logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


විද්‍යා ප්‍රබන්ධ
ඇට්‌ලැන්ටිස්‌ ආක්‍රමණය 03 අවසාන කොටස


මේ අතර කුඩා ජෝන් මුළු වැර ම යොදා සිය අත් දෙකෙන් එඩ්වඩ් ගේ අත තම මුවින් ඉවතට ඇද "තාත්තා, අඟහරු, පාස්‌වර්ඩ් එක" යෑයි කියමින් අයිවන් දෙස බලමින් හනික කෑගැසී ය. කුපිත වු එඩ්වඩ්, කුඩා ජෝන් ගේ හිසට තද කරගෙන සිටි ගිනි අවිය ක්‍රියාත්මක කිරීමට සැරසිණි. එසැණින් පිරිසිදු කරන්නා සිය කබාය තුළින් ඇදගත් ස්‌වයංක්‍රීය ගිනි අවියකින් එඩ්වඩ් ගේ උරහිසට වෙඩි තැබී ය. වේදනාවෙන් කෑ ගැසූ එඩ්වඩ් කුඩා ජෝන් ව අතහැර බිම වැටිණි. පිරිසිදු කරන්නා සිය මුහුණට උඩින් අලවාගෙන සිටි කෘත්‍රිම මුහුණ ගැලවී ය. එතැන සිටියේ ජෝන් හැමිල්ටන් ගේ පියා වූ අයිවන් හැමිල්ටන් ය. මෙතෙක්‌ වේලා අයිවන් හැමිල්ටන් ලෙස රඟපාමින්, කකුලට වෙඩි වැදී බිම වාඩි වී සිටි පුද්ගලයා කථා කරමින්, "C33, ඔයාට පිස්‌සු ද කෝ ඔයා ගේ ඊයේ මූණ?" යෑයි කෑගැසී ය. ඔහු C24 විය. ඔහු ද සිය කෘත්‍රිම මුහුණ ගැලවී ය.

කුඩා ජෝන් තුෂ්ණිම්භූතව වැඩිහිටියන් දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බලමින්, "තාත්තා" යෑයි C33 ව ආමන්ත්‍රණය කළේ ය.

"මේ කලබල අස්‌සේ මගේ ඊයේ මුහුණ හොයාගන්න බැරි වුණා. මම අතට අහු වුණ මූණක්‌ අලවාගෙන ආවා." C33 හෙවත් අයිවන් හැමිල්ටන් පැහැදිලි කළේ, එඩ්වඩ් ගේ බිමවැටුණු සිරුර කෙළින් කරමිනි. එහෙත් එඩ්වඩ් මිය ගොසිනි.

"මම මෙයාට උරහිසට වෙඩි තිබ්බත්, මෙයා මැරිලා වැටිලා නේ. කමක්‌ නැහැ. ටෙරන්ස්‌, ඔයා අනෙක්‌ කට්‌ටියට කතා කරන්න. ඇම්බියුලන්ස්‌ එකක්‌ ගෙන්න ගත්තා නම් ඔයාට ඉක්‌මනට ඉස්‌පිරිතාලෙට යන්න පුළුවන්. ජෝන්, මම දන්නවා ඔයාට ප්‍රශ්න මිලියනයක්‌ තියෙනවා කියලා. ඒත් මේ වැඩේ ඉවර වෙනකල් මුකුත් කථා කරන්න එපා. අපිට තව විනාඩි 7යි තියන්නේ. අපි බලමු ඔයා හොයාගත්ත පාස්‌වර්ඩ් එක හරි යයි ද කියලා."

"මට නම් සැකයි. අඟහරුවල ජීවය නැහැයි කියල නේ අපි දන්නේ" C24 හෙවත් ටෙරන්ස්‌, අමාරුවෙන් නැඟිටමින් පැවසී ය. කුඩා ජෝන් ඔහුට උදව් විණි.

