logo3.gif (702 bytes)

HOME


ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 15

අප සාකච්ජා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳව විද්‍යාවෙන් සහ දර්ශනයෙන් ගත හැකි කරුණු සම්බන්ධව ය. ජීවිතයේ අරුත පිළිබඳව අප මතවාදයක්‌ ඉදිරිපත් කොට ඇත. එය බුදු දහමට පටහැනි නො වන, බටහිර දර්ශනයට සම්පූර්ණයෙන් විරුද්ධ, මා ඉදිරිපත් කළ මතවාදයකි. බටහිර දර්ශනය පදනම් වී ඇත්තේ යුදෙව් ක්‍රිස්‌තියානි දර්ශනය මත ය. එම දර්ශනයට අනුව විශ්වය දෙවියන් විසින් මවනු ලැබ ඇත්තේ මිනිසා ගේ ප්‍රයෝජනය පිණිස ය. මා ගේ මතවාදයට අනුව මිනිසා නිර්මාණය වී ඇත්තේ විශ්වයට සේවය කිරීම සඳහා ය. මේ දෙක අතර ඇති පරස්‌පර විරුද්ධත්වය මනාව පැහැදිලි ය. මිනිසා විසින් විශ්වයට සේවය කළ යුතු වන්නේ ඇයි දැයි ප්‍රශ්නයක්‌ නැඟේ. අපට වෙන වැඩක්‌ නැද්ද? කලාව, සාහිත්‍ය, නාට්‍ය වැනි දේ නිර්මාණය කිරීම, අගය කිරීම, රස විඳීම, අප ගේ කාර්ය විය යුතු නො වන්නේ ද? එය නො වේ ද ජීවිතයේ අරුත? කෙනකුට එසේ ඇසිය හැකි ය. ඕනෑ තරම් විනෝද වන්නට, ඕනෑ තරම් දේවල් කළ හැකි ය. ජීවිතයේ අරුත එය බව තවත් කෙනකුට පැවසිය හැකි ය. විද්‍යාත්මක පර්යේෂණ සිදු කොට විශ්වයේ රහස්‌ අනාවරණය කරගැනීම අරමුණ කරගත් අය ජීවිතය සඵල කරගන්නා බව තවත් කෙනකුට කිව හැකි ය.

මේ ප්‍රශ්නවලට මා පෙර ලිපිවලින් පිළිතුරු සපයා ඇත. ජීවිතයේ අරමුණු සහ ජීවිතයේ අරුත අප පටලවාගත යුතු නැත. මේවා ගැන ගැඹුරු ලෙස සාකච්ඡා කොට ඇත. බුදු දහම ජීවිතයේ අරමුණු ගැන පැහැදිලි විස්‌තරයක්‌ සපයා ඇත. ගිහි ජීවිතයේ අරමුණු, පැවිදි ජීවිතයේ අරමුණු, රජුන් ගේ අරමුණු සහ නොයෙකුත් රැකියාවල අරමුණු, බුදු දහම විස්‌තර කොට ඇත. එහෙත් බුදුදහම පවසන්නේ මේ අරමුණු සාක්‌ෂාත් කරගැනීමෙන් පමණක්‌ අපට දුකින් මිදිය නොහැකි බවයි. දුකින් මිදිය හැකි මාර්ගය බුදුන් පෙන්වා දී ඇත. එය නිවන් මාර්ගය වන්නේ ය. නිවන යනු ලෝකෝත්තර ධර්මයක්‌ නො වන්නේ ය. නිවන විසින් මිනිසා ලෝකොත්තර තත්ත්වයකට පත් කෙරෙන්නේ නැත. ලෝකෝත්තර තත්ත්වයන් අප ගේ භාෂාවෙන් පැහැදිලි කළ නොහැකි ය. ලෝකෝත්තර තත්ත්වයන් ගේ තිබිය යුතු ම ගුණාංගය අපට නොපැහැදිලි බව ය. නැති ව ම බැරි ගුණාංගය එය විස්‌තර කිරීමට නොහැකි බව ය. එහෙත් බුදු දහම කාටත් තේරෙන භාෂාවෙන් නිවන කුමක්‌ දැයි පහදා දී ඇත. නිවත ළඟා කරගැනීමට ප්‍රඥාව පුහුණු කරගත යුතු ය. ඒ සඳහා සමාධිය අවශ්‍ය ය. නිවන යනු ලෝභ, දොaෂ, මෝහ යන අකුසල් නැති කර ගැනීම ය. ඒවායින් මිදුණු විට අප ගේ සිතේ දැවෙන ගින්න නිවී යන්නේ ය. නිවන යනුවෙන් බුදු දහමේ හැඳින්වෙන්නේ එය ය. අරිය පරියේෂණ සූත්‍රය මෙය පැහැදිලි කර දී ඇත. එම නිසා නිවන ජීවිතයේ අරමුණ කරගත හැකි ය. එය ජීවිතයේ අරුත විය නොහැකි ය. අප නිර්මාණය වී ඇත්තේ නිවන ලබාගැනීම පිණිස යෑයි කෙනකුට පැවසිය නොහැකි ය. අප නිර්මාණය වී ඇත්තේ විශ්වයට සේවය කිරීම පිණිස ය. තෘෂ්ණාව ඒ සඳහා අප වහලුන් සේ බැඳ තබා ඇත. ඉන් මිදීම නිවන ළඟා කරගැනීම ය. එය අප ගේ ජීවිත කාලයේ දී ළඟා කරගත හැකි ය.

බුදුන් වහන්සේ විශ්වයේ ජීවත් වී නිවන නමැති මානසික තත්ත්වය ප්‍රත්‍යක්‌ෂ කොට පිරිනිවන් පෑ ඓතිභාසික මනුෂ්‍යයෙක්‌ වූ සේක. බුදුන් ලෝකෝත්තර තත්ත්වයට නඟා සිටුවීමට තැත් කළ අය වූයේ මහායානය ප්‍රගුණ කරන්නට තැත් කළ අය ය. මහායානය යනු ප්‍රධාන වශයෙන් හින්දු ආගමේ ආභාෂය බලහත්කාරයෙන් බුදු දහමට ඇතුළු කොට විකෘති කරගත් දහමකි. ඉන් සිදු වූයේ බුදුන් වහන්සේ විෂ්ණු දෙවියන් ගේ අවතාරයක්‌ බවට පත් වීම ය. තව ද අවිද්‍යාව, මිථ්‍යාව බුදු දහම තුළට ඇතුළු වීම ය. බුදුන් විශ්වයේ අරුත පහදා නුදුන් සේක. ඒ ගැන සිතනවාට වඩා ශරීරයට ඇතුළු වී ඇති වස පෙවූ ඊතලයක්‌ වන තෘෂ්ණාව උගුල්ලා ගන්නට ක්‍රියා කරන මෙන් උන්වහන්සේ අවවාද කළ සේක. අප ගේ මතවාදය බුදු දහමට කිසිසේත් පටහැනි නො වන්නේ ය.

පසුගිය ලිපි කිහිපයක ප්‍රොaටීන සම්මිඤ්ජනය පිළිබඳව දීර්ඝ ලෙස ගැඹුරින් සාකච්ඡා කළෙමු. තෘෂ්ණාව පමණක්‌ නො ව අනෙකුත් සියලු කෙළෙස්‌ මිනිසා තුළ අඩු වැඩි ලෙස පවතින්නේ මේ ප්‍රොaටීන සම්මිඤ්ජනය නිසා ය. මිනිසා තුළ මේ ගතිගුණ තිබෙන්නේ DNA, RNA, ප්‍රොaටීන නිගමනය කරන අන්දමට ය. ඒවා වැඩි ද අඩු ද යන්න තීරණය වන්නේ DNA වලිනි. මීට පාරිසරික බලපෑම් ද ක්‍රියාකාරී වේ. ඒ ගතිගුණ ක්‍ෂණිකව ක්‍රියාවට නැෙගන්නේ ප්‍රොaටීන සම්මිඤ්ජනය නිසා ය. පසුගිය ලිපියේ අප සඳහන් කළේ ජීව පරිණාමය සහ එහි යාන්ත්‍රණය වන ස්‌වාභාවික වරණය අප ගේ මතවාදයට කෙතරම් අදාළ දැයි සොයා බැලිය යුතු බව ය. මෙතැන දී අප ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ජීව පරිණාමය ජීවීන් සඳහා සැලසුණු ක්‍රියාදාමයක්‌ ද නැතිනම් විශ්වය සඳහා සැලසුණු එකක්‌ ද යන්න ය. ජීවී පරිණාමය නිසා ජීවීන්ට සිදු වන යහපත කුමක්‌ ද? ජීවීන් ගේ ඥානය, නිර්මාණශීලීත්වය වර්ධනය වීමෙන් ජීවීන්ට යහපතක්‌ සිදු වනවා ද? ජීවීන් ගේ තෘෂ්ණාව, ක්‍රෝධය, මෝහය, වර්ධනය වීමෙන් ජීවීන්ට යහපතක්‌ සිදු වනවා ද?

පළමුව මිනිසා බිහි වූයේ ජීව පරිණාමයේ ප්‍රතිඑලයක්‌ ලෙස දැයි සොයා බලමු. එසේ නො වන්නේ නම් ඥාන වර්ධනය පරිණාමයේ ප්‍රතිඑලයක්‌ නො වන්නේ ය. ජීවී පරිණාමය පාලනය වන්නේ ශක්‌තිය විසින් බව අප පවසා ඇත. ඥාන වර්ධනයේ අරුතක්‌ ඇති දැයි සොයා බැලිය යුතු ය. ජීවිතයේ හෝ පරිණාමයේ හෝ ඥාන වර්ධනයේ හෝ අරුතක්‌ නැතැයි පවසන විද්‍යා දාර්ශනිකයෝ සිටිති. මෙවැනි සංකීර්ණ වූ ජීවිතයක්‌ ගොඩනඟා ඇත්තේ තේරුමක්‌ නැති වැඩකට ද? මෙවැනි සංකීර්ණ වූ විශ්වයක්‌ නිර්මාණය වී ඇත්තේ තේරුමක්‌ නැති වැඩකට ද? එහි අරුත නො දන්නා නිසා එහි අරුතක්‌ නැතැයි පැවසීම කෙතරම් විද්‍යාත්මක ද? අරුතක්‌ නැතැයි කිව හැක්‌කේ අරුතක්‌ නැතැයි යන්න ඔප්පු කළ හැකි නම් පමණි.

ජීවී පරිණාමය සැබැවින් ම සිදු වූයේ යෑයි පැවසීමට ඇති හේතු මොනවා දැයි සොයා බලමු. විද්වත් චාර්ලස්‌ ඩාර්වින් ඔහු ගේ On the Origin of Species (1859) නමැති කෘතියෙන් ජීවි පරිණාමය පිළිබඳ නො පිළිගෙන සිටිය නොහැකි සාක්‌ෂි ඉදිරිපත් කළේ ය. සත්ත්වයන් ඔවුන්ට පෙර විසූ වෙනත් සත්ත්වයන් ගේ ව්‍යqහයේ සහ ක්‍රියාකාරිත්වයේ වෙනස්‌ වීමෙන් ඇති වූ බව ඔහු පෙන්වා දුන්නේ ය. වොලස්‌ නමැති ජීව විද්‍යාඥයා සමග එක්‌ වී ස්‌වාභාවික වරණය මගින් පරිණාමය සිදු වන අන්දම ඔහු පෙන්වා දුන්නේ ය. වර්ෂ 1872 ඩාර්වින් විසින් පළ කෙරුණු The Expression of the Emotions in Man and Animals නමැති කෘතිය මිනිසා ගේ මානසිකවේදයේ වෙනස්‌වීම් පරිණාමය නිසා ඇති වූ සැටි විස්‌තර කරයි. අප ගේ ලිපිවල ද කිහිප විටක මේ ගැන කෙටියෙන් විස්‌තර කර ඇත. සත්ත්වයන් අතර දැකගත හැකි හැඟීම වඩාත් වර්ධනය වී මිනිසා අතර දැකගත හැකි බව අප පෙන්වා දී ඇත.

ජීවී පරිණාමය ඔප්පු කිරීමට අවශ්‍ය සාධක සපයාගෙන ඇත්තේ පහත සඳහන් අධ්‍යයන ක්‍රම භාවිත කිරීමෙනි.

01. ජීවීන් ගේ ව්‍යහුය සංසන්දනාත්මකව සොයා බැලීම, අධ්‍යයනය කිරීම.

02. ජීවීන් ගේ ක්‍රියාකාරී පද්ධති (functional systems) සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීම

03. ජීවීන් ගේ භුගෝලීය ව්‍යාප්තිය අධ්‍යයනය කිරීම.

04. පාෂාණීය ෆොසිල (fossil) කාල නිර්ණය කිරීම සහ ඒවා භූගර්භයේ ස්‌වභාවය සහ ස්‌ථර සමග ඇති සම්බන්ධය අධ්‍යයනය කිරීම.

05. ඉතා නවීන අණුක ජීව විද්‍යා (molecular biology) ක්‍රම මගින් සොයාගෙන ඇති කරුණු. සෛලයක අභ්‍යන්තර කොටස්‌ පරිණාමයත් සමග වෙනස්‌ වූ අන්දම මේ ක්‍රම මගින් සොයා බැලීම.

මේ ක්‍රමවලින් පළමුවැනි ක්‍රම තුන පමණි චාර්ලස්‌ ඩාවින් විද්වතාණන්ට තම මතවාදය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සාධක සොයා ගැනීමට උපයෝගි කරගත හැකි වූයේ. අනෙක්‌ ක්‍රම එකල වර්ධනය වී නො තිබිණි. චාර්ල්ස්‌ ඩාවින් 1831 දී HMS බීගල් නැමැති නෞකාවේ නැගී ජීවීන්, ස්‌වභාවධර්මය සහ භූ විද්‍යාව පිළිබඳ ගවේෂණයක්‌ සඳහා ලෝකය වටේ සංචාරය කළේ ය. ඊට අවුරුදු පහක කාලයක්‌ ගත විය. දකුණු ඇමෙරිකාවට බටහිරින් පිහිටි ගලපගොස්‌ නමැති ගිනි කඳු නිසා ඇති වූ දූපත්වල ගත කළ සති දෙකක කාලය ඩාර්වින්ට අතිශයින් වැදගත් විය. ජීවී පරිණාමය සහ ස්‌වාභාවික වරණය පිළිබඳ ඔහු ගේ සිතේ හටගත් අදහස්‌වලට සාක්‌ෂි සොයාගැනීමට සහ අලුත් අදහස්‌ ඇති කරගැනීමට මේ කාලයේ දී ඔහුට හැකි විය. එක්‌ එක්‌ දූපත්වල විසූ එක ම වර්ගයේ කුරුල්ලන් තුළ දක්‌නට ලැබුණු වෙනස්‌කම් පරිසරයට ගැලපෙන ලෙස සිදු වූ වෙනස්‌කම් යෑයි ඔහු කල්පනා කළේ ය.

ජීවීන් ගේ පිටත ව්‍යqහයේ ඇති මූලික සමානකම්වලින් පෙනී යන්නේ ඒවා නිර්මාණය වීම සඳහා මූලික සැලැස්‌මක්‌ තිබුණු බව ය. ජීවීන් ගේ අභ්‍යන්තර ව්‍යqහය සහ ක්‍රියාකාරී පද්ධති සංසන්දනය කිරීමේ දී මේ බව තවත් දුරට ඔප්පු වන බව පෙනී යයි. විශේෂයෙන් ඇට සැකිලි පද්ධතිය, ශ්වසන පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, ස්‌නායු පද්ධතිය වැනි පද්ධති සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීමෙන් ඒවායේ නිර්මාණයේ මූලික සැලැස්‌මක්‌ ඇති බව පමණක්‌ නො ව ඒවා වෙනස්‌ වන්නේ පරිසරයට ඔබින ලෙස හැඩගැසීමෙන් බව ද පෙනී යයි. මේ අන්දමින් අධ්‍යයනය කිරීමේ දී ජීවීන් නොදියුණු තත්ත්වයේ සිට දියුණු තත්ත්වයකට පරිවර්තනය වීම පරිණාම වෘක්‌ෂයක්‌ ලෙස සකසාගත හැකි ය. එහි අතු ඉති විශාල සංඛ්‍යාවකි. ඒක සෛලිය ජීවීයකු ගේ සිට දියුණු වූ ජීවීන් දක්‌වා එම වෘක්‌ෂය අතු ඉති සහිත ව විහිදී ඇත. පරිණාමය වනාහි ඒක රේය ක්‍රියාදාමයක්‌ නො වේ. ඒක සෛලීය ජීවියකු ගේ සිට මිනිසා දක්‌වා එක රේඛාවක්‌ ලෙස එය ගමන් කළේ නැත. බෙදී ගිය අතු ඉති අග නොයෙකුත් මාදිලියේ ජීවීහු වෙසෙති. මිනිසා ද ඉන් එකෙකි.

පාෂාණීය ෆොසිල සොයාගැනීමෙන් ඩාර්වින් ගේ මතවාදය ඔප්පු කිරීමට පමණක්‌ නො ව එය තව තවත් වැඩි දියුණු කිරීමට ද හැකි විය. පරිණාම වෘක්‌ෂයේ සිටිය යුතු ජීවියකු පණ පිටින් සොයාගැනීම හෝ එම ජීවියා නෂ්ඨ වී ගිය එකකු නම් උගේ ෆොසිල සොයාගැනීම මේ මතවාදයේ උත්කෘෂ්ඨ අවස්‌ථා ලෙස හැඳින්විය හැකි ය. අහම්බෙන් සොයාගැනෙන ජීවියකු හෝ ජීවියකු ගේ ෆොසිලයක්‌ හෝ මෙන් නො ව එම ජීවියා හෝ ෆොසිලය පරිණාමවාදයට අනුව තිබිය යුතු යෑයි අනාවැකි පළ කොට උන් ගවේෂණය කර සොයාගැනීම ඇත්තෙන් ම පුදුමාකාර ක්‍රියාදාමයකි. එපමණක්‌ නො ව ඌ ෆොසිලයක්‌ නම් එම ෆොසිලය තිබිය යුත්තේ කුමන පාෂාණීය භූගර්භයක කුමන ස්‌ථරයක ද යන්න පවා පිළිබඳව ද විද්‍යාඥයන් අනාවැකි පළ කොට ඒවා සත්‍ය ලෙස සොයාගෙන ඇත. මෙතැන දී ඉතා වැදගත් වන්නේ ප්‍රධාන සත්ත්ව වර්ග අතර සිටිය යුතු අතරමැදියා සොයාගැනීමය. උදා( මත්ස්‍ය සහ උභයජීවීන් (amphibian) හෝ උරග සහ පක්‌ෂි. ඇත්තෙන් ම මේ ජීවීන් අතරමැදියන් ලෙස හැඳින්වීම නිවැරදි නො වේ. අඛණ්‌ඩ ක්‍රියාදාමයක අතරමැදියන් තිබිය නොහැකි ය. උන් නො සිටි නිසා උන්ට අතරමැදියන් ලෙස හැඳින්වීම තවමත් භාවිතයේ ඇත. එහෙත් එම ජීවීන් අතරමැදියන් නො වුණ ද උන් සොයාගෙන ඇත. පරිණාම වෘක්‌ෂයේ අතු ශාඛා බෙදෙන විට සන්ධියේ සිටින ජීවියා සොයාගැනීම ඉතා ම වැදගත් ය. ඉන් සිදු වන්නේ පොදු පූර්වජයා (මුතුන්මිත්තා ancestor) සොයාගැනීම ය.

නවීන ජීවීහු වෙනත් නවීන ජීවීන් ගෙන් පැවැත එන්නෝ නො වෙති. එහෙත් ඔවුන් අතර පොදු පූර්වජයකු සිටිය යුතු ය. නවීන ජීවීහු වෙනස්‌ අතු ඉතිවල ගමන් ගත්තෝ වෙති. වඳුරකු මැඩියකු ගෙන් පැවත එනවා යෑයි පැවසිය නොහැකි ය. එහෙත් ඔවුන් දෙදෙනාට පොදු පූර්වජයකු සිටිය හැකි ය. එසේ ම මිනිසා චිම්පන්සියා ගෙන් පැවත එනවා යෑයි පැවසීම සහමුලින් ම වැරදි ය. එහෙත් ඔවුන් දෙදෙනාට ම පොදු පූර්වජයකු සිටිය යුතු ය. එවැනි පූර්වජකයන් ගේ ෆොසිල සොයාගෙන ඇත. වර්ෂ 1891 දී ලන්දේසි ජාතික ඉයුජින් ඩියුබොයිස්‌ (Eugene Dubosis) විසින් ජාවා මානවයා (Java Man) සොයාගන්නා ලදී. ඊට පසු පීකින්ග් මානවයා (Peeking Man) සොයාගන්නා ලදී. මේ වර්ෂ මිලියනයකට අඩු කාලයක දී ජීවත් වූ මිනිසුන් නො වූ අය ය. එහෙත් ජාවා හෝ පීකින්ග් හෝ නො ව සොයා යා යුතු ව තිබුණේ ඩාර්වින් කී පරිදි අප්‍රිකාවට ය. මිනිසා බිහි වූයේ එම මහාද්වීපයේ නිසා ය. මේ 'මිනිසුන්' අපට හුඟක්‌ සමාන ය. එහෙත් අවශ්‍ය ව තිබුණේ ඊට පෙර ජීවත් වූ චිම්පන්සියාට සහ මිනිසාට නෑකම් කිව හැකි පොදු පූර්වජයකු ය.

අණුක සාධකවලට අනුව එම පොදු පූර්වජයා ජීවත් වූයේ අවුරුදු මිලියන හයකට පමණ පෙර ය. අවුරුදු මිලියන තුනකට පමණ පෙර විසු ලුසී (Lucy), ටොන්ග් දරුවා (Taung child) සහ ප්ලෙස්‌ මහත්මිය (Mrs. Ples) යනුවෙන් නම් කර ඇති ෆොසිල අප්‍රිකාවෙන් සොයාගෙන ඇත. මේවා Australopithecus යන ගණයට (genus) අයත් වන්නේ ය. මේ අය තවත් අතරමැදියන් පසු කර අප අයත් Homo ගණයට පරිණාමය විය.

සත්ත්වයා ජලයේ සිට පොළොව මතට පරිණාමය වීම ඉතා ම අසීරු කාර්යයකි. ජලයේ දී භාවිත වන ශ්වසන පද්ධතිය පොළොව මතුපිට භාවිත වන ශ්වසන පද්ධතියට ඉඳුරා ම වෙනස්‌ ය. මත්ස්‍යයා ගේ කරමල වනාහි උගේ ශ්වසන පද්ධතිය වන්නේ ය. මේ පරිණාමය කෙසේ සිදු වන්නට ඇද්ද? මොවුන් අතර අතරමැදියකු ඇති ද? අප අමතක නො කළ යුතු දෙයක්‌ වන්නේ සියලු ජීවීන් ආරම්භ වූයේ ජලයේ බව ය. ඔවුහු ජලයේ සිට පොළොවට සංක්‍රමණය වූ හ. එහෙත් ඉහත සඳහන් මත්ස්‍යයා සහ උභයජීවීන් අතර සිටිය යුතු අතරමැදියා ඇත්තෙන් ම සිටියේ ද? ඔව් සත්තකින් ම එය එසේ විය. සිලකාන්ත් (Coelacanth) සහ lungfish නමැති සත්ත්වයෝ මේ අඩුව පුරවති. සීලකාන්ත් නමැති සත්ත්වයා "පණපිටින්" සොයාගැනුණේ වර්ෂ 1938 දකුණු අප්‍රිකාවේ මාළු අල්ලන මුහුදු යාත්‍රාවකිනි. (මාළු වෙළෙඳ සලකින් කෞතුකාගාර අධ්‍යක්‌ෂවරියක ඒ සතා සොයා ගන්නා විට ඌ මරණයට පත් ව සිටියේ ය). මේ සත්ත්වයා "පණපිටින්" සොයාගන්නට පෙර උගේ ෆොසිල සොයාගෙන තිබිණි. විද්‍යාඥයන් සිතා සිටියේ ඌ ජීවත් නො වන්නේ ය කියා ය. එහෙත් "පණපිටින්" සීලකාන්ත් සොයාගැනිණ. මේ සතුන් ගැන විස්‌තර ඉදිරි ලිපිවල දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

ජීනෝමය හැදෑරීමට පසු විද්‍යාඥයන් එකඟත්වයක්‌ පළ කරන පරිණාම වෘක්‌ෂයක (කණපිට ගැසූ වෘක්‌ෂයක්‌) මිනිsසා ගේ ස්‌ථානය පෙන්නුම් කරන කෙටි රූප සටහනක්‌ පහත දැක්‌වේ.



මෙය සම්පූර්ණ නො වේ. මිනිසා සිටින්නේ කොතැන දැයි පෙන්වීමට මේ රූප සටහන කෙටියෙන් ඉදිරිපත් කොට ඇත.

මේ ගැන ඉදිරි ලිපිවල සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග
DSc