logo3.gif (702 bytes)

HOME


ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 06

අප සාකච්ඡා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳව විද්‍යාවෙන් සහ දර්ශනයෙන් ලබාගත හැකි කරුණු පිළිබඳ ව ය. පසුගිය සති කිහිපයක මේ ලිපි පළ නො වුණේ මා හට අන් වැඩ කටයුත්තක්‌ යෙදී තිබුණු හෙයිනි. නැවතත් සාකච්ඡාව ඉදිරියට ගෙන යන්නට බලාපොරොත්තු වෙමි. 14.10.2015 දින විදුසරහි පළ වූ මගේ ලිපියේ සඳහන් වූයේ ක්‌වොන්ටම් මතවාදය පිළිබඳව ඉදිරිපත් වී ඇති අර්ථකථන ගැන ය. ස්‌ටීවන් වයින්බර්ග් (Steven Weinberg) නමැති විද්‍යාඥයා විසින් කියන්නට යෙදුණු කරුණක්‌ එම ලිපියේ සඳහන් වී ඇත. ඔහු පවසා ඇත්තේ ෂ්ක්‍රොඩින්ජර් සමීකරණය (Schrodinger Equation) යොදාගනිමින් ක්‌වොන්ටම් යාන්ත්‍රණයේ ඇති ප්‍රශ්න විස\ගත හැකි බව ය. කෝපන්හේගන් අර්ථකථනය සහ ඩී බ්‍රොග්ලි-බොහොම් අර්ථකථනය තුළ ප්‍රශ්න ඇති බව අප සාකච්ඡා කොට ඇත. වයින්බර්ග් පවසා සිටියේ ක්‌වොන්ටම් යාන්ත්‍රණය භාවිත කරන විට නිරීක්‌ෂණය සඳහා සම්භාව්‍ය භෞතික විද්‍යාව යොදාගෙන ගෙන නිරීක්‌ෂකයා සහ උපකරණ සඳහා ෂ්ක්‍රොඩින්ජර් සමීකරණය භාවිත කළ හැකි බව ය.

ෂ්ක්‍රොඩින්ජර් සමීකරණය වනාහි අංශික අවකලන සමීකරණයක්‌ (partial differential equation) වන්නේ ය. එය විසින් පහදා දෙනු ලබන්නේ ක්‌වොන්ටම් පද්ධතියක්‌ කාලය සමඟ වෙනස්‌ වන්නේ කෙසේ ද යන්න ය. මේ සමීකරණය ඔස්‌ටි්‍රයානු භෞතික විද්‍යාඥයකු වන අර්වින් ෂ්ක්‍රොඩින්ජර් විසින් වර්ෂ 1926 දී ඉදිරිපත් කරණ ලදී.

නිව්ටන් ගේ දෙවැනි න්‍යාය වන F=ma සිදු කරන්නේ ආරම්භය දන්නා විට පද්ධතියක්‌ විසින් ඉදිරි කාලයේ දී කුමක්‌ කරනු ලබයි ද යන්න පූර්වකථනය කිරීම ය. මෙවැනි ම දෙයක්‌ ක්‌වොන්ටම් පද්ධතියක්‌ පිළිබඳව ෂ්ක්‍රොඩින්ජර් සමීකරණය සිදු කරන බව පැවැසේ. තරංග ශ්‍රීතය කාලය අනුව ක්‍රියා කරන අන්දම එම සමීකරණය මගින් දැනගත හැකි ය. කෝපන්හේගන් අර්ථකථනයේ තරංග ශ්‍රීතය විසින් ඉතා ම සම්පූර්ණ ලෙස භෞතික පද්ධතිය පහදා දෙනු ලබයි. ෂ්ක්‍රොඩින්ජර් සමීකරණයට පරමාණුක අණුක පද්ධති පමණක්‌ නො ව මහේක්‍ෂ වස්‌තුන් සහ මුළු විශ්වය පවා පහදා දීමට හැකියාවක්‌ ඇත. එනමුත් ක්‌වොන්ටම් යාන්ත්‍රණයේ පූර්වකථනය කිරීම සඳහා ඇත්තේ ෂ්ක්‍රොඩින්ජර් සමීකරණය පමණක්‌ නො වේ. වර්නර් හයිසන්බර්ග් ගේ න්‍යාස යාන්ත්‍රණය (Matrix Mechanics) සහ රිචඩ් ෆේයින්මන් (Richard Feyman) ගේ Path integral formulation වැනි ක්‍රම මේ සඳහා යොදාගත හැකි ය. මේ ගැන පසුව සාකච්ඡා කරමු. ෂ්ක්‍රොඩින්ජර් සමීකරණය කිහිප අන්දමකට වෙනස්‌ කොට භාවිත වේ. එය කාලය මත පදනම් ව හෝ එසේ නො වී හෝ වෙනස්‌ කළ හැකි ය. එම ක්‍රම දෙක හැර ඒවා තවත් වෙනස්‌ කළ හැකි ය. සාමාන්‍ය ලෙස හෝ සාපේක්‍ෂතාව සැලකිල්ලට ගෙන හෝ භාවිත කළ හැකි ය. කාලය මත පදනම් ව (time dependent) භාවිත කරන විට සාමාන්‍ය (general) වශයෙන් හෝ සාපේක්‌ෂතාශ්‍රිත නො වන එක්‌ අංශුවක්‌ (single non relativistic particle) සඳහා හෝ භාවිත කළ හැකි ය. එසේ ම කාලය මත පදනම් නො වී භාවිත කරන විට ද මේ විධික්‍රම දෙක ම සැලකිය හැකි ය.

ක්‌වොන්ටම් යාන්ත්‍රණයේ ඇති සම්පූර්ණ ශක්‌ති ප්‍රමාණය හැඳින්වෙන්නේ හැමිල්ටෝනියානු කාරකය (Hamiltonian operator) ලෙස ය. සමීකරණයේ එය H අකුරෙන් පෙන්නුම් කරයි. මේ සමීකරණ ඉතා ම සංකීර්ණ ය. ඉතා ම සරල ලෙස සැලකිය හැකි සමීකරණය ලෙස ගත හැක්‌කේ කාලය මත පදනම් නො වූ සාමාන්‍ය (time independent Schrodinger equation general) සමීකරණය වන්නේ ය. එය පහත සඳහන් ලෙස දැක්‌විය හැකි ය.

Ew= Hඅ

මෙහි අ අකුරෙන් පෙන්නුම් කරන්නේ තරංග ශ්‍රීතය වන්නේ ය. පිළිගත් ෂ්ක්‍රොඩින්ජර් සමීකරණයේ තරංග ශ්‍රීතය සඳහා පාවිච්චි කරන්නේ ගී්‍රක අකුරක්‌ (Psi ශබ්දය දෙන) වන්නේ ය. මගේ පරිගණකයේ එම අකුර නැති නිසා ඒ වෙනුවට w අකුර යොදා ඇත. කාලය මත පදනම් වූ සමීකරණ මීට වඩා සංකිර්ණ වන්නේය. ඉහත සඳහන් සමීකරණයෙන් කියවෙන්නේ හැමිල්ටෝනියානු කාරකය (H) යම්කිසි තරංග ශ්‍රීතයක්‌ මත ක්‍රියාකාරී වන විට ප්‍රතිඑලය එම තරංග ශ්‍රීතයට සමානුපාතික නම් එම ශ්‍රීතය ස්‌ථාවර තත්ත්වයක පවතින බවත් සමානුපාතිකතාවයේ නියතය වන E එම තරංග ශ්‍රීතය පවතින තත්ත්වයේ ශක්‌ති ප්‍රමාණයට සමාන බවත් ය. මෙය වටහාගැනීමට හැමිල්ටෝනියානු තාරකය යන්නෙන් හැඳින්වෙන්නේ කුමක්‌ දැයි සොයා බලමු. විද්වත් විලියම් රෝවන් හැමිල්ටන් අයර්ලන්ත ජාතික භෞතික විද්‍යාඥයෙකි. එතුමා ජීවත් වූයේ වර්ෂ 1805 සිට 1865 කාලයේ ය. විද්වත් අයිසෙක්‌ නිව්ටන් ගේ යාන්ත්‍රණය වෙනස්‌ කොට හැමිල්ටෝනියානු යාන්ත්‍රණය බවට පත් කරන ලද්දේ ඔහු විසිනි. හැමිල්ටෝනියානු යනුවෙන් හැඳින්වෙන්නේ සැම අංශුවක ම චාලක ශක්‌තිය සහ ඒවායේ විභව ශක්‌ති එකතු කළ විට ලැබෙන එලය වන්නේ ය. එය පහත සඳහන් සමීකරණයෙන් දැක්‌විය හැකි ය.

H = T + V

H - හැමිල්ටෝනියානුව T- චාලක ශක්‌තිය V විභව ශක්‌තිය

ඕනෑ ම පද්ධතියක ශක්‌ති ප්‍රමාණය ගණනය කිරීමට මේ සමීකරණය භාවිත කළ හැකි ය. ක්‌වොන්ටම් පද්ධතියක්‌ සඳහා වුව ද එය භාවිත කළ හැකි ය. තරංග ශ්‍රීතයක්‌ විසින් විස්‌තර කෙරෙන පද්ධතියක්‌ සඳහා හැමිල්ටෝනියානුව යොදාගත හැකි ය. මේ නිසා ෂ්ක්‍රොඩින්ජර් සමීකරණය නිර්මාණය කිරීමේ දී හැමිල්ටෝනියානු කාරකය වන H භාවිත කළ යුතු වන්නේ ය. තරංග ශ්‍රීතයේ ශක්‌තිය ගණනය කරන විට එය යොදාගත හැකි ය.

ක්‌වොන්ටම් යාන්ත්‍රණයේ කාලය සැලකිල්ලට ගන්නා විට හැමිල්ටෝනියානු කාරකය භාවිත කිරීමට සිදු වේ. ක්‌වොන්ටම් යාන්ත්‍රණය සඳහා හැමිල්ටෝනියානු කාරකය භාවිත කිරීමේ දී ලැබෙන්නේ ෂ්ක්‍රොඩින්ජර් සමීකරණය වන්නේ ය. ක්‌වොන්ටම් පද්ධතියක්‌ කාලය සමග පරිණාමය සිදු වන්නේ කෙසේ දැයි සොයා ගැනීමට හැමිල්ටෝනියානු කාරකය යොදාගන්නා විට ප්‍රතිඑලය ෂ්ක්‍රොඩින්ජර් සමීකරණය වන්නේ ය. හැමිල්ටෝනියානු කාරකය මගින් බොහෝ අංශු සංඛ්‍යාවක්‌ සඳහා ද එමෙන් ම විද්යුත්ගතික විභවය සඳහා ද චුම්බක ක්‍ෂේත්‍ර සඳහා ද ආදී වශයෙන් බොහෝ අවස්‌ථාවල භාවිත කළ හැකි ය.

අප මේ ලෙස ක්‌වොන්ටම් මතවාදය සහ ඊට අදාළ ෂ්ක්‍රොඩින්ජර් සමීකරණය පිළිබඳව විස්‌තර වශයෙන් සාකච්ඡා කරන්නේ විශ්වයේ නවතම සොයාගැනීම්වලට භාවිත විය යුත්තේ ක්‌වොන්ටම් මතවාදය බැවිනි. ජීවිතයේ අරුත පිළිබඳව අප ගේ මතවාදය වන්නේ අප ජීවත් වන්නේ විශ්වය සඳහා සේවයක්‌ කිරීමට ය යන්න ය. එම සේවය කුමක්‌ දැයි සොයා බලන විට හැඟී යන්නේ එය අන් කිසිවක්‌ නො ව DNA, RNA, ප්‍රොaටීන නිෂ්පාදනය විය යුතු බව ය. අප ගේ මරණයෙන් පසු දියුණු වෙමින් ඉතිරි වන්නේ ඒවා පමණ ය. අප ගේ ව්‍යායාම සියල්ලේ ප්‍රතිඑලය වන්නේ DNA, RNA, ප්‍රොaටීන් දියුණු වී අනාගතයට ඉතිරි කරවීම පමණ ය. අප ගේ දුක්‌ත ජීවිතයේ එලය එය පමණ ය. අප විඳින සැප, ප්‍රශංසා, ගරු බුහුමන් ලැබෙන්නේ අප ගේ ව්‍යායාමවල එලයක්‌ ලෙස ය. ඒවා ලබාගැනීමට අප ආශා කරන්නේ අප ඒ විදියට නිර්මාණය වී ඇති හෙයිනි. ඒවා ලබාගැනීමේ ව්‍යායාමය හේතු කොටගෙන DNA, RNA, ප්‍රොaටීන තවත් දියුණු වන්නේ ය. අප නිර්මාණය වී ඇත්තේ ඒ දේ කිරීමට මිස වෙන කුමකට ද? අප දුක සහ සැප ලෙස සලකන සිදුවීම් පැවතෙන්නේ අප තව තවත් DNA, RNA, ප්‍රොaටීන වර්ධනය කරන ව්‍යායාමවලට යොමු කිරීමට ය. දුක සහ සැප පිළිබඳ විද්‍යාත්මක සාකච්ඡාවක්‌ කිරීම අප ගේ සාකච්ඡාවලට අතිශයින් අවශ්‍ය ව ඇත. එහෙත් ඊට පෙර ක්‌වොන්ටම් මතවාදය සහ ෂ්ක්‍රොඩින්ජර් සමීකරණය පිළිබඳව තවත් කරුණු ඉදිරිපත් කිරීම අවශ්‍ය වන්නේ ය.

ෂ්ක්‍රොඩින්ජර් සමීකරණය සහ ඉන් ලැබුණු විසඳුම් නිසා භෞතික විද්‍යාව පිළිබඳව අලුත් දැක්‌මක්‌ ඇති වූ බව කිව හැකි ය. එනමුත් එම සමීකරණය බලාපොරොත්තු නො වූ හෝ ආසාමන්‍ය දෙයක්‌ නො වේ. මක්‌ නිසා ද එය නිර්මාණය කිරීම සඳහා භාවිත කර ඇති මූලධර්මය වන්නේ ශක්‌ති සංස්‌ථිතිය පිළිබඳ මූලධර්මය වන හෙයිනි. අසාපේක්‌ෂතාවාදී (non-relativistic) ෂ්ක්‍රොඩින්ජර් සමීකරණය භාවිත කිරීමේ දී ලැබෙන එලය පද්ධතියක මුළු ශක්‌ති ප්‍රමාණය වන්නේ ය. එය එහි මුළු චාලක ශක්‌තිය සහ විභව ශක්‌තියේ එකතුවට සමාන වන්නේ ය. මේ නයින් බලන විට පෙනී යන්නේ ෂ්ක්‍රොඩින්ජර් සමීකරණය මේ අවස්‌ථාවේ දී සම්භාව්‍ය භෞතික විද්‍යාව බවට පත් වන බවයි.

ෂ්ක්‍රොඩින්ජර් සමීකරණය විසින් පූර්වකථනය කෙරෙන්නේ යම් පද්ධතියක ගුණ මැන්න විට ලැබෙන ප්‍රතිඑල ක්‌වොන්ටීකරණයට (quantized) භාජන විය හැකි බව ය. මින් හැඟෙන්නේ එම ප්‍රතිඑල නියත වූ වෙන් ව පවත්නා අගයන් (specific discrete values) විය හැකි බවයි. උදාහරණයන් ලෙස පරමාණුවක තිබෙන ඉලෙක්‌ට්‍රොaනයක ශක්‌ති ප්‍රමාණය සැම විට ම ක්‌වෝන්ටීකරණයට භාජන වූ ශක්‌ති තලයකින් එකක්‌ වන්නේ ය. මෙය පරමාණු වර්ණාවලිමිතිය (atomic spectrometry) මගින් තහවුරු වී ඇත. තවත් උදාහරණයක්‌ වන්නේ කෝණික ගම්‍යතාව (angular momentum) ක්‌වොන්ටීකරණය කිරීම ය. මෙය පරමාණුවේ බොහොර් මොඩලය විසින් ඉදිරිපත් කෙරුණේ සැකයක්‌ පමණක්‌ ලෙසිනි. එහෙත් ෂ්ක්‍රොඩින්ජර් සමීකරණය යොදා ඒ ගැන පූර්වකථනය ඉදිරිපත් කළ හැකි ය.

ෂ්ක්‍රොඩින්ජර් සමීකරණය සහ හයිසන්බර්ග් අවිනිශ්චිතතා මූලධර්මය (Heisenberg uncertainty principle) අතර ඇති සම්බන්ධතාව පිළිබඳව ද සොයා බැලිය යුතු ය. විද්වත් වයින්බර්ග් පවසා ඇත්තේ ෂ්ක්‍රොඩින්ජර් සමීකරණය යොදාගෙන නිරීක්‌ෂකයා සහ උපකරණ පිළිබඳව ක්‌වොන්ටම් යාන්ත්‍රණයේ තිබෙන ප්‍රශ්න විසදාගත හැකි බව ය. හයිසන්බර්ග් මූලධර්මයට අනුව අංශුවක ගම්‍යතාවයේ අගයේ නිර්දෝෂ බව වැඩි කිරීමට තැත් කරන විට එහි පිහිටීමේ අගය නිර්දෝෂ බවින් අඩු වන බව පැවසේ. ෂ්ක්‍රොඩින්ජර් සමීකරණය විසින් තරංග ශ්‍රිතය සම්පූර්ණයෙන් නිශ්චිතව සොයා ගැනෙයි. එහෙත් එම ශ්‍රීතයේ එක්‌ මිණුමක්‌ හෝ නිශ්චිත වශයෙන් ලබා නො දෙයි. ලබා දෙන්නේ සම්භාවිතාව පමණ ය. සම්භාව්‍ය භෞතිකයේ වස්‌තු ඕනෑ ම අවස්‌ථාවක නිශ්චිත ගම්‍යතාවක්‌ සහ පිහිටීමක්‌ පෙන්නුම් කරයි. එහෙත් ක්‌වොන්ටම් භෞතිකයේ අංශු නිශ්චිත ගම්‍යතාවක්‌ හෝ පිහිටීමක්‌ හෝ නො පෙන්වයි. ඒවා මනින විට ලැබෙන්නේ සම්භාවිතා ව්‍යාප්තියකින් (probability
distribution) සසම්භාවී ලෙස (random) ලබාගන්නා අගයන් ය. ෂ්ක්‍රොඩින්ජර් සමීකරණය විසින් එම සම්භාවිතා ව්‍යාප්තිය සොයා දෙනු ලබන්නේ ය. එහෙත් එම අගයන් නියත ලෙස පූර්වකථනය කිරීමට ඊට නොහැකි ය. අඩු වශයෙන් සම්භාවිතා ව්‍යාප්තිය සොයා දෙන්නට හැකි වීම ෂ්ක්‍රොඩින්ජර් සමීකරණය නිසා ඇති වූ දියුණුවක්‌ ලෙස සැලකිය හැකි ය. දැන් සොයා බැලිය යුත්තේ ස්‌ටීවන් වයින්බර්ග් කියන පරිදි සම්භාව්‍ය භෞතික විද්‍යාව භාවිත නො කොට ක්‌වොන්ටම් යාන්ත්‍රණය යොදාගත හැකි දැයි යන්න පිළිබඳව ය. ඔහු පවසා ඇත්තේ ක්‌වොන්ටම් යාන්ත්‍රණය ක්‍රියාකාරී නමුත් නිරීක්‌ෂකයා සහ උපකරණ සම්භාව්‍ය භෞතික විද්‍යාවට අනුව සකසා ගැනීම වැරදි බව ය. සැම දෙයක්‌ ම සිදු වන්නේ ක්‌වොන්ටම් මතවාදයට අනුව නම් පරීක්‌ෂණයක දී භාවිත කරන සියල්ල එම මතවාදයට අනුව මිස සම්භාව්‍ය භෞතික විද්‍යාවට අනුව සකසාගත යුතු නැත. තව ද ඔහු පවසන්නේ ක්‌වොන්ටම් යාන්ත්‍රණයේ නීති වර්ධනය වන්නේ නියතිවාදයට අනුව නිපැයුණු තරංග ශ්‍රීතයක මාර්ගයෙනි. එසේ නම් කෝපන්හේගන් අර්ථකථනයේ එන සම්භාවිතා න්‍යාය කොහෙන් පැමිණි ඒවා ද? ඔහුට අනුව කෝපන්හේගන් න්‍යාය පැහැදිලිව ම සාර්ථක ලෙස භාවිත කළ හැකි ය. එහෙත් මේ සඳහා තරංග ශ්‍රිතය වර්ධනය වීමට උපකාරී වූ නියතිවාදී සමීකරණයක්‌ වන ෂ්ක්‍රොඩින්ජර් සමීකරණය නිරීක්‌ෂකයා සහා උපකරණ සකසා ගැනීමේ දී ද යොදාගත යුතු ය. එසේ කළ විට කුමක්‌ සිදු වේ ද? ෂ්ක්‍රොඩින්ජර් සමීකරණය යොදාගෙන පවා ලබාගත හැක්‌කේ සම්භාවිතා ව්‍යාප්තියක්‌ පමණි. නියත ලෙස සැලකිය හැකි අගයන් ලබාගත නොහැකි ය. එසේ නම් වයින්බර්ග් පවසන දෙයෙහි සත්‍යයක්‌ තිබිය හැකි ද?

ප්‍රශ්නය නිරාකරණය වී නැති බව පෙනෙන්නට ඇත. මේ ගැන සාකච්ඡා කරන විට පෙර ලිපිවල ඩි බ්‍රොග්ලි-බොහොම් අර්ථකථනය පිළිබඳව සාකච්ඡා කළ බව ඔබට මතක ඇත. ඔවුන් ගේ මතවාදය වන්නේ ක්‌වොන්ටම් සිදුවීම් එක්‌ අවකාශ කාලයක සිදු වන අතර එය ස්‌ථානීය නො වන බව ය (non-local). තව ද එය නියතිවාදී වන්නේ ය. අංශුවක ගම්‍යතාව සහ පිහිටීම එක විට මනින විට හයිසන්බර්ග් ගේ අවිනිශ්චිතතා මූලධර්මය යොදාගත හැකි ය. එහෙත් මිනුම් පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය වන්නේ අංශුවක්‌ හැම විට නියත වශයෙන් පිහිටීමක්‌ ඇතැයි යනුවෙන් සැලකීමෙනි. තරංග ශ්‍රිතයේ බිඳ වැටීම පහදා දෙන්නේ එය ක්‍රියාදාමයක්‌ ලෙස ය. ස්‌ථානීය නො වන (non-local) යන සංකල්පය නිසා මිනුම් පිළිබඳ ඇති ප්‍රශ්නය ඩි බ්‍රොග්ලි-බොහොම් මතවාදයෙන් විසඳී ඇත් ද? ස්‌ථානීය නො වන යන්නෙන් අදහස්‌ වන්නේ පද්ධතියක මායිම් සීමිත නො වන අතර එය මුළු විශ්වය ම ලෙස සැලකිය හැකි බව ය. මේ ලෙසින් සැලකීමෙන් ප්‍රශ්නය විසඳෙන බව සිතන විද්‍යාඥයන් ද ප්‍රශ්නය විසඳෙන්නේ නැතැයි සිතන අය ද සිටිති.

මේ අදහස්‌ අප ගේ මතවාදයට අදාළ වන්නේ නියතිවාදය සැලකිල්ලට ගැනිමේ දී ය. ක්‌වොන්ටම් මතවාදයේ කෝපන්හේගන් අර්ථකථනය නියතිවාදී නො වන්නේ ය. ඩි බ්‍රොග්ලි-බොහොම් අර්ථකථනයට අනුව එය නියතිවාදී වන්නේ ය. ස්‌ටීවන් වයින්බර්ග් පවසන්නේ ෂ්ක්‍රොඩින්ජර් සමීකරණය යොදාගෙන කෝප්න්හේගන් මතවාදයේ දුර්වලකම් අවම කරගෙන එය භාවිත කළ හැකි බව ය. ජීවිතයේ අරුත පිළිබඳ අප ගේ මතවාදය සැලකිල්ලට ගැනීමේ දී මේ අදහස්‌ ඉතා ම වැදගත් ය. ජීවිතයේ විශ්වයේ යථාර්ථයක්‌ නැති නම් නියතවාදී නො වේ නම් විශ්වය විසින් මිනිසා ලවා යම් කිසි කාර්යයක්‌ ඉටු කරගන්නා බව කිව නොහැකි ය. එවිට පැවසිය හැක්‌කේ ජීවිතයට අරුතක්‌ නැත යන්න ය. විශ්වයේ සත්‍යයක්‌ නැත. එය අහඹු සිදුවීමක්‌ ලෙස පවතී. මේ ලෙස සිතීම සංශයවාදය (skepticis) හෝ උච්ඡේදවාදය හෝ නාස්‌තික දෘෂ්ටිය හෝ ලෙස සැලකිය හැකි ය. එසේ සිතීම බහුභුතවාදයකි. මේ ගැන දිගින් දිගට ම සාකච්ඡා කළ යුතු ව ඇත.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc