logo3.gif (702 bytes)

HOME


ගුරුත්වාකර්ෂණය පට්‌ටපල් බොරුවකි

ඩී එස්‌ සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා පසුගිය දෙසැම්බර් 16 වැනි දා ලිපියෙහි තමා කියවා ඇති පොත්පත්වලින් කරුණු උපුටා දක්‌වයි. ඒ මහතා එසේ කරන්නේ ජීවිතයේ අරුතක්‌ හෝ අරමුණක්‌ හෝ ගැන කීමට ද? මොන්ටිකාලෝ ක්‍රමය ගැන කීමෙන් ජීවිතයේ ඊනියා අරුත ගැන ලබාගත හැකි සාක්‌ෂි කවරේ ද? එය ප්‍රොaටීන නැමුම පිළිබඳ කතා කිරීමට ද? තම මතය තහවුරු කිරීමට නොහැකි අමරතුංග මහතා පොත්වලින් පරිවර්තනය කරන අදාළ නො වන කරුණු කියමින් පත්තරයේ පිටු නාස්‌ති කරයි. ඒ මහතා ජීවිතයේ ඊනියා අරුත ගැන කියන්නේ එකී ලිපියෙහි ද කලින් ලිපි කිහිපයක ද සඳහන් පරිදි පහත දැක්‌වෙන දෙයයි. මෙය දෙසැම්බර් 16 වැනි දා ලිපියෙන් උපුටාගත්තකි.

"අප සාකච්ඡා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳව විද්‍යාවෙන් සහ දර්ශනයෙන් ගත හැකි කරුණු පිළිබඳව ය. පසුගිය ලිපියේ ජීවිතයේ අරුත (Meaning) සහ ජීවිතයේ අරමුණ (Purpose) පිළිබඳව අදහස්‌ ඉදිරිපත් කළෙමි. ඒවායේ වෙනස සහ සම්බන්ධතාව සාකච්ඡා විය. මේ සම්බන්ධතාව ජීවිතයේ අරුත පිළිබඳ අප ඉදිරිපත් කොට ඇති මතවාදය තුළින් ලබාගත හැකි එකකි. අප පවසා සිටියේ ජීවිතයේ අරුත අප සඳහා සැකසුණු දෙයක්‌ නො ව විශ්වය/ ස්‌වභාවධර්¨මය සඳහා සැකසුණු දෙයක්‌ විය හැකි බව ය. එහෙත් ජීවිතයේ අරමුණු අප සඳහා සැකසුණු දෙයක්‌ විය හැකි ය. මේ දෙක ම සකසනු ලැබ ඇත්තේ විශ්වය/ ස්‌වභාවධර්මය විසින් බව පැවසිය හැකි ය. ඒවායේ අවසාන ප්‍රතිඵලය අපට ලැබෙන ලාබයට වඩා විශ්වයට/ස්‌වභාවධර්මයට ලැබෙන සේවය වන්නේ ය. ජීවිතයේ අරමුණුq කරා යන විට සිදු වන්නේ ජානවල වෙනසකි. ජාන වර්ධනය ජීවිතයේ අරුත යෑයි අප පවසමු. එම නිසා අරමුණු කරා යන විට සිදු වන්නේ ජීවිතයේ අරුත සාක්‌ෂාත් කරගැනීමට හෝ එම ක්‍රියාදාමයක වීම ය."

