logo3.gif (702 bytes)

HOME


රාමු දෙකක කතාව

ඩී එස්‌ සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ජීවිතයේ අරුත කෙසේ වෙතත් තම ලිපිවල අරුත වත් පැහැදිලි කර දෙන බවක්‌ පෙනෙන්නට නැත. කෙසේ වෙතත් පසුගිය ජනවාරි 20 වැනි දින ඒ මහතා ගේ ලිපිය වෙනුවට කැනඩාවේ ක්‌විබෙක්‌ ප්‍රදේශයේ තාක්‌ෂණික පාසලක උගන්වන බෝධි ධනපාල මහතා මා සමච්චලයට පත් කරමින් ලියූ ලිපියක්‌ පළ විණි. මම ධනපාල මහතාට හෝ ඔහු ගේ ගුරු චන්ද්‍රසේන ධර්මවර්ධන මහතාට හෝ ලිපි මගින් පිළිතුරු නො දෙමි. ඔවුන් දෙදෙනාට මා සමග ලංකාවේ දී ප්‍රසිද්ධ විවාදයකට සහභාගි වන ලෙස ආරාධනය කර ඇති නමුත් ඔවුන් දෙදෙනා ගෙන් එක්‌ අයකු වත් එයට සූදානම් නැති බව පෙනෙයි. අප සැම දාමත් කියන්නේ වාචික විවාදයක දී ප්‍රශ්නයක්‌ අසා එහි දී ම පිළිතුරක්‌ ලබාගත හැකි බැවින් ධනපාල, ධර්මවර්ධන මහතුන් ගේ නොදැනුම ඔවුන්ට ම ප්‍රත්‍යක්‌ෂ කරගැනීමට එවැනි විවාදයක දී හැකි බව ය. අමරතුංග මහතාට ද ඒ කරුණ එලෙස ම ද අදාළ ය. ධනපාල මහතා මා සමග විවාදයකට ලංකාවට ඒමට ලිත ව පොරොන්දු වී පසුව ඒ මඟහැරියේ ය. ඒ පිළිබඳ විස්‌තර කලින් පළ කර ඇති බැවින් නැවත සඳහන් කිරීම අනවශ්‍ය ය.

ධනපාල මහතා එක්‌ වතාවක්‌ නො ව කිහිප වතාවක්‌ ම මා සම්බන්ධයෙන් සිවලා යන්න යොදාගෙන තිබේ. එය සිල්වා යන්න වැරදියට යතුරු ලියනය කිරීමක්‌ යෑයි කිසිසේත් ම විශ්වාස කිරීමට නොහැකි ය. කෙසේ වෙතත් ධනපාල මහතා වැන්නකුට එවැනි අපහාසයක්‌ කිරීමක්‌ මිස වෙනත් දෙයක්‌ කිරීමට නොහැකි බැවින් මම ඒ ගැන කලබල නො වීමි. මම කිසිසේත් ම ඒ ගැන කෝපයට පත් නො වෙමි. පසුගිය 24 වැනි දා ලංකා වේබ් අඩවියේ පළ වූ ධනපාල මහතා ගේ ලිපියකින් ද ඒ මහතාට අප කියන කිසිවක්‌ අවබෝධ නො වන බව පැහැදිලි ය. දැනුම සාපේක්‌ෂ ය යන්න ඒ මහතා වත් අමරතුංග මහතා වත් බොහෝ සිංහල බටහිර උගතුන් වත් තේරුම්ගන්නා කරුණක්‌ නො වේ. එපමණක්‌ නො ව ධනපාල මහතාට අවකාශ කාලයෙහි වක්‍රතාව, භූමිතිකය, පමණක්‌ නො ව අංශුවල ස්‌කන්ධය ගැන ද කිසි ම අවබෝධයක්‌ නැත. ඒ මහතා ප්‍රසිද්ධ වාචික විවාදයකට එළඹෙන්නේ නම් අනවබෝධය ඒ මහතාට ද වටහාගත හැකි වනු ඇත.

බෘලි යන්න මා බෘලි ලෙස ලියන්නේ මගේ ගුරුවරුන් ද එසේ උච්චාරණය කළ බැවිනි. මේ බව මා කිහිප වතාවක්‌ ම කලින් කියා ඇත. බැගට්‌ ගේ පොතට සමච්චල් කරන ධනපාල මහතා මා එහි කරුණු විකෘති කර ඇතැයි කියයි. එහෙත් එසේ විකෘති කෙරී ඇත්තේ කුමක්‌ දැයි නො කියයි. ඒ මහතා එම කරුණු ඒවාට පිළිතුරු දුන් පසු ද නැවත නැවත කියයි. එසේ නැවත නැවත කීම විදුසර පුවත්පතට ද එහි පාඨකයනට ද කරන අගෞරවයකි. බෘලි කිසිසේත් ම කිසි දිනෙක අපට බ්රොයි නො වී ය. ප්‍රංශකාරයන් ගේ නම් ප්‍රංශකාරයන් උච්චාරණය කරන අන්දමට ම උච්චාරණය කිරීමට අපට බල කළ නොහැකි ය. ධනපාල මහතා කැනඩාවේ ජීවත් වන්නේ ප්‍රංශ කතා කරන ක්‌විබෙක්‌ ප්‍රාන්තයෙහි ය. එය ප්‍රංශ කතා කරන්නන්ට කිබෙක්‌ විය හැකි ය. එහෙත් මා ඒ උච්චාරණය කරන්නේ ක්‌විබෙක්‌ කියා ය. මම මගේ ගුරුවරුන් මිතුරන් අනුව යමින් ඒ ඒ නම් උච්චාරණය කරමි. ප්‍රංශ කතා කරන්නන් බෝධි ධනපාල යන්න උච්චාරණය කරන්නේ කෙසේ දැයි මම නො දනිමි. එහෙත් ඉංගිරිසින් බොහෝ දෙනකු පමණක්‌ නො ව ඉංගිරිසින් අනුගමනය කරන ඇතැම් සිංහලයන් ද ගාල්ල යන්න ගෝල් යනුවෙන් ද කෑගල්ල යන්න කේගෝල් යනුවෙන් ද උච්චාරණය කරන බව මම දනිමි. එමෙන් ම එංගලන්තයේ ම යෝක්‌ෂයර් වැනි ප්‍රාන්තවල බස්‌ යන්න බුස්‌ යනුවෙන් ද උච්චාරණය කරනා බව ද දනිමි. ඒ සිල්වා, ඊනියා වැරදීමකින් සිවලා වන ආකාරයට නො ව ඒ ඒ ව්‍යවහාරය අනුව ය.

ව්‍යවහාරය සංස්‌කෘතිය විසින් තීරණය කෙරෙයි. මා බෘලි යෑයි කියන්නේ මා හැදී වැඩුණු සංස්‌කෘතිය අනුව ය. ප්‍රංශ උච්චාරණය දත් අයකු ඒ එසේ නො වේ යෑයි කී පමණින් ඒ උච්චාරණය වෙනස්‌ කිරීමට මට අවශ්‍ය නො වේ. ධර්මවර්ධන යන්න ඇතැම් සිංහලයන් ද උච්චාරණය කරන්නේ ධර්මවෝඩ්න්, ඩාම්වෝඩන් ආදී වශයෙන් බව නගරයේ ජීවත් වන ධර්මවර්ධනවරු ද දනිති. ඒ සිංහලයන් එසේ උච්චාරණය කරන්නේ ඔවුන් ගේ දිවට ධර්මවර්ධන යන්න නුහුරු නිසා නො ව සංස්‌කෘතික ආධිපත්‍යයකට යට වීමෙනි. චන්ද්‍රසිරි යන්න චන්ෙද්‍ර, චන්ද්‍ර, චාන්ඩ් හෝ චෑන්ඩ් හෝ ආදී වශයෙන් ලියන්නේ ද සිංහල උච්චාරණය නුහුරු තම විදේශික මිතුරන් ගේ පහසුව සඳහා ය. අනෙක්‌ නම් සම්බන්ධයෙන් ද අපට එලෙස කිව හැකි ය. ප්‍රංශ ජාතිකයන් සිංහල නම් සිංහල ඌරුවට උච්චාරණය කරන තෙක්‌ මට බෘලි, බෘලි ම වෙයි. ඒ අතර සංස්‌කෘතික ආධිපත්‍යයේ බලපෑම හේතු කොටගෙන සිරිපාලලා සිරිලා වෙති, විමලසේනලා විමල්ලා වෙති. මේ දැනුම සම්බන්ධයෙන් සංස්‌කෘතිය බලපාන ඉතා සරල අවස්‌ථාවක්‌ පමණකි. සාධාරණ වශයෙන් දැනුම සංස්‌කෘතියට සාපේaක්‌ෂ වෙයි. යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙන් මනස්‌ දූෂණය වී ඇති ධනපාල, ධර්මවර්ධන, අමරතුංග ආදී මහත්වරුන්ට ඒ සාපේක්‌ෂතාව නො වැටහෙයි. එහෙත් ඒ මහත්වරුන්ට යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි ද එතරම් ප්‍රගුණත්වයක්‌ ලබාගැනීමට නොහැකි වී ඇත.

අමරතුංග මහතා ගෙන් ලිපියක්‌ නොමැති බැවින් අපට මේ සතියේ ලිපිය ගුරුත්වාකර්ෂණය පට්‌ටපල් බොරුවක්‌ ය යන්න පැහැදිලි කිරීමට යොදාගත හැකි ය. මෙහි දී නැවතත් අවධාරණය කළ යුත්තේ මා අයින්ස්‌ටයින් ගේ සාධාරණ සාපේක්‌ෂතාව ද පට්‌ටපල් බොරුවක්‌ ලෙස සලකන බව ය. නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය පට්‌ටපල් බොරුවක්‌ වන්නේ අයින්ස්‌ටයින් ගේ ප්‍රවාදය සත්‍ය වන නිසා නො වේ. අයින්ස්‌ටයින් ගුරත්වාකර්ෂණයක්‌ නැති බව කීවේ 1915 දී ය. ඔහු තම ප්‍රවාදය ඉදිරිපත් කළේ ම ඒ බව කීමට ය. ඔහු පොල් ගෙඩි වැටෙන්නේ ඇයි ද යන ප්‍රශ්නයට වෙනත් ම පිළිතුරක්‌ දීමෙන් ම ගුරුත්වාකර්ෂණය නැති බව ප්‍රකාශ කෙළේ ය. ඔහු ගේ පිළිතුර වූයේ පොල් ගෙඩි වැටෙන්නේ අවකාශ කාලයේ වක්‍රතාව නිසා බව ය. ඔහු කිසිසේත් ම ඊනියා ගුරුත්වාකර්ෂණ විභවයක්‌ ගැන සඳහන් නො කෙළේ ය. ගුරුත්වාකර්ෂණ විභවය නිව්ටෝනීය භෞතිකයට අයත් වූවක්‌ මිස සාධාරණ සාපේක්‌ෂතාවාදයෙහි කොටසක්‌ නො වේ.

යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි හැදී වැඩුණු අයට ඊනියා යථාර්ථයෙන් මිදීම අපහසු ය. ඒ බව තේරුම්ගැනීම නම් අපහසු නො වේ. එකී සංස්‌කෘතියෙහි දෙවියන් වහන්සේ නම් යථාර්ථය ආත්මීය වශයෙන් හෝ වාස්‌තවික වශයෙන් හෝ ඇත. ඇතැම් සිංහල බෞද්ධ උගතුනට ද මේ ඊනියා යථාර්ථයෙන් මිදීමට නොහැකි වී ඇත. එයට හේතු දෙකක්‌ වෙයි. එකක්‌ නම් යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි බලපෑම ය. අනෙක අශෝක බුදුදහමෙහි ඊනියා යථාර්ථයක්‌, ක්‍ෂණවාදයක්‌ හා ධර්මවාදයක්‌ ගැන සඳහන් වීම ය. මේ යථාර්ථ කතාව හේතුවෙන් නිව්ටන් හා අයින්ස්‌ටයින් අතර ඇති වෙනස දැකීමට ඔවුන්ට නොහැකි ය. අපට ප්‍රත්‍යක්‌ෂ වන්නේ පොල් වැටීම ය. පොල් වැටෙන්නේ ඇයි ද යන්නට නිව්ටන් හා අයින්ස්‌ටයින් පිළිතුරු දෙකක්‌ දුන් හ. නිව්ටන්ට අනුව එයට හේතුව ගුරුත්වාකර්ෂණය ය. එහෙත් ඔහු ගුරුත්වාකර්ෂණය ඇති වන්නේ කෙසේ දැයි නො කීවේ ය. ඔහුට අනුව ගුරුත්වාකර්ෂණය ක්‍ෂණිකව එක්‌ අංශූවක්‌ නිසා අනෙක්‌ අංශුව මත ඇති වෙයි. මෙය අයින්ස්‌ටයින් පසුව ක්‌වොන්ටම් භෞතික විද්‍යාව අරභයා යොදාගත් වචන අනුව හොල්මන් ක්‍රියාවකි.

