logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


විද්‍යා ප්‍රබන්ධ
නිදිගත් සතුරා ගේ පුනරාගමනය 02

මැදියම් රැය ගෙවී ගිය වහා ම බැටරිවල ශක්‌තිය ද වියෑකී ගයේ ය. මහාචාර්ය මිල්වර්ඩ් තුළ තවදුරටත් ඒ ගැන සොයා බලන්නට හිතක්‌ තිබුණේ නැත. ඒ නිසා ම ඔහු තමන් වටා ලෝම දැවැටුම හොඳින් පොරවාගන සැප පහසු නැති නින්දකට වැටුණේ ය.

ඔහු නැවත විශ්ව විද්‍යාල ගොඩනැගිල්ල දෙසට හැරී එන විටත් උණුසුම රහිත හිරු සුදු පැහැති තනිමංසල පුරා ආලෝක දහරා වගුරවා තිබුණි.

ඔහු සිටියේ හොඳහැටි හෙම්බත් ව ය. ලැබුණු සුළු නින්දටත් තමන් ගලවාගනු ලැබීම පිළිබඳ සොඳුරු චින්තාවලීන් ගෙන් බාධා පැමිණ තිබූ හෙයිනි.

අන්න එවිට ම, අවට පැතිර තිබූ මළ නිහැඬියාව මැද එක්‌වර ම මහා ගිගුරුම් හඬක්‌ ඈතින් ඇදී ආවේ හිම මිදුණු ධවල පියෑසි දෙදරවා ලමිනි. එය පැමිණියේ - මෙවර නම් කිසිදු සැකයක්‌ නොමැති ව ම කලකට පෙර ලන්ඩනයේ මහා ක්‍රීඩාංගනය බවට පත් ව තිබූ උතුරුකරයේ කඳු වැටිවලටත් එපිටිනි. දෙපස වූ ගොඩනැගිලි මුදුනින් පුළුල් මාර්ගය මතට ඇද වැටුණේ සුධාධවල හිම දහරාවකි. ඉන්පසු, නැවතත් නිහඬතාව පැමිණියේ ය.

මහාචාර්ය මිල්වර්ඩ් ගල්ගැසී සිටගෙන උන්නේ සිතිවිලි කිරා බලමින්, සමාලෝචනය කරමින් සහ විශ්ලේෂණයක යෙදෙමිනි. සාමාන්‍ය ගිගුරුම් හඬක්‌ සේ ඇසෙන්නට මේ හඬ ඉතා ඈත දුරක සිට ඇදී ආවා විය යුතු ය. නැතිනම්, ඔහු නැවතත් සිහින දකිනවා වත් ද? එය ඈතින් ඇසුණු පරමාණු බෝම්බයක හඬට වැඩි දෙයක්‌ නො වන්නටත් හැකි ය. වරකට ටොන් මිලියන ගණනක්‌ හිමකඳු ගිනි තබා පුපුරවා හරිමින් මරණය වෙනුවට ජීවිතය ගෙන එන පරමාණු බෝම්බයක හඬක්‌ විය හැකි ය. ඔහු ගේ බලාපොරොත්තුව නැවත කුළුගැන්වී නැගී එන්නට විය. එහෙයින් ම රාත්‍රියේ පැන නැගුණු දුක්‌ඛ දෝමනස්‌සයන් කෙමෙන් වියෑකී යන්නට වූයේ ය.

හිටි අඩියේ තාවකාලිකව සිදු කළ ඒ නැවැතීම තව පොඩ්ඩෙන් ඔහු ගේ ජීවිතය ද අහිමි කරන්නට තිබුණි. පැත්තක තිබූ පටු පාරක්‌ වෙතින් හදිසියේ ම ඔහු ගේ නෙත් මානයට ආවේ සුවිශාල ධවල යමකි. එක්‌ මොහොතකට ඔහු ගේ සිත තමන් දැක්‌ක දේ පිළිබඳ ඇත්ත විශ්වාස කිරීමට අකැමැති විය. සිහිපත නැවත එද්දී ඔහු උන්නේ රිවෝල්වරය ඇදගන්නට කඩිමුඩියේ නිශ්ඵල ලෙස අතපතගාමිනි. වශීකරණයකට ලක්‌ කරන්නාක්‌ මෙන් හිස ඒ පැත්තට මේ පැත්තට වනමින් සර්පාකාර දඟර ගමනක යෙදෙමින්, හිම ඔස්‌සේ ඔහු දෙසට බර අඩි තබමින් එමින් සිටියේ යෝධ ධ්‍රැව වලසෙකි.

සන්තක ව තිබූ සියල්ල අතහැර දැමූ ඔහු කඩිමුඩියේ හිමේ එරෙමින් දිවැ ගියේ ළඟ ම තිබූ ගොඩනැගිල්ල වෙත ය. දෙවි පිහිටෙන්, බිම් මහල් දොරටුව තිබුණේ අඩි පහළොවක්‌ එපිටිනි. යකඩ දැල් ගේට්‌ටුව වසා දමලා ය. එහෙත් වසර ගණනාවකට පෙර එහි අගුල කැඩූ බව ඔහු ගේ මතකයේ රැඳී තිබුණි. පිටුපස හැරී බලන්නට ඇති වූ පෙලැඹුම ඉවැසිය නොහැකි තරම් වුණේ ඔහු පසුපස ලුහුබඳින්නා ඒ වන විට කෙතරම් කිට්‌ටු කර ඇති දැයි කිව හැකි කිසිදු හාවක්‌ හූවක්‌ එදෙසින් නො නැඟුණු හෙයිනි.

එක්‌ ත්‍රාසජනක මොහොතක්‌ තුළ දී යකඩ දැල ඔහු ගේ අවසඟ ඇඟිලිවල බලපෑමට විරෝධය දැක්‌වී ය. ඉන්පසු එය අකැමැත්තෙන් මෙන් මහා හඬක්‌ නගමින් මඳක්‌ විවර වූ අතර ඔහු පටු විවරය ඔස්‌සේ තදබද වී ඇතුළට පැනගත්තේ ය.

එක්‌වර ම ඔහු සිත තුළට කඩා වැදුණේ තැනට නො ගැළපෙන ළමා වියේ මතකයකි. ඒ, කූඩුවේ කම්බි දැල මත සිය සිරුර නො සැලකිල්ලෙන් මෙන් ඒ මේ අත වනමින් වියරු වී සිටිනු ඔහු දුටු ඇලි දිවියකු පිළිබඳ මතකයයි. උගේ දක්‌නට ලැබුණේත් දැන් මේ යකඩ දැල පසුපසට වී කේන්තියෙන් හිස ඔසවමින් එහි බාධාව මැඩ එය මතට නැගගන්නට තැත් දරනා මිනිසකු මෙන් දෙගුණයක්‌ උසැති මේ යක්‌ෂයා ගේ මුහුණේ වූ සර්පාකාර පරුෂ පෙනුම ම ය. යකඩ දැල මඳක්‌ වාංගු වූ නමුදු පීඩනය හේතුවෙන් නැමී ගියේ නැත. ඉතින්, වලසා බිමට පැන්නේ හීන් ගෙරැවිල්ලක්‌ පිට කරමිනි. ඉන්පසු ඌ සෙමින් පිය නගා ඈතට නික්‌ම ගියේ ය. ඌ බිම ඇද වැටී තිබූ කරමල්ල වරක්‌ දෙවරක්‌ ඒ මේ අත විසි කර දැම්මේ හිම මත ආහාර ටින් කිහිපයක්‌ විසුරුවා දමමිනි. ඉන්පසු ඌ පැමිණියාක්‌ මෙන්ම අතුරුදන්ව ගියේ හැල හොල්මනක්‌ නැති ව ය.

මහත් සේ තැතිගැනුණු මහාචාර්ය මිල්වර්ඩ් එක්‌ ආරක්‌ෂක මුවාවකින් තවත් තැනකට හැල්මේ කෙටිදුර දිවැ යමින් විශ්වවිද්‍යාල ගොඩනැගිල්ල කරා ළඟා වූයේ තෙපැයකට පසුව ය. අන්තිමේ දී, මේ අවුරුදු ගණනාවට පසු ඔහු තවදුරටත් මේ නගරයේ සිටින්නේ තට්‌ට තනිය ම නො වේ. ඔහු කල්පනා කළේ මෙහි තවත් අමුත්තන් පැමිණ ඇති දැයි කියා ය. ඒ රාත්‍රිය ගෙවෙන්නට පෙර ඔහුට පිළිතුරු ලැබුණි. පහන් කළුව වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබිය දී ඔහුට හයිඩ්පාර්ක්‌ දිසාවෙන් පැහැදිලිව ම හඳුනාගත හැකි පරිදි ඇසුණේ වෘකයකු ගේ හැමකි.

සතිය අවසානයට ළඟා වන විට උතුරේ සිටි සතුන් ගමන් කිරීම අරඹා ඇති බව ඔහු තේරුම්ගත්තේ ය. වරෙක ඔහු දුටුවේ පිනි මුවකු දකුණ දිග බලා පලා යන අන්දම ය. වෘක රංචුවක්‌ සද්ද බද්ද නැති ව ඌ ලුහුබැඳ ගිය හ. ඇතැම් විට රාත්‍රී කාලයෙහි දී ඔහු සවන් වැකුණේ මාරාන්තික පොරයක හඬ ය. උතුරු ධ්‍රැවයත් ලන්ඩයත් අතර පැතිර තිබූ සුධාධවල හිම වනාන්තරය තුළ ඒ තරම් වනජීවීන් සංඛ්‍යාවක්‌ දිවි ගැටගසාගන්නට සමත් ව තිබීම ගැන ඔහු විමතියට පත් විය. දැන් යම්කිසි දෙයක්‌ උන් සැවොම බිය කර දකුණු දෙසට පන්නා දමමින් සිටියි. මේ අවබෝධය ඔහු තුළ මතු කළේ තැති ගැනෙනසුලු ප්‍රමෝදයකි. මිනිසාට ආරක්‌ෂාව සපයන කිසියම් දෙයකින් මේ භය නැති සතුන් ඉවතට පලා යා වි යෑයි ඔහු කොහෙත් ම විශ්වාස කළේ නැත.

බලා ඉඳිල්ල නිසා ම ඇති වූ පීඩාව මහාචාර්ය මිල්වර්ඩ් ගේ මනසට බලපෑම් කරමින් තිබුණි. ඔහු සිය ලෝම තදින් පොරවාගෙන සීතල ඉරඑළිය යටට වී පැය ගණන් සිතන්නට වූයේ තමන් ගලවාගන්නට කණ්‌ඩායමක්‌ පැමිණීම ගැන ය. ඒ සඳහා මිනිසුන් කොයි දෙසින් ලන්ඩනයට ළඟා වේ දැයි ඔහු සිතන්නට විය. සමහර විට ගවේෂණ කණ්‌ඩායමක්‌ උතුරු අමෙරිකාවේ සිට ඇට්‌ලාන්ටික්‌ ඔස්‌සේ පැමිණියා විය හැකි ය. එසේ නම් එයට වසර ගණනාවක්‌ ගත වන්නට හැකි ය. ඒත්, ඔවුන් ඒ තරම් ඈත උතුරුකරයේ සිට එන්නේ මොන කෙංගෙඩියකට ද? ඔහු ගේ ප්‍රියතම තර්කය වූයේ අත්ලාන්තික්‌ හිම තට්‌ටුව බර බද්දල් සහිත තදබද ගමනකට තුනී වැඩි බව ය. ඒ හැරත් එය දකුණේ සිට එනවාට වඩා දිග දුරකි.

එක දෙයක්‌ ගැන කෙසේ හෝ ඔහුට සෑහීමකට පත් විය හැකි හේතුවක්‌ දැක්‌වීමට නොහැක්‌කේ ය. ගුවන් මගින් සෝදිසි කිරීමක්‌ සිදු වුණේ නැත්තේ ඇයි ද යන්න ගැන ය. ගුවනින් යැමේ ශිල්ප කලාව මේ තරම් සුළු කාලයක දී මිනිසාට අමතක ව ගියෑයි සිතීම ඉතා ම අසීරු ය.

ඉඳහිට ඔහු පොත් කඳු අතර සරන්නේ එතැන මෙතැන වූ හොඳින් ආදරය කළ පොත් වෙළුම් වෙත කොඳුරමිනි. වසර ගණනකින් හෝ විවෘත කරන්නට තරම් වත් ඔහු නිර්භීත නො වූ පොත් මෙහි තිබේ. ඒවා ඔහුට අතීතය පිළිබඳ හද සසල කරවන මතක අවදි කරවන්නේ ය. ඒත් දැන්, දවස්‌ වඩාත් ප්‍රභාවත් ව, දිරිමත් ව වැඩෙන්නට ගත් විට ඉඳහිට ඒ කාලයේ ඔහු ගේ සිත්ගත් කවි වෙළුමක්‌ තෝරාගන නැවත කියවනු ඇත. ඊළඟට ඔහු උසැති ජනෙල් කවුළුව වෙත ගොස්‌ මහ හඬින් මේ ඉන්ද්‍රජාලික වචන මොර ගසන්නේ හරියට ඒ මගින් ලෝකය සිර කරගෙන වෙළා ඇති මායා දැහැන බිඳී යතැයි සිතන්නාක්‌ මෙනි.

දැන් මෙහි උණුසුම් ය. හරියට ම, මිය ගිය වසන්තයේ අවතාර මේබිම ගොදුරු කර සැරිසරන්නට නැවත හැරී ආ ලෙසකි. මේ මුළු කාලය තුළ දී උෂ්ණත්වය හිමි මිදෙන මට්‌ටමින් ඉහළට නැංවිලා ය. ඒ අතර බොහෝ තැන්වල හිම අතරින් මල් කිනිති හිස ඔසොවලා ය. උතුරේ සිට එන්නේ කුමක්‌ වුවත් එය ඉතා ළං වී තිබේ. දවසකට කිහිප වතාවක්‌ ම අර හිතාගත නොහැකි ඝෝර නාදය නගරය ගුගුරවා ඇදී යන්නේ දහස්‌ ගණනක්‌ පියෑසි මත වූ හිමබිම පතිත කරවමිනි. ඒ සමග අමුතු පොඩි කර දමන්නාක්‌ බඳු අතුරු හඬක්‌ ද වූ අතර මහාචාර්ය මිල්වර්ඩ් එය තේරුම්ගත්තේ අසුබ බාධාවක්‌ ලෙස ය. සමහර වේලාවන්ට එය හරියට ම මහා සේනාවන් දෙකක්‌ අතර ගැටුමකට සවන් දී සිටින්නාක්‌ මෙනි. එබඳු සමහර වේලාවන්ට ඔහු තුළ නැගී එන ත්‍රාසජනක වියරු අදහස්‌ නැවත සිත හැර යන්නේ ම නැති තරම් ය. නිරන්තරයෙන් ම ඔහු මහ රැයේ ගැස්‌සී හනික අවදි වන්නේ තමන් මහා කඳුවැටි මුහුද දෙසට ගමන් ගන්නා හඬ අසන බව සිතමිනි.

වසන්තය කෙමෙන් ගෙවී යද්දී ඈත සටන් පෙරමුණක බඳු ව නැගී ආ හඬ කෙමෙන් කෙමෙන් ළං වන්නට විය. මහාචාර්ය මිල්වර්ඩ් උන්නේ අපේක්‌ෂාව සහ භීතිය අතර එකෙල මෙකෙල වෙමිනි. ඒ නමුත් ඔහුට තවදුරටත් වෘකයන් හෝ වළසුන් හෝ දක්‌නට ලැබුණේ නැත. ඔවුන් සියල්ලෝ ම දකුණ බලා පලාගිය ලෙසකි. ඒ වුවත් ඔහු තමන් ගේ මේ බළකොටුව හැර යැමේ අවදානම ගන්නට කැමැති වුණේ නැත. සෑම උදෑසනක ම ඔහු ඉහළින් ම වූ ජනේලය අසලට ගොස්‌ දුර බලන කණ්‌ණාඩියකින් උතුරුකරය දිසාව හොඳින් පිරික්‌සන නමුත් ඔහු හැම විට ම දුටුවේ හැමිස්‌ටීඩ්වලට ඉහළින් එක ලෙසට ම ඉතිරි පැතිර තිබූ හිරු රශ්මිය හා සටන් වැදෙන මහා හිම තලයයි.

ඔහු ගේ සෝදිසිය මේ කෙටි වසන්තයේ අවසන් දිනය සමග නිමා වූයේ ය. රාත්‍රියේ ඇහෙන මහා ඇඹරුම් ගිගුරුම් හඬ වෙන කවදාටත් වඩා ඉතා ළං වී තිබුණි. එහෙත් එයට නගරයේ සිට ඇති දුර ගැන සිතාගන්නට සුළු ඉඟියක්‌ වත් තවම ලැබුණේ නැත. පටු ජනේලය වෙත නැගී උතුරු දෙසට සිය ප්‍රිස්‌ම දෙනෙතිය යොමු කරනා විට දීත් මේ ගැන කිසිදු පූර්ව අනතුරු සංඥාවක්‌ ඔහු තුළ පහළ වී තිබුණේ නැත.

තර්ජනයට ලක්‌ වූ බළකොටුවක සිට පරීක්‌ෂාවෙන් බලන්නකු හට ඉදිරියට එන සතුරු හමුදාවේ පෙරමුණ ගන්නවුන් ගේ හෙලි තුඩු හිරු රැස්‌ වැදී දිදුළන අයුරු පෙනී යන්නට ඕනෑ ය. ඉතින්, අන්න එලෙස, ඒ මොහොතේ මහාචාර්ය මිල්වර්ඩ් ඇත්ත වටහාගත්තේ ය. වාතය සුපිරිසුදු ය. කඳු ශිඛර සීතල නිල් අහස්‌ ගැබ පසුබිමේ තියුණු ව බැබළෙමින් ය. ඒවායේ තිබූ සියලු ම හිම දිය වී ගොසිනි. නිරුවත් ව ය. නැවත වරක්‌ ඔහු ඒ ගැන උද්දාමයට පත් වුවත් දැන් එයින් කිසිදු ඵලක්‌ නැත.

පසුගිය දිගු රාත්‍රීන් පුරා ඔහුට අමතක ව ගොස්‌ තිබූ නිහඬ සතුරා ඔහු ගේ සියලු අපේක්‌ෂාවන් බිඳ දමා අවසන් ප්‍රහාරයට නැවතත් සීරුවෙනි. ගිලී ගිය කඳු පර්වත මුදුන් අතරින් නැෙගන මාරාන්තික ප්‍රභාවය දුටුමනින් ම, මහාචාර්ය මිල්වර්ඩ් මාස ගණනක සිට ඉදිරියට පැමිණෙමින් තිබූ බව ඔහු අසා තිබූ ඒ ගොරබිරම් හඬ කුමක්‌ දැයි හොඳින් ම වටහාගත්තේ ය. ඒ ඔහු සිත තුළ මැවුණු සිහිනයක වූ විස්‌මිතයකි. කඳුවැටි ඉදිරියට ගමන් කරමින් සිටියි.

උතුරුකරයෙන් පිටතට, ඔවුන් ගේ පෞරාණික උපන් බිමේ සිට වරෙක තමන් සතු ව තිබූ භූමිය නැවත අත්පත් කරගැනීම උදෙසා, හිමකඳු නැවත පැමිණ තිබේ.

නිමි

ආතර් සී. ක්‌ලාක්‌ ගේ The Forgotten Enemy විද්‍යා ප්‍රබන්ධ කතාවෙහි සිංහල පරිවර්තනයකි. මෙය සුගත් පී. තුලතුංගආරච්චි ගේ පරිවර්තන විද්‍යා ප්‍රබන්ධ කතා එකතුවක්‌ වන 'පිනෝකියෝ ගේ ජංජාලය සහ විශිෂ්ට විද්‍යා ප්‍රබන්ධ කතා' කෘතියෙහි අන්තර්ගත කතාවකි.