logo3.gif (702 bytes)

HOME


ඇට්‌ලැන්ටිස්‌ ආක්‍රමණය

ඇමෙරිකාවේ නිව්යෝක්‌ නගරයේ එතරම් ප්‍රසිද්ධ නො වූ උද්‍යානයක, බංකුවක්‌ මත මිනිසෙක්‌ වාඩි වී සිටියේ ය. ඔහු සිටියේ පුවත්පතක්‌ බලමින්, වරින් වර ඔහු අසළ වූ බඳුනකට අත දමමින් පොප් කෝන් කමිනි. මිනිසා වාඩි වී සිටි බංකුවේ පිටුපස කොටසට හේත්තු වන පරිදි තවත් බංකුවක්‌ විය. එය ප්‍රතිවිරුද්ධ දිශාවට මුහුණ ලා තිබිණි. ටික වේලාවකින් ඒ හිස්‌ බංකුවේ තවත් පුද්ගලයෙක්‌ අසුන්ගත්තේ ය. ඔහු සිය ජංගම දුරකථනය කනට ළං කරගත්තේ, ඉන් ඇමතුමක්‌ ගන්නා බව හැඟවීමට ය. ඔහු වටපිට බලා, අනෙක්‌ අතෙහි වූ පෑනකින්, බංකුවට ටක්‌-ටක්‌, ළතත්පර දෙකක විරාමයක්‌ඝ ටක්‌-ටක්‌ යනුවෙන් ගසා "C 24" යනුවෙන් තෙපළී ය. ඊට ප්‍රතිචාර වශයෙන් ප්‍රතිවිරුද්ධ බංකුවේ වාඩි වී පුවත්පත කියවමින් සිටි මිනිසා, සිය සාක්‌කුවෙන් පෑනක්‌ ඇද, ටක්‌ ටක්‌, ළතත්පර තුනක විරාමයක්‌ඝ ටක්‌ ලෙසින් තට්‌ටු කර "C 33" යෑයි පැවසී ය.

C 24 සෑදී තිබුණේ, "ටක්‌" ශබ්ද හතරට හතරේ ඉලක්‌කමත්, තත්පර දෙකේ විරාමයට දෙකේ ඉලක්‌කමත් ලැබෙන පරිදි ය. C 33 සෑදී තිබුණේ "ටක්‌" ශබ්ද තුනට තුනේ ඉලක්‌කමත්, තත්පර තුනේ විරාමයට තුනේ ඉලක්‌කමත් ලැබෙන පරිදි ය. "C" ඔවුන් අයත් වූ බුද්ධි අංශයේ නිලධාරීන් ගේ ජ්‍යෙෂ්ඨත්වය පිළිබිඹු වූ ශ්‍රේණියකි.

"මම හරි පුදුම දෙයක්‌ හොයාගත්තා. මම එඩ්වඩ් ගේ DNA සාම්පලයක්‌ විශ්ලේෂණය කරා මිනිහා මොකෙක්‌ ද කියලා බලන්න. බැලින්නම්, මිනිහා සාමාන්‍ය මනුෂ්‍යයෙක්‌ නො වෙයි! එයා Homo neanderthalensis විශේෂයට අයත් මානවයෙක්‌ෘෘ" C 33 කථාව බැරෑරුම් ලෙස ඇරඹී ය.

"මොකක්‌?" C 24 තවමත් ජංගම දුරකථනය කනට ළං කරගෙන, ඊට කතා කරන්නාක්‌ මෙන් ඇසී ය.

"ඔව්, මටත් හිතාගන්න බැහැ. මම දැනගෙන හිටියේ නැහැ පෘථිවියේ තවමත් නියෑන්ඩර්තාල් මානවයෝ ඉන්නවයි කියලා. මෙතන මොකක්‌ හරි ලොකු පටලැවිල්ලක්‌" C 33 පැවසී ය.

"හම්...." C 24 කල්පනාකාරී විය. "දරුවා කොහොම ද?"

"එඩ්වඩ් බබත් එක්‌ක හරි යාළුයි. අපිටත් ඇයි කියලා හිතාගන්න බැහැ. එඩ්වඩ් දරුවව එයා ගේ කාමරයට ගෙනියලා, මොකද්දොa අමුතු නටබුන් නගරයක පිංතූරයක්‌ පෙන්නලා, 'මේ තියෙන්නේ ඇට්‌ලන්ටිස්‌. පුතා මේ ගැන දන්නේ කොහොම ද?' කියලා අහලා තියනවා." C 33 විස්‌තර කළේ ය.

"ඇට්‌ලන්ටිස්‌ කියන්නේ අර, අභිරහස්‌ විදියට මුහුදට බිලි වුණා ය කියන මිථ්‍යා නගරය නේ ද? ඒක ගැන මුලින් ම කියලා තියන්නේ ප්ලේටෝ කියන ගී්‍රක දාර්ශනිකයා. ඇට්‌ලන්ටිස්‌ ක්‍රි.ව. 9600 දී විතර මුහුදට එක්‌ දවසකුත්

රැයක්‌ පුරා බිලි වුණා ලු. ඒක ගොඩක්‌ බලවත් අධිරාජ්‍යයක්‌ ලු. ඒත් එඩ්වඩ් කොහොම ද ඒ ගැන දන්නේ? එයා අභ්‍යවකාශ මධ්‍යස්‌ථානයක වැඩ කරනවා නම්, මුහුද යට සැඟවුණු මිථ්‍යා නගරයකින් එයාට ඇති ප්‍රයෝජනය මොකද්ද?" C24 විමසී ය.

"මටත් හිතාගන්න බැහැ. ඒත් මගේ ඔළුවේ අලුත් තියරියක්‌ හැදුණා. සමහර විට, ඔය කියන නගරය මිථ්‍යාවක්‌ නෙමෙයි වෙන්න ඇති. ඇත්තට ම තාමත් මුහුද යට සැඟවිලා ඇති. එඩ්වඩ් නියෑන්ඩර්තාල් මානවයෙක්‌ නේ. අපි හිතන් ඉන්නේ නියෑන්ඩර්තාල් මානවයෝ වඳ වුණයි කියල නේ. සමහර විට එඩ්වඩ් වගේ තවත් නියෑන්ඩර්තාල් මානවයෝ අපේ මානව වර්ගයා ගෙන් වසන් වෙලා මුහුද යට ඇට්‌ලන්ටිස්‌ නගරයේ ජීවත් වෙනවා ඇති." C33 උද්යෝගයෙන් පැවසී ය.

C24 මඳක්‌ කල්පනා කරන්නට වූයේ, තවමත් ජංගම දුරකථනය සිය කනට ළං කරගෙන සිටිය දී ය. "ඔයා කියන කථාවේ ඇත්තක්‌ තියෙන්නත් පුළුවන්. අනෙක, අපේ Homo sapiens සහ එඩ්වඩ්ගේ Homo neanderthalensis කියන විශේෂ දෙක තරගකාරීයි නේ. ඒ නිසා සේපියන්ස්‌ ලා ගොඩබිමත්, නියෑන්ඩතාල් ලා මුහුද යට අබිරහස්‌ නගරයත් අත්පත් කරගන්න ඇති. ඒ ආකාරයට ඔවුන් දෙගොල්ලෝ අතර තරගකාරීත්වය නැති වෙලා, දෙගොල්ලො ම පෘථිවියේ වාසය කරන්න ඇති."

