logo3.gif (702 bytes)

HOME


දර්ශනය හා මතවාදය

ඩී එස්‌ සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා පඹගාලක පැටලී සිsටියි. එහෙත් ඒa මහතාට තමා එසේ පැටලී සිටින බවවත් අවබෝධ කරගැනීමේ හැකියාවක්‌ නැත. ගුණදාස අමරසේකර මහතා ගේ ඉතා ලිහිල් අදහසක්‌ වූ ජාතික චින්තනය යන්නෙන් ඔබ්බට ගොස්‌ නැති අමරතුංග මහතාට චින්තනය යන සංකල්පය ගැන තබා තෝමස්‌ කූන් ගේ සුසමාදර්ශය (paradigm) ගැනවත් කිසිදු අවබෝධයක්‌ නැත. එවැනි අවබෝධයක්‌ තිබිණි නම් ඒ මහතා විදුසර සංග්‍රහයෙහි පිටු නාස්‌ති නො කරනු ඇත.

අපි ඒ මහතා ගේ පසුගිය පෙබරවාරි 10 වැනි දා හා 17 වැනි දා ලිපිවලින් වාක්‍ය උපුටා දක්‌වා ඒ මහතා ගේ පඹගාල අනෙත් පාඨකයන්ට දැනගැනීමට සලස්‌වමු. කොතෙක්‌ කීවත් ඒ මහතා නම් තම පඹගාල නො දකිනු ඇත. පෙබරවාරි 10 වැනි දා ලිපියෙහි ඒ මහතා මෙසේ සඳහන් කර ඇත. "බටහිර මතවාද ඔවුන් ගේ දර්ශනය මත පදනම් වී ඇත. ඔවුන් ගේ දර්ශනය වන්නේ විශ්වය දෙවියන් විසින් මවනු ලැබ ඇත්තේ මිනිසා ගේ ප්‍රයෝජනය පිණිස ය යන්න ය. ලෝකය, ඉර, හඳ, සතා සිව්පාවා ගහ කොළ මවා ඇත්තේ මිනිසාට සේවය කිරීමට ය." ඉන් පසු පෙබරවාරි 17 වැනි දා මෙසේ කියා කියා ඇත. "බටහිර විද්‍යාව යනුවෙන් විද්‍යාවක්‌ තිබිය නොහැකි බව පෙන්වා දුන් අප තැත් කරන්නේ බටහිර මතවාදයක්‌ වන දෙවියන් විශ්වය මැව්වේ මිනිසා ගේ ප්‍රයෝජනය පිණිස යන්න බොරුවක්‌ බව පෙන්වා දීමට ය. ඊට විරුද්ධ මතය වන මිනිසා නිර්මාණය වී ඇත්තේ විශ්වයේ ප්‍රයෝජනයට බව අපගේ මතවාදයේ පදනම වන්නේ ය."

අප පසුගිය පෙබරවාරි 24 වැනි දා ලිපියෙන් ද කියා සිටියේ අමරතුංග මහතා බටහිර විද්‍යාව යනුවෙන් වෙන ම විද්‍යාවක්‌ තිබිය නොහැකි බව පෙන්වා දී ඇතැයි කීවත් ඔහු කෙදිනක වත් එසේ පෙන්වා දී නොමැති බව ය. අමරතුංග මහතා ගේ විධික්‍රමය වී ඇත්තේ තමා සිහිනෙන් වත් පෙන්වා නො දුන් කරුණු හැබැහින් පෙන්වා දී ඇති බව ප්‍රකාශ කිරීම ය. අමරතුංග මහතා කියා ඇත්තේ ලෝකයේ හැම තැන ම නිරීක්‌ෂණ තිබූ බව පමණ ය. එහෙත් නිරීක්‌ෂණ සෑම තැනක ම කෙරෙන්නේ එක ම ආකාරයකට හෝ එක ම පසුබිමක හෝ එක ම සංදර්භයක හෝ එක ම සුසමාදර්ශයක හෝ එක ම චින්තනයක හෝ නො වන බව අමරතුංග මහතාට අවබෝධ නො වෙයි. අපි ඒ ගැන පසුව කතා කරමු. දර්ශනය හා මතවාදය පටලවාගන්නා අමරතුංග මහතාට චින්තනය, සුසමාදර්ශය වැනි සංකල්ප තේරෙන්නේ කෙසේ ද?