ඊනියා අරමුණු හා අරුත පිළිබඳ ව අදහස්‌ අමරතුංග මහතා ගේ නො වේ. එහි වෙනසක්‌ ඇති බව ඒ මහතා වෙනුවෙන් පඹයන් ඉදිරිපත් කළ අය පෙන්වා දීමෙන් පසුව අමරතුංග මහතා එහි වෙනසක්‌ නැතැයි කීමට උත්සාහ කරයි. ඔහු ඒ බව "පෙන්වන්නේ" (ඔහු කවරදා වත් කිසිවක්‌ පෙන්වා දී නැත. එහෙත් ඔහු තම ලිපිවල සැම විටක ම මෙන් සඳහන් කරන්නේ ඔහු ඒ බව කලින් පෙන්වා දී ඇත යනුවෙනිෘ) ජීවිතයේ අරමුණු අප සඳහා සැකසුණු එකක්‌ විය හැකි බව කියමින් (හැකි ය යනුවෙන් යමක්‌ සඳහන් කරන්නේ තමන් ඒ බව හරිහැටි නො දන්නා බැවින් හා ඒ ගැන විශ්වාසයක්‌ නොමැතිකමිනි. අනෙක්‌ අතට ජීවිතයේ අරමුණු අප සඳහා සැකසුණු එකක්‌ යනුවෙන් කීමෙන් ඒ මහතා අදහස්‌ කරන්නේ කුමක්‌ ද?) ඒ අරමුණු කරා යැමේ දී ජාන වෙනස්‌ වන බව කියමිනි. ඔහු ජීවිතයේ ඊනියා අරුත සමග ඊනියා අරමුණු ගැටගසන්නේ ජාන වර්ධනය ජීවිතයේ අරුත යෑයි කියමිනි. මෙය ඔහු විශ්වාස කරන බටහිsර විද්‍යාවේ ඉගැන්වීම් සමග සම්බන්ධ කරන්නේ කෙසේ දැයි ඔහු අපට පැවසිය යුතු ය. එය ඩාවින් ගේ පරිණාමවාදය සමග එකග වේ ද? ජාන වෙනස්‌වීම් ඊළග පරම්පරාවට ගෙන යන්නේ ද? විකෘති කිරීම් හා ස්‌වාභාවික වරණය ගැන අමරතුංග මහතා කියන්නේ කුමක්‌ ද? ඔහු ලැමාර්ක්‌ ගේ පරිණාමවාදය සමග එකග වන්නේ ද? ආදී කරුණු ගැන අමරතුංග මහතා ගෙන් දැන ගැනීමට අපි කුතුහලයෙන් බලා සිටිමු. එමෙන් ම ස්‌වභාවධර්මයට සේවය කිරීමට අප ඇති වී තිබෙන්නේ යෑයි කීම බුදුදහමට එකග වන්නේ ද? අප සසර සැරිසරන්නේත් ස්‌වභාවධර්මයට සේවය කිරීමට ද? එවිට නිවන් අවබෝධය සසරට සේවයක්‌ කිරීමෙන් වැළකීම ද? ස්‌වභාවධර්මය නිවන් දැකීමට සත්ත්වයන්ට ඉඩ දී ඇත්තේ ඇයි? එසේ සත්ත්වයන් ගේ නිවන් අවබෝධයෙන් ඊනියා ස්‌වභාවධර්මයට පාඩුවක්‌ සිදු වේ ද? යුදෙවු ක්‍රිස්‌තියානි සංකල්පවල හිර වූ ඊනියා බෞද්ධ බුද්ධිමතුන්ට (අශෝක අමරතුංග මහතා බෞද්ධ යෑයි උපකල්පනය කරමි) නිවන් අවබෝධයක්‌ වේ ද?

ඒ මහතා එකී ප්‍රශ්නවලට පිළිතුරු දෙන තෙක්‌ අමරතුංග මහතා තම තර්ක ඥනයේ හෝ වෙනත් යමක හෝ මහිමයෙන් ලබාගෙන ඇති යමක්‌ ගැන කිව යුතු ය. 2015 අගෝස්‌තු 12 වැනි දා ලිපියෙහි ඒ මහතා මෙසේ කියයි. "හඳ නමැති වස්‌තුව අභ්‍යවකාශයේ යම් කිසි දුරකින් පෘථිවිය වටා යම්කිසි වේගයකින් ගමන් කරන බව විද්‍යාඥයන් විසින් සොයාගන්නා ලදී. එම දැනුම පිළිබඳ සියයට සියයක විශ්වාසයක්‌ නොමැති ව හඳ මතට මිනිසකු යවන්නට නොහැකි ය. එම විශ්වාසය පැරැන්නන් ගෙන් පටන්ගෙන වර්ධනය වූ විශ්වාසය ම ය. එම විශ්වාසය යථාර්ථයේ විශ්වාසය ය. හඳ ඇත්තේ විද්‍යාඥයා ගේ මනසේ නම් ඒa මතට මිනිසකු යෑවිය නොහැකි ය."

