logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ක්‌වොන්ටාවේ කතාව 09
ස්‌වභාවධර්මයා පිමි පනින්නේ නැත් ද?

දෙවියන් ලෝකය මවා ඇත්තේ පරිපූර්ණවයි. එහි කිසිදු දෙයක්‌ නැති හිස්‌ අවකාශ තැබීමට දෙවියන්ට හේතුවක්‌ නැත. එම නිසා හිස්‌ අවකාශය කියා දෙයක්‌ නැත. සියල්ල සන්තතික ව පිරී ඇත" යනුවෙන් ගොට්ෆ්‍රSඩ් ලයිබ්නිට්‌ස්‌ කීවේ ය.

ලියන්නේ - සමිත ප්‍රසන්න හේවගේ

හෙරික්‌ලිටස්‌ ගේ, බහුවිධ ශ්‍රාවයක්‌ ලෙස වෙනස්‌ වෙමින් ගලා යන සන්තතික ලෝකයත්, පාමෙන්ඩිස්‌ ගේ වෙනස්‌ නො වන, චලනය නො වන, ගල්ගැසුණු, සන්තතික, බෙදිය නොහැකි එකීයත්වයත් අතර වූයේ විසංවාදයකි. මීට පිළිතුරක්‌ ලෙස අපට පෙනෙන වෙනස්‌ වීම හා බහුවිධත්වය, වෙනස්‌ නො වන, වැනසිය නොහැකි යථාර්ථයට ඌනනය කරන්නේ කෙසේ ද?

එයට එක්‌ පිළිතුරක්‌ වූයේ ලියුකිපස්‌ හා ඔහු ගේ ගෝල ඩිමොක්‍රිටස්‌ ගේ පරමාණුවාදයයි. වෙනස්‌ වන ගුණයන් සහිත, ජීවයෙන් පිරි ලෝකය අපරිමිත ව බෙදිය නොහැකි හෙවත් වැනසිය නොහැකි, ඝන, කිසිදු ගුණයක්‌ නොමැති මූලික ඒකකවලින් තැනී ඇතැයි යන්න එම වාදයයි. එනම් ලෝකය යාන්ත්‍රික ව ඒක හේතුවකට ඌනනය කිරීමයි. ගින්න, වාතය, ජලය හා පස යන මූලයන් සතර හෝ ඉන් එකක්‌ හෝ ලෝකයේ වෙනස්‌ නො වන පදනම ලෙස ඊට පෙර ද ඇතැම්හු විශ්වාස කළ හ. ඩිමෝක්‍රිටස්‌ ගේ වෙනස වූයේ ඔහු ගේ පරමාණුවේ, අර අනෙක්‌ අය ගේ මූලවල මෙන් කිසිදු ගුණයක්‌ (Qualia‌) නො වීමයි. උදාහරණයක්‌ ලෙස ගින්න යන මූලයේ රස්‌නය නම් අපේ වේදනය ඇත. ජලයේ තෙත ගතිය ඇත. ඩිමොක්‍රිටස්‌ කියන්නේ මේ දැනීම් සියල්ල හුදු පරමාණු එකතු වීම හා වෙන් වීම නිසා සම්මුතියක්‌ ලෙස ජනිත වන ඒවා මිස පරමාණුවල එවැනි කිසිදු ගුණයක්‌ නොමැති බව ය. "ඇඹුල් රස, පැණි රස, නොයෙකුත් වර්ණයන් යන දේවල් සම්මුති ලෙස පවතින මුත් යාථාර්ථය හුදෙක්‌ ම පරමාණු සහ ඒවා පවතින හිස්‌ අවකාශයයි" ඩිමොක්‍රිටස්‌ කීවේ ය. මිනිසා නොමැති විට සම්මුති ලෝකය නොමැති වුවත් පරමාණු හා හිස්‌ අවකාශය පවතී.

දැන් ඩිමොක්‍රිටස්‌ ඉදිරිපිට ප්‍රශ්නයක්‌ ඇත. කිසිදු ගුණයක්‌ නොමැති පරමාණුවල එකතුවෙන් අප අත්දකින ගුණයන් ඇති වන්නේ කෙසේ ද? රෝස මලක රෝස පැහැය නමැති ගුණය කිසිදු ගුණයක්‌ නොමැති පරමාණුවලින් ඇති වන්නේ කෙසේ ද? ඩිමොක්‍රිටස්‌ කීවේ ලෝකයේ ස්‌වභාවයෙන් ම පවතින (Physis) සහ සම්මුතියෙන් පවතින (Nomos) ලෙස දේවල් දෙවර්ගයක්‌ ඇති බවයි. (මෙය ඔහුට පෙර ද තිබූ මතයකි). ලෝකයේ ස්‌වභාවයෙන් ම පවතින දේ වාස්‌තවික යථාර්ථයක්‌ බවත්, මනුෂ්‍ය වර්ගයා නොමැති වුවත් එය එසේ ම පවතින බවත්, සම්මුතියෙන් පවතින දේ කෘත්‍රීම මානව නිර්මාණයක්‌ බවත්, මිනිසා නොමැති විට එය නො පවතින බවත් ප්‍රකාශ කෙරිණි. ගුණයන් ඇති වන්නේ අපේ සිරුරේ පරමාණු සහ ලෝකයේ පරමාණු අතර ගැටුමෙන් බව ද ඔහු කීවේ ය. රෝස මලේ පරමාණු අපේ සිරුරේ පරමාණු හා ගැටුමෙන් රෝස පැහැය නම් ගුණය ඇති වේ. ඩිමොක්‍රිටස්‌ තවදුරටත් කීවේ රස, සුවඳ, වර්ණ ඇතුළු සියලු දැනීම් සම්මුතීන් බවත්, ඒවා යථාර්ථය නො වන බවත් සහ පරමාණු සහ හිස්‌ අවකාශය එක ම යථාර්ථය බවත් ය. "දැන් බිය වීමට කාරණාවක්‌ නැහැ. සත්‍යය නම් පරමාණු හා හිස්‌ අවකාශය පමණයි. ඉතින් එතනින් එහා ගිය අප පාලනය කරන දෙවියකු ගැන බිය වන්නේ කුමකට ද?" ඩිමොක්‍රිටස්‌ ගේ ගෝලයා එසේ ඇසුවේ ය.

මහා දාර්ශනිකයන් ලෙස සැලකෙන ප්ලේටෝ සහ ඇරිස්‌ටෝටල් පරමාණුකවාදය විශ්වාස කළේ නැත. ප්ලේටෝ ගුණයන් සහිත තව දුරටත් බෙදිය නොහැකි ගණිතමය රූපක ලෙස පවතින මූල සතරෙන් ලෝකය තැනී තැනී ඇති බව කීවේ ය. (බෙදිය නොහැකි කාල ඒකකයක්‌ ගැන ද ඔහු කතා කොට ඇත). ඇරිස්‌ටෝට්‌ල් ඩිමෝක්‍රිටස්‌ට පමණක්‌ නො ව ප්ලේටෝට ද එරෙහි ව ගියේ ය. ඔහු කීවේ ලෝකය සන්තතික බවත් එහෙයින් අපරිමිත ව බෙදිය හැකි බවත් ය. ද්‍රව්‍යයට ද, කාලයට ද හා අවකාශයට ද අඛණ්‌ඩ ව විසිර පවතින ඒකක රහිත පැවැත්මක්‌ ඇතැයි ඔහු කීවේ ය. ඔහු ගේ විශ්වාසය වූයේ මූල සතර වූ ගින්න, ජලය, වාතය හා පස මගින් ලෝකය නිර්මිත නමුත් ඒවා සන්තතික බවයි. කෙසේ වුවත් ඔහු ද්‍රව්‍යයක ගුණය නො නසා බෙදිය හැකි අවම අවස්‌ථාවක්‌ (Natural minima) ගැන විශ්වාස කළේ ය. එතනින් එහාටත් එය අපරිමිත ව බෙදිය හැකි වුවත් අර ද්‍රව්‍යයේ අනන්‍යතාව තවදුරටත් නැත. උදාහරණයක්‌ ලෙස( රන් කැබැල්ලක්‌ ගෙන අපරිමිත ව බෙදිය හැකි වුවත් යම් මට්‌ටමකින් එහාට එහි රන් ගතිය (ගුණය) නැති වේ. ගණිත ඉලක්‌කම් අප ගේ වචන වැනි දෑවල නම් පරමාණුක පැවැත්ම ගැන ඇරිස්‌ටෝටල් සදහන් කොට ඇත.

