logo3.gif (702 bytes)

HOME


ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 18

අප සාකච්ඡා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳව විද්‍යාවෙන් සහ දර්ශනයෙන් ගත හැකි කරුණු ය. ජීවිතයේ අරුත පිළිබඳව අප ඉදිරිපත් කොට ඇති මතවාදය සමඟ එකඟ වන සහ නො වන කරුණු සාකච්ඡා කිරීම අප ගේ අරමුණ ය. ජීවිතයේ අරුත පිළිබඳ අප ගේ මතවාදය පදනම් වී ඇත්තේ විශ්වය මිනිසා සඳහා නිපැයුණු ක්‍රියාදාමයක්‌ නො ව අප විශ්වය සඳහා නිපැයුණු ක්‍රියාදාමයක්‌ ය යන අදහස ය. අප විශ්වය සඳහා හෝ විශ්වය අප සඳහා හෝ නිපදවී ඇතැයි සිතිය යුතු ද? ඒ දෙක ම නොමැති ව වෙනත් අන්තර් ක්‍රියාවක්‌ ජීවීන් සහ විශ්වය අතර තිබිය හැකි ද? ජීවීන් විශ්වයේ කොටසක්‌ හෝ අංගයක්‌ වන බව පිළිගත හැකි ය. මුළු විශ්වය නොමැති ව පෘථිවිය අයත් වන ග්‍රහ මණ්‌ඩලය, එනම් සූර්යයා වටා චලනය වන අප ගේ ග්‍රහ මණ්‌ඩලය පමණක්‌ පැවතිය හැකි ද? නැත හොත් පෘථිවිය පමණක්‌ පැවතිය හැකි ද? එසේ විය නොහැකි බව අපි දන්නෙමු. විශ්වයේ සුළු වෙනස්‌වීම් පවා පෘථිවියට බලපාන බව අපි දන්නෙමු. විශ්වයේ ඇති නොයෙකුත් ග්‍රහ ලෝකවල පැවැත්ම එකිනෙක මත රඳා පවතින බව අපි දන්නෙමු. ඒවා අතර ඇති ගුරුත්වාකර්ෂණ බලය විසින් එම ග්‍රහ ලෝක අතර ඇති සම්බන්ධතාව, ඒවායේ චලනය සහ පැවැත්ම පාලනය කරනු ලබන බව ද අපි දන්නෙමු. පෘථිවිය මත ඇති ජීවීන් විශ්වය සමග සංසන්දනය කරන්නේ නම් එය මහ සමුද්‍රයේ වතුර බිංදුවක්‌ යෑයි කිව හැකි ය. මහ සමුද්‍රය පවතින්නේ වතුර බිංදුව සඳහා නො වන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් වතුර බිංදුව සමුද්‍රය වෙනුවෙන් සේවයක්‌ කරනවා යෑයි සිතිය හැකි ය. ජීවීන් නොමැති ව විශ්වයට පැවැත්මක්‌ ඇත් ද? ජීවීන් නොමැති ව විශ්වයට පැවතිය හැකි බව විශ්වාස කළ හැකි ය. විශ්වයේ ග්‍රහලෝක බිලියන බිලියනයක්‌ තිබෙන බව පැවසේ. ඉන් බිලියන 5ක පමණ ජීවීන්ට සුදුසු පරිසරයක්‌ ඇති බව ද පැවසේ. ඒවායේ ජීවීන් නැතැයි පැවසිය නොහැකි ය. එහෙත් මුළු විශ්වයේ ම ජීවීන් නැති වුවත් විශ්වයට පැවතිය හැකි ය. ජීවීන්ට විශ්වය නැති ව ම බැරි ය. විශ්වයේ යම්කිසි සුළු වෙනසක්‌ ඇති වුව ද ජීවීන් ගේ පැවැත්ම නැති වන්නට ඉඩ ඇත. එම නිසා ජීවීන් සහ විශ්වය අතර ඇති සබඳතාව පැහැදිලි ය. විශ්වය අප සඳහා නො ව අප විශ්වය සඳහා ය. වෙනත් සබඳතාවක්‌ තිබිය නොහැකි ය. කිසි ම සබඳතාවක්‌ නැත, ඇත්තේ අහඹු සිදුවීමක්‌ පමණ ය යන්න ඇදහිය නොහැකි ය. අහඹු සිදුවීම් පිළිබඳව අප දීර්ඝ ලෙස සාකච්ඡා කොට ඇති නිසා නැවත කතා කිරීම අනවශ්‍ය ය.

මුළු විශ්වය ම සෑදී ඇත්තේ ශක්‌තියෙනි. ශක්‌තිය ද්‍රව්‍ය බවට හැරෙන්නේ විශ්වයේ යම් යම් ස්‌ථානවල ශක්‌තිය විසින් ම ඇති කෙරෙන පරිසරය නිසා ය. පෘථිවිය පවතින පරිසරයේ මූලද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්‌ සෑදී ඇත. එම මූලද්‍රව්‍ය නොමැති ව ජීවීන් ඇති විය නොහැකි ය. අප ග්‍රහ මණ්‌ඩලයේ සූර්යයා වටා අධික උෂ්ණත්වයක්‌ හෝ අධික ශීතලක්‌ හෝ නැති අතරමැදි වූ Goldilocks නමින් හැඳින්වෙන පෙදෙසක්‌ ඇත. ජලය ද්‍රවයක්‌ ලෙස පැවතිය හැක්‌කේ එම ප්‍රදේශයේ ඇති ග්‍රහයන් මත ය. පෘථිවිය ඇත්තේ එම Goldilocks ප්‍රදේශයේ ය. පෘථිවියේ කක්‌ෂය ඇත්තේ එම ප්‍රදේශයේ ය. පෘථිවිය ජීවීන් ගේ පැවැත්මට සුදුසු වීමට තවත් වැදගත් කරුණක්‌ වන්නේ ග්‍රහ මණ්‌ඩලය තුළ එහි පිහිටීම ය. ජුපිටර් ග්‍රහයා ගේ පිහිටීම මෙතැන වැදගත් ය. එම ග්‍රහයා ගේ ඇති අධික ගුරුත්වාකර්ෂණය විසින් ඇස්‌ටරොයිඩ් ඇද ගැනීම නිසා පෘථිවියේ ජීවීන්ට ඒවායින් ඇති විය හැකි හානිය වළකාලයි. තව ද පෘථිවියේ කක්‌ෂය ඉලිප්සයක්‌ වූවාට බොහෝ දුරට වෘත්තාකාර හැඩයකට සමාන ය. ජීවීන්ට මෙය ද වැදගත් වන්නේ ය. අධික ලෙස ඉලිප්සයක්‌ වූවා නම් අධික උෂ්ණත්වය හෝ අධික ශීතල කාලගුණයක්‌ තිබිය හැකි ය. තව ද පෘථිවිය වටා යන ලොකු සඳ පෘථිවියේ කක්‌ෂය ස්‌ථාවර කරයි. එය කුඩා සඳක්‌ හෝ කිහිපයක්‌ වූවා නම් කක්‌ෂය එසේ ස්‌ථාවර නො වන්නට ඉඩ ඇත. සමහර සූර්යයන් ද්වීබන්ධන වූ සූර්යයන් ය. එහි දී සූර්යයන් දෙකක්‌ එක කක්‌ෂයක පිහිටා චලනය සිදුවේ. අප ගේ සූර්යයා එකක්‌ වීම ජීවීන්ට හිතකර ය. සූර්යයන් දෙදෙනකු සිටියා නම් පෘථිවියේ කක්‌ෂය ස්‌ථාවර නො වන්නට ඉඩ ඇත. පෘථිවිය ජීවීන් සඳහා ඒ ලෙස සැකසී ඇත්තේ ජීවීන් ලවා විශ්වයට අවශ්‍ය සේවය කරවාගැනීමට ය.

විශ්වයේ ග්‍රහයන් අති විශාල සංඛ්‍යාවක්‌ ඔවුන් ගේ ග්‍රහ මණ්‌ඩලවල තිබිය හැකි ගෝල්ඩිලොක්‌ ප්‍රදේශයේ පිහිටා නැත. ඒවායේ ජීවීන් ඇති වීමට ඉඩක්‌ නැත. මේ ගැන තවත් ඉතා ම වැදගත් කාරණයක්‌ කියන්නට ඇත. එය භෞතික විද්‍යාවට අදාළ ය. පරමාණුවක න්‍යෂ්ටියේ අංශු එකට බැඳ තබන බලය හැඳින්වෙන්නේ ප්‍රබල බලය (strong force) ලෙස ය. අණුවක්‌ බිඳීම පිණිස මැඩ පැවැත්විය යුතු බලය එය වන්නේ ය. හයිඩ්‍රජන් එකතු වී හීලියම් සෑදෙන විට මෙය සිදු වේ. එවිට හයිඩ්‍රජන් න්‍යෂ්ටියේ ස්‌කන්ධයෙන් යම්කිසි අනුපාතික කොටසක්‌ ශක්‌තිය බවට හැරේ. මේ අනුපාතික ප්‍රමාණය E ලෙස හඳුන්වයි. අප ගේ විශ්වයේ මේ අනුපාතික අගය 0.007 වන්නේ ය. මූලද්‍රව්‍ය සෑදෙන්නේ හයිඩ්‍රජන්වලිනි. එය සිදු වන්නේ න්‍යෂ්ටික විලයනය (nuclear fusion) නිසා ය. අප ගේ සූර්යයා තුළ මෙය නිතර සිදු වන්නේ ය. හයිඩ්‍රජන් හීලියම් බවට පත් වීම මාර්ගයෙන් එය සිදු වේ. එහෙත් අප ගේ සූර්යයා වැනි සාපේක්‌ෂව කුඩා වූ සූර්යයකුට හීලියම්වලට වඩා දෙයක්‌ නිපදවන්නට අවශ්‍ය උෂ්ණත්වය නොමැත. අනෙකුත් මූලද්‍රව්‍ය නිපදවා ඇත්තේ ඊට වඩා බොහෝ සෙයින් උෂ්ණත්වය වැඩි සූර්යයන් තුළ ය. මෙය සිදු වන ආකාරය Fred Hoyle සහ තවත් දෙදෙනකු එකතු වී සොයාගෙන ඇත. මෙවැනි අති විශාල වූ සූර්යයන් supernova ලෙස පිපිරීමට භාජන විය හැකි ය. එවිට ඒ තුළ තිබූ මූලද්‍රව්‍ය දූවිලි වලාකුළු ලෙස මුදාහැරේ. පසුව ඒවා ඝන වී පෘථිවිය වැනි ග්‍රහවස්‌තු සෑදෙන්නේ ය. පෘථිවිය තුළ මූලද්‍රව්‍ය 90ක්‌ පමණ ඇත්තේ මෙලෙසිනි. එම නිසා එම ග්‍රහයා ජීවීන් ඇති වීම සඳහා සුදුසු වන්නේ ය. එම මූලද්‍රව්‍ය සහ ඉහත සඳහන් අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ වූ විට ජීවීන් බිහි වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය විය හැකි ය. එය එසේ සිදු වී ඇත.

ඉහත සඳහන් Eවල අනුපාතික අගය 0.007 වීම ඉතා වැදගත් ය. මූලද්‍රව්‍ය සෑදෙන්නේ රැල්ලක්‌ (cascade) ලෙස බව Fred Hoyle පවසා ඇත. එම ක්‍රියාදාමය හෝ රැල්ල කෙතරම් දුර යනවා ද යන්න නිගමනය කෙරෙන්නේ එම සංඛ්‍යාව විසිනි. එය 0.006 වූයේ නම් හයිඩ්‍රජන්වලට එහා යන්නේ නැත. එය 0.008 වූයේ නම් මුළු හයිඩ්‍රජන් ප්‍රමාණය බර ලෝහවලට පත්වන්නේ ය. එවැනි අවස්‌ථා දෙකේ ම ජීවීන්ට අවශ්‍ය දේවල් සෑදෙන්නේ නැත. හයිඩ්‍රජන් න්‍යෂ්ටියේ ස්‌කන්ධයෙන් ශක්‌තිය බවට පත් වන අනුපාතය ගැන පැහැදිලි කිරීමක්‌ කළ Martin Rees නමැති විද්‍යාඥයා එවැනි සංඛ්‍යා හයක්‌ පිළිබඳව අදහස්‌ දක්‌වා ඇත. එම සංඛ්‍යා සැම එකක්‌ ම අප ගේ පෘථිවිය ජීවීන්ට සුදුසු ග්‍රහලෝකයක්‌ බවට පත් කිරීම සඳහා වැදගත් වන්නේ ය. එම සංඛ්‍යා හය පිළිබඳ විස්‌තරයක්‌ ප්‍රථම වරට මාර්ටින් රීස්‌ විසින් සිදු කරන ලද්දේ Just Six Numbers (1999) නමැති ඔහු ගේ කෘතිය මගිනි. මේ සංඛ්‍යා හය Dimentionless Physical Constant නමැති මානයක්‌ නොමැති භෞතික නියතයන් වන්නේ ය. එවැනි නියත දැනට 26ක්‌ නිර්මාණය වී ඇත. මේවා ගැන පසුව සාකච්ඡා කරමු. ඒවා මේ ලිපියේ සඳහන් කොට ඇත්තේ එම නියත හය පිළිබඳ සඳහනක්‌ තබා E නමැති අනුපාතික සංඛ්‍යාව විස්‌තර කොට ජීවීන්ට සුදුසු තත්ත්වයට පත් වීම සඳහා පෘථිවිය මුළු විශ්වයට සම්බන්ධ වී ඇති ආකාරය පෙන්වා දීමට ය. මින් පෙනී යන්නේ දුකින් ජීවත් වී මරණයට පත් වන ජීවීන් තම සේවයට බඳවාගැනීම සඳහා විශ්වය කෙතරම් සංකීර්ණ වූ වෙහෙසක්‌ දරා ඇත් ද යන්න ය. E නමැති 0.007 යන අගය මුළු විශ්වයට ම අදාළ (යෙදිය හැකි) අගයක්‌ වන්නේ ය. මෙතරම් සංකීර්ණ වූ විශ්වයේ මෙතරම් සංකීර්ණ වූ පෘථිවියක්‌ මෙතරම් සංකීර්ණ වූ ජීවින් සඳහා සකසා ඇත. එවැනි දෙයක්‌ කළ හැකි විශ්වය මිනිසා ගේ දුක නැති කොට හැම දා ජීවත් වන ජීවීන් නිර්මාණය නො කළේ ඇයි? එසේ නො කර තෘෂ්ණාවෙන් පොලඹවා දුකින් ජීවත් වෙමින් නොයෙකුත් දේ නිර්මාණය කොට මරණයට පත් වන ජීවීන් නිර්මාණය වී ඇත්තේ ඇයි? ජීවීන් ගේ මරණයට පසු DNA, RNA, ප්‍රොaටීන් ඉතිරි වන ලෙස සැකසී ඇත්තේ ඇයි? එසේ නම් ජීවීන් ගේ ජීවිතයේ අරුත DNA, RNA, ප්‍රොaටීන් නිර්මාණය කිරීම විය යුතු ය.

පසුගිය ලිපියේ කාබන් - 14 නමැති සමස්‌ථානිකය යොදාගෙන කාලනිර්ණය කරගැනීම ගැන සඳහනක්‌ කළෙමු. ඒ ගැන විස්‌තරයක්‌ සැපයීම කළ යුතු ව ඇත. කාබන් කාලනිර්ණ ක්‍රමය ජීවීන් මරණයට පත් වූ කාල වකවානුව සොයාගැනීමට යොදාගත හැකි ය. මේ ක්‍රමය ජීවීන් ගේ ආහාර දාමය මත පදනම් වී ඇත. ජීවීන්ට අවශ්‍ය කාබන් ලැබෙන්නේ අවසාන වශයෙන් වායුගෝලයේ ඇති කාබන්ඩයොක්‌සයිඩ් වායුවෙනි. වායුගෝලයේ ඇති කාබන්ඩයොක්‌සයිඩ් වායුවේ බොහෝ සෙයින් ඇත්තේ කාබන්-12 ය. එය විකිරණශීලී නො වන්නේ ය. මේවායින් අණු ටි්‍රලියනයකට එක්‌ අණුවක්‌ පමණ කාබන්-14 වන්නේ ය. එය විකිරණශීලී ය. හරිතප්‍රද ලවය ඇති ශාක මේ වායුව උරාගෙන කාබෝහයිඩේ්‍රට්‌ නිෂ්පාදනය කරයි. සත්ත්වයන් ආහාරයට ගන්නේ එසේ සාදාගත් කාබෝaහයිඩේ්‍රට්‌ ය. වෙන සැපයුම් මාර්ගයක්‌ නැත. ජලයේ බිහි වූ සත්ත්වයන් පොළොව මතට පැමිණියේ ජලයේ බිහි වූ හරිතප්‍රද සහිත ශාක පොළොව මතට පැමිණියාට පසුව වූයේ ඒ හෙයිනි. මෙලෙසින් ලැබෙන කාබන්වල යම් කිසි ප්‍රමාණයක්‌ කාබන්-14 නමැති සමස්‌ථානිකය (isotope) තිබෙන්නේ ය.

කාබන්-14 විකිරණශීලී ක්‌ෂය වීමට භාජන වේ. ජීවීන් තුළ තිබෙන කාබන්-12 සහ කාබන්-14 අතර අනුපාතය වායුගෝලයේ එම අනුපාතයට සමාන වන්නේ ය. ජීවීන් වායුගෝලයේ කාබන් මත යෑපෙන කල් එම අනුපාතය එසේ වන්නේ ය. ජීවියා මරණයට පත් වූ පසු එම අනුපාතය වෙනස්‌ වන්නේ ය. එසේ වන්නේ කාබන්-14 විකිරණශීලී ක්‌ෂය වීමට භාජන වන අතර කාබන්-12 එසේ නො වන නිසා ය. ජීවියා මරණයට පත් වන්නට පෙර තිබූ අනුපාතය සහ කාබන්-14 අර්ධ ආයුෂ කාලය (අවුරුදු 5710) දන්නා නිසා මළ සිරුර තුළ තිබෙන අනුපාතය සොයාගත් විට ජීවියා මරණයට පත් වූ කාල වකවානුව සොයාගත හැකි ය.

වායුගෝලයේ ඇති කාබන්-14 ප්‍රමාණය ක්‌ෂය වීම නිසා අඩු වන්නේ නැත්තේ එය නැවත අලුතින් නිෂ්පාදනය වන නිසා ය. වායුගෝලයට අභ්‍යවකාශයේ සිට පැමිණෙන කිරණ න්‍යෂ්ටියක්‌ මත පතිත වූ විට ඉන් නිsයුට්‍රොaනයක්‌ ගැලවී යන්නට ඉඩ ඇත. එසේ ගැලවුණ නියුට්‍රොaන වායුගෝලයේ බොහෝ ලෙස ඇති නයිට්‍රජන් වායුවේ න්‍යෂ්ටියක්‌ මත පතිත වූ විට එහි ඇති එක ප්‍රොaටෝනයක්‌ නියුට්‍රොaනයක්‌ බවට පත් විය හැකි ය. නයිට්‍රජන්වල ස්‌කන්ධ ක්‍රමාංකය 14 වන්නේ ය. එය සෑදී ඇත්තේ ප්‍රොaට්‍රොaන 7කින් සහ නියුට්‍රොaන 7කින් ය. එහි එක ප්‍රොaටෝනයක්‌ නියුට්‍රොaනයක්‌ බවට පත් වූ විට එය කාබන්-14 බවට පත් වන්නේ ය. එය ප්‍රොaටෝන 6ක්‌ සහ නියුට්‍රොaන 8කින් සමන්විත වන්නේ ය. මේ ලෙසින් වායුගෝලයේ ඇති කාබන්-14 ක්‌ෂය වීමට භාජනය වුව ද එහි අඩු වීමක්‌ සිදු නො වන්නේ ය.



එහෙත් වායුගෝලයේ කාබන්-12 ( කාබන්-14 අනුපාතය වෙනස්‌ නො වී පවතිනවා යෑයි පැවසිය නොහැකි ය. එම නිසා වෙනස්‌ වීම කොයි ආකාරයකින් සිදු වනවා ද යන්න සොයාගෙන ජීවියා තුළ ඇති කාබන්-12 ( කාබන්-14 අනුපාතය ගණනය කිරීම කළ හැකි වන්නේ ය. මෙය සිදු කරන ක්‍රමය ද විස්‌තර නො කර මේ සාකච්ඡාව සම්පූර්ණ නො වන්නේ ය. එම ගණනය කිරීම සිදු කරන්නේ විශාල ගස්‌වලින් ලැබෙන ලීවල කාල නිර්ණය කරන ක්‍රමය උදව්වට ගැනීමෙනි. ගසක හරස්‌කඩක්‌ පරීක්‌ෂා කළ විට එහි ඇති වෘත්තාකාර වළලු හැඳිනගත හැකි ය. ඒවා භාවිත කොට ගසක වයස සොයාගැනීම වෘක්‌ෂ වර්ෂ ක්‍රමය (dendrochronology) යනුවෙන් හැඳින්වේ. සමස්‌ථානික ක්‍රමය භාවිත කොට කාල නිර්ණය කිරීමේ දී කෙතරම් දුරකට ඉතිභාසයේ ආපසු යා හැකි ද යන්න නිගමනය වන්නේ භාවිත කරන සමස්‌ථානිකයේ අර්ධ ආයුෂ කාලය විසිනි. වෘක්‌ෂ වර්ෂ ක්‍රමයේ දී සිදු වන්නේ වෘක්‌ෂයක හරස්‌ කඩක තිබෙන වළලු (Tree rings) ගණන් කිරීම ය. එම වළලු ඝනකමින් වැඩි සහ අඩු වන්නේ ය. ඝනකම වැඩි වන්නේ වෘක්‌ෂයේ වර්ධනයට හිතකර කාලගුණික තත්ත්වයක්‌ තිබෙන විට ය. අහිතකර කාලගුණයක්‌ තිබෙන විට වළලුවල ඝනකම අඩු වන්නේ ය. අවුරුද්දේ කාලගුණය වෙනස්‌ වන අන්දම දන්නා නිසා මේ වළලු ගණන් කොට වෘක්‌ෂයේ වයස ගණනය කළ හැකි ය. මෙය ඉතා ම නිවැරැදිව කිට්‌ටු ම අවුරුද්ද දක්‌වා ගණනය කළ හැකි ය. වයසින් අඩු ගසක පිටත හරියේ තිබෙන වළලුවල රටාව වයසින් වැඩි ගසක මැද හරියේ තිබෙන වළලුවල රටාවට සමාන වේ නම් වයසින් අඩු ගස්‌වල සිට වයසින් වැඩි ගස්‌ දක්‌වා ඒවායේ වයස අනුව අනුපිළිවෙළට සැකසිය හැකි ය. මෙලෙස එක්‌ එක්‌ පාෂාණ ස්‌ථරවල ඇති ශාක ෆොසිලවල ද වයස ගණනය කළ හැකි ය. වෘක්‌ෂයක වයස දැනගැනීමට එම වෘක්‌ෂය කපා හරස්‌කඩ පරීක්‌ෂා කිරීමට අවශ්‍ය නැත. එසේ නො කර ගසේ මැද කොටස දක්‌වා විද හරස්‌ කඩක සාම්පලයක්‌ ලබාගන්නා තාක්‌ෂණය විද්‍යාඥයන් සතු ව ඇත. එසේ ලබාගන්නා සාම්පලයේ පෘෂ්ඨයේ ඇති වළලු රටාව පරීක්‌ෂා කළ යුතු ය. වර්ෂයක කාලගුණික වෙනස්‌වීම් පමණක්‌ නො ව වෘක්‌ෂයේ වර්ධනයට යහපත් වූ වර්ෂ සහ අයහපත් වූ වර්ෂ අනුව එම රටා හඳුනාගත හැකි ය. මෙලෙස එකතු කරගන්නා දත්ත සමුද්දේශ ලකුණ (reference mark) ලෙස භාවිත කළ හැකි ය. මේ සමුද්දේශ එකතුව භාවිත කොට ඕනෑ ම වෘක්‌ෂයක්‌ හෝ වෘක්‌ෂ ෆොසිල කැබැල්ලක වයස නිගමනය කළ හැකි ය.

වෘක්‌ෂ හරස්‌කඩක ඇති වළලු (tree rings) මගින් ලබාගත් වයස පිළිබඳ දත්ත සහ එම වෘක්‌ෂවල කාබන් කාලනිර්ණය මගින් ලබාගත් දත්ත ක්‍රමාංකනය කිරීමෙන් (calibration) වායුගෝලයේ කාබන්-12( කාබන්-14 අනුපාතයේ වෙනස්‌ වීම හේතු කොටගෙන කාබන් කාල නිර්ණය වෙනස්‌ වන අන්දම සොයාගත හැකි ය. මෙය සොයාගත් විට කාබන් කාල නිර්ණය මගින් ජීවීන් ගේ වයස සොයාගැනීමේ දී වායුගෝලයේ කාබන්-12 ( කාබන්-14 අනුපාතයේ වෙනස්‌ වීම නිසා සිදු වන වරද නිවැරැදි කර ගත හැකි ය.

කාලනිර්ණය කිරීම සඳහා තවත් ඉතා ම නවීන ක්‍රම බොහොමයක්‌ ඇත. ජීව පරිණාමය අධ්‍යයනය කිරීමට ඒවායින් සමහරක්‌ භාවිත කළ හැකි ය. මේ සඳහා භාවිත කළ හැකි සමස්‌ථානික මූලද්‍රව්‍යවලින් සමහරක්‌ පහත දැක්‌වේ.

මින් පෙනී යන්නේ සමස්‌ථානික මූලද්‍රව්‍ය යොදා අවුරුදු බිලියන 49ක්‌ පැරැණි ද්‍රව්‍යවල පවා වයස කාලනිර්ණය කළ හැකි බව ය.

කාල නිර්ණය සඳහා භාවිත කළ හැකි අති නවීන ක්‍රම පිළිබඳව සාකච්ඡා කිරීමට ඉදිරි ලිපිවලින් බලාපොරොත්තු වෙමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc