logo3.gif (702 bytes)

HOME


යථාර්ථයේ විශ්වාසය

ඩී එස්‌ සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි පැනනඟින ජීවිතයේ අරුත කුමක්‌ ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමට ගොස්‌ තමන් ජනප්‍රිය පොතපතින් පමණක්‌ කියවා ඇති එහෙත් තමන්ට අවබෝධයක්‌ නැති හැමිල්ටෝනිය යාන්ත්‍රිකය ෂ්රොඩිංගර් සමීකරණය ආදිය ගැන කියවමින් විදුසරෙහි පිටු නාස්‌ති කරයි. ඒ මහතා ෂ්රොඩිංගර් යන්න ලියන්නේ ස්‌ක්‍රොඩිංජර් ලෙස ය. ඒ රෝම අකාරාදිය යොදාගනිමින් ෂ්රොඩිංගර් (Schrodinger) යන්න ලියන ආකාරය සිංහලෙන් ප්‍රකාශ කරමින් ලබාගන්නකි. එසේ සිංහලෙන් ලිවීම (උච්චාරණය) පිළිබඳ ව මම ඒ මහතාට දොස්‌ නො කියමි. එහෙත් ඒ මහතා ෂ්රොඩිංගර් සමීකරණය පිළිබඳව ගුරුවරයකු ගෙන් අසා දැන නො ගත් බවත්, තමන් වැනි ම අය හැර වෙනත් කිසිවකු සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කර නොමැති බවත් එයින් පැහැදිලි වෙයි. මෙරට විශ්වවිද්‍යාලවල විද්‍යා පීඨවල කිසිවකු ෂ්රොඩිංගර් යන්න ස්‌ක්‍රොඩිංජර් ලෙස උච්චාරණය කරනු මා අසා නැත. ඔවුහු ඇතැම් විට ෂ්රූඩිංගර් ලෙස නම් එය උච්චාරණය කරති.

සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි ජීවිතයෙහි අරුත කුමක්‌ ද යන ප්‍රශ්නය පැන නො නගී. සිංහල බෞද්ධයනට අනුව ජීවිතය දුක ය. ඒ නැති කිරීම, එනම් නිවන් අවබෝධය සඳහා අප හිස ගිනිගත් ලෙසින් පාරමී ධර්ම පිරිය යුතු ය. ජීවිතයේ අරුත කුමක්‌ ද යන්න අමරතුංග මහතා තමා ගේ නැවුම් අදහසක්‌ ලෙස මතු කර පෙන්වීමට තැත් කළ ද, බටහිර පොත්පත්වල සාකච්ඡා වී ඇති ප්‍රශ්නයකි. උදාහරණයක්‌ වශයෙන් රූපට්‌ ෂෙල්ඩේ්‍රක්‌ මහතා ගේ "ද සයන්ස්‌ ඩිල්‍යqෂන්" (The Science Delusion) කෘතිය සඳහන් කළ හැකි ය. අමරතුංග මහතා ජීවිතයේ අරුත කුමක්‌ ද යන ප්‍රශ්නයට අද දෙන පිළිතුරට සමාන පිළිතුරක්‌ ෂෙල්ඩේ්‍රක්‌ මහතා දී ඇත. ෂෙල්ඩේ්‍රක්‌ මහතා බටහිර විද්‍යාවේ ප්‍රධාන ධාරාවට අයත් නැති බවත් ඔහු ප්‍රධාන ධාරාවේ අය අතින් විවේචනයට භාජන වන බවත් සැබෑ ය. එපමණකින් ඔහු කියන දේ නො සලකා හැරිය හැකි නො වේ. අඩු තරමෙන් ජීවිතයෙහි අරුත සම්බන්ධයෙන් ගත් කල අමරතුංග මහතා බටහිර විද්‍යාවේ ප්‍රධාන යාන්ත්‍රික චින්තනයට අයත් නො වේ. මම ෂෙල්ඩේ්‍රක්‌ මහතා ගේ අරුත මෙන් ම බටහිර විද්‍යාවේ යාන්ත්‍රික චින්තනය ද ප්‍රතික්‌ෂේප කරමි. අපි ජීවිතයේ ඊනියා අරුත ගැන පසුව සකච්ඡා කරමු.

අපි එයට පළමුව ඒ මහතා ගේ අගෝස්‌තු 12 වැනි දින ලිපියට ආපසු යමු. ඔහු එහි මෙසේ කියයි. "අප යථාර්ථය යනුවෙන් හැඳින්වන්නේ කුමක්‌ ද? අප ඉන්ද්‍රිය මාර්ගයෙන් ලබාගන්නා දැනුම තුළ සත්‍යයක්‌ ඇතැයි යන විශ්වාසය යථාර්ථයක්‌ ලෙස සැලකිය හැකි ය. අප දකින දෙය සත්‍යයක්‌ ලෙස පවතින බව විශ්වාස කිරීම යථාර්ථය ලෙස ගත හැකි ය. අප ගේ ඉන්ද්‍රිය පද්ධතියෙන් ස්‌වායත්ත වූ ලෝකයක්‌ ඇතැයි විශ්වාස කිරීම යථාර්ථය ලෙස සැලකේ. අප ගේ ඉන්ද්‍රිය පද්ධතියෙන් ස්‌වායත්ත වූ ලෝකයක්‌ ඇතැයි විශ්වාස කිරීම යථාර්ථය ලෙස බටහිර දාර්ශනිකයෝ අර්ථ දක්‌වති."

අපි මෙහි එක්‌ පැත්තක්‌ නොවැම්බර් 11 වැනි දා ලිපියෙහි සාකච්ඡා කෙළෙමු. අද තවත් පැත්තක්‌ ඉස්‌මතු කරමු. අප දක්‌නා දෙය සත්‍යයක්‌ ලෙස පවතින බව විශ්වාස කිරීම යථාර්ථය ලෙස ගත හැකි යෑයි අමරතුංග මහතා පවසයි. ඉහත සඳහන් ඡේදයෙහි යථාර්ථය යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්‌ ද යන ප්‍රශ්නයට ලැබෙන පිළිතුරු හතරෙන් ම කියෑවෙන්නේ ඒ විශ්වාසයක්‌ බව ය. යථාර්ථය යනු විශ්වාස කිරීමක්‌ ද? බටහිර දාර්ශනිකයන් ගේ අර්ථදැක්‌වීමට අනුව යථාර්ථය යනු යම් දෙයක්‌ විශ්වාස කිරීම විය හැකි ය. (අමරතුංග මහතා ඒ දාර්ශනිකයන් එසේ ප්‍රකාශ කර ඇති තැන් අප වැන්නන් ගේ ද පහසුව සඳහා ප්‍රකාශ කෙළේ නම් මැනවි). අමරතුංග මහතා යථාර්ථය ගැන කෙතරම් කතා කළ ද ඔහුට ඊනියා යථාර්ථය ගැන පැහැදිලි හැඟීමක්‌, අවබෝධයක්‌ නැත. බටහිර විද්‍යාවේ ප්‍රධාන ධාරාවට ද ඒ ගැන පැහැදිලි අවබෝධයක්‌ නැත. ඔවුන් ගෙන් සමහරකුට අනුව පංචෙන්ද්‍රිය ගෝචර ද්‍රව්‍ය පමණක්‌ යථාර්ථය ය. කෝප්ප, ගෙවල්, ගස්‌, ගල්, මිනිසුන්, සතුන් ආදිය ඔවුන්ට යථාර්ථය වෙයි. එහෙත් ඔවුන්ට තම යථාර්ථය පිළිබඳ මතය සංගත ව කීමට බැරි ය. මේ අය අංක එකේ ද්‍රව්‍යවාදීහු (Materialists) වෙති.

මේ ද්‍රව්‍යවාදීන්ට මනස යනුවෙන් කිසිවක්‌ නැත. මනස යන්න මොළයේ ක්‍රියාවන් පමණකි. (මෙය බුදුදහම සමග කෙසේ වත් නො ගැළපෙයි). ඔවුන්ට ජීවිතයේ අරුතක්‌ නැත. ද්‍රව්‍ය මත ක්‍රියා කරන බලවලින් ජීවිතය ද ඉදිරියට ගලා යෑවෙයි. මේ බල ජීවිතය මෙන්ම වෙනත් වස්‌තූ ද අවසානයේ දී මුළු මහත් විශ්වය ද අතීතයෙන් අනාගතයට තල්ලු කරයි. නිව්ටන්ට අනුව ගුරුත්වාකර්ෂණය වැටෙන පොල් ගෙඩියක්‌ අනාගතයට ගෙන යයි. පොල් ගෙඩියට අරමුණක්‌ නැත. එයට ගස මුදුනෙහි සිට පොළොවට යැමට හෝ සිංහලයන් ගේ, මලයාලම් ජාතිකයන් ගේ ආහාරය සඳහා යමක්‌ එකතු කිරීමට හෝ ආදී වශයෙන් අරමුණු නැත. අමරතුංග මහතා හා ජීවිතයේ අරුතක්‌ ඇතැයි කියන වෙනත් අයට අප මත අනාගතයෙන් කරන බලපෑමක්‌ වෙයි. අපට ජීවිතයේ අරුතක්‌ ඇත්නම් එයින් කියෑවෙන්නේ අනාගතයක්‌ දෙස බලා අප කටයුතු කරන බව ය. වෙනත් වචනවලින් කිව හොත් අපේ ජීවිතය අනාගතයෙන් තීරණය කෙරෙයි. එය බටහිර විද්‍යාවේ ද්‍රව්‍යවාදයට විරුද්ධ ය. අතීතයේ සිට අනාගතයට විකාශය වීමට ද විරුද්ධ ය. ජිවිතයේ අරුත යන්න ද්‍රව්‍යමය දෙයක්‌ නො වේ. අමරතුංග මහතා නොදැනුවත් ම ද්‍රව්‍යවාදයට හා එමගින් බටහිර විද්‍යාවේ ප්‍රධාන ධාරාවේ චින්තනයට විරුද්ධ වෙයි. අමරතුංග මහතාට ද බොහෝ අයට මෙන් ම පැහැදිලි සංගත චින්තනයක්‌ නොමැතිකමින් මෙවැනි ඇබැද්දි සිදු වෙයි.

අපි දැන් ගසෙහි ඊනියා යථාර්ථය සලකා බලමු. ගස යන දැනුම දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියකට ද? අප බොහෝ දෙනා සිතන්නට (සිතන්නේ පංචෙන්ද්‍රියවලින් කිනම් ඉන්ද්‍රිය ද? හුදු සිතීම පංචෙන්ද්‍රිය ගෝචර ද? මොළය යන්න අවයවයක්‌ පමණකි. එය සළායතනවලට අයත් නො වේ. සළායතන යනු අවයව නො වන බව අවධාරණය කළ යුතු ය.) පුරුදු වී ඇත්තේ ගස, පොල් ගෙඩිය ආදිය පංචෙන්ද්‍රිය ගෝචර බව ය. ගස යන්න දැනෙන්නේ පංචෙන්ද්‍රියවලින් කිනම් ඉන්ද්‍රියකට ද? අපේ ඇස්‌වලට ගස නො පෙනෙයි. අපේ ඇස්‌වලට ගෝචර වන්නේ ගසේ කොළවල පාට, හැඩය, ආදිය ය. එසේත් නැත්නම් ගසෙහි පොත්තේ පාට ය. අපට ස්‌පර්ශ කර පොත්ත රළු බව දැනගත හැකි ය. මේ සැම දෙයක්‌ ම ගසෙහි යම් යම් ගුණ මිස ගස නො නො වෙයි. ගුණ ගැන ද අප දැනගන්නේ මනස ආධාර කරගනිමින් සංකල්ප ගොතාගනිමිනි. මනසින් තොර ව ගසේ පොත්ත වත් නැතෘ

ගස යනු මේ සියලු ගුණ "අයිතිකරු" ලෙස අපි සිතමු. ඒ "අයිතිකරු" අපේ සිත්වල පමණක්‌ ඇති දෙයකි. එපමණක්‌ නො වේ. ගස වෙනස්‌ වන්නේ යෑයි ද අපි කියමු. පෙබරවාරි මාසයේ දී රබර් ගස්‌aවල කොළ හැළෙන්නේ යෑයි අපි කියමු. එහෙත් ගස පවතින්නේ යෑයි අපි කියමු. ගස යන සංකල්පය අපේ සිත්වල නිර්මාණයක්‌ පමණකි. එය දැනෙන ඉන්ද්‍රියක්‌ පංචෙන්ද්‍රිය අතර නැත. වෙනත් වචනවලින් කිව හොත් ගස යන්න නලින් ද සිල්වා යන පුද්ගලයා මෙන් ම පංචෙන්ද්‍රියවලට ගෝචර නො වේ. පංචෙන්ද්‍රියවලට ගෝචර නො වන ගස යථාර්ථයක්‌ ලෙස සැලකීමට බටහිර විද්‍යාවේ ප්‍රධාන ධාරාවේ විද්‍යාඥයන්ට හැකි ද?

යථාර්ථය යනු කුමක්‌ දැයි ඇසූ කල බටහිර විද්‍යාඥයෙකුට දිය හැකි සංගත පිළිතුරක්‌ නැත. අපි ගස වැඩෙන්නේ ඇයි ද යන ප්‍රශ්නය සලකා බලමු. ගස ඇත්තේ මනසෙහි වුවත් අපි එසේ නො සිතමු. මෙහි ඇති භයානකකම නම් මනස මගින් ඇති කරනු ලැබෙන සංකල්පයක්‌ මනසින් තොර ව පංචෙන්ද්‍රියවලට ග්‍රහණය කරගත හැකි යෑයි සිතීමට මනස ම ඉදිරිපත් වීම ය. නැති ගසක්‌ ඇතැයි සිතීම සංසාර පුරුද්දකි. නැති මනසක්‌ ඇතැයි සිතන්නේ ද මනස ම යෘ ගසක්‌ ඇති බව කීම බොරුවකි. පෘථග්ජනයන්ට බොරු මිස වෙනත් දෙයක්‌ කීමට මනස ඉඩ නො දෙයි. නැති ගස ඇතැයි කීම බොරුවක්‌ නො වන්නේ ද? එහෙත් පෘථග්ජනයන් කියන්නේ බොරු බව පැවසූ විට බටහිsර විද්‍යාව කටගාගත් බොහාa දෙනා මා සමග උරණ වෙති. එසේත් නැත්නම් මට සමච්චල් කරති. එහෙත් එය මට ප්‍රශ්නයක්‌ නො වේ. නැති මට දොස්‌ කියන්නන් ගැන නැති මා කළ යුත්තේ කුමක්‌ ද? (බුදුන් වහන්සේ මේ බොරු ලෝකය ගැන උපේක්‌ෂාවෙන් බලන ලෙස දේශනා කළ හ. මනස විසින් සකස්‌ කෙරෙන, සංස්‌කරණය කෙරෙන බොරුවක ඇලෙන්නේ කුමකට ද? ඒ බොරුවකට ද්වේෂ කරන්නේ කුමකට ද? මෝහය නිසා ඇති වන ලෝභය හා ද්වේෂය යටපත් කළ යුතු ය. මෙය කියන්නට පහසු වුවත් ක්‍රියාත්මක කිරීම අපහසු ය.)

බටහිර විද්‍යාඥයෝ තවත් අසංගත දේ කියති. කාන්දම් කෑල්ලක්‌ යෑයි අප විසින් හැඳින්වෙන ද්‍රව්‍යවල කාන්දම් ගුණයක්‌ ඇතැයි බටහිර විද්‍යාඥයෝ කියති. (කාන්දම්, කාන්ති ආදි වචනවල මූලයෙහි තේරුම ආකර්ෂණය යන්න ය. සූරියකාන්ත මල සූර්යයා දෙසට ආකර්ෂණය වෙයි. කාන්තාවන්ට කාන්තාවන් යෑයි කියන්නේ ද ඔවුන්ට පිරිමින් ආකර්ෂණය වන බැවිනි. බොහෝ විට වියුක්‌ත සංකල්ප නිර්මාණය කෙරෙන්නේ පිරිමින් අතිනි. අපේ දැනුම ද බටහිර කේන්ද්‍රිය වීමට අමතරව පුරුෂ කේන්ද්‍රීය ද වෙයි. විශේෂයෙන් ම වියුක්‌ත දැනුම බොහෝ විට පිරිමින් අතින් බිහි වෙයි. ස්‌ත්‍රී ආධිපත්‍යයක්‌ තුළ පිරිමින් කාන්තලා - කාන්තුවන් ලෙස හැඳින්වීමට තිබිණි ද? ඇතැම් පිරිමින් ගේ නම් ලාල්කාන්ත ආදි වශයෙන් යෙදීම සහ සියලු පිරිමින් කාන්තුවන් ලෙස හැඳින්වීම එකක්‌ නො ව දෙකකි.) ඒ කාන්දම් ගුණය අපේ පංචෙන්ද්‍රියවලට ගෝචර නො වේ. එහෙත් කාන්දම් ගුණය, චුම්බකත්වය යථාර්ථයක්‌ ලෙස බටහිර විද්‍යාවේ ගැනෙයි. එවිට යථාර්ථය යනු පංචෙන්ද්‍රියවලට ගෝචර වන දේ පමණක්‌ නො වන බව කීමට බටහිර විද්‍යාඥයන්ට සිදු වේ. එනම් විද්යුත් චුම්බක ගුණය පංචෙන්ද්‍රියවලට ගෝචර නො වීම ඊනියා යථාර්ථයක්‌ බවට පත් වෙයි. (මේ වසරට මැක්‌ස්‌වෙල් ගේ විද්යුත්චුම්බක සමීකරණවලට වසර එක සිය පනහක්‌ පිරෙයි.) එවිට පැහැදිලි වන කරුණ නම් බටහිර විද්‍යාඥයන් ගේ යථාර්ථය පංචෙන්ද්‍රියවලට ගෝචර වන දේ පමණක්‌ නො වන බව ය.

ද්‍රව්‍යවාදීහු (Materialists) පංචෙන්ද්‍රියවලට ගෝචර වන ද්‍රව්‍යවලට (Matter) පමණක්‌ යථාර්ථය යෑයි කියති. යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියේ මැටර්, මදර් ආදී වචන එක ම මූලයකින් ලැබෙන බවත් එයින් ඒ සංස්‌කෘතියෙහි ද්‍රව්‍යයෙහි ඇති විශේෂත්වය, වැදගත් බව පිළිබිඹු වන බවත් ෂෙල්ඩ්රේක්‌ ඉහත සඳහන් පොතෙහි සඳහන් කරයි. එහෙත් බටහිර විද්‍යාඥයන්ට චුම්බකත්වය, ගුරුත්වාකර්ෂණය ආදිය ද යථාර්ථය ලෙස සැලකීමට සිදු වෙයි. ඒ එකක්‌ වත් අපේ පංචෙන්ද්‍රියවලට ගෝචර නො වෙයි. එහෙත් කැලණිය විශ්වවිද්‍යාලයෙහි රසායන විද්‍යා අංශයෙහි කථිකාචාර්යවරයකු ඔහු ගේ යම්කිසි අවයවයකට ගුරුත්වාකර්ෂණය ගෝචර වන බව පවසන බව මෙහි දී ඔහුට අසාධාරණයක්‌ නො වීම සඳහා ප්‍රකාශ කළ යුතු ය.

ඇල්බට්‌ අයින්ස්‌ටයින් විද්වතා ගුරුත්වාකර්ෂණයක්‌ නොමැති බව පවසා මේ අවුරුද්දට වසර සියයක්‌ ගෙවී ගොස්‌ ඇති නමුත් බටහිsර වෙසෙන බොහෝ බටහිර විද්‍යාඥයන්ට මෙන්ම මෙරට වාසය කරන බටහිර විද්‍යාව ගැන දත් බොහෝ දෙනාට ද ගුරුත්වාකර්ෂණය ඊනියා යථාර්ථයක්‌ බවට පත් වී ඇත. නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය සහ තවත් දේ අයින්ස්‌ටයින්ට අනුව අවකාශ කාලය වෙයි. අවකාශ කාලයේ වස්‌තු බල (ගුරුත්වාකර්ෂණය ද ඇතුළු) රහිත ව චලනය වීම (නිදැල්ලේ චලනය වීම) අවකාශ කාලයක්‌ නොමැති, අවකාශය හා කාලය වෙන වෙන ම පැවති නිව්ටන්ට පෙනී ගියේ ගුරුත්වාකර්ෂණය ලෙස ය. ගුරුත්වාකර්ෂණය යනු නිව්ටන් ගෙතූ පට්‌ටපල් බොරුවකි. එහෙත් එම ප්‍රවාදයේ, එනම් පට්‌ටපල් බොරුවේ සාර්ථකත්වය නිසා ම දහ නව වැනි සියවස අග භාගය වන විට ගුරුත්වාකර්ෂණය යථාර්ථයක්‌ බවට පත් වී තිබිණි. එහෙත් පුදුමය එය නො වේ. අයින්ස්‌ටයින් ගේ සාධාරණ සාපේක්‌ෂතා ප්‍රවාදයෙන් අවුරුදු සියයකට පසුව ද ගුරුත්වාකර්ෂණය ඊනියා යථාර්ථයක්‌ ලෙස පැවතීම ය.

මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ඊනියා යථාර්ථය යන්න ද ඇතැමුන් ගේ නිර්මාණයක්‌ පමණක්‌ බව ය. බටහිsර විද්‍යාවේ හා පොදුවේ ගත් කල බටහිsර දැනුමේ යථාර්ථය යන්න අමරතුංග මහතා කියන පරිදි ම විශ්වාසයක්‌ පමණක්‌ වුවත් අප මත බටහිsර දැනුම් ආධිපත්‍යය විසින් එය ද ඊනියා යථාර්ථයක්‌ බවට පත් කෙරී ඇත.

නලින් ද සිල්වා