logo3.gif (702 bytes)

HOME


ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 23

අප සාකච්ඡා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳව විද්‍යාවෙන් සහ දර්ශනයෙන් ගත හැකි කරුණු ය. ජීවිතයේ අරුත පිළිබඳව අප මතවාදයක්‌ ඉදිරිපත් කොට ඇත. එම මතවාදය සමග එකඟ වන හෝ නො වන කරුණු අපි සාකච්ඡා කරන්නෙමු. අප ගේ මතවාදය පදනම් වී ඇත්තේ විශ්වයට අරුතක්‌ ඇත. එම නිසා ජීවිතයට අරුතක්‌ ඇත යන පුළුල් දර්ශනය මත ය. තව ද විශ්වය නිර්මාණය වී ඇත්තේ ජීවීන් සඳහා නො ව ජීවීන් නිර්මාණය වී ඇත්තේ විශ්වය සඳහා ය යන දාර්ශනික අදහස මත ද අප ගේ මතවාදය පදනම් වී ඇත. බොහෝ ආගම් පදනම් වී ඇත්තේ ජීවිතයට අරුතක්‌ ඇත සහ විශ්වය නිර්මාණය වී ඇත්තේ ඒ සඳහා ය යන දර්ශනය මත ය. එම ආගම්වලට අනුව අප ගේ ජීවිතයේ අරුත මරණයෙන් පසු දෙවියන් ගේ ලෝකයට හෝ එවැනි ලෝකෝත්තර අවස්‌ථාවකට පත් වීම ය. ඒ සඳහා ප්‍රයත්නයක්‌ දැරීම පිණිස මිනිසා ගේ සහායට විශ්වය නිර්මාණය වී ඇත. ඉර, හඳ. ගස්‌වැල්, සතා සිව්පාවා මවා ඇත්තේ මිනිසා ගේ යහපතට ය.

අප ගේ මතවාදය ඊට විරුද්ධ ය. මිනිසා නිර්මාණය වී ඇත්තේ විශ්වයට සේවයක්‌ කිරීමට යෑයි අපි පවසමු. දෙවි කෙනකු හෝ දෙවියන් ගේ ලෝකයක්‌ හෝ මැවුම්කාර ක්‍රියාවක්‌ හෝ ඔප්පු කිරීමට සාධක නොමැත. විශ්වය නිර්මාණය වී ඇත්තේ මිනිසාට සේවය කිරීමට ය යන අදහස ඔප්පු කිරීමට ද සාක්‌ෂි නැත. මිනිසා සහ ජීවීන් නිර්මාණය වී ඇත්තේ විශ්වයට සේවයක්‌ කිරීමට විය හැකි යෑයි සිතිය හැකි ය. එසේ සිතීමට ඉවහල් වන කරුණු රාශියක්‌ අප ගේ සාකච්ඡාවල ගැබ් වී ඇත. පසුගිය ලිපිවල අප සාකච්ඡා කළේ ජීවී පරිණාමය පිළිබඳව ය. ජීවී පරිණාමය වනාහී සිදු වී ඇති ඓතිභාසික සත්‍යයක්‌ බව අප පෙන්වා දී ඇත. පරිණාමය සිදු වී ඇත්තේ අවසානයේ මිනිසකු නිර්මාණය කරන්නට නො වන බව ද අප වටහාගත යුතු ය. එසේ සිදු වූයේ නම් නිර්මාණ වෘක්‌ෂය අතු ඉති බෙදී වෙන් වී යනවා වෙනුවට ඒක රේ‚ය ක්‍රියාදාමයක්‌ ලෙස සිදු වනවා ඇත. මිනිසා මෙන්ම අනෙකුත් ජීවීන්, ශාක, සත්ත්ව විශ්වයට සේවයක්‌ කරමින් සිටියි. එම සේවයට ජීවීන් වහලුන් සේ බැඳ තබා ඇත. ජිවීන් ගේ අඩු වැඩි වශයෙන් වර්ධනය වී ඇති තෘෂ්ණාව, කුහුල, නිර්මාණශීලීත්වය ඒ ලෙස පිහිටා ඇත්තේ එම සේවය සඳහා ය. එසේ ම එම සේවය සඳහා වහලුන් සේ බැඳ තැබීමට ය.

පසුගිය ලිපියේ අවසානයේ දී හරිත ලවයන් සහිත ජීවීන් ඇති වීමට පෙර පැවැති ජීවීන් පිළිබඳව කෙටි සටහනක්‌ තැබුවෙමි. එම ලිපියේ අප සඳහන් කොට ඇත්තේ ජීවී නැත හොත් ජෛවී යෑයි සැක කළ හැකි පොසිල මුලට ම සොයාගෙන ඇත්තේ බටහිර ඕස්‌ටේ්‍රලියාවේ අවුරුදු බිලියන 4.1 පැරැණි පාෂාණවලිනි. අවුරුදු මිලියන 3900-2500කට පෙර ප්‍රාග්-න්‍යෂ්ටිකයන්ට (prokaryotes) සමාන සෛල ඇති විය. මේවා කාබන් ලබාගත්තේ වායුගෝලයේ කාබන්ඩයොක්‌සයිඩ්වලිනි. ශක්‌තිය ලබාගත්තේ අකාබානික ද්‍රව්‍ය ඔක්‌සිකරණය කිරීමෙනි. පසුව මේ සෛල ග්ලූකෝස්‌වලින් ශක්‌තිය ලබාගැනීමේ ක්‍රමය වන ග්ලයිකොලිසිය (glycolysis) වර්ධනය කරගත්තේ ය. එම ශක්‌තිය ATPවල තැන්පත් කළේ ය. මේ ක්‍රියාවලිය අද ජීවත් වන ජීවීහු ද අනුගමනය කරති.

අවුරුදු මිලියන 3500කට පෙර බැක්‌ටීරියා සහ ආකියා (bacteria and archaea) ඔවුන් ගේ පූර්වජයා ගෙන් වෙන් වූයේ ය. මේ බැක්‌ටීරියා නොදියුණු ප්‍රභාසංශ්ලේෂණය කිරීමේ හැකියාව ලබාගත්තේ ය. එහෙත් ඔවුන් ඔක්‌සිජන් මුදා හැරියේ නැත. ඔවුන් ATP (Adinosine Triphosphate) නිෂ්පාදනය කළේ අද ජීවත් වන සෑම ජීවියකු ම එය නිෂ්පාදනය කරන අන්දමට ම ය.

දියුණු ප්‍රභාසංශ්ලේෂණය සිදු කරන සයනොබැක්‌ටීරියා (cyanobacteria‌) බිහි වූයේ අවුරුදු මිලියන 3000කට පෙර ය. ඔවුන් ඔක්‌සිහාරක ද්‍රව්‍ය ලෙස භාවිත කළේ ජලය විය. එම නිසා ඔක්‌සිජන් වායුගෝලයට මුදාහරින්නට හැකි විය. වායුගෝලයේ ඔක්‌සිජන් වැඩි වීම බැක්‌ටීරියාවලට අයහපත් විය. මෙලෙස ඔක්‌සිජන් වැඩි වීම Great Oxygenation Event ලෙස නම් කර ඇත. මේ කාලයේ එනම් අවුරුදු මිලියන 3000කට පෙර සඳ පිහිටා තිබුණේ පෘථවියට කිට්‌ටුව ය. එම නිසා වඩදිය අඩි 1000ක්‌ උසට නැග්ගේ ය. කුණාටු නිතර ඇති විය. මේ කරුණු ජීවී පරිණාමය පිණිස ඉවහල් වූ බව විශ්වාස කෙරේ. මේ කාලයේ ජීවීන් ගොඩබිමට පැමිණි බව ද පැවසේ.

ඉහත සඳහන් ආකියා (archaea) නමැති ජීවීන් මොනවා ද? ඒවා ඒකසෛලීය ජීවීන් ය. සෛල ඇතුළේ න්‍යෂ්ටියක්‌ හෝ ඉන්ද්‍රියිකා (organell) හෝ නොමැත. එම නිසා ඒවා ප්‍රාග් න්‍යෂ්ටික (Prokaryote) ලෙස හැඳින්වේ. ඒවා බැක්‌ටීරියාවල තිබෙන කශිකා (flagellae) වැනි අවයවවලින් ගමන් කරයි. එම කශිකා කරකවන්නට යාන්ත්‍රණයක්‌ ඇත. බැක්‌ටීරියාවල ද මේ දේවල් තිබේ. පෘථිවියේ ඇති මුළු ජීව ස්‌කන්ධයෙන් (biomass) 20% පමණ ආකියා වන්නේ ය. එම නිසා ඒවා සුළු පටු ලෙස සිතිය නොහැකි ය. ඒවා විශාල වැඩ කොටසක්‌ පෘථිවිය සහ විශ්වය සඳහා සිදු කරනවා විය යුතු ය. එම නිසා ආකියා ගැන ද සාකච්ඡා කළ යුතු ව ඇත. මුල් ජීවී පූර්වජයා ගෙන් වෙන් වී වෙන ම අත්තක්‌ ලෙස පරිණාමය වූ ආකියා වෙන ම ජීව ලෝකයක්‌ (kingdom) සාදයි. මුලින් ආකියා වර්ග කොට තිබුණේ බැක්‌ටීරියා සමග ය. එහෙත් ඒවායේ සෛල ව්‍යqහයේ සහ ක්‍රියාකාරිත්වයේ මූලික වෙනස්‌කම් ඇති බව සොයා ගැනිණි. ඊට පසු ආකියා මුල් පූර්වජයා ගෙන් වෙන් වූ කාලවකවානු සොයාගන්නා ලදි. ආකියා භාවිත කරන ශක්‌ති ප්‍රභවයන් වන්නේ සීනි වැනි කාබනික ද්‍රව්‍ය, ඇමෝනියා, ලෝහ අයන සහ හයිඩ්‍රජන් වායුව ය. ආකියා ජීව ලෝකයේ වටිනා ක්‍රියාදාමයක්‌ ඉටු කරන බව කිව හැකි ය. ඒවා කාබන් චක්‍රය සහ නයිට්‍රජන් චක්‍රය සඳහා විශාල වූ කාර්යභාරයක්‌ ඉටු කරයි. ආකියාවල වංශ (Phyla) කිහිපයක්‌ ම ඇත. ඒවායින් එකක්‌ වන මෙතනොජන් (Methanogen) මිනිසා ගේ සහ ගවයා ගේ අන්ත්‍රවල ජීවත් වේ. ආහාර දිරවීම සඳහා ඒවා උපකාර වේ.

ජීවීන් වර්ග කිරීමට ජාන භාවිතය ආරම්භ කළ පසු ආකියා අනෙක්‌ ජීවීන් ගෙන් විශේෂයෙන් අනෙකුත් ප්‍රාග් න්‍යෂ්ටිකයන් ගෙන් (prokaryotes) වෙන් වන සැටි සොයාගැනිණි. ජාන යොදාගෙන ජීවීන් වර්ග කිරීමේ ක්‍රමය එලදායක වූ බව පෙනේ. එ මගින් සොයාගත් මුල් ජීවීන් වෙන් වූ අන්දම පහත සඳහන් ලෙස දැක්‌විය හැකි ය.

ඉහත සඳහන් ප්‍රාග්න්‍යෂ්ටිකයන්, ආකියා සහ සුන්‍යෂ්ටිකයන් අතර ඇති වෙනස්‌කම් පහත සඳහන් වේ. (වගුව 01)

ආකියා අනෙකුත් ප්‍රාග්-න්‍යෂ්ටිකයන් ගෙන් (prokaryote) වෙනස්‌ වන්නේ ඒවායේ RNAවල ඇති රයිබොසෝම් ව්‍යqහය විශාල වෙනස්‌කම් පෙන්නුම් කරන බැවිනි. තව ද ආකියාවල සෛල පටලය නිම වී ඇත්තේ ඊතරවලින් බැඳුණු මේද (ether–linked lipids)වලිනි. ප්‍රාග්න්‍යෂ්ටිනයා සහ සුන්‍යෂ්ටිකයා ගේ සෛල පටලය සෑදී ඇත්තේ එස්‌ටරවලින් බැඳුණු මේදවලිනි. ඊතර් බන්ධනය වඩා ශක්‌තිමත් ය. එම නිසා ආකියාවලට අධික උෂ්ණත්වය සහ ලවණ පරිසරයක්‌ තුළ ජීවත් විය හැකි ය. තව ද ආකියාවලට මීතේන් නිපදවිය හැකි ය. මේ මීතේන් බැක්‌ටීරියා වැනි වෙනත් ජීවීන් ආහාරයට ගනී. කාබන් යොදාගෙන මීතේන් සෑදීම කාබන් චක්‍රය සඳහා කරන වටිනා සේවයකි.

සුන්‍යෂ්ටිකයන් (eukaryotes) හැඳින ගැනෙන්නේ සෛල තුළ ඉන්ද්‍රියිකා (organelle) සහ න්‍යෂ්ටියක්‌ තිබීම නිසා ය. සුන්‍යෂ්ටිකයන් වර්ගීකරණය කරන විට සත්ත්ව, ශාක සහ දිලීර යනුවෙන් බෙදේ. එහෙත් මේ තුනට ම අයත් නො වන ජීවීහු සිටිති. ඒවා ප්‍රොටිස්‌ටා (protist) යනුවෙන් වෙන් කොට හඳුනාගැනෙයි. එහෙත් මේ වර්ග කිරීම ද සර්වසම්පූර්ණ නො වන්නේ ය. Protist හඳුනාගැනීමට භාවිත කරන සැම ක්‍රමයක ම දුර්වලකම් ඇත. එම නිසා පෙර සිට පැවැති ජීවීන් වර්ගීකරණය කරන ක්‍රමය අත්හැර දමා ජාන මත පදනම් වූ ක්‍රමයක්‌ භාවිත කිරීමට සමහර විද්‍යාඥයෝ පෙලඹී සිටිති. ඡරදඑසිඑ ස්‌වාභාවික කණ්‌ඩායමක්‌ සාදන්නේ නැත. ඒවා සත්ත්ව, ශාක හෝ දිලීර යනුවෙන් නම් කළ නොහැකි නිසා ඒවා වෙන ම නම් කොට ඇත. ඒවායේ ව්‍යqහයේ සහ ක්‍රියාකාරීත්වයේ සමානකම් සහ අසමානකම් ද ඇත. උදාහරණයක්‌ ලෙස ඒවායේ න්‍යෂ්ටියක්‌ ඇති නිසා න්‍යෂ්ටික රාජධානියට (kingdom) අයත් වන්නේ ය. එහෙත් ඔවුන් ගේ ජෛව චක්‍රය, සංචරණය, සෛල, අංගෝපාංග වෙනස්‌ විය හැකි ය.

මේ නිසා ජීවීන් වර්ගීකරණය කළ යුත්තේ මේ ක්‍රමවලට අනුව නො ව වංශ ප්‍රවේණික (phylogenetic) ක්‍රමවලට අනුව බව සමහර ජීව විද්‍යාඥයන් ගේ අදහස වී ඇත. කුමන ක්‍රමයක්‌ යොදා protist නිර්වචනය කෙරුව ද සමහර ඇතුළත් වන්නේ නැත. මේ නිසා ජීවීන් රාජධානි, වංශ, වර්ග යනුවෙන් බෙදීම අතහැර වංශ ප්‍රවේණික ලෙස ඒවා විස්‌තර කිරීම පමණක්‌ කළ හැකි බව පෙනී යයි.

කෙසේ නුමුදු න්‍යෂ්ටික ජීවීන් ඇති වූ සැටි හා protistවලට හිමි වන ස්‌ථානය වංශප්‍රවේණික (phylogenetic) සහ සහජීවී ප්‍රවේණික (symbiogenetic) කරුණු සැලකිල්ලට ගෙන පහත සඳහන් ලෙස ජීවී වෘක්‌ෂයක්‌ තැනිය හැකි ය. (01 රූපය).

එම ජීවී වෘක්‌ෂයට අනුව සත්ත්වයන් ගේ පූර්වජයා ප්‍රොටිස්‌ටා වන්නේ ය. තව ද සත්ත්වයන් ශාකවලට වඩා දිලීරවලට කිට්‌ටු ය. සත්ත්වයන් සහ දිලීර ප්‍රොටිස්‌ටාවලින් පරිණාමය වී ඇති බව තවදුරට සාකච්ඡා කළ යුතු වන්නේ ය.

ඉහත සඳහන් පරිණාම වෘක්‌ෂය සලකා බලන විට පෙනී යන්නේ මුල් අවධියේ දී බැක්‌ටීරීයා සහ ආකියා එකතු වී ප්‍රොටිස්‌ටා වර්ධනය වීමට දායක වූ බවයි. මෙය කෙසේ සිදු වී ඇති ද? ඔවුන් වෙන් වී ඇත්තේ පොදු පූර්වජයකු ගෙනි. එසේ වෙන් වූ පසු සාමාන්‍යයෙන් ජීවින් නැවත එකතු වන්නේ නැත. එහෙත් මේ ප්‍රාග්-න්‍යෂ්ටික ජීවීන් එකතු වූයේ තිරස්‌ මාරු වීම (horizontal transfer) නමැති ජාන හුවමාරු වීමේ ක්‍රමයකින් විය යුතු ය. තව ද ශාක ඇති වූයේ බැක්‌ටීරියා සහ ප්‍රොටිස්‌ටා දායක වීමෙන් බව ද පෙනේ. එතැන දී සිදු වී ඇත්තේ කුමක්‌ ද? බැක්‌ටීරියා ප්‍රාග්-න්‍යෂ්ටික වන්නේ ය. ප්‍රොටිස්‌ටා න්‍යෂ්ටික වන්නේ ය. ශාක පරිණාමයේ දී ප්‍රොටිස්‌ටාවලින් වර්ධනය වූ ශාක බැක්‌ටීරීයාවලින් ද යමක්‌ ලබාගෙන ඇත.

අණුක පරීක්‌ෂණ සහ වංශප්‍රවේණික අධ්‍යයනවලින් සොයාගෙන ඇති නවතම තොරතුරුවලට අනුව දිලීර සහ සත්ත්වයන් ඇතුළත් කළ හැකි වෙන් වූ සමුහයක්‌ (group) තැනිය හැකි බව පැවසේ. මේ සමූහය opisthokonta යනුවෙන් හැඳින්වේ. මේ සමූහය තවත් පුළුල් කළ හැකි බව Streenkamp et. al (2006) යන විද්‍යාඥයන් කණ්‌ඩායම සොයාගෙන ඇත. ජීවී පරිණාමය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී ජීවීන් ගේ මුල් උපත සහ මුල් කාලයේ දී සිදු වූ වෙනස්‌වීම් ඉතා වැදගත් නිසා මේ ගැන ඉදිරියේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

මහාචාර්ය එන් ඒ ද එස්‌ අමරතුංග DSc