අයින්ස්‌ටයින් කියා සිටියේ පොල් වැටෙන්නේ අවකාශ කාලයෙහි වක්‍රතාව හේතු කොටගෙන බව ය. මේ වක්‍රතාවට මුල් වූ අවකාශ කාලය ද්‍රව්‍ය හා විකිරණ මගින් නිර්ණය වෙයි. මෙය සම්පූර්ණයෙන් ම නිව්ටන් ගේ සූත්‍රගත කිරීමෙන් සංකල්පීයව වෙනස්‌ වෙයි. ඒ වෙනත් කතාන්දරයත් මිස නිව්ටන් ගේ කතාන්දරය පැහැදිලි කිරීමක්‌ නො වේ. නිව්ටන්ට (ඔහු ගේ අනුගාමිකයන්ට අනුව) නිරපේක්‌ෂ අවකාශයක්‌ වෙයි. මේ අවකාශයේ රාමුව අවස්‌ථිති සමුද්දේශ රාමුවක්‌ (Inertial frame of reference) වෙයි. ඒ රාමුවට සාපේක්‌ෂව ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන රාමු ද අවස්‌ථිති සමුද්දේශ රාමු වෙයි. නිව්ටන් ගේ නියම වලංගු වන්නේ ඒ අවස්‌ථිති රාමුවලට පමණ ය. නිව්ටන්ට අනුව ද්‍රව්‍ය හා විකිරණ ඇත්තේ නිරපේක්‌ෂ අවකාශයෙහි ය. ඔහුට අනුව නිරපේක්‌ෂ අවකාශය දී ඇත. එහි වස්‌තු හා විකිරණ වෙයි. මේ රාමුවෙහි කාලය ද නිරපේක්‌ෂ වන අතර ඒකාකාරීව ගලා යයි. කාලය ඒකාකාරීව ගලා යන්නේ සුපිරි කාලයකට සාපේක්‌ෂව ද ආදී ප්‍රශ්න නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි පැන නො නැගිණි. නිරපේක්‌ෂ අවකාශ රාමුවෙහි හා එයට සාපේක්‌ෂව ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන රාමුවල වස්‌තු (අංශූ) චලනය වන්නේ කෙසේ දැයි නිව්ටන් තම චලිත නියම මගින් විස්‌තර කළේ ය. ඒ රාමුවලට සාපේක්‌ෂව අංශූවකට P බලයක්‌ යෙදුව හොත් එයට P=mf මගින් දෙන ත්වරණයක්‌ ලැබෙයි. මෙහි m යනු අංශූවේ අවස්‌ථිති ස්‌කන්ධය වෙයි. නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි වස්‌තුවක ස්‌කන්ධය යනු වස්‌තුවෙහි ද්‍රව්‍ය ප්‍රමාණය වෙයි. මේ ස්‌කන්ධය ඊනියා ගුරුත්වාකර්ෂණ ස්‌කන්ධයට සමාන වෙයි.

විශේෂ සාපේක්‌ෂතාවාදයෙහි අවස්‌ථිති රාමුවල වෙනසක්‌ සිදු නො වෙයි. අවස්‌ථිති රාමු අවස්‌ථිති රාමු ම වෙයි. එහි දී අවකාශය හා කාලය වෙන වෙන ම නො පවතී. ඒ අවකාශ කාලය ලෙස පවතියි. P=mf යන්න නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි ත්‍රිමාන දෛශිකයක්‌ ලෙස ලියෑවෙන අතර විශේෂ සාපේක්‌ෂතාවාදයෙහි එය ආතානකයක්‌ ලෙස ලියෑවෙයි. එමෙන් m යන්න m
0 ලෙස ලියෑවෙයි. මෙහි m0 යනු නිශ්චලතා (rest) හෙවත් අවිචලක (invariant) ස්‌කන්ධය වෙයි. අංශූවක ස්‌කන්ධය රාමුවෙන් රාමුවට වෙනස්‌ වන අතර, අවිචලක හෙවත් නිශ්චලතා ස්‌කන්ධය අංශූවෙහි නිශ්චලතා රාමුවෙහි එහි ස්‌කන්ධය වෙයි. ඉතා පැහැදිලිව ම නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි හෝ විශේෂ සාපේක්‌ෂතාවාදයෙහි හෝ ස්‌කන්ධය යන්න පැහැදිලි ආකාරයකට අර්ථ නො දැක්‌වෙයි. අංශූවකට ස්‌කන්ධයක්‌ ලැබෙන්නේ හිග්ස්‌ බෝසෝනය ඔස්‌සේ යෑයි ක්‌වොන්ටම් භෞතිකයෙහි ඉගැන්වෙයි. එහෙත් ඒ පිළිබඳව ද ගැටලු වෙයි. අපි පසු දිනෙක මේ ගැටලු සාකච්ඡා කර මේ හුදු කතාන්දර බව පෙන්වමු. යමකුට අවශ්‍ය නම් දැනට ජිම් බැගට්‌ ගේ ෆෙයාර්වෙල් ටූ රීසන් (Farewell to Reason) නම් පොත කියවිය හැකි ය. කෙසේ වෙතත් දැනට අපට අවශ්‍ය වන්නේ විශේෂ සාපේක්‌ෂතාවාදයෙහි ද අවස්‌ථිති සමුද්දේශ රාමු ඇති බවත් එහි ද ද්‍රව්‍ය හා විකිරණ නොමැති ව නිරපේක්‌ෂ අවකාශයක්‌ පවතින බවත් ය.

අප කලින් කියා ඇති පරිදි තරුණ අයින්ස්‌ටයින් වයස විසි පහේ දී විශේෂ සාපේක්‌ෂතාවාදය සූත්‍රගත කළේ ය. ඒ වයස මිස ඔහු භෞතික විද්‍යාව ඉගෙනීමට ගත් කාලයේ නො වේ. ඔහුට මාක්‌ නම් යථානුභූතවාදී (positivist) දාර්ශනිකයා ගේ හා භෞතික විද්‍යාඥයා ගේ අභාසය විය. මාක්‌ අවස්‌ථිති සමුද්දේශ රාමු ප්‍රතික්‌ෂේප කෙළේ ය. ඒ ඔහු ගේ දර්ශනයට අනුකූලව ය. අවස්‌ථිති රාමු දුටුවකු නැත. සාමාන්‍යයෙන් නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි අවස්‌ථිති සමුද්දේශ රාමු ගැන කියන්නේ වස්‌තූන් ගෙන් ඈත පිහිටන රාමු ලෙස ය. තවත් විටෙක ඈත ඈත පිහිටි තාරකාවලට සාපේක්‌ෂව නිසල ව ඇති රාමු අවස්‌ථිති සමුද්දේශ රාමු ලෙස කියෑවෙයි. එහි දී ඈත ඈත පිහිටි තාරකා අවස්‌ථිති රාමුවකට සාපේක්‌ෂව නිශ්චල ව ඇතැයි ද සැලකෙයි. එහෙත් මේ සියලු අර්ථ දැක්‌වීම් ව්‍යාජ බව පෙනී යයි. ඈත පිහිටි තාරකා යනුවෙන් අදහස්‌ කරන්නේ කොපමණ ඈත පිහිටි තාරකා ද? අපට අනෙක්‌ වස්‌තූන් ගෙන් ඉතා ඈතට ගොස්‌ අවස්‌ථිති රාමුවක්‌ අර්ථ දැක්‌විය හැකි ද? මාක්‌ අවස්‌ථිති සමුද්දේශ රාමුවලට විරුද්ධ වූයේ ඒ පංචෙන්ද්‍රිය ගෝචර නො වන බැවිනි. අපට එයට තවත් කරුණක්‌ එකතු කළ හැකි ය. අවස්‌ථිති රාමුවකට නිරීක්‌ෂකයකු ඇතුළු වූ විගස එය තවදුරටත් අවස්‌ථිති සමුද්දේශ රාමුවක්‌ ලෙස නො පවතියි. නිරීක්‌ෂකයකු නැති ව නිරීක්‌ෂණය කරන්නේ කවුද? නිව්ටන් ගේ නිරපේක්‌ෂ අවකාශය දෙවියන් වහන්සේ ගෙන් ගලා එන්නා වූ යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි හා චින්තනයෙහි සංකල්පගත කෙරුණු සංකල්පයකි. මාක්‌ බෞද්ධයකු ලෙස ජීවත් වූ බව අප කලින් කිsයා ඇත.

අයින්ස්‌ටයින් සාධාරණ සාපේක්‌ෂතාවාදය ඉදිරිපත් කරන විට ඔහු ගේ වයස තිස්‌ පහක්‌ විය. ඔහු ඒ වන විටත් භෞතික විද්‍යාව ඉගෙනීමට අවුරුදු විසි පහක්‌ ගත කර නො තිබිණි. මාක්‌ ගේ ආභාසය ලැබූ අයින්ස්‌ටයින්ට අවශ්‍ය වූයේ ඊනියා අවස්‌ථිති රාමුවලට කොටු නො වී ඕනෑ ම රාමුවක වලංගු වන ආකාරයට භෞතික විද්‍යාවේ නියම සූත්‍රගත කිරීමට ය. ඔහු ගේ සූත්‍රගත කිරීමට අනුව ද්‍රව්‍ය හා විකිරණ දෙන ලද අවකාශයක (අවකාශ කාලයක) ගෙනවිත් දමන ලද්දක්‌ නො වී ය. අවකාශ කාලය නිර්ණය කෙරුණේ ද්‍රව්‍ය හා විකිරණ විසිනි. ඒ අනුව ද්‍රව්‍ය හා විකිරණ නොමැති විට අවකාශ කාලයක්‌ තිබිය නොහැකි ය. එහෙත් අයින්ස්‌ටයින් ගේ සූත්‍රගත කිරීම වූ සාධාරණ සාපේක්‌ෂතාවාදයට අනුව ඒ එසේ නො වීය.

අයින්ස්‌ටයින් ගේ සූත්‍රගත කිරීම ඔහු පසුව එකතු කරන ලද ඊනියා විශ්වවේදී නියතය (Cosmological Constant) නොමැති ව
Gμυ = KTμυ ආකාරයෙන් ලිවිය හැකි ය. මෙහි Gμυ අවකාශ කාලයේ gμυ ජ්‍යාමිතිය ඔස්‌සේ අර්ථ දැක්‌වෙන ආතානකයක්‌ ද, Tμυ ශක්‌ති ගම්‍යතා ආතානකය (Energy momentum tensor) ද, K නියතයක්‌ ද වෙයි. ආතානක ගැන අවබෝධයක්‌ නැති වුවත් මෙයින් කියෑවෙන්නේ දකුණු පැත්ත දුන් විට වම් පැත්ත නිර්ණය වන බව ය. වෙනත් අයුරකින් කිව හොත් අයින්ස්‌ටයින්ට අනුව ශක්‌ති ගම්‍යතා ආතානකය දී ඇති විට අවකාශ කාලයේ ජ්‍යාමිතිය ද එමගින් අවකාශ කාලය ද නිර්ණය වෙයි. මෙය නිව්ටෝනීය සූත්‍රගත කිරීමෙන් කෙතරම් වෙනස්‌ ද? නිව්ටෝනීය භෞතිකයෙහි දෙන ලද අවකාශයක ද්‍රව්‍ය හා විකරණ ඇත. අවශ්‍ය නම් ඔබ්බා ඇත. එහෙත් අයින්ස්‌ටයින්ට අනුව ද්‍රව්‍ය හා විකිරණය අනුව, එනම් ශක්‌ති ගම්‍යතා ආතානකය දී ඇති විට, අවකාශ කාලය නිර්ණය වෙයි. එහෙත් මේ මාක්‌ හෝ අයින්ස්‌ටයින් බලාපොරොත්තු වූ සමීකරණය යෑයි කිව නොහැකි ය. එයට හේතුව ඉහත සඳහන් සමීකරණයෙහි දකුණු අත පැත්ත ශූන්‍ය වූ විට ද අවකාශ කාල පැවතිය හැකි වීම ය. වෙනත් වචනවලින් කිව හොත් ද්‍රව්‍ය හා විකිරණ නොමැති විට ද අවකාශ කාල පවතියි. ඒ අතින් බැලූ කල සාධාරණ සාපේක්‌ෂතාවාදය ද අසම්පූර්ණ පද්ධතියකි. එහි සමීකරණවලට මාක්‌ ගේ අදහස්‌වලට අනුගත වන විසඳුමක්‌ ලබාගැනීමට නම් වෙනත් අවශ්‍යතා (මායිම් අවශ්‍යතා) අමුතුවෙන් දැක්‌විය යුතු ය. අයින්ස්‌ටයින් පසු කලෙක ක්‌වොන්ටම් භෞතිකය පිළිගැනීම ප්‍රතික්‌ෂේප කෙළේ ඒ අසම්පූර්ණ පද්ධතියක්‌ යෑයි කියමිනි. එහෙත් ඔහු ගේ සාධාරණ සාපේක්‌ෂතාවාදය ද මාක්‌ ගේ අර්ථයෙන් ගත් කල අසම්පූර්ණ පද්ධතියක්‌ වෙයි.

මෙහි දී පැහැදිලිව කිව යුතු කරුණු කිහිපයක්‌ වෙයි. අයින්ස්‌ටයින්ට අනුව ස්‌කන්ධයක්‌ යනු අවකාශ කාලයෙහි ඇති වක්‍රතාවක්‌ නො වේ. අවකාශ කාලයෙහි වක්‍රතාව ඇති වන්නේ එහි ජ්‍යාමිතිය හේතු කොටගෙන ය. ද්‍රව්‍ය හා විකිරණවලින් ජ්‍යාමිතිය නිර්ණය වෙයි. එහි දී අයින්ස්‌ටයින් ගේ ඉහත සඳහන් සමීකරණයෙහි දකුණු පැත්ත මගින් වම්පැත්ත නිර්ණය වෙයි. දකුණු පැත්තේ ශක්‌ති ගම්‍යතා අතානකය දී ඇති විට වම් පැත්තෙන් කියෑවෙන පරිදි අවකාශ කාලයෙහි ජ්‍යාමිතිය හා එනයින් වක්‍රතාව ලැබෙයි. එනම් ස්‌කන්ධය දී ඇති විට අවකාශ කාලය ලැබෙනු විනා අවකාශ කාලයෙන් ස්‌කන්ධ නිර්ණය වීමක්‌ හෝ පෙනෙන්නට වීමක්‌ හෝ නොමැත. මෙසේ නිර්ණය වූ අවකාශ කාලයක බලයක්‌ ඒ මත ක්‍රියා නො කරන වස්‌තු භූමිතිකවල චලනය වෙයි. පොළොව මගින් නිර්ණය වන අවකාශ කාලයෙහි පොල්ගෙඩි භුමිතිකවල චලනය වෙයි. වැටෙන පොල්ගෙඩිය හත ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ හෝ වෙනත් කිසි ම බලයක්‌ හෝ නැත. භූමිතිකයක්‌ යනු නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි සරල රේඛාවකි. බලයක්‌ ඒ මත ක්‍රියා නො කරන වස්‌තු (අංශූ) නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි ඊනියා අවස්‌ථිති රාමුවල ඒකාකාර ප්‍රවේගයෙන් සරල රේඛාවල චලනය වෙයි. ත්වරණය වන රාමුවල වස්‌තු සරල රේඛාවලට වඩා සාධාරණ වූ භූමිතිකවල චලනය වෙයි. මෙය රාමු දෙකක්‌ පිළිබඳ කතාවකි.

නලින් ද සිල්වා