logo3.gif (702 bytes)

HOME


ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 08

අප සාකච්ජා කරන්නේ ජීවිතයේ අරුත සම්බන්ධයෙන් විද්‍යාවෙන් සහ දර්ශනයෙන් ගත හැකි කරුණු පිළිබඳව ය. පසුගිය ලිපියේ අවසානයේ සාකච්ඡා වූයේ මිනිස්‌ ගුණාංග ගැන ය. ඒවා පරිණාමය වී ඇත්තේ කෙසේ ද යන ප්‍රශ්නය දෙස බැලීම සහ එහි අර්ථය දෙස බැලීම අපි ආරම්භ කළෙමු. මේ මිනිස්‌ ගුණාංග අවශ්‍ය යෑයි අප සිතන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකට වර්ධනය වී ඇති බව පැවසුවෙමි. කාම ආශාව, අයිති කරගැනීමට ඇති ආශාව, ඥානය, කරුණාව වැනි මූලික ගුණාංග මේ ලෙස වැඩි වී ඇත. එය සත්ත්ව පරිණාමය සමග සිදු වී ඇති දෙයක්‌ බව ද අප පෙන්වා දී ඇත. චිම්පන්සියා ගේ සිට මිනිසා දක්‌වා පරිණාමය සිදු වන විට මොළය විශාල ප්‍රමාණයකින් වර්ධනය විය. ඒ නිසා ගැටලු විසඳීමේ හැකියාව, විඥානය සහ භාෂාව පිළිබඳ හැකියාවක්‌ වර්ධනය විය. මේවා සිදු වූයේ ඇයි ද යන ප්‍රශ්නය ඇසිය යුතුව ඇත. ජීවිතයේ අරුත පිළිබඳව අප ඉදිරිපත් කරන මතවාදයට එම ප්‍රශ්නය ඉතා ම වැදගත් ය.

තෘෂ්ණාව සංකිර්ණ වූ මිනිස්‌ ගුණාංගයකි. එය කාම ආශාව මුල් කරගෙන වර්ධනය වූ ගුණාංගයක්‌ යෑයි සිතිය හැකි ය. අයිති කරගැනීමේ ආශාව කාම ආශාව මුල් කරගෙන වර්ධනය වූවක්‌ විය හැකි ය. තම ලිංගික සහකරු හෝ සහකාරිය වෙන කෙනකු සමග සම්බන්ධ වීම ගැන අකැමැත්තක්‌ ඇති වීම නිසා අයිති කරගැනීමේ ආශාව වැඩෙන්නට ඇත. සැම දෙයක්‌ ම අයිති කරගැනීමේ ආශාව මේ ලෙස වැඩෙන්නට ඇත. සංසිඳවාලන්නට බැරි තරමට එය වර්ධනය වී ඇත. මෙය අහඹු සිදුවීමක්‌ ද? ස්‌වභාවධර්මය විසින් සිදු කරන ලද්දක්‌ ද? අප ආශා කරන්නේ පරිසරයේ ඇති දේවලට ය. පරිසරය නිර්මාණය කෙරෙන්නේ ස්‌වභාවධර්මය විසිනි. තව ද අප ආශා කරන සමහර දේවල් අප විසින් ම නිර්මාණය කරනු ලබන දේවල් ය. අප ගේ නිර්මාණාශීලිත්වය මෙයට වගකිව යුතු ය. අප ගේ නිර්මාණශීලිත්වය වර්ධනය කර ඇත්තේ පරිණාමය මගිනි. එසේ සිදු වීමට හේතුව කුමක්‌ ද? නිර්මාණශීලිත්වය නිසා තෘෂ්ණාව පෝෂණය වන බව කිව හැකි ය. තෘෂ්ණාවට අවශ්‍ය දේ නිර්මාණය වන්නේ නිර්මාණශීලිත්වය නිසා ය. තෘෂ්ණාව සන්සිඳවාලීමට වෑයම් කරන්නේ නිර්මාණශිලිත්වය ය. එහෙත් තෘෂ්ණාව සන්සිඳවාලීම එතරම් පහසු කාර්යයක්‌ නො වේ. ඒ සඳහා නිර්මාණශීලිත්වය තව තවත් වෑයම් කළ යුතු ය. තෘෂ්ණාව විසින් නිර්මාණශීලිත්වය ද නිර්මාණශීලිත්වය විසින් තෘෂ්ණාව ද උත්තේජනය කෙරෙන බව පෙනෙන්නට ඇත. මේ චක්‍රීය ක්‍රියාදාමය සිදු වන විට DNA, RNA සහ ප්‍රොaටීන් දියුණු වෙමින් නිර්මාණය වන බව පැවසිය හැකි ය. අප ගේ මතවාදය ඔප්පු වීමට මෙය සාක්‌ෂියක්‌ නො වන්නේ ද? ජීවිතයේ අරුත DNA, RNA සහ ප්‍රොaටීන් නිෂ්පාදනය නො වන්නේ ද? ස්‌වභාවධර්මය, ජීව පරිණාමය, පරිසරය, තෘෂ්ණාව, නිර්මාණශීලිත්වය යන ක්‍රියාදාමයන් අතර ඇති සම්බන්ධතාව සහ එහි එලය පහත දැක්‌වෙන සටහනින් පෙන්නුම් කළ හැකි ය.

අප පවසා ඇත්තේ තෘෂ්ණාව විසින් මිනිසා ස්‌වභාවධර්මයට/විශ්වයට සේවය කිරීම පිණිස වහලකු ලෙස බැඳ තබනු ලැබ ඇති බව ය. මේ වහල් බන්ධනයෙන් මිදෙන සැටි බුදුන් පෙන්වා දී ඇත. තෘෂ්ණාව පිළිබඳ බුදුන් ගේ අනගි දේශනාවල සඳහන් කරුණු සාකච්ඡාවට භාජන කළ යුතු ය. මිනිසා ගේ දුකට හේතුව තෘෂ්ණාව බව බුදුන් පවසා ඇත. තෘෂ්ණාව පටිච්චසමුප්පාදයේ වැදගත් ස්‌ථානයක්‌ උසුලයි. තව ද තණ්‌හාව සංසිඳවිය නොහැකි ක්‍රියාදාමයකි. තණ්‌හාව මනසේ හටගන්නා ගුණාංගයක්‌ මිස මනස විසින් තෝරාගැනෙන ගුණාංගයක්‌ නො වේ. එක්‌ ආශාවකින් තවත් ආශාවකට දිගින් දිගට මනස ගමන් ගන්නා නිසා එහි සීමාවක්‌ හෝ සම්පූර්ණ සංසිඳවීමක්‌, තෘප්තිමත් වීමක්‌ නැත. ලබාගැනීමක්‌, උසස්‌ වීමක්‌, වැජඹීමක්‌, භාව අවශ්‍යතාවක්‌ වැනි ආශාවන් මත මනස ක්‍රියාකාරී වන්නේ ය. මේ ආශාවන් ඇති වීම සඳහා මනස තුළ අවිද්‍යාව නිසා ඇති වන මමත්වය "මම" යන හැඟීම තිබිය යුතු ය. මම යනුවෙන් දෙයක්‌ නැති බව බුදුන් පෙන්වාදී ඇත. එය ඇති වන්නේ අවිද්‍යාව නිසා ය. පටිච්චසමුප්පාදය අවිද්‍යාවෙන් ආරම්භ කළ හොත් තණ්‌හාව එන්නේ අට වැනි පුරුක ලෙස ය. පටිච්චසමුප්පාදය එලෙස ආරම්භ නො වන බව සහ එය චක්‍රීය බව අපි දනිමු.

තෘෂ්ණාව බුදු දහමේ වර්ග තුනකට බෙදා වෙන් කොට ඇත. ඒවා කාම තණ්‌හා, භව තණ්‌හා සහ විභව තණ්‌හා ලෙසිනි. කාම තණ්‌හාව යනු සතුට ගෙන දෙන දේවලට ඇති ආශාව ය. ද්‍රව්‍යයමය දේවලට ඇති ආශාව පමණක්‌ නො ව අදහස්‌, මතවාද, සංකල්ප, විශ්වාසවලට බැඳී සිටීම ද කාම තණ්‌හා ලෙස වල්පොල රාහුල හිමි සඳහන් කරති. භව තණ්‌හා යනු ජීවිතයට ඇති ආශාව ය. මෙය උත්පත්තියේ සිට පිහිටන දෙයකි. ජීවිතය නැති නො වී පවත්වාගෙන මම යන හැඟීම පෙරදැරි කරගෙන අතීතය වර්තමානය සහ අනාගතයක්‌ සහිත වූ ජීවියෙකු ලෙස පැවතීමට ඇති ආශාව භව තණ්‌හාව ලෙස සැලකිය හැකි ය. විභව තණ්‌හාව වනාහි අසතුට ගෙන දෙන අත්දැකීම්වලින් මිදීමේ ආශාව වන්නේ ය. සමහර අවස්‌ථාවල දී ජීවිතයෙන් පවා මිදීමේ ආශාවක්‌ ඇති විය හැකි ය.

චතුරාර්ය සත්‍යයේ තුන්වැනි සත්‍යයට අනුව ආශාව නැති කරගත හැකි ය. ආශාව මත රැඳී සිටීම නතර කරගත හැකි ය. ඉන් නිදහස්‌ විය හැකි ය. බුදුන් මේ ලෙස පැවසුවේ ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්‌කප්පවත්තන සූත්‍රයෙනි. යහපත් ආශාවන් තිබෙන බව ද බුදු දහමෙහි පෙන්වා දී ඇත. බුදුන් පෙන්වා දුන් මාර්ගයේ ගමන් කිරීමට දක්‌වන කැමැත්ත එවැනි යහපත් ආශාවක්‌ ලෙස සැලකිය හැකි ය.

අප පවසා ඇත්තේ තෘෂ්ණාව විසින් මිනිසා විශ්වයට/ස්‌වභාවධර්මයට සේවය කිරීම පිණිස වහලකු ලෙස බැඳ තබනු ලැබ ඇති බවයි. මිනිසා පරිණාමයේ එලයක්‌ නිසා තෘෂ්ණාව පරිණාමය වූයේ කෙසේ දැයි සොයා බැලිය යුතු ය. සත්ත්වයන් ගේ මූලික අවශ්‍යතා වන්නේ ආහාර, ආරක්‌ෂණය සහ ලිංගික ප්‍රජනනය වන්නේ ය. මේවාට ආශා වීම මූලික ආශාවන් ලෙස සැලකිය හැකි ය. මේවා නොමැති ව ජීවිතයක්‌ පැවතිය නොහැකි ය. ඊට පසු වාසස්‌ථාන වුවමනා විය. ජීවියාට තිබූ ඥානය සහ නිර්මාණශීලිත්වය භාවිත කොට ඔවුහු වාසස්‌ථාන නිර්මාණය කර ගත් හ. ඒ සඳහා පරිසරයේ තිබූ ද්‍රව්‍ය පාවිචිචි කරන ලදි. වාසස්‌ථාන අවශ්‍ය වූයේ ස්‌වභාවධර්මයේ ආපදාවලින් බේරී සිටීමට ය. ස්‌වභාවධර්මයේ ආපදා නිර්මාණය වී ඇත්තේ ස්‌වභාවධර්මයට/විශ්වයට අවශ්‍ය අන්දමට ය. මේ නිසා වාසස්‌ථාන නිර්මාණය කිරීම සඳහා උත්තේජනයක්‌ සපයනු ලැබ ඇත්තේ ස්‌වභාවධර්මය/විශ්වය විසිනි. වාසස්‌ථාන නිර්මාණය පරිණාමයේ ක්‍රියාදාමයකි. සතුන් ඔවුන් ගේ වාසස්‌ථාන නිර්මාණය කරන්නේ ඔවුනට ආවේනික අන්දමට ය. එම ක්‍රියාදාමය ඔවුන් ගේ ජාන මගින් පාලනය කරන බව පැවසිය හැකි ය. මෙලෙස ම ඔවුන් ගේ ආහාර, ආරක්‌ෂණය, ලිංගික ප්‍රජනනය වන මූලික අවශ්‍යතා ද පාලනය කරන්නේ ඔවුන් ගේ ජාන මගිනි.

මේ අන්දමට මූලික අවශ්‍යතාවලට අමතරව නොයෙකුත් අවශ්‍යතා ඇති වන්නට විය. මේ අමතර අවශ්‍යතා බහුලව දැකිය හැක්‌කේ මිනිස්‌ ජීවිතයේ ය. සතුන් අතර මෙවැනි අමතර අවශ්‍යතා ඇත්තේ සීමිත ප්‍රමාණයකට ය. එහෙත් මිනිසා එසේ නො වන්නේ ය. ඔහු ගේ (සහ ඇය ගේ) අවශ්‍යතාවලට සීමාවක්‌ නැත. මේ අමතර අවශ්‍යතා ද මූලික අවශ්‍යතාවල වර්ධනය වීමක්‌ බව පෙනෙන්නට ඇත. උදාහරණයක්‌ ලෙස ආහාර ගත හොත් මිනිසා ආහාර ගන්නේ ජීවත් වීම පිණිස පමණක්‌ නො වන බව ආහාර නිෂ්පාදනය ආශ්‍රිත කර්මාන්තවල වර්ධනය පෙන්වා දෙයි. ආහාරවල රස සුවඳ දැනෙන අන්දමට අප ගේ ස්‌නායු පද්ධතිය සැකසී ඇත. එම රස සහ සුවඳ තව තවත් විඳගැනීමේ ආශාව අප සතු ය. එම කර්මාන්ත දියුණු වන්නේ ඒ නිසා ය. රස සහ සුවඳ විඳගැනීමේ හැකියාව සහ ආශාව අපට අයත් වන්නේ ජාන මාර්ගයෙනි. එහි වැඩි වීම පරිණාමය නිසා සිදු වූ දෙයකි. සතුන් ගේ තිබෙන ප්‍රමාණයට වඩා මිනිසා ගේ එම ආශාව විශාල ලෙස වැඩි වී ඇත. මෙසේ සිදු වීමට ඇති අවශ්‍යතාව කුමක්‌ ද? එම ආශාව වැඩි වීමෙන් මිනිසාට යහපතක්‌ ඇති වී තිබේ ද? යහපතට වඩා අයහපතක්‌ සිදු වී ඇති බව පෙනෙන්නට ඇත. රස සහ සුවඳ නිසා මෙලෙස සිදු වූ අයහපත පිළිබඳව ස්‌වභාවධර්මය/විශ්වය වගකිව යුතු ය. මිනිසාට ඇති වූ යහපත හෝ අයහපත කුමක්‌ වුව ද ආහාර කර්මාන්තය දියුණු වීමේ දී යම්කිසි නිර්මාණශීලිත්වයක්‌ ඥානයක්‌ භාවිත වන්නේ ය. මෙතැන දී ජානවල දියුණුවක්‌ (අප දියුණුවක්‌ ලෙස දකින) සිදු වන්නේ ය. අප සිදු කර ඇත්තේ විශ්වයට/ස්‌වභාවධර්මයට දියුණු වූ ජාන සපයා දීම ය. එම ආහාර ගෙන අප මරණයට පත් වුව ද අප නිෂ්පාදනය කළ ජාන ඊළඟ පරම්පරාවට දායාද වන්නේ ය. මිනිසා විසින් සිය දුක්‌ත ජීවිතයේ දී විශ්වයට/ස්‌වභාවධර්මයට සිදු කෙරෙන සේවය මෙය වන්නේ ය.

ඉහත සඳහන් වන්නේ ආහාර භාවිත කොට මිනිසා ලවා ස්‌වභාවධර්මය/විශ්වය විසින් සේවයක්‌ ඉටු කර ගැනෙන අන්දම ය. ආරක්‌ෂණය පිළිබඳව ද කිව හැක්‌කේ මෙවැනි ම වූ දෙයකි. මිනිසා ගේ ආරක්‌ෂණයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඒ සඳහා අවශ්‍ය තාක්‌ෂණය දියුණු වී ඇත. ඒ සඳහා ඥානය සහ නිර්මාණශීලිත්වය අවශ්‍ය වන්නේ ය. එවිට ජානවල දියුණුවක්‌ සිදු වන්නේ ය. මිනිසා ගේ මරණයට පසුව ඉතිරි වන්නේ මේ ජාන ය. ලිංගික ප්‍රජනනය පිළිබඳව ද කිව හැක්‌කේ මෙවැනි දෙයකි. ප්‍රජනනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වූ ලිංගික ආශාවක්‌ මිනිසාට (සහ ගැහැනියට) ලැබී ඇත. සමහර ජීව විද්‍යාඥයන්ට අනුව මෙය සිදු වී ඇත්තේ නිෂ්පාදනය වන මිනිසුන් ගේ සංඛ්‍යාව මෙලෙස වැඩි කරගෙන ඒ මාර්ගයෙන් ජාන සංකලනය වීමක්‌ ඇති කරගැනීමට ය. ජාන සංකලනය ඇති වීමෙන් ජානවල දියුණුවක්‌ සිදු විය හැකි ය. මිනිසා එක ගැහැනියකට වඩා ගැහැනුන් සංඛ්‍යාවක්‌ ඇසුරු කිරීමට ද ආශාවක්‌ දක්‌වයි. මින් සිදු වන්නේ ද ජාන විවිධත්වය සහ මිශ්‍ර වීම වැඩි වීම ය. ඒ මගින් ජානවල දියුණුවක්‌ සිදු විය හැකි ය.

මේ නයින් බලන කල පෙනී යන්නේ පරිණාමය හේතු කොටගෙන දියුණු වූ සත්ත්වයා එසේ දියුණු වී ඇත්තේ උගේ යහපතට නො ව විශ්වය/ස්‌වභාවධර්මය සඳහා සේවයක්‌ කිරීම පිණිස බව ය. පරිණාමය මගින් කොපමණ දියුණු වුවත් මිනිසා කෙටි කාලයක්‌ දුකින් ජීවත් වී මරණයට පත් වන්නේ ය. ඉතිරි වන්නේ DNA, RNA ප්‍රොaටීන් පමණි. මිනිසා දුකින් ජීවත් වන්නේ තෘෂ්ණාව නිසා බව පැහැදිලි ය. මිනිසා තුළ තෘෂ්ණාව සහ ඊට සම්බන්ධ දුක ඇති වී තිබෙන්නේ අහඹු ලෙස නො වේ. එසේ සිදු වී ඇත්තේ ස්‌වභාවධර්මයේ/විශ්වයේ වුවමනාවන් සපුරා ලීමට ය. දුක පිළිබඳව ද අප සාකච්ඡා කළ යුතු වන්නේ ය.

දුක, අසතුට, කණගාටුව යන ගුණාංග ද පරිණාමය නිසා වර්ධනය වී ඇත. සතුන් දුකින් සිටිනවා අප දැක ඇත. තම පැටවුන් නැති වූ විට ඔවුන් කණගාටුවෙන් හඬනවා අපි අසා ඇත්තෙමු. සතුන් ගේ දුක වැඩි වේලාවක්‌ පවතින්නේ නැත. එහෙත් මිනිසා ගේ දුක බොහෝ වේලාවක්‌ පවතී. තව ද එහි තීව්‍රතාව සතුන් ගේ දුකට වඩා බොහෝ සෙයින් වැඩි ය. තම පෙම්වතා හෝ පෙම්වතිය හෝ මරණයට පත් වුවොත් ඒ දුකින් ජීවිතය නැති කරගන්නා අය සිටින බව අපි දනිමු. මෙවැනි දෙයක්‌ සතුන් අතර දකින්නට නැත. පරිණාමය අධ්‍යයනය කරණ ජීව විද්‍යාඥයන් නිතර සිතන්නේ පරිණාමය නිසා ජීවීන්ට යහපතක්‌ සිදු වන බව ය. එය පරිණාමික වාසිය (evolutionary advantage) ලෙස ඔවුහු හඳුන්වති. දුක දෙස ද ඔවුන් බලන්නේ ඒ ලෙසිනි. දුක නිසා එම අවස්‌ථාවේ අපට යහපතක්‌ සිදු වේ යෑයි ඔවුහු සිතති. කෙනකු දුකින් සිටින විට නැදෑ මිත්‍රයන් ගේ සැලකිල්ලට භාජන වීමෙන් දුක තුනී වීම ඔවුන් දකින්නේ දුක නිසා සිදු වූ යහපත් දෙයක්‌ ලෙස ය. දුකින් සිටින තැනැත්තා හඳුනාගත හැකි වන්නේ දුක ප්‍රකාශ කිරීම පරිණාමය නිසා වැඩි වී තිබෙන හෙයිනි. මෙය දුක නිසා ඇති වන යහපතක්‌ ලෙස ඔවුහු සලකති.

එහෙත් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ දුකට පත් වීම නමැති ක්‍රියාදාමය ඇති වූයේ ඇයි ද යන්න ය. අප ගේ මතය නම් දුක සහ ඊට හේතුව වන තෘෂ්ණාව එක්‌ පද්ධතියක්‌ ලෙස ජාන වර්ධනය වීම සඳහා ක්‍රියා කරන බවයි. මිනිසා නිර්මාණය වී ඇත්තේ දුක්‌ විඳින්නට ය. තෘෂ්ණාව නිසා දුක ඇති වේ. මේ දෙක ම ක්‍රියාකාරි වීම නිසා මිනිසා තව තවත් දේවල් පසු පස්‌සේ එලවයි. තෘෂ්ණාව නිසා යමක්‌ පස්‌සේ එලවන්නා එය නො ලැබුණු විට දුකින් තැවෙයි. ඉන් නො නැවතී දුක නැති කරගන්නට තවත් දෙයක්‌ කෙරෙහි තෘෂ්ණාව ඇති කරගෙන එය පසු පස යයි. මෙහි ප්‍රතිඑලයක්‌ වන්නේ DNA, RNA, ප්‍රොaටීන් නිර්මාණය වීම ය. මේ ගැන ඉදිරි ලිපිවල සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc