logo3.gif (702 bytes)

HOME


අමරතුංග මහතා ගේ විශ්වය

ඩී. එස්‌. සි. උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා දැනුම සංස්‌කෘතියට සාපේක්‌ෂ බව පිළිගනියි. ඒ මහතා පසුගිය ජනවාරි 20 වැනි දා විදුසර පුවත්පතෙහි පළ කළ ලිපියෙන් ඒ බව සඳහන් කර ඇත. එහෙත් තමා එසේ කළ බව අමරතුංග මහතා නො දන්නේ යෑයි සිතමි. අපි ඒ මහතා ගේ ලිපියෙහි පළමු ඡේදය මෙසේ උපුටා දක්‌වමු. එහෙත් අප එහි වෙනසක්‌ කර ඇත. ඒ ඡේදය අපි ඡේද දෙකක්‌ ලෙස ඉදිරිපත් කරමු. එසේ කරන්නේ අප කියන කාරණය පාඨකයාට හොඳින් ඒත්තු යැම සඳහා ය.

"අප සාකච්ඡා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳව විද්‍යාවෙන් සහ දර්ශනයෙන් ගත හැකි කරුණු ය. අප ගේ මතවාදය වන්නේ ජීවිතයේ අරුත අප සඳහා සැකසුණු එකක්‌ නො ව විශ්වයේ ක්‍රියාදාමය සඳහා සැකසුණු එකක්‌ විය හැකි බව ය. මා එසේ පවසන්නේ අප ගේ ව්‍යqහය, ඤාණය, හැඟීම්, හැකියාව යන සියල්ල නිර්මාණය වී තිබෙන්නේ DNA, RNA, ප්‍රොaටීන දියුණු කරමින් නිෂ්පාදනය කිරීම පිණිස වන නිසා ය. මෙහි වෙන අරුතක්‌ තිබිය නොහැකි ය. මක්‌ නිසා ද ඒවා නිෂ්පාදනය කොට ඒවා ඉතිරි කොට අප මරණයට පත් වන හෙයිනි. මේ මතවාදය බටහිර මතවාදවලට කිසිසේත් ම සමාන නො වන්නේ ය.

එය මා විසින් නිර්මාණය කෙරෙන මතවාදයකි. බටහිර මතවාද යුදෙව් ක්‍රිස්‌තියානි ධර්මය මත පදනම් වූ මතවාද වන්නේ ය. විශ්වය දෙවියන් විසින් නිර්මාණය කෙරී ඇත්තේ මිනිසා සඳහා බව එම ධර්මය පවසයි. මා ඉදිරිපත් කරන මතවාදය ඊට හාත්පසින් විරුද්ධ ය. මා පවසන්නේ මිනිසා නිර්මාණය වී ඇත්තේ විශ්වය සඳහා බව ය. මා ගේ මතවාදය බුදු දහමට පටහැනි නැත. බුදු දහම පවසන්නේ ජීවිතය අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම බවයි. "මම ය මගේ ය" කියා දෙයක්‌ නැති බවයි. අපට අප ගේ ජීවිත අයිති නැත. මා පවසා ඇත්තේ විශ්වයට සේවය කිරීම පිණිස තෘෂ්ණාව විසින් මිනිසා වහලුන් සේ බැඳ තබනු ලැබ ඇති බවයි. ඉන් මිදෙන අන්දම බුදු දහම පෙන්වා දී ඇත. තෘෂ්ණාවෙන් අපට ඇති එලය කීම? ඉන් එලයක්‌ ලබන්නේ විශ්වය බව මා පෙන්වා දී ඇත. DNA, RNA, ප්‍රොaටීන නිෂ්පාදනය අප විසින් ඉටු කෙරෙන සේවය නම් එම ද්‍රව්‍ය පිළිබඳ වැටහීමක්‌ නොමැති ව මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යා නොහැකි ය".

ඒ විශ්ලේෂණය කිරීමට පළමුව යමක්‌ කිව යුතු ය. මා මේ ලිපි ලියන්නේ කරුණු දෙකක්‌ පෙරදැරි කරගෙන ය. පළමුවෙන් ම මා දකින පරිදි අද අප පාලනය වන්නේ බටහිර දැනුමෙනි. අපේ ව්‍යවස්‌ථාවේ සිට සියලු අණ පනත් බටහිර නීති රීති හා සම්ප්‍රදාය මත සකස්‌ වෙයි. බටහිර දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, මානව විද්‍යාව, සමාජ විද්‍යා ඇතුළු සමාජයීය විද්‍යාවන් අප කෙරෙහි දක්‌වන බලපෑම අති විශාල ය. ඒ දැනුම ගැන අප කෙරෙහි විශ්වාසයක්‌ ඇති කරනු ලැබ ඇත්තේ භෞතික විද්‍යාව වැනි බටහිර විද්‍යා ඔස්‌සේ ය. බටහිර විද්‍යාව වැඩ ගැනීම අතින් සාර්ථක වි ඇති බැවින් ඒ සත්‍ය යෑයි සිතීමට සාමාන්‍ය උගතුන් මෙන් ම ඊනියා විශේෂඥයන් ද පොලඹවනු ලැබ ඇති බව පැහැදිලි ය. එහෙත් යම් සංකල්පයක්‌ හෝ ප්‍රවාදයක්‌ මගින් වැඩගත හැකි ය යන්නෙන් එහි ඊනියා සත්‍යතාවක්‌ ගැන නො කියෑවෙයි. මා යන සංකල්පයෙන් අපි කොතරම් වැඩ ගන්නෙමු ද? මේ වාක්‍යයෙහි ද මා යන්නෙහි බහු වචනය වන අප යන්න උක්‌තය ලෙස යෙදී ඇත. එහෙත් මා යන්aනෙන් තෙරම් වැඩ ගත්ත ද, එය බොරුවක්‌ බව අපි දනිමු. අඩු තරමෙන් බෞද්ධයෝ දනිති. එහෙත් මා යන සංකල්පය නොමැති ව මට සිතන්නට වත්, මේ ලිපිය ලිවීමට වත් නො හැකි ය. මා නැත, එහෙත් මා නම් සංකල්පය නොමැති ව මට කිsසි වැඩක්‌ කරගත නො හැකි ය. මා යන්න වැඩගත හැකි ය යන තේරුමෙන් ඉතා ම සාර්ථක ය. එහෙත් මා යන්න බොරුවකි.

ඉහත සඳහන් කරුණු තේරුම්ගැනීමට ඇතැම් විට අයින්ස්‌ටයින්ට හෝ වෙනත් කීර්තිමක්‌ බටහිර විද්‍යාඥයකුට හෝ නොහැකි වීමට ඉඩ ඇත. ඒ ඔවුන් ගේ චින්තනය යුදෙවු ක්‍රිස්‌තියානි මිස සිංහල බෞද්ධ නො වන නිසා ය. එහි පුදුම වීමට තරම් දෙයක්‌ නැත. එහෙත් මේ කරුණ අවබෝධ කරගැනීමට සිංහල බෞද්ධ උගතුනට ද නොහැකි බව මම අත්දැකීමෙන් දනිමි. එසේ වීමට හේතුවක්‌ ඇත. අපේ උගතුන් ගේ මනස්‌ යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙන් අවුල් කෙරී ඇත. ඔවුහු ගන්ධබ්බයෝ වෙති. ඔවුහු යුqදෙවු ක්‍රිස්‌තියානි චින්තනයට වත් සිංහල බෞද්ධ චින්තනයට වත් අයත් නො වෙති. ඔවුන්ට බටහිර විද්‍යාව ඇතැම් විට ඉගෙනීමට හැකි වුවත් ඒ පදනම් කරගනිමින් සංකල්ප, ප්‍රවාද ආදිය නිර්මාණය කිරීමට නො හැකි ය.

බටහිර විද්‍යාවෙන් අප වැඩගන්නා බව පැහැදිලි ය. එහෙත් එපමණකින් බටහිර විද්‍යාව සත්‍ය යෑයි නිගමනය කිරීමට නො හැකි ය. එසේ නම් බටහිර විද්‍යාවටත් වඩා සාර්ථක වූ මා යන සංකල්පය ද නිවැරදි විය යුතු ය. එහෙත් මා යන්න බොරුවක්‌ බව අපි දනිමු. බටහිර විද්‍යාවෙන් වැඩ ගැනීමට හැකි වුව ද ඒ පට්‌ටපල් බොරුවකි. මා යන්න අඩු ම තරමෙන් අපේ සිත්වලට දැනෙන්aනේ යෑයි කිව හැකි ය. එහෙත් බටහිර විද්‍යාවේ සංකල්ප දැනෙන්නේ කුමකට ද? බටහිර විද්‍යාවේ ප්‍රවාද වියුක්‌ත වන අතර ඒ සංස්‌කරණය කෙරී ඇත්තේ බොරු වූ සංයුක්‌ත නිරීක්‌ෂණ තේරුම්ගැනීම සඳහා ය. බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු යෑයි මා කියන්නේ එබැවිනි.

බටහිර විද්‍යාවේ දේශපාලන ආධිපත්‍ය මගින් අපි පීඩාවට පත් කෙරෙමු. බටහිර විද්‍යාව සත්‍ය යෑයි අපට උගන්වනු ලැබූවත් නැතත් එසේ සිතීමට ප්‍රවණතාවක්‌ ඇත. එමගින් බටහිර සමාජීය විද්‍යාවන් ද සත්‍ය යෑයි සිතීමට අපි පෙලඹෙමු. ඒ අනුව අපි බටහිර ආධිපත්‍යයට යට වෙමු. ඒ ආධිපත්‍යය හේතුවෙන් අද අපට සීමිත නිදහසක්‌ වත් නැත. අප තේරුම්ගත යුතු ව ඇත්තේ නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය යොදාගනිමින් හඳට රොකට්‌ටු යෑවිය හැකි අන්දමින් ඒ සාර්ථක වුවත් ඒ පට්‌ටපල් බොරුවක්‌, බොරු කතන්දරයක්‌ පමණක්‌ බව ය. බටහිර විද්‍යාව ඇතුළු දැනුම පට්‌ටපල් බොරු බව කීමට ද මේ ලිපි ලියෑවෙයි. අපේ නිදහස ප්‍රධාන වශයෙන් සිතීමට ඇති නිදහස විය යුතු ය. පට්‌ටපල් බොරු වූ බටහිර විද්‍යාව මත අප

රැඳිය යුතු නො වේ.

මෙයින් කියෑවෙන්නේ අප බටහිර විද්‍යාව යොදා නො ගත යුතු බව නො වේ. අවශ්‍ය තැන ඒ යොදාගැනීම පමණක්‌ නො ව හැකි නම් හා අවශ්‍යතාවක්‌ ඇත්නම් ඒ සිංහල බෞද්ධ සංස්‌කෘතියට අවශෝෂණය කරගැනීමට ද අප උනන්දු විය යුතු ය. එහෙත් අපේ උගතුන්ට එවැන්නක්‌ කිරීමට නො හැකි ය. සාමාන්‍ය පෙළ පංතියේ සිට, විශේෂයෙන් ම උසස්‌ පෙළ පංතියේ සිට අධ්‍යාපනයෙන් අප මනස්‌ සකස්‌ කෙරෙන්නේ බටහිර දැනුම ඉදිරියේ දණගසා ඒ අනුකරණය කිරීමට ය. උසස්‌ පෙළ පංතිවල ඉගෙනගත් අති මහත් බහුතරය අනුකාරකයෝ පමණක්‌ ම වෙතිෘ

බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු නම් අපට ඇති විකල්පය කුමක්‌ ද? ඒ අන් කිසිවක්‌ නො ව අපේ සම්ප්‍රදාය මත දැනුම නිර්මාණය කිරීම ය. අපේ සම්ප්‍රදායේ දැනුම ප්‍රත්‍යක්‌ෂ විය යුතු ය. ප්‍රත්‍යක්‌ෂ ද බොරු වුවත් අප නිවන් අවබෝධ කරගන්නා තෙක්‌ අපට ප්‍රත්‍යක්‌ෂ යොදාගැනීමට සිදු වෙයි. ප්‍රත්‍යක්‌ෂ එක්‌කෝ පංචෙන්ද්‍රියන් ආශ්‍රයෙන් මනස විසින් සකස්‌ කෙරෙයි. නැත්නම් පංචෙන්ද්‍රියවල සහාය නොමැති ව ම මනස විසින් සකස්‌ කෙරෙයි. එහි දී මනස වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි. භාවනා කිරීම් යෝග අභ්‍යාසවල යෙදීම් ආදියෙන් ඒ කරගත හැකි ය.

ඒ සඳහා මෙරට අද කිසිවක්‌ නො කෙරෙයි. පංති කාමරය හොඳ සංකල්පයක්‌ නො වුවත් අඩු ම තරමෙන් ඒ යොදාගනිමින් දිනකට යම් කාල පරිච්ඡේදයක්‌ භාවනායෝගී ව සිටීමට දරුවන්ට නියම කළ හැකි ය. අපේ ම වූ වෙනත් අධ්‍යාපන ක්‍රමයක්‌ ඇති කරන තෙක්‌ අපට පංති කාමරය හා යුදෙවු ක්‍රිස්‌තියානි පාසල (විශ්වවිද්‍යාලය ද) යොදාගැනීම සිදු වෙයි. මනස දියුණු කළ පැරණි සෘෂීන් මෙන් කළ ආකාරයට දැනුම සකස්‌ කර ගැනීමට අපට තවත් බොහෝ කාලයක්‌ ගත වනු ඇත. එකල එසේ දැනුම ලබාගෙන මෙරට සිංහල වෙදකම මෙන් ම සිංහල ගොවිකම ද සිංහල නයිදෙකම ද (ඉංජිනේරු ශිල්පය, ඊනියා තාක්‌ෂණය ආදිය) වර්ධනය කෙරී ඇති බව පෙනී යයි. එපමණක්‌ නො ව පැරණි වෛදික සමාජය කොපර්නිකස්‌ට බොහෝ කලකට පෙර පොළොව හිරු වටා භ්‍රමණය වන බව මනසින් දැක ඇත. කොපර්නිකස්‌ ඒ බව දැනගෙන ඇත්තේ අරාබීන් මගින් වෛදිකයන් ගෙනි. පොළොව හිරු වටා යන බව දැනගැනීමට කොපර්නිකස්‌ යොදාගත් ඊනියා විධික්‍රමය කුමක්‌ ද?

එහෙත් අපට අප් ම වූ දැනුමක්‌ අපේ ම වූ චින්තනයක්‌ මත පදනම් වෙමින් මනස වර්ධනය කරගනිමින් සංස්‌කරණය කරගැනීමට තව බොහෝ කල් ගත වනු ඇත. අප එතෙක්‌ බටහිර දැනුමේ ආධිපත්‍යයට යට වී සිටිය යුතු ද? කිසිසේත් ම නැත. අපට බටහිරයන් ගේ හැන්දෙන් ම බටහිරයන්ට බෙදිය හැකි ය. ප්‍රවාද සංස්‌කරණය කිරීම අපේ ක්‍රමය නො වුවත් අප තාවකාලික ව වුවත් අපේ ප්‍රවාද සංස්‌කරණය කරගත යුතු ය. එහෙත් ඒ කළ යුත්තේ යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය මත පදනම් වීමෙන් නො ව සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වීමෙනි. මේ ලිපි පෙළ ආරම්භ කෙරුණේ අපේ ප්‍රවාද යනුවෙන් බව වැඩිහිටි පාඨකයනට මතක ඇත. අද ද ලිපි පෙළෙහි එක්‌ අරමුණක්‌ වනුයේ අපේ චින්තනය මත පදනම් වූ අපේ ප්‍රවාද සංස්‌කරණය කරගැනීම ය. බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ය යන්න ද එසේ සකස්‌ කෙරුණු අපේ ප්‍රවාදයකි. ඒ සිංහල බෞද්ධ චින්තනය හා සංස්‌කෘතිය මත පදනම් වෙයි. සංයුක්‌ත සංකල්ප බොරු බව අප කියන්නේ සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වෙමිනි. බොරු වූ සංයුක්‌ත නිරීක්‌ෂණ තේරුම් කිරීම සඳහා ගොතන වියුක්‌ත කතන්දර පට්‌ටපල් බොරු යෑයි අපි කියමු.

අමරතුංග මහතා ඉහත සඳහන් පාඨයෙන් කියන්නේ කුමක්‌ ද? මා දෙවැනි ඡේදයක්‌ ලෙස ඉදිරිපත් කර ඇති අමරතුංග මහතා ගේ ලිපියෙහි කොටසෙහි මේ වාක්‍ය දෙස සිත (මනස) යොමු කරන්න. ඒ සඳහා වර්ධනය වූ මනසක්‌ අවශ්‍ය යෑයි මම නො සිතමි. "බටහිර මතවාද යුදෙව් ක්‍රිස්‌තියානි ධර්මය මත පදනම් වූ මතවාද වන්නේ ය. විශ්වය දෙවියන් විසින් නිර්මාණය කෙරී ඇත්තේ මිනිසා විසින් සඳහා බව එම ධර්මය පවසයි. මා ඉදිරිපත් කරන මතවාදය ඊට හාත්පසින් විරුද්ධ ය. මා පවසන්නේ මිනිසා නිර්මාණය වී ඇත්තේ විශ්aවය සඳහා බව ය. මා ගේ මතවාදය බුදුදහමට පටහැනි නැත." අමරතුංග මහතා ගේ කට බොරු කීවත් දිව බොරු නො කියන බව පැහැදිලි ය. අඩු ම තරමෙන් ඒ පිළිබඳව අපේ කෘතඥතාව ඒ මහතාට හිමි විය යුතු ය.

අමරතුංග මහතාට අනුව බටහිර මතවාද යුදෙවු ක්‍රිස්‌තියානි ධර්මය මත පදනම් වෙයි. දැනුම සංස්‌කෘතියට සාපේක්‌ෂ ය යන්නෙන් අප මූලික ව කියා සිටින්නේ වෙනත් කරුණක්‌ නො වේ. බටහිර මතවාදවලට බටහිර විද්‍යාව ද අයත් වන බව පැහැදිලි ය. අමරතුංග මහතා ම ඒ බව සනාථ කරයි. අමරතුංග මහතා බටහිර විද්‍යාවේ මතවාදයක්‌ ලෙස විශ්වය දෙවියන් විසින් නිර්මාණය කෙරී ඇත්තේ මිනිසා සඳහා යෑයි කියයි. ඒ බව පැහැදිලි ය. යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි විශ්වය මවා (හෝ මැවී හෝ) ඇත්තේ මිනිසා සඳහා ය. අමරතුංග මහතා කියන බටහිර විද්‍යාව පදනම් වන්නේ යුදෙවු ක්‍රිස්‌තියානි ධර්මය මත ය. අප කියන්නේ ඒ යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය මත පදනම් වන බව ය.

ඉන්පසු අමරතුංග මහතා පවසන්නේ තම මතය බුදුදහමට පටහැනි නැති බව ය. එය පටහැනි නැද්ද යන්න සාකච්ඡා කිරීමට අපි පසුවට කල් තබමු. මෙහි වැදගත් කරුණ වන්නේ අමරතුංග මහතා ගේ මතය බුදුදහමට පටහැනි ද නැද්ද යන්න නො වේ. අමරතුංග මහතා ජීවිතයේ ඊනියා අරුත පිළිබඳ තමා ගේ ම වූ මතවාදයක්‌ ඉදිරිපත් කරන බව ද එය බුදුදහමට පටහැනි නැති බව ද කියයි. බටහිර මතවාදය යුදෙවු ක්‍රිස්‌තියානි ධර්මය මත පදනම් වන්නේ යෑයි කියන අමරතුංග මහතා තම මතය බුදුදහමට එකඟ වන්නේ යෑයි කියයි. පටහැනි නො වීම යන්නෙන් සාමාන්‍යයෙන් ඇරිස්‌ටෝටලීය න්‍යාය අනුව නිගමනය වන්නේ එකඟ වන බව ය. අමරතුංග මහතා ගේ මතය බුදුදහමට එකඟ වූවත් නැතත් අමරතුංග මහතා තම මතය බුදුදහමට එකඟ වන්නේ යෑයි පැවසීම වැදගත් ය.

තම මතය බුදුදහමට පටහැනි නො වේ යෑයි කීමෙන් හා බටහිර මතවාදය යුදෙවු ක්‍රිස්‌තියානි ධර්මය මත පදනම් වේ යෑයි කීමෙන් අමරතුංග මහතා කෙළින් නො කිව්ව ද කියන්නේ තම මතය බුදුදහම මත පදනම් වන බව ය. අපට එය වැදගත් ය. අමරතුංග මහතා කියන්නේ විවිධ ධර්ම මත පදනම් වී විවිධ දැනුම් ගොඩ නැෙගන බව ය. අපි දැනුම් කෙලින් ම යුදෙවු ක්‍රිස්‌තියානි ධර්මය හෝ වෙනත් ධර්මයක්‌ හෝ මත පදනම් වන්නේ යෑයි නො කියමු. අප කියා සිටින්නේ දැනුම ඒ ඒ චින්තනය මත පදනම් ව ඒ ඒ සංස්‌කෘතියට සාපේක්‌ෂව නිර්මාණය වන බව ය. අමරතුංග මහතා අපටත් වඩා ඈතට ගොස්‌ දැනුම සෘජුව ම ධර්මය මත පදනම් වන්නේ යෑයි කියයි. මෙතරම් ඉක්‌මනට අමරතුංග මහතා දැනුමෙහි සාපේක්‌ෂ බව පිළිගනී වි යෑයි මම බලාපොරොත්තු නො වූයෙමි.

එහෙත් අමරතුංග මහතා ඉදිරිපත් කරන්නේ ද යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය (ධර්මය නො වේ) මත පදනම් වූ දැනුමක්‌ යෑයි අපි කියමු. ඒ මහතාට අනුව මිනිසා විශ්වයට සේවය කිරීම සඳහා තණ්‌හාව විසින් වහලුන් මෙන් බැඳ දමනු ලැබ ඇත. බටහිර මතවාදයට අනුව විශ්වය මවා ඇත්තේ මිනිසාට සේවය කිරීමට ය. අමරතුංග මහතා ඉදිරිපත් කරන ප්‍රවාදය ඒ මහතා ගේ නව මතයක්‌ නො වේ. එය බුදුදහම මත පදනම් වී නැති අතර ඒ බුදුදහමට විරුද්ධ වෙයි. අපි ඒ පසුව විභාග කරමු. එහෙත් දැනට කීමට ඇත්තේ අමරතුංග මහතා ගේ ජීවිතයේ අරුත මෙන් ම බටහිර මතවාදය ද ඊනියා සේවය කිරීමක්‌ ගැන කියන බව ය.

බටහිර මතවාද කලක්‌ චින්තනය අනුව පමණක්‌ නො ව සංකල්පීය ව හා දැනුම අනුව ද මානව කේන්ද්‍රීය විය. හිරු ඇතුළු ග්‍රහ වස්‌තූ වාස්‌තවික ව නිරපේක්‌ෂ ව පොළොව වටා යන්නේ යෑයි බටහිරයෝ විශ්aවාස කළ හ. එහෙත් වෛදිකයන් ගේ දැනුම අනුව යමින් කොපර්නිකස්‌ හා බටහිරයන් පසුව කියා සිටියේ පොළොව හිරු වටා යන බව ය. එහෙත් ඔවුහු සූර්යයා ප්‍රධාන තැනක ලා සැලකූ හ. ඉන්පසු Sරපථ මන්දාකිණිය විශ්වයේ කේන්ද්‍රය ලෙස සැලකූ හ. අද විශ්වයේ කේන්ද්‍රයක්‌ ගැන ඔවුහු කතා නො කරති. එහෙත් විශ්වය මෙලෙස නිර්මාණය වී ඇතතේ මිනිසාට ඒ නිරීක්‌ෂණය කිරීමට හැකි වන අයුරින් යෑයි ඔවුහු කියති. අඩු තරමෙන් ඔවුන් ගෙන් කොටසක්‌ එසේ කියති. එය අන් කිසිවක්‌ නො ව නැවතත් මානවකෙන්ද්‍රිය අදහසකි. මේ අදහස්‌ බටහිර මිනිසා කේන්ද්‍ර කොට ඇතැයි කීම නිවැරදි ය. බටහිර විද්‍යාවේ මායිම් අවශ්‍යතා මානව කෙන්ද්‍රිය වෙයි. අනෙක්‌ අතට ඊනියා මහා පිපුරුමේ මවන්නකු (දෙවියන් වහන්සේ) නැති වුවත් මැවීමක්‌, පටන්ගැනීමක්‌ ඇත. ඒ මැවුම්කරුවකු නැති ව වුව ද කෙරෙන මැවීමකි. ඊනියා බහු විශ්වවල (multiverse) ද පටන්ගැන්මක්‌ (ආරම්භයක්‌) වක්‍ර ව කියෑවෙයි. බටහිර විද්‍යාවට මැවීමෙන් වෙන් විය නොහැකි ය. අමරතුංග මහතා ගේ මතවාදයෙහි ද ආරම්භයක්‌ ඇත.

නලින් ද සිල්වා