logo3.gif (702 bytes)

HOME


ක්‌වොන්ටාවේ කතාව 01

අපේ අත්දැකීම් හා විඳීම්වලින් එහා ලෝකය නමින් යමක්‌ පවතී ද? එසේ නොමැති නම් අප අත්දකින ලෝකය අපේ නික්‌ෂණයේ ප්‍රතිඵලයක්‌ ද? ක්‌වොන්ටම්වාදය පෙන්වා දෙන්නේ ක්‌වොන්ටම් ලෝකයේ සිද්ධීන් නිරීක්‌ෂණයේ නිර්මාණයක්‌ බවයි. එනම් අප නිරීක්‌ෂණය නො කරන විට, ඉලෙක්‌ට්‍රොaනයක ඒ අප නිරීක්‌ෂණය කරන ගුණය නො පවතී. මෙය අපෙන් තොර ව ලෝකයක්‌, යථාර්ථයක්‌ පවතී යන්න ආත්මය කරගත්තන්ට පහසුවෙන් දිරවිය හැකි කතාවක්‌ නො වේ. අද පටන් සතිපතා කොටස්‌ වශයෙන් විදුසර තුළින් ඔබට කියවන්නට ලැබෙන්නේ ඒ ක්‌වොන්ටාවේ කතාවයි.

අපෙන් තොර වූ යථාර්ථයක්‌

ලියන්නේ - සමිත ප්‍රසන්න හේවගේ

ඒ 1990 වර්ෂයේ දිනයකි. ඇමෙරිකාවේ කොලරාඩෝහි N.I.S.T ආයතනයේ වෙයින් ඡේ. වයින්ලන්ඩ් (J.Wineland) සහ ඔහු ගේ සහායකයෝ අපූරු පරීක්‌ෂණයක්‌ කරමින් සිටිය හ. බේරියම් ධන අයන 5,000ක්‌ පමණ සිර කරගත් ඔවුහු ඒවාට ක්‌ෂුද්‍ර තරංග මගින් තාපය (ශක්‌තිය) ලබා දෙන්නට වූ හ. ශක්‌තිය ලබාගන්නා අයනවල ඉලෙක්‌ට්‍රොaන ඉහළ ශක්‌ති අගයට පනී. මිලි තත්පර 256ක කාලයක දී සියලු අයනවල ඉලෙක්‌ට්‍රොaන ඊළඟ ශක්‌ති මට්‌ටමට පැන ඇති බව නිරීක්‌ෂණය කරන ලදී. එනම් තාපය ලබා දීමට ප්‍රථම ඉලෙක්‌ට්‍රොaන තිබුණු ශක්‌ති මට්‌ටමේ දැන් කිසි ම ඉලෙක්‌ට්‍රොaනයක්‌ නැත. දෙවනුව මොවුන් සිදු කළේ අයනවලට ශක්‌තිය ලබා දීමට පටන්ගෙන මිලි තත්පර 128කට පසු අතරමැද දී වරක්‌ නිරීක්‌ෂණය කිරීමයි. ප්‍රතිඵලය ඔවුන් මවිත කළේ ය. එවිට මිලිතත්පර 256කට පසු ඉහළ ශක්‌ති මට්‌ටමට පැන තිබුණේ අයනවලින් 50%කට අයත් ඉලෙක්‌ට්‍රොaන පමණි. 50%ක ගේ ම ශක්‌තියේ වෙනසක්‌ සිදු ව නැත. අමතර ව සිදු කළ නිරීක්‌ෂණය මගින් ඉහළ ශක්‌ති අගයකට යන ඉලෙක්‌ට්‍රොaන ප්‍රමාණය අඩු කොට ඇත. ඔවුන් තව තවත් නිරීක්‌ෂණ ප්‍රමාණය වැඩි කරද්දී ඉහළ ශක්‌ති අගයට යන ඉලෙක්‌ට්‍රොaන ප්‍රමාණය තව තවත් අඩු වී ගියේ ය. මිලි තත්පර 256ක කාලය තුළ 64 වතාවක්‌ නිරීක්‌ෂණය කළ විට ශක්‌තිය ලබාගන්නේ 1%ක පමණ ප්‍රමාණයකි.

මෙයින් හැඟවෙන්නේ කුමක්‌ ද? නිරීක්‌ෂණය කිරීම හේතුවෙන් බේරියම්වල ඉලෙක්‌ට්‍රොaන "රත් වී නැටීම" නතර කොට ඇත. නිරීක්‌ෂණය මගින් නිරීක්‌ෂ්‍යය වෙනස්‌ කොට ඇත. නිරීක්‌ෂකයා හුදු අජීවී නරඹන්නකු නො වන අතර ඔහු සජීවී ව නිරීක්‌ෂණ ක්‍රියාව හා වෙළී ඇත. ඇත්තෙන් ම මෙසේ පරීක්‌ෂණාත්මක ව සනාථ වූයේ 1977 දී ටෙක්‌සාස්‌ සරසවියේ ජෝර්ඡ් සුදර්ශන් (George Sudarshan) සහ බයිද්‍යනාත් මිස්‌රා (Baidyanath Misra) ක්‌වොන්aටම්වාදයේ සිදු කළ සෛද්ධාන්තික පුරෝකථනයකි. ඔවුන් ගේ සාධනය වූයේ සන්තතික නිරීක්‌ෂණ මගින් විකිරණශීල මූලද්‍රව්‍යවල විකිරණ පිට කරන වේගය අඩු කර නවතා දමන බවයි.

කෙසේ වෙතත් පුදුම වීමට දෙයක්‌ නැත. ක්‌වොන්aටම්වාදය දිගින් දිගට ම පෙන්වා දෙන්නේ, ක්‌වොන්aටම් සංසිද්ධීන් එම සංසිද්ධීන් නිරීක්‌ෂණය කරණ නිරීක්‌ෂකයා ගෙන් තොර ව නො පවතින බව ය. නිරීක්‌ෂණය කරන සිද්ධිය යන්න නිරීක්‌ෂණයේ ඵලයක්‌ බව ය. එහෙත් මෙය අපෙන් තොර ව ලෝකයක්‌, යථාර්ථයක්‌ පවතී යන්න ආත්මය කරගත්න්ට පහසුවෙන් දිරවිය හැකි කතාවක්‌ නො වේ. ක්‌වොන්aටම්වාදයට සතර අතින් ප්‍රහාර එල්ල වන්නට විය.

නිරීක්‌ෂකයා සිටියත් නැතත් ස්‌වාභාව ලෝකයේ සංසිද්ධි එසේ ම සිදු වන බවත් ඒ සිදුවීම්වලට නිරීක්‌ෂණය කිරීම හා සම්බන්ධයක්‌ නොමැති බවත් ඔවුන් ගේ දැඩි විශ්වාසය විය. නිරීක්‌ෂණයෙන් කරන්නේ ඒ අපෙන් තොර ව සිදු වන සිද්ධිය ගැන දැන ගැනීම පමණකි. අප නිරීක්‌ෂණය කිරීම ඒ සිද්ධිය සිදුවීමට බලපෑමක්‌ නැත. අප නිරීක්‌ෂණය නො කළත් ඒ සිද්ධිය සිදු විය යුතු නො වේ ද? එනම් ඒ සිද්ධිය අපෙන් තොර ව පවතින යථාර්ථයක්‌ විය යුතු නො වේ ද? ඔවුන් ගේ ප්‍රශ්නය එයයි. වසර දහස්‌ ගණනක්‌ පැළපදියම් වූ ඇදහීමක්‌ මේ ක්‌වොන්ටාවක්‌ නිසා කෙසේ ඉවත් කරන්න ද?

"ඔබ අත්දකින ලෝකය මිථ්‍යාවකි. මේ අපට පෙනෙන අනන්ත වූ විවිධත්වයට යටින් එක්‌ තනි ද්‍රව්‍යයක්‌ පවතී. මේ වෙනස්‌ වන ලෙස අපට පෙනෙන ලෝකය යටින් ඒ ද්‍රව්‍යය සදා නො වනස්‌ ව පවතී" එසේ කීවේ හයවැනි සියවසේ ග්‍රීසියේ ජීවත් වූ තේල්ස්‌ (Thales), ඇනක්‌සිමැන්ඩර් (Anaximander)" ඇනක්‌සිමෙනීස්‌ (Anaximenes) ඇතුළු මයිලීසියානු (ගීසියේ පුරාණ නගරයක්‌ වූ Miletus විසූවන් හැඳින්වීමට යෙදෙන පදයකි) දාර්ශනිකයන් ය. හෙරික්‌ලිටස්‌ (Hericlitus) කීවේ සියල්ල ශ්‍රාවයක්‌ ලෙස ගලා යන බව ය. සියල්ල වෙනස්‌ වේ. කෙසේ වෙතත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ ලෝකයේ මේ වෙනස්‌ වීම ඇති කරන වෙනස්‌ නො වන යථාර්ථයක්‌ "ලෝගෝ" නමින් ඇති බව ය. එකල ම ඉතාලි-ග්‍රීක ජනාවාසයක්‌ වූ ඉලියා (Elea)හි සිටි පාමෙනිඩීස්‌ (Parmenides) කියා සිටියේ අප ගේ අත්දැකීම් වන චලනය, ද්‍රව්‍යයන් ඇති වීම නැති වීම මුළාවක්‌ බව ය. යථාර්ථයේ කිසි ම දෙයක්‌ වෙනස්‌ වන්නේ නැත. උපදින්නේ මිය යන්නේ නැත. නො වෙනස්‌ වන, චලනය නො වන එක යථාර්ථයක්‌ ඇත. ඇනැක්‌සගරස්‌ (Anaxagoras) මනස ද්‍රව්‍යයෙන් ස්‌වාධීනව පවතින්නක්‌ ලෙස ගත්තේ ය. විශ්වයේ සියල්ල චලනය කරන විශ්වීය මනසක්‌ සියල්ලට (ද්‍රව්‍යයට) ඉහළින් ඇත යන්න ඔහු ගේ අදහස විය. කුසීත යාන්ත්‍රික ලෝකයට චලනය ලබා දෙන්නේ අපෙන් තොර ව පවතින විශ්වීය මනසයි. පයිතගරස්‌  (Pythagoras) කිවේ සියල්ලට යටින් දිවෙන නො වෙනස්‌ වන යථාර්ථය නම් සංඛ්‍යා බවයි. ඔහු ගේ දාර්ශනික කුලයේ පාඨය නම් "සියල්ල සංඛ්‍යා" යන්න ය.

"සත්‍යය ඇත්තේ පතුලේ ය. එය අපට නො පෙනේ. එබැවින් යමෙක්‌ යථාර්ථයෙන් වෙන් වී ඇති බව ඔහු වටහාගත යුතු ය" යි කී ඩිමොක්‍රීටස්‌ ගේ (Democritus) මතය වූයේ විශ්වය පරමාණු සහ ඒ අතර ඇති හිස්‌ අවකාශයට වඩා වැඩි යමක්‌ නො වන බවයි. ප්ලේටෝට (Plato) අනුව අප අත්දකින ලෝකය නම් සත්‍ය ලෝකයේ ඡායාවකි. අප යථාර්ථයට පිටුපා සිටිමු. ඔහු ගේ හොඳ ම ගෝලයා වූයේ ග්‍රී්‍රක මහා දාර්ශනිකයා, ඇරිස්‌ටෝටල් (Aristotle) ය. ඔහු කීවේ වාස්‌තවික (අපෙන් තොර ව) යථාර්ථයක්‌ පවතින බවත්, එය මේ අපි අත්දකින දේ තුළ ම ඇති බවත්, එම සාරය අප ගේ අත්දැකීම් තුළින් ග්‍රහණය කරගත හැකි බවත් ය. චලිතයේ හා වෙනස්‌ වීමේ කාරකයා වන වෙනස්‌ නො වන, අපරිමිත විශ්වීය ව්‍යqහයක්‌ ගැන ද ඔහු කිවේ ය.

භෞතික විද්‍යාවේ පියා ලෙස සලකන ගැලීලියෝ ගැලිලි (Galileo Galilei) කීවේ සත්‍ය සොයාගැනීමට නම් සියලු දෙයෙහි මැනිය හැකි ගුණයන්ට පමණක්‌ අවධානය යොමු කළ යුතු බව ය. ප්‍රමාණාත්මකව මැනිය නොහැකි ගුණ වන ගඳ, සුවද, රස, ආදරය, කරුණාව වැනි දේ හුදු මානසික අත්දැකීම් පමණක්‌ බවත්, සත්‍යය සොයා යැමේ දී ඒවා නො සැලකි ය යුතු බවත් ඔහු ගේ අදහස විය. "විශ්වය නම් පොත කියවීමට පෙර අප එය ලියා ඇති භාෂාව දැනගත යුතු ය. ඒ භාෂාව නම් ගණිතයයි" ගැලීලියෝ ප්‍රකාශ කළේ ය. එනම් මෙහි තේරුම සත්‍ය ලෝකය මළ යාන්ත්‍රික ලෝකයක්‌ බව ය. ෆේ‍ර‍රඩි්‍රක්‌ නීෂේ (Friedrich Nietzsche) කීවේ මේ යාන්ත්‍රික ලෝකය අර්ථ ශූන්‍ය බව ය.

රෙනේ ඩෙකාට්‌ස්‌ (Rene Descartes) කීවේ යම් දැනුමක්‌ සැක සහිත නම් එය ඉවත් කළ යුතු බවත් විශ්වාස කළ යුත්තේ අන්තර් ඥානයෙන් කරන නිගමන තුළින් සියලු සැක හැරගත් දැනුම් බවත් ය. ඔහු ඔහු ගේ පැවැත්ම ද සැක කළ අතර, ඒ සැකය දුරු කරගත්තේ ඔහු සිතන්නේ ඔහු පවතින බැවින් ය යන තර්කාන්විත නිගමනයෙනි. සියල්ල වෙන් කොට අධ්‍යයනය කළ යුතු යෑයි කී ඔහු මනස (සිතන දෙය) සහ ද්‍රව්‍යය කිසිදු සම්බන්ධයක්‌ නොමැති යුගලයක්‌ බව ද, මේ දෙක ම දෙවියන් ගේ නිර්මාණයන් බව ද කීවේ ය. ඩෙකාට්‌ස්‌ට අනුව ස්‌වාභාවික ලෝකය යනු ඔරලෝසුවක්‌ බඳු හුදු යන්ත්‍රයකි. මේ යාන්ත්‍රික ක්‍රියා නිශ්චිත වන අතර ඒවාට ගණිතමය අගයන් ලබා දිය හැකි බැවින් (මැනීමට හැකි බැවින්), ගැලීලියෝ කී ලෙස ම විශ්වය නම් පොතේ බස ගණිතය බව ඩෙකාට්‌ස්‌ ද පිළිගත්තේ ය. මෙලෙස භෞතික ලෝකය යනු මනසෙන් ස්‌වායත්ත ව පවතින යන්ත්‍රයක්‌ ය යන යාන්ත්‍රික ලෝක දැක්‌මේ ශක්‌තිමත් පදනම ඩෙකාට්‌ස්‌ දැම්මේ ය. එය ඉන් පසුව බටහිර දැනුමේ ආත්මීය ලක්‌ෂණය විය.

අයිසැක්‌ නිව්ටන් (Isaac Newton) ඩෙකාට්‌ස්‌ ගේ යාන්ත්‍රික ලෝක දැක්‌මට සම්පූර්ණ ගණිතමය මාදිලියක්‌ තැනූ අතර ඔහුට අනුව සියලු ම සංසිද්ධීන් අවකාශයේ හා කාලයේ සිදු වේ. එහෙත් අවකාශය සහ කාලය එම සිද්ධිවලින් ස්‌වායත්ත ය. නිව්ටන් මෙසේ ලීවේ ය. "අවකාශය ස්‌වභාවයෙන් ම නිරපේක්‌ෂ ය. එය කිසි ම දෙයකට සම්බන්ධයක්‌ නොමැති ව සදාකල් නිශ්චල ව පවතී. කාලය ද නිරපේක්‌ෂව අනෙක්‌ සියල්ලෙන් ස්‌වායත්තව ඒකාකාරව ගලා යයි" සියලු වස්‌තූන් මේ නිරපේක්‌ෂ අවකාශයේ සහ කාලයේ චලනය වේ (වෙනස්‌ වේ). නිරපේක්‌ෂ අවකාශයේ හා කාලයේ මේ අංශුවල වෙනස්‌ වීම අහඹු ලෙස සිදු වන්නක්‌ නො වේ. එය සිදු වන්නේ නිශ්චිත ආකාරයකට ය, යම් සරල නියමයන්ට අනුව ය. පළමුව චලිතය පිළිබද නියමයන් ය. දෙවැන්න ගුරුත්වාකර්ෂණය පිළිබද නියමයයි. මේ නියම පෘථිවියේ හිරු වටා චලිතයට යෙදූ ඔහු එම චලිත වන ගමන් මග ඉලිප්සයක්‌ විය යුතු බව සාධනය කළේ ය. ඊට පෙර කෙප්ලර් (Johannes kepler) නිරීක්‌ෂණය කොට තිබුණේ එය ඇත්තෙන් ම ඉලිප්සයක්‌ බවයි. නිව්ටන්ට අනුව ද්‍රව්‍යය අපෙන් තොර ව පවතින අතර ඒවා අපෙන් (නිරීක්‌ෂණයෙන්) ස්‌වායත්ත වූ නියම අනුව හැසිරේ. කාලය හා අවකාශය එම වස්‌තූන් ගෙන් ද ස්‌වායත්ත ව අපරිමිත ව විසිරී පවතී. මෙසේ භෞතික සංසිද්ධීන්ට නිරීක්‌ෂකයා ගේ කිසිදු සම්බන්ධයක්‌ නොමැති බවත්, නිරීක්‌ෂකයා කරන්නේ හුදෙක්‌ ම ඒ සිද්ධි නිරීක්‌ෂණය (හෝ මිනුම) පමණක්‌ බවත් විද්‍යාවේ මුල්ගල විය. එය දේව භාෂිතයක්‌ මෙන් ස්‌ථාවර විය.

26 වියෑති ඇල්බට්‌ අයින්ස්‌ටයින් (Albert Einstein) වසර 250ක්‌ පමණ කාලයක්‌ විරාජමාන ව තිබූ නිව්ටන් ගේ නිරපේක්‌ෂ අවකාශය නිරපේක්‌ෂ කාලය භෞතික විද්‍යාවෙන් සම්පූර්ණයෙන් ම පළවා හැරියේ ය. ඔහු ගේ විශේෂ සාපේක්‌ෂතාවාදයෙහ් එන නිගමනයක්‌ වන්නේ සිද්ධි දෙකක්‌ අතර කාල පරතරයට සහ ඒ සිද්ධි දෙක සිදු වූ තැන් අතර දුරට සියලු ම නිරීක්‌ෂකයන් සමාන අගයන් මැන නොගන්නා බවයි. මින් කියවෙන්නේ සිද්ධි දෙකක්‌ අතර අවකාශ සහ කාල අගයන් නිරීක්‌ෂකයා අනුව වෙනස්‌ වෙන බවයි. එහෙත් මෙහි දී මතක තබාගත යුතු වන්නේ මේ අවකාශය හා කාලය සාපේක්‌ෂ වන්නේ නිරීක්‌ෂකයා ගේ සජීවී මනසෙන් කරන නිර්මාණාත්මක මැදිහත් වීමක්‌ නිසා නො ව හුදෙක්‌ ම යාන්ත්‍රික වූ ඔවුන් ගේ සාපේක්‌ෂ චලිතය නිසා ය යන්න ය. කෙසේ වුවත් අයින්ස්‌ටයින් අපෙන් තොර ව ඇතැයි නිව්ටන් කී නිරපේක්‌ෂ අවකාශය හා කාලය පළවා හැරියාක්‌ මෙන්, නිරීක්‌ෂකයා ගෙන් ස්‌වායත්ත ව පවතිනවා යෑයි කියන යථාර්ථයත් පළවා හැරියේ ද?

ඔහු මෙසේ ලීවේ ය. "අංශුවකට නිරීක්‌ෂකයා ගෙන් ස්‌වායත්ත ව පවතින නිරපේක්‌ෂ පැවැත්මක්‌ තිබිය යුතු ය. එනම් ඉලෙක්‌ට්‍රොaනයක වේගය, පිහිටීම, බැමුම වැනි ගුණයන් නිරීක්‌ෂකයකු මැන්නත් නො මැන්නත් එම ඉලෙක්‌ට්‍රොaනයට හිමි ව පවතී. මා කියන්නේ, මා නො බලන වෙලාවටත් හඳ එතන ම තියෙන බවයි". මෙසේ අයින්ස්‌ටයින් ගේ ද පදනම වූයේ නිරීක්‌ෂකයා ගෙන් තොර ව පවතින යථාර්ථයක්‌ ඇති බව හෙවත් භෞතික ලෝකය අප ගේ නිරීක්‌ෂණයන්ට සම්බන්ධයක්‌ නොමැති ව නිශ්චිත ව හැසිරෙන බව ය. ඇත්තෙන් ම සාපේක්‌ෂතාවාදයේ කාලය හා අවකාශය වෙන වෙන ම ගත් විට නිරීක්‌ෂකයාට සාපේක්‌ෂ වුවත්, සියලු නිරීක්‌ෂකයන්ට එක ම අගය ලැබෙන අවකාශ-කාලය නමින් ගණිතමය සම්බන්ධයක්‌ පවතී. ඉන් කියවෙන්නේ අපට මැනිය හැකි ගුණ ඇතැම් විට එකිනෙකට සාපේක්‌ෂ වුවත්, ඒවා යටින් යන වෙනස්‌ නො වන යථාර්ථයක්‌ (අවකාශ-කාලය මෙන්) පවතින බවයි. ක්‌වොන්ටම් භෞතික විද්‍යාව සම්බන්ධයෙන් දශක දෙකකටත් වඩා කාලයක්‌ තිස්‌සේ වූ වාද විවාදවලින් හෙම්බත් වුවත් අයින්ස්‌ටයින් මියෙන තුරුත් නිරපේක්‌ෂ යථාර්ථය යන්න අතහැරියේ නැත.

"ක්‌වොන්aටම්වාදය කිසිවකුටත් තේරුම්ගත නොහැකියි. එය මට තිර ලෙස ම කිව හැකියි". විශිෂ්ට භෞතික විද්වතකු වූ රිචර්ඩ් ෆෙයින්මාන් (Richard Feynman) කීවේ ය. විසිවැනි සියවසේ මුල් දශක කිහිපය තුළ භෞතික විද්‍යාවේ සිදු කළ ඇතැම් නිරීක්‌ෂණ විද්වතුන් මවිත කරවනසුලු විය. පදාර්ථයේ හා විකිරණයේ මූලික කොටස්‌වලට, එනම් ක්‌වොන්ටම්වලට නිරපේක්‌ෂ නිශ්චිත ස්‌වභාවයක්‌ ඇතැයි ගත් විට, එම නිරීක්‌ෂණ විහිළු සහගත විය. මේ නිරීක්‌ෂණ පැහැදිලි කිරීමට නිර්මාණය කළ මාදිලිය නම් ක්‌වොන්ටම්වාදයයි. එහි එක්‌ ප්‍රධාන පැහැදිලි කිරීමක්‌ නම්, ක්‌වොන්ටම් ලෝකයේ ඇතැම් ගුණයන් නිරීක්‌ෂණය නො කරන විට නො පවතින බව ය. බෝර්, හයිසන්බර්ග්, බෝන්, වීලර්, චුව් වැන්නන් නිරීක්‌ෂකයා හා නිරීක්‌ෂ්‍යය අතර වෙන් කළ නොහැකි වෙළී යැම තහවුරු කිරීමට උත්සාහ ගත් හ. විසිවැන සියවස අවසානයේ හා විසි එක්‌වැන සියවස මුල දී සිදු කළ තීරක පරීක්‌ෂණවලින් බෝර් ඇතුළු පිරිස සියවසක්‌ පමණ තිස්‌සේ කී කතාව තවත් තහවුරු කෙරිණි. එනම් ක්‌වොන්aටම් ලෝකය අපෙන් තොර ව පවතින්නක්‌ නො වන බවත් එහි ගුණ නිරීක්‌ෂණයේ නිර්මාණයක්‌ බවත් ය. එමෙන් ම සාමාන්‍ය ලෝකය හා ක්‌වොන්ටම් ලෝකය විනිවිද යන පොදු හැසිරීම් නැති අතර සන්දර්භය අර්ථ නො දක්‌වා සිදු කරන පැහැදිලි කිරීම හුදු විහිළුවකට වැඩි යමක්‌ නො වන බවත් දැඩි ලෙස පෙන්වා දෙනු ලැබිණි.

මෙලෙස බටහිර දැනුම තුළ ආත්මගත වී ඇති වාස්‌තවික යථාර්ථයට ප්‍රබල ම අභියෝගය ක්‌වොන්ටම්වාදයෙන් එල්ල විය. යථාර්ථය බේරාගැනීමට ඇතැමුන් කියන්නේ ක්‌වොන්aටම්වාදය මගින් නිරීක්‌ෂණ අතිශය නිවැරැදි ලෙස පැහැදිලි කළත් එය අසම්පූර්ණ බවයි. (අයින්ස්‌ටයින් ද ඒ මතය දැරුවෙකි). ක්‌වොන්ටම්වාදයත් යථාර්ථය තුළ ම සිර කිරීමට වූ උත්සාහය එදා සිට ම පැවතිණි. අයින්ස්‌ටයින්, බෝම්, ෙෂ්‍රාaඩින්ගර් එයට ප්‍රමුඛ වූ හ. අද ද සියල්ල පැහැදිලි කළ හැකි එක්‌ සිද්ධාන්තයක්‌ නිර්මාණය කිරීම සඳහා බොහෝ දෙනා වලිකමින් සිටිති. සියල්ල බහු මාන තන්තුවකට ලගු කිරීමට වෙර දරන අසාර්ථක තන්තුවාදය ද එසේ ම ය. මේ සඳහා විශාල සම්පත් ප්‍රමාණයක්‌ ද, කාලයක්‌ ද දැනට දශක ගණනාවක්‌ තිස්‌සේ වැය කෙරෙමින් තිබේ. ඔවුන් ගේ හදවත් තුළ කැකෑරෙන ප්‍රශ්නය මෙයයි. "දෙවියන් නිශ්චිත ව මැවූ ලොවට බලපෑම් කරන්න, අපි කවුද?"

මෙසේ දේව භාෂිතයක්‌ මෙන් ඇදැහූ යථාරථයේ පවැත්මට අභියෝගයක්‌ වූ මේ ක්‌වොන්ටම්වාදය යනු කුමක්‌ ද?

ලබන සතියේ : ආලෝක තරංගයට නිව්ටන් ගසාගෙන යයි