logo3.gif (702 bytes)

HOME


ගුරුත්වාකර්ෂණය ගැන අයින්ස්‌ටයින් කිව්වේ කුමක්‌ ද?

පොල් ගෙඩියක්‌ බිමට වැටෙන විට එහි වේගය අනුක්‍රමණයෙන් වැඩි වෙමින් වැටේ.

වේගය වැඩි වීම ත්වරණය (acceleration) යනුවෙන් හැඳින්වා එය F අක්‌ෂරයෙන් දක්‌වමු. ත්වරණයක්‌ ඇත්නම්, එය ඇති කරන P නැමැති බලයක්‌ ඇති බව ද, P=MF යෑයි ද අපි දනිමු. එම P සහ F අතර අනුපාතයට ස්‌කන්ධය හෙවත් ඵ යෑයි කියමු. මෙය නිව්ටන් ගේ දෙවැනි ගම්‍යතා නියමය වේ. මේ නියමය අයින්ස්‌ටයින් ඇතුලු සෑම දෙනකු ම පිළිගෙන ඇත. එහෙයින් පොල් ගෙඩිය පොළොවට වැටෙන විට එහි ත්වරණයට හේතුක බලයක්‌ වන F තිබිය යුතු ය. එයට ගුරුත්වාකර්ෂණ බලය යෑයි කියමු. එහෙයින් ගුරුත්වාකර්ෂණයක්‌ නැතැයි කියන්නෝ එක්‌කෝ නිව්ටන් ගේ දෙවැනි නියමය වැරැදි යෑයි සිතන්නෝ විය යුතු ය. නැතිනම් පොල් ගෙඩිය ත්වරණය නො වී සෙමෙන් සෙමෙන් එක ම වේගයකින් වැටෙන්නේ යයි සිතන්නෝ විය යුතු ය.

"පොල් ගෙඩිය සමග වැටීම" යන නමින් 13-01-2016 විදුසර සගරාවේ ලිපියකින් සිල්වා මහතා "පොල්ගෙඩිය සමග වැටෙන විට" පොල් ගෙඩියෙහි ත්වරණය නො පෙනෙන බව සඳහන් කරයි. සිල්වා මහතා එවැනි පරීක්‌ෂණයක්‌ කරන විට පොල් ගෙඩියේ සිට පොළොව දෙස බැලුවොත් පොළොව තමා දෙසට ත්වරණයක්‌ ඇති ව එන බව දකිනු ඇත. එපමණක්‌ නො ව, ත්වරණයක්‌ නැතැයි සිතාගෙන පොල් ගෙඩිය බදාගෙන සිටියොත් සිල්වා මයා සහ පොල් ගෙඩිය පොළොවේ හැපී මහත් ඇබැද්දියක්‌ වනු ඇත.

එහෙත් 1915 දී ඇල්බට්‌ අයින්ස්‌ටයින් සාධාරණ සාපේක්‌ෂතාවාදය (General Relativity) නැමැත්තක්‌ ඉදිරිපත් කළේ ය. ජී.පී.එස්‌. (GPS) උපකරණයකින් තමන් ඉන්නා තැන ලබාගන්නා විට එම උපකරණය චන්ද්‍රිකා හතරකින් එන සංඥා පාවිච්චි කොට අයින්ස්‌ටයින් ගේ සමීකරණ විසඳ ඉන්නා තැනෙහි පිහිටීම සහ කාලය දක්‌වයි. එහෙයින් අයින්ස්‌ටයින් ගේ වාදය සැණින් සැණට ඔප්පු වේ. එහෙත් මේ වාදය සහ නිව්ටන් ගේ වාදය පවා පට්‌ට පල් බොරු යෑයි ද, අයින්ස්‌ටයින් අනුව කිසි ම අන්දමේ ගුරුත්වාකර්ෂණයක්‌ නැති බව ද වැනි මනස්‌ගාත කියන අය ද සිටී.

නලින් ද සිල්වා මහතා ගුරුත්වාකර්ෂණය ඔහු ගේ පන්චෙන්ද්‍රියන්ට දැනෙන්නේ නැතැයි කියයි. එතුමා කළ යුත්තේ අංගොඩ හන්දියේ සිල්ලර කඩයකින් පිටි ගෝනියක්‌ මිල දී ගෙන එය කර තබාගෙන කිලෝමීටරයක්‌ ගමන් කිරීම ය. එවිටත් ගුරුත්වාකර්ෂණය නො දැනේ නම් අංගොඩින් ම පිහිටක්‌ ලබාගත හැකි ය.

ආචාර්ය නලින් ද සිල්වා 18-11-2015 විදුසර සගරාවට සහ ලංකා වෙබ් පත්‍රයට ලිවූ ලිපියකින් මෙසේ කියයි.

"ඇල්බට්‌ අයින්ස්‌ටයින් විද්වතා ගුරුත්වාකර්ෂණයක්‌ නොමැති බව පවසා මේ අවුරුද්දට වසර සියයක්‌ ගෙවී ගොස්‌ ඇති නමුත් ... බොහෝ බටහිර විද්‍යාඥයන්ට මෙන්ම මෙරට වාසය කරන බොහෝ දෙනාට ද ගුරුත්වාකර්ෂණය ඊනියා යථාර්ථයක්‌ බවට පත් වී ඇත. නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය සහ තවත් දේ අයින්ස්‌ටයින්ට අනුව අවකාශ කාලය වෙයි. අවකාශ කාලයේ වස්‌තු බල (ගුරුත්වාකර්¨ෂණය ද ඇතුළු) රහිත ව චලනය වීම (නිදැල්ලේ චලනය වීම) අවකාශ කාලයක්‌ නොමැති, අවකාශය හා කාලය වෙන වෙන ම පැවති නිව්ටන්ට පෙනී ගියේ ගුරුත්වාකර්ෂණය ලෙස ය. ගුරුත්වාකර්ෂණය යනු නිව්ටන් ගෙතූ පට්‌ටපල් බොරුවකි."

අයින්ස්‌ටයින් ගුරුත්වාකර්ෂණයක්‌ නොමැති යෑයි කී බවට මූලාශ්‍ර ඔහු නො දක්‌වයි. මීට ඉහත දී ජිම් බැගට්‌ ගේ පොතෙන් ක්‌වන්ටම්වාදයේ අග මුල කියන්නට ගිය සිල්වා මහතා ඉතා අවිචාරවත් ලෙස එම පොතෙහි ඇති වැරැදි කරුණු පවා එහෙම ම අනුකරණය කරමින් පාඨකයාට දුන් ආකාරය අමතක නො කළ යුතු ය. ඇල්බට්‌ අයින්ස්‌ටයින් ගුරුත්වාකර්ෂණය ගැන කිව් දේ සිල්වා මහතා කියන දෙයට හාත්පසින් වෙනස්‌ බව දැකීමට අපි අයින්ස්‌ටයින් ගේ සුප්‍රසිද්ධ පොත් කිහිපයකින් විමසා බලමු.

01. අයින්ස්‌ටයින් ගේ "රෙලටිවිටි, ද ස්‌පෙෂල් ඇන්ඩ් ජෙනරල් තියරි", 1959, ප්රිස්‌ටන් පොතේ 176 වැනි පිටුවේ අයින්ස්‌ටයින් මෙසේ කියයි(

"ගරුත්වාකර්ෂණ ක්‌ෂේත්‍රයක්‌ තිබීම හුදෙක්‌ පෙනීමක්‌ මිස ඇත්තක්‌ නො වේ යෑයි යමකුට සිතීමට හැකි ය. දී ඇති ගුරුත්ව ක්‌ෂේත්‍රය කුමක්‌ වුවත්, එය නැති වී යන අන්දමේ නිර්මූලක වස්‌තුවක්‌ අපට තෝරාගත හැකි යෑයි සිතිය හැකි ය. මෙය කොහොමටත්, සැමට සාධාරණ ලෙස ඕනෑ ම ගුරුත්ව ක්‌ෂේත්‍රයකට ම යෙදෙන්නේ නැතත එය යෙදෙන්නේ ඉතා විශේෂ ක්‌ෂේත්‍රයන්ට පමණකි. උදාහරණයක්‌ වශයෙන්, පොළොවෙහි ගුරුත්වාකර්ෂණය (මුළු සම්පූර්ණයෙන් ම) නොමැති යෑයි හැඟෙන අන්දමේ නිර්මූලක පද්ධතියක්‌ නම් කිරීමට නොහැකි ය".

from( Relativity” The special and General Theory” by Albert Einstein” Princeton” 1959" p 176.

"Now we might easily suppose that the existence of a gravitational field is only an apparent one. We might also think that, regardless of the kind of gravitational field which may be present, we could always choose another reference-body such that no gravitational field exists with reference to it. This is by no means true for all gravitational fields, but only for those of quite special form. It is, for instance, impossible to choose a body of reference such that, as judged from it, the gravitational field of the earth (in its entirety) vanishes"

එහෙයින් වැටෙන පොල් ගෙඩියේ එල්ලී සිටියාට පොළොවෙහි ගුරුත්වාකර්ෂණය නැති නො කළ හැකි බව මෙහි අයින්ස්‌ටයින් පැහදිලිව ම කියා ඇත.

02. අයින්ස්‌ටයින් ගේ විද්‍යා ලිපිය පළ වූයේ 1916 ඇනැලෙන් ඩෙයර් ෆිසික්‌ (Analen der Physik) සගරාවේ 16 වැනි කලාපයෙහි ය. එය ඉංගි්‍රසියෙන් ඩෝවර් පබ්ලිකේෂන්ස්‌වලින් පළ කොට ඇත. (111 පිටුව සිට 164 දක්‌වා). එහි අයින්ස්‌ටයින් මෙසේ කියයි.

"ඇත්තෙන් ම, අපට ඕනෑ ම ගුරුත්වාකර්ෂණ ක්‌ෂේත්‍රයක්‌ ඊට සමාන ගුරුත්වයක්‌ නැති ගම්‍යතා පද්ධතියක්‌ ඒ වෙනුවට දැමීමට නොහැකි වන්නේ යම් මාධ්‍යයක ඇති ඕනෑ ම අන්දමේ ගම්‍යතාවන් ඇති සැම ලක්‌ෂ්‍යයක්‌ ම සාපේක්‌ෂතා පරිරූපනයකින් නිසල කිරීමට නොහැකි අන්දමින් ම ය. Of course we cannot replace any arbitrary gravitational field by a state of motion of the system without a gravitational field, any more than, by a transformation of relativity, we can transform all points of a medium in any kind of motion to rest.

එහෙයින්, අයින්ස්‌ටයින් ලියා ඇති පොත් බැලූ විට, සිල්වා මහතා සාපේක්‌ෂතාවාදය හදාරා නැති බව හෝ, ඕනෑකමින් අයින්ස්‌ටයින් මත ගැන පට්‌ටපල් බොරු ප්‍රචාරය කරන බව හෝ පෙනෙයි.

අයින්ස්‌ටයින් අනුව ස්‌කන්ධයක්‌ යනුවෙන් පෙනෙන්නේ අවකාශ-කාලය (space-time) නැමැති කරළියෙහි ඇති වක්‍රතාවක්‌ (curvature) නොහොත් රළු ගතියක්‌ ය. අවකාශ-කාලය වනාහි ලොව ඇති සැම සිද්ධීන් (all events) සමූහයයි. එම අවකාශ-කාල වක්‍රතාව ස්‌කන්ධයක්‌ නම්, E=MC
2 නිසා එය විභව ශක්‌තියක්‌ (potential energy) ය. විභව ශක්‌තියක අනුක්‍රමණය (බෑවුම, gradient) බලයකි. යම් අංශුවක්‌ එවැනි බෑවුමකට භාජන වූ විට එයට ත්වරණයක්‌ ඇති වේ. අයින්ස්‌ටයින් ගේ සාපේක්‌ෂතාවාදයෙහි ගුරුත්ව ආකර්ෂණයක්‌ ඇති වන්නේ එසේ ය.

ගුරුත්වාකර්ෂණය ඇති වන්නේ කෙසේ දැයි නිව්ටන් පැහැදිලි නො කළේ ය. අයින්ස්‌ටයින් මෙය පැහැදිලි කළේ ය. සූර්යයා වැනි වස්‌තුවක අවකාශ-කාල වක්‍රතාව අසලට ග්‍රහයකු පැමිණි විට, එමගින් සම්ප්‍රයුක්‌තව ඇති වන වක්‍රතාව නිසා, කඳු දෙකක්‌ අතර නිම්නයක්‌ ඇති වන්නාක්‌ මෙන් පරිස්‌ථානී (locally) අන්දමින් අවම වක්‍රතා පථයක්‌ ඇති වේ. එම පථය (භූමිතිකය, geodesic) ග්‍රහයා ගේ කක්‌ෂය වේ. අයින්ස්‌ටයින් ගේ සූත්‍රවලින් ලැබෙන උත්තරය ඉතා නිවැරදි වුවත්, නිව්ටන් ගේ ප්‍රභා ශක්‌තිය කෙතරම් මහත් දැයි කිව හොත්, ඉතා සරල වාදයක්‌ ගොඩනැඟූ නිව්ටන් තම වාදයෙන් ද පුදුමාකාර නිවැරදි උත්තර කක්‌ෂයට දුනි.

"ගුරුත්වාකර්ෂණ ෙéත්‍රයක්‌ තිබීම හුදෙක්‌ පෙනීමක්‌ මිස ඇත්තක්‌ නො වේ යයි යමකුට සිතීමට හැකි" බවත්, එම බොරු වළට නො වැටී සිටිය යුතු බවටත් අයින්ස්‌ටයින් අවවාද දී ඇත. එම බොරු වළට වැටුණු සිල්වා මහතා "බොහෝ බටහිර විද්‍යාඥයන්ට මෙන්ම මෙරට වාසය කරන බටහිර විද්‍යාව ගැන දත් බොහෝ දෙනා" තවම ගුරුත්වාකර්ෂණය ඇතැයි සිතන්නේ මන්දැයි අංදුං කුංදුං වී ඇත.

ඒ මහතා වළෙන් ගොඩ ගැනීමට අපට නොහැකි ය. ඩි බ්රොයි (de Broglie) ගේ නම නිවැරදිව උච්චාරණය කරන හැටි කිහිප වරක්‌ ම අප දැක්‌වූ නමුත්, ඔහු ගේ පසුගිය විදුසර ලිපියෙහි එය නැවතත් වරදවා "ද බ්රූලි" ලෙස ලියා ඇත. සිල්වා මහතා ගේ නම ටයිප් කිරීමේ වරදකින් "සිවලා" ලෙස ලියවුණු විට ආශීර්විශයෙක්‌ මෙන් කිපුණු සිල්වා මහතා අන් අය ගේ නම් ගැන හෝ සත්‍යය ගැන සලකන්නේ නැත. බල්ලා ගේ වලිගය උණ බම්බුවක්‌ තුළ තැබුවත් කෙළින් වන්නේ නැත.

බෝධි ධනපාල
කිබෙක්‌, කැනඩාව