logo3.gif (702 bytes)

HOME


අබිරහස්‌ පරිත්‍යාග 2 කොටස

සුඛෝපභෝගී නාගරික ජීවිතයකට හුරු ව සිටි ජොෂුවා, ඝර්ම කලාපීය වනාන්තරයක්‌ මධ්‍යයට ගමන් කරන්නට යන පළමු අවස්‌ථාව මෙය විය. ඔහු කුඩා කාලයේ පටන් සිය පියාට, අදාළ මකුළු විශේෂය සොයාගත් ඇමසොන් වනාන්තරයට තමා ගෙන යන ලෙස කොතෙකුත් ඇවිටිලි කළ ද, ඔහු ගේ පියා ඒ හැම අවස්‌ථාවක දී ම ඒ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කළේ ය. කරුණුq එසේ වුව ද, තමන් ගේ 18 වැනි උපන්දිනයේ දී තමන්ව වනාන්තරයට ගෙන යැමට සිය පියා ඉදිරිපත් වූයේ ඇයි ද යන්න ඔහුට මහත් ප්‍රහේලිකාවක්‌ විය.

ඒ එසේ වුවත් ජොෂුවා මහත් උද්යෝගයෙන් දින ගණනාවක්‌ තිස්‌සේ ගමනට සූදානම් විය. ඔහුට නාසා ආයතනයෙන් ලැබුණු දියුණු තාක්‌ෂණික උපකරණ, එනම් ටැබ්ලට්‌ පරිගණකය, දුරදක්‌න, වීඩියෝ කැමරා ආදී සියල්ල ඔහු තම ගමන් මල්ලෙහි බහාලී ය.

"ජොෂුවා, අපි එහෙ යන කොට ගෙනියන්න පුළුවන් ඔයා ගේ අතපය හතරයි, කෑම ටිකක්‌, ඇඳුමක්‌ දෙකක්‌ සහ ප්‍රථමාධාර පෙට්‌ටිය විතරයි. කරුණාකරලා අනෙක්‌ ඔක්‌කොම බඩු මෙහෙ තියලා එන්න." ඔහු ගේ පියා උපදෙස්‌ දුන්නේ ය.

"අවම වශයෙන් මගේ ටැබ් එක වත් ගෙනියන්න බැරි ද? සති දෙකක්‌ තිස්‌සේ මම නිකරුණේ හිටියොත් මගේ අත් දෙක ගල් වේ වි." ජොෂුවා මැසිවිලි නැඟී ය.

"ඔයා ගෙ ඇඟිලිවලට ඔය තරම් ම ව්‍යායාම අවශ්‍ය නම් ඔයා ගේ අර රබර් පටි කැටපෝලය අරන් යන්න. මාත් එක්‌ක වාද කරන එක නවත්වන්න."

ජොෂුවා නිහඩ විය.

ඔවුන් ගමන යන්නට පිටත් වූ දිනයේ දී, ජොෂුවා ගේ මව ඔවුනට සමු දුන්නේ හඩා වැළපෙමිනි. ඒ ඇයි ද යන්න ජොෂුවාට නො තේරෙණු නමුදු, ඒ ගැන ප්‍රශ්න කිරීමට ඒ මොහොතේ ඔහුට සිතක්‌ පහළ වූයේ නැත.

"අම්මා ඔයා බය වෙන්න එපා. අපි ඉක්‌මනට ආපහු එනවා නේ." ඔහු මව වැළඳගනිමින් පැවසී ය. ඇය හැඩුම් අතරින් පිළිතුරු දෙමින් "ඒත් ඔය දෙන්නා විතර නේ ඉන්නේ," යෑයි පැවසුවා ය.

පිය පුතු යුවළ සිය පෞද්ගලික ගුවන් යානාවකින් ඇමසොන් වනය බලා පිටත් වූ හ.

"මම මෙහෙ එන්නේ අවුරුදු 18කට පස්‌සේ. වනය ගොඩාක්‌ වෙනස්‌ වෙලා. වල් වැදිලා.... මම ඔවුන්ට පොරොන්දු වුණා, හරියට ම අවුරුදු 18කට පස්‌සේ මම මෙහේ එනවා කියලා. සමහර විට මම එනකල් එයාලා මඟ බලන් ඇති." වනයට අවතීර්ණ වුණු ඩේවිඩ් කටහඩ අවදි කළේ ය. ඔහු කතා කළේ සංවේදීව බව ජොෂුවාට අවබෝධ විය.

"කවුද?" ජොෂුවා සෙමින් විමසී ය.

ජොෂුවාට පිළිතුරු නො ලැබිණි. දෙදෙනා නිහඩ ව තව පැයක්‌ පමණ වනයට ගමන් කළෝ ය. වනය මධ්‍යයේ නැවතුණු දෙදෙනා ගෙන් ඩේවිඩ් සිය පුතු වෙත හැරෙමින්, "ජොෂුවා, ඔයා මෙතැන් පටන් අත්‍යවශ්‍ය දෙයකට ඇරෙන්න ප්‍රශ්න අහන්න එපා. මාව විශ්වාස කරලා මගේ පස්‌සෙන් ම එන්න. මම ඔයාට අනතුරක්‌ වෙන්න ඉඩ තියන්නේ නැහැ."

ඔහු ගේ පියා ගේ දැස්‌ කඳුළින් තෙත් ව තිබූ බව ඔහු නිරීක්‌ෂණය කළේ ය. එය එතරම් තැකීමක්‌ නො කළ ජොෂුවා, "මම එහෙම කොන්දේසිවලට යටත් වෙන්න කැමති නැහැ" යෑයි මුරණ්‌ඩු ලෙස පිළිතුරු දුනි.

ඩේවිඩ්, කොළ රොඩුවලින් වැසුණු, එක ළඟ පිහිටි බොරු වළවල් දෙකක්‌ අසල නැවතිණි. "මේ තියන්නේ උමං මාර්ග දෙකක විවර. මම මේකෙන් නො පෙනී ගියා ම තත්පර දහයකට විතර පස්‌සේ ඔයා ඔය උමං විවරයෙන් එන්න. ඔයා ඕක උඩ හිටගත්තම, නිකම් ම ඇතුළට ලිස්‌සලා යා වි. අපි ඇතුළෙ දී හමු වෙමු." එසේ පැවසූ ඩේවිඩ්, බොරු වළ උඩ පය තැබූ සැණින් ඇතුළට කි බැස නො පෙනී ගියේ ය.

සැණින් ඩේවිඩ් නො පෙනී ගිය නිසා, ජොෂුවාට කිසිවක්‌ ඇසීමට ද අවස්‌ථාවක්‌ නො විණි. ජොෂුවාට සිය පියා ගේ හැසිරීම ගැන ඇති වූයේ කෝපයකි.

"මම යන්නේ නැහැ. තාත්තාට ඕනේ නම් මාව උඩට ඇවිල්ලා ගෙනියපුදෙන්." ජොෂුවා තමාට ම මුමුණා ගත්තේ ය. ඔහු සිය පියා එන තෙක්‌ පොළොව මතුපිටට වී සිටින බවට ඉටා ගත්තේ ය. ඔහු බිම වූ කොළ රොඩු පීරා, වාඩි වීමට ස්‌ථානයක්‌ සකසාගත්තේ ය. ඔහු වාඩි වී තත්පර කිහිපයක්‌ ගත වෙත් ම, ඔහුට ඉදිරියෙන් පඳුරු අතරින් නයි පැටියෙක්‌ විසි වී ආවේ ය. එය කවරකු හෝ විසින් තමන් වෙත ප්‍රක්‌ෂේපණය කරන්නට ඇතැයි, ඔහුට ක්‌ෂණයෙන් වැටහිණි. තමන් අසල පතිත වූ නයි පැටියා දුටු ජොෂුවා, මහත් සේ බිය වී නැඟිට දිව යන්නට උත්සාහ කළේ ය. එහෙත්, ඔහු බොරු වළකට වැටී, උමං මාර්ගයක්‌ ඔස්‌සේ ඇතුළට රූටා ගියේ ය. ජොෂුවා දිගු වේලාවක්‌ රූටා අවුත්, "තඩ්" යෑයි ශබ්දයක්‌ නඟමින් යම් පෘෂ්ඨයක්‌ මතට වැටිණි.

ඔහු මුලින් ම දුටුවේ සිය පියා ය. ඩේවිඩ් ඔහුට අත දී ඔහුව නැඟිට්‌ටුවේ ය. දෙපයින් සිටගත් ජොෂුවා සිය වස්‌ත්‍රයේ තැවරුණු කොළරොඩු පිස දමන ගමන් ඉහළ බැලුවේ, නිතර තරු ගණින පුරුද්දට ය. එහෙත් අහසක්‌ වෙනුවට එහි විශාල සිදුරු හතරක්‌ සහිත වහලයක්‌ විය. "මේ කොහෙද මේ?" ඔහු තමා ගෙන් ම අසාගත්තේ ය. අඩියක්‌ පස්‌සට ගිය ජොෂුවා, තමන් ගේ දකුණු පසට හිස හැරවූ විට, ඒ අඳුරු ගුහාවේ බිම වාඩි වී, භාවනායෝගී ව සිටි කුඩා පිග්මි මිනිසුන් රාශියක්‌ දුටුවේ ය. ඔහු පුදුමයෙන් මුව අයාගනිමින් පිටුපසට හැරිණි. ජොෂුවා ඊළඟට දුටු දෙයින් ඔහුව පුදුමයෙන් ගල් ගැසිණි. ඔහු ගේ පියා ඔහුව දැඩිව අල්ලාගනු ඔහුට දැනිණි. ඔවුනට තරමක්‌ ඉදිරියෙහි වූ ලී මැස්‌සක්‌ මත සුදු මිසිසකු ගේ නිසල දේහයකි. එහෙත් ඒ නිසල දේහය ජොෂුවාට සැම අතින් ම සමාන වියෘ ජොෂුවා මුව අයාගෙන දේහයේ මුහුණ දෙසට එබිණි. එහෙත් ඔහු ගේ මුහුණ ඉතා ප්‍රසන්න විය. ජොෂුවා ගේ පියා ඒ මුහුණ ළඟ දණින් වැටී, ඉකිබිඳ හඩන්නට විය.

"අනේ මගේ පුතා, මට සමාවෙන්න... මට සමාවෙන්න...." සිය පියා අසල බිමට පහත් වූ ජොෂුවා, "මේ ඔබේ පුතා?... එතකොට මම කවුද?" යෑයි විමසුවේ වික්‌ෂිප්ත ස්‌වරයකිනි. ඔහු ගේ පියා දිගට ම වැළපෙන්නට විය. ජොෂුවා ඔහු ගේ පිට අතගාමින් ඔහුව සනසන්නට උත්සාහ කරන අතරතුර දේහය නිරීක්‌ෂණය කරන්නට විය. දේහයේ ඉන වටා වු දුඹුරු රෙදි කඩක්‌ හැරෙන්නට වෙන කිසි වස්‌ත්‍රයක්‌ නො වී ය. දේහයේ කලව ප්‍රදේශයේ රතු පැහැ ලප දෙකක්‌ විය. එය නම් තුවාලයක සලකුණක්‌ විය. දේහයේ පපු ප්‍රදේශයේ වූ රෝම ව්‍යාප්තිය ජොෂුවා ගේ පපු ප්‍රදේශයේ වූ රෝම ව්‍යාප්තියට සමාන විය. ජොෂුවා දේහයේ අතක්‌ සෙමින් ස්‌පර්ශ කළේ ය. ඔහු අතැඟිලි ද අල්ලා බැලුවේ ය. මොහොතකට ජොෂුවාට තමන් ගේ ම අතක්‌ ස්‌පර්ශ කරන්නාක්‌ මෙන් හැඟීමක්‌ දැනිණි. දේහයේ තවම ප්‍රාණය රැඳී ඇතැයි ඔහුට නිකමට මෙන් සැක පහළ විය. තවදුරටත් අත ස්‌පර්ශ කරමින් ජොෂුවා, සිය පියා දෙස හැරී, "මේ කවුද තාත්තා? ඇයි මට මාව ම ස්‌පර්ශ කරනවා වගේ හැඟීමක්‌ දැනෙන්නේ? මෙයා මැරිලා වුණාට තවම ඇඟ උණුසුම් නේ"

මේ අතර, ඩේවිඩ් සහ ජොෂුවා වටා පිග්මි මිනිස්‌සු රොක්‌ වන්නට වූ හ. ඔවුහු පිය පුතු දෙපළට වැඳ නමස්‌කාර කළ හ. මින් එක්‌ පිග්මි මිනිසෙක්‌ ඩේවිඩ් වෙතට අවුත් රහසින් ඔහුට යමක්‌ කී ය. එකිණෙහි ම ඩේවිඩ් ගේ මුහුණෙහි වූ දුක තුනී විය. ඩේවිඩ් වහා ගෝත්‍ර බසින් පිග්මි ජනතාවට ජොෂුවාව හඳුන්වා දුනි. ජොෂුවාට ඒ වගක්‌ නො තේරිණි. ඔවුහු සියල්ලෝ ම නැවත වාරයක්‌ ජොෂුවාට බිම දිගා වී වැඳ නමස්‌කාර කළ හ.

"මම දෙවියෙක්‌ ද?" ජොෂුවා සිය පියා ගෙන් උපහාසත්මක ව විමසී ය.

"මෙතැනට විතරයි." ඩේවිඩ් වහා පැවසී ය. "වටපිට හොඳට බලාගන්න. අපි ආපහු එන්නේ නැහැ මෙතැනට. අපි එළියට ගියාම මම ඔයාට මේ හැම දේ ම විස්‌තර කරන්නම්."

නිසල දේහය ජොෂුවා ගේ සිතෙහි හොල්මන් කරන්නට විය. පිග්මි මිනිසා ඔවුනට මඟ පෙන්වීමට පටන්ගත්තේ ය. ජොෂුවා වටපිට හොඳින් නිරීක්‌ෂණය කළේ ය. නිසල දේහයට ඉහළින් යෝධ කුහුඹු ප්‍රතිමාවක්‌ විය. ඒ අනුව, මෙය යම් බිලි පූජාවක්‌ විය හැකි බව ඔහු තේරුම්ගත්තේ ය. සිහසුන මත සිටි ප්‍රභූ පිග්මි කාන්තාව ඔහු ගේ ඇස ගැටිණි. ඇය වර්ණවත් කබාවලින් සැරසී සිටියා ය. ඔවුන් සිටි පෙදෙසේ, වහළත්, පොළොවත් අතර උස අඩි 8ක්‌ පමණ විය. බිත්ති තැනින් තැන තිබූ හුළු අතුවලින් අලෝකවත් වී තිබිණි. ඒවායෙන් සුදු ආලෝකය නිකුත් විය. ඔවුහු විශාල සහ සංකීර්ණ උමං පද්ධතියක්‌ තුළින් ගමන් ඇරඹූ හ.



මෙය බැලූ බැල්මට යෝධ කුහුඹු ගුලක්‌ වැනි යෑයි ජොෂුවාට සිතිණි. උමං මාර්ගයේ බිත්තියෙහි කුඩා කුටීර තුළ ආහාර වර්ග තැන්පත් කර තිබිණි. ඉන් සමහරක්‌ කුටීරවල කොළ වර්ග වූ අතර, සමහරක උරගයන්, උභය ජීවීන්, කෘමීන්, කුඩා ක්‌ෂීරපායින් ආදී විවිධ මාදිලිවල කල් තබාගත් ආහාර විය. එම උමං මාර්ග ඇතුළත උෂ්ණත්වය කාමර උෂ්ණත්වයේ විය. වාතය හොඳින් සංසරණය විය. ඔවුන් තවත් ඉදිරියට යන විට, එක්‌ උමං බිත්තියකින්, තරමක්‌ උස්‌ වූ ස්‌ථාන තුනක වූ විවර තුළින්, ශාක කඳක්‌ හාරා සෑදුණු බට තුනකින් උමඟ තුළට ජලය ගලන්නට විය. ඒ ජලය පහත් වේදිකාවක්‌ මතට වැටී, ශාක කඳන් හාරා සෑදූ කාණුවක්‌ තුළට ඇතුළු වී බැස ගියේ ය. උමං තුළ, හුළු අතුවලින් සැපයූ ආලෝකයට අමතර ව ස්‌වාභාවික ආලෝකය ද විය. ඒ උමං මාර්ගවල වහලේ තැනින් තැන, ශාක රෙසින මගින් සාදන ලද පැතලි තැටි තැන්පත් කර තිබූ අතර, ඒ තුළින් ස්‌වාභාවික ආලෝකය ඇතුළට ගලා ආවේ ය. ඔවුහු ඇතුළත කිලෝමීටරයක්‌ පමණ ඇවිද, අවසානයේ දී උමඟක කොනකට පැමිණියෝ ය. ජොෂුවා උමං පද්ධතිය නිශ්ශබ්ද ව නිරීක්‌ෂණය කළ ද, ඔහු ගේ පියා උමඟ තුළ වූ මුළු වේලාවේ ම ඔවුනට මඟ පෙන්වූ ගෝත්‍රිකයා සමඟ කථා බහේ යෙදිණි.

උමඟ කෙළවර විවර වූයේ කඳු ගැටයක්‌ පාමුල වූ ගුහාවකට ය. ගුහාවට ඉහළින් කුඩා දිය ඇල්ලක්‌ කඩා හැළෙන ශබ්දයක්‌ ඇසිණි. උමඟින් එළියට පැමිණි ඩේවිඩ් සහ ජොෂුවාට සමු දුන් පිග්මි ගෝත්‍රිකයා වහා ඇතුළට දිව ගියේ ය.

ඩේවිඩ් විඩාපත් ව ජොෂුවා දෙස බලා "මට තේරෙනවා ඔයාට ප්‍රශ්න මිලියනයක්‌ අහන්න තියෙනවා කියලා. මෙහෙන් එන්න," යෑයි කියමින් ඔහුව මඳක්‌ එහායින් වූ ගසක්‌ පාමුලට කැඳවාගෙන ගියේ ය. ඔවුහු ගමන් මලු ලිහා වාඩි වූ හ. ඩේවිඩ් දිගු සුසුමක්‌ හෙළා කෙළින් ම කථාව ඇරඹී ය.

(තවත් කොටසක්‌ ලබන සතියේ)

නිමාෂි ප්‍රනාන්දු