logo3.gif (702 bytes)

HOME


ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 16

අප සාකච්ඡා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාවෙන් සහ දර්ශනයෙන් ලබාගත හැකි කරුණු ය. ජීවිතයේ අරුත පිළිබඳ අප ගේ මතවාදය සමඟ එකඟ වන හෝ නො වන කරුණු විද්‍යාවේ හෝ දර්ශනයේ ඇත්නම් ඒවා සාකච්ඡා කිරීම අප ගේ අදහස වී ඇත. අප ගේ මතවාදය දීර්ඝ ලෙස පහදා දී ඇත. කෙටියෙන් කියනවා නම් ජීවිතයේ අරුත විශ්වයට සේවයක්‌ කිරීම ය. එම සේවය වනාහි DNA, RNA, ප්‍රොaටීන නිෂ්පාදනය කිරීම ය. ඒ සඳහා අප ගේ ජීවිතය නිර්මාණය වී ඇත. මේ මතවාදය මා ගේ අදහසක්‌ මිස බටහිරෙන් හෝ නැෙගනහිරෙන් හෝ කොපි කරගත් එකක්‌ නො වේ. එය බුදුදහමට පටහැනි නො වන්නේ ය. බටහිර මතවාද ඔවුන් ගේ දර්ශනය මත පදනම් වී ඇත. ඔවුන් ගේ දර්ශනය වන්නේ විශ්වය දෙවියන් විසින් මවනු ලැබ ඇත්තේ මිනිසා ගේ ප්‍රයෝජනය පිණිස ය යන්න ය. ලෝකය, ඉර, හඳ, සතා සිව්පාවා ගහ කොළ මවා ඇත්තේ මිනිසාට සේවය කිරීමට ය. මා පවසා සිටින්නේ ඊට හාත්පසින් විරුද්ධ අදහසකි. මා පවසන්නේ මිනිසා සහ අනෙකුත් ජීවීන් විශ්වයට සේවයක්‌ කරන බව ය. මෙතැන විශ්වය දෙවියකුට සමාන කොට ජීවීන් දෙවියන්ට සේවය කරන බවක්‌ අදහස්‌ වන්නේ නැත. බටහිර දර්ශනයට අනුව මිනිසා සහ දෙවියන් අවසානයේ එකක්‌ බවට පත් වන්නේ ය. ප්‍රමුඛත්වය දී ඇත්තේ මිනිසාට ය. මා ප්‍රමුඛත්වය දී ඇත්තේ විශ්වයට/ස්‌වභාවධර්මයට ය. ඊටත් එහා ගොස්‌ ප්‍රමුඛත්වය දිය හැක්‌කේ ශක්‌තියට ය. ශක්‌තිය දෙවියකු යෑයි උපකල්පනය කළ හැකි ද? එසේ කරන අය සිටිති. ශක්‌තිය වෙනුවට දෙවියන් යන වචනය භාවිත කිරීම ලාමක මෝඩකමකි. බටහිර දර්ශනයේ සහ අනෙකුත් දෙවියන් අදහන දර්ශනවල දෙවියන් පෞද්ගලික දෙවි කෙනෙකි. දෙවියන්ට පුද සත්කාර යාඥා කිරීමෙන් නොයෙකුත් ලාබ ප්‍රයෝජන ලබාගත හැකි බව කියති. ශක්‌තියට යාඥා කිරීමෙන් කිසි ලාබ ප්‍රයෝජනයක්‌ ලබාගත නොහැකි ය. දෙවියන් සැම දෙයක්‌ ම අප ගේ හැඟීම් ඇතුළුව පාලනය කරයි. ශක්‌තිය සැම ක්‍රියාවලියකට ම අවශ්‍ය වන්නේ ය. ශක්‌තිය ද්‍රව්‍ය ද වන්නේ ය. අප විරුද්ධ වන්නේ පෞද්ගලික දෙවියන් (personal god) යන සංකල්පයට ය. ශක්‌තිය දෙවියන් යෑයි යමකු සිතනවා නම් එය අණුවණකමකි.

පසුගිය ලිපියේ ජීව පරිණාමය පිළිබඳව සාකච්ඡා කළෙමු. පරිණාමය ඔප්පු කිරීමට අවශ්‍ය සාක්‌ෂි ගැන සාකච්ඡා කළෙමු. සත්ත්වයන් ජලයේ සිට ගොඩබිමට සංක්‍රමණය කිරීම පිළිබඳ සාකච්ඡාව ආරම්භ කළෙමු. ජීවී පරිණාමය නිසා විශ්වයට/ ස්‌වභාවධර්මයට යම්කිසි සේවයක්‌ සිදු වනවා දැයි සොයා බැලීම අප ගේ අරමුණ ය. ජීවීන් බිහි වූයේ ජලයේ බවට සාක්‌ෂි ඇත. ඒ ගැන පසුව සාකච්ඡා කරමු. ජීවීන් ජලයේ බිහි වී එහි ම පරිණාමයට ද භාජන විය. පරිණාමය නිසා සත්ත්වයන් සහ ශාක විශාල සංඛ්‍යාවක්‌ ජලය තුළ ම බිහි විය. ඒක සෛලීය ජීවීන් ගෙන් පටන්ගෙන ශාකවලින් වෙන් වී සත්ත්වයන් බිහි වී ක්‌ෂිරපායින් දක්‌වා පරිණාමය විය. ශාක ලෙස ද වර්ග බොහෝ සංඛ්‍යාවක්‌ බිහි විය. ඒ සැම දෙයක්‌ ම ජලය තුළ සිදු වූයේ පරිණාමය නිසා ය. ජලයේ සිටි සත්ත්ව සහ ශාක ගොඩබිමට සංක්‍රමණය විය. ගොඩබිම දී තවත් පරිණාමය සිදු විය.

එසේ ජලයේ සිට ගොඩබිමට සංක්‍රමණය වූ සත්වයන් ගෙන් සමහරක්‌ වන්නේ කෘමීන්, පක්‌ෂීන්, උරගයන්, ක්‌ෂිරපායින් සහ ගෝනුස්‌සන්, බෙල්ලන්, හැකරැල්ලන්, පැතAතෑයන්, පණුවන් වන්නේ ය. මේ සත්ත්වයන් ඒ ලෙස සංක්‍රමණය කරන්නට පළමුව ශාක ගොඩබිමට සංක්‍රමණය විය යුතු ව තිබිණි. නැතිනම් සත්ත්වයන්ට අවශ්‍ය කාබන් ලැබෙන්නේ කෙසේ ද? වාතයේ ඇති කාබන්ඩයොක්‌සයිඩ්වලින් කාබන් ලබාගත හැක්‌කේ ශාකවලට පමණි. හිරු එළිය තුළ ඇති ශක්‌තිය ලබාගෙන එය අනෙකුත් ජීවීන්ට ලබා දිය හැක්‌කේ හරිතප්‍රද සහිත ශාකවලට පමණි. මේ ක්‍රියාදාමයන් සම්බන්ධීකරණය වන්නේ කෙසේ ද? කා ගේ යහපතට ද?

ජලයේ සිට ගොඩබිමට සංක්‍රමණය වීම එසේ මෙසේ ක්‍රියාවක්‌ නො වේ. සැම පද්ධතියක්‌ ම පාහේ වෙනස්‌ කරන්නට සිදු වේ. එය එක රැයෙන් සිදු වන දෙයක්‌ නො වේ. අවුරුදු මිලියන ගණනක්‌ ඒ සඳහා ගත වේ. ප්‍රධාන වශයෙන් ශ්වසන පද්ධතිය වෙනස්‌ කළ යුතු ය. ගොඩබිම ගමන් කිරීමට මත්ස්‍යයා ගේ වරල් වෙනුවට පාද සාදාගත යුතු ය. සම නොහොත් චර්මය වෙනස්‌ විය යුතු ය. මේවා වෙනස්‌ වන්නේ ටිකෙන් ටික ය. එම වෙනස්‌ විම් අදියරෙන් අදියරට සිදු වූ අවස්‌ථාවල බිහි වූ සත්ත්වයන් ගේ ෆොසිල හෝ ජීවමාන තැනැත්තා සොයාගෙන ඇත. උදාහරණයක්‌ ලෙස මත්ස්‍යයා ගනිමු. පළමුව මත්ස්‍යයා යනුවෙන් හැඳින්වෙන්නේ කුමන සත්ත්වයකු දැයි පහදාගනිමු. මත්ස්‍යයා ලෙස එක ගොඩකට වෙන් කිරීම කෙසේ කළ යුතු ද? අප ගේ සත්ත්ව විද්‍යා පාඩම් මතක්‌ කරගත හොත් සත්ත්වයන් පහත සඳහන් ලෙස වර්ග කළ හැකි ය.

මත්ස්‍යයන්ට කොඳු ඇට පෙළක්‌ ඇති නිසා සත්ත්ව වංශයේ (phylum) උන් අයත් වන්නේ පෘෂ්ඨවංශික (vertebrates) වංශයට ය. මේ වංශය පහත සඳහන් ලෙස වර්ගවලට බෙදෙන්නේ ය.



1. ක්‌ෂීරපායි (mammal), 2. අස්‌ථික මත්ස්‍ය (Bony fish) (actinopterygii), 3. කාටිලේජ මත්ස්‍ය (Cartilaginous fish), 4. පක්‌ෂි (Birds), 5. උභයජීවී (Amphibia), 6. උරග (Reptiles). ඉහත සඳහන් පරිදි වංශයකට අයත් වන මත්ස්‍ය වර්ග (class) දෙකක්‌ ඇත. එකක්‌ අෂ්ථි සහිත නැතිනම් ඇටසැකිල්ල අස්‌ථිවලින් සමන්විත ඉංග්‍රීසි භාෂාවෙන් bony fish ලෙස හැඳින්වෙන වර්ගය ය. අනෙක කෝමලාෂ්ඨ (cartilage)වලින් සෑදුණු ඇට සැකිල්ල සහිත මත්ස්‍ය වර්ගය ය. පළමුවැනි වර්ගයේ මත්ස්‍යයන් සඳහා උදාහරණ ලෙස බලයා, හාල්මැස්‌සා නම් කළ හැකි ය. දෙවැනි වර්ගය සඳහා උදහරණයක්‌ වන්නේ මෝරා ය. මේ වර්ග දෙක පරිණාම වෘක්‌ෂයේ කොතැනක සිටී ද? ඔවුන් එම වෘක්‌ෂයේ බෙදී ගිය අතු දෙකක සිටින බව කිව හැකි ය. අස්‌ථි සැකිල්ල ඇති මසුන් (bony fish) කෝමලාෂ්ඨ සැකිල්ල සහිත (cartilaginous fish) මසුන්ට වඩා මිනිසාට කිට්‌ටු ය. ඒ දෙදෙනා අතර පරතරය ඉන් එක්‌ අයකු වන අෂ්ථි සැකිල්ල සහිත මත්ස්‍යයා (bony fish) සහ මිනිසා අතර පරතරයට වඩා වැඩි ය.

මේ මත්ස්‍යයන් හැරුණු විට තවත් "මත්ස්‍ය" වර්ග කිහිපයක ෆොසිල සොයාගෙන ඇත. උන් lobefinned fish යනුවෙන් හැඳින්වේ. මේ සත්ත්වයන් lobe–finned fish යනුවෙන් හැඳින්වෙන්නේ උන් ගේ වරල් සාමාන්‍ය මත්ස්‍යයන් ගේ ඇති ray-fin නමැති වරල් මෙන් නො ව සතුන් ගේ පාදවලට සමානකමක්‌ පෙන්නුම් කරන නිසා ය. ඒවායින් මුහුදු පතුලේ හෝ ගල් උඩ ඇවිදින්නට මෙන්ම පිහිනීමට ද පුළුවන. ඇවිදීම සහ පිහිනීම දෙක ම ටික ටික කළ හැකි ය. එකක වත් නිපුණත්වයක්‌ නැත. අතරමැදි සතකු ගේ ලක්‌ෂණයකි මෙය. Lobe–finned fish සත්ත්වයා අනෙක්‌ මත්ස්‍යයන්ට වඩා පරිණාම වෘක්‌ෂයේ මිනිසාට කිට්‌ටු ය. එම සත්ත්වයන් ගෙන් මිනිසා පැවත එනවා යෑයි ඉන් අදහස්‌ වන්නේ නැත. මේ සතූන් වර්ග කළ හැක්‌කේ කෙසේ ද? ඉහත සඳහන් වර්ග කිරීම තුළට අතරමැදියන් ඇතුළු කිරීම උගහට ය.

Lobe–finned fish නමැති සත්ත්වයන් ගෙන් පැවත එන අද ජීවත් වන වර්ග දෙකක්‌ වන්නේ Lungfish සහ Coelacanth ය. මින් Lungfish දැකිය හැක්‌කේ ඇමෙරිකාවේ, අප්‍රිකාවේ සහ ඕස්‌ටේ්‍රලියාවේ ය. Coelacanth දැකිය හැක්‌කේ බටහිර කොදෙව් සාගරයේ සහ ඉන්දුනිසියාවේ ය. Coelacanth වඳ වී යෑයි සිතා වර්ෂ මිලියන 66කට පසු එම සත්ත්වයා දකුණු අප්‍රිකානු මාළු වෙළෙඳසලක තිබිය දී කෞතුකාගාර අධ්‍යක්‌ෂකවරියක විසින් සොයාගන්නා ලදී. ඊට පසු පණපිටින් කිහිප විටක දී එම සතා අල්ලා ගන්නා ලදී. ජීව විද්‍යාඥයන් සිතා සිටියේ මත්ස්‍යයා ගොඩබිමට සංක්‍රමණය වීමේ අතරමැදියා Coelacanth (සීලකැන්ත්) කියා ය. එහෙත් DNA මගින් එසේ නො වන බව සොයාගෙන ඇත. මත්ස්‍යයා ගොඩබිමට සංක්‍රමණය වීමේ දී අතරමැදියා වන්නේ Lungfish බව සොයාගෙන ඇත. මත්ස්‍යයා සහ උභයජීවියා (amphibian) අතර සිටින සත්ත්වයා Lungfish වන්නේ ය. මේ සතාට ශ්වසනය සඳහා පෙනහළු දෙකක්‌ ඇත. ඒවායින් වාතය ආශ්වාස ප්‍රශ්වාස කළ හැකි ය. වෙනත් මත්ස්‍යයන් මෙන් ජලයෙන් ඔක්‌සිජන් ලබාගන්නට අවශ්‍ය නැත. ගොඩබිම ගමන් කිරීමට අවශ්‍ය පරිදි වරල් තුළ අෂ්ථි සැකිල්ලක්‌ වර්ධනය වී ඇත. තවත් බොහෝ වෙනස්‌කම් දකින්නට ඇත. ජලයේ සිට ගොඩබිමට ඒමට ලැහැස්‌ති වන්නේ මේ ලෙසිනි. Lungfish සහ සීලකැන්ත් පරිණාමය පිළිබඳ මතවාදය ඔප්පු කිරීම සඳහා ඉතා වැදගත් සාක්‌ෂි ඉදිරිපත් කරන්නේ ය.

කතාව එතැනින් නවතින්නේ නැත. ඉහත සඳහන් සත්ත්වයන් ගොඩබිමට පැමිණීමෙන් පසු ඔවුන් උභයජීවී (Amphibian) වූයේ ය. ඔවුන් ජලයේ සහ ගොඩබිම යන පරිසර පද්ධති දෙකක ජීවත් වන්නට හැඩගැසී තිබිණි. එහෙත් Lungfish සහ Amphibia අතර කතාව ඉවර වී නැත. උන් අතර සිටි සත්ත්වයන් ගේ ෆොසිල සොයාගෙන ඇත. Ensthenopteron යන මත්ස්‍යයකු වැනි සතා ගේ ෆොසිල 1881 වර්ෂයේ දී කැනඩාවේ දී සොයාගන්නා ලදී. මේ සතා උභයජීවී සත්ත්වයන්ට සමාන ලක්‌ෂණ පෙන්නුම් කළේ ය. උන් ගේ හිස්‌ අෂ්ථි සහ දත් ඒ සඳහා සාක්‌ෂි දරයි. විශේෂයෙන් ම උන් ගේ වරල තුළ තිබූ ඇට සැකිල්ල ගොඩබිම ඇවිදින පෘෂ්ඨවංශික සතුන්ට හා සමාන විය. එහෙත් මේ සතා උභයජීවී සත්ත්වයන්ට වඩා මත්ස්‍යයන්ට සමාන විය. මත්ස්‍යයන්ට වඩා උභයජීවී සත්ත්වයන්ට සමානකම් පෙන්වන ෆොසිල පසුව සොයාගන්නා ලදී. Ichthyostega නමැති සත්ත්ව ෆොසිල 1932 වර්ෂයේ දී ගී්‍රන්ලන්තයෙන් සොයාගන්නා ලදී. ඒ කාලයේ ගී්‍රන්ලන්තය තිබුණේ නිරක්‌ෂ රේඛාවට කිට්‌ටුව ය. මේ සත්ත්වයා මත්ස්‍යයාට වඩා උභයජීවී සත්ත්වයන්ට කිට්‌ටු ය. සැලමැන්ඩර් නැමති උභයජීවී සත්ත්වයාට සමාන ය. ඊට පසු ගී්‍රන්ලන්තයෙන් ම Acanthostega හමු විය. ඌ උභයජීවීන්ට වඩා කිට්‌ටු ය. Panderichthys නැමති ෆොසිලය ද සොයාගැනිණ. ඌ මත්ස්‍යයන්ට කිට්‌ටු ය. උභයජීවී වැනි "මත්ස්‍යයකු" වන Panderichthys සහ මත්ස්‍යයකු වැනි "උභයජීවියකු" වන Acanthostega අතර තවත් සත්ත්වයකු ඇත් ද?

ඉහත සඳහන් ප්‍රශ්නය පහත සඳහන් රූප සටහනින් පැහැදිලි කළ හැකි ය.



එම රූප සටහනේ ඇති කොටුවල ප්‍රමාණයෙන් පෙන්නුම් කරන්නේ සත්ත්වයා ගේ වැඩියෙන් ඇත්තේ මත්ස්‍ය ලක්‌ෂණ ද, නැතිනම් උභයජීවී ලක්‌ෂණ ද, නැතිනම් දෙවර්ගය ම සමානව ද යන්න ය. එහි දැක්‌වෙන අතරමැදියා සිටී දැයි සොයා විද්‍යාඥයෝ ගවේෂණයක යෙදුණෝ ය. කොහේ කියා හොයන්න ද? මුළු ලෝකයේ ම හොයන්න ද? නැත. ඊට වඩා පහසු ක්‍රමයක්‌ ඇත. සොයාගෙන ඇති සත්ත්වයන් සහ ෆොසිල මොන කාල වකවානුවකට අයත් දැයි විකිරණශීලී සමස්‌ථානික (radioctive isotope) කාලනිර්ණය හෝ වෙනත් නවීන ක්‍රමවලින් සොයාගත හැකි ය. එම කාල වකවානු නොයෙකුත් නම්වලින් හැඳින්වේ. එම කාල වකවානුවලට අයත් භු ගර්භයේ ස්‌ථර සහ ඒවා කොතැන තිබේ ද යන්න භුගර්භ විද්‍යාව විසින් සොයාගෙන ඇත. ඒ අනුව ඉහත සඳහන් අතරමැදියා සිටියේ නම් උගේ ෆොසිල ඇත්තේ Devonian කාල වකවානුවට අයත් භුගර්භ ස්‌ථරයක බව නිගමනය කොට කැනඩාවේ ආක්‌ටික්‌ ප්‍රදෙශයේ පිහිටි පර්වත සහිත ප්‍රදේශයක්‌ ගවේෂණය කරන ලදී. පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයයේ කණ්‌ඩායමක්‌ මේ ගවේෂණයට මැදිහත් විය. නීල් ෂුබීන් සහ එඩ්වඩ් ඩේෂ්චර්ලර් (Neil Shubin" Edward Daeschler) නැමති ප්‍රසිද්ධ ජීව විද්‍යාඥවරු ඒ සඳහා සහභාගි වූ හ.

ජීව විද්‍යාවේ එක්‌ චමත්කාර මෙන්ම පුදුමාකාර සොයාගැනීමක්‌ ලෙස හැඳින්විය හැකි දෙයක්‌ එම ගවේෂණයේ දී සිදු විය. ඔවුන් විසින් Tiktaalik roseae නමින් හැඳින්වූ සත්ත්ව ෆොසිලය සොයාගන්නා ලදී. මේ සතා මත්ස්‍යයා සහ උභයජීවියා අතර හරිමැද ස්‌ථානය ගන්නා සත්ත්වයා ය. මින් පෙනී යන්නේ මත්ස්‍යයා එක වර ම උභයජීවියකු නො වූ බව ය. ටිකෙන් ටික වෙනස්‌ වූ බව ය.

දැන් අපට ඉහත සඳහන් රූප සටහන පහත සඳහන් ලෙස සම්පූර්ණ කළ හැකි ය.



මේ සොයාගැනීම විද්‍යාවේ සිදු වුණු අහඹු සොයාගැනීමක්‌ නො වන්නේ ය. සොයා යන දෙය සහ එය තිබෙන තැන පූර්වකථනය කොට එය සොයාගැනීම විද්‍යාවේ ජයග්‍රහණය විදහා දක්‌වන අවස්‌ථාවකි. එයයි මෙතැන ඇති අතිමහත් වූ වැදගත්කම සහ වටිනාකම. මේ දේවල් තේරුම්ගැනීමට ප්‍රාග් ඓතිහාසික කාල වකවානු, භුගර්භයේ ස්‌ථර, සහ ෆොසිල පිළිබඳව දැනුමක්‌ තිබිය යුතු ය. එම නිසා ඒ ගැන කෙටි හැඳින්වීමක්‌ කළ යුතු ය.

අප ගේ පෘථිවියේ වයස අවුරුදු බිලියන 4.6ක්‌ බව ගණන් බලා තිබේ. ක්‌ෂිරපායි වර්ගයේ මුල් ම සත්ත්වයා ගොඩබිම බිහි වූයේ සියවස්‌ මිලියන දෙකකට පෙර ය. මත්ස්‍යයන් පරිණාමය වී ගොඩබිමට පැමිණියේ සියවස්‌ මිලියන 3 1/2කට පෙර ය. මේවා සොයාගෙන ඇත්තේ කෙසේ ද? විශ්වයේ වයස කොපමණ ද? භු ගර්භයේ ඇති පාෂාණ, පර්වත, ෆොසිලවල වයස කීය ද? විකිරණශීලී ස්‌මස්‌ථානික මූලද්‍රව්‍ය මේ සඳහා භාවිත වේ. විකිරණශීලී ස්‌මස්‌ථානික යනු මොනවා ද? ස්‌මස්‌ථානිකය (Isotope) යනු කුමක්‌ දැයි අපි දනිමු. මූලද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටියේ ඇති ප්‍රොaටෝන සංඛ්‍යාව වෙනස්‌ වන්නේ නැත. වෙනස්‌ වූවොත් එය වෙනත් මූලද්‍රව්‍යයක්‌ බවට පත් වේ. එහෙත් න්‍යqට්‍රොaන ගණන වෙනස්‌ වන්නට පුළුවන. එවිට වෙනස්‌ න්‍යqට්‍රොaන සංඛ්‍යාවක්‌ සහිත එක ම මූලද්‍රව්‍ය කිහිපයක්‌ තිබිය හැකි ය. එසේ වෙනස්‌ න්‍යqට්‍රොaන සංඛ්‍යාවක්‌ සහිත එක ම මූලද්‍රව්‍ය සමස්‌ථානික ලෙස හැඳින්වේ. ඒවා ආවර්තිතා වගුවේ එක ම ස්‌ථානය ගන්නා බැවිනි. ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍යවල ස්‌ථානය නිගමනය වන්නේ එAවායේ ස්‌කන්ධ ක්‍රමාංකවලට අනුව ය. එක්‌ එක්‌ මූලද්‍රව්‍යවල තිබිය හැකි සමස්‌ථානික සංඛ්‍යාව වෙනස්‌ වන්නේ ය. උදාහරණයක්‌ ලෙස µaලෝරින්වල සමස්‌ථානික ඇත්තේ එකකි. වෙනත් මූලද්‍රව්‍යවල සමස්‌ථානික මීට වැඩි සංඛ්‍යාවක්‌ තිබිය හැකි ය. කාබන්වල තුනක්‌ ඇත. ඒවා කාබන් - 12, 13, 14 (එවායේ ස්‌කන්ධ ක්‍රමාංක) ලෙස හැඳින්වේ. මේවා සමහරක්‌ ස්‌ථාවර වන්නේ ය. තවත් සමහරක්‌ අස්‌ථාවර ය. අස්‌ථාවර සමස්‌ථානික වෙනත් මූලද්‍රව්‍යයක්‌ බවට ක්‍රමයෙන් පත් වේ. මෙය සිදු වන්නේ න්‍යqට්‍රොaනවල ඇති වන වෙනස්‌කම් නිසා ය. ඒවා ප්‍රොaටෝන බවට හැරෙන්නට ඉඩ ඇත. මෙය විකිරණශීලී කAෂය වීම ලෙස හැඳින්වේ. විකිරණශීලී සමස්‌ථානික මූලද්‍රව්‍ය මේවා වන්නේ ය. මෙය සිදු වුව හොත් මූලද්‍රව්‍යය වෙනත් මූලද්‍රව්‍යයක්‌ බවට පත් වේ. මෙය සිදු වන්නට යන කාලය සොයාගත හැකි ය. එය සිදු වන්නේ මූලද්‍රව්‍යයට අනුව එක්‌තරා වේගයකිනි. යම් ද්‍රව්‍යයක තිබෙන මූලද්‍රව්‍යයක සමස්‌ථානික ප්‍රමාණය සහ එහි මුල් ආරම්භක මූලද්‍රව්‍ය ප්‍රමාණය සොයාගත් විට එම විපර්යාසය සිදු වන වේගය දන්නවා නම් එය සිදු වන්නට ගිය කාලය සොයාගත හැකි ය. උදාහරණයක්‌ ලෙස පොටෑසියම් ගත හැකි ය. පොටෑසියම් - 40 නැමති සමස්‌ථානිකය ආගන් - 40 (argon - 40) මූලද්‍රව්‍යය බවට එක්‌තරා වේගයකින් පත් වේ. ආග්නේය ගල් (igneous rock) නමින් හැඳින්වන පාෂාණවල වයස මේ ක්‍රමය භාවිත කොට සොයාගත හැකි ය. එවැනි ගල් කැබැල්ලක පොටෑසියම් - 40 සහ ආගන් - 40 ඇත්තේ කුමන අනුපාතයකට දැයි සොයාගත් විට ගල් කැබැල්ල ඇති වූයේ මොන කාලයේ දැයි සොයාගත හැකි ය. ආග්නේය ගල් (igneous rock) සෑදී ඇත්තේ ගිනිකඳු තුළ ද්‍රව්‍ය උණු වී එම මිශ්‍ර ද්‍රdවණය සිසිල් වූ විට ඝන බවට පත් වීමෙනි. මේ ක්‍රියාදාමය ගිනිකඳු ආශ්‍රිත ව සිදු වන දෙයකි. එසේ සෑදුණු ආග්නේය ගල් මොන කාල වකවානුවකට අයත් දැයි සොයාගත හැකි ය.
ෆොසිල සෑදීම සිදු වන්නේ ජීවියකු ගේ මළ සිරුර පාෂාණ ස්‌ථරවලට යට වී බොහෝ කාලයක්‌ තිබීම හේතු කොටගෙන ය. ඒවා ආග්නේය ගල් තුළ සොයාගත නොහැකි ය. ඒවා සොයාගත හැක්‌කේ හුණුගල් (limestone) හෝ වැලිගල් (sandstone)වල ය. ඒ ගල් ගිනිකඳුවලින් වෑහෙන ලෝදිය (ක්‌ඩ්) ඝන වීමෙන් සෑදෙන ගල් නො වේ. ඒවා සෑදෙන්නේ මඩ හෝ රොන් මඩ බොහෝ කාලයක්‌ පුරා මුහුදු පතුලේ හෝ වැව් පතුලේ හෝ මෝය පතුලේ හෝ ස්‌ථරයෙන් ස්‌ථරයට එකතු වී ඝන වී ගල් බවට පත් වීමෙනි. ජීවීන් ගේ මළ සිරුරු මේවා තුළ සිර වී බොහෝ කාලයක්‌ පවතී. එහෙත් එම ෆොසිලවල වයස සොයාගන්නට එම හුණුගල් හෝ වැලිගල් භාවිත කළ නොහැකි ය. රොන්මඩවලින් සෑදෙන ගල් තුළ පමණි ෆොසිල සෑදෙන්නේ. ඒවා දිරා නො යා සංරක්‌ෂණය වන්නේ එවිට ය. එසේ නම් මේ ෆොසිලවල වයස කෙසේ දැනගත හැකි ද? මේ ෆොසිල ළඟ හෝ ඒ ගල් තුළ ම හෝ ඒ අවට හෝ තිබෙන ආග්නේය ගල් මේ සඳහා භාවිත කළ හැකි ය. එය සිදු කරන අන්දම ඉදිරි ලිපිවල සාකච්ඡා කරමු. මෙය කෙටි සඳහනක්‌ පමණි. මීළග සතියේ විකිරණශීලී සමස්‌ථානික යොදාගෙන කාලනිර්ණය කිරීම, ෆොසිල සෑදීම සහ ජීවී පරිණාමය දීර්ඝ ලෙස සාකච්ඡා කරමු.

මේ සැම දෙයින් ම, ජීවීන්, ශාක, සත්ත්ව එක එකට සම්බන්ධව, එක එකින් යෑපෙමින් ඉතා ම සංකීර්ණ ජීවී ලෝකයක්‌ සෑදුණේ කා ගේ යහපතට ද යන්න මේ ගැන හදාරන විට හිත තුළ නැෙගන ප්‍රශ්නයයි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc