logo3.gif (702 bytes)

HOME


නැති මම හා ඇති ලෝකය

ඩී එස්‌ සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ලිපිවල ඇති පරස්‌පර හා අවුල් කතා ගැන ලිවීම මගේ ලිපිවල තේමාවට බාධාවක්‌ නමුත් යම් ප්‍රමාණයකට වුවත් ඒ ගෙනහැර දැක්‌විය යුතු ය. එහි දී ඒ මහතා ගේ ලිපිවලින් කොටස්‌ උපුටා දැක්‌වීම අත්‍යවශ්‍ය වන්නේ අමරතුංග මහතාට කෙසේ වෙතත් පාඨකයාට ඒ කොටස්‌ තමන්ට ම කියවා එහි ඇති දොaෂ දැනගැනීමට අවස්‌ථාව සැලසීමට ය. 2015 අගෝස්‌තු 15 ලිපියෙහි ඒ මහතා මෙසේ සඳහන් කරයි. "සැම දේ ම අනිත්‍ය බව බුදුන් දැනගත්තේ අත්දැකීමෙනි. නැත හොත් ආනුභාවිත මාර්ගයෙනි. ආත්මය පිළිබඳ විශ්වාසයෙන් යුතු ව කතා කළ උපනිෂද් තුළින් ඉදිරිපත් වූයේ ආත්මය යථාර්ථය ය යන අදහස ය. ලොවෙහි ඇත්තේ ආත්මය පමණක්‌ නම් ලොවෙහි යථාර්ථය ආත්මය වන්නේ ය. බුදුන් පැවසුවේ ලොවෙහි සැම දෙයක්‌ ම අනිත්‍ය නිසා එහි කිසිවක ආත්මයක්‌ තිබිය නොහැකි බව ය. ලොවේ සැම දෙයක්‌ ම අනිත්‍ය බව ද අනාත්ම බව ද පැවසීම එහි යථාර්ථයක්‌ නැතැයි පැවසීම ද?"

මේ කොටස මා ඉදිරිපත් කරන්නේ එක්‌ පැත්තකින් බුදුන් වහන්සේ ගේ ඊනියා ආනුභාවික ක්‍රමය කුමක්‌ දැයි අමරතුංග මහාතා ගෙන් දැනගැනීමට ය. අනෙක්‌ පැත්තෙන් අනාත්ම, අනිත්‍ය හා යථාර්ථය ගැන යමක්‌ පැවසීමට ය. ආනුභාවික ක්‍රමයක්‌ ගැන බුදුන් වහන්සේ ගේ කාලයෙහි කතාවක්‌ නො තිබුණේ ය. එය එම්පිරිකල් යන ඉංගිරිසි වචනයේ සිංහල පාරිභාෂික ශබ්දයයි. මේ අනුභවය කෙරෙන්නේ පංචෙන්ද්‍රිය මගිනි. ආනුභාවික ක්‍රමය පංචෙන්ද්‍රිය ගෝචර සිද්ධි මත පදනම් වෙයි. එහි දී මනස ද යොදාගැනෙන බව බටහිර දාර්ශනිකයන්ට කෙසේ වෙතත් සිංහල බෞද්ධයනට අමුතුවෙන් කිව යුතු නො වේ. බුදුන් වහන්සේ සැම දේ ම අනිත්‍ය බව දැනගත්තේ ආනුභාවික මාර්ගයකින් ද? ඒ එසේ යෑයි සිතමු. දැන් බුදුන් වහන්සේ ආත්මයක්‌ තිබිය නොහැකි බව (අනාත්ම) දැනගත්තේ කෙසේ ද?

අමරතුංග මහතාට අනුව බුදුන් වහන්සේ ඒ බව දැනගෙන ඇත්තේ ආනුභාවික ක්‍රමයකට නො වේ. අමරතුංග මහතාට අනුව බුදන් වහන්සේ පවසා ඇත්තේ ලොවෙහි සැම දෙයක්‌ ම අනිත්‍ය නිසා එහි කිසිවක ආත්මයක්‌ තිබිය නොහැකි බව ය. සැම දෙයක්‌ ම අනිත්‍ය නිසා ඒ කිසිවක ආත්මයක්‌ තිබිය නොහැකි ය යන්න ආනුභාවික ක්‍රමයකට ලබාගත්තක්‌ නො වේ. අනිත්‍ය වූ පමණින් අනාත්ම යෑයි ගම්‍ය වන්නේ ද? එසේ නම් අමුතුවෙන් ආනත්ම කතාවක්‌ අවශ්‍ය ඇයි? අනිත්‍ය පමණක්‌ ඇත. අනිත්‍ය යන්නෙන් අනාත්ම යන්න ගම්‍ය කරගත හැකි ය. ත්‍රිලක්‌ෂණ වෙනුවට දෙලක්‌ෂණ පමණක්‌ ප්‍රමාණවත් නො වන්නේ ද? බුදුන් වහන්සේ අනිත්‍ය යන්නෙන් අනාත්ම යන්න ලබාගත් ආකාරය පැහැදිලි කිරීමට අමරතුංග මහතාට හැකි ද? එහි දී යොදාගැනෙන න්‍යාය (logic) කුමක්‌ ද? තර්ක කවරේ ද?

අනිත්‍ය යනු වෙනස්‌ වීම යෑයි අමරතුංග මහතා සිතන්නේ ද? ලොවෙහි පවතින්නේ යෑයි කියන සියලු දේ වෙනස්‌ වන බව තේරුම්ගැනීම එතරම් අපහසු කරුණක්‌ නො වේ. එහෙත් එය පවා හුදු ආනුභාවික කටයුත්තක්‌ නො වේ. අප කලිනුත් අසා ඇති පරිදි වෙනස්‌ වන යමක්‌ පවතී ද? අමරතුංග මහතාට අනුව නම් වෙනස්‌ වන යමක්‌ පවතියි. අමරතුංග මහතා ගේ පහත සඳහන් පාඨය ඉහත සඳහන් ලිපියෙන් ම ය. අප ඒ බව කලින් ද උපුටා දක්‌වා ඇති නමුත් සමස්‌ත කතාව තේරුම්ගැනීම සඳහා අපි එය නැවත සලකා බලමු. "පැවැත්ම (existence) ගැන බුදුන් දැක්‌වූ අදහස්‌ කච්චායන-ගොත්ත සූත්‍රයෙහි පහදා දී ඇත. එහි පැවසෙන්නේ සැම දෙයක්‌ ම පවතී යන්න එක්‌ අන්තවාදයක්‌ බව ය. එය අන්තවාදයක්‌ වන්නේ කෙසේ ද? සැම දෙයක්‌ ම නියත ව වෙනස්‌ නො වී සැම දා පවතී යන්න ඉන් අදහස්‌ වන්නේ නම් එය අන්තවාදයක්‌ වන්නේ ය. සැම දෙයක්‌ ම නො පවතී යන්න අනෙක්‌ අන්තවාදය බව පැවසීමෙන් බුදුහු තම අදහස පැහැදිලි කරති. මේ අන්තවාද දෙක එකල දාර්ශනිකයන් අතර පැවැති බව පෙන්වා දිය හැකි ය. උපනිෂද් පැවසුවේ නිත්‍ය වූ ආත්මයක්‌ පවතින බව ය. එය ශාස්‌aවතවාදය විය. කාර්වක (එකල පැවැති ධර්මයක්‌) මතය වූයේ කිසිවක්‌ නො පවතින බව ය. එය උච්ඡේදවාදය ලෙස හැඳින්වේ. මේ නයින් බලන කල යථාර්ථයක්‌ බුදුන් නො පිළිගත් බව කිව නොහැකි ය. මක්‌ නිසා ද සැම දෙයක්‌ ම නො පවතී යන්න අන්තවාදයක්‌ බව උන්වහන්සේ පැවසූ හෙයිනි. තව ද ලෝකයේ යථාර්ථයක්‌ නැතැයි බුදුන් පවසා නැත."

සැම දෙයක්‌ ම නො පවතී යන්න අන්තවාදයක්‌ බව බුදුන් වහන්සේ දේශනා කර ඇත. එය යම් සන්දර්භයක්‌ තුළ දේශනා කරන ලද්දක්‌ බව අප මින් ඉහත දී සඳහන් කර ඇත. එහෙත් සැම දෙයක්‌ ම ශූන්‍ය බව ද උන්වහන්සේ දේශනා කර ඇත. අපේ ප්‍රශ්නය වන්නේ මේ ශූන්‍ය යනු කුමක්‌ ද යන්න ය. සියල්ල නො පවතී යෑයි දේශනා නො කර උන්වහන්සේ සියල්ල අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම හා ශූන්‍ය යෑයි දේශනා කළ හ. මෙයින් කියෑවෙන්නේ පෘථග්ජනයන් පවතින්නේ යෑයි සිතන, කියන දේ ශූන්‍ය බව ය. ඒ අනාත්ම වෙයි. සියල්ල අනාත්ම නම් පවතින්නේ කුමක්‌ ද? ලෝකයේ අප දකින්නේ වෙනස්‌ වීමකි. එය ද සම්මුතියකි. වෙනස්‌ වීම පංචෙන්ද්‍රිය ගෝචර ය. එහෙත් අනෙක්‌ අතට අප කලින් ද කියා ඇති පරිදි සැම දෙයක්‌ ම වෙනස්‌ වෙමින් පවතී යනුවෙන් අදහසක්‌ බුදුන් වහන්සේ දේශනා කර නැත. කලින් ද කියා ඇති පරිදි කිසිවක්‌ නො පවතී යන්න උච්ඡේදවාදය නො ව නාස්‌තිකවාදයයි. යමක්‌ පැවතී නැති වීම උච්ඡේදවාදය ලෙස හැඳින්විය හැකි ය. වෙනස්‌ වෙමින් දිගට ම පැවතීම ද ශාස්‌වතවාදයකි. වෙනස්‌ වන දෙයක්‌ සදාකාලික ව ඇතැයි ගැනීම ශාස්‌වතවාදයකි. වෙනස්‌ වන දෙයක්‌ ටික කාලයකට පමණක්‌ පවතින්නේ යෑයි ගැනීම උච්ඡේදවාදයකි.

වෙනස්‌ වීම යන්න බුදුන් වහන්සේ ආනුභවික ව දැනගත්තේ යෑයි අමරතුංග මහතා පවසයි. එහෙත් ආනුභවික ව දැනගත හැක්‌කේ කුමක්‌ ද? කාලයක්‌ තිස්‌සේ නිරීක්‌ෂණය කළ විට පුටුවක්‌ දිරාපත් වනු දැකිය හැකි ය. එය ආනුභවික ව හා මනසින් නිර්මාණය කිරීමෙන් ලබාගන්නා අත්දැකීමකි. එහෙත් බුදුන් වහන්සේ අනිත්‍ය යනුවෙන් දේශනා කරන්නේ පුටුවක්‌ දිරාපත් වීම වැනි වෙනස්‌ වීමක්‌ ගැන නො වේ. කුඩා කල ළදරුවන් ව ළමයින් ව සිටි අපි දැන් විවිධ වයස්‌වල පසුවෙමු. ඒ බව නිරීක්‌ෂණය කිරීම පහසු කටයුත්තකි. ඕනෑ ම බටහිර විද්‍යාඥයකුට ඒ කළ හැකි ය. එහෙත් ප්‍රශ්නය වනුයේ වෙනස්‌ වන දෙයක්‌ නැති බව දැනගැනීම ය. ආත්මයක්‌ සහිත ව වෙනස්‌ වන පුද්ගලයකු නිරීක්‌ෂණය කිරීම අපහසු කටයුත්තක්‌ නො වේ. එය මනස මුල් කරගත් පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීමක්‌ හා මනසේ නිර්මාණයකි. එහෙත් වෙනස්‌ වන්නකු, වෙනස්‌ වන දෙයක්‌ නොමැති ව වෙනස්‌ වීම යන්න මනස මුල් කරගත් පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීමක්‌ නො වේ. එය කිසිසේත් ම අනුභාවික අත්දැකීමක්‌ නො වේ. බුදුන් වහන්සේ දේශනා කරන අනිත්‍ය, ආනාත්ම සමඟ බැඳී ඇත. අමරතුංග මහතා ඊනියා අනිත්‍යයෙන්, එනම් මනස මුල් කරගත් පංචෙන්ද්‍රිය ගෝචර වෙනස්‌ වීමකින් අනාත්ම ගම්‍ය කරයි. ඒ කිසි ම න්‍යායක්‌ හෝ තර්කයක්‌ හෝ නැති ව අපෝහනය කිරීමකි. අමරතුංග මහතාට අනිත්‍ය යන්නෙන් අනාත්ම ලබාගන්නා ආකාරය පැහැදිලි කළ හැකි ද?

අපි මෙය තවදුරටත් විභාග කරමු. පුටුවක්‌ වෙනස්‌ වීම (දිරාපත් වීම) අනිත්‍ය නො වේ. මෙහි දී වැදගත් වන්නේ වෙනස්‌ වන පුටුවක්‌ ඇතැයි සැලකීම ය. එහි භයානක ම නිගමනය නම් පුටුවක්‌ ඇතැයි ගැනීම ය. අපි අමරතුංග මහතා ගෙන් හා බටහිර විද්‍යාවේ හසළ දැනුමක්‌ ඇති වෙනත් එවැනි අය ගෙන් ප්‍රශ්නයක්‌ අසමු. පුටුව ආනුභවික ද? පුටුව පංචෙන්ද්‍රිය ගෝචර ද? අප කලින් ප්‍රශ්න කර ඇති පරිදි පුටුව ගෝචර වන්නේ පංවෙන්ද්‍රියවලින් කිනම් ඉන්ද්‍රියට ද? පුටුව යන්න පංචෙන්ද්‍රිය ගෝචර යෑයි බොහෝ දෙනා සිතා සිටිය ද එය පංචෙන්ද්‍රිය ගෝචර මනස මුල් කරගත් වස්‌තුවක්‌ නො වේ. එය මනස විසින් ගොතනු ලැබ ඇති සංකල්පයකි. පුටුවේ වර්ණය ඇසට ගෝචර වන්නේ යෑයි යමකුට කිව හැකි ය. එහෙත් එය ඇසට පමණක්‌ ගෝචර වන්නක්‌ නො වේ. මනස නොමැති ව ඇසට පමණක්‌ පුටුවේ පාට යන සංකල්පය දැනගත නො හැකි ය. සියලු දැනුම් මනස මුල් කර ගත්තේ වෙයි. කැමරාවකට (ඩිජිටල් වුව ද) පුටුවේ පාට ගැන දැනුමක්‌ නැත. එහෙත් පුටුවේ පාට එහි ඇත.

තවදුරටත් විශ්ලේෂණය කිරීමේ දී මෙය ද වැරදි ඉදිරිපත් කිරීමක්‌ බව පැහැදිලි වනු ඇත. අපට පුටුවේ පාට යනුවෙන් කිව නොහැකි ය. එසේ කීමේ දී අපි පළමුවෙන් පුටුව යනුවෙන් දෙයක්‌ (වස්‌තුවක්‌) ඇතැයි උපකල්පනය කර දෙවනුව එහි පාටක්‌ ගැන කතා කරමු. එහෙත් මූලික ප්‍රශ්නය පුටුව ගෝචර වන්නේ මනසට හා පංචෙන්ද්‍රියවලින් කිනම් ඉන්ද්‍රියකට ද යන්න ය. අප කරන්නේ පාට, හැඩය, රළු බව, ආදිය එකතු කර ඒ ගුණ සියල්ලෙහි අයිතිකරු ලෙස පුටුවක්‌ සිතෙන් නිර්මාණය කිරීම ය. පුටුව යන්න වත් ආනුභාවික නැත. එය පංචෙන්ද්‍රියවල සෘජු ආධාරයක්‌ නොමැති ව, පාට ආදී ආනුභාවික ගුණ මත පදනම් ව මනස විසින් පමණක්‌ නිර්මාණය කෙරෙන බොරුවකි. පාට යන්න ද ඇස හා මනස එකතු වී නිර්මාණය කරන බොරුවකි. පුටුව හා පාට යනු දෙක ම බොරු වුව ද පාට මනස හා ඇස එකතු වී නිර්මාණය කරන අතර පුටුව පංචෙන්ද්‍රියවලින් කිසි ම ඉන්ද්‍රියයක්‌ සෘජුව යොදා නො ගෙන මනස පමණක්‌ විසින් නිර්මාණය කෙරෙන බොරුවකි. පුටුවක්‌ කියා දෙයක්‌ නැත. ඒ ශූන්‍ය වෙයි. එහෙත් එය මා 6ගේ ව්‍යවහාරය අනුව පට්‌ටපල් බොරුවක්‌ නො වේ. මා පට්‌ටපල් බොරු යෑයි කියන්නේ බොරු "තේරුම් කිරීම" සඳහා මනස විසින් ගොතනු ලබන වියුක්‌ත කතාන්දරවලට ය. බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු වන්නේ එබැවිනි.

දහනව වැනි සියවසේ ප්‍රධාන වශයෙන් වියානාව මුල්කරගෙන ජීවත් වූ අර්නස්‌ට්‌ මාක්‌ යථානුභූතවාදයෙක්‌ (Positivist) විය. ඔහු සුප්‍රසිද්ධ වියානා කවයෙහි සාමාජිකකයෙක්‌ විය. එමෙන් ම ඇතැමුන්ට අනුව ඔහු තර්කානුසාරී යථානුභූතවාදියෙහි (Logical Positivism) පියා විය. ඔහු භෞතික විද්‍යාඥයෙක්‌ ද විය. ශබ්දයෙහි වේගය හා සම්බන්ධ මාක්‌ සංඛ්‍යාව (Mach Number) පිළිබඳ ව මෙන් ම ලුඩ්විග් බොල්ට්‌ස්‌මාන් සමඟ ඇති කරගත් විවාද සම්බන්ධයෙන් ද ඔහු ප්‍රසිද්ධ ය. මාක්‌ යථාර්ථය ලෙස සැලකුවේ පංචෙන්ද්‍රිය ගෝචර දේ (වස්‌තු) පමණ ය. ඔහු පරමාණුවල පැවැත්ම ප්‍රතික්‌ෂේප කෙළේ ය. එමෙන් ම අවස්‌ථිති සමුද්දේශ රාමුවල පැවැත්ම ද ඔහු ප්‍රතික්‌ෂේප කළේ ය. තරුණ අයින්ස්‌ටයින්ට සාධාරණ සාපේක්‌ෂතාවාදය නිර්මාණය කිරීමේ දී මාක්‌ ගේ මේ අදහස්‌ බලපෑවේ ය. සාධාරණ සාපේක්‌ෂතාවාදයෙහි නිව්ටෝනීය අවස්‌ථිති රාමු නැත. එබැවින් එහි ඊනියා ගුරුත්වාකර්ෂණය ද නැත. නිව්ටන්ට අනුව ගුරුත්වය යටතේ චලනය වන වස්‌තු අයින්ස්‌ටයින්ට අනුව නිදැල්ලේ චලනය වෙයි. යා දෙක නොරත රත සමග පෑහීමක්‌ නැතැයි කීවාක්‌ මෙන් අයින්ස්‌ටයින් ගේ සාධාරණ සාපේක්‌ෂතාවාදයේ නැති ගුරුත්වාකර්ෂණය හා ක්‌වොන්ටම් භෞතිකය එක්‌ කළ නො හැකි ය. අද බටහිsර භෞතික විද්‍යාඥයන් උත්සාහ කරන්නේ නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය හා ක්‌වොන්ටම් භෞතිකය එක්‌ කිරීමට ය.

මාක්‌ බෞද්ධයකු ලෙස ජීවත් වූ බව සඳහන් වෙයි. ඔහු ගාල්ලේ වැඩ විසූ භික්‌ෂූන් වහන්සේ නමක සමග ලිපි ගනුදෙනුවක්‌ ද කර ඇති බව කියෑවෙයි. ඔහුට පංචෙන්ද්‍රිය ගෝචර නො වන දේහි පැවැත්ම ප්‍රතික්‌ෂේප කිරීමට යථානුභූතවාදය මෙන් ම බුදුදහම ද ඇතැම් විට බලපාන්නට ඇත. ඒ එසේ වුවත් නැතත් මාක්‌ පංචෙන්ද්‍රිය ගෝචර දේ (වස්‌තු) පවතින්නේ යෑයි සැලකීම ද බුදුදහමට එකග නො වේ. පංචෙන්ද්‍රිය ගෝචර වස්‌තු ද මනසෙහි නිර්මාණ පමණ ය. ඊනියා යථාර්ථයක්‌ නැත. එහෙත් මෙරට සිටින බටහිර විද්‍යාඥයන්ට (ඔවුන් අලුතෙන් ඉදිරිපත් කර ඇති හරිහමන් සංකල්පයක්‌ හෝ ප්‍රවාදයක්‌ හෝ නැති වුවත් අපි ඔවුන්ට ද විද්‍යාඥයන් යෑයි කියමුෘ) අනුව බුදුන් වහන්සේ ගේ ධර්මයෙහි යථාර්ථයක්‌ ගැන සඳහන් වෙයි. අපි අමරතුංග මහතා ගේ උක්‌ත ලිපියෙන් ම තවත් කොටසක්‌ උපුටා දක්‌වමු. "මේ නයින් බලන කල පෙනී යන්නේ අඥෙයවාදය හැර බුදුන් හෝ උන්වහන්සේ ගේ සමකාලීන දාර්ශනිකයන් හෝ අප සංජානනය කරන ලෝකයේ යථාර්ථයක්‌ නැතැයි පවසා නැත. අප ගේ ඉන්ද්‍රිය පද්ධතියෙන් ස්‌වායත්ත වූ ලෝකයක්‌ නැතැයි පවසා නැත."

බුදුන් වහන්සේ පමණක්‌ නො ව උන්වහන්සේ ගේ සමකාලීන දාර්ශනිකයන් ද ලෝකයේ යථාර්ථයක්‌ නැතැයි ද අප ගේ ඉන්ද්‍රීය පද්ධතියෙන් ස්‌වායත්ත වූ ලෝකයක්‌ නැතැයි ද පවසා නැතැයි අමරතුංග මහතා කියයි. ලෝකයේ යථාර්ථයක්‌ ඇතැයි හෝ නැතැයි හෝ අමරතුංග මහතා කියන්නේ කෙසේ ද? ලෝකය යන්න ම පවතින්නේ ද? ලෝකය යනුවෙන් අමරතුංග මහතා අදහස්‌ කරන්නේ කුමක්‌ ද? ඒ ලෝකයට වස්‌තුව අයත් නො වේ ද? අමරතුංග මහතා සඳහන් කරන්නේ වස්‌තු සත්ත්වයන්, විකිරණ ආදිය නැති ලෝකයක්‌ ද? අප අමරතුංග මහතා වචන පාවිච්චිය ගැන සැලකිලිමත් නො වන බව උදාහරණ මගින් පෙන්නා දී ඇත. ඒ කෙසේ වෙතත් යථාර්ථයක්‌ ඇතැයි බුදුන්වහන්සේ දේශනා කර ඇති තැනක්‌ අමරතුංග මහතා දන්නේ ද?

මනසින් තොර ව ලෝකයක්‌ නැති බව නො පිළිගන්නා අමරතුංග මහතා ගේ දැනගැනීම සඳහා කිව යුත්තේ මනසින් තොර ව මනස ද නැති බව ය. මනස ද මනසෙහි නිර්මාණයකි. (සිංහල බෞද්ධ මනස මැයෙන් ඇති ලිපියෙහි මේ බව සාකච්ඡා වෙයි.) මේ සියල්ල ඇති වන්නේ ත්‍රිලක්‌ෂණය පිළිබඳ අවිද්‍යාව නිසා ය. අමරතුංග මහතා 2015 දෙසැම්බර් 02 වැනි දා ලිපියෙහි වැදගත් කරුණු කිහිපයක්‌ සඳහන් කරයි. අපි අදාළ කොටස උපුටා දක්‌වමු. "තණ්‌හාව මනසේ හටගන්නා ගුණාංගයක්‌ මිස මනස විසින් තෝරාගැනෙන ගුණාංගයක්‌ නො වේ. එක්‌ ආශාවකින් තවත් ආශාවකට දිගින් දිගට ම මනස ගමන් ගන්නා නිසා එහි සීමාවක්‌ හෝ සම්පූර්ණ සංසිඳවීමක්‌, තෘප්තිමත් වීමක්‌ නැත. ලබාගැනීමක්‌, උසස්‌ වීමක්‌, වැජඹීමක්‌, භාව අවශ්‍යතාවක්‌ වැනි ආශාවන් මත මනස ක්‍රියාකාරී වන්නේ ය. මේ ආශාවන් ඇති වීම සඳහා මනස තුළ අවිද්‍යාව නිසා ඇති වන මමත්වය "මම" යන හැගීම තිබිය යුතු ය. මම යනුවෙන් දෙයක්‌ නැති බව බුදුන් පෙන්වා දී ඇත. එය ඇති වන්නේ අවිද්‍යාව නිසා ය."

තණ්‌හාව මනසෙහි හටගන්නා ගුණාංගයක්‌ බව අමරතුංග මහතා පවසයි. තණ්‌හාව ද අනෙක්‌ දැ මෙන් ම මනසෙහි නිර්මාණයකි. යම් යම් ආශාවන් මත මනස ක්‍රියාකාරී වන්නේ යෑයි අමරතුංග මහතා කියයි. ඒ ආශාවන් ඇති වන්නේ කොහේ ද? එසේත් නැතිනම් ඒ ආශාවන් නිර්මාණය වන්නේ කොහේ ද? අමරතුංග මහතා ඒ නො සැලකුවත් ආශාවන් ද මනසෙහි නිර්මාණය වෙයි. ඒ ආශාවන් ද මනසෙහි හටගන්නා බව අමරතුංග මහතා කියන්නේ නම් මා ඒ සමග එකග නො වුණ ද එයට ලකුණු දීමට මා සූදානම් ය. එහෙත් මෙහි වැදගත් ම කොටස වන්නේ මම යනුවෙන් දෙයක්‌ නැතැයි බුදුන් වහන්සේ පෙන්වා දී ඇතැයි අමරතුංග මහතා පැවසීම ය. "මම" ඇති වන්නේ ද ත්‍රිලක්‌ෂණය පිළිබඳ අවිද්‍යාව නිසා ය. එපමණක්‌ නො ව ඊනියා ලෝකය ද ඇති වන්නේ ඒ අවිද්‍යාව නිසා ය. අමරතුංග මහතා මම නැතැයි යන්න පිළිගන්නේ දැයි නො දනිමි. ඒ මහතා කියන්නේ බුදුන් වහන්සේ ඒ බව පෙන්වා දී ඇති බව පමණ ය. මම යන්න යථාර්ථයක්‌ දැයි ලෝකයේ යථාර්ථයක්‌ ගැන කියන අමරතුංග මහතා අපට පැහැදිලි කරන්නේ ද? "මම" නැති ව ලෝකය පවතින්නේ යෑයි අමරතුංග මහතා කියන්නේ ද?

නලින් ද සිල්වා