"කෝකටත් බලමු. අඟහරුවලට කියන්නේ රතු ග්‍රහයා කියල නේ. ඇට්‌ලන්ටිස්‌වල ඔක්‌කො ම රතුපාට ඒක අඟහරුවල පස්‌ සහ පාෂාණවලින් නිර්මාණය වුණ නිසා වෙන්න පුළුවන්" C33 පැවසී ය. ඔහු එඩ්වඩ් ගේ අතැඟිලි එකිනෙකින් ඉංගී්‍රසි හෝඩියේ M අකුර යතුරු පුවරුවේ ඇතුළු කරන්නට විය. එඩ්වඩ් ගේ වම් අතෙහි දෙවැනි ඇඟිල්ලට එය නිවැරැදි ප්‍රතිචාරයක්‌ දුනි. ඊට "නිවැරැදි අක්‌ෂරය, නිවැරැදි ඇඟිලි සලකුණ" යෑයි පරිගණකයෙන් කියවිණි. ඔහු එඩ්වඩ් ගේ දකුණතේ තෙවැනි ඇඟිල්ලෙන් A අකුර ද, දකුණතේ පස්‌වැනි ඇඟිල්ලෙන් R අකුර ද, වම් අතේ මහපට ඇඟිල්ලෙන් S අකුර ද ඇතුළු කළේ ය. එසැණින් පරිගණක වැඩසටහන විවෘත විය. C33 සහ C24 ඉමහත් ප්‍රීතියෙන් ඉපිල ගිය හ. C33 වහා වම් තිරයේ මතු වූ "STOP" යන බොත්තම එබී ය. එවිට, අධික වේගයෙන් පෘථිවිය කරා එමින් තිබුණු යානාව පෘථිවි වායුගෝලය තුළ හදිසියේ නතර වීම නිසා ඇති වු ඝර්ෂණ තාපයෙන් දැවී විනාශ විණි. ඇට්‌ලන්ටිස්‌ ආක්‍රමණය එසැණින් හාමාර විය.

"අපි අනූ නවයෙන් බේරුණේ. තව ටිකකින් පෘථිවියට මොනවයින් මොනවා වෙයි ද මන්ද?" ටෙරන්ස්‌ සැනසුම් සුසුමක්‌ හෙළී ය. ඒ කාමරයට ඒ වන විටත් බුද්ධි අංශයේ වෙනත් නිලධාරීන් පැමිණෙන්නට විය. ඔවුහු ඡායාරූප ගනිමින් විවිධ දේ සටහන් කරගත් හ. පිරිසක්‌ එඩ්වඩ් ගේ සිරුර බහලුමක දමාගෙන ගිය හ. එඩ්වඩ් ගේ උරහිසින් අධික ලේ ප්‍රමාණයක්‌ වහනය වී තිබුණු අතර, ඉන් අමුතු පිලී ගඳක්‌ මුක්‌ත වන්නට විය. තවත් නිලධාරීන් දෙදෙනකු ගේ සහාය ඇති ව ටෙරන්ස්‌ රෝහල බලා පිටත් විය.

කුඩා ජෝන් ඉතා උනන්දුවෙන් සියල්ල නිරීක්‌ෂණය කළේ ය. ඔහු ගේ පියා අනෙක්‌ නිලධාරීන් සමඟ යුහුසුලුව වැඩ කළේ ය. ටික වේලාවකින් ඉහළ නිලධාරියෙක්‌ අයිවන් සමඟ ජෝන් වෙතට පැමිණියේ ය. "එහෙනම් ඔයයි පෘථිවිය බේරාගත් වීරයා. අපේ සුබපැතුම්. අපි ඔයාට සම්මානයක්‌ දෙන්න තීරණය කරා. ඔයා කොහොම ද හරියට ම පාස්‌වර්ඩ් එක MARS කියලා දැනගත්තේ?" ඉහළ නිලධාරියා ජෝන් ව වඩාගනිමින් විමසී ය.

"ම්....ම්.... බොහොම ස්‌තූතියි. ඒත් මෙතන මේ වෙන්නේ මොනව ද කියලා තාත්තා මට කියනකල්, මම පාස්‌වර්ඩ් එක හොයාගත්ත විදිහ කියන්නේ නැහැ." කුඩා ජෝන් බැරෑරුම් ලෙස පැවසී ය.

ඉහළ නිලධාරියා සිනාසිනි. "එහෙනම් ඒක තාත්තයි පුතයි විසඳගන්න කෝ. අපි ආයෙත් ඉක්‌මනින් ම හමු වෙමු." ඔහු ජෝන් ව අයිවන්ට බාර දෙන ගමන් පැවසී ය.

එම ස්‌ථානයේ සියලු වැඩකටයුතු හමාර වූ පසුව අයිවන් සිය පුත්‍රයා සමඟ ටෙරන්ස්‌ ව බැහැදැකීමට රෝහල වෙත ගියේ ය. රෝහලේ ඇඳක්‌ මත වාඩි වී සිටි ටෙරන්ස්‌, සිනාමුසු මුහුණින් ඔවුන් දෙපළ පිළිගත්තේ ය.

"අපි එඩ්වඩ් ගේ දේහය ස්‌කෑන් කරා. පුදුමය කියන්න, එයා ගේ හෘදය පිහිටලා තියන්නේ දකුණු උරහිසට වහා ම යටින්. ඔයා වෙඩි තියලා තියන්නේ එතැනටයි. ඒකයි මිනිහා මැරුණේ." ටෙරන්ස්‌ අයිවන්ට පැවසුවේ, තම පාදයේ වූ වෙළුම පිරිමදිමිනි.

මේ අතර බුද්ධි අංශයේ අනෙක්‌ නිලධාරීහු එඩ්වඩ් ගේ ශරීරය විශේෂ මෘත ශරීරාගාරයක තැන්පත් කළ හ. එම මෘත ශරීරාගාරය පිළිබඳව පෘථිවියේ සාමාන්‍ය ජනයා දැන සිටියේ නැත. එය, පෘථිවියට වරින් වර පැමිණ, බුද්ධි අංශයේ නිලධාරීන් අතින් මිය ගිය විවිධ මාදිලිවල පිටසක්‌වළ ජීවීන් සිය ගණනකින් පිරී තිබිණි.

"අපි මෙයාට උත්තර ගොඩක්‌ ණයයි." ඇඳ අසල වාඩි වූ අයිවන්, ටෙරන්ස්‌ට කුඩා ජෝන් ව පෙන්වමින් උපහාසාත්මක ව පැවසී ය. කුඩා ජෝaන් වැඩිහිsටියන් දෙදෙනාට මුහුණලා අසුන් ගත්තේ ය.

"ටෙරන්ස්‌ අංකල් ඇයි මෙච්ච්ර කල් මගේ තාත්තා විදිහට රඟපෑවේ?"

ඊට පිළිතුරු දුන්නේ අයිවන් ය.

"මම වැඩ කරන්නේ අභ්‍යවකාශ මධ්‍යස්‌ථානයක නේ. මම එතැන ස්‌ථිර රැකියාව කරාට, මම පිටසක්‌වළ ජීවීන් පිළිබඳ රහස්‌ හොයන බුද්ධි අංශයකටත් සම්බන්ධයි. ටෙරන්ස්‌ අංකල් සහ මම ඒකේ නිත්‍ය සාමාජිකයන්. මේ එඩ්වඩ් කියන පුද්ගලයා මීට මාස තුනකට විතර කලින් මේ අභ්‍යවකාශ මධ්‍යස්‌ථානයේ සේවය පටන්ගත්තා. මට එයා ගේ හැසිරීම ගැන සැක හිතුණා. මම දවසක්‌ එයත් එක්‌ක කෝපි බොන්න ගියාම, එයා ගේ මේසය මත මම කවදා වත් දැකපු නැති, පැරැණි ගී්‍රක නගරයක්‌ පෙනුමක්‌ තියෙන සිතියමක්‌ තිබුණා. මම ඒක දිහා බලනවා දැකලා එයා ඒක ඉක්‌මනට ඉවත් කරා. මම මගේ මේ සැකය ගැන මගේ හොඳ මිත්‍රයෙක්‌ වුණු ටෙරන්ස්‌ට කිව්වා. ඒ අනුව අපි මේ ගැන හොයලා බලන්න තීරණය කරා. එඩ්වඩ් ගේ කාමරයට මම නිතර ම යන එන නිසා, මම හරියට ම දැනගෙන හිටියා එයා ගේ පරිගණකයේ යූ.එස්‌.බී පෝර්ට්‌ එක කොතැන ද තියෙන්නේ කියලා. අපිට ඕනේ වුණේ ඒකට පෙන් ඩ්‍රයිව් එකක්‌ ගහලා ඒකෙන් දත්ත හොරකම් කරන්න. මම ඒ නිසා ටෙරන්ස්‌ අංකල්ට කිව්වා, මං විදිහට රඟපාලා එඩ්වඩ් ව කථාවකට හවුල් කරගන්න කියලා. ඒ අතරතුර මට පුළුවන් හෙමින් සීරුවේ එයා ගේ පරිගණකයෙක්‌ දත්ත ලබාගන්න. මේ අතරතුර ඔයා, මේ මොකුත් දන්නේ නැතුව, එඩ්වඩ් එක්‌ක කුළුපඟ වුණා. නමුත් ඔයා ගෙදරත් එක එක කතන්දර හද හද ගිරවෙක්‌ වගේ කියවන නිසා, ඔයා ඇට්‌ලන්ටිස්‌ ගැන කියපු දේ මම විශ්වාස කරේ නැහැ. ඒත් දැන් මට හිතෙනවා, ඔයා ගේ බබා කතා විශ්වාස කරා නම් මේක මීට වඩා හොඳින් විසඳ ගන්න තිබුණයි කියලා. ඒත් අපේ රාජකාරියේ හැටියට, සාක්‌ෂි නැති ව කිසි ම දෙයක්‌ විශ්වාස කරන්න බැහැ."

"හම්," ජෝන් කල්පනාවකට වැටිණි. "එහෙනම් පිටසක්‌වළ ජීවීන් ඇත්තට ම ඉන්නවා. මටත් නිතර ම එහෙම හිතිලා තියනවා. ඒත් තාත්තා කොහොම ද එයා ගේ පරිගණකයෙන් දත්ත හොරකම් කළේ?"

"ඔයාට මතක ද ඊයේ ටෙරන්ස්‌ අංකල් මං විදිහට රඟපාමින් එතැනට ඇවිත් කෝපි එකක්‌ බිව්වා? එයා එඩ්වඩ් ගේ පරිගණකය ළඟ මේසයෙත්, බිමත් කෝපි පොඩ්ඩක්‌ "වැරදීමකින්" හැළුවා. ඒ අතරතුර මම, එළියේ පිරිසිදු කරන්නෙක්‌ විදිහට වෙස්‌ වළාගෙන හිටියා. ඊට පස්‌සේ ටෙරන්ස්‌ අංකල් මට ඇතුළට කථා කරා ම, මම මෙන්න මේ අත් පිස්‌නාව මාර්ගයෙන් දත්ත හොරකම් කරා." අයිවන් තම කබායේ තිබුණු අත්පිස්‌නාවක්‌ එළියට ඇද්දේ ය. එය බැලූ බැල්මට අත් පිස්‌නාවක්‌ වුව ද, එහි කොනකට පෙනෙන නො පෙනෙන ලෙස පෙන් ඩ්‍රයිවයක්‌ සම්බන්ධ කොට තිබිණි.

"මම මේසයේ කෝපි පිහිදන මුවාවෙන් මේ පෙන් ඩ්‍රයිවය එඩ්වඩ් ගේ පරිගණකයට සවි කරා. මේ පෙන් ඩ්‍රයිව් එකේ තියෙන පරිගණක වැඩසටහනකින් සියලු ම දත්ත ඒ ආකාරයෙන් කොපි කරන්න පුළුවන්. නමුත් ඊට විනාඩි දෙකක විතර කාලයක්‌ යනවා. ටෙරන්ස්‌ අංකල් බිම කෝපි හැළුවේ ඒ නිසයි. මම විනාඩි දෙකක්‌ තිස්‌සේ මැද්දා. ඊට පස්‌සේ පෙන් ඩ්‍රයිව් එක සහිත මගේ අත්පිස්‌නාව අරගෙන මම එතනින් මාරු වුණා. ඊයේ හවස වගේම රෑ තිස්‌සේ මමත්, බුද්ධි අංශයේ අනෙකුත් නිලධාරීනුත් දත්ත විශ්ලේෂණය කරා. මම අද උදේ ඒ ගැන ටෙරන්ස්‌ අංකල්ට කියන කොට තමයි, ඔයා ගේ අම්මා මට කෝල් කරලා ඔයා ගේ පැහැරගැනීම ගැන කිව්වේ."

"පැහැර ගත්තා නො වෙයි. මම අද උදේ තාත්ත ගේ කාමරයට ගිහිල්ලා තාත්තව හෙව්වාම තාත්තා හිටියේ නැහැ. ඊට පස්‌සේ මම ගියා මිස්‌ටර් එඩ්වඩ් ගේ කාමරයට. එයා වෙන දා වගේ මාව දකින්න එච්චර ප්‍රිය කළේ නැහැ. එයා මාව දැකපු ගමන් කිව්වා. "ආහ්, කෝ ඔයා ගේ තාත්තා? මම අද එයාට මගේ තරම පෙන්වන්නයි ඉන්නේ. අද ඉතිහාසගත වන දවසක්‌. අද තමයි කොල්ලෝ ඇට්‌ලන්ටියන්වරුන් පෘථිවිය ආක්‍රමණය කරන දවස. තව පැයයි විනාඩි 30කින් පෘථිවිය අපේ ආක්‍රමණයකට යටත් වේ වි" මිස්‌ටර් එඩ්වඩ් ගේ ඒ විකාර කතාවට මට බය හිතුණා. ඒ නිසා මම කාමරයෙන් එළියට පැනගන්න උත්සහ කරා. නමුත් එයා මාව තදින් අල්ලාගෙන, අම්මට කෝල් කරලා මාව පැහැර ගැනීමකට ලක්‌ වුණා කියලා කියන්න තර්ජනය කරා. ඒ තාත්තාව ගෙන්නගන්න. තාත්තට ආයුධ හෝ පොලිසිය නැතුවයි එන්න කිව්වේ. තාත්තා ආවේ ඒ විදිහට"

"තාත්තා නො වෙයි, මම ඉක්‌මනට තාත්තා විදිහට වෙස්‌ වළාගෙන ආවා. අපේ සැලසුම ක්‍රියාත්මක කරලා ඔයාව බේරාගන්න අයිවන් පිරිසිදු කරන්නෙක්‌ විදිහට වෙස්‌ වළාගෙන ආයුධ සන්නද්ධ ව ආවා. ආයිවන් පරක්‌කු වුණ හින්දයි මම මට පුළුවන් විදිහට ඔයාව බේරාගන්න උත්සාහ කළේ. ඒත් එඩ්වඩ් මගේ කකුලට වෙඩි තිබ්බා. ඒකට කමක්‌ නැහැ, දැන් කියන්න කෝ ඔයා පාස්‌වර්ඩ් එක සොයාගත්තේ කොහොමද කියලා?" ඒ පැහැදිලි කිරීම සහ පැනය ටෙරන්ස්‌ ගෙනි.

ජෝන් දඟකාර ලෙස සිනාසිණි. ඔහු සිනාසෙන විට ඔහු ගේ දෙකම්මුල් වළ ගැසිණි.

"ඒක දිග කතාවක්‌. මම තාත්ත ගේ ඔෆිස්‌ එකට ආවාම මට තේරුණා මිස්‌ටර් එඩ්වඩ්ට අපේ තාත්තාව එච්චර රිස්‌සුවේ නැහැ, ඒත් එයා මට හරි කැමැතියි කියලා. මම ගිරවෙක්‌ වගේ කියවන නිසා වෙන්න ඇති. මිස්‌ටර් එඩ්වඩ් අනෙක්‌ අයට වඩා ටිකක්‌ වෙනස්‌ මිනිහෙක්‌. එයා කාව වත් ආශ්‍රය කළේ නැහැ. මට අම්මයි තාත්තයි උගන්වලා තියෙන්නේ අඳුරන්නේ නැති මිනිසුන් එක්‌ක වැඩිය කථාවට යන්න එපයි කියලා. ඒ නිසා මම එයත් එක්‌ක බොහොම පරෙස්‌සමෙන් කථා කළේ. දවසක්‌ එයා මගෙන් ඇහුවා, මම ලොකු වුණා ම මොනව ද කරන්න කැමැති කියලා. මම ඉතින් හැමෝට ම කියන කථාව එයාටත් කිව්වා. මම කිව්වා, මම තාත්තා වගේ වෙන්න කැමැති නැහැ, මම ලොකු වුණා ම මහා පරිමාණ ගවේෂණ කියලා කොම්පැනියක්‌ පටන්ගෙන, කවුරුත් වැඩිය ගිය නැති තැන්වලට, ඒ කීවේ මරියානා ආගාධය, බර්මියුඩා ත්‍රිකෝණය, ඇට්‌ලන්ටිස්‌ මිථ්‍යා නගරය වගේ තැන් ගවේෂණය කරන්න යනවා කියලා. ඒක අහල මිස්‌ටර් එඩ්වඩ් ගොඩක්‌ කලබල වුණා. එයා මට කිව්වා ඇට්‌ලන්ටිස්‌ කියන්නේ මිථ්‍යාවක්‌ නො වෙයි ලු. ඇත්ත ම නගරයක්‌ ලු. එයා ඒකේ ඡායාරූප කිහිපයක්‌ පවා මට පෙන්නුවා. මට දුක හිතුණා, මොකද මම හිතුවේ මිස්‌ටර් එඩ්වඩ් මට කලින් ඇට්‌ලන්ටිස්‌ හොයාගෙන කියලා. ඊට පස්‌සේ එයා මගෙන් ඇහුවා, මගේ තාත්තා මේ ගැන මොනව ද දන්නේ කියලා. මම කිව්වා තාත්තා මුකුත් දන්නේ නැහැ කියලා. එයා මට දොස්‌ කිව්වා, මම බොරු කාරයෙක්‌ ලු. මිස්‌ටර් එඩ්වඩ් මගෙන් පුන පුනා ඇහුවා මම ඇට්‌ලන්ටිස්‌ තියෙන තැන හරියට ම දැනගත්තේ කොහොම ද කියන එක ගැන. මම මතක්‌ කරලා බැලුවා, මම කිව්වේ මරියානා ආගාධයයි, බර්මියුඩා ත්‍රිකෝණය ගැන විතරයි නේ. එහෙනම් ඇට්‌ලන්ටිස්‌ ඔය තැන් දෙකෙන් එකක්‌ ද කියලා මම මිස්‌ටර් එඩ්වඩ් ගෙන් ඇහුවා. එයා මං දිහා කන්න වගේ බලාගෙන ඉඳලා, "මම හිතන්නේ ආක්‍රමණය ඉක්‌මන් කරොත් හොඳයි. ඔයා ඕනාවට වැඩිය දන්නවාෘ" කියලා මට කිව්වා. එදා රෑ මම ගෙදර ගිහිල්ලා මුළු රෑ ම ඔය ප්‍රහේළිකාව විසඳන්න උත්සහ කරා. මම කියපු දේ කොළයක ලියලා, අකුරු සහ වචන එහෙ මෙහෙ කරලා, මම කියපු දේවල්වල සැඟවුණු අරුතක්‌ වත් තියෙනව ද කියලා බැලුවා. ඒත් මට ආවේ බර්මියුඩා ආගාධය, මරියානා ත්‍රිකෝණය වගේ තේරුමක්‌ නැති වචන.

අවසානයේ දී මම තීරණය කරා, මම මේ සේරම ගැන විශේෂයෙන් මිස්‌ටර් එඩ්වඩ් ගේ අමුතු හැසිරීම ගැන තාත්තාට සැළ කරොත් හොඳයි කියන එක. කොහොම හරි, මම නිදි මරපු නිසා, ඊළඟ දවසේ මියුසික්‌ පංතියේ දී මට නින්ද ගියා. මට ටීචර් බැන්නා. එයා මගෙන් අමුතු ප්‍රශ්නයක්‌ ඇහුවා. "ජෝන්, ඔයා පංතියේ නිදි ඇයි? ඊයේ රෑ තිස්‌සේ තාත්තා වගේ හඳට යන හැටි කල්පනා කරා වත් ද?" මට එකපාරට ම කියවුණා "මම යන්න කැමැති හඳට නෙමේ අඟහරුවලට" කියලා. ඒ එක්‌ක ම මට ක්‌ලික්‌ වුණා මම හොයන උත්තරය අඟහරු කියලා"

"මියුසික්‌ පංතියේ වෙච්ච දේ නම් මට ඔයා ගේ අම්මත් වාර්තා කළා. ඒත් මට තාම තේරෙන්නේ නැහැ ඔයා අඟහරු කියලා හිතුවේ ඇයි කියලා" අයිවන් විමසී ය.

ජෝන් නැවතත් සිනාසිණි. "මම ඇත්තට ම ඒක අහම්බෙන් සොයාගත්තේ. අකුරුවල පටලැවිල්ලක්‌. අද උදේ මම මිස්‌ටර් එඩ්වඩ්ව හොයාගෙන ගියේ මම තැන දන්නවා කියන්න. ඒත් ඊට කලින් එයා මාව ප්‍රාණ ඇපයට ගත්තා. වුණේ මෙන්න මේකයි. මම කිව්ව නේ මම ලොකු වුණාම "මහා පරිමාණ ගවේෂණ" කියලා කොම්පැනියක්‌ දානවයි කියලා. ඒකට ඉංගී්‍රසියෙන් කියන්නේ "Mass Exploration" කියලා නේ. ඒත් මිස්‌ටර් එඩ්වඩ් ඒක තේරුම් අරන් තියන්නේ Mass Exploration කරන්න යනවයි කියලා!!!

ඔහු නැවතත් සිනාසිණි.

නිමි

මේ ප්‍රබන්ධය පිළිබඳ ඔබේ අදහස්‌ හා යෝජනා sci.fix100@gmail.com
යන විද්යුත් ලිපිනයට යොමු කරන්න.