logo3.gif (702 bytes)

HOME


බුදුන් වහන්සේ ආත්මවාදියකු කිරීම

ඩී එස්‌ සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා අපෙන් තොර ව වාස්‌තවික ලෝකයක්‌, යථාර්ථයක්‌ ඇති බව පෙන්වීමට ගෙනෙන උදාහරණ කිහිපයක්‌ විමසා බලමු. අගෝස්‌තු 12 වැනි දා ලිපියෙන් ඒ මහතා මෙසේ කියයි. "යථාර්ථය යනුවෙන් හැඳින්වන්නේ කුමක්‌ ද? එය සාර්වත්‍ර සංකල්පයක්‌ ද? එය සැමට පොදු ද? එය සැමට පොදු විය යුතු ද? නැත හොත් එය සංස්‌කෘති අනුව වෙනස්‌ වන්නේ ද? අප ගේ ඉන්ද්‍රිය සංජානනයෙන් ස්‌වායත්ත වූ ලෝකයක්‌ පවතින්නේ ද? අප ගේ ඉන්ද්‍රියයන් ගෙන් වෙන් වූ ලෝකයක්‌ ඇති ද? එවැනි ලෝකයක්‌ නැතැයි පැවසීම, අප බලන්නේ නැත්නම් ලෝකයක්‌ නැතැයි පැවසීම හා සමාන ය. අප ගේ ඉන්ද්‍රිය පද්ධතියෙන් ස්‌වායත්ත වූ ලෝකයක්‌ ඇත නමුත් එය තවමත් හරිහැටි දැනගන්නට බැරි වී ඇතැයි පැවසීම සත්‍යයට කිට්‌ටු ය."

අමරතුංග මහතා අප ගේ ඉන්ද්‍රිය පද්ධතියෙන් ස්‌වායත්ත වූ ලෝකයක්‌ ඇතැයි කී පමණින් එවැන්නක්‌ ඇති බව නො පෙන්වයි. ඔහු සාධනයෙන් තොර ව යමක්‌ ප්‍රකාශ කරයි. එවැනි ප්‍රකාශ සාධන හෝ පෙන්වා දීම් හෝ නො වේ. අමරතුංග මහතා සාධනයක්‌ (ඔප්පු කිරීමක්‌) නොමැති ව කරන ප්‍රකාශ අප පිළිගත යුත්තේ ඇයි? එවැනි ලෝකයක්‌ නැතැයි කීම අප බලන්නේ නැත්නම් ලෝකයක්‌ නැතැයි කීමට සමාන බව අමරතුංග මහතා කියයි. සිංහල බෞද්ධයන්ට අනුව දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ඇත. එවැනි ලෝක නැතැයි කියන්නකුට අමරතුංග මහතා අනුව යමින් සිංහල බෞද්ධයකු පිළිතුරු දුන හොත් ඒ මහතා එය පිළිගන්නේ ද? එසේත් නැත්නම් ඉන්ද්‍රිය ගෝචර සංසාරයක්‌ නොමැති නිසා සංසාරයක්‌ නැතැයි කියන්නකුට ඒ පිළිතුර දුන හොත් අමරතුංග මහතා ඒ පිළිතුර සමඟ එකඟ වන්නේ ද?

අනෙක්‌ අතට අමරතුංග මහතා පවසන්නේ ඉන්ද්‍රිය පද්ධතියෙන් ස්‌වායත්ත වූ ලෝකයක්‌ ඇති නමුත් තවමත් ඒ හරිහැටි දැනගැනීමට නොහැකි වී ඇති බවත් ය. තවමත් හරිහැටි දැනගැනීමට නොහැකි වූ දෙයක්‌ ඇතැයි පවසන්නේ කෙසේ ද? අමරතුංග මහතා කෝප්පයක්‌ ඇතැයි පවසන්නේ කෝප්පය ගැන යමක්‌ දැනගැනීමෙන් පසුව ය. අඩු ම තරමෙන් කෝප්පය අනෙක්‌ වස්‌තූන් ගෙන් වෙන් කරගත හැකි ය යන දැනුම අමරතුංග මහතාට වේ. කේප්පය පිළිබඳ මේ ඊනියා දැනීම අපේ නිර්මාණයක්‌ පමණක්‌ බව අපි පසුගිය පෙන්වා දුන්නෙමු. අප කියන දේ නො පිළිගත්තත් අමරතුංග මහතාට අනුව ඒ මහතාට කෝප්පයක්‌ ගැන දැනුමක්‌ ඇත. ඒ දැනුම අනුව ඒ මහතා කෝප්පයක්‌ ඇති බව පවසයි. එහෙත් ඒ මහතා අපෙන් ස්‌වායත්ත වූ යථාර්ථයක්‌ ඇති බව පවසන්නේ ඒ පිළිබඳ දැනුමක්‌ නැති ව ය.

අප කියන්නේ අප දකින ලෝකය, එනම් ඉන්ද්‍රිය ගෝචර (මනසේ ආධාරයෙන්) ලෝකය හා මනසින් පමණක්‌ අප දකින ලෝකය අපේ නිර්මාණයක්‌ බව ය. අප නිර්මාණය කරන ලෝකය වෙනත් දෙයට අමතර ව අපේ පංචෙන්ද්‍රියට හා මනසට සාපේක්‌ෂ ය. එනම් අප නිර්මාණය කරන ලෝකය සළායතනවලට සාපේක්‌ෂ ය. සළායතනවලිනුත් මනස ප්‍රධාන ය. මනසක්‌ නැති ව කිසි ම සංකල්පයක්‌ නැත. සංකල්ප නොමැති ව ලෝකයක්‌ නැත. එය ද හුදු ප්‍රකාශයක්‌ පමණක්‌ යෑයි යමකුට කිව හැකි ය. අපේ ලෝකය යනු අපේ දැනුම ය. අපේ දැනුමෙන් බාහිර ව ලෝක පවතින්නේ යෑයි කීම අමරතුංග මහතා ආදීන් ගේ පංචෙන්ද්‍රියට විෂය නො වන ලෝකයක්‌ නැත යන මතවාදය සමඟ එකඟ නො වේ. අමරතුංග මහතා වැන්නෝ ඉන්ද්‍රිය ගෝචර ලෝකයක්‌ ගැන පමණක්‌ විශ්වාස කරති. ඔවුන් ගෙන් ඇතැමෙක්‌ (අමරතුංග මහතා ද එසේ දැයි නො දනිමි) පුනබ්භවය නො පිළිගනිති. ඒ පුනබ්භවය ඉන්ද්‍රිය ගෝචර නො වන බැවිනි. ඔවුන්ට චාර්වකවාදීන්ට මෙන් සියල්ල මරණයෙන් කෙළවර වෙයි. පුනබ්භවය ඉන්ද්‍රිය ගෝචර නො වූ පමණින් ඒ නැතැයි පැවසීම අමරතුංග මහතා ගේ ම, අප බලන්නේ නැත්නම් ලෝකයක්‌ නැතැයි කීමට සමාන ය.

අප එකිනෙකා ගේ දැනුම වෙනස්‌ බව ඉතා පැහැදිලි ය. අප අම්මා කියන්නේ ඉංගිරිසියෙන් මදර් (Mother) යෑයි කියන තැනැත්තියට නො වන බව පසුගිය ලිපියෙන් ද පැහැදිලි කළෙමි. අප සියල්ලන්ට ම ඇත්තේ එක ම දැනුමක්‌ යෑයි කිසිවකුටත් කිව නොහැකි ය. අමරතුංග මහතා තම ලිපි කිහිපයකින් ම පළ කර ඇත්තේ චීන විද්‍යාව චක්‍රීය චින්තනය මත බිහි වූ බවත් චීන සංස්‌කෘතිය ස්‌වභාවධර්මය සමඟ සහජීවනයෙන් විසූ බවත් ය. බටහිර දැනුම (විද්‍යාව ද ඇතුළුව) රේය චින්තනය මත පදනම් වී ඇති අතර ස්‌වභාවධර්මය අප වෙනුවෙන් මැවී හෝ මවා හෝ ඇති බව උපකල්පනය කරයි. එවැනි වෙනත් සංස්‌කෘතීන්වලින් එක ම දැනුමක්‌ බිහි වන්නේ කෙසේ ද?

චීනයේ පැවතියේ ද බටහිර විද්‍යාව බව නීඩ්හම් මහතා පවසා ඇති තැනක්‌ අමරතුංග මහතාට උද්ධෘතයක්‌ සහිත ව පෙන්වා දිය හැකි ද? ඔහු ඒ බව 2015 ජූලි 01 ලිපියෙහි වාක්‍යයකින් පමණක්‌ ලියයි. "චීනයේ තිබුණේ කවදත් කොතැනත් තිබුණු විද්‍යාව ය. මේ බව විද්වත් ජෝශප් නීඩ්හම් ඉතා ම පැහැදිලි ලෙස එතුමා ගේ Science and Civilization in China (1954) නමැති ග්‍රන්ථයෙන් පෙන්වා දෙයි. මේ බව නො දන්නා ලෝකයේ විද්‍යාවන් බොහොමයක්‌ තිබෙනවා යෑයි සිතන අඥානයෝ, තවමත් ලෝකය පැතලි යෑයි සිතන අඥානයන් මෙන්, බහුභූත දොඩවති."

අමරතුංග මහතා අදාළ ඡේදය පිටු අංක සහිතව සඳහන් කළ යුතු ය. අමරතුංග මහතා ගේ අපහාස බැහැර කර මේ සම්බන්ධයෙන් දැනට කිව යුත්තේ අප කියන්නේ ලෝකයේ මිනිසුන් විවිධ දැනුම් පද්ධති බිහි කර ඇති බව ය. ඉන් සමහරකට විද්‍යාව යන නම යොදන්නේ අමරතුංග මහතා ය. බටහිර විද්‍යාව මේ දැනුම් පද්ධතිවලින් එකක්‌ පමණ ය. බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතිවලින් වෙන් වන්නේ එහි ඇති වියුක්‌ත ප්‍රවාද නිසා ය. චීන විද්‍යාව යනුවෙන් හැඳින්වෙන දැනුම් පද්ධතියෙහි වියුක්‌ත ප්‍රවාද නැත. වෛදික දැනුම් පද්ධතියෙහි වුව ද වියුක්‌ත ප්‍රවාද ඇත්තේ ඉතාමත් පහළ මට්‌ටමක ය. ඒ බව අප මෙයට පෙර ද කියා ඇත. වෛදික ගණිතයෙහි බොහෝ විට ඇත්තේ සූත්‍ර ය. වෛදික ගණිතයෙහි සාධන නැත. ස්‌වසිද්ධි පද්ධතියකින් පටන්ගෙන නිගමනවලට ඒමක්‌ වෛදික ගණිතයෙහි දක්‌නට නැත. පැරණි භාරතීයයන් පමණක්‌ නො ව විසිවැනි සියවසේ ඉන්දියාවෙහි විසූ ශ්‍රේෂ්ඨතම බටහිර ගණිතඥයා වූ රාමනුජන්ට ද සාධනය පිළිබඳ දැනුමක්‌ නො වී ය. මේ සියල්ලෙන් කියවෙන්නේ එක්‌ එක්‌ සංස්‌කෘතියෙහි නිර්මාණය වී ඇති දැනුම් විවිධ බව ය. අපි විවිධ දැනුම් පද්ධති ගැන පසුව තවදුරටත් සාකච්ඡා කරමු. දැන් නැවතත් යථාර්ථයක්‌ ඇත් ද යන්නට යොමු වෙමු.

2015 අගෝස්‌තු 19 දින ලිපියෙහි මෙසේ සඳහන් කරයි "පැවැත්ම (existence) ගැන බුදුන් දැක්‌වූ අදහස්‌ කච්චායන-ගොත්ත සූත්‍රයෙහි පහදා දී ඇත. එහි පැවසෙන්නේ සැම දෙයක්‌ ම පවතී යන්න එක්‌ අන්තවාදයක්‌ බව ය. එය අන්තවාදයක්‌ වන්නේ කෙසේ ද? සැම දෙයක්‌ ම නියත ව වෙනස්‌ නො වී සැම දා පවතී යන්න ඉන් අදහස්‌ වන්නේ නම් එය අන්තවාදයක්‌ වන්නේ ය. සැම දෙයක්‌ ම නො පවතී යන්න අනෙක්‌ අන්තවාදය බව පැවසීමෙන් බුදුහු තම අදහස පැහැදිලි කරති. මේ අන්තවාද දෙක එකල දාර්ශනිකයන් අතර පැවැති බව පෙන්වා දිය හැකි ය. උපනිෂද් පැවසුවේ නිත්‍ය වූ ආත්මයක්‌ පවතින බව ය. එය ශාස්‌තවාදය විය. කාර්වක (එකල පැවැති ධර්මයක්‌) මතය වූයේ කිසිවක්‌ නො පවතින බව ය. එය උච්ඡේදවාදය ලෙස හැඳින්වේ. මේ නයින් බලන කල යථාර්ථයක්‌ බුදුන් නො පිළිගත් බව කිව නොහැකි ය. මක්‌ නිසා ද සැම දෙයක්‌ ම නො පවතී යන්න අන්තවාදයක්‌ බව උන්වහන්සේ පැවසූ හෙයිනි. තව ද ලෝකයේ යථාර්ථයක්‌ නැතැයි බුදුන් පවසා නැත."