ඇරිස්‌ටෝටල්ට පසු ව සිටි එපිකියුරස්‌ (Epicurus) පරමාණුකවාදියකු වූ අතර, ඔහු ඇරිස්‌ටෝට්‌ල්ට එරෙහි ව ගියේ ය. ඔහු පරමාණුවට බරක්‌ ඇතැයි කියමින් පරමාණු එක මත එක එකතු වී විශ්වය ඇති වූ අයුරු විස්‌තර කළේ ය.

කෙසේ වෙතත් වසර දෙ දහසක්‌ ම පමණ බොහෝ දුරට බටහිර ලෝකයේ අධිපති මතවාදය වූයේ ලෝකයක්‌ ආක්‍රමණය කළ ඇලෙක්‌සැන්ඩර් රජු ගේ ගුරුතුමා වූ ඇරිස්‌ටෝට්‌ල් ගේ දැක්‌ම බැවින් පරමාණුකවාදයට එතරම් තැනක්‌ හිමි වූයේ නැත. ඇරිස්‌ටෝට්‌ල්ට වසර දෙ දහසකට පමණ පසු ප්‍රංසයේ සිටි බටහිර දර්ශනයේ පියා යෑ යි සලකන ඩෙකාට්‌ස්‌ ගේ මතය ද වූයේ පදාර්ථය තුළ හිස්‌ අවකාශ තිබිය නොහැකි බවත්, එබැවින් එය සන්තතික බවත් ය.

"ද්‍රව්‍යය සෑදී ඇත්තේ අපට ග්‍රහණය කළ නොහැකි ඉතා කුඩා කොටස්‌වලින්. ඒවා තවදුරටත් බිඳිය හැක්‌කේ දෙවියන්ට පමණක්‌ වන අතර කිසිදු භෞතික ක්‍රියාවකට එය කළ නොහැකියි." එසේ කීවේ වායුන්වල හැසිරීම ගැන අධ්‍යයනය කළ 17 වැනි සියවසේ සිටි එංගලන්ත ජාතික රොබට්‌ බොයිල් ය. (Robert Boyle).

"ආරම්භයේ දී ම සර්වබලධාරී දෙවියන් විසින් ම මැවුණු මේ පදාර්ථය කිසිදු අනෙක්‌ බලයකට විනාශ කිරීමට වත්, තවදුරත් බෙදීමට වත් කිසි විටක්‌ නොහැකි ය." එසේ කීවේ අයිසැක්‌ නිව්ටන් ය. අවකාශයේ ඉඩක්‌ ගන්නා, දෘඪ, චලනයේ පවතින, අවස්‌ථිතියකින් යුක්‌ත අංශු හෙවත් පරමාණුවලට ඔහු ද්‍රව්‍යය ඌනනය කළේ ය. ඇත්තෙන් ම ඩිමෝක්‍රිටස්‌ ගේ පරමාණුවට නිව්ටන් අවස්‌ථිතිය එක්‌ කළේ ය. එමෙන් ම ඔහු ඒ පරමාණු අතර සිය නියමවලට අනුව බලයන් ක්‍රියා කරන්නේ යෑයි ද කීවේ ය. කෙසේ වුවත් ඔහු ගේ අදහස වූයේ දෙවියන් ගේ මැදිහත් වීමක්‌ නොමැති ව හුදු පරමාණු එකතු වීමෙන් පමණක්‌ විවිධත්වයන් ගෙන් යුක්‌ත ජීවයක්‌ බිහි විය නොහැකි බව ය. නිව්ටන් එතනින් එහාට ගොස්‌ ආලෝකය ද පරමාණු ප්‍රවාහයක්‌ යෑයි කී බව ද අපි දුටුවෙමු.

"ස්‌වභාවධර්මයා පිමි පනින්නේ නැත" එසේ කීවේ නිව්ටන් ගේ පසමිතුරු ජර්මනියේ උපන් ගොට්ෆ්‍රSඩ් ලයිබ්නිට්‌ස්‌ ය (Robert
Boyle). එනම් සියල්ල සන්තතිකය යන්නයි. "දෙවියන් ලෝකය මවා ඇත්තේ පරිපූර්ණවයි. එහි කිසිදු දෙයක්‌ නැති හිස්‌ අවකාශ තැබීමට දෙවියන්ට හේතුවක්‌ නැත. එම නිසා හිස්‌ අවකාශය කියා දෙයක්‌ නැත. සියල්ල සන්තතික ව පිරී ඇත" ලයිබ්නිට්‌ස්‌ වැඩිදුරටත් කීවේ ය. පරමාණුවට විරුද්ධ ව ගියත් ඔහු කීවේ ද යථාර්ථයට ඒකකයක්‌ (Monad) ඇති බවත් එයට ප්‍රමාණ විරහිත, ද්‍රව්‍යය නො වන, භෞතික නො වන පැවැත්මක්‌ ඇති බවත් ය.

"පදාර්ථය ඉතා කුඩා වන තුරු බෙදිය හැකි වුවත් එය අපරිමිත ව නම් බෙදිය හැකි නො වේ. එනම් යම් අවස්‌ථාවකින් පසු තවදුරටත් බෙදීම කළ නොහැකි විය යුතු ය. කෙසේ වුවත් මේ කුඩා ම පරමාණුව කිසිදු අණ්‌වීක්‌ෂයකින් පවා කිසි දින දැකගත හැකි වේ දැයි යන්න සැක සහිත ය". 1808 දී පමණ මෙසේ ලීවේ එංගලන්තයේ උපන් ජෝන් ඩෝල්ටන් ය (John Dalton). ඔහු ගේ පරමාණුව ද වැනසිය නොහැකි, වෙනස්‌ කළ නොහැකි දෙයකි. එමෙන් ම ඔහු කීවේ පරමාණුවේ අනන්‍යතාව නම් එහි බර බවයි. එනම්( වෙන වෙනස්‌ මූලද්‍රව්‍යයවල පරමාණු වෙන වෙනස්‌ බරවලින් යුක්‌ත ය. එමෙන් ම ඔහු කීවේ රසායනික ප්‍රතික්‍රියාවල දී වෙනස්‌ මූලද්‍රව්‍යවල පරමාණු එකතු වීමෙන් නව මූලද්‍රව්‍යය සෑදෙන බව ය.

ඇත්තෙන් ම මේ කරුණු ඔහු ගෙතුවේ රසායනික ප්‍රතික්‍රියා අධ්‍යයනය කොට ඒ වන විට ලබා තිබුණු යම් නිරීක්‌ෂණ පැහැදිලි කිරීමට ය. සංවෘත බඳුනක්‌ තුළ ප්‍රතික්‍රියා සිදු කරමින් ඇන්ටෝනි ලැවෝයිසියර් (Antoine Lavoisier) 1785 දී පමණ දුටුවේ ප්‍රතික්‍රියකවල බරත් පසු ව සෑදෙන ඵලවල බරත් සමාන බව ය. එය ස්‌කන්ධ සංස්‌ථිති නියමය ලෙස හැඳින්විණි. තව ද 1800 පමණ වන විටත් දැන සිටි දෙයක්‌ නම් රසායනික ප්‍රතික්‍රියා සිදු වන විට මූලද්‍රව්‍ය එක්‌ වී සංයෝග සෑදෙන්නේ හැම විට ම බර අනුව යම් පූර්ණ, සරල අනුපාතවලට අනුවය යන්න ය. උදාහරණයක්‌ ලෙස හයිඩ්‍රජන් සහ ඔක්‌සිජන් එක්‌ වී ජලය සෑදෙන විට සැම විට ම හයිඩ්‍රජන් ග්‍රෑම් එකක්‌ සමඟ ඔක්‌සිජන් ග්‍රෑම් අටක්‌ එකතු වේ එනම්: 1:8 අනුපාතයට එය සිදු වේ.

පරමාණු නැසිය නොහැකි යි කීමෙන් ස්‌කන්ධ සංස්‌ථිති නියමයත් වෙනස්‌ මූලද්‍රව්‍යවල පරමාණුවල බර වෙනස්‌ ය සහ ඒවා ප්‍රතික්‍රියා කරන්නේ යම් අනුපාතවලට ලෙස ගැනීමෙන් ඉහත දෙවැනි නිරීක්‌ෂණයත් යම් තරමකට පැහැදිලි කිරීමට හැකි විය. කෙසේ වෙතත් ඩෝල්ටන් මුලින් කීවේ ප්‍රතික්‍රියාවල දී හැම විට ම එක මූලද්‍රව්‍යයක එක්‌ පරමාණුවක්‌ අනෙක්‌ මූලද්‍රව්‍යයයේ එක පරමාණුවක්‌ සමඟ පමණක්‌ එක්‌ වන බව ය. ඒ අනුව ඔහු සිතුවේ ජලය HO ලෙස පවතින බව ය.

මේ කාලයේ ම ප්‍රංශයේ සිට වායු ගැන හැදෑරූ ජෝශප් ගේ-ලුසැක්‌ (Joseph Gay-Lussac) දුටුවේ ප්‍රතික්‍රියා සිදු වන විට වායුන් එක්‌ වන්නේ සරල පරිමා අනුපාතවලට බව ය. එනම් හයිඩ්‍රජන් ලීටර් දෙකක්‌ හැම විට ම ඔක්‌සිජන් ලීටර් එකක්‌ සමඟ ක්‍රියා කොට ජල වාෂ්ප ලීටර් දෙකක්‌ සෑදේ. එහෙත් ඩෝල්ටන් එය පිළිගත්තේ නැත. 1811 දී ඉතාලි ජාතික ඇමිඩියෝ ඇවගැෙඩ්‍රාa (Amedeo Avogadro), ගේ-ලුසැක්‌ ගේ නිරීක්‌ෂණය විශ්වාස කරමින් කීවේ එම නිරීක්‌ෂණය (පරිමා සරල අනුපාතවලට එක්‌ වීම) ඩෝල්ටන් ගේ පරමාණුකවාදයෙන් පැහැදිලි කිරීමට නම් එක්‌ උපකල්පනයක්‌ කිරීමට සිදු වන බවයි. එනම් එක ම උෂ්ණත්වයක දී හා පීඩනයක දී සමාන පරිමා තුළ සමාන පරමාණු සංඛ්‍යාවක්‌ තිබිය යුතු ය යන්නයි. මෙය පසු ව ඇවගැෙඩ්‍රාa කල්පිතය ලෙස ප්‍රසිද්ධ විය. ඩෝල්ටන් එය ද පිළිගත්තේ නැත.

ගේ-ලුසැක්‌ ගෙන් සහ ඇවගැෙඩ්‍රාa ගෙන් පසු ව ආ චාලක අණුකවාදයේ ප්‍රධාන උපකල්පනය වූයේ වායු පරමාණු හෝ අණුවලින් සමන්විත ය යන පරමාණුක මතය වුවත්, අර ශක්‌ති ක්‌වොන්ටාවේ දී මෙන් ම මෙහි දී ද මේ පරමාණුව යන්න හුදු රසායනික පැහැදිලි කිරීම් සඳහා වූ උපකල්පනයක්‌ ලෙස බොහෝ අය සිතූ හ. 1826 දී ප්‍රසිද්ධ රසායනික විද්‍යාඥයකු වූ හම්ප්‍රි ඩේවි (Humphry Davy) කීවේ පරමාණුව යන්න රසායනික ක්‍රියාවල ඒකකය ලෙස ගත හැකි බවත් එයට භෞතික පැවැත්මක්‌ නැති බවත් ය.

"රසායන විද්‍යාවේ දී අපි අප අත්දකින දෙයින් එහාට යා යුතු නෑ. මට පුළුවන්කම තියෙනවා නම් මම මේ මේ නො පෙනෙන පරමාණුව කියන වචනේ රසායන විද්‍යාවෙන් මකලා දානවා." ඒ ප්‍රංස රසායන විද්‍යාඥ ජීන් ඩුමාස්‌ ය. (Jean Dumas).

ලබන සතියේ : 10 කොටස : වෙරිමතෙන් මෙන් ඔබ මොබ යන පරාගය පරමාණුකවාදීන්ට ජය ගෙන එයි

සමිත ප්‍රසන්න හේවගේ