මෙහි අර කවදත් නොතැනත් තිබුණේ එක ම විද්‍යාව යෑයි කීමට ළාමක උත්සාහයක්‌ ද දරා ඇත. හඳ නමැති වස්‌තුව පෘථිවියේ සිට යම්කිසි දුරකින් යම්කිසි වේගයකින් චලනය වන බව පැරැන්නෝ දැන සිටියෝ ද? අනෙක්‌ අතට ඒ පිළිබඳ සියයට සියයක විශ්වාසයක්‌ වත්මන් බටහිර විද්‍යාඥයන්ට වේ ද? සියයට සියයක විශ්වාසයක්‌ (අමරතුංග මහතාට දැනුමට වඩා විශ්වාස වෙයි) ඇත්තේ කා හට ද? එය යථාර්ථයේ විශ්වාසය යෑයි අමරතුංග මහතා කියයි. සමහර විට ඒ මහතා කියන්නේ යථාර්ථය පිළිබඳ විශ්වාසය විය හැකි ය. ඒ කුමක්‌ වුවත් මේ කියන යථාර්ථය කුමක්‌ ද? හඳ කියන වස්‌තුව නිර්මාණය කරනු ලැබූයේ කවුරුන් විසින් ද? අමරතුංග මහතා බොළඳ ආකාරයකට එහෙත් සාවඥ ව කියන්නේ හඳ ඇත්තේ විද්‍යාඥයන් ගේ මනසෙහි නම් හඳ මතට මිනිසකු යෑවිය නොහැකි බව ය. හඳ ඇත්තේ විද්‍යාඥයා ගේ හෝ වෙනත් අයකු ගේ හෝ මනසෙහි යෑයි මේ විවාදයෙහි කියා ඇත්තේ කවුරුන් ද?

අමරතුංග මහතාට අප විසින් හඳ නිර්මාණය කෙරෙන්නේ ය යන්න තේරුම්ගැනීමට අපහසු වී ඇත. මෙයින් කියන්නේ වඩු කාර්මිකයකු පුටුවක්‌ නිර්මාණය කරන ආකාරයට අප හඳ නිර්මාණය කරන බවක්‌ නො වේ. අනෙක්‌ අතට අප හඳ නිර්මාණය කරන්නේ අපේ මනසෙහි නො වේ. මනස හඳ නිර්මාණය කරන්නේ ය යන්නෙහි තේරුම මනස විසින් අදාළ සංකල්පය, දැනුම නිර්මාණය කෙරෙන්නේ ය යන්න ය. හඳ අනෙක්‌ වස්‌තූන් ගෙන් වෙන් කර දකින්නේ කවුද? එය එසේ වෙන් කරන්aනේ කවුද? පෘථග්ජනයා යන්නෙන් වෙන් කරන්නා යන තේරුම ද ලැබෙන බව භාරතීය දර්ශනයෙහි සඳහන් වෙයි. එසේ වෙන් කිරීම ම නිර්මාණයකි. එලෙස හඳ අනෙක්‌ වස්‌තූන් ගෙන් වෙන් කරන්නේ මනස විසිනි. මනස විසින් හඳ නිර්මාණය කෙරෙන්aනේ ඒ ආකාරයෙනි. අද්වෛත වේදාන්ත දර්ශනයට අනුව බ්‍රහ්මයන් ගෙන් වෙන් වී සිටින පෘථග්ජනයෝ සසර සැරිසරති. දෙකක්‌ නැත ඇත්තේ එකක්‌ පමණක්‌ (අද්වෛත) බව බ්‍රහ්මයන් පමණක්‌ බව අවබෝධ කරගත් විට සත්ත්වයෝ වෙන් නො කරති. ඒ සමග සංසාර ගමන ද නවතියි.

මේ බව පැවසූ විගස මා බෞද්ධයකු නො වන බව කීමට ඇතැමුන් සූදානම් වනු ඇත. එහෙත් පටිච්චසමුප්පාදය අනුව අප සංඛාර ඇති කරගන්නේ අවිද්‍යාව නිසා ය. අද්වෛත වේදාන්තයේ අවිද්‍යාව යනු බ්‍රහ්මයන් ගෙන් වෙන් වීම යෑයි කෙනකුට සැලකිය හැකි ය. මම එය ප්‍රතික්‍ෂේප කරමි. මා කියන්නේ පට්‌ච්චසමුප්පදාය අනුව අවිද්‍යාව යනු ත්‍රිලක්‌ෂණ නො දැනීම බව ය. ත්‍රිලක්‌ෂණ අනවබෝධය හේතු කොටගෙන අපි දැනුම සංස්‌කරණය කරමු. එය මගේ ලෝකයෙහි හඳුන්වා දී ඇත්තේ දැනුම නිර්මාණය කිරීමක්‌ ලෙස ය. නිර්මාණය කිරීම යන්නෙන් යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි නිර්මාණය වැනි අදහසක්‌ දිය හැකි බැවින් මින් මතු දැනුම සංස්‌කරණය කරන්නේ ය යන්න යොදාගැනීමට අදහස්‌ කරමි. එවිට මගේ ලෝකයෙහි සඳහන් කියමන දැනුම ඉන්ද්‍රිය පද්ධතියට (පංචෙන්ද්‍රියවලට) සංස්‌කෘතියට හා මනසට සාපේක්‌ෂව මනස විසින් සංස්‌කරණය කෙරෙන්නේ ය යනුවෙන් සංශෝධනය කරගත හැකි ය. අප හඳ යන වස්‌තුව සංස්‌කරණය කරන්නේ අපේ අවිද්‍යාව නිසා ය. එය මනසෙහි සංස්‌කරණයකි. අප නැත්නම් හඳ ද නැත. හඳ ඇත්තේ නිරීක්‌ෂකයන්ට ය. නිරීක්‌ෂකයන් යනුවෙන් සසර සැරිසරන සත්ත්වයන් හැඳින්විය හැකි ය. අප හඳ සංස්‌කරණය කරන්නේ ඒ අර්ථයෙනි. හඳ යනු බොරුවකි. අප විසින් නිර්මාණය කෙරී ඇති බොරුවකි. එය අපේ ප්‍රත්‍යක්‌ෂය ලෙස සැලකෙයි. එහෙත් අප පුටුව ගැන කියා ඇති අයුරෙන් හඳ යනුවෙන් වස්‌තුවක්‌ ගෝචර වන ඉන්ද්‍රියයක්‌ අප සතු ව නැත. ඒ පංචෙන්ද්‍රිය ගෝචර ගුණ ඇසුරෙන් මනස විසින් සංස්‌කරණය කෙරෙන්නකි. හඳේ ඊනියා ගුණ ද පංචෙන්ද්‍රිය සමග එකතු වන මනස විසින් සංස්‌කරණය කෙරෙයි. හඳේ පාට ආදී ඊනියා ගුණ මනස සංස්‌කරණය කරන්නේ පංචෙන්ද්‍රිය සමග එකතු වී ය. මනස හඳ නම් වස්‌තුව සංස්‌කරණය කරන්නේ පංචෙන්ද්‍රියවලින් ද ස්‌වායත්ත ව ය. එහි දී පංචෙන්ද්‍රිය ඇසුරෙන් සංස්‌කරණය කෙරුණු ඊනියා ගුණ ද යොදාගැනෙයි. එහෙත් හඳ යන්න මනසේ සෘජු සංස්‌කරණයකි.

ගුරුත්වාකර්ෂණය ද එවැනි සංස්‌කරණයකි. එය නිවුටන් විසින් සංස්‌කරණය කෙරී දැන් බටහිsර ලෝකය පමණක්‌ නො ව සිංහල බෞද්ධයන් ද ඊනියා යථාර්ථයක්‌ ලෙස දකින පට්‌ටපල් බොරුවකි. අමරතුංග මහතා කලකට පෙර ගුරුත්වාකර්ෂණය තිබෙන බව කීවේ ය. එහෙත් ඔහු ගුරුත්වාකර්ෂණය ගෝචර වන්නේ කිනම් ඉන්ද්‍රියකට දැයි තවමත් කියා නැත. බටහිර විද්‍යාවේ බොහෝ ක්‍ෂේත්‍රවල විශාරදයකු වීමට අවුරුදු විසි පහක්‌ පමණ ගත වෙයි. (ඒ බව මා පසුගිය ලිපිsයක සඳහන් කර ඇත. බටහිර භෞතික විද්‍යාවෙහි හෝ බටහිර වෛද්‍ය විද්‍යාවෙහි විශාරදයන් වීම ඕනෑ ම අයකුට කළ හැකි දෙයක්‌ නො වේ. දුහුනන් දැනුම් උදෙසා මෙය තවත් පැහැදිලි කළ යුතු යෑයි සිතමි.) මෙහි අවුරුදු විසි පහක්‌ යනුවෙන් අදහස්‌ කරන්නේ වයස ය. ඒ මිස තමන් අදාළ ක්‍ෂේත්‍රය පමණක්‌ ඉගෙනීමට ගත කළ කාලය නො වේ. අයින්ස්‌ටයින් 1905 දී බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාවට එකතු කිරීම් කරන විට ඔහු ගේ වයස විසි හයක්‌ විය. එවකට ඔහුට ආචාර්ය උපාධියක්‌ නො තිබිණි. ඔහු බටහිsර සෛද්ධාන්තික භෞතික විද්‍යාව හැදැරීමට අවුරුදු විසි පහක්‌ ගත කර නො තිබිණි. වයස විසි පහක්‌ පමණ ගත වේ ය යන්නෙන් අදහස්‌ කරන්නේ වයස ය. ඒ කාලය තුළ පාසල්වල (ජර්මනියේ ජිම්නේසියම්වල, එංගලන්තයේ ග්‍රැමර් ස්‌කූල්වල) හා විශ්වවිද්‍යාවල ශිෂ්‍යයෝ අවශ්‍ය දැනුම එක්‌රැස්‌ කරගනිති. 1905 අයින්ස්‌ටයින් ගේ විශ්මිත වර්ෂය ලෙස සැලකෙයි. එකල ඔහු ගේ වයස විසි හයක්‌ පමණ විය. ඒ වයස මිස ඔහු සෛද්ධාන්තික භෞතික විද්‍යාව හැදැරීමට ගත කළ කාලය නො වේ.

ඇතැමුන් පඩියන් මෙන් පවසන්නේ බටහිර විද්‍යාවෙහි දැනුම ඕනෑ ම අයකුට ලබාගත හැකි බව ය. එහෙත් පුහුණුවක්‌ නො ලැබූ අයකුට එක්‌ස්‌ කිරණ ඡායාරූපයක්‌ අර්ථකථනය කළ හැකි නො වේ. ඒ සඳහා වෛද්‍ය පීඨයක (ඊනියා විශ්වවිද්‍යාලයෙහි) ලබාගත් දැනුම අවශ්‍ය ය. එහි දී බටහිර භෞතික විද්‍යාව ද යම් ආකාරයකට ආධාර වෙයි. වෛද්‍ය ශිෂ්‍යයෝ අදාළ භෞතික විද්‍යා දැනුම ද පාසලේ දී ලබාගනිති. බටහිර විද්‍යාවේ රූප ආදිය ඕනෑ ම අයකුට දැනගත (විවරණය කළ) හැකි ය යන්න තවත් පට්‌ටපල් බොරුවක්‌ පමණ ය. ඇතැමුන් ඒ පට්‌ටපල් බොරුව කියන්නේ බටහිර විද්‍යාව ආත්මීය නො වන බව පැවැසීම සඳහා ය. එහෙත් පුහුණුවක්‌ නො ලැබූ අයකුට ඒ කිසිවක්‌ විවිරණය කළ නොහැකි ය. පුහුණුව හා අධ්‍යාපනය මගින් කෙරෙන්නේ සම්මතවාදී ව සිතන්නට පුද්ගලයන් පුහුණු කිරීම ය. එහි ඇත්තේ ද ආත්මීය බවකි. අද පවතින සම්මතවාදය බටහිරයන් විසින් දේශපාලන බලය යොදමින් අනෙක්‌ අය මත ද පටවන ලද්දකි.

හඳ යන්න බොරුවක්‌ ව පවතිද්දී ගුරුත්වාකර්ෂණය පට්‌ටපල් බොරුවක්‌ වන්නේ ඇයි? එයට ඇත්තේ සරල පිළිතුරකි. බටහිර විද්‍යාවේ අනෙක්‌ ඊනියා ප්‍රවාද මෙන්ම ගුරුත්වාකර්ෂණය ද බොරු තේරුම් කිරීමට ගොතන ලද වියුක්‌ත කතාවක්‌ බැවින් එය පට්‌ටපල් බොරුවක්‌ වෙයි. මා යොදාගන්නා ශබ්ද මාලාව අනුව බොරු තේරුම් කරන වියුක්‌ත කතාන්දර පට්‌ටපල් බොරු වෙයි. මා නොයෙක්‌ විට කියා ඇති පරිදි ගුරුත්වාකර්ෂණය අපේ පංචෙන්ද්‍රියවලින් කිසිවකටත් ගෝචර වන්නක්‌ නො වේ. කැලණිය විශ්වවිද්‍යාලයයේ රසායන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු නම් තමාට ගුරුත්වාකර්ෂණය දැනෙන බව (ගෝචර වන බව) කියා ඇත. එහෙත් ඔහු තමා ගේ කිනම් ඉන්ද්‍රියයකට හෝ අවයවයකට ගුරුත්වාකර්ෂණය ගෝචර වන්නේ දැයි කීමට මැළි විය.

අයින්ස්‌ටයින්ට බලපෑමක්‌ එල්ල කළ අර්නස්‌ට්‌ මාක්‌ ඔස්‌ටි්‍රයාවේ උපත ලත් බටහිර භෞතික විද්‍යාඥයකු හා දාර්ශනිකයකු විය. අතැමුන් විසින් තර්කානුසාරී අනුභූතිවාදයෙහි පියා ලෙස සැලකෙන ඔහු බටහිර විද්‍යාවේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි වියුක්‌ත අදහස්‌, ප්‍රවාද, සංකල්පවලින් තේරුම් කර දීමට විරුද්ධ විය. ඔහු කියා සිටියේ ඒ සංසිද්ධි තේරුම් කිරීමට පංචෙන්ද්‍රිය ගෝචර සංකල්ප ආදිය පමණක්‌ යොදාගත යුතු බව ය. ඔහු ඊනියා අවස්‌ථිති සමුද්දේශ රාමුවලට (Inertial framesof reference) විරුද්ධ විය. එවැනි රාමු පංචෙන්ද්‍රියවලට ගෝචර නො වේ. මේ රාමු පට්‌ටපල් බොරු ය. ඒවා ද නිව්ටන් ගේ සංස්‌කරණයකි. මාක්‌ ගේ අදහස්‌ තරුණ අයින්ස්‌ටයින්ට බලපෑවේ ය.

අයින්ස්‌ටයින් තම සාපේක්‌ෂතාවාදය( විශේෂ හා සාධාරණ (Relativity: Special and General Theory) පොතෙහි ද මාක්‌ ගැන සඳහන් කර ඇත. තරමක්‌ දීර්ඝ නමුත් ඒ උපුටා දැක්‌වීම වැදගත් ය. ඒ සමුද්දේශ රාමු වර්ග දෙකක්‌ ගැන සඳහන් කිරීමේ දී ය. අයින්ස්‌ටයින් නිව්ටන් ගේ යාන්ත්‍රිකයෙහි මෙන් ම ඔහු ගේ ම විශේෂ සාපේක්‌ෂතාවාදයෙහි ද අඩුවක්‌ දුටුවේ ය. ඔහු ඇතැම් සමුද්දේශ රාමුවල භෞතික විද්‍යාවෙහි නිව්ටන් ගේ නියම වලංගු වන නමුත් වෙනත් රාමුවල වලංගු නො වන බව දුටුවේ ය. එය සතුටුදායක නො වේ ය යන්න ඔහු ගේ නිගමනය විය. (නිව්ටන් ගේ යාන්ත්‍රිකයේ මෙන්ම විශේෂ සාපේක්‌ෂතාවාදී යාන්ත්‍රිකයේ ද වලංගු වන්නේ ඊනියා අවස්‌ථිති සමුද්දේශ රාමුවල ය.) අයින්ස්‌ටයින්ට අවශ්‍ය වූයේ එසේ බේදයකින් තොර ව භෞතික විද්‍යාවේ ස්‌වභාව ධර්මයේ නියම (law of nature) වලංගු වන ආකාරයක්‌ සංස්‌කරණය කිරීම ය. අපි අදාළ පොතෙන් අයින්ස්‌ටයින් උපුටා දක්‌වමු.

“We have already stated several times that classical mechanics starts out from the following law: Material particles sufficiently far removed from other material particles continue to move uniformly in a straight line or continue in a state of rest. We have also repeatedly emphasised that this fundamental law can only be valid for bodies of reference K which possess certain unique states of motion, and which are in uniform translational motion relative to each other. Relative to other reference-bodies K the law is not valid. Both in classical mechanics and in the special theory of relativity we therefore differentiate between reference-bodies K relative to which the recognised ''laws of nature'' can be said to hold, and referencebodies K’ relative to which these laws do not hold”

අපි මෙය තවදුරටත් පසුව සාකච්ඡා කරමු.

නලින් ද සිල්වා