logo3.gif (702 bytes)

HOME


පොල් ගෙඩිය සමඟ වැටීම

ඩී එස්‌ සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා යුදෙවු ක්‍රිස්‌තියානි සංකල්පයක්‌ වූ ජීවිතයේ අරමුණ ඇතැම් බටහිර විද්‍යාඥයන් කියා ඇති ආකාරයට විශ්වයේ යහපත සඳහා ජාන ප්‍රවර්ධනය බව කීමට විදුසර පුවත්පතෙහි පිටු නාස්‌ති කරයි. ඔහු දැන් ප්‍රොaටීන නැමුම ගැන කතා කිරීමට තව තවත් අනවශ්‍ය තොරතුරු පාඨකයාට පටවයි. ඔහුට දැනට ඒ කරගෙන යැමට ඉඩ දී අපි ගුරුත්වාකර්ෂණය පට්‌ටපල් බොරුවකි යන්න තවදුරටත් ඉදිරියට ගෙන යමු. එහෙත් එයට කලින් දුහුනන් දැනුම් උදෙසා කිව යුතු කරුණු කිහිපයක්‌ වෙයි. ගුරුත්වාකර්ෂණය පමණක්‌ නො ව අයින්ස්‌ටයින් ගේ සාපේක්‌ෂතාවාද (විශේෂ හා සාධාරණ) ද බටහිර විද්‍යාවේ පට්‌ටපල් බොරු ය. බටහිර විද්‍යාව යන්න ඇතැම් බටහිර විද්‍යාඥයන් ද යොදාගන්නා බව පොතපත කියවූවෝ දනිති. උදාහරණයක්‌ ලෙස රූපට්‌ ෂෙල්ඩේ්‍රක්‌ ගේ පොත් කියවන්න. ෂෙල්ඩේ්‍රක්‌ බටහිර විද්‍යාවේ විරුද්ධවාදියකු නො ව එහි ආධිපත්‍යය දරන ඇතැම් මතවාදවල විවේචකයෙකි.

මා බටහිර විද්‍යාව යන්න යොදාගන්නේ දහ සය වැනි සියවසෙන් පසුව බටහිර යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය පසුබිම් කරගෙන සංස්‌කරණය කෙරී ඇති දැනුම් පද්ධතියක්‌ සඳහා ය. එහි පදනම් චින්තනය ද සංස්‌කෘතිය ද සුසමාදර්ශ (Paradigm) ද යුදෙවු ක්‍රිස්‌තියානි වෙයි. මා සුසමාදර්ශය යන්න යොදාගන්නේ කූන් ගේ පොදු අර්ථයෙනි. බටහිර විද්‍යාවේ සුසමාදර්ශ කිහිපයකි. ඒ අතර නිව්ටෝනීය සුසමාදර්ශය, සාපේක්‌ෂතාවාදී සුසමාදර්ශය, තාපගතික සුසමාදර්ශය, ක්‌වොන්ටම් සුසමාදර්ශය වෙයි. ඉතා පැහැදිලිව සිංහල බෞද්ධයෝ යුදෙවු ක්‍රිස්‌තියානි චින්තකයේ නො වෙති. ඒ වචනවලින් ම නො වුණත් මට ඒ බව අවබෝධ වූයේ පශ්චාත් උපාධියක්‌ සඳහා එංගලන්තයට ගිය අවස්‌ථාවේ දී ය. සාමාන්‍ය පෙළ අවධියේ සිට ම බටහිර විද්‍යාඥයකු වීමට බලාපොරොත්තු වූ මට එසේ විය නොහැකි බව එංගලන්තයේ දී තේරිණි. ඉන්පසු මට අවශ්‍ය වූයේ ආචාර්ය උපාධියක්‌ නැති ව වුවත් ආපසු ලංකාවට පැමිණීමට ය. එහෙත් මගේ ගුරුවරයා වූ මහාචාර්ය ශ්‍රීමත් බිල් මැක්‌රේ මට ආචාර්ය උපාධියක්‌ ලබා දීමට කටයුතු කළේ ය. ඒ පිළිබඳ විස්‌තරයක්‌ පසුගිය දෙසැම්බර් 30 වැනි දා විදුසර පුවත්පතේ පළ වූ නැති අවස්‌ථිති සමුද්දේශ රාමු නම් ලිපියෙහි වෙයි. ඒ නැවත විස්‌තර කිරීම අනවශ්‍ය වෙයි.

එහෙත් මෙහි දී වෙනත් කරුණු දෙකක්‌ කිව යුතු ව ඇත. පළමුවෙන් ම මා බටහිර විද්‍යාඥයකු ලෙස සලකන්නේ ආචාර්ය උපාධියක්‌ ලත් අයකු, ඊනියා පර්යේෂණ පත්‍රිකා රාශියක්‌ පළ කර ඇති අයකු, මහාචාර්යවරයකු වැන්නකු නො වේ. මට බටහිර විද්‍යාඥයකු වන්නේ බටහිර විද්‍යාවට හරිහමන් සංකල්පයක්‌, ප්‍රවාදයක්‌ එකතු කර ඇති තැනැත්තෙකි. ඒ සම්බන්ධයෙන් ඊනියා ජත්‍යන්තර පිළිගැනීමක්‌ අති අයකු අපට බටහිර විද්‍යාඥයකු ලෙස සැලකිය හැකි ය. එහි දී ලන්ඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකයකු (Fellow of the Royal Society) වීම අත්‍යවශ්‍ය කරුණක්‌ ලෙස මම සලකමි. රාජකීය සංගමයේ අධිසාමාජිකයකු වීම මට අගයක්‌ නැති වුවත් මෙරට සිටින බටහිර විද්‍යාඥයෝ ඒ ඉතා උසස්‌ ලෙස සලකති. මෙහි දී වැදගත් වන්නේ ඔවුන් ගේ මිනුම් දණ්‌ඩ මිස මගේ ඇගයීම නො වේ. පොදු රාජ්‍ය මණ්‌ඩලයේ රටක පුරවැසියකු රාජකීය සංගමයේ අධිසාමාජිකයකු වීමට සුදුසුකම් ලබන බැවින් ලංකාවේ, එංගලන්තයේ, ඕස්‌ටේ්‍රලියාවේ, නවසීලන්තයේ, කැනඩාවේ හෝ වෙනත් පොදු රාජ්‍ය මණ්‌ඩලීය රටක පුරවැසිකම් ලද සිංහල බෞද්ධයකුට ඒ අධිසාමාජිකත්වය ලබාගැනීමට නෛතික බාධාවක්‌ නැත. පොදුරාජ්‍ය මණ්‌ඩලයේ නො වන රටක පුරවැසිකම් ලද්දකුට එකී සංගමයේ විදේශ සාමාජිකයකු විය හැකි ය. එහෙත් මෙතෙක්‌ එක ම සිංහල බෞද්ධයකුටවත් එවැනි පිළිගැනීමක්‌ ලැබී නැත. නොබෙල් ත්‍යාගය ගැන කියනුම කවරේ ද? ඊනියා සාම නොබෙල් ත්‍යාගය හුදෙක්‌ දේශපාලන පිළිගැනීමක්‌ වන බැවින් අපි එය අමතක කරමු. රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය ලත් එක ම ලාංකිකයා සිංහල ක්‍රිස්‌තියානි/කතෝලික විද්‍යාඥයකු වන අතර ඔහු හොංකොංහි සේවය කරයි. ඔහු ගේ ද ෙéත්‍රය සෛද්ධාන්තික වූවක්‌ නො ව පරීක්‌ෂණාත්මක වෙයි.

දෙවනුව සඳහන් කළ යුත්තේ සිංහල බෞද්ධයන් බුදුදහම හා බටහිර විද්‍යාව අතර සම්බන්ධයක්‌ ඇති බවට කරන පුරසාරම ය. මෙය හීනමානය නිසා සිදු වන්නක්‌ විය හැකි ය. බුදුදහම හා බටහිර විද්‍යාව අතර එවැනි සම්බන්ධයක්‌ වේ නම් සිංහල බෞද්ධයනට රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය නො ව නොබෙල් ත්‍යාග ද ලැබිය යුතු ය. බටහිර භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාග දිනාගත් අය අතර සිංහල බෞද්ධයන් නො ව යුදෙව්වෝ ප්‍රමුඛස්‌ථානය ගනිති. එය නම් පහසුවෙන් තේරුම්ගත හැකි ය. බටහිර විද්‍යාවේ චින්තනය මෙන්ම සංස්‌කෘතිය ද යුදෙවු ක්‍රිස්‌තියානි වෙයි.

බෝධි ධනපාල හා චන්ද්‍රසිරි ධර්මවර්ධන යන මහත්වරුන් ලිපි ලිවීම වෙනුවට මා සමඟ ප්‍රසිද්ධ වාචික විවාදයකට ලංකාවට නො පැමිණෙන බව පැහැදිලි ය. ප්‍රසිද්ධ විවාදයක දී බොරු කියා පැන ගිය නොහැකි ය. ඒ මොහොතෙහි ම පවසන කරුණු අභියෝගයට ලක්‌ කළ හැකි ය. අප යම්කිසි ප්‍රශ්නයකට පිළිතුරු දුන් පසු නැවත නැවතත් ඒ ප්‍රශ්නය ලිපිවලින් පැවසිය හැකි වුවත් ප්‍රසිද්ධ වාචික විවාදයක දී එසේ කළ නොහැකි ය. බටහිsර විද්‍යාවේ යම් ක්‍ෂේත්‍රයක විශාරදයකු වීමට අවුරුදු විසි පහක්‌ පමණ ගත වන බව මම අවුරුදු ගණනක සිට කියා සිටිමි. එහෙත් එයින් කියෑවෙන්නේ යමකු ගේ වයස මිස ඊනියා පර්යේෂණ සඳහා යන කාලය නො වේ. මෙය මා කියන කරුණු විකෘති කරන්නකු ගේ බහකට කළ ඊනියා නිවැරදි කිරීමක්‌ නො වේ. මේ පිළිබඳ මා පසුගිය දෙසැම්බර් 23 වැනි දා විදුසරට ලියූ ලිපියක කොටස්‌ මෙහි උපුටා දක්‌වමි.

"බටහිර විද්‍යාවේ බොහෝ ක්‍ෂේත්‍රවල විශාරදයකු වීමට අවුරුදු විසි පහක්‌ පමණ ගත වෙයි. (ඒ බව මා පසුගිය ලිපිsයක සඳහන් කර ඇත. බටහිර භෞතික විද්‍යාවෙහි හෝ බටහිර වෛද්‍ය විද්‍යාවෙහි විශාරදයන් වීම ඕනෑ ම අයකුට කළ හැකි දෙයක්‌ නො වේ. දුහුනන් දැනුම් උදෙසා මෙය තවත් පැහැදිලි කළ යුතු යෑයි සිතමි.) මෙහි අවුරුදු විසි පහක්‌ යනුවෙන් අදහස්‌ කරන්නේ වයස ය. ඒ මිස තමන් අදාළ ක්‍ෂේත්‍රය පමණක්‌ ඉගෙනීමට ගත කළ කාලය නො වේ. අයින්ස්‌ටයින් 1905 දී බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාවට එකතු කිරීම් කරන විට ඔහු ගේ වයස විසි හයක්‌ විය. එවකට ඔහුට ආචාර්ය උපාධියක්‌ නො තිබිණි. ඔහු බටහිsර සෛද්ධාන්තික භෞතික විද්‍යාව හැදැරීමට අවුරුදු විසි පහක්‌ ගත කර නො තිබිණි. වයස විසි පහක්‌ පමණ ගත වේ ය යන්නෙන් අදහස්‌ කරන්නේ වයස ය. ඒ කාලය තුළ පාසල්වල (ජර්මනියේ ජිම්නේසියම්වල, එංගලන්තයේ ග්‍රැමර් ස්‌කූල්වල) හා විශ්වවිද්‍යාවල ශිෂ්‍යයෝ අවශ්‍ය දැනුම එක්‌රැස්‌ කරගනිති. 1905 අයින්ස්‌ටයින් ගේ විශ්මිත වර්ෂය ලෙස සැලකෙයි. එකල ඔහු ගේ වයස විසි හයක්‌ පමණ විය. ඒ වයස මිස ඔහු සෛද්ධාන්තික භෞතික විද්‍යාව හැදැරීමට ගත කළ කාලය නො වේ.

ඇතැමුන් පඩියන් මෙන් පවසන්නේ බටහිර විද්‍යාවෙහි දැනුම ඕනෑ ම අයකුට ලබාගත හැකි බව ය. එහෙත් පුහුණුවක්‌ නො ලැබූ අයකුට එක්‌ස්‌ කිරණ ඡායාරූපයක්‌ අර්ථකථනය කළ හැකි නො වේ. ඒ සඳහා වෛද්‍ය පීඨයක (ඊනියා විශ්වවිද්‍යාලයෙහි) ලබාගත් දැනුම අවශ්‍ය ය. එහි දී බටහිර භෞතික විද්‍යාව ද යම් ආකාරයකට ආධාර වෙයි. වෛද්‍ය ශිෂ්‍යයෝ අදාළ භෞතික විද්‍යා දැනුම ද පාසලේ දී ලබාගනිති. බටහිර විද්‍යාවේ රූප ආදිය ඕනෑ ම අයකුට දැනගත (විවරණය කළ) හැකි ය යන්න තවත් පට්‌ටපල් බොරුවක්‌ පමණ ය. ඇතැමුන් ඒ පට්‌ටපල් බොරුව කියන්නේ බටහිර විද්‍යාව ආත්මීය නො වන බව පැවැසීම සඳහා ය. එහෙත් පුහුණුවක්‌ නො ලැබූ අයකුට ඒ කිසිවක්‌ විවිරණය කළ නොහැකි ය. පුහුණුව හා අධ්‍යාපනය මගින් කෙරෙන්නේ සම්මතවාදී ව සිතන්නට පුද්ගලයන් පුහුණු කිරීම ය. එහි ඇත්තේ ද ආත්මීය බවකි. අද පවතින සම්මතවාදය බටහිරයන් විසින් දේශපාලන බලය යොදමින් අනෙක්‌ අය මත ද පටවන ලද්දකි."

අයින්ස්‌ටයින් තමාට නොබෙල් ත්‍යාගය ලැබුණු පත්‍රිකාව ලියන විට ඔහු ගේ වයස විසි හයක්‌ පමණ විය. ඒ වයස මිස ඔහු බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාවේ ඊනියා පර්යේෂණ කළ කාලය නො වේ. යම් ක්‍ෂේත්‍රයක විශාරදයකු වීමට අවුරුදු විසි පහක්‌ පමණ ඒ සඳහා ම වැය කළ යුතු නම් අයින්ස්‌ටයින්ට කිසි දිනෙක බටහිර භෞතික විද්‍යාවේ විශාරදයකු වීමට ඉඩක්‌ නො තිබූ බව සාමාන්‍ය බුද්ධියක්‌ ඇති අයකුට වුව ද වැටහෙයි. කිසි ම සිරියාවක්‌ හෝ ශුද්ධ බවක්‌ හෝ නොමැති අයට සිරිපාල, විජයසිරි වැනි නම් උපතින් ලැබෙද්දී සාමාන්‍ය බුද්ධියක්‌ වත් නොමැති අයට බෝධිපාල වැනි නම් තිබිය හැකි ය. එයින් කියෑවෙන්නේ මවුපියන් ගේ බලාපොරොත්තු දරුවන් අතින් ඉටු වී නොමැති බව පමණ ය.

අයින්ස්‌ටයින් තම විශ්මිත වසරේ, 1905 දී ඊනියා පත්‍රිකා පළ කෙළේ පේටන්ට්‌ කාර්යාලයක සේවය කරමින් සිටිය දී මිස විශ්වවිද්‍යාලයක හෝ ඊනියා පර්යේෂණ ආයතනයක හෝ සේවය කරමින් සිටිය දී නො වේ. ඔහුට එකල ආචාර්ය උපාධිය වත් නො තිබිණි. විශාරදයකු වීමට අයින්ස්‌ටයින්ට එතැන් සිට අවුරුදු විසි පහක්‌ විශ්වවිද්‍යාලයක හෝ ඊනියා පර්යේෂණ ආයතනයක ගත කරන්නට සිදු වී නම් ඔහුට කුමක්‌ විය හැකි ව තිබිණි ද? බටහිර භෞතික විද්‍යාවෙහි ඉහළ ම වැදගත් ම අදහස්‌ ඉදිරිපත් කෙරෙන්නේ තරුණ විද්‍යාඥයන් අතිනි. වයස අවුරුදු තිහ පමණ වන විට බොහෝ විද්‍යාඥයන් තම වැදගත් ම අදහස්‌ ඉදිරිපත් කර අවසාන ය. එහි දී ප්ලෑන්ක්‌ තරමක්‌ වෙනස්‌ විය. ඔහු තම වැදගත් ම අදහස ඉදිරිපත් කෙළේ වයස අවුරුදු හතළිහේ දී පමණ ය. එහෙත් ඔහු වත් පුහුණුව සඳහා අවුරුදු විසි පහක්‌ ගත කර නො තිබිණි. අප සැම දා මත් අවුරුදු විසි පහ යන්න සඳහන් කළේ වයස සම්බන්ධයෙනි.

මා උපාධිය සඳහා අවුරුදු හතරක්‌ පමණක්‌ ගත කර ඇති බැවින් හා ඉන්පසු ආචාර්ය උපාධිය සඳහා අවුරුදු එක හමාරක්‌ පමණක්‌ ගත කර ඇති බැවින් මගේ විශාරද බවක්‌a නැතැයි කීම පිළිගත නො හැකි ය. මම විශාරදයෙක්‌a නො වෙමි. මම ඒ පිළිගනිමි. එහෙත් ඒ මගේ ඊනියා ශාස්‌ත්‍රීය කාලය අඩු නිසා නො වේ. ඇතැමුන් සිතන්නේ මගේ ශාස්‌ත්‍රීය කාලය අවුරුදු පහ මාරක්‌ බව ය. මේ සම්බන්ධයෙන් මා දෙසැම්බර් 30 වැනි දා විදුසරට ලියා ඇති ලිපියෙන් කුඩා කොටසක්‌ උපුටා දක්‌වමි.

"කැනඩාවේ හා වෙනත් රවටල සිටින මහත්වරුන් සමහර විට සිතනු ඇත්තේ ලංකාවට පැමිණීමෙන් පසු අප පොතපත සඟරා ආදිය නො කියවන බවත් ඊනියා පර්යේෂණ නො කරන බවත් ය. මම බටහිර විද්‍යාවෙන් සම්පූර්ණයෙන් කැඩෙන තෙක්‌ ඊනියා පර්යේෂණ පත්‍රිකා පළ කෙළෙමි. පොතපත කියවන්නේ තමන් පමණක්‌ යයි සමහර විට පිටරට සිටින මහත්වරුන් සිතනු ඇත."

කැලණිය විශ්වවිද්‍යාලයයේ උගන්වන කාලයේත්, බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු බව තේරුම්ගැනීමෙන් පසු වත් මම සිසුන් කිහිප දෙනකු ගේ පශ්චාත් උපාධි සඳහා නිබන්ධක උපදේශක වීමි. ඒ මගේ රාජකාරියේ කොටසක්‌ ලෙස ය. ඒ සිසුහු ක්‌වොන්ටම් භෞතික විද්‍යාව, සාධාරණ සාපේක්‌ෂතාවාදය, විශ්වවේදය (cosmology)ල න්‍යාය (logic) ආදී විෂයන් ගෙන් තම පශ්චාත් උපාධි ලැබූ හ. මගේ අධ්‍යයන කාලය අවුරුදු පහ මාරකට පමණක්‌ සීමා වී ඇතැයි කන්කෙඳිරිගාන්නන්ට පශ්චාත් උපාධි සිසුන් කී දෙනකු ලැබී ඇත් ද? ඔවුන් ඊනියා පර්යේෂණ පත්‍රිකා කොපමණ පළ කර ඇත් ද? මෙහි දී වචනයක්‌ නො කියා ම බැරිය. කොළඹ විශ්වවිද්‍යාලයයේ දී මා යමක්‌ ඉගෙනගත්තේ මහාචාර්ය ඩග්ලස්‌ අමරසේකර හා මහාචාර්ය වැලන්ටයින් ජෝසµa මහතුන් ගෙන් පමණකි. අනෙක්‌ අය ගේ දේශනවලට සහභාගි වීම කාලය කා දැමීමක්‌ පමණක්‌ විය. එබැවින් මම ඔවුන් ගේ දේශනවලට එතරම් සහභාගි නො වීමි. යම් මන්දබුද්ධිකයකුට අවශ්‍ය නම් එය සැලකිල්ලට ගෙන මා කොළඹ ගත කළ සඵල (effective) කාලය අවුරුදු හතරටත් අඩු බැවින් මාගේ ශ්‍රාස්‌ත්‍රීය කාලය අවුරුදු පහ මාරකට අඩු යෑයි කිව හැකි ය.

අපි දැන් ගුරුත්වාකර්ෂණය පට්‌ටපල් බොරුවක්‌ යන්න වෙත නැවත යමු. මෙය ඉඩ ලැබෙන පරිදි ඉදිරි ලිපිවල ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. වැරදි වැටහීම්වලට ඉඩ නො තබා අයින්ස්‌ටයින්ගේ සාධාරණ සාපේක්‌ෂතාවාදය ද පට්‌ටපල් බොරුවක්‌ බව නැවතත් කිව යුතු ය. මා දන්නා බුදුදහමට අනුව පෘථග්ජනයන් වූ අප දන්නේ බොරු පමණ ය. අපි ත්‍රිලක්‌ෂණ නො දනිමු. අවිද්‍යාව යනු බටහිර විද්‍යාව නො දැනීම නො ව ත්‍රිලක්‌ෂණය අවබෝධ නො වීම ය. අවිද්‍යාව නිසා අපි සංස්‌කරණය කරමු. සංස්‌කරණය කරන්නේ දැනුම ය. බටහිර විද්‍යාවේ කෙරෙන්නේ බොරු වූ ප්‍රත්‍යක්‌ෂ (ඊනියා පංචෙන්ද්‍රිය ගෝචර නිරීක්‌ෂණ) තේරුම්ගැනීම සඳහා පංචෙන්ද්‍රිය ගෝචර වත් නො වන වියුක්‌ත කතාන්දර ගෙතීම ය. ඒ කතන්දර පට්‌ටපල් බොරු ය. ඇපල් පොල් ආදිය පොළොවට වැටෙන්නේ ඇයි දැයි තේරුම් කිරීමට නිව්ටන් ගුරුත්වාකර්ෂණ පට්‌ටපල් බොරුව ගෙතී ය. ඒ සඳහා ම අයින්ස්‌ටයින් සාධාරණ සාපේක්‌ෂතා පට්‌ටපල් බොරුව ගෙතී ය. මේ දෙක ම හුදු කතාන්දර පමණ ය. අයින්ස්‌ටයින් ගේ කතාව නිව්ටන් ගේ කතාවේ දිගුවක්‌, සංස්‌කරණයක්‌ නො වේ. ඒ දෙක වෙන ම කතා දෙකකි. එහි සංකල්පීය පද්ධති වෙනස්‌ ය. අයින්ස්‌ටයින්ට හෝ වෙනත් යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියේ අයකුට ඒ කතන්දර බව තේරුම්ගැනීමට නොහැකි නම් අපි ඒ ගැන පුදුම නො වෙමු. එහෙත් සිංහල බෞද්ධයනට ඒ ඊනියා සත්‍ය වන්නේ කෙසේ ද? නිව්ටන් හා අයින්ස්‌ටයින් ත්‍රිලක්‌ෂණ අවබෝධ කරගෙන සිටියෝ ද? ඔවුන් ඒ කතා සංස්‌කරණය කෙළේ ත්‍රිලක්‌ෂණ පිළිබඳ ඔවුන් ගේ අවිද්‍යාව නිසා ය.

අපි දෙසැම්බර් 23 හා 30 ලිපිවල අයින්ස්‌ටයින් ගෙන් ගත් පාඨයක්‌ සඳහන් කෙළෙමු. ඒ පාඨය නැවතත් සම්පූර්ණයෙන් ම ඉදිරිපත් නො කර එහි කොටසක්‌ පමණක්‌ සඳහන් කරමු. "Both in classical mechanics and in the special theory of relativity we therefore differentiate between reference-bodies K relative to which the recognised “laws of nature’’ can be said to hold, and reference-bodies K’ relative to which these laws do not hold." මූලික ප්‍රශ්නය ඇත්තේ මෙතැන ය. නිව්ටෝනීය යාන්ත්‍රිකයේ මෙන් ම විශේෂ සාපේක්‌ෂතාවාදයෙහි ද විශේෂිත වූ රාමු වෙයි. ඒ රාමුවල පමණක්‌ ඊනියා ස්‌වභාවධර්මයේ නියම වලංගු වෙයි. මේ රාමු ඊනියා අවස්‌ථිති සමුද්දේශ රාමු වෙයි. නිව්ටන් ගේ චලිත නියම වලංගු වන්නේ මේ රාමුවල ය. අප පොල්ගෙඩි ත්වරණයක්‌ සහිත ව පොළොවට වැටෙන්නේ යෑයි කියන්නේ මේ රාමුවල ය. වස්‌තුවකට (පොල් ගෙඩියකට) ත්වරණයක්‌ ඇත්නම් ඒ මත ක්‍රියා කරන බලයක්‌ වේ යෑයි නිගමනය කෙරෙන්නේ මේ රාමුවල ය. එහෙත් එවැනි විශේෂිත රාමු නැත්නම් සිදු වන්නේ කුමක්‌ ද? එවැනි විශේෂිත රාමු ඇතැයි ගැනීම යුක්‌ති සහගත ද? අයින්ස්‌ටයින් 1915 දී කියා සිටියේ ඒ යුක්‌තිසහගත නො වන බව ය. ඔහු ඊනියා ත්වරණයක්‌ සහිත අවස්‌ථිති නො වන රාමුවල ද වලංගු වන චලිත නියම සූත්‍රගත කෙළේ ය. පොල් ගෙඩියත් සමඟ පොළොවට වැටෙන නිරීක්‌ෂකයකු ගේ රාමුවෙහි පොල් ගෙඩියට ත්වරණයක්‌ නැත. අවශ්‍ය නම් මන්ද බුද්ධිකයකුට පොල් ගෙඩියත් සමඟ වැටී, ඒ බව නිරීක්‌ෂණය කළ හැකි ය. නිව්ටන් මෙවැනි රාමුවල චලිතය විස්‌තර කිරීම ප්‍රතික්‍ෂේප කෙළේ ය. ඔහු ගේ ඊනියා අවස්‌ථිති රාමුවල වැටෙන පොල් ගෙඩියට ත්වරණයක්‌ වෙයි. ඔහු ගේ ම චලිත නියම අනුව එවිට බලයක්‌ අවශ්‍ය වෙයි. එය ගුරුත්වාකර්ෂණය යෑයි ඔහු කීවේ ය. එහෙත් පොල්ගෙඩිය සමඟ වැටෙන්නා ගේ රාමුවෙහි පොල් ගෙඩියට ත්වරණයක්‌ නැත. එවිට පොල් ගෙඩියට වැටීමට ගුරුත්වාකර්ෂණ බලයක්‌ ද අවශ්‍ය නැත. අයින්ස්‌ටයින් ගුරුත්වාකර්ෂණ බලයක්‌ නැතැයි කීවේ එලෙස ඊනියා අවස්‌ථිති රාමු අත්හැරීමෙනි. ඔහුට එහි දී බෞද්ධයකු ලෙස ජීවත් වූ අර්නස්‌ට්‌ මාක්‌ ගේ ආභාෂය විය.

නලින් ද සිල්වා