logo3.gif (702 bytes)

HOME


ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 25

අප සාකච්ඡා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳව විද්‍යාවෙන් සහ දර්ශනයෙන් ගත හැකි කරුණු ය. ජීවිතයේ අරුත පිළිබඳව අප ඉදිරිපත් කොට ඇති මතවාදය සමග එකග වන සහ නො වන කරුණු අපි සාකච්ඡා කරන්නෙමු. මෙතෙක්‌ කල් සිදු කළ සාකච්ඡා සඳහා පහත සඳහන් ප්‍රභවයන් ගෙන් කරුණු ලබාගත්තෙමු.

1. පැරැණි ශිෂ්ටාචාරවල පැවැති විද්‍යාව සහ දර්ශන

2. නවීන විද්‍යාවේ දර්ශනය

3. නවීන භෞතික විද්‍යාව

4. ජීව විද්‍යාව

ජීවිතයේ අරුත පිළිබඳව මත දෙකක්‌ තිබිය හැකි ය.

1. ජීවිතයට අරුතක්‌ නැත

2. ජීවිතයට අරුතක්‌ ඇත

අපි ජීවිතයට අරුතක්‌ නැත යන මතය ප්‍රථමයෙන් සලකා බලමු. මේ අදහස පැන නගින්නේ අප කෙටි කාලයක්‌ දුකින් ජීවත් වී මරණයට පත් වන නිසා ය. අප සතුටින් හැම දා ජීවත් වනවා නම් ජීවිතයට අරුතක්‌ ඇති ද? එය කුමක්‌ ද? ජීවිතයට අරුතක්‌ නැත යනාදී වශයෙන් ප්‍රශ්න සහ එවැනි අදහස්‌ පැන නගින්නේ නැත. කුමක්‌ නිසා ද? සතුටින් හැම දා ජීවත් වේ නම් ජීවිතයේ අරුත එය විය හැකි බැවිනි. අප දුකින් ජීවත් වී මරණයට පත් වන නිසා ජීවිතයේ අරුතක්‌ නැතැයි කිව හැකි ද? සමහර දාර්ශනිsකයන් එසේ පවසා ඇත.

සාංදෘෂ්ටිකවාදීන් ගේ නාස්‌තිකවාදය (Existential
Nihilism) පවසන්නේ ජීවිතය තුළ ස්‌වභාවයෙන් ම පිහිටි අරුතක්‌ හෝ අගයක්‌ හෝ නැති බව ය. මිනිසා විසින් ම අරුතක්‌ හෝ අගයක්‌ හෝ ඇති කරගැනෙනා බව ය. ජීන් පෝල් සාතේ (Jeam Paul Satre) නමැති ප්‍රංශ ජාතික දාර්ශනිකයා මේ මතවාදයේ මූලික කර්තෘවරයකු බව පැවසිය හැකි ය. මේ දාර්ශනිකයන් ඔවුන් ගේ මතවාදය පදනම් කර ඇත්තේ අප ගේ ජීවිතය දුක්‌ සහිත කෙටි කාලීන එකක්‌ යන සත්‍යය මත නො වේ. මූලිකව ඔවුන් එය පදනම් කොටගෙන ඇත්තේ ජීවිතයේ අරුත දැනගත නොහැකි ය යන විශ්වාසය මත ය. මෙය විශ්වාසයක්‌ මිස විද්‍යාත්මකව ඔප්පු කළ දෙයක්‌ නො වේ. ලෝකයේ සත්‍යය සොයාගත නොහැකි බව මුලට ම පැවසුවේ ආතර් ෂෝපන්හවර් (Arthur Shopenhaur) නැමැති දර්ශනිකයා ය. ඔහු වෛදික ග්‍රන්ථ හදාරා ඇති බව පැවසේ. අප සංජානනය කරන දෙයෙහි සත්‍යයක්‌ නැත. අප සංජානනය කරන්නේ සත්‍යය නො ව වෙනත් දෙයකි. ඔහු පැවසුවේ එවැනි දෙයකි.

විශ්වයේ ක්‍රියාදාමයන් ගේ සත්‍යය සොයාගත නොහැකි යෑයි පැවසිය නොහැකි ය. මෙතැනදී සත්‍ය යනු කුමක්‌ දැයි ප්‍රථමයෙන් එකගතාවට පැමිණිය යුතු ය. දැනට පැවසිය හැක්‌කේ විද්‍යානුකූල ලෙස ඔප්පු වූ දෙයක්‌ අප ගේ ප්‍රයෝජනය පිණිස සත්‍ය ලෙස පිළිගත හැකි ය යන්න ය. විද්‍යාවෙන් ගත හැකි ප්‍රයෝජන මෙතෙක්‌ ලබාගෙන ඇත්තේ එවැනි මාර්ගයක්‌ අනුගමනය කිරීමෙනි.

සාංදෘෂ්ටිකවාදී නාස්‌තිකවාදයට (Existential Nihilism) අනුව මිනිසා වනාහි වැදගත්කමක්‌ නැති ව අරමුණක්‌ නැති ව ලෝකයට බිහි වූ ක්‍රියාදාමයකි. සැම මිනිසකු ම තනි වූ වෙන් වූ පුද්ගලයකු මෙන් ම බිහි වූයේ කුමක්‌ නිසා දැයි දැනගැනීමෙන් වළකා ඇත. එම නිසා ඔහු ම අරුතක්‌ සකසාගත යුතු බව ද මේ මතවාදය පවසයි. එසේ ම මිනිසා විසින් සකසාගන්නා ලද අරුත හෝ අරමුණ හෝ අගය හෝ පිළිබඳව කිසි ම පදනමක්‌ නැත. අප අවංක නම් අප ගේ පැවැත්මේ අරුතක්‌ නැති බව වටහාගත යුතු වන අතර අප මරණයට පත් වන බැවින් ආගම සහ ආධ්‍යාත්ම විද්‍යාව මරණ බිය නිසා ඇති වූ දේවල් බව එම මතවාදය පවසයි. ජීවිතයට අරුතක්‌ නැති වූවාට ජීවත් නො විය යුතු යෑයි එම මතවාදය පවසන්නේ නැත. ජීවිතයේ ශුන්‍යභාවයට මුහුණ දිය හැකි දැයි යන ප්‍රශ්නයට ඔවුන් ගේ පිළිතුර වන්නේ උදාසීන සිල්වත්කම (Impassive Stoicism) පිළිපැදීමෙන් එය කළ හැකි බව ය. (Alan Pratt 2001). මෙය ආගම නො වන්නේ දැයි ඇසිය යුතු ය. උදාසීන සිල්වත්කම යනු ආගමක්‌ නො වන්නේ ද? උදාසීනභාවය සමහර ආගම් පිළිගන්නේ නැත. නිවන් මග යැමට නම් උදාසීනභාවය නැති කරගත යුතු බව බුදුන් පවසා ඇත.

සාංදෘෂ්ටිකවාදය මූලිකව පවසන්නේ ජීවිතය තුළ ස්‌වභාවයෙන් ඇති වූ අරුතක්‌ නැත. එය මිනිසා විසින් සකසාගනු ලැබිය යුතු බව ය. අප පවසන්නේ අපට ප්‍රයෝජනවත් විය හැකි අරුතක්‌ ජීවිතය තුළ ස්‌වභාවයෙන් සැකසී නැති බව ය. එහෙත් ජීවිතයේ අරුතක්‌ නැතැයි අප අදහස්‌ කරන්නේ නැත. ජීවිතයේ අරුත අප සඳහා නො ව විශ්වය සඳහා විය යුතු ය යන්න ය අප ගේ මතවාදයේ පදනම වන්නේ. අප ගේ ජීවිතයේ අරුතක්‌ අප තවම නො දකින්නේ එය අප සඳහා නො ව විශ්වය සඳහා නිසා විය හැකි ය.

පසුගිය ලිපියේ අප සාකච්ඡා කළේ ජීවීන් ගේ මුල් බිහි වීමේ දී ඇති වූ ජීවීන් පිළිබඳව ය. ඔවුන් බිහි වූයේ අරුතක්‌ නැති ව ද? ඔවුන් බිහි වූයේ විශ්වයට සේවයක්‌ කිරීමට විය හැකි ය. ඔපිස්‌තොකොන්ටා (Opisthokonta) නමැති ජීවී කාණ්‌ඩයට අයත් වන ප්‍රොටිස්‌ටා දීලීර සහ සත්ත්වයන් ඇති වූ සැටි අපි සඳහන් කළෙමු. මෙලෙස පරිණාමය වෙමින් මිනිසා බිහි වූයේ ජීවිතයේ ශුන්‍ය බව වටහාගෙන උදාසීන සිල්වත්කම ප්‍රගුණ කොට එම ශුන්‍යත්වයට මුහුණ දීමට ද? ඒ සඳහා ඔපිස්‌තොකොන්ටා අවශ්‍ය ද? ජීවීන් ගේ පරිණාමය සහ විශ්වය විසින් ශක්‌තිය මගින් එය පාලනය කෙරෙන බව අවබෝධ කරගත් විට සාංදෘෂ්ටිකවාදය පවසන දෙයෙහි නියම තේරුම වටහාගත හැකි ය. එනම් ජීවිතයේ අරුතක්‌ නැතැයි එම මතවාදය පවසන්නේ අපට ප්‍රයෝජනවත් දෙයක්‌ එහි නැතැයි යන අදහසින් බව වටහාගැනීම ය. ජීවිතය ශුන්‍ය ය, එයට මුහුණ දිය යුතු ය, එය කෙසේ කළ හැකි දැයි යන ප්‍රශ්න මතු වන්නේ ජීවිතය තුළ අප සඳහා වූ අරුතක්‌ සොයන විට ය. එහි ඇත්තේ විශ්වය සඳහා වූ අරුතක්‌ විය හැකි යෑයි සිතූ විට එම ප්‍රශ්න කිසිවක්‌ පැන නගින්නේ නැත.

ජීවිතයේ අරුත විශ්වය සඳහා විය හැකි බව ජීවී පරිණාමය, ස්‌වාභාවික වරණය සහ ශක්‌තිය මගින් විශ්වය විසින් ඒවා පාලනය කෙරෙන අන්දම පමණක්‌ නො ව විශ්වයේ බිහි වීම සහ ඊට පසු ජීවීන් ගේ ඇති වීම අධ්‍යයනය කිරීම ඉහත සඳහන් මතවාද හරිහැටි අවබෝධ කරගැනීම සඳහා උපකාර විය හැකි ය. විශ්වය සෑදී ඇත්තේ ද්‍රව්‍යවලිනි. ද්‍රව්‍ය වනාහි ශක්‌තිය වන්නේ ය. ද්‍රව්‍ය නිර්මාණය කෙරී ඇත්තේ ශක්‌තිය විසිනි. ද්‍රව්‍යවලට පණ පොවා ජීවීන් ඇති කරන ලද්දේ ශක්‌තිය විසිනි. එය අහඹු සිදුවීමක්‌ විය නොහැකි ය. එය දුර ගමනක්‌ යැම සඳහා ශක්‌තිය විසින් සිදු කරන ලද සංකීර්ණ ක්‍රියාදාමයකි. විශ්වය එසේ කරනවා නම් එය අහඹු සිදුවීමක්‌ නො වනවා නම් විශ්වයට අභිප්‍රාය (Intent) තිබිය යුතු යෑයි කෙනකුට තර්ක කළ හැකි ය. විශ්වයට අභිප්‍රාය නැතැයි කියන්නට හේතු නැත. විශ්වයට තිබෙන්නේ මොනවා ද, නැත්තේ මොනවා දැයි අපි හරිහැටි නො දන්නෙමු. කොටින් ම ශක්‌තිය යනු කුමක්‌ දැයි නො දන්නෙමු. අප දන්නේ ශක්‌තිය ද්‍රව්‍ය බවට හැරෙන්නට ද ආපසු ද්‍රව්‍ය ශක්‌තිය බවට හැරෙන්නට ද පුළුවන් බව පමණි. ශක්‌තිය එක්‌ එක්‌ මුහුණුවර ගන්නට පුළුවන් බව අපි දන්නෙමු. ශක්‌තිය අපට ඕනෑ විදියට පාව්චිච් කිරීමට ද අවශ්‍ය නම් ගබඩා කර තැබීමට ද පුළුවන.

අප ගේ හැගීම් පවා ශක්‌තියේ ක්‍රියාදාමයක්‌ බව අප පවසා ඇත. අපට දුක දැනෙන්නේත් තෘෂ්ණාව දැනෙන්නේත් ශක්‌තියේ ක්‍රියාකාරකම් නිසා ය. එම හැගීම් විශ්වය/ශක්‌තිය විසින් නිර්මාණය කරනු ලැබ ඇතැයි සිතීමේ වරදක්‌ නැත. තෘෂ්ණාව සහ දුක මිනිසා තුළ පමණක්‌ නො ව සත්ත්වයන් තුළ ද ඇති බව කිව හැකි ය. එම හැගීම් මිනිසා තුළ අධික ලෙස වර්ධනය වී ඇත. මිනිසාට ඇති වන දුක සහ තෘෂ්ණාව සත්ත්වයන් ගේ එම හැගීම්වලට වඩා අති ඉමහත් ය. ලෝකය තමාට නතු කරගැනීමට හිට්‌ලර්ට අවශ්‍ය විය. එවැනි මිනිසුන් අද කාලයේ ද ඇති විය හැකි ය. එලෙස දුක සහ තෘෂ්ණාව මිනිසා තුළ වර්ධනය වූයේ ජීවී පරිණාමය මාර්ගයෙනි. පරිණාමය පාලනය කෙරෙන්නේ ශක්‌තිය විසිනි. එම නිසා දුක සහ තෘෂ්ණාවේ වර්ධනය පාලනය කරන ලද්දේ ශක්‌තිය/විශ්වය විසින් යෑයි කිව හැකි ය. තව ද දුක සහ තෘෂ්ණාව එකට බැඳී එකින් එක පෝෂණය කරන හැගීම් දෙකක්‌ බව අපි දන්නෙමු. දුකට හේතුව තෘෂ්ණාව බව බුදුන් පෙන්වා දී ඇත. දුක නිසා තෘෂ්ණාව ද වැඩි වන බව පෙන්වා දිය හැකි ය. දෙයක්‌ නො ලැබුණු විට දුකක්‌ දැනේ. එවිට එම දෙයට ඇති තෘෂ්ණාව තවත් වැඩි වන්නට පුළුවන. මේ හැගීම් සියල්ල පාලනය වන්නේ ශක්‌තිය මාර්ගයෙනි. ඒ ලෙස දුක සහ තෘෂ්ණාව වර්ධනය වූයේ කා ගේ යහපතට ද? ඉන් අපට හොඳක්‌ සිදු වී නැති බව අපි දන්නෙමු. ඒ නිසා ය දුක නැති කරගන්නට ආගම් නිර්මාණය වූයේ. තෘෂ්ණාව අඩු කරගැනීමේ අවශ්‍යතාව සැම ආගමක්‌ ම දේශනා කරන බව අපි දන්නෙමු. එම නිසා දුක සහ තෘෂ්ණාව වර්ධනය වූයේ අප ගේ අවශ්‍යතාවකට නො වේ. එය වර්ධනය කරන ලද්දේ විශ්වය/ශක්‌තිය විසිනි. එසේ නම් එම හැගීම් වර්ධනය වූයේ විශ්වයේ අවශ්‍යතාව නිසා විය යුතු ය.

තෘෂ්ණාව විසින් මිනිසා වහලකු ලෙස විශ්වයේ සේවයට බැඳ තබනු ලැබ ඇති බව අප පවසා ඇත. තෘෂ්ණාව විසින් සිදු කෙරෙන වෙන දෙයක්‌ නැත. තෘෂ්ණාව පාලනය කෙරෙන්නේ විශ්වය විසිනි. මිනිසා ගෙන් වැඩ ගන්නට විශ්වය මේ ලෙස තෘෂ්ණාව සහ දුක යොදාගෙන ඒවා පාලනය කරයි. විශ්වය සඳහා අප කරන සේවය කුමක්‌ ද? අප ගේ ජීවත අරමුණක්‌ කරා ගෙන යැමෙන් විශ්වයට සේවයක්‌ වනවා ද? නැතිනම් අපට යහපතක්‌ වනවා ද? අප ගේ දුක නැති වනවා ද? මේවා සිදු නො වන බව අපි දනිමු. ඒ කිසිවක්‌ සිදු නො කර අප මරණයට පත් වන්නේ ය. එහෙත් අප මරණයට පත් වන විට ඉතිරි වන්නේ DNA, RNA සහ ප්‍රොaටීන් ය. සත්ත්වයන් සැම දෙනා මරණයට පත් වන විට ඉතිරි වන්නේ ඒවා ය. DNA, RNA සහ ප්‍රොaටීන් විශේෂ වූ ද්‍රව්‍යයන් ය. ඒවා සාමාන්‍ය ද්‍රව්‍යයන් නො වන්නේ ය. ඒවා නිසා ජීවීන් ඇති වූ බව අපි පවසමු. එසේ පවසන්නේ අප ජීවීන්ට ප්‍රමුඛස්‌ථානය දෙන විට ය. අප ප්‍රමුඛස්‌ථානය විශ්වයට දෙන විට ජීවීන් නිසා DNA, RNA සහ ප්‍රොaටීන් වර්ධනය වූ බව පැවසිය හැකි ය. විශ්වයට අවශ්‍ය ජීවීන් නො ව ඔවුන් ගේ විවිධත්වය නිසා නිර්මාණය වන අතිමහත් DNA, RNA සහ ප්‍රොaටීන් සම්භාරය ය. DNA ලෝකය ගැන අප සාකච්ඡා කොට ඇත. RNA ලෝකය ගැන අප සාකච්ඡා කොට ඇත. එසේ ම ප්‍රොaටීන් ලෝකය පිළිබඳව අප සාකච්ඡා කොට ඇත. මේ ලෝක අවශ්‍ය ව ඇත්තේ විශ්වයට මිස වෙන කාට ද?

විශ්වය බිහි වූ අන්දම අප හරිහැටි දැනගෙන නැත. මහා පිපිරීම (Big Bang) නිසා එය බිහි වූ බව විද්‍යාඥයෝ විශ්වාස කරති. නොයෙකුත් ඔප්පු නො වූ කරුණු පිළිබඳ යම්කිසි පැහැදිලි කිරීමක්‌ මහා පිපිරීම නමැති මතවාදය සපයන බැවින් එය පිළිගන්නට මේ විද්‍යාඥයෝ කැමැත්තක්‌ දක්‌වති. මහා පිපිරීම පිළිබඳව අප සාකච්ඡා කොට ඇත. මහා පිපිරීම විශ්වයේ ආරම්භය වුව ද ඊට පෙර කිසිවක්‌ තිබුණේ නැතැයි කිව නොහැකි ය. ඊට පෙර ඉතා ම ඝන වූ ද ඉතා ම අධික උෂ්ණත්වයකින් යුක්‌ත වූ ද යමක්‌ තිබුණු බව එම මතවාදය පවසයි. එය ද්‍රව්‍ය ද නැතිනම් ශක්‌තිය ද? එසේ පැවැති තත්ත්වය ප්‍රසාරණය වීම නිසා එක්‌ සැණින් මහා පිපිරීමක්‌ ඇති විය. මෙය සිදු වූයේ අවුරුදු බිලියන 13.8කට පමණ පෙර ය. පිපිරීමට පසුව සිදු වූ ශීතල වීම නිසා අංශු සෑදී පසුව පරමාණු සෑදුණු බව පැවසේ. මේ පරමාණු විශාල වලාකුළු වශයෙන් තිබී ගුරුත්වාකර්ෂණය නිසා එකතු වී තාරකා සහ චක්‍රාවාට සෑදුණි. මේ මතවාදයට ඇති ප්‍රධාන සාධකය වන්නේ විශ්වය ප්‍රසාරණය වන බව ය. මහා පිපිරීම සිදු වූයේ ප්‍රසාරණය නිසා ය. එසේ පටන් ගත් ප්‍රසාරණය තවමත් සිදු වන බව වර්ෂ 1929 දී එඩ්වින් හබල් (Edwin Hubble) සොයාගත්තේ ය. මහා පිපිරීම නමැති මතවාදය විසින් විශ්ව පරිසරයේ සූක්‌ෂම තරංග විකිරණ තිබෙන බව, ඒවා සොයාගන්නට පෙර ම අනාවැකි පළ කොට තිබිණි. පසුව වර්ෂ 1964 දී එම විකිරණ සොයාගන්නා ලදී. එම සොයාගැනීම මහ පිපිරීම මතවාදය ඔප්පු කිරීම සඳහා පිටිවහලක්‌ විය. තව ද පවතින භෞතික විද්‍යාවේ ස්‌වභාවධර්මය පිළිබඳ නීති භාවිත කොට විශ්වයේ ගුණාංග ගණනය කරමින් එහි මුල දක්‌වා යන විට ඉතා ඝන වූ, උෂ්ණත්වයෙන් අධික වූ තත්ත්වයක්‌ තිබුණු බව පෙන්වා දිය හැකි ය. (C.H.Gibson 2005). මේ සොයාගැනීම් මහා පිපිරීම සිදු වූ බව ඔප්පු කිරීම සඳහා උපකාරී වේ.

මහා පිපිරීමට පසුව මුලින් ම සෑදී ඇත්තේ ප්‍රොaටෝන, න්‍යqට්‍රොaන සහ ඉලෙක්‌ට්‍රොaන ය. පරමාණුක න්‍යෂ්ටිය මුල් මිනිත්තු කිහිපයේ දී සෑදිණි. එහෙත් විද්යුත් උදාසීන පරමාණු සෑදෙන්නට අවුරුදු දහස්‌ ගණනක්‌ ගත විය. දැනට සංජානනය කළ හැකි ක්‍රියාදාමයන් කිහිපයක්‌ම පහදා දිය හැකි වන්නේ මහා පිපිරීම මතවාදය මුල් කරගෙන ය. උදාහරණ ලෙස විශ්වයේ පසුබිමේ සූක්‌ෂම තරංග තිබීම, බොහෝ ප්‍රමාණයක්‌ ආලෝක අංශූ තිබීම, විශාලත්වය ඉන් සමහරකි. තව ද විද්වත් අයින්ස්‌ටයින් ගේ සාධාරණ සාපේක්‌ෂතාවාදය සමග මහා පිපිරීම එකග වන බව පැවසේ. මහා පිපිරීමට පසුව වර්ෂ බිලියන 4.5කට පමණ පෙර ජීවීන් ඇති වූ බව පැවසේ. මහා පිපිරීම සිදු වූයේ පෘථිවිය සහ ජීවීන් බිහි කිරීම සඳහා ද? DNA, RNA ප්‍රොaටීන් නිෂ්පාදනය සඳහා ද? මේ ගැන ඉදිරි ලිපියේ සාකච්ඡා කොට මේ ලිපි පෙළ අවසාන කිරීමට බලාපොරොත්තු වෙමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc