logo3.gif (702 bytes)

HOME


වචනාක්‍රමණය පළමු කොටස

අකලංක ගේ දෙනෙත් යළිත් වතාවක්‌ පොතේ පිටු අතරින් රිංගා ගොස්‌ මහ පාරට වැටිණි. මේ පසුගිය පැය තුළ ඔහු එය දකින තුන්වැනි වතාව විය. මේ වන විට මැළවීගෙන යමින් තිබූ මධ්‍යහ්න දාහයෙන් තවන ලද තාර පාරේ මිනිස්‌ ඝනත්වය හා වාහන ඝනත්වය අඩු වූ හෙයින් කිසි ම රියෑදුරකුට තම වේගය අඩු කිරීමට වුවමනාවක්‌ තිබුණේ නැත. එබඳු රියදුරන්, මහපාරටත්, පදික වේදිකාවටත් ඔබ්බෙන් වූ බංකුවක හිඳගෙන පොතක්‌ කියවන්නට උත්සාහ කරමින් සිටින අකලංක ගේ අවධානයට බාධා කළේ ද නැත. එහෙත් ඔහු ගේ අවිඥනික දර්ශන පථයට සෙමෙන් ඇතුළු වන එම ආක්‍රමණික වෑන් රථය සැම වතාවක ම ඔහු ගේ අවධානය බින්දේ ය.

මුල්වර එය ඔහුව භීතියට පත් කළේ ය. මක්‌ නිසා ද යත් එය නූතන අතුරුදන් වීමේ සංස්‌කෘතියේ අවියෝජනීය සංකේතය වූ වීදුරු කළු කළ සුදු පැහැ වෑන් රථයක්‌ වූ බැවිනි. හැරත් එය ගමන් කළේ මග දෙපස සිටින කිsසිවකු ඇතුළත සිටින්නකු ගේ බැල්මක නො දැවටී නො යන තරමේ මඳ වේගයකිනි. ඔහු ගේ අනියත බිය තුරන් වූයේ තමා කවුදැයි සිහිපත් කරගැනීමෙන් අනතුරු ව ය. උසස්‌ පෙළ අවසන් කර ගෙදරට වී සිටින කජු කිරි කොල්ලකු පැහැරගැනීමට කිසිවකු ඩීසල් පුච්චාගන්නේ නැති බව ඔහුට සහතික ය.

හංවැල්ල නගරය දෙසට ඇදෙන බස්‌ රථයකට ඉතා කැමැත්තෙන් පාරේ ඉඩ දුන් වෑන් රථය අකලංක වාඩි වී සිටි බංකුවට ඉදිරියෙන් පාරෙන් එහා පැත්තේ වූ තේ කඩය ඉදිරිපිට නතර කළේ ය. මහ පාරේ ඒ හරියේ යාන්තමින් වත් මිනිස්‌සු ගැවසෙන තැනකට වූයේ එතැන ය. සපත්තු දැමූ පා යුවල් කිහිපයක්‌ කඩය දෙසට ඇදෙනු ඔහු වෑන් රථයේ රෝද අතරින් නිරීක්‌ෂණය කළේ ය. එහෙත් ඔහු ගේ උපකල්පනීය සිතිවිල්ල බොරු කරමින් ඒවා යළිත් කඩයෙන් පිට වූයේ තේ එකක්‌ බීමට වැය වන කාලයට වඩා අඩු කාලයකිනි.

සුපුරුදු ලැසි ගමනින් තම ගමන් ආරම්භ කළ වෑන් රථය තම දර්ශන පථය ඉක්‌මවා යන තුරු ම ඒ දෙස බලා සිටි අකලංක ඒ පිළිබඳව අමතක කර දමා නැවතත් පොතේ පිටු අතරෙහි තමා අවසානයට කිය වූ වාක්‍යය සොයන්නට විය.

මහ පාරක්‌ අසලට වී දර්ශනය පිළිබඳ පොතක්‌ කියෑවීමට උත්සාහ කිරීම මහා ෙදවාචකයක්‌ බව ඒ වන විට අකලංක තේරුම්ගනිමින් සිටියේ ය. දැන් සෑහෙන වේලාවක්‌ ගත වුව ද ඔහු කියවා තිබුණේ පොතේ මුල් පිටු කිහිපය පමණි. ඒවාය් තිබූ කරුණු හුදෙක්‌ ඇස පසු කර ගියා මිස ඔහු ගේ මොළය ස්‌පර්ශ නො කළ බව ඔහුට සෑහෙන්න විශ්වාස ය. තම මව ගේ, "ටවුමට යන එකේ එන ගමන් පොඩි නංගි වත් එක්‌ක ගෙන එන්න" අණ මේ ඉරණමට ඔහුව ඇද දමා තිබිණි. තමා ගේ ටවුමේ වැඩේ හිතුවාට වඩා කලින් අවසන් වීම, නංගී ගේ පංතිය අවසන් වී නො තිබීම හා අතේ තිබෙන එක ම පොත දර්ශනය පිළිබඳ පොතක්‌ වීම ඔහුට වෙනත් විකල්පයක්‌ ඉතිරි නො කළේ ය. ඔහු යළිත් වතාවක්‌ නංගි ගේ ගෲප් ක්‌ලාස්‌ එක පැවැත්වෙන නිවස පිහිටි අතුරු පාර දෙස බැලුවත් තවමත් එහි ගැහැනු ළමයින් ගේ කච බචයක්‌ නො වී ය.

සුදු වෑන් රථය බොහෝ විට යළි නො එනු ඇති වුවත් ඔහු ඉදිරියෙන් පදික වේදිකාවේ ඉඳහිට ගමන් කරන මිනිස්‌ සෙවණැලිවලට වත් ඔහු ගේa අවධානය යොමු නො වනු පිණිස අකලංක බංකුවේ ඇන්දට හේත්තු වී පොත දැස මට්‌ටමටම ඔසවා මූණට ම ළං කර ගත්තේ ය. අපහසු ඉරියව්වක්‌ වුව ද දැන් ඔහු ගේ දර්ශන පථය පුරා පොතේ අකුරු විසිරී තිබිණි. සාර්ථක ක්‍රමයක්‌ වූ නමුත් වාසනාව තවදුරටත් ඔහු සමග හිඳීම ප්‍රතික්‌ෂේප කර පිට ව ගිය බැවින් ඔහුට අලුතෙන් කියවාගත හැකි වූයේ යාන්තමින් ඡේද දෙක හමාරක්‌ පමණි. එහා මෙහා යමින් තිබූ මිනිස්‌ සෙවණැලිවලින් එක්‌ සෙවණැල්ලක්‌ අකලංක ඉදිරියේ නැවතී ඔහු ගේ ශ්‍රව්‍ය පරාසය අතික්‍රමණය කළේ ය.

"එයා ශ්‍රේෂ්ඨ මනුස්‌සයෙක්‌..."

අකලංක පහළ මාත්‍රයේ විස්‌මයක්‌ මුසු වූ කරදරකාරී හැගීමකින් යුතු ව පොත දැසින් පහත් කළේ ය. ලෝකයේ එහා පැත්තේ සිටිනා උදවිය අවදි කරන්නට හදිසියේ පහළ බහින ඉරත්, අකලංකත් අතර අඩ අඳුරු, වැඩුණු නාඳුනන පිරිමි රූපයක්‌ ප්‍රාදුර්භූත වී තිබිණි. කෙසේ වෙතත් ආගන්තුකයා ගේ හිස පමණක්‌ තමා දෙසට හැරී සාක්‌කුවෙහි අත් දෙක ලූ කය පදික වේදිකාවෙහි ගමන් රේඛාව දෙසට ම වූ බැවින් ඔහු ගේ ගමන තමා ඉදිරියේ නවතා තිබුණේ මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා විසින් බව අකලංකට තේරුම් ගියේ ය.

"මොන කරදරයක්‌ ද?" සංඛ්‍යාතානුරූප සුසුමක්‌ හෙළු අකලංක පොත උකුල මත හෙළා ආපසු හැරී බැලූයේ පිටුපස වූ තාප්පය මත දත් විලිස්‌සාගෙන, වැඳගෙන ඇල වී සිටින මේ ශ්‍රේෂ්ඨ මනුස්‌සයා කවුදැයි බැලීමේ අදහසිනි. එවිට ආචාරශීලී හූමිටියක්‌ තබා ඔහුට නැවත තම කාර්යයෙහි නිරත විය හැකි ය. එහෙත් ඔහු ගේ කල්පනාව සාවද්‍ය එකක්‌ බව අගවමින් තාප්පය ප්‍රජාතන්ත්‍රවාදයෙන් නො කිළිටි ව බැබළෙමින් තිබිණි.

කුතුහලයෙන් යුතු ව ආපසු හැරුණු අකලංකට ඔහු බලාපොරොත්තු වුණු උපහාසය නො තැවරුණු මිත්‍රශීලී මඳහසකට මුහුණ දීමට සිදු විය.

"මං කිව්වේ නිට්‌ෂේ ගැන"

ආගන්තුකයා අකලංක ගේ ඔඩොක්‌කුව මත වූ පොත දෙසට ඇගිල්ලක්‌ දික්‌ කරමින් පැවසී ය.

ඔහු ඉන් අදහස්‌ කළේ කුමක්‌ දැයි අකලංක තේරුම්ගත් නමුත් ඔහු ගේ බැල්ම නිරායාසයෙන් ම තමා අත තිබූ පොත දෙසට යොමු විය. තැඹිලි පාටින් වර්ණ ගන්වා තිබූ එම දර්ශනය පිළිබඳ වූ කුඩා පොතෙහි පිටත කවරයේ "ෂොපන්හවර් සහ නිට්‌ෂේ" ලෙසින් නම සඳහන් කර තිබිණි.

අකලංක නැවත හිස ඔසවන විට ආගන්තුකයා හුන් තැනින් ඉවත් වී අනාරාධිතව ම බංකුවේ අනෙක්‌ කෙළවරේ වාඩි වී හුන්නේ ය. අකලංක උනන්දුව නො පිළිබිඹු වන ලෙස ඉක්‌මන් විමර්ශනශීලී බැල්මක්‌ තම හදිසි ආගන්තුක මිත්‍රයා දෙසට පා කර යෑව්වේ ය.

කලක්‌ පාවිච්චි කළ හම් සෙරෙප්පු යුවලක්‌, තද දුඹුරු පැහැති දිග කලිසමක්‌ හා අත් නැවූ සුදු කමිසයකට මැදි ව තිබූ පැහැපත් හීන්දැරි උස්‌ සිරුර උපන් දින හතළිහකට වඩා සමරා තිබූ බව පෙනෙන්නට තිබිණි. අවුල් වුණු, කැරලි ගැසුණු කොණ්‌ඩය හා මුහුණ පුරා වැවුණු සති දෙකක්‌ පමණ වයසැති රැවුල එකිනෙකාට නො ගැලපෙන වයසක යුවලක්‌ මෙන් විය. නහය මත රැඳුණු වෘත්තාකාර රාමු සහිත උපැස්‌ යුවල හැරී පොටර් පෙනුමක්‌ මෙන් ම බුද්ධිමත් බවක්‌ ද ආගන්තුකයා ගේ මුහුණුට ආරෝපණය කර තිබිණි.

"ඔයා දර්ශනය හදාරනව ද?"

අකලංක එම පැනයට ඉක්‌මනින් පිළිතුරු දීමට කලබල වූයේ ඒ පැනයට පිටුපසින් පැමිණිය හැකි දර්ශනය පිළිබඳ වෙනත් පැනයකින් අමාරුවේ නො වැටී සිටීමට ය.

"අපොයි නෑ. මම මැත්ස්‌ කළේ. මේ ආසාවට ආර්ට්‌ කරපු අයියා කෙනෙක්‌ ගෙන් කියවන්න කියලා ඉල්ලගෙන ආවා"

"ඒක හොඳයි"

අමුත්තා ඉක්‌මනින් යන්නට අදහසක්‌ නොමැත්තාක්‌ මේ බංකු ඇන්දෙහි දකුණු අත රඳවා හේත්තු වී කකුලක්‌ පිටට කකුලක්‌ ගෙන හරි බරි ගැසී වාඩි විය.

"සයන්ස්‌ කරන අය දර්ශනය ඉගෙනගන්න එක හුගක්‌ වැදගත්"

මේ සංවාදයට දිගට ඇදිය හැක්‌කක්‌ මෙන් පෙනෙන නිසා තමා ද පැනයක්‌ ඇසීම අත්‍යවශ්‍ය බව අකලංකට තේරුම් ගියේ ය.

"ඔයා කවුද?"

"මම...? මම ඉමේෂ් සූරියබණ්‌ඩාර, කථිකාචාර්ය කෙනෙක්‌."

එතැන දී ආගන්තුකයා ගේ උද්යෝගිමත් ස්‌වරය, ක්‍ෂණිකව වේදනාවක්‌ තැවරුණු මන්ද ස්‌වරයක්‌ බවට පත් විය.

"ඇත්තට ම.... හිටපු කථිකාචාර්ය කෙනෙක්‌."

එවර නම් අකලංක ගේ උපකල්පනීය සිතිවිල්ල නිරවද්‍ය එකක්‌ විය. එනම් මොහු දර්ශනය ගැන හොඳින් දන්නා බුද්ධිමත් පුද්ගලයෙකි. ඔහු කැමැත්තෙන් ම තමාට බුද්ධිමය සංවාදයක්‌ ප්‍රදානය කිරීමට උත්සාහ කරන ආකාරයක්‌ පෙනෙන්නට තිබිණි. ඔහු කීයට වත් එබන්දක්‌ ප්‍රතික්‍ෂේප කරනු ඇත්තේ නම් නැත.

එහෙත් අමුත්තා ගේ ක්‍ෂණික ස්‌වර බිඳීම නැවත කථා කිරීම ආරම්භ කිරීමෙන් අකලංකව වැළැක්‌වූයේ ය. කෙසේ වෙතත් පාරේ රථ වාහන දෙස කෙරුණු අනිමිසලෝචනයකට වැය වුණ නිහඩ තත්පර කිහිපයකට පසු ඔහු නැවතත් යථා තත්ත්වයට පත් වී සිටියේ ය.

"ඔයා දන්නව ද භාෂා විශ්ලේෂණවාදය ගැන?"

අකලංක මුවින් නො බැන ම හිස දෙපසට වැනුවේ ය. එබඳු වචනයක්‌ කියවා තිබූ බවක්‌ ඔහුට මතක්‌ වූ නමුදු ඒ පිළිබඳ අදහසක්‌ ඔහුට නො වී ය. ආගන්තුකයා පොත ඔහු ගේ අතට දෙන මෙන් අතින් සංඥ කරමින් කථා කළේ ය.

"භාෂා විශ්ලේෂණවාදය කියන්නේ දර්ශනයේ එන බොහෝ ම වැදගත් කොටසක්‌. අපි එකිනෙකා සමග සන්නිවේදනයට, අදහස්‌ ප්‍රකාශ කිරීමට භාවිත කරන්නේ භාෂාව. භාෂා විශ්ලේෂණ වාදයෙන් කෙරෙන්නේ ලෝකයේ යථා ස්‌වරූපය අවබෝධ කරගැනීමේ වෑයමට භාෂාව කොයි විදිහෙ බාධාවක්‌, තීරණාත්මක සාධකයක්‌ වෙනවා ද කියන එක ගැන විශ්ලේෂණය කිරීම. විට්‌ගන්ස්‌ටයින්, නිට්‌ෂේ, බර්ට්‍රන්ඩ් රසල් කියන්නේ මේ වාදයට අතිශය බලපෑම් කරපු උදවිය. ඒත් මගේ නම් ප්‍රියතමයා නිට්‌ෂේ."

ආගන්තුකයා අකලංක ගේ පොතේ පිටු එහාට මෙහෙට පෙරළමින් යමක්‌ සොයන්නට විය. එම පොත ඔහුට බෙහෙවින් හුරු පුරුදු එකක්‌ බැව් පෙනෙන්නට තිබිණි.

"ආ මේ තියෙන්නේ... මේ කෑල්ලෙන් ඔයාට භාෂාව ගැන හොඳ අදහසක්‌ ගන්න පුළුවන්."

ඔහු පොතෙහි වූ කොටසක්‌ අකලංකට ඇසෙන්නට කියවන්නට විය.

"භාෂාව හා ලෝකයේ සත්‍ය ස්‌වභාවය අතර පවතින සම්බන්ධය ගැන නිට්‌ෂේ වැදගත් කරුණු රාශියක්‌ හෙළි කළේ ය. අප සිතන්නේ භාෂාව ඇසුරිනි. අප දැන් කථා කරන භාෂාව ඇති වුණේ මිනිසා චින්තනය අතින් ඉතා ප්‍රාථමික අවධියක සිටය දී ය. අද සිටින මිනිසා චින්තනය අතින් බොහෝ දියුණු යුගයක සිටියත් ඔහු මේ චින්තනය සඳහා තවම පාවිච්චි කරන්නේ අර පුරාතන යුගයේ සකස්‌ කළ භාෂාව නැමැති උපකරණයයි. ඒ වචනයයි. ඒ සංකල්පයි. සිතීම කළ යුත්තේ භාෂාව ඇසුරෙන් නිසා අපේ චින්තනය නිතර ම ක්‍රියාත්මක ව්නනේ භාෂාවේ ඇති වචන සහ සංකල්ප නැමැති රාමුවලට අනුරූප ව ය. භාෂාවෙන් ලෝකයේ සත්‍ය ස්‌වරූපය වසන බව නිට්‌ෂේ ගේ අදහස විය. එසේ නම් අපට භාෂාව ඇසුරෙන් ලෝකයේ සත්‍ය ස්‌වරූපය ගැන කථා කළ නො හැකි ය."

ආගන්තුකයා පොත වසා බංකුව මත තැබුවේ ය.

"ඔයාට තේරෙනව ද භාෂාව කියන්නේ මනුෂ්‍ය වර්ගයා කෙරෙහි බලපාන කොච්චර තීරණාත්මක සාධකයක්‌ ද කියලා. අනිත් සත්තුන්ට වැඩිය අපි දියුණු වෙන්නේ අපිට හිතන්නට පුළුවන් නිසා. ඒත් අපි හිතන්නේ වචනවලින්, වචනවලට අනරූප සංකල්පවලින්. භාෂාව අපේ චින්තනය අතිශය පටු රාමුවකට හිර කරලා දාලා තියෙනවා. ඇත්තට ම අපි ජීවත් වෙන ලෝකය නිශ්චිත සංකල්ප සමූහයක්‌ විසින් නිර්මාණය කරන ලද හිර ගෙයක්‌."

"තේරුණා ද?" ආකෘතියේ බැල්මකට භාජන වූ බැවින් අකලංක අවිනිශ්චිතව හිස ඉහළ පහළ සෙලෙව්වේ ය. යම් අදහසකට එළැඹිය හැකි වුව ද ඔහුට ඇසූ දේ පිළිබඳ සම්පූර්ණ අවබෝධයක්‌ නො වී ය.

"ඒක ගැන කරදර වෙන්න එපා. තව ටිකක්‌ කිsයෙව්වහම, නිදහසේ කල්පනා කළා ම තේරුම් යයි. මට ඇත්තට ම කියන්න ඕන වුණේ ඒක නෙමෙයි. ඒක පවත්නා දර්ශනයට අදාළ දෙයක්‌ නො වෙයි."

අකලංක ගේ කුතුහලය මැද ආගන්තුකයා මඳක්‌ තෙපරබෑවේ ය. සුළු නිහැඩියාව කම්පනයක්‌ දරාගැනීමට සුදුසු පරිසරයක්‌ ඇති කළේ ය.

"ඔයා මොකද හිතන්නේ මම කිව්වොත් එහෙම භාෂාව කියන්නේ වයිරසයක්‌ කියලා"

තම දෙබැම ඉස්‌සී මුව ද විවර වන්නට වෙර දරනු අකලංකට දැනිණි.

"භාෂාව කියන්නේ වයිරසයක්‌...?"

(අවසන් කොටස ලබන සතියේ)

දමිත නිපුණජිත්