අමරතුංග මහතා බොහෝ පොතපත කියවා තිබෙන්නට පුළුවන. ඒ මහතා දැන් කරන්නේ ඒ පොතපතෙහි කරුණු තමාට තේරුම් යන ආකාරයට විදුසර පුවත්පතෙන් කීම ය. එහෙත් ඒ කරුණු නිවැරදි ද නැද්ද (සම්මුතිය අනුව) යන්න ගැන ඒ මහතාට අවබෝධයක්‌ නැත. ඉහත සඳහන් ඡේදයට අනුව චාර්වක (මෙය කාර්වක යනුවෙන් සඳහන් වන්නේ මුද්‍රණ දොaෂයකින් යෑයි සිතමි). කිසිවක්‌ නො පවතින බව කීවේ ය. එය උච්ඡේදවාදයක්‌ නො වේ. කිසිවක්‌ නො පවතින බව කියෑවෙන්නේ නාස්‌තිකවාදයෙහි (Nihilism) ය. කෙසේ වෙතත් මෙය බුදුන් වහන්සේ ලෝකය ශූන්‍ය යෑයි දේශනා කිරීම සමඟ පටලවාගත යුතු නො වේ. ලෝකය ශූන්‍ය වන්නේ අප නිර්මාණය කර ඇති ලෝකය ශූන්‍ය නිසා ය. අපේ ලෝක බොරු ය. ඒ ඇතැම් ලෝකවල බටහිර විද්‍යාව වැනි පට්‌ටපල් බොරු ද වෙයි. ශාස්‌වතවාදීහු දිගින් දිගට පවතින ලෝකයක්‌ ගැන විශ්වාසය පළ කළ හ. උච්ඡේදවාදීන් ගේ ලෝකය එසේ නො වී ය. එහි කැඩීම් විය. සිඳ දැමීම් විය. චාර්වක, අමරතුංග මහතා කියන අර්ථයෙන් නො වූවත් උච්ඡේදවාදියෙකි. උච්ඡේදවාදීහු මරණින් පසු ඉපදීමක්‌ නැතැයි විශ්වාස කළ හ. උච්ඡේදවාදිහු කිසිවක්‌ නැතැයි නො කී හ. ඔවුනට අනුව පවත්නා දෙය තාවකාලික විය. එහි කැඩීම්, සිඳදැමීම් විය. මේ බව අප කලින් ද සඳහන් කර ඇති නමුත් ඥනවන්ත අමරතුංග මහතා ඒ තේරුම්ගෙන නැත. ඇතැම් විට ඒ මහතා අඥනයන් කියන දේ බැහැර කරනවා විය හැකි ය.

බුදුන් වහන්සේ සැම දෙයක්‌ ම නො පවතී යන්න මෙන්ම පවතී යන්න ද අන්තවාද ලෙස සැලකූ හ. සැම දෙයක්‌ ම පවතී යන්න අන්තවාදයක්‌ වන්නේ ඇයි? අමරතුංග මහතාට අනුව සැම දෙයක්‌ ම වෙනස්‌ නො වී පැවතීම යන්න එක්‌ අන්තයකි. ඔහු කියන්නේ යමක්‌ වෙනස්‌ වෙමින් පැවතීම ප්‍රශ්නයක්‌ නො වන බවත් බුදුන් වහන්සේ ඒ ප්‍රතික්‌ෂේප නො කළ බවත් ය. එසේ පැවසීමෙන් අමරතුංග මහතා විසින් බුදුන් වහන්සේ ආත්මවාදියෙකු බවට පත් කෙරෙති. මෙහි දී ප්‍රශ්නය වනුයේ වෙනස්‌ වෙමින් පවතින්නේ කුමක්‌ ද? එලෙස වෙනස්‌ වෙමින් පවතින යමක්‌ ඇත් ද යන්න ය. මේ ප්‍රශ්නය මෙරට මහාවිහාරික භික්‌ෂුන් වහන්සේලා අතර අවුරුදු දහසකට ඉහත සාකච්ඡා වූවකි. උන්වහන්සේලාට අනුව යමක්‌ වෙනස්‌ වෙමින් පවතින්නේ ය යන්න ද ආත්මවාදී විය. අපට ඒ නිගමනයෙන් බැහැර වීමට හේතුවක්‌ නොමැත. මේ නිගමනය ඊනියා යථාර්ථවාදයට පටහැනි ය. අපට සිතාගත හැක්‌කේ අභයගිරිවාසී භික්‌ෂුන් වහන්සේ නිසා මහාවිහාරික භික්‌ෂුන් වහන්සේලාට ඒ නිගමනයට පැමිණීමට සිදු වූ බව ය.

යමක්‌ වෙනස්‌ වෙමින් පවතී ය යන්න ප්‍රත්‍යක්‌ෂය නිසා මිනිසුන් නිර්මාණය කරගත් ඉතා සරල වියුක්‌ත ප්‍රවාදයකින් හටගත්තකි. අපට ළදරු වියක්‌, ළමා වියක්‌, ගැටවර වියක්‌, තරුණ වියක්‌, මැදි වියක්‌, මහලු වියක්‌ ඇතැයි අපි කියමු. මේ පැහැදිලිව ම වෙනස්‌ වීමකි. මෙහි දී වෙනස්‌ වන්නකු සිටී යෑයි උපකල්පනය කෙරෙයි. නලින් ද සිල්වා යනුවෙන් පුද්ගලයකු ඒ සියලු විය ගත කර ඇතැයි අපි උපකල්පනය කරමු. වෙනස්‌ වන නලින් ද සිල්වා කෙනකු ගැන කියන්නේ ප්‍රත්‍යක්‌ෂය හා බැඳුණු සරල වියුක්‌තකරණයකිනි. එය ආත්මවාදී ය. නලින් ද සිල්වා යන ආත්මය ප්‍රත්‍යක්‌ෂයෙන් දුටුවකු නැති බව පැහැදිලි ය. එහෙත් සියල්ලන්ට ම පාහේ නලින් ද සිල්වා යනුවෙන් පුද්ගලයකු ඇත. මට ද මම වෙමි යන සංකල්පය වෙයි. මේ මම හෙවත් නලින් ද සිල්වා යන්න පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. අද යමකුට දැකිය හැක්‌කේ මහලු වියේ පසු වන ඊනියා නලින් ද සිල්වා කෙනකු ය. නලින් ද සිල්වා ගේ රූපකාය වෙනස්‌ වී ඇත. එපමණක්‌ නො ව දැනුම පිළිබඳ ඔහු ගේ දැනුම ද වෙනස්‌ වී ඇත.

නලින් ද සිල්වා යනුවෙන් අපේ මනස්‌ විසින් නිර්මාණය කරනු ලැබ ඇත්තේ සරල වුවත් වියුක්‌ත සංකල්පයකි. දැනුමකි. ඒ සංකල්පය අපේ නිර්මාණයකි. එක්‌ එක්‌ විය පසු කරන නලින් ද සිල්වා කෙනකු සිටින බව, අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම පිළිබඳ අපේ නොදැනුම නිසා වියුක්‌තකරණයෙන් ලබාගන්නා නිර්මාණයක්‌, දැනුමක්‌ පමණකි. අපි මේ දැනුම නිසා සංසාරයේ සැරිසරමු. අනිත්‍යය යනු හුදු වෙනස්‌ වීම නො වේ. හුදු වෙනස්‌ වීම අනිත්‍යය ලෙස ගන්නා අයකුට බුද්ධිමය වශයෙන් වත් ආත්මවාදයෙන්ඉවත් විය නොහැකි ය. වෙනස්‌ වන්නකු හෝ වෙනස්‌ වන දෙයක්‌ හෝ නොමැති ව වෙනස්‌ වීම බුද්ධියෙන් අනිත්‍ය ගැන කිව හැකි කරුණ ය. බුදුන් වහන්සේ වෙනස්‌ වෙමින් පවතින ලෝකයක්‌ ඇතැයි කීම ද අන්තයක්‌ ලෙස ගනිමින් ප්‍රතික්‌ෂේප කළ හ. වෙනස්‌ වන නලින් ද සිල්වා කෙනකු ඇතැයි ගැනීම ද, බටහිර විද්‍යාව පමණට නො වූවත් පට්‌ටපල් බොරුවකි. අපි ඉඩක්‌ ලැබුණ හොත් ලබන සතියේ මෙය තවදුරටත් පැහැදිලි කර ගනිමු.

නලින් ද සිල්වා