"හම්ම්...." C33 පොප්කෝන් අහුරක්‌ කටේ දමා ගනිමින් මිමිණී ය. "ඒත් එඩ්වඩ් අර පොඩි කොල්ලට ඇට්‌ලන්ටිස්‌ කියලා පෙන්වපු පිංතූරවල මුහුද යට ගතියක්‌ තිබිලා නැහැ. වියළුණු ගොඩබිමක්‌ ලු. හැබැයි පොඩි එකත්, වයස අවුරුදු දහයක්‌ වුණාට, තාත්තා වගේ ම මොළකාරයෙක්‌. පොඩිකමට කොල්ලටත් තේරිලා තියනවා එඩ්වඩ් ඇට්‌ලන්ටිස්‌ ගැන අසාමාන්‍ය උනන්දුවක්‌ දක්‌වනවයි කියලා. එයා නෝට්‌ කරගෙන තියෙන විදිහට, එඩ්වඩ් ගේ ලැප්ටොප් එකේ ඇට්‌ලන්ටිස්‌වල ගොඩක්‌ පිංතූර තියෙනව ලු. ඒකෙන් කිහිපයක්‌ තමයි එඩ්වඩ් පොඩි එකාට පෙන්වලා තියෙන්නේ. ඒ පිංතූරවල හැටියට, ඇට්‌ලන්ටිස්‌වල ගොඩනැඟිලි නිර්මාණය වෙලා තියෙන්නේ තද රතුපාට ගඩොලකින් ලු. පදික වේදිකා, වීදි එහෙමත් රතු වර්ණයේ විවිධ මාදිලිවලින් නිර්මාණය වෙලා ලු. ගොඩනැඟිලි පුරාණ ගී්‍රක ගොඩනැඟිලි වගේ ලු. නගරවල වීදිවල ඉන්න ගැහැනු පිරිමි අපිට හැඩරුවෙන් සමානයි, නමුත් පිරිමින්ට සාපේක්‌ෂව ගැහැනු ගොඩක්‌ උසයි ලු."

"එඩ්වඩ් බාහිර පෙනුමෙන් අපිට සමානයි. නමුත් සාපේක්‌ෂව මිටියි. සමහර විට නියෑන්ඩතාල් මානවයෝ අපට සමාන්තර ව පරිණාමය වුණ නිසා, දැන් හැඩරුව අපි දෙගොල්ලන් ගේ ම එක වගේ වෙන්න ඇති." C24 අදහස්‌ දැක්‌වී ය. "ඒත් මට තියෙන ලොකු ම ප්‍රශ්නය, එඩ්වඩ් කොහොම ද පොඩි එකාට සෙට්‌ වුණේ?" ඔහු වැඩිදුරටත් විමසී ය.

"මට හරියට ම කියන්න අමාරුයි. නමුත් මට හිතෙන්නේ වැඩේ වුණේ මෙහෙමයි. පොඩි එකා ගිරවෙක්‌ වගේ කියවනව නේ. එයා ගෙන් කවුරු හරි ඇහුවොත් 'පුතා ලොකු වුණා ම කවුරු වෙන්න කැමති ද?' කියලා එයා කියන්නේ 'මම තාත්තා වගේ ඉගෙනගන්න කැමති නැහැ. මම කැමති මහා පරිමාණ ගවේෂණ කරන්නයි. ඒ කිව්වේ, බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස විසඳන්න, හඳට යන්න, නැති වුණු ඇට්‌ලන්ටිස්‌ නගරය හොයාගන්න..' ඔය විදිහට. ඒ විතරක්‌ නො වෙයි. පොඩි එකා එයාට ම mass explorer කියලා නමකුත් දාගෙන. mass කියන්නේ මහා පරිමාණ කියන එක නේ." C33 සිනාමුසුව පැවසී ය.

"හම්, දැන් මට තේරෙනවා. පොඩි එකා කවදා හරි ඇට්‌ලන්ටිස්‌ නගරය හොයාගන්නවයි කියපු එකට එඩ්වඩ් කලබල වෙන්න ඇති. ඇත්තට ම ඔය ඇට්‌ලන්ටිස්‌ නගරය තියෙන්නෙ කොහෙ ද දන්නෙ නැහැ නේ ද? ගී්‍රක ජනප්‍රවාද අනුව ඒක ඇට්‌ලන්ටික්‌, ඒ කීවේ ආත්ලාන්තික්‌ සාගරයේ තමයි තියෙන්න ඕනේ. ඒත් කොහෙන් කියලා හොයන්න ද?" C24 කල්පනාකාරී ව විමසී ය.

"ඒකත් එහෙමයි. අනෙක්‌ අතට, එඩ්වඩ් ගේ පරිගණකයේ තියෙන්නේ ඇට්‌ලන්ටිස්‌ නගරයේ ඡායාරූප ද, එහෙමත් නැත්නම් දක්‌ෂ සිත්තරුවෙක්‌ ඇඳපු චිත්‍ර ද කියලා අපි දන්නේ නැහැ නේ?" C33 සැක පහළ කළේ ය. "කොහොම නමුත් මම, එඩ්වඩ් නියෑන්ඩතාල් මානව විශේෂයෙන් පැවත එන්නෙක්‌ කියලා අපේ බුද්ධි අංශයේ ප්‍රධාන කාර්යාලයට සාක්‌ෂි සහිතව දැනුම් දුන්නා. ඒ නිසා එඩ්වඩ් අපේ රටේ ජාතික ආරක්‌ෂාවට දැඩි තර්ජනයක්‌ කියලා ඔවුන් තීරණය කරා. මම ඇට්‌ලන්ටිස්‌ නගරය ගැන තවම ඒගොල්ලන්ට කීවේ නැහැ, හේතුව ඒවා පොඩි එකා මාර්ගයෙන් ආපු විස්‌තර නේ. ඒ අනුව අපේ ඊළඟ පියවර වෙන්න ඕනේ, එඩ්වඩ් ගේ ලැප්ටොප් එකේ ඇට්‌ලන්ටිස්‌ ගැන තියන විස්‌තර නිස්‌සාරණය කරන එක. ඒක හිතන තරම් ලේසි වෙන එකක්‌ නැහැ, මොකද එඩ්වඩ් එයා ගෙ ලැප්ටොප් එක ගොඩක්‌ පරිස්‌සම් කරනවා. C24 මොකද හිතන්නේ? අපි කොහොම ද ඒකේ විස්‌තර එළියට ගන්නේ? ඔයාට ප්ලෑන් එකක්‌ තියනවා ද?"

"ම්ම්.... මට කෝපි එකක්‌ දෙන්න, මම වැඩේ කරන්නම්" C24 පිළිතුරු දුනි.

ඔවුහු දෙපළ, ඉතා කෙටියෙන් සහ රහස්‌ වචන යොදා එඩ්වඩ් ගේ පරිගණක දත්ත ඩැහැගැනීම පිණිස සැලැසුමක්‌ සෑදූ හ.

"අපි ලබන අඟහරුවාදා හවස තුනට මේ පාර්ක්‌ එකේ දකුණු කොණේ මේපල් ගහ යට තියෙන බංකු දෙකේ මේ විදිහට හමු වෙමු." ඒ යෝජනාවත් සමඟ C24 ජංගම දුරකථනය සාක්‌කුවේ දමාගනිමින් එතැනින් නැඟිට ඉදිරියට ගමන් කළේ ය. පියවර කිහිපයක්‌ ගිය පසු ඔහු හුදෙකලාව පිහිටි වැසිකිළියකට ඇතුළු විය. වැසිකිළිය ඇතුළත දී, ඔහු සිය මුහුණේ සැබෑ හමට උඩින් අලවා තිබුණු කෘත්‍රිම මුහුණ ඇද ගලවා දැමී ය. ඒ කෘත්‍රිම මුහුණ සිය කබායේ සඟවාගත් ඔහු, මුහුණ කට සෝදාගෙන වැසිකිළියෙන් පිටතට පැමිණියේ ය.

C33 ද, තවත් විනාඩි 20ක්‌ පමණ හුන් තැන ම රැඳී සිට, සිය් පොප්කෝන් භාජනය හිස්‌ කළේ ය. පසුව නැඟිට, ඇවිද ගොස්‌, සිය වාහනයට නැඟ, පිටත සිට බලන්නකුට නො පෙනෙන ලෙස පහත් වී, සිය කෘත්‍රිම මුහුණ ගලවා දැමී ය. ඔහු එය රියදුරු අසුන යට රහසිගත ස්‌ථානයක සැඟවී ය.

* * * * * * * * * * * * * * *

එය සඳුදා දිනයක්‌ විය. අයිවන් හැමිල්ටන් සිය කුඩා පුතු සමඟ ප්‍රධාන පෙළේ අභ්‍යවකාශ මධ්‍යස්‌ථානයක රාජකාරිය සඳහා පිටත් විය. දස හැවිරිදි කුඩා ජෝන් හැමිල්ටන්, පාසල් නිවාඩුවේ දී තම පියා සේවය කළ අභ්‍යවකාශ මධ්‍යස්‌ථානයට යැමට බෙහෙවින් ප්‍රිය කළේ ය. ඔහු කථාවට හපනකු වූ බැවින්, කාගේත් සිත් දිනාගත් කුඩා දරුවෙක්‌ විය.

"මම යනවා මිස්‌ටර් එඩ්වඩ් බලන්න." ඔහු විදුලි සෝපානය නතර වී දොර විවෘත වු වහා ම සිය පියා ගේ අතින් මිදී දිව යන්නට සූදානම් විය.

"තාත්තා මම කිව්වට විශ්වාස කරන්නේ නැහැ නේ. මිස්‌ටර් එඩ්වඩ් හරි වටින මනුස්‌සයෙක්‌. එයා මට ඇට්‌ලන්ටිස්‌ නගරය ගැන ගොඩාක්‌ දේවල් කියලා දුන්නා. මම හරි ආසයි ඒ ගැන තව ඉගෙනගන්න." ඔහු සුරතල් ලීලාවෙන් සිය පියාට පැවසී ය.

"හරි යන්න කෝ. මම ටී බ්‍රේක්‌ එකේ දි ඔයාවයි, එඩ්වඩ්වයි බලන්න එන්නම්. අම්මා ඔයාට දුන්න බිස්‌කට්‌ ටික මං ගාව. මම ඒවත් අරන් එන්නම්."

කුඩා දරුවා ගේ මුහුණ අඳුරු විය. "අම්මට මම හැම දා ම කියනවා මම බිස්‌කට්‌වලට ආස නැහැ කියලා. ඒත් එයා හැම දාම මට බිස්‌කට්‌ කවනවා." ඔහු මැසිවිලි නඟමින්, හැරී, එඩ්වඩ් ගේ කාමරය දෙසට ගමන් කළේ ය.

දරුවා යන මඟ බලා සිටි අයිවන්, තනි ව ම සිනාසෙමින්, "ඇත්තට ම පොඩි එකා හිතන්නේ මම එයා ගේ තාත්තා කියලා. මේ කොල්ලා හරි ම හුරතල්. අයිවන් හරි වාසනාවන්ත තාත්තා කෙනෙක්‌," යෑයි තමන්ට ම පවසාගත්තේ ය.

උදැසන තේ විරාමය එළඹිණි. එඩ්වඩ් සමඟ දොඩමළු වෙමින් සිටි කුඩා ජෝන්, සිය පියා තම කිරි, බිස්‌කට්‌ පංගුව රැගෙන එන තෙක්‌ මඟ බලා සිටියේ ය. අයිවන් පැමිණියේ, කිරි සහ බිස්‌කට්‌වලට අමතර ව තමන් ම සාදාගත් ලොකු කෝපි කෝප්පයක්‌ ද අතැති ව ය.

"ආහ් එඩ්වඩ්, කොහොම ද සැප සනීප? මගේ කොල්ලා ගිරවෙක්‌ වගේ කියවනවා ඇති නේ?" අයිවන් එඩවඩ් ගෙන් සුහදශීලී ව විමසී ය.

එඩ්වඩ් සිනාසිණි. ඔහු ගේ ලැප්ටොප් පරිගණකය සුපුරුදු පරිදි ඔහු අසල විය. අයිවන් දරුවාට කිරි සහ බිස්‌කට්‌ පිරිනමා, කෝප්පය අතට ගත්තේ කෝපි උගුරක රස බැලීම සඳහා ය. එහෙත් වැරැදීමකින් ඔහු ගේ අත වැදී, කෝපි ස්‌වල්ප ප්‍රමාණයක්‌ මේසයත් පොළොවත් මත ඉහිරිණි. ඔහු එඩ්වඩ් දෙස හැරී "අනේ සමාවෙන්න, ඉන්න මම කාට හරි මේක පිහදාන්න කියන්නම්" යෑයි පැවසී ය. ඔහු දොර දෙසට විගසින් ගොස්‌ කොරිඩෝවට එබුණේ, පිරිසිදු කරන්නකු ළඟපාත සිටී දැයි බැලීමට ය. ඒ අසල පුද්ගලයෙක්‌ බිම පිරිසිදු කරමින් සිටියේ ය.

"මගේ අතින් මේසයේ කෝපි වගයක්‌ හැළුණා. කරුණාකරලා ඒක පිහදාන්න පුළුවන් ද?"

පිරිසිදු කරන්නා බිම පිසදැමීම නවතා කාමරය තුළට පැමිණ, සිය කබායේ තිබූ අත් පිස්‌නාවකින් එඩ්වඩ් ගේ මේසය පිසදාන්නට විය. මේ අතර අයිවන්, එඩ්වඩ් දෙසට හැරෙමින්, "එඩ්වඩ් මොකෝ හිතන්නේ? මගේ පුතා කියවනවා වැඩියි නේ ද?" යන ප්‍රශ්නය නැවත යොමු කර සිටියේ ය.

එඩ්වඩ් සිනාසී, "ඇත්තට ම මේ පොඩි කොල්ලා ඇයි මේච්චර ඇට්‌ලන්ටිස්‌ ගැන උනන්දු?" යෑයි පෙරළා විමසී ය. මේ අතර මේසය පිරිසිදු කරන්නා කතා කරමින්, "මහත්තයා බිමත් කෝපි හැලිලා නේ ද?" යෑයි විමසී ය. "ඔව්, බිමත් මොප් කරලා දාන්න". අයිවන් ඔහු දෙසට හැරී පිළිතුරු දුනි.

පිරිසිදු කරන්නා මේසය පිසින රෙදිකඩ එඩ්වඩ් ගේ පරිගණකයේ ගෑවෙන පරිදි තබා කාමරයෙන් පිට ව ගොස්‌ ස්‌වල්ප වේලාවකට පසු මොප් එක රැගෙන පැමිණ බිම පිසදැමීමෙහි නිරත විය

ඒ අතරවාරයේ අයිවන්, එඩ්වඩ්ට පිළිතුරු බඳින්නට විය. "ම්.. ම්.. ඇට්‌ලන්ටිස්‌? පොඩි කාලේ ඔය නම ඇහුවා වගේ මතකයි. ඇත්තට ම ඇට්‌ලන්ටිස්‌ කියන්නේ කාට ද? අර අහස පොළවට වැටෙන්න නො දී අල්ලන් ඉන්න යෝධයා ද?"

"අයියෝ තාත්තා, ඒ ඇට්‌ලස්‌ යෝධයා. ඇට්‌ලන්ටිස්‌ කියන්නේ මිථ්‍යා නගරයක්‌." ජෝන් ඔහුව නිවැරැදි කළේ ය.

නිමාෂි ප්‍රනාන්දු