logo3.gif (702 bytes)

HOME


ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 07

අප සාකච්ඡා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳව විද්‍යාවෙන් සහ දර්ශනයෙන් (ආගම් ඇතුළු ව) ලබාගත හැකි කරුණු පිළිබඳව ය. පළමුව අපි විද්‍යාවේ දර්ශනය පිළිබඳ ලිපි 25ක්‌ පමණ පළ කරමින් සාකච්ඡා කළෙමු. ඊට පසු පැරැණි ශිෂ්ටාචාරවල පැවැති විද්‍යාව සහ දර්ශනය ගැන ද ලිපි 10ක්‌ පමණ ලියමින් සාකච්ඡා කළෙමු. දැන් අලුත් මාතෘකාවක්‌ යටතේ අප ගේ ම මතවාදයක්‌ ඉදිරිපත් කරමින් සාකච්ඡාව ඉදිරියට ගෙන යන්නෙමු. පසුගිය ලිපියේ සාකච්ඡා වූයේ ක්‌වොන්ටම් මතවාදයේ අර්ථකථන පිළිබඳව ය. කෝපන්හේගන් අර්ථකථනය සහ ඩි බ්‍රොග්ලි-බොහොම් අර්ථකථනය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළෙමු. මේ අර්ථකථන දෙකේ ප්‍රධාන වෙනස වන්නේ කෝපන්හේගන් අර්ථකථනය අනියතිවාදී වන අතර ඩි බ්‍රොග්ලි-බොහොම් අර්ථකථනය නියතිවාදී වන්නට වෑයම් කරන බව ය.

අප ගේ මතවාදයට බෙහෙවින් අදාළ වන්නේ එම කරුණ ය. පැරැණි ශිෂ්ටාචාරවල පැවැති දර්ශනය තුළ ද නියතිවාදය මෙන්ම අනියතිවාදය ද තිබුණු බව අප පෙන්වා දී ඇත. ලෝකයේ පැරැණි ම ශිෂ්ටාචාරය වන මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ (ක්‍රි. පූ.3500) දර්ශනය ස්‌වභාවධර්මය මිනිසාට වඩා ඉහළින් තැබුවේ ය. පැරැණි ඊජිප්තුවේ ශිෂ්ටාචාරය

(ක්‍රි. පූ. 3000) ඊට සමාන මතයක්‌ පිළිබිඹු කළේ ය. ඉන්දියානු ශිෂ්ටාචාරයේ (ක්‍රි. පූ. 2800) වෛදික ග්‍රන්ථවලින් දැනගත හැක්‌කේ විශ්වය කුමක්‌ හෝ හේතුවක්‌ නිසා ආරම්භ වූ බව ය. චීන ශිෂ්ටාචාරයේ (ක්‍රි. පූ. 2100) දර්ශනය වූයේ ස්‌වභාවධර්මයට පුමුඛ ස්‌ථානය දීම විය. පසු කාලයක මේ ශිෂ්ටාචාර තුළට දේව ධර්මය සහ දෙවියකු විසින් විශ්වය මවනු ලැබ ඇතැයි යන අදහස ඇතුළු වූයේ විශ්වයට ආරම්භයක්‌ සපයාගැනීම සඳහා විය. වෙනත් කාරණා නැත්තේ නො වේ. ගැලවුම්කාරයකු ලෙස ද, ආරක්‌ෂකයකු ලෙස ද දෙවියකු ගේ අවශ්‍යතාව තිබිණි. ස්‌වභාවධර්මය හෝ දෙවියකු හෝ මිනිසාට ඉහළින් තැබීම නියතිවාදය පිළිගැනීමකි. ස්‌වභාවධර්මය හෝ දෙවියකු හෝ විශ්වයේ ක්‍රියාදාමයන් පාලනය කරන බව පිළිගැනීම ය.

ඉන්දියාවේ බුදුන් ගේ කාලය (ක්‍රි. පූ. 6 වැනි සියවස) වන විට නියතිවාදීන් ද අනියතිවාදීන් ද සිටි බව කිව හැකි ය. බුදුන් ගේ සමකාලීන මක්‌ඛලීගෝසාල, මැවුම්කාර දෙවියකු පිළිබඳ විශ්වාසයක්‌ තබාගත්තේ ය. පූරණකස්‌සප විශ්වාස කළේ ස්‌වභාව නියතිවාදයකි. ස්‌වභාවධර්මය විසින් සැම දෙයක්‌ ම පාලනය කරනු ලබන බව ය. එසේ ම සැම දෙයක්‌ ම අහඹු සිදුවීම් යෑයි විශ්වාස කළ අනියතිවාදීන් ද සිටි බව පැවසිය හැකි ය. බුදුහු මේ අන්තවාදී අදහස්‌වලට විරුද්ධ ව මධ්‍යස්‌ථ පිළිවෙතක්‌ අනුගමනය කළ සේක. ලෝකය සහ එහි ක්‍රියාදාම අහඹු සිදුවීම් නො වන බව උන්වහන්සේ පවසා සිටි සේක. එසේ ම සිදුවීම් දෙවියකු ගේ හෝ ස්‌වභාවධර්මයේ හෝ දැඩි නීතිවලට අනුව සිදු නො වන බව උන්වහන්සේ පවසා සිටි සේක. එසේ සිදුවීම් ස්‌වභාවධර්මයේ හෝ දෙවි කෙනකු ගේ හෝ නීතිවලට අනුව සිදු වනවා නම් ස්‌වෛරී අභිමතයට ඉඩක්‌ නැත. බුදුන් පැවසුවේ ස්‌වෛරී අභිමතය ක්‍රියාකාරී වන බව ය. මිනිසා ගේ සැප දුක ඇති වන්නේ ආරය, මිනිසා ගේ භෞතික ස්‌වභාවය, ස්‌වභාවධර්මය, ස්‌වෛරී අභිමතය සහ කර්මය යන කරුණු කිහිපයක්‌ හේතු කොටගෙන බව බුදුහු පැවසූ සේක. හේතු ප්‍රත්‍යය ගැන ද බුදුහු ඉතා ම ගැඹුරු දහමක්‌ පටිච්චසමුප්පාදය මාර්ගයෙන් දේශනා කොට වදාළ සේක. තව ද බුදුන් සූත්‍ර කිහිපයක ම ප්‍රත්‍යයන් හේතු කොටගෙන සිදුවීම් ඇති වන බව පහදා දී ඇත. පටිච්චසමුප්පාදය නියතිවාදයක්‌ නො වන්නේ ය. මෙය මෙසේ නිසා එය එසේ ය සහ මෙය මෙසේ නො වන නිසා එය එසේ නො වන්නේ ය යනුවෙන් බුදුන් දේශනා කොට ඇත. පටිච්චසමුප්පාදය සහ හේතු ප්‍රත්‍යය පිළිබඳව පෙර ලිපියක දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති නිසා එය නැවත පැවසීම අනවශ්‍ය ය. අවශ්‍ය වන්නේ බුදුන් ගේ මේ දේශනාව සහ ජීවිතයේ අරුත පිළිබඳ අප ගේ මතවාදය අතර යම්කිසි එකඟතාවක්‌ ඇත් දැයි සොයා බැලීම ය.

මෙය ඇති වන විට එය ඇති වේ යන්න නියතවාදී අදහසක්‌ නො වන බව බුදු දහම පවසයි. මෙය ඇති නො වන විට එය ඇති නො වේ යන්න ද නියතිවාදී නො වේ. මෙය හේතු කොටගෙන එය ඇති වේ යන්න නියතිවාදී වන්නේ ය. බුදු දහම එසේ නො කියයි. මේ ප්‍රත්‍යයන් නිසා එය සිදු වේ යන්න නියතිවාදී නො වන්නේ ය. අනියතිවාදී ද නො වන්නේ ය. බුදුන් ගේ ධර්මයට අනුව සිදුවීම් සහ මිනිසා ගේ ඇති වීම සහ චක්‍රීය පැවැත්ම සංඛත (conditioned genesis) ක්‍රියාදාමයකි. එය සම්පූර්ණයෙන් නියතිවාදී (determined) නො වේ. හේතුව (cause) සහ ප්‍රත්‍යය (condition) යන්නේ වෙනස බුදු දහම පහදා දී ඇත. ස්‌වභාවධර්මය හෝ විශ්වය මිනිසා නිර්මාණය කර ඇත්තේ ඔහු ලවා සේවයක්‌ කරවාගැනීමට බව අප පවසා ඇත. එසේ නිර්මාණය කරන විට මිනිසා තුළ ස්‌වෛරී අභිමතය ද ඇතුළුව එම නිර්මාණය සිදු කරන්නට ඇත. තව ද මිනිසා ගේ දුක සැප නිගමනය කිරීමේ දී ස්‌වභාවධර්මයට ද යම්කිසි කාර්යය භාරයක්‌ ඉටු කරන්නට ඉඩ සලස්‌වන්නට ඇත. ආරය වනාහි DNAවලින් නිගමනය වන දෙයකි. මිනිසා ගේ භෞතික ස්‌වභාවය ද ස්‌වභාවධර්මය/විශ්වය විසින් සකස්‌ කොට DNA විසින් පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන අන්දමට සකස්‌ වී ඇත. මිනිසා ගේ දුක සැප නිගමනය වීම පිණිස අවශ්‍ය යෑයි බුදුන් වදාළ කරුණු සියල්ල මෙලෙස ස්‌වභාවධර්මය/විශ්වය විසින් සකස්‌ කරනු ලැබ ඇත්තේ මිනිසා විසින් එය සඳහා සිදු කරනු ලබන සේවය සිදු කරගැනීම පිණිස ය. ස්‌වභාවධර්මය/විශ්වය විසින් මෙලෙස මිනිසා නිර්මාණය කිරීම නියතිවාදී නො වන්නේ ය. ස්‌වභාවධර්මය සහ මිනිසා නමැති පද්ධතිය නියතිවාදී නො වන්නේ ය. අනියතිවාදී ද නො වන්නේ ය. හේතු ප්‍රත්‍යයන් රාශියක්‌ විසින් නිගමනය කිරීම වනාහි එම අන්ත දෙකට ම නො ගොස්‌ මධ්‍යස්‌ථ පිළිවෙතක්‌ අනුගමනය කිරීම ය.

අප ගේ මතය වන්නේ ස්‌වභාවධර්මය/විශ්වය නියතිවාදී ලෙස මිනිසා නිර්මාණය කොට නැත යන්න ය. ඊට අවශ්‍ය සේවය කිරීම පිණිස මිනිසා තුළ සහ පිටින් ක්‍රියාකාරී වන ප්‍රත්‍යයන් රාශියක්‌ නිසා මිනිසා යම් කිසි අන්දමකට ජීවිතය ගෙන යයි. ඒ මගින් මිනිසා ගෙන් විය යුතු සේවය සිදු වේ. අප පවසා සිටියේ මිනිසා නිර්මාණය වී ඇත්තේ තෘෂ්ණාව, ඥානය, නිර්මාණශීලිත්වය වැනි ගුණාංග මෙන්ම ලිංගික ප්‍රජනනයට ඇති කැමැත්ත, සොයා දැනගැනීමේ කැමැත්ත වැනි ගුණාංගවලින් සමන්විතව බව ය. තව ද එසේ සිදු වී ඇත්තේ එම ගුණාංග නිසා විශ්වයට අවශ්‍ය සේවය මිනිසා ගෙන් ඉටු වන නිසා බව ය. මිනිසා ගේ ගුණාංග සහ පරිසරයේ ගුණාංග නිසා ජීවිතය හැඩගැසේ. එම හැඩගැසීම හේතු කොටගෙන DNA, RNA, ප්‍රොaටීන් නිෂ්පාදනය දියුණු වේ. මිනිසා තුළ සහ පිටත ඇති ගුණාංග නිසා මිනිසා ගේ ජීවිතය නිගමනය වන බව බුදු දහම පවසා ඇත. අප ගේ මතවාදයට බුදු දහමේ මේ අදහස්‌ බෙහෙවින් ගැලපෙන බව පෙනේ. බුදුන් පවසා සිටියේ ප්‍රත්‍යයන් කිහිපයක්‌ නිසා මිනිස්‌ ජීවිතය හැඩගැසෙන බව ය. අප ගේ මතවාදයට මේ අදහස්‌ ඉතා ම වැදගත් ය. ඒවා කිසි ම ගැටුමක්‌ නැති ව එකඟ වන බව කිව හැකි ය.

අප ගේ මතවාදය ක්‌වොන්ටම් මතවාදය සමඟ එකඟ වනවා දැයි සොයා බැලිය යුතු ය. ක්‌වොන්ටම් මතවාදය පිළිබඳව අර්ථකථන කිහිපයක්‌ ම තිබෙන බව අපි දනිමු. ඒවායින් පුමුඛස්‌ථානයක්‌ ගන්නේ කෝපන්හේගන් අර්ථකථනය සහ ඩි බ්‍රොaගලි-බොහොම් අර්ථකථන වන්නේ ය. තවත් වැදගත් අර්ථකථන එකක්‌ හෝ දෙකක්‌ තිබිය හැකි ය. කෝපන්හේගන් අර්ථකථනයට අනුව ක්‌වොන්ටම් මතවාදය අනියතිවාදී ය. ඩි බ්‍රොaගලි-බොහොම් අර්ථකථනයට අනුව එය නියතිවාදී වන්නේ ය. මේ නයින් බලන කල ක්‌වොන්ටම් මතවාදය නියතිවාදී හෝ අනියතිවාදී හෝ යෑයි නිත්‍ය වශයෙන් කිව නොහැකි ය. එම නිසා ක්‌වොන්ටම් මතවාදය අප ගේ මතවාදයට විරුද්ධ නො වන්නේ ය. එය බුදු දහමේ පටිච්චසමුප්පාදයට ද විරුද්ධ වන්නේ නැත. පටිච්චසමුප්පාදය නියතිවාදී නො වන්නේ ය. අනියතිවාදී ද නො වන්නේ ය.

අප ගේ මතවාදය පිළිබඳව සලකා බලන විට තෘෂ්ණාව ඉතා ම වැදගත් වන බව කිව යුතු ය. අප පවසා ඇත්තේ විශ්වයට සේවය කිරීම පිණිස මිනිසා වහලකු ලෙස බැඳ තබාගනු ලැබ ඇත්තේ තෘෂ්ණාව විසින් බව ය. මිනිසා තුළ තෘෂ්ණාව නිර්මාණය වී ඇත්තේ මේ කාර්යය සඳහා ය. තෘෂ්ණාව පිළිබඳව බුදු දහම ඉතා ම ගැඹුරු පහදා දීමක්‌ කර ඇත. ඒ ගැන අප පසුව කතා කරමු. ඊට පෙර ජීව විද්‍යාව සහ ජීව පරිණාමය ගැන සලකා බලා තෘෂ්ණාව කුමන කාර්ය භාරයක්‌ ඉටු කරනවා දැයි සොයා බලමු. තෘෂ්ණාව මූලික වශයෙන් ලිංගික ප්‍රජනනයට ඇති ආශාව ලෙස ඉතා සරල සත්ත්ව ගණයට අයත් වන ජීවීන් අතර පවා ඇති බව පෙන්වා දිය හැකි ය. ජීව ලෝකයේ සත්ත්ව ගණයට අයත් සත්ත්වයන් වංශ පහකට බෙදේ. ඒවා නම් අපෘෂ්ඨවංශී (Invertebrate), පෘෂ්ඨවංශී (Vertebrate), සන්ධිපාදික (arthropods), මෘද්වංගී (mollusc), ශල්‍යචර්මී (echinoderms). මින් පහළ මට්‌ටමක නැතිනම් පරිණාම වෘක්‌ෂයේ පහතින් ම සිටින ශල්‍යචර්මියා පවා ලිංගික ප්‍රජනනයට ආශාවක්‌ පෙන්නුම් කරන බව පරීක්‌ෂණ මගින් ඔප්පු කොට ඇත. ලිංගික ප්‍රජනයනට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකට ඒ සඳහා ආශාවක්‌ දක්‌වන සතුන් සිටින්නේ ඉහළ මට්‌ටමට අයත් වන වර්ගවල ය. උදාහරණයක්‌ ලෙස පෘෂ්ඨවංශියා අපෘෂ්ඨවංශියාට වඩා ලිංගික සංසර්ගයට ආශාවක්‌ දක්‌වයි. ප්‍රජනනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා එවැනි ආශාවක්‌ පෙන්නුම් කරයි. ජීවියා පරිණාමය වීමේ දී මේ ආශාව ද වැඩි වී ඇත්තේ කුමක්‌ නිසා ද? ප්‍රජනනය පිණිස අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වී ඇත්තේ කුමක්‌ නිසා ද? එය එසේ සිදු වී ඇත්තේ ස්‌වභාවධර්මය/ විශ්වයට අවශ්‍ය වූ නිසා ද? ජීවීන්ට තිබෙන ඥානය ද මේ අන්දමින් වැඩි වී ඇත. පහළ මට්‌ටමේ සත්ත්වයන් ගේ ඥානය ඉහළ මට්‌ටමේ සත්ත්වයන් ගේ ඥානයට වඩා අඩු ය. ඉහළ මට්‌ටමේ සත්ත්aවයන් ගේ මොළයේ පරිණාමය වැඩි වී ඇත. එසේ ම ඥානය ද ඒ සඳහා අවශ්‍ය මොළයේ කොටස්‌ ද වර්ධනය වී ඇත. එසේ වැඩි වී ඇත්තේ කුමක්‌ සඳහා ද? එදිනෙදා ප්‍රශ්න නිරාකරණය කරගෙන ජීවිතය ගෙන යන්නට අවශ්‍ය ඥානයට වඩා බොහෝ ලෙසින් වැඩි වූ ඥාන ප්‍රමාණයක්‌ මේ සත්ත්වයන්ට ලැබී ඇත. මිනිස්‌ වර්ගයාට චිම්පන්සියාට වඩා විශාල වූ ඥාන ප්‍රමාණයක්‌ ඇත. මිනිසාට අවශ්‍ය ආහාර නිවාස වැනි අත්‍යවශ්‍ය දේවල් නිර්මාණය කරගැනීමට අවශ්‍ය ඥානයට වඩා බොහෝ සෙයින් අධික වූ ඥාන ප්‍රමාණයක්‌ මිනිසා තුළ වර්ධනය වී ඇත. මේ කුමක්‌ සඳහා ද?

මිනිසා ගේ මොළය සාමාන්‍යයෙන් රාත්තල් තුනක්‌ පමණ බර වන්නේ ය. මෙය මිනිසා ගේ ශරීර බර සමඟ සස¹ බලන විට අති විශාල මොළයකි. චිම්පන්සියා පරිණාම වෘක්‌ෂයේ අපට කිට්‌ටු ම නෑදෑයා වන්නේ ය. උන් ගේ මොළය මිනිසා ගේ මොළයේ ප්‍රමාණයෙන් තුනෙන් එකක්‌ පමණ ය. උන් ගේ ශරීර බර මිනිසා ගේ ශරීර බරට සමාන ය. මෙසේ වැඩි වී ඇති මොළයේ කොටස්‌ වන බාහිකය (cortex) සිදු කරන කාර්යය වන්නේ විඥානය ප්‍රශ්න විසඳීම සහ භාෂාව පිළිබඳ ඇති හැකියාව වන්නේ ය. මෙතැන විඥානය යන්නේ තේරුම වන්නේ 'මම' යන හැගීම වන්නේ ය.

මිනිසා පරිණාමය වන විට ජානවල සිදු වූ වෙනස්‌කම් පෙන්නුම් කරන්නේ එම වෙනස්‌ වීම් පරිවෘත්තියේ (metabolism) සිට සෛලවලට වෙනත් සෛල සමඟ සම්බන්ධ වීමේ හැකියාව ද දියුණු වී ඇති බව ය. එසේ ම මේ දියුණුවත් සමග ම ච්මිපන්සීන්ට නැති ලෙඩ රෝග වන ඇල්සයිමර්ස්‌ (Alzheimer's disease) රෝගය සහ තවත් මානසික රෝග කිහිපයක්‌ මිනිසාට හිමි වී ඇත. මේවා සිදු වී ඇත්තේ කෙසේ ද? මේවා අහඹු සිදුවීම් ද? පරිණාමය අහඹු සිදුවීමක්‌ ද නැතිනම් නියතිවාදී සිදුවීමක්‌ ද? අනියතිවාදී ද?

ඥානය හැරුණු කල ආදරය සහ කරුණාව වැනි ගුණාංග ද සතුන් තුළ තිබෙනවාට වඩා අතිශය වැඩි ලෙස මිනිසා තුළ තිබෙන බව අපට පෙනේ. ආදරය කරුණාව මුලින් ම පහත් මට්‌ටමේ සතුන් තුළ ඇති වූයේ තම පැටවුන් බලා හදාගන්නට අවශ්‍ය වූ ගුණාංගයක්‌ ලෙස ය. තම වර්ගයේ පැවැත්ම සඳහා මෙය අත්‍යාවශ්‍ය වූයේ ය. මිනිස්‌ වර්ගයා ගේ පැවැත්ම සඳහා අවශ්‍ය වූ කරුණාවට වඩා වැඩි වූ කරුණාවක්‌ මිනිසාට දායද වූයේ ඇයි? එය පරිණාමය මගින් සිදු විණි ද? ඥානයේ වර්ධනය නිසා සිදු විණි ද? නැතිනම් අහඹු ලෙස සිදු විණි ද?

අප ගේ මතවාදය පිළිබඳ සාකච්ඡාවට මේ දේවල් ඉතා ම වැදගත් වන සහ අදාළ වන නිසා මේවා ගැන ඉදිරියේ දී සාකච්ඡා කරන්නට බලා පොරොත්තු වෙමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc