logo3.gif (702 bytes)

HOME


සාපේක්‌ෂතාව වස්‌තුව හා යථාර්ථය

ඩී එස්‌ සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා කෙතරම් උත්සාහ කළත් ඔහුට මනසින් තොර යථාර්ථයක්‌ ඇති බව පෙන්විය නො හැකි ය. ඔහුට පමණක්‌ නො ව ලොව පෘථග්ජන කිසි ම කෙනකුට ඒ බවක්‌ පෙන්විය නො හැකි ය. එහෙත් ඒ මහතා ඒ බව තේරුම්ගෙන නැති බව ඔහු ලියන දෙයින් පැහැදිලි වෙයි. තණ්‌හාව ස්‌වාභාවික ව ඇති වන දෙයක්‌ බව ඔහු වරක්‌ ප්‍රකාශ කළේ ය. එහෙත් ප්‍රශ්නය තණ්‌හාවක්‌ ඇති බව අප දන්නේ කෙසේ ද යන්න ය. තණ්‌හාව නමින් අප යම්කිසි ප්‍රපංචයක්‌ හෝ ක්‍රියාවක්‌ හෝ වෙනත් යමක්‌ හඳුනාගන්නේ මනසිනි. තණ්‌හාව යන සංකල්පය ඇති වන්නේ මනසට ය. මනස නොමැති ව අපට තණ්‌හාවක්‌ නැත. තණ්‌හාව, තණ්‌හාවක්‌ වන්නේ මනසට ය.

අමරතුංග මහතා කියනු ඇත්තේ මනස ඇතත් නැතත් තණ්‌හාව ඇති බවත්, අප කරන්නේ එය එලෙස හඳුනාගැනීම බවත් ය. එහෙත් ඒ එසේ නො වේ. තණ්‌හාව, තණ්‌හාවක්‌ වන්නේ අප වැනි පෘථග්ජනයන්ට ය. බුදුන් වහන්සේ ධර්මය දේශනා කළේ ද අප වැනි පෘථග්ජනයන්ට ය. වෙනත් සත්ත්ව කොට්‌ඨාශයකට ධර්මය දේශනා කළේ නම් උන්වහන්සේ කිනම් සංකල්ප යොදාගනී දැයි අපට කිව නො හැකි ය. චතුරාර්ය සත්‍යය වුවත් අපට දේශනා කළ දහමකි. දුක යන්න එලෙස තේරුම් ගනු ලබන්නේ අප විසිනි. බුදුන් වහන්සේ මිනිසුන්ට විෂය වන ආකාරයෙන් ධර්මය දෙසූ හ. එපමණක්‌ නො වේ. උන්වහන්සේ ඒ ඒ ජනතාව ගේ බසින් ම (ජනපද නිරුක්‌තියෙන්) ධර්මය දේශනා කිරීමට භික්‌ෂූන් වහන්සේට උපදෙස්‌ දුන් හ. සංසාරය වුවත් අපට විෂය වන සංකල්පයකි.

මෙහි තේරුම සංසාරය යනුවෙන් ප්‍රපංචයක්‌ ඇති බවත් එය අප එනමින් හඳුන්වන බවත් වෙනස්‌ සත්ත්ව කොට්‌ඨාශයක්‌ එකී ප්‍රපංචයට වෙනත් නමක්‌ යොදන බවක්‌ නො වේ. මෙහි එකී ප්‍රපංචය යන යෙදුම ද නිවැරැදි නො වේ. වෙනත් සත්ත්ව කොට්‌ඨාශයක්‌ සංසාරය යන්නට අප එයින් අදහස්‌ කරන දෙයට වඩා අඩු හෝ වැඩි හෝ යමක්‌ හඳුන්වන්නේ යෑයි සිතිය හැකි ය. මෙය සිංහලයෙන් වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීමක්‌ වැන්නක්‌ නො වේ. පරිවර්තනය කිරීමේ දී වුවත් අපි එක ම ප්‍රපංචයක්‌ හඳුනා නො ගනිමු. උදාහරණ වශයෙන් කාව්‍ය පරිවර්තනය දැක්‌විය හැකි ය. මුල් කෘතිය එය ලියූ බසින් කියවන විට ලැබෙන හැගීම වෙනත් බසකින් ඒ ලියූ විට ලැබෙන හැගීමෙන් වෙනස්‌ වෙයි. අමාවතුර ඉංගිරිසියට පරිවර්තනය කළ හොත් කිනම් රසයක්‌ පරිවර්තනයන් ලැබේ වි ද?

මා කිහිප වතාවක්‌ ම පෙන්වා දී ඇති පරිදි අම්මා යන්න එහි සියලු අර්ථ රකිමින් ඉංගිරිසියට පරිවර්තනය කළ හැකි නො වේ. අම්මා යන්නෙන් නැෙගන වනිතාර්ථ ඉංගිරිසියට නගන්නේ කෙසේ ද? සිංහල සංස්‌කෘතියෙහි ජීවත් වන අම්මා කෙනකු තම දුව හෝ පුතා ළගට ගෙන මගේ අම්මට බඩගිනි දැයි අසයි. එය සිංහලෙන් දනවන සියලු හැගීම් අපට දැනෙන ආකාරයෙන් ඉංගිරිසියට පරිවර්තනය කළ හැකි ද?

මිනිස්‌ ලොවේ පෘථග්ජනයන් ගේ භාෂා අතර වුව එවැනි වෙනස්‌කම් ඇත. පොදුවේ ගත් කල සිංහලයන් ගේ ලෝකය පොදුවේ ගත් කල ඉංගිරිසින්ගේ ලෝකයෙන් වෙනස්‌ වෙයි. එහෙත් ඒ ඒ සිංහලයන් අතර ද එක ම දෙයක්‌ සන්නිවේදනය නො වේ. අප ජීවත් වන්නේ එකිනෙකා ගේ ලෝකවල ය. එක ම ලෝකයක ජීවත් වන සත්ත්වයන් දෙදෙනකු නැත. එහෙත් එක ම අවයව පද්ධතියක්‌ ඇති මිනිස්‌සු තමන් සියලු දෙනා භාෂා වෙනස්‌කම් මැද වුව ද එක ම ලෝකයක ජීවත් වන්නේ යෑයි විශ්වාස කරති. යථාර්ථය යනු මේ පොදු එකගතාව නිසා මිනිසුන් නිර්මාණය කරගන්නා තවත් සංකල්පයක්‌ පමණකි.

අමරතුංග මහතා විදුසර සගරාවේ පිටු නාස්‌ති කරමින්a යථාර්ථයක්‌ ඇති බව පෙන්වීම සඳහා මිනිසුන් විසින් නිර්මාණය කරන ලද දැනුම් පාඨකයා හමුවට ගෙන එයි. මිනිසුන් නිර්මාණය කළ දැනුම එසේ ලිවීමෙන් යථාර්ථයක්‌ ඇති බව සාධනය (ඔප්පු) නො වේ. බොහෝ දෙනා යථාර්ථයක්‌ ඇති බව පෙන්වීමට අප ඉදිරිපිට ඇති කෝප්පය වැනි වස්‌තු නිදර්ශන වශයෙන් සලකති. එහෙත් කෝප්පය යථාර්ථයක්‌ ද? කෝප්පය නො බිඳී දීර්ඝ කාලයක්‌ පවතින්නේ යෑයි සිතමු. අප පෘථග්ජනයන් ලෙස පළමුව කෝප්පය සමස්‌තයෙන් වෙන් කර ගන්නේ යෑයි අද්වෛත වෛදිකයේ ඉගැන්වෙයි. ඔවුනට අනුව පෘථග්ජන යන්නෙහි තේරුම ද වෙන් කරන්නා යන්න ය. අප අද්වෛත වෛදිකයේ සමස්‌තය ආදී සංකල්ප බැහැර කළ ද අපට කෝප්පය යන්න පීරිසියෙන් ද වෙන් කරගත හැකි ය. එසේ කරන්නේ සළායතන මගින් මිස වෙනත් ක්‍රමයකින් නො වේ. එලෙස පීරිසියෙන් ද අනෙක්‌a ද්‍රව්‍යවලින් ද වෙන් කරගත් යම් හැඩයක වස්‌තුවලට අපි කෝප්ප යෑයි කියමු. කෝප්පයක්‌, කෝප්පයක්‌ වන්නේ අපට ය. කිසි දිනෙක කෝප්ප දැක නොමැති සංස්‌කෘතියක වසන්නකු පළමු වරට කෝප්පයක්‌ දුටු විට එයට කුමක්‌ කියා වි ද? ඔහු මිනිසකු ලෙස කෝප්පය අනෙක්‌ වස්‌තූන් ගෙන් වෙන් කර හඳුනාගනු ඇත. එහෙත් ඔහුට කෝප්පය යන සංකල්පය නැත. ඔහුට ඒ පිළිබඳ වෙනත් සංකල්පයක්‌ තිබෙනු නො අනුමාන ය. එහෙත් එය බීමට යොදාගන්නා උපකරණයකි ආදී වශයෙන් අපට ඇති අදහස්‌ ඔහුට නැත. ඔහු ගේ "කෝප්පය" අපේ කෝප්පය නො වේ.

අපි එවැනි කෝප්ප නො දුටු සංස්‌කෘතියක මිනිසකු නො ව කුහුඹුවකු ගැන සිතමු. කුහුඹුවාට අපේ කෝප්පය පිළිබඳ ඇති සංකල්පය කුමක්‌ ද? කුමාරතුංග මුනිදාස මහතා ලියූ ශික්‌ෂා මාර්ගය පොත් පෙළෙහි එක්‌ පොතක දොඩමක සිටින කුහුඹුවකුට ඒ වටකුරු බව නො තේරෙයි යන තේරුම දෙන වැකියක්‌ වෙයි. කුහුඹුවා ගේ "දොඩම" අපේ දොඩම නො වේ. කුහුඹුවෝ ද අප සමඟ සංසාර ගමනෙහි යෙදෙන්නන් යෑයි සිතීම වරදක්‌ නො වේ. අප ඊනියා යථාර්ථයක්‌ ගැන කතා කරන්නේ ඒ සියලු සත්ත්වයන් ගෙන් මිනිසුන් පමණක්‌ වෙන් කරගෙන මිනිසුන්ට පොදු යෑයි සැලකෙන සංකල්ප ටිකක්‌ මුළු විශ්වයට ම සාධාරණය කිරීමෙනි. යථාර්ථයක්‌ නොමැති වීම හා සාපේක්‌ෂතාව යනු එකක්‌ නො වේ.

අමරතුංග මහතා මිනිස්‌ දැනුම උපුටා දක්‌වමින් යථාර්ථයක්‌ ඇති බව පෙන්වීමට යත්න දරයි. එහෙත් එමගින් සිදු වන්නේ මිනිසුන්ට එක්‌ එක්‌ ලෝක ඇති බව පෙන්වීම පමණකි. නියතිවාදීන් ගේ ලෝකය අනියතිවාදීන් ගේ ලෝකයෙන් වෙනස්‌ වෙයි. ඒ ඒ ලෝක එකිනෙකින් වෙනස්‌ වෙයි. අමරතුංග මහතාට ද ලෝකයක්‌ ඇත. ඒ මහතා ගේ ලෝකයේ යථාර්ථයක්‌ ඇත. මගේ ලෝකයෙහි යථාර්ථයක්‌ නැත. එපමණක්‌ නො වේ. මගේ ලෝකයෙහි යථාර්ථයක්‌ ඇත් ද නැත් ද යන්න ද යථාර්ථයක්‌ නො වෙයි.

දැන් අපි බුදුදහමෙහි යථාර්ථයක්‌ ඇති බව පෙන්වීම සඳහා අමරතුංග මහතා ගෙනෙන තර්කයක්‌ සලකා බලමු. ඒ මහතා සැප්තැම්බර් 16 වැනි දා ලිපියෙන් මෙසේ කියයි. "මධුපිණ්‌ඩික සූත්‍රයෙහි බුදුන් පවසා ඇත්තේ වස්‌තුව සහ ඇස ගැටීම හේතු කොටගෙන චක්‌ඛු විඤ්Æණය ඇති වන බව ය. මින් පැහැදිලි වන්නේ විඤ්Æණය ඇති වන්නට පෙර වස්‌තුව පැවැති බව ය. විඤ්Æණය ඇති වන්නට පෙර වස්‌තුව පැවතුණේ නම් එය විඤ්Æණයෙන් ස්‌වායත්ත විය යුතු ය. චක්‌ඛු විඤ්Æණය විසින් දකින්නට සලස්‌වනු ලබන්නේ ස්‌වායත්ත ව පැවැති වස්‌තුවකි. චක්‌ඛු විÆaඤාණය හටගත්තත් නො ගත්තත් වස්‌තුව පවතී. මෙය හොඳින් වටහාගත යුතු ය. අඥනයන් කුමක්‌ කීවත් බුදු දහමට අනුව යථාර්ථයක්‌ හෝ මනසින් ස්‌වායත්ත වූ ලෝකයක්‌ හෝ නැතැයි කිව නොහැකි ය. මෙය ජීවිතයේ අරුත සෙවීමේ දී ඉතා ම වැදගත් වන්නේ ය. අප දකින්නේ සත්‍යය නො වන්නට පුළුවන. අප ගේ අවිද්‍යාව නිසා සත්‍යය දකින්නේ නැති වන්නට පුළුවන. එහෙත් එය වෙන ම ප්‍රශ්නයකි. බුදු දහමේ යථාර්ථයක්‌ නැතැයි කිව නොහැකි ය. මනසින් ස්‌වායත්ත වූ ද්‍රව්‍යමය ලෝකයක්‌ ඇති බව බුදුන් ඉහත සඳහන් අන්දමට පෙන්වා දී ඇත. දකින දෙය නැත යෑයි පැවසීම සහ දකින්නේ වෙනත් දෙයකි යෑයි පැවසීම එකින් එකට වෙනස්‌ වූ මත දෙකකි. දකින්නේ වෙනත් දෙයක්‌ යෑයි පැවසීමෙන් යථාර්ථය නැතැයි අදහස්‌ වන්නේ නැත. ඉන්ද්‍රිය සංජානනය පිළිබඳව බුදුන් පවසා ඇති දෙයින් මනසින් ස්‌වායත්ත වූ ලෝකයක්‌ ඇති බව ඔප්පු වේ. එවැනි ලෝකයක්‌ නැති බව බුදුන් පවසා නැත."

මෙහි ඇති අපහාස පැත්තකට දමමු. අමරතුංග මහතා ගේ ඥනවන්තභාවය මට ප්‍රශ්නයක්‌ නො වේ. මා අඥනයකු විය හැකි ය. එහෙත් මා අසන ප්‍රශ්නවලට අමරතුංග මහතාට පිළිතුරු නැත. සමහර විට අඥනයන් ගේ ප්‍රශ්නවලට ඥනවන්තයනට පිළිතුරු නැතිවා විය හැකි ය. කෙසේ වෙතත් අමරතුංග මහතා මතු කරන්නේ එතරම් ගැඹුරු කාරණයක්‌ නො වේ. ඒ මහතා බුදුන් වහන්සේ ඉන්ද්‍රිය සංජානනය පිළිබඳව දේශනා කර ඇති ඇතැම් කරුණු යථාර්ථයක්‌ ඇති බව සනාථ කිරීම සඳහා යොදාගනියි. එහෙත් අමරතුංග මහතා බුදුන් වහන්සේ ලෝකයක්‌ නැත යන්න මෙන්ම ඇත යන්න ද ප්‍රතික්‌ෂේප කර ඇති බව ලිපි පෙළෙහි දිගින් දිගට ම අමතක කරයි.

බුදුන් වහන්සේට ප්‍රශ්නයක්‌ වෙයි. උන්වහන්සේ ගේ ධර්මය ජනපද නිරුක්‌තියෙන් දේශනා කිරීමට උන්වහන්සේ පියවර ගත් හ. එහෙත් ජනපද නිරුක්‌තියෙන් ඒ ධර්මය දේශනා කළ හැකි ද? උන්වහන්සේට ජනපද නිරුක්‌තියේ වචන භාවිත කිරීමට සිදු විය. උන්වහන්සේ බොහෝ විට ආනන්දයනි, මෙය මෙසේ දැනගත යුතු යෑයි වදාළ හ. එහෙත් ආනන්ද නමින් පුද්ගලයකු, වස්‌තුවක්‌ නැති බව බුදුන් වහන්සේ දැන සිටිය හ. උන්වහන්සේ ඒ බව නො සලකා ආනන්ද යනුවෙන් ආනන්ද හාමුදුරුවන් ඇමතූ හ. බුදුන් වහන්සේ වචන යොදාගෙන ඇත්තේ යම් සන්දර්භයක ය. උන්වහන්සේ ආනන්ද නමින් හැඳින්වෙන ආනාත්ම වූ සංස්‌කාර (පද්ධතිය) යනුවෙන් ආනන්ද හිමියන් නො ඇමතූ හ.

බුදුන් වහන්සේ ආනන්දය යනුවෙන් ඇමතූ නිසා ම උන්වහන්සේ ආත්මවාදය ප්‍රතික්‌ෂේප නො කළ බව ඥනවන්තයන් පවසන්නේ දැයි මම නො දනිමි. කෙසේ වෙතත් වෙනත් සංදර්භයක තථාගතයන් වහන්සේ ඇත් ද යන ප්‍රශ්නයේ දී උන්වහන්සේ එයට චතුස්‌කෝටිකය ද ඉක්‌මවා යන පිළිතුරක්‌ ලබා දුන් හ. බුදුදහම සන්දර්භය අනුව තේරුම්ගත යුත්තකි. ඉන්ද්‍රිය සංජානනය ගැන දේශනා කරද්දී උන්වහන්සේට වස්‌තුවක්‌ පෙනෙන්නේ කෙසේ ද යන පැනයට පිළිතුරු දීමට සිදු විය. එහි දී උන්වහන්සේ වස්‌තුවක්‌ ඇතැයි යන තැනින් පටන්ගත් හ. එසේ නොමැති ව ලෝකය ශුන්‍ය ය, අප යම් යම් දේ ලෙස දකින දේ නො පවතියි යනුවෙන් පටන්ගැනීමෙන් චක්‌ඛු විඤ්Æණය තේරුම් කර දිය නොහැකි ය. ප්‍රශ්නය වනුයේ වස්‌තුවක්‌, මලක්‌, පොතක්‌ හෝ වෙනත් එවැන්නක්‌ හෝ දකින්නේ කෙසේ ද යන්න නො වේ. වස්‌තුව, වස්‌තුවක්‌ ලෙස පවතින බව උපකල්පනය කරමින් වස්‌තුව අපට පෙනෙන්නේ කෙසේ ද යන්නත් චිත්ත ඇති වීමත් තේරුම් කිරීමට බුදුන් වහන්සේ එලෙස වස්‌තු ගැන කථා කළ හ. බුදුන් වහන්සේ එයට එහා ගොස්‌ පටිච්චසමුප්පාදයෙහි සළායතන පච්චයා ඵස්‌ස යෑයි දෙසූ සේක. ඵස්‌ස ඇති වන්නේ සළායතන නිසා මිස වස්‌තු ලෝකයේ පවතින නිසා නො වේ. අප කතා කරන්නේ දකින දෙය වෙනත් දෙයක්‌ හෝ දකින දෙය නැතැයි යන පදනමේ සිට නො වේ. දකින දෙය නිර්මාණයකි. එය මනසේ නිර්මාණයකි යන පදනමෙනි.

නියතිවාදය ආදිය ගැන සැප්තැම්බර් 23 වැනි දා අමරතුංග මහතා මෙසේ කියයි. "නියතිවාදය සත්‍ය නම් විශ්වය ක්‍රියාකාර වන පාලනය කරන යම්කිසි පොදු නීති පද්ධතියක්‌ තිබිය යුතු ය. මෙය වඩාත් ම වැදගත් වන්නේ හේතුව සහ ඵලය අතර සම්බන්ධතාවක්‌ තිබේ නම් ය. නියතිවාදී විද්‍යාඥයෝ මේ නීති සොයාගැනීමට යුහුසුලු වූ හ." මේ කිසිවකින් යථාර්ථයක්‌ ඇති බව පෙන්වනු නො ලැබෙයි. ලෝකයක්‌ ඇති බව උපකල්පනය කිරීමෙන් ලබාගන්නා නිගමනවලින් ලෝකයක්‌ ඇති බව ඔප්පු වන්නේ කෙසේ ද? මේ තර්ක විරෝධී ය. එහෙත් ඥනවන්ත අමරතුංග මහතාට ඒ පිළිබඳ අවබෝධයක්‌ නැත.

නලින් ද සිල්වා