logo3.gif (702 bytes)

HOME


2015 වසරේ දී ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් නව ජීවී විශේෂ

ගෙවී ගිය 2015 වසර, ලෝකයේ විශාල අවධානයකට ලක්‌ වූ ජීවී විශේෂ රැසක්‌ ම හඳුනාගත් වසරකි. කුකුළකුට සමාන පෙනුමකින් යුත් වඳ වී ගිය ඩයිනොසෝර විශේෂය, මුහුද යට අස්‌වනු කව (Crop circles) සාදන Torquigener albomaculosus නම් මත්ස්‍ය විශේෂය, බිත්තර නො දමා ඉස්‌ගෙඩියන්ව ම බිහි කරන Limnonectes larvaepartues නම් මැඩියන් විශේෂය සහ සතුරන් ගෙන් බේරීමට කරත්ත රෝදයක්‌ මෙන් පෙරළී යැමට අනුවර්තනය වූ Cerbrennus rechenbergi නම් මකුළු විශේෂය මෙසේ ලොව පුරා ම කතා බහට ලක්‌ වූ 2015 වසරේ හඳුනාගත් ජීවී විශේෂ කීපයකි. මෙසේ විද්‍යාඥයන් විසින් වසරක්‌ පාසා නව ජීවී විශේෂ රැසක්‌ ලොව විවිධ ප්‍රදේශවලින් හඳුනාගනු ලබයි.

2015 වසර තුළ මෙරටින් ද නව සත්ත්ව විශේෂ කීපයක්‌ම හඳුනාගන්නා ලදී. අලුතෙන් ශාක විශේෂ හඳුනාගෙන නො තිබුණ ද ලයිකන පිළිබඳව සිදු කරන ලද පර්යේෂණ මඟින් නව ලයිකන විශේෂ ගණනාවක්‌ම හඳුනාගැනීමට විද්‍යාඥයන් සමත් වී ඇත.

මකුළුවන්

පිනුම් මකුළුවන් ලෙස හඳුන්වන Salticidae කුලයේ මකුළුවන් වඩාත් ජනප්‍රිය ව ඇත්තේ දැල් සෑදීමකින් තොර ව පවා කෘමීන් දඩයම් කිරීම සඳහා ඔවුන් සතු විශිෂ්ට හැකියාව හේතුවෙනි. ඔවුන් ගේ ඉතා දියුණු දෘෂ්‍ය සංවේදන හැකියාව මෙතරම් දක්‌ෂ දඩයක්‌කරුවන් බවට පත් වීමට එක්‌ හේතුවකි. මේ කුලයේ එක්‌ ගණයක මකුළුවෝ තවත් සුවිශේෂී අනුවර්තනයක්‌ දක්‌වති. ඒ වෙනත් සතුන් අනුකරණය කිරීමයි. මේ මකුළුවන් කුහුඹු මකුළුවන් ලෙස හඳුන්වන අතර නමින් දැක්‌වෙන ආකාරයට ම මේ මකුළුවෝ කුහුඹුවන් අනුකරණය කරති. මේ මකුළුවන් Myrmarachne නම් ගණයට අයත් වේ. මේ ගණයට අයත් විශේෂ 12ක්‌ මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ තුනක්‌ 2015 වසරේ දී හඳුනාගනු ලැබී ය. Myrmarachne aurantiaca, Myrmarachne dishani සහ Myrmarachne morningside යනු එම විශේෂ තුනයි. මහාචාර්ය සුරේෂ් බෙන්ජමින් විසින් මේ විශේෂ තුන හඳුනාගන්නා ලද අතර මීට අදාළ පර්යේෂණ පත්‍රිකාව 2015 මැයි 12 වැනි දින Journal of Natural History හි පළ විය.

මේ අතරින් Myrmarachne aurantiaca විශේෂය කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ ඇතාගල ප්‍රදේශයෙන් හමු වී ඇති අතර ශරීර ප්‍රමාණය, මෞඛ උපාංගවල ස්‌වභාවය සහ රතු පැහැයට හුරු ශීර්ෂෝරස ප්‍රදේශය නිසා මේ ගණයේ අනෙකුත් විශේෂවලින් පහසුවෙන් වෙන් කර හඳුනාගත හැකි ය. එසේ ම Myrmarachne dishani නම් විශේෂය සිංහරාජයෙන් හමු වී ඇති අතර සිලින්ඩරාකාර අපර කාය මේ විශේෂයේ කැපී පෙනෙන ලක්‌ෂණයකි. දේහය මත ඇති වර්ණ රටා හේතුවෙන් මේ මකුළුවා ඉතා ම දැකුම්කලු ස්‌වභාවයක්‌ උසුලයි. සිංහරාජයේ මෝනිංසයිඩ් ප්‍රදේශයෙන් මුලින් ම හමු වීම නිසා Myrmarachne morningside නමින් හඳුන්වන අනෙක්‌ විශේෂය කළු වර්ණයෙන් යුත් අතර මෞඛ උපාංගවල ස්‌වභාවය අනුව අනෙකුත් සමාන ලක්‌ෂණ ඇති විශේෂයන්ගෙන් වෙන් කර හඳුනාගත හැකි ය.

උභයජීවීන් හා උරගයන්

පසුගිය දශකයක කාලය තුළ ශ්‍රී ලංකාවෙන් නව උභයජීවී විශේෂ රැසක්‌ ම හඳුනාගැනීමට විද්‍යාඥයන් සමත් වී ඇත. 119ක්‌ පමණ වන මෙරටින් වාර්තා වී ඇති සමස්‌ත උභයජීවී විශේෂ සංඛ්‍යාවෙන් විශේෂ 75ක්‌ ම Pseudophilautus නම් ගණයට අයත් වන අතර පඳුරු මැඩියන් යන පොදු නමින් ඔවුන් හඳුන්වනු ලැබේ. මේ ගණයේ තවත් සාමාජිකයකු පසුගිය වසරේ දී හඳුනාගෙන ඇති අතර Pseudophilautus dilmah ලෙස එම විශේෂය නම් කර ඇත. මෙන්ඩිස්‌ වික්‍රමසිංහ මහතා සහ ඉමේෂ් නුවන් බණ්‌ඩාර මහතා ඇතුළු කණ්‌ඩායම විසින් හඳුනාගන්නා ලද මේ විශේෂය පිළිබඳ පර්යේෂණ පත්‍රිකාව Journal of Threatened Taxa හි පළ වී තිබිණි. මෛථුන උපධානය (nuptial pads), ජිහ්වික පිටිකා (lingual papilla) සහ හලාස්‌ථික දත් (vomerine teeth) යන ව්‍යqහ නොමැති වීමත්, පාදයේ සන් කටුවක්‌ (calcar) පැවතීමත් මේ විශේෂයේ කැපී පෙනෙන ලක්‌ෂණයන් වේ. එහෙත් මොවුන් අනෙකුත් විශේෂයන් ගෙන් වෙන් කර හඳුනාගැනීමට වෙනත් ලක්‌ෂණ ගණනාවක්‌ සලකා බැලිය යුතු ය. මේ විශේෂය අතිශය අන්තරායට ලක්‌ වූ විශේෂයක්‌ විය හැකි බව පර්යේෂකයන් ගේ මතයයි.

ශ්‍රී ලංකාවෙන් මේ දක්‌වා කටුසු විශේෂ 21ක්‌ වාර්තා වී ඇත. මින් විශේෂ 19ක්‌ ම මෙරටට ආවේණික ය. මේ ලැයිස්‌තුවේ නවතම සාමාජිකයන් දෙදෙනා 2015 වසරේ දී එක්‌ වූ වැලි කටුසු විශේෂ දෙකකි. ශ්‍රී ලංකාවේ කීර්තිමත් මහාචාර්යවරයකු වන දේවක වීරකෝන් මහතාට ගරු කිරීමක්‌ ලෙස එක්‌ විශේෂයක්‌ Sitana devakai ලෙස නම් කර ඇති අතර අනෙක්‌ විශේෂය මොහොමඩ් බාහිර් නම් පරිසරවේදියාට ගරු කිරීමක්‌ ලෙස Sitana bahiri නමින් නම් කර ඇත. මින් Sitana devakai විශේෂය ශ්‍රී ලංකාවේ උතුරු සහ වයඹ ප්‍රදේශයන් ගෙන් ද, Sitana bahiri විශේෂය දකුණු ප්‍රදේශයේ බුන්දල සිට කුමන දක්‌වා වෙරළබඩ ප්‍රදේශයන් ගෙන් ද හමු වී ඇත. තසුන් අමරසිංහ මහතා ඇතුළු පිරිස මේ නව විශේෂ දෙක හඳුනාගෙන ඇති අතර Zootaxa නම් ජර්නලයේ මේ පිළිබඳ තොරතුරු පළ වී ඇත.

ලයිකන

පාසලේ දී ජීවී විශේෂ දෙකක්‌ අතර සහජීවී සම්බන්ධතා පිළිබඳව හැදෑරීමේ දී උදාහරණයක්‌ ලෙස ලයිකන පිළිබඳව අපි අසා ඇත්තෙමු. එහෙත් අප නිරතුරුව පරිසරයේ දකින ලයිකනවල අතිශය විශාල විවිධත්වයක්‌ ඇති බව ඔබ බොහෝ විට දැන නො සිටින්නට ඇත. ශ්‍රී ලංකාවෙන් පමණක්‌ මේ වන විට ලයිකන විශේෂ දහසකට ආසන්න සංඛ්‍යාවක්‌ හඳුනාගෙන ඇති අතර ආචාර්ය ගෝතමී වීරකෝන් මහත්මිය ඇගේ Fascinating Lichens of Sri Lanka ග්‍රන්ථයේ සඳහන් කරන ආකාරයට මෙරට පවතින සමස්‌ත ලයිකන විශේෂ සංඛ්‍යාව දෙ දහසක්‌ හෝ ඊටත් වඩා වැඩි විය හැකි ය. (විශේෂයක්‌ ලෙස හැඳින්වුව ද ලයිකනයක්‌ යනු තනි ජීවියකු නො වේ, දිලීරයක්‌ සහ ඇල්ගාවක්‌ හෝ නීල හරිත බැක්‌ටීරියාවක්‌ එක්‌ ව සෑදුණු සහ ජීවී සංගමයකි). මෑතකාලීනව ශ්‍රී ලංකාවේ ලයිකන පිළිබඳ පර්යේෂණ කටයුතුවල සිදු වී ඇති සැලකිය යුතු දියුණුව හේතුවෙන් ම මෙතෙක්‌ හඳුනාගෙන නො තිබූ ලයිකන විශේෂ රැසක්‌ ම හඳුනාගැනීමට හැකියාව ලැබී ඇත. පසුගිය වසර තුළ පමණක්‌ අලුතෙන් හඳුනාගත් විශේෂ සංඛ්‍යාව 19කි. මේ විශේෂ සියල්ල ම Graphidaceae කුලයට අයත් වේ. ඉන් විශේෂ 13ක්‌ පිළිබඳ තොරතුරු ගෝතමී වීරකෝන් මහත්මිය සහ විදෙස්‌ පර්යේෂකයන් දෙපලක්‌ වන Robert Lucking සහ Throsten Lumbsch විසින් Phytotaxa ජර්නලයේ පළ කර තිබිණි.

මේ විශේෂ දහ තුන අතරින් Acanthothecis aurantiacodiscus, Chapsa isidiata, Halegrapha masoniana, Ocellularia raveniana, Leucodecton canescens, Rhabdodiscus isidiatus සහ Thalloloma pedespullihk විශේෂ හත මාතලේ දිස්‌ත්‍රික්‌කයෙන් ද, Leucodecton fuscomarginatumiy, Rhabdodiscus parnmenianus නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයෙන් ද, Ocellularia aptrootiana අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ මහඉලුප්පල්ලම ප්‍රදේශයෙන් ද, Ocellularia cloonanii සහ Platythecium sripadakandense රත්නපුර දිස්‌ත්‍රික්‌කයෙන් ද, Ocellularia balangoda හුන්නස්‌ගිරිය ප්‍රදේශයෙන් ද හමු වී තිබේ. මේ විශේෂ දහ තුනට අමතරව තවත් විශේෂ 6ක්‌ ද 2015 වසරේ දී ම හෝටන් තැන්න ජාතික වනෝද්‍යාන භූමියෙන් සොයාගැනීම විශේෂත්වයකි. වසරේ මැද භාගයේ දී Nova Hedwigia ජර්නලයේ පළ වී තිබූ පර්යේෂණ පත්‍රිකාවට අනුව මේ විශේෂ හය Chapsa thambapanni, Fissurina lumbschiana, Fissurina tuberculifera, Graphis mahaeliyensis, Thelotrema heladiwense සහ Topeliopsis subtuberculifera ලෙස නම් කර ඇත. නව විශේෂ හය හඳුනාගැනීම සඳහා ගෝතමී වීරකෝන් මහත්මියට අමතරව සිරිල් විඡේසුන්දර මහතා ඇතුළු තවත් පර්යේෂකයන් කිහිප දෙනකු දායකත්වය සපයා තිබේ.

ඉතා හොඳ පාරිසරික දර්ශකයක්‌ ලෙස සැලකෙන ලයිකන, පරිසර විද්‍යාත්මක වශයෙන් මෙන්ම ආර්ථික සහ වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් ද වැදගත්කමක්‌ උසුලයි. එබැවින් මෙවැනි නව විශේෂ හඳුනාගැනීම සහ ඒවා පිළිබඳ සිදු කෙරෙන පරීක්‌ෂණ, සංරක්‌ෂණ කටයුතු කෙරෙහි මෙන්ම ආර්ථික වශයෙන් සහ වෛද්‍ය යන විද්‍යාත්මක වශයෙන් ද වාසිදායක බලපෑම් ඇති කරයි.

නව ජීවී විශේෂයක්‌ හඳුනාගැනීම ඉතා විශාල දැනුමක්‌ මෙන්ම මහත් පරිශ්‍රමයක්‌ අවශ්‍ය කාර්යයකි. සංරක්‌ෂණ කාර්යයන්හි දී මෙසේ ජීවී විශේෂ හඳුනාගැනීම ඉතා ම වැදගත් ය. නැත හොත් බොහෝ විශේෂ හඳුනාගැනීමටත් ප්‍රථම වඳ වී යැමට ඉඩ ඇත. මෙසේ නව විශේෂ හඳුනාගැනීම මඟින් ඔවුන් ගේ වාසස්‌ථාන හඳුනාගෙන ඒවා සංරක්‌ෂණය කර එම විශේෂ වඳ වී යැමට නො දී ආරක්‌ෂා කරගැනීමට හැකියාව ලැබේ.

තාරක විඡේරත්න

ස්‌තුතිය
ආචාර්ය ගෝතමී වීරකෝන් මහත්මිය
අමිල ප්‍රසන්න සුමනපාල මහතා
තසුන් අමරසිංහ මහතා
ඉමේෂ් නුවන් බණ්‌ඩාර මහතා