logo3.gif (702 bytes)

HOME


වචනාක්‍රමණය අවසන් කොටස

ආගන්තුකයා හිස සොලවා ආඩම්බරකාරී මඳහසක්‌ වැනුවේ ය.

"අඩු ම ගණනේ ඒකට කියන්න පුළුවන් ආසන්නනතම වචනය ඒක. සාමාන්‍ය ජෛවීය වයිරසයකට හෝ පරිගණක වයිරසයකට තිබෙන සැම ලක්‌ෂණයක්‌ ම ඒකට නැහැ. නමුත් බෝ වීමේ හැකියාව, වර්ධනය වීමේ හැකියාව, වෙනස්‌ වන පරිසර තත්ත්වයන්ට අනුරූපව හැඩගැසී තම පැවැත්ම රැකගැනීම, අරමුණක්‌ සහිත බව වාගේ පොදු ගුණාංග භාෂාවටත් පොදුයි. ඒත් වයිරසය කියන වචනය ගැන ඔයා මවාගෙන තියෙන සංකල්පය ඇතුළේ හිරවෙන්න හදන්න එපා"

අකලංක මඳහසක්‌ නංවා හිස ඇල කර අත මඳක්‌ ඔසවා තමා කලබල වී නොමැති බව ඉගි කළේ ය.

"මම ජීවිතේට මීට කලින් ඔය වගේ කථාවක්‌ අහල නෑ. කොහොම ද භාෂාව වයිරස්‌ එකක්‌ වෙන්නේ?"

ආගන්තුකයා සතුටු සහගත මඳ සිනාවකින් යුක්‌ත ව ම ඊට පිළිතුරු බැන්දේ ය.

වසර මිලියන ගාණකට කලින් ගස්‌වලින් බිමට බැස්‌ස අපේ මුතුන් මිත්තෝ ගොරහැඩි ආයුධ තනාගෙන මාංශ භක්‌ෂක ජීවිතයකට පුරුදු වෙද්දීත් සන්නිවේදනය සඳහා භාවිත වුණේ ඉගි බස සහ ගෙරවීම් පමණයි. මේ කාලයේ දීයි භාෂාව මුලින් ම අපට බෝ වෙන්නේ. ඒ ඉතා ම ප්‍රාථමික මට්‌ටමෙන්. ගල් යුගයේ දී ඇති වන ගහණය වැඩි වීම, අවශ්‍යතාවන් සංකීර්ණ වීමත් එක්‌ක මේ ප්‍රාථමික භාෂාව මිනිසා ගේ වැඩ කටයුතුවලට බොහොම පහසුවක්‌ වෙනවා. ඒත් එක්‌ක ම මාංශ අනුභවය සහ උපකරණ භාවිතය නිසා යම් තරමකින් දියුණු වී ඇති මොළයේ සිතිවිලි ආශ්‍රිතව භාෂාව හොඳින් පැළපදියම් වී වර්ධනය වනවා. භාෂාවේ සන්නිවේදනමය ගුණාංගය නිසා මිනිසා ටිකෙන් ටික දියුණු වනවා. ඒ දියුණුවත් එක්‌ක ම මිනිසාත් ටිකෙන් ටික භාෂාව සංවර්ධනය කරනවා. මේ විදිහට වසර මිලියන ගණනාවක්‌ තිස්‌සේ එකිනෙකාව පෝෂණය කර ගනිමින් මිනිසා සහ භාෂාව නොදැනුවත්ව සහජීවනයෙන් යුතු ව ජීවත් වූ පරිණාමීය ක්‍රියාවලියක්‌ තුළින් තමයි අද මේ පවතින සමාජය නිර්මාණය වෙලා තියෙන්නේ."

අකලංක වචන ස්‌පර්ශ කරන්නට උත්සාහ කරන්නාක්‌ මෙන් මුව පිරිමැද්දේ ය.

"ඒක නියම කථාවක්‌ තමයි. අපි කථා කරන්නේ වෙනත් ජීවී විශේෂයක්‌ භාවිතයෙන් කියලා හිතන එකත් මහ අපූරු හැගීමක්‌ නේ."

ආගන්තුකයා එයට ප්‍රතිචාර වශයෙන් හිස සලා තම කථාව දිගට ම කරගෙන ගියේ ය.

"මේ විදිහට මිනිසා ගේ පරිණාමයත් එක්‌ක භාෂාවත් කෙමෙන් පරිණාමය වනවා. නමුත් ප්‍රාථමික ජීවී කොට්‌ඨාශයක්‌ නිසා ඔවුන් ගේ පරිණාමයට උච්ඡස්‌ථානයක්‌ තියෙනවා. හරියට කිඹුලෝ, ඉබ්බෝ උච්ඡස්‌ථානයකට ඇවිල්ලා තියෙනවා වගේ. භාෂාවේ පරිණාමයත් උච්ඡස්‌ථානයකට ඇවිත් නතර වනවා. ඒ තමයි මුළු මහත් මිනිස්‌ වර්ගයා ගේ ම භාෂාව තනි භාෂාවක්‌ බවට පත් වීම."

තම දෙපා දෙස බලමින් කථා කරමින් සිට ආගන්තුකයා නැමී එහි ඇල වී තිබුණු තුත්තිරි මල් කිහිපයක්‌ ගලවන්නට විය. තුත්තිරි මල් ඇලවෙන්නට මේ යකා රිංගන්නට ඇත්aaතේ කොහේ දැයි අකලංක කල්පනා කළේ ය. ඒත් සමග ම මේ වන විට වියළී නො පෙනී යමින් තිබූ නමුදු කලිසම් කකුල් දණ හිස දක්‌වා වතුරක ගිලී තිබූ බව දැක්‌වෙන තෙත් පැල්ලමක්‌ ද එහි තිබුණු බව ඔහුට දැකිය හැකි විය. කෙසේ වෙතත් ආගන්තුකයා නොකඩවා කථාව කරගෙන ගිය බැවින් අකලංක ඒ වෙතට තම අවධානය යොමු කළේ ය.

"එක්‌ විශ්ව භාෂාවකට පැමිණීම තුළින් මිනිස්‌ වර්ගයා පරිණාමීයව අතිශය දියුණු තත්ත්වයකට පත් වනවා. තාක්‌ෂණය වැඩි දියණු වනවා වගේ ම අෙන්‍යාන්‍ය විශ්වාසය, මිත්‍රත්වය වගේ යහගුණාංග ගෝලීය මට්‌ටමෙන් සංවර්ධනය වනවා. මේ තත්ත්වයේ අන්තිම ප්‍රතිඵලය වන්නේ මිනිසා තවදුරටත් වචන භාවිතය අතඇරලා මානසික සන්නිවේදනයට මාරු වෙන එකයි"

අකලංක හිස ඔසවා පැත්තකට ඇල කරන ලද හීන් හිනාවකින් තම එකගතාව ප්‍රකාශ කර සිටියේ ය.

"මං ඒක දැනගෙන හිටියා. මිනිස්‌සු කවදා හරි දවසක එකිනෙකා එක්‌ක කථා කරන්න ටෙලිපෙති පාවිච්චි කරයි කියලා. ඉතිං... තව අවුරුදු කීයක්‌ විතර යයි ද අපිට ඒ තත්ත්aවයට එන්න?"

ආගන්තුකයා තම දකුණතේ නියපොතු එකිනෙක පුරුද්දමින් ඒ දෙස බලාගෙන උදාසීන ස්‌වරයක්‌ නැංවූයේ ය.

"ඒක ම තමා ගැටලුව..."

වික්‍ෂිප්තයක්‌ අකලංක ගේ දෙනෙත් අතරින් පෙරී ආවේ ය.

"ඒ කිව්වේ...?"

ආගන්තුකයා මඳ වේලාවක්‌ නිහඩ ව තමා කරමින් සිටි කාර්යයෙහි ම නිරත වෙමින් සිටියේ ය. ඉන්පසු හදිසියේ උදාසීනත්වයට පයින් ගසා එය ඈතට විසි වී යන දෙස මොහොතක්‌ බලා සිටින්නාක්‌ මෙන් දුර ඈත ක්‍ෂිතිජය දෙස බලා සිටි ආගන්තුකයා නැවත අකලංක දෙස හැරී ඔහු ගේ දෑස මත තම බැල්ම රැඳෙව්වේ ය.

මනුෂ්‍ය පරිණාමයේ ඉතිහාසය දිහා බලද්දී මගේ ගණනය කිරීම්වලට අනුව මේ වෙද්දී අපි මානසික සන්නිවේදනය ආරම්භ කරල ඉන්න ඕනේ."

අකලංක ගේ විවර වූ මුවින් ඊළග පැනය මතු වෙන්නට පෙර ආගන්තුකයා එයට පිළිතුරු බැන්දේ ය.

"ඒ කියන්නේ මිනිසා මීට අවුරුදු තුන් හාර දහසකට කලින් තනි භාෂාවක්‌ කථා කිරීම ආරම්භ කරල තියෙන්න ඕනේ."

අකලංක විස්‌මයෙන් යුතුව බලා මඳක්‌ කල්පනා කරන්නට ගත්තේ ය.

"ඔයා කියන්නේ පරිණාමීය ක්‍රියාවලිය යම් විදිහකින් මන්දගාමී වෙලා කියල ද? ඒත් එහෙම වෙන්නේ කොහොම ද...?"

ආගන්තුකයා හිස සැලුවේ ය.

"ඔයා දන්නව නේ වයිරස්‌ ගැන. ඒවා ක්‍රියාත්මක වෙන්නේ වෙනස්‌ ම ජීව තලයක. වයිරස්‌වලට අපි වගේ හිතන්න බැරි වුණාට තමන් ගේ පැවැත්ම පිළිබඳව යම් කිසි මට්‌ටමක විඥනික හැගීමක්‌ ඔවුන්ටත් තියෙනවා. වයිරස වර්ධනය වෙන්නේත්, පාරිසරික වෙනස්‌වීම්වලට අනුරූපව වෙනස්‌ වී හැඩ ගැහෙන්නේත් මේ තුළින්."

අකලංක දෙබැම ඔසවා හිස ඇල කර තමාට කල්පනා වූ දෙය ආගන්තුකයා සිතන දේ නො වේ වා යෑයි ප්‍රාර්ථනාමූර්ත බැල්මක්‌ ඔහු දෙසට හෙළුවේ ය.

"ඔයා කියන්නේ....?"

"මං කියන්නේ ඒක තමයි. භාෂාව මොනයම් විදිහයකින් හෝ තමා ගේ පරිණාමීය ඉරණම තේරුම් අරන් තියෙනවා. තමන් ගේ පැවැත්ම ආරක්‌ෂා කරගන්න ඔවුන් තමන්a ගේ පරිණාමීය උච්ඡස්‌ථානයට පත් වීම, ඒ කියන්නේ තනි භාෂාවක්‌ බවට පත් වීම හිතමතා ම ප්‍රතික්‌ෂේප කරනවා"

අකලංක කලබලයෙන් එහා මෙහා බැලුවේ ය.

"ඒත් කොහොම ද එහෙම වෙන්නේ? භාෂාව කියන්නේ අපි භාවිත කරන මෙවලමක්‌ විතරයි. ඒක කොහොම ද තමන් ගේ පරිණාම ක්‍රියාවලිය නතර කරගන්නේ...?"

"ඔවුන් ඒක කරන්නේ අපේ පරිණාම ක්‍රියාවලිය නතර කිරීම තුළින්..."

අකලංක ගේ විස්‌මය පිරුණු මුහුණින් ඉවත හැරුණ ආගන්තුකයා යළිත් වතාවත් ඈත ක්‍ෂිතිජයේ තම බැල්ම අලවාගත්තේ ය. ඉන් පසු නැවත තම කථාව ආරම්භ කළේ ය.

"පසුගිය අවුරුදු තුන් දාහ අරන් බලන්න. යුද්ධ, හොරකම්, මැරකම්, දූෂණවලින් ඒක පිරිලා ඉතිරිලා ගිහින්. මිනිස්‌සු එකිනෙකාව මරා ගනිමින්, එකිනෙකාට වෛර කරමින් එකිනෙකා ගේ කකුලෙන් අදිමින් තුච්ඡ තුප්පහි තත්ත්වයකට තමන්ව ඇද දාගෙන. පුංචි තාක්‌ෂණික දියුණුවක්‌ පෙන්නලා මෙන්න අපි දියුණුයි කිව්වට මිනිස්‌ වර්ගයා කියන්නේ කුණු ගඳ ගහන පල් වෙච්ච ජරා කාණුවක්‌. මානසිකව වත්, ආධ්‍යාත්මිකව වත් තවදුරටත් අපි පරිණාමය වෙන්නේ නෑ. එකිනෙකාත් එක්‌ක කුළල් කාගනිමින් අපි එක ම තැන පල් වෙමින් ඉන්නවා."

"ඒත් කොහොම ද වචන ඔය හැම දේකට ම හේතුවක්‌ වෙන්නේ?"

එම පැනයෙන් ආගන්තුකයා නැවත අකලංක දෙස හැරී බැලී ය.

"ඉතිහාසයේ වෙච්ච හැම යුද්ධයකට ම, හැම ආරවුලකට ම, හැම විනාශයකට ම හේතුව හොයන්න... ඒ හැම අර්බුදයක්‌ ම ක්‍රමානුකූලව විච්ඡේදනය කරගෙන යන්න. බොහොමයක්‌ සිදුවීම්, පුද්ගලයන් පහු කරගෙන යද්දී මේ හැම වේදනාකාරී ඔඩුදුවපු තුවාලයකට ම ආරම්භක හේතුව පුංචි සීරිමක්‌ බව ඔයා තේරුම් ගනී වි... ඒ තමයි වචන."

අකලංක විරෝධය පෑවේ ය.

"ඒaත් වචන කියන්නේ අපි ම තමයි. අපි තමයි අපට ඕන දේ වචනවලට හරවලා කියන්නේ."

ආගන්තුකයා උපහාසාත්මක සිනාවක්‌ පෑවේ ය.

"එහෙම යුගයක්‌ තිබ්බා පුතා. බොහොම කාලයකට කලින්. නමුත් තවදුරටත් ඒක එහෙම නෑ. තවදුරටත් අපි කියන්නේ, අපට ඇත්තට ම කියන්න උවමනා කරන දේ ම නෙවෙයි. කෝපයක්‌, බියක්‌, කලබලයක්‌, ආතතියක්‌, දුකක්‌ වගේ ප්‍රබල හැගීමක්‌ ඔබව වෙළාගත්තා ම වචන ඔබේ පාලනයෙන් මිදෙනවා. එතකොට ඒවා ඉතා ම විනාශකාරී ප්‍රතිඵල ඇති කරනවා. ක්‍ෂණිකව හෝ මන්දගාමී ව පිට වුණු වචනයක්‌ ආපහු ගන්න බෑ. ඉතින් මිනිස්‌සු නො දැනුවත්ව ම එකිනෙකා අතරේ වෛරය, අවිශ්වාසය වපුර ගන්නවා. අවෛරය, අෙන්‍යාන්‍ය විශ්වාසය කියන්නේ මිනිස්‌ පරිණාම ක්‍රියාවලියේ අතිශය වැදගත් සාධක දෙකක්‌. ඒ දෙක අත්පත් කර නො ගෙන මිනිසා තනි භාෂාවකට යන්නේ වත්, කවදා වත් මානසික සන්නිවේදනයකට යන්නේ වත්, සැබෑ දියුqණුවක්‌ ළගා කර ගන්නේ වත් නෑ."

අකලංක පියවි ලෝකයෙන් කල්පනා ලෝකයට මාරු වූයේ ය. තමාව ම ප්‍රස්‌තූත කරගනිමින් ඔහු කාරණය පර්යාවලෝකනය කරන්නට පටන් ගෙන තිබිණි. සැබැවින් ම තම ජීවිත කාලය පුරා තමා කී දැ අත්‍යවශ්‍යයෙන් ම තමා අදහස්‌ කළ දැ ම නො වේ ද? පාසලේ මිතුරන් සමග ඇති වූ ගැටුම්, පෙම්වතිය සමග ඇති වූ ආරවුල්.. මේ සියල්ල ම දුරදිග යැමට හේතුව පාලනයෙන් මිදුණු වචන ද? ඒ පිළිබඳව වැඩිදුර සිතන්නට සිතන්නට එය සත්‍යයක්‌ යෑයි ඔහුට වඩවඩාත් තහවුරු වන්නට විය.

කල්පනා ලෝකයේ ගිලී සිටි අකලංක ගේ දැස්‌ නිරායාසයෙන් ම යොමු වී තිබුණේ ඉදිරියෙන් වූ කුඩා තේ කඩය දෙසට ය. එහි සිදු වෙමින් තිබූ අසාමාන්‍ය යමක්‌ නැවත ඔහුව පියවි ලෝකයට ගෙන ඒමට සමත් විය. කඩයෙහි මුදලාලි විය යුතු, බැනියමකින් හා සරමකින් සැරසුණු පුද්ගලයෙක්‌ බුලත් විටක්‌ හපමින් ඉන් එළියට ආවේ ය. ඔහු ගේ අතේ වූයේ තේ ගොට්‌ටකි. තේ මණ්‌ඩි කාණුවට හළන අතරතුර ඔහු ගේ බැල්ම පාර පුරා අලස ව සැරිසැරුවේ ය. අකලංක ගේ දෙනෙත් හමුවේ හදිසියේ එය නතර වූයේ ඔහු කරමින් සිටි වැඩය ද නතර කරමිනි. ගල්ගැසී මෙන් මඳ වේලාවක්‌ ඔවුන් දෙස බලා සිටි හේ, කඩය ඇතුළට ආපසු ගියේ සෑහෙන හදිස්‌සියකිනි. එහෙත් ඒ මන්දැයි කල්පනා කිරීමට අකලංකට අවස්‌ථාවක්‌ නො ලැබුණේ මේ කිසිවක්‌ නො දුටු ආගන්තුකයා නැවත කථාව ආරම්භ කර තිබූ හෙයිනි.

"මම ඊයේ වෙනකන් හිතාගෙන හිටියේ වචන මේ පරිණාමීය ප්‍රතිරෝධය ළගා කරගත්තේ මොකක්‌ හරි ස්‌වාභාවික හේතුවකින් කියලා"

ඔහු තමා ගේ උඩු සාක්‌කුවේ වූ හතරට පහට නැමූ කුඩා කොළ කැබැල්ලක්‌ ගෙන අකලංක අතේ තැබී ය.

"ඒත් සමහර විට ඒක එහෙම නො වෙන්නත් පුළුවන්."

අකලංක කුතුහලයෙන් යුතු ව එය දිග හැරියේ ය. ඔහු ගේ පුදුමයට හේතු වන පරිදි එය බයිබලයකින් ඉරාගත් පිටුවක්‌ විය. එහි එක්‌ කොටසක්‌ පෑනකින් ඉරි ඇඳ කොටු කර තිsබිණි.

"බයිබලය කියවන එක මෙච්චර කල්, කල් දාපු එක තරම් මෝඩකමක්‌ මම කවදා වත් කරල නෑ."

අකලංක විවර කරගත් දැසින් යුතු ව ආගන්තුකයා දෙස බලා කොළ කැබැල්ල කියවීම ආරම්භ කළේ බයිබලය කියවන්නට සිතා වත් නැති වීම කොයි ආකාරයේ මෝඩකමක්‌ දැයි කල්පනා කරමිනි.

උත්පත්ති II

බාබෙල් කොත

තව ද, ඒ කාලයේ සකල ලෝවැසි මිනිසුන් කථා කළේ එක ම භාෂාවකි. භාවිත කළේ එක ම වචන මාලාවකි. නැෙගනහිර දිශාවට යන අතර ෂිනාර් නම් ප්‍රදේශයේ තැනිතලාවක්‌ සම්බ වී ඔවුහු එහි පදිංචි වූ හ. ඔවුහු එකිනෙකාට කතා කරමින් "එන්න, අපි ගඩොල් සාදා, ඒවා හොඳට පුළුස්‌සමු."යි කී හ. මෙසේ ඔවුහු ගල් වෙනුවට ගඩොල් ද හුණු බදාම වෙනුවට කීල ද පාවිච්චි කළ හ. එවිට ඔවුහු කථා කොට "එන්න අපි අහස උසට නගින කොතක්‌ ඇති නගරයක්‌ අපට ම ගොඩ නගා කීර්තිමත් වෙමු, නැත්නම් මිහිපිට අපට සීසීකඩ විසිර යන්නට සිදු වනු ඇත"යි කී හ.

ඒ මිනිසුන් ගොඩනැගූ නගරය සහ කොත බැලීම සඳහා සමිඳාණන් වහන්සේ බැස වැඩිය සේක. උන්වහන්සේ "බලන්න, මේ සියල්ලෝ ම එක ම ජනතාවකි. ඔවුහු සියල්ලෝ ම එක ම භාෂාවක්‌ කතා කරති. මේ ඔවුන් කරන්නට යන දේවල මුල් පියවර ය. වැඩි කල් යන්නට පෙර ඔවුනට කළ නො හැකි කිසියම් දෙයක්‌ නො වනු ඇත. එබැවින් අප බැස ගොස්‌ ඔවුන් එකිනෙකාට නො වැටහෙන පරිදි, ඔවුන් ගේ භාෂාව අවුල් වියවුල් කරමු."යි වදාළ සේක. මෙසේ උන්වහන්සේ පොළෝ තලය මත ඔවුන් විසුරුවා හැරිය සේක. ඔවුහු ද නගරය ගොඩනැගීම නැවැත්වූ හ. සමිඳාණන් වහන්සේ ඒ නගරයෙහි දී මුළු ජනතාව ගේ භාෂාව අවුල් වියවුල් කළ බැවින් ඊට බාබෙල් යෑයි නම යෙදිණි. එතැනින් සමිඳාණන් වහන්සේ ඔවුන් මහ පොළොව පුරා විසිරවූ සේක.

අකලංක කොළය පහත් කර ආගන්තුකයා ගේ මුහුණ දෙස බැලූයේ අලුත් විස්‌මයකිනි.

"ඒ කියන්නේ ඒක කවුරු හරි හිතාමතා කරපු දෙයක්‌...?"

ආගන්තුකයා හිස වැනුවේ ය.

"මොකක්‌ හරි බාහිර බලපෑමක්‌."

"ඒත් කවුද...?" අකලංක තම පරිකල්පනීය සිතුවිල්ලට දිග හැරෙන්නට ඉඩ දුන්නේ ය.

"පිටසක්‌වළ ජීවීන්...?

කොළ කැබැල්ල නැවත ගෙන නවා සාක්‌කුවට දමාගන්නා අතර ආගන්තුකයා ඊට ප්‍රතිචාර වශයෙන් නිහඩ ව හිස වැනුවේ ය.

ඒ, ඒ පිළිතුර දැනටමත් ඔහු ගේ විසඳුම් ලේඛනයේ එක්‌ විසඳුමක්‌ ලෙස ඇති බව හගවමිනි.

"ඒ ගැන තවදුරටත් හොයන්න ඕනේ. ඒකයි මම මේ කරන්න හදන්නේ. ඒත් බරපතළ ම ප්‍රශ්නය කවුරු හරි ඒක කළා නම් ඒ කරපු අරමුණ මොකක්‌ ද කියන එකයි. මුළු ග්‍රහලෝකයක ම දියුණුව පස්‌සට ඇදලා දැමීමේ අරමුණ මොකක්‌ ද?"

ආගන්තුකයා තම කථා බහ අවසන් බව හගවමින් යන්නට නැගිට්‌ටේ ය. අකලංකට පාලුවක්‌ දැනෙන්නට විය. බංකුව මත ඉතුරු වූයේ අකලංක හා ෂොපන්හෙවර් සහ නීට්‌ෂේ පොත පමණි. ඔහු එය අතට ගත්තේ ය. මේ කථා සියල්ල ම ඇරඹුණේ මේ පොතෙන් නො වේ දැයි ඔහුට කල්පනා විය.

"නීට්‌ෂේ ද ඔය ගැන හොයාගත්තේ, මේ පොතේ ඕක ගැන තියෙනව ද?"

නැගී සිට තම කලිසම හරි බරි ගස්‌සාගත් ආගන්තුකයා අකලංක වෙත අනුකම්පා සහගත මඳ සිනහවක්‌ පෑවේ ය.

"නීට්‌ෂේ භාෂාව පිළිබඳ විශේෂඥයෙක්‌, ඔහු ඒ පිළිබඳ පර්යේෂණ ගොඩක්‌ කළා. නමුත් ඔය පොතේ වත් වෙන පොතක වත් මේ අපි දැන් කථා කරපු මුකුත් ගැන නෑ. ඒත් ඔහු ගිය මාර්ගය දිහා බැලුව ම මම අතිශය තරයේ විශ්වාස තරනවා ඔහු මේ සියල්ල තේරුම්ගත්තා කියලා. නමුත් ඔහු ඒවා තේරුම්ගත්තා කියලා තේරුම් ගත්ත වචන, නීට්‌ෂේ ඒ සත්‍ය හෙළිදරව් කරන්න කලිsන් ඔහුව සම්පූර්ණයෙන් ම ආක්‍රමණය කරලා මරා දැම්මා"

අකලංක තිගැස්‌සී ගියේ ය. එය එතරම් බරපතළ විය හැකි යෑයි ඔහු කල්පනා කර නො තිබිණි.

"වචනවලට මිනී මරන්නත් පුළුවන් ද?"

ආගන්තුකයා ගේ සිනාව තවදුරටත් පුළුල් විය. බංකුව මත සිය වම් කකුල තැබූ හේ අකලංක ගේ මුහුණ දෙසට නැඹුරු විය.

"වචන සම්පූර්ණයෙන් ම මනුස්‌සයෙක්‌ ව ආක්‍රමණය කළා ම හැම තිස්‌සේ ම නො වුණත් බොහෝ වෙලාවට ඔහු ගේ පාලනය සම්පූර්ණයෙන් ම ගිලිහිලා යනවා."

හේ නැවත කෙළිsන් වී තම වාක්‍යය සම්පූර්ණ කළේ ය.

"ඉතින් භෞතිකව නො වුණත් සමාජයීයව ඔහු මිය යනවා ස්‌ථීරයි."

එසේ පැවසූ ආගන්තුකයා එතැනින් ඉවත් ව යන්නට ආරම්භ කළ අතර අකලංක අවසානයට ඔහු කී දේ තේරුම්ගන්නට උත්සාහ කළේ ය. එහෙත් එයට කිසිදු අවකාශයක්‌ නො දී භීෂණය ඔවුන් දෙසට හමා ආවේ ය.

පළාත ම දෙවනත් කෙරුණු බ්‍රේක්‌ පහරක්‌ සමග ඔවුහු ඉදිරියේ ප්‍රාදූර්භූර්ත වූයේ අකලංක කලින් දුටු සුදු පැහැ වෑන් රථයයි. භීතිය හා කලබලය නිසා අකලංක උන් තැනින් නැගිට්‌ටවිණි. ක්‍ෂණිකව විවර වූ දොරවලින් හැඩි දැඩි පුද්ගලයෝ හතර දෙනෙක්‌ බිමට පැන්නෝ ය. තිදෙනකු ආගන්තුකයා දෙසට දිව ගිය අතර එක්‌ අයෙක්‌ අකලංක දෙසට පැමිණියේ ය. ඔහු ගේ අත අකලංක දෙසට දික්‌ වුවත් ඒවා ඔහු බලාපොරොත්තු වූ පරිදි කොලරයේ නො දැවටී ඔහු ගේ උරහිස මත පතිත විය.

"පුතා ඔයාට කරදරයක්‌ නෑ නේ ද...?"

බලාපොරොත්තු නො වූ මිත්‍රශීලී කටහඩකින් තුෂ්නිම්භූත වූ අකලංකට තම හිස දෙපසට වැනෙනවා දැනිණි.

එයින් සෑහීමකට පත් වූ බවක්‌ පෙනෙන්නට තිබූ ඒ පුද්ගලයා නැවත වෑන් රථයේ ඉදිරි අසුනට නැග්ගේ ය. ඒ වන විට අත් සයක ග්‍රහණයට නතු වූ ආගන්තුකයා සිටියේ වෑන් රථය තුළ ය. ආගන්තුකයා උමතුවෙන් මෙන් කෑගසනවාත් දෙස්‌ දෙවොල් තියමින් බැණ වදිනවාත් ඔහුට ඇසිණි. ක්‍ෂණිකව දොරවල් සියල්ල වැසී ගිය අතර වෑන් රථය නැවත මහා මාර්ගයට පිළිපන්නේ ය. ආ දෙසට ම මහ පාර දිගේ මඳ දුරක්‌ ඇදුණු වෑන් රථය අතුරු පාරකට හරවා වේගයෙන් ධාවනය වන්නට විය.

අකලංක ඇසිපිය ගසමින් වටපිට බැලූයේ තමා දකිමින් සිටින්නේ සිහිනයක්‌ නො වේ දැයි තහවුරු කරගන්නට ය. චිත්‍රපටයක ජවනිකා පෙළක්‌ මෙන් තත්පර කිහිපයක්‌ තුළ සියල්ලක්‌ ම සිදු ව අවසන් වී තිබිණි. පාරේ අවට සිටි කිහිප දෙනකු ඔහු දෙස පුදුමයෙන් බලා සිටි අතර තේ කඩයේ මුදලාලි ජංගම දුරකථනයක්‌ අතැති ව අසල සිටි පුද්ගලයකුට යමක්‌ විස්‌තර කරමින් සිටියේ ය.

පුදුමය හා ලැඡ්ජාව නිසා එතැනින් ඉක්‌මනින් ඉවත් විය යුතු යෑයි අකලංක කල්පනා කළේ ය. ඔහු අත තිබූ පොත කොළ දිගහැරී බිම වැටී තිබිණි. එය අතට ගෙන එහි ගෑවි තිබූ මඩ පැල්ලමක්‌ පිසදාන්නට උත්සාහ කළ අකලංක ගේ දෙනෙත නිරායාසයෙන් ම මඩ පැල්ලම අසල තිබූ පේළි කිහිපයක ගැටිණි.

..සමහරු නීට්‌ෂේ ගේ දර්ශනය පිස්‌සකු ගේ දර්ශනයක්‌ ලෙසින් ද සලකති. මීට හේතුව වූයේ ඔහු ගේ ජීවිතයේ අවසාන භාගයේ දී නීට්‌ෂේට උන්මන්තක රෝගය වැළඳීමයි...

අකලංක අලුත් විස්‌මයකින් යුතු ව හිස ඔසවා වෑන් රථය ගිය දිශාව දෙස බැලුවේ ය. වෑන් රථය හැරවූ අතුරු මාවතේ ඇවිස්‌සුණු දුහුවිල්ල තවමත් මැකී ගොස්‌ නො තිබිණි. ඒ මොහොතේ එම මාර්ගය කුමක්‌ දැයි අකලංකට මතක්‌ වූයේ ය.

ඒ එතැන සිට අංගොඩට යන රියෑදුරකු තෝරාගන්නා කෙටි ම මාර්ගය විය.

දමිත නිපුණජිත්