පෙබරවාරි 10 වැනි දා ලිපියෙහි ඉහත සඳහන් වැකිවලින් අමරතුංග මහතා කරුණු දෙකක්‌ කියා ඇත. පළමුවෙන් ම ඔහු කියා ඇත්තේ බටහිර මතවාද ඔවුන් ගේ දර්ශනය මත පදනම් වන බව ය. ඒ පිළිබඳව අප සම්පූර්ණයෙන් එකග නො වූවත් එහි අප කියන දේ සමග සමීප බවක්‌ ඇතැයි කිව හැකි ය. අප කියන්නේ බටහිර හෝ පෙරදිග හෝ දැනුම යම් චින්තනයක්‌ මත පදනම් වන බවත් යම් සංස්‌කෘතියක සංස්‌කරණය කෙරෙන බවත් ය. නිරවුල් නො වූවත් අමරතුංග මහතා කර ඇති ප්‍රකාශයට ලකුණු කිsහිපයක්‌ ලබා දිය හැකි ය. බටහිර මතවාද ඔවුන් ගේ දර්ශනය මත පදනම් වන බව කී අමරතුංග මහතා ඉක්‌බිති ව කියා ඇත්තේ ඔවුන් ගේ (බටහිරයන් ගේ) දර්ශනය වන්නේ විශ්වය දෙවියන් විසින් මවනු ලැබ ඇත්තේ මිනිසා ගේ ප්‍රයෝජනය පිණිස ය යන්න බව ය.

බටහිරයන් ගේ ගී්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි මැවීම හෙවත් ආරම්භය මූලික වූවකි. ඒa යම්කිසිවකු විසින් මවනු ලැබීම ද, ස්‌වයං ව මහා පිපුරුමෙහි මෙන් වන මැවීමක්‌ (ආරම්භයක්‌) ද යන්න අතර මහා වෙනසක්‌ නැත. අවස්‌ථා දෙකෙහි ම ආරම්භයක්‌ වෙයි. වැදගත් වන්නේ ආරම්භයයි. ආරම්භය නිර්මාපකයකු ගේ මැදිහත් වීමෙන් සිදු විණි ද ස්‌වයං ව සිදු විණි යන්න ප්‍රශ්නයක්‌ නො වේ. චින්තනය එක ම ය. දෙවියන් වහන්සේ නැති ව වුව ද බටහිර විශ්වවේදය එක්‌ තැනකින් පටන් ගනියි. ඒ මහා පිපුරුම ය. ඒ ගී්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයට එකග ය. සිංහල බෞද්ධ චින්තනයෙහි ආරම්භයක්‌ නැත.

අමරතුංග මහතාට අනුව දෙවියන් වහන්සේ විසින් විශ්වය මවනු ලැබ ඇත්තේ මිනිසා ගේ ප්‍රයෝජනය සඳහා ය. පරණ තෙස්‌තමේන්තු කතාවෙන් ද ඒ බව කියෑවෙයි. අපට මෙහි දී ද අමරතුංග මහතා සමග යම් එකගතාවකට පැමිණිය හැකි ය. එහෙත් ඒ මහතා යොදාගන්නා දර්ශනය යන වචනයට අපට එකග වීමට නොහැකි ය. කෙසේ වෙතත් අමරතුංග මහතා බටහිර මතවාද ඔවුන් ගේ දර්ශනය මත පදනම් වන බවත් විශ්වය දෙවියන් වහන්සේ විසින් මිනිසා ගේ ප්‍රයෝජනය සඳහා මවනු ලැබ ඇත යන්න ඒ දර්ශනය බවත් පෙබරවාරි 10 වැනි දා ලිපියෙහි කියා ඇත.

දැන් අපි ඒ මහතා ගේ පෙබරවාරි 17 වැනි දා ලිපියට යමු. ඒ මහතා වෙනත් කරුණු අතර මේ සම්බන්ධයෙන් එහි කියා ඇත්තේ කුමක්‌ ද? ඒ මහතා කියා ඇත්තේ තමාට අවශ්‍ය බටහිර මතවාදයක්‌ වන දෙවියන් විශ්වය මැව්වේ මිනිසාගේ ප්‍රයෝජනය පිණිස යන්න බොරුවක්‌ බව පෙන්වා දීමට ය. මෙහි දී අපට වැදගත් වන්නේ දෙවියන් වහන්සේ විශ්වය මැව්වේ මිනිසා ගේ ප්‍රයෝජනය පිණිස ය යන්න මතවාදයක්‌ යෑයි අමරතුංග මහතා කියා තිබීම ය. නිරවුල් ව කල්පනා කිරීමට තැත් කරන අයකුට අමරතුංග මහතා ගේ අවුල් ප්‍රකාශ නිසා මහත් ප්‍රශ්න ඇති වෙයි.

අමරතුංග මහතා ගේ පෙබරවාරි 10 වැනි දා ලිපිය අනුව දෙවියන් වහන්සේ විශ්වය මවා ඇත්තේ මිනිසා ගේ ප්‍රයෝජනය පිණිස ය යන්න බටහිර දර්ශනය ය. එහෙත් පෙබරවාරි 17 වැනි දා ලිපියට අනුව ඒ බටහිර මතවාදයකි. අමරතුංග මහතා ගේ අවුල් අදහස්‌ ගැන දන්නා අයකු ඒ මගහැර යැමට හෝ තමාට විෂය වන අයුරින් තේරුම් ගැනීමට හෝ උත්සාහ කළ ද පෙබරවාරි 10 වැනි දා ලිපියෙන් එයට ඉඩක්‌ නො ලැබෙයි. එහි අමරතුංග මහතා කියා ඇත්තේ බටහිර මතවාද ඔවුන් ගේ දර්ශනය මත පදනම් වී ඇත යනුවෙනි.

අමරතුංග මහතාට අනුව දෙවියන් වහන්සේ මිනිසා ගේ ප්‍රයෝජනය වෙනුවෙන් විශ්වය මැවී ය යන්න එක්‌ සතියක දර්ශනය වන අතර ඊළඟ සතියේ මතවාදයක්‌ වෙයි. එය අපට සුළුවෙන් ගැනීමට ඉඩක්‌ නැත්තේ ඒ මහතාට අනුව බටහිර මතවාද ඔවුන් ගේ දර්ශනය මත පදනම් වන බැවින් යෑයි ඒ මහතා ම පැවසීම ය. එයින් කියෑවෙන්නේ කුමක්‌ ද? දෙවියන් වහන්සේ මිනිසා ගේ ප්‍රයෝජනය වෙනුවෙන් විශ්වය මැවී ය යන්න මතවාදයක්‌ මෙන් ම දර්ශනයක්‌ ද වන අතර මතවාදය දර්ශනය මත පදනම් වෙයි වෙනත් වචනවලින් කිව හොත් දෙවියන් වහන්සේ මිනිසා ගේ ප්‍රයෝජනය වෙනුවෙන් විශ්වය මැවී ය යන මතවාදය, දෙවියන් වහන්සේ මිනිසා ගේ ප්‍රයෝජනය වෙනුවෙන් විශ්වය මැවී ය යන දර්ශනය මත පදනම් වෙයි. මේ හතරබීරි කතාවක්‌ යෑයි අපට කීමට නොහැක්‌කේ සියලු ප්‍රකාශ ඩී. එස්‌සී. උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්යවරයකුට පමණක්‌ සීමා වන බැවිනි. හතරබීරි කතාවෙහි මෙන් මෙහි දෙවැන්නකු නැත.

අමරතුංග මහතා දර්ශනය, මතවාදය වැනි වචන එතරම් අවබෝධයකින් තොර ව යොදාගන්නා බව පැහැදිලි ය. විවේකයක්‌ ලැබුණු විටෙක චින්තනය හා සුසමාදර්ශය වැනි සංකල්ප තේරුම්ගැනීමට උත්සාහ කරන්නේ නම් ඒ මහතාට පුවත්පතේ පිටු නාස්‌ති කිරීමට සිදු නො වනු ඇත. අමරතුංග මහතා ගේ චින්තනයෙහි බටහිර විද්‍යාවේ චින්තනයෙහි මෙන්ම ආරම්භයක්‌ ඇත. ඒ මහතා කියන්නේ තමා බටහිර මතවාදයක්‌ (දර්ශනයක්‌) නො ව වෙනත් දෙයක්‌ කියන බව ය. ඒ මහතාට අනුව තමා කියන්නේ මිනිසා නිර්මාණය වී ඇත්තේ විශ්වයට සේවය කිරීම පිණිස බව ය. එය මතයක්‌ බව ඒ මහතා කියයි. මතයක්‌ හා මතවාදයක්‌ යනු එකක්‌ ම නො වන බව අපි දනිමු. එහෙත් ඒ මහතා මතය යනුවෙන් අදහස්‌ කරන්නේ මතවාදයක්‌ යෑයි අපි සිතමු. සේවාර්ජිත මහචාර්යවරුන් ගේ ලිපි කියවන අප වැනි හුදී ජනයන් අමාරුවේ වැටෙන්නේ නිරවුල් නො වන පරස්‌පර අදහස්‌ ද ලිපිවලින් ප්‍රකාශ වන විට ය.

අප කලින් ද කියා ඇති පරිදි අමරතුංග මහතා පදනම් වන්නේ ගී්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි මිස සිංහල බෞද්ධ චින්තනයෙහි නො වේ. ඔහු කර ඇති එක ම දෙය විශ්වය මිනිසා වෙනුවෙන් සේවය කිරීමට නිර්මාණය කෙරී ඇතැයි යන්න වෙනුවට මිනිසා විශ්වය වෙනුවෙන් සේවය කිරීමට නිර්මාණය කෙරී ඇතැයි පැවැසීම ය. එය බටහිර ගී්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය පටහැනි නො වන්නේ බටහිර විශ්වවේදයෙහි දෙවියන් වහන්සේ නොමැති ව විශ්වය නිර්මාණය වී ඇති බව කියන ආකාරයට ය.

සිංහල බෞද්ධ චින්තනයෙහි නිර්මාණයක්‌ නැත. ඇතැමුන්ට අනුව අග්ගඤ්ඤ සුත්‍රයෙහි විශ්වයෙහි ආරම්භයක්‌ ගැන කියෑවෙයි. එහෙත් ඒ එසේ නො වේ. අග්ගඤ්ඤ සූත්‍රයෙන් කියවෙන්නේ විශ්වයෙහි ආරම්භයක්‌ නො වේ. ඒ ආරම්භයක්‌ නැති විශ්වය එක්‌ ලෝක විනාශයකින් පසුව නැවතත් සුපුරුදු චක්‍රයෙහි ගමන් කිරීමකි. ලෝක (විශ්ව) විනාශයෙන් පසුව ආභස්‌සර බ්‍රහ්ම ලෝකයෙහි සිටි ජීවීහු නැවත පෘථිවියට පැමිණෙති. ආභස්‌සර බ්‍රහ්ම ලෝකය ඊනියා ලෝක විනාශය සමඟ විනාශ වී නොමැති බව පැහැදිලි ය.

සිංහල බෞද්ධ චින්තනය මත පදනම් ව විශ්ව විකාශය පිළිබඳ අකෘතියක්‌ කැලණිය විශ්වවිද්‍යාලයයෙහි ගණිත අධ්‍යයනාංශයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වසන්ත කටුගම්පොළ මහතා නම් ඉදිරිපත් කොට ඇත. ඒ සඳහා ඒ මහතාට කැලණිය විශ්වවිද්‍යාලයයෙන් විද්‍යාපති උපාධියක්‌ පිරිනැමී ඇති අතර ඒ පිළිබඳ පර්යේෂණ පත්‍රිකා ඒ විශ්වවිද්‍යාලයෙහි ම පර්යේෂණ සැසිවාරවලට ඉදිරිපත් කර ඇත. ඒ පටන්ගැනීමක්‌ හෝ අවසානයක්‌ හෝ නැති ව විකාශය වන විශ්වයක්‌ පිළිබඳ කතාවකි. කටුගම්පොළ මහතා ගේ ආකෘතියෙහි මහා පිපිරුමක්‌ නැත. එහි ඇත්තේ දිගින් දිගට සිදු වන විශ්ව ප්‍රසාරණයක්‌ හා සංකෝචනයකි. අමරතුංග මහතාට අවශ්‍ය නම් ඒ පිළිබඳ තොරතුරු කටුගම්පොළ මහතා ගෙන් ලබාගත හැකි ය. සිංහල බෞද්ධ චින්තනය හා ගී්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය අතර ඇත්තේ විශාල වෙනසකි.

අමරතුංග මහතා මේ දිනවල මහත් උද්යෝගයෙන් ප්‍රොaටීන නැමුම පිsළිබඳ ලිපි ලියයි. ඒ සියල්ල බටහිර පොත්වල ඇති බවට සැකයක්‌ නැත. එහෙත් මෙහි දී වැදගත් වන්නේ ඒ නො වේ. අමරතුංග මහතා ගේ ප්‍රොaටීන නැමුමට ද ආරම්භයක්‌ ඇත. ඒ මහතා ඒ පිළිබඳ විවිධ සම්භාවිතා ගණනය කළ හැකි බව කියන්නේ එබැවිනි. ඒ මහතා බටහිරයන් අනුකරණය කරමින් කියන්නේ ප්‍රොaටීන සෑදුණු ආකාරය ගැන ය. ඒ මහා පිපුරුමෙන් පටන් ගෙන තාරකා නිර්මාණය වී ඒ තාරකාවල න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මගින් විවිධ පරමාණු නිර්මාණය වී ප්‍රොaටීන නිෂ්පාදනය පිළිබඳ කතාවකි. අමරතුංග මහතා ගේ ප්‍රොaටීන නැමුම මිනිසා විශ්වයට සේවය කිරීම සඳහා යෑයි ඒ මහතා කියයි. එහෙත් ප්‍රශ්න රාශියකි.

මිනිසා නිර්මාණය වූයේ කෙසේ ද? අමරතුංග මහතාට අනුව මිනිසා නිර්මාණය වන්නට ඇත්තේ ජීව පරිණාමයේ ප්‍රතිඵලයක්‌ ලෙස යෑයි සිතමු. මහා පිපිරුමෙන් පටන්ගෙන තාරකා ඔස්‌සේ විවිධ පරමාණු නිර්මාණය කර ඇමයිනෝ අම්ල හා ප්‍රොaටීන නිර්මාණය වී ඒක සෛල ජීවියා නිර්මාණය වී ඩාවින් ගේ පරිණාමවාදයට අනුව මිනිසා නිර්මාණය වී විශ්වයට සේවය කිරීමක්‌ මෙහි දී සිදු වෙයි. සම්පුර්ණ කතාව බටහිර විද්‍යාවෙහි ය. අමරතුංග මහතා තමා එහි කුඩා වෙනසක්‌ කරන බව කියයි. එහෙත් ඒ මහතාට ගී්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙන් කැඩීමට නොහැකි ය. අමරතුංග මහතාට ඉංගිරිසි පොත්වලින් තව තවත් පරිවර්තනය කර විදුසරට ලිවිය හැකි ය. එහෙත් ඔහුට බටහිර ගී්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයට එරෙහි විය නොහැකි ය.

අමරතුංග මහතා කාල් පොපර් ගැන සඳහන් කර ඇති නිසා අපි ඒ ගැන සුළුවෙන් කතා කරමු. ඊනියා විද්‍යාව අනෙක්‌ දැනුම්වලින් වෙන් වන්නේ කෙසේ දැයි කීමට බටහිර විද්‍යාඥයන් හා දාර්ශනිකයන් මහත් වෙහෙසක්‌ ගෙන ඇත. ඒ ඔවුන් ගේ ආධිපත්‍යය සඳහා බටහිර දැනුම අනෙක්‌ දැනුම්වලට වෙනස්‌ යෑයි කීමට ඔවුන්ට ඇති අවශ්‍යතාව නිසා ය. බටහිර විද්‍යාව ඊනියා සත්‍යය හෝ සත්‍යයට ළඟා වෙමින් සිටින්නේ ය හෝ කියා අනෙක්‌ බටහිර දැනුම් ද ඊනියා විද්‍යාත්මක ක්‍රමයක්‌ අනුගමනය කරන්නේ යෑයි කියා බටහිරයෝ තම ආධිපත්‍යය අප මත පටවති.

කාල් පොපර් ද අයත් වන්නේ බටහිර විද්‍යා දාර්ශනිකයන් ගේ ගණය ට ය. බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතිවලින් වෙනස්‌ වන්නේ කෙසේ දැයි කීමට ඔහු ඉදිරිපත් කළ අදහස වූයේ බටහිර විද්‍යාවේ ප්‍රවාද අසත්‍යකරණයට ලක්‌ කළ හැකි විය යුතු ය යන්න ය. එහෙත් පළමුව කිව යුත්තක්‌ වෙයි. බටහිර දැනුමෙහි සත්‍යය යනු කුමක්‌ දැයි පැහැදිලි ව නො කියෑවෙයි. අප කලින් ද කියා ඇති පරිදි ගර්ඩල් ටාස්‌කි වැනි ගණිතයේ සත්‍යය ගැන කතා කළ අය ද සත්‍යය යනු කුමක්‌ දැයි නිර්වචනය නො කළ හ. අඩු ම තරමෙන් ඒ ගැන පැහැදිලි කිරීමක්‌ නො කළ හ. අදටත් බටහිර දැනුමෙහි සත්‍යය යනු කුමක්‌ දැයි පැහැදිලි කෙරී නැත. අමරතුංග මහතා හැකි නම් ඉංගිරිසි පොතකින් බලා බටහිර දැනුමෙහි සත්‍යය යනු කුමක්‌ දැයි පැහැදිලි කරන්නේ ද?

කාල් පොපර් සත්‍යය හෝ අසත්‍ය හෝ යනු කුමක්‌ දැයි නො කියා ඊනියා අසත්‍යකරණ ප්‍රවාදය ඉදිරිපත් කෙළේ ය. ඔහු ගේ අසත්‍යය යනු වෙනත් කිසිවක්‌ නො ව ඊනියා පරීක්‌ෂණ මගින් බටහිර විද්‍යාවේ ප්‍රවාද ප්‍රතික්‌ෂේප කිරීමට හැකි විය යුතු ය යන්න ය. එහෙත් බටහිර විද්‍යාවේ ප්‍රවාද වියුක්‌ත ය. අප කිහිප වතාවක්‌ ම පවසා ඇත්තේ වියුක්‌ත ප්‍රවාදවලින් සංයුක්‌ත ප්‍රකාශ නිගමනය කළ නො හැකි බව ය. අමරතුංග මහතාට හැකි නම් වියුක්‌ත ප්‍රවාදයකින් සංයුක්‌ත නිගමනයක්‌ ලබාගන්නා ආකාරය හුදී ජනයා ගේ පහන් සංවේගය පිණිස ඉදිරිපත් කරන මෙන් ඉල්ලමි. එහෙත් එයට පළමු අමරතුංග මහතා වියුක්‌තය යනු කුමක්‌ දැයි තේරුම් ගත යුතු ය.

වියුක්‌ත ප්‍රවාදයකින් ඊනියා අසත්‍යකරණයට ලක්‌ කළ හැකි ප්‍රකාශයක්‌ අපෝහනය කිරීමට හැකි නම් පමණක්‌ ඒ ප්‍රවාද බටහිර විද්‍යාත්මක යෑයි කීමට හැකි බව පොපර් පවසයි. මෙහි දී පොපර් කියන්නේ වියුක්‌ත ප්‍රවාදයකින් ලබාගන්නා වියුක්‌ත නිගමනයකින් සංයුක්‌ත නිරීක්‌ෂණයක්‌ ලබාගැනීමට හැකි ප්‍රකාශයක්‌ කිරීමට බටහිර විද්‍යාඥයන්ට හැකි විය යුතු ය යන්න ය. එසේ නොහැකි නම් අදාළ ප්‍රවාදය ප්‍රතික්‌ෂේප කළ යුතු යෑයි පොපර් පවසයි. එහෙත් ෙයරාබන්ඩ් ද තවත් අය ද පෙන්වා දී ඇති පරිදි අදාළ ප්‍රවාදයේ කිනම් කොටස ප්‍රතික්‌ෂේප කළ යුතු ද යන්න පොපර් නො කියයි. එබැවින් ඒ පුස්‌ස බිඳීමක්‌ වෙයිෘ

නලින් ද සිල්වා