේ කන අසලට ළං කළ විට, එය කම්පනය වී ශබ්දය නිකුත් වේ. තාත්තා දැන් එයට සවන් දේ. ඔහු ගේ මුහුණ ගරා වැටුණු අඟහරු නගරයක්‌ මෙන් අජීවී විය.

ඉන්පසු එය අම්මාට සවන් දීමට දුන්නේ ය. ඇගේ මුව ඉබේ ම විවර විය.

"මොකක්‌ ද?" ටිමොති අසන්නට සැරසුණු ප්‍රශ්නය, ඔහු ගේ මුවින් පිට වූයේ නැත.

තාත්තා එක්‌වර ම බෝට්‌ටුවේ වේගය වැඩි කළේය. බෝට්‌ටුව තදින් පැද්දෙන්නට විය. රොබට්‌ බිය වී කෑගසන්නට වූ මුත් මයිකල් අම්මා ගේ කකුලේ එල්ලී, තම නාසය අසලින් ගලා ගිය ජල දහර දෙස බලා සිටියේ ප්‍රීතියෙනි. තාත්තා, බෝට්‌ටුවේ වේගය අඩු කොට එය අතුරු ජල මාර්ගයකට යොමු කළේ ය. ජල කඳ කැළඹී, දිය රැළි නැඟුණු අතර, ඒවා ගල්පර මත හැපී විසිරී ගියේ ය. බෝට්‌ටුව නතර විය.

සියල්ලෝ ම සවන් යොමාගෙන සිටිය හ.

තාත්තා තදින් හුස්‌ම ගන්නා හඩ ඔවුනට ඇසිණි.

තාත්තා ඉන් පසු සුසුමක්‌ පිට කොට සැහැල්ලුවෙන් තමාට ම සිනාසුණේ ය.

"අපේ රොකට්‌ එක ගැන කල්පනා කළේ....."

"ඇයි මොකද වුණේ, තාත්තේ? මොකද වුණේ?"

මයිකල් ඇසී ය.

"අපි අපේ රොකට්‌ එක පුපුරුවා හැරියා. තාත්තා වෙනුවට පිළිතුරු දුන්නේ ටිමොති ය."

"ඇයි අපි අපේ රොකට්‌ එක පිපිරෙව්වේ?, ඇයි තාත්තේ?" මයිකල් ඇසී ය.

"තාත්තා එහෙම කළේ අපි කොහාට ද ගොඩ බැස්‌සේ, කොහාට ද ගියේ කියලා හොයාගන්න බැරි වෙන්න. සමහර විට ඒ අය සොයලා බලන්න පුළුවනි."

"මම ටිකක්‌ බයෙන් හිටියේ. තවත් රොකට්‌ තියේ වි කියලා හිතන එක මෝඩකමක්‌. සමහර විට එඩ්වඩ් එයා ගේ නෝනත් එක්‌ක ඒගොල්ලන්ගේ පෞද්ගලික රොකට්‌ එකෙන් එන්න ඉඩ තියෙනවා." තාත්තා කීවේ ය.

ඔහු නැවත වරක්‌ තම කුඩා රේඩියෝව කනට ළං කළේ ය. මිනිත්තු දෙකකට පසුව ඔහු තම අත පහත හෙළී ය.

"ඒක ඉවරයි." ඔහු අම්මාට කීවේ ය.

"අන්තිම පරමාණුක තරංගයත් නැති වී ගියා. හැම ගුවන් විදුලි විකාශනයක්‌ ම අවසානයි. අහස සම්පූර්ණයෙන් ම නිශ්චලයි. එය සමහර විටම එලෙසින් ම පවතී වි."

"කොයි තරම් කාලයක්‌ ද තාත්තේ?" රොබට්‌ ඇසී ය.

"සමහර විට ඔයගොල්ලන් ගේ මුණුබුරන්ට ඒක ආයෙත් අසන්නට පුළුවන් වේ වි." ඔහු බෝට්‌ටුව නැවතත් ඇල මාර්ගයට යොමු කොට, ඔවුන් මුලින් යමින් සිටි දිශාවට නැවතත් ගමන් කරවී ය.

හිරු බැස යමින් පැවැති අතර, තවත් මිය ගිය නගර කීපයක්‌ ඔවුන් අබියස විය.

තාත්තා ඉතා සෙමින්, මෘදු ව තම පුතුන් සමඟ කතා කළේ ය. අද ඔහු ඔවුන් සමඟ අමුතු සුහදබවක්‌ ඇති කරගෙන ඇති සෙයකි.

"මයික්‌, නගරයක්‌ තෝරන්න"

"මොකද්ද තාත්තේ?"

"නගරයක්‌ තෝරන්න පුතා. අපි දැන් පහු කරගෙන යන ඕනෑ ම නගරයක්‌"

"හොඳයි" මයිකල් පැවසී ය.

"කොහොම ද තෝරන්නේ?"

"ඔයා වැඩියෙන් ම කැමැති නගරය තෝරන්න."

රොබට්‌, ටිම් ඔයගොල්ලත් තෝරන්න.

"මට ඕනේ අඟහරු ලෝකේ මිනිස්‌සු ඉන්න නගරයක්‌." මයිකල් කීවේ ය.

"ඔයාට ඒක ලැබෙයි. ඒ ගැන මම පොරොන්දු වෙනවා." තාත්තා එසේ කියද්දී ඔහු ගේ දැස්‌ අම්මා වෙත යොමු වී තිබිණි. මිනිත්තු 20ක්‌ ඇතුළත ඔවුහු නගර 6ක්‌ පසු කොට ගමන් කළ හ. මුල් ම නගරයට මයිකල් කැමැති විය. දෙවැන්නට කිසිවකු කැමැති වූයේ නැත. දැවයෙන් නිමවා තිබූ එය පෘථිවිවාසියකු ගේ වාසභූමියක්‌ වූ අතර, ගරා වැටෙමින් පැවතිණි. හතර වැනි හා පස්‌ වැනි ඒවා බොහෝ කුඩා විය. හය වැන්න අම්මා ද ඇතුළු සියල්ලන් ගේ ම ප්‍රසාදයට ලක්‌ විය.

විශාල ආකෘති 50ක්‌ 60ක්‌ පමණ එහි තවමත් ඉතිරි වී පැවතිණි. මං මාවත් දුහුවිල්ලෙන් ගහන විය. ජලය ගබා බසින උල්පත් කිහිපයක්‌ ද දකින්නට හැකි විය.

"අපි කැමැති මේ නගරයට." සියල්ලෝ ම එකඟත්වය පළ කළ හ.

තාත්තා බෝට්‌ටුවේ මෝටරය ක්‍රියා විරහිත කොට ඉන් පිටතට පැනගත්තේ ය.

(මතු සම්බන්ධයි)

අනුවාදය

අමල් වික්‍රමසූරිය