logo3.gif (702 bytes)

HOME


ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 04

අප සාකච්ජා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳව විද්‍යාවෙන් සහ දර්ශනයෙන් සොයාගත හැකි කරුණු ය. පැරැණි සහ නවීන විද්‍යාවෙන් සහ දර්ශනයෙන් අප කරුණු බොහොමයක්‌ සොයාගෙන ඇත. ජීවිතයේ අරුත පිළිබඳ අප ගේ මතවාදය වන්නේ ජීවීන් විශ්වය සඳහා සේවයක්‌ කරන්නට බැඳ තබා ඇති බව ය. එම සේවය වනාහි DNA, RNA ප්‍රොaටීන නිෂ්පාදනය විය හැකි ය. ජීවීන් එම සේවයට බැඳ තබනු ලැබ ඇත්තේ තෘෂ්ණාව විසිනි. මේ බැඳීම කුමන ආකාරයේ බැම්මක්‌ ද යන්න ඉදිරියේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. ඊට පෙර පසුගිය සතියේ පළ වූ ලිපියේ සඳහන් වූ අනියතිවාදය (ndeterminism) අප ගේ සාකච්ඡාවට අදාළ හෙයින් එහි ඉතිරි වී ඇති කරුණු කිහිපයක්‌ වෙත යොමු වෙමු.

අනියතිවාදයේ අතුරු එල ලෙස ස්‌වෛරී අභිප්‍රාය (free will) සහ අහඹු සිදුවීම් (chance) යන සංකල්ප අප ඉදිරිපත් කොට ඇත. විශ්වයේ සිදුවීම් නියතිවාදයට අනුව නො ව අහඹු සිදුවීම් ලෙස සිදු වන ක්‍රියාදාමයන් බව ප්‍රබල ව ඉදිරිපත් කරන ලද්දේ ඇමෙරිකානු ජාතික චාර්ල්ස්‌ පියර්ස්‌ (Charles Peirce - 1890) විසිනි. මේ අදහස්‌ දාර්ශනිකයන් ගේ සැලකිල්ලට භාජන වූයේ ක්‌වොන්ටම් මතවාදය බිහි වූ පසුව යෑයි විද්වත් කාර්ල් පොපර් පැවසූ බව පසුගිය සතියේ ලිපියේ සඳහන් කළෙමි. එසේ ම එම අදහස්‌ පසුව ඉදිරිපත් වූ වර්නර් හයිසන්බර්ග් ගේ අනිශ්චය මූලධර්මය (uncertainty
principle) සහ මැක්‌ස්‌ බොර්න් ඉදිරිපත් කළ බොර්න් නියාමය (Born rule) වර්ධනය වීම පිණිස මූලාරම්භය සපයා දෙන්නට ඇත. අනිශ්චය මූලධර්මය පිළිබඳව පසුගිය ලිපිවල සැකවින් සඳහන් කොට ඇත. මැක්‌ස්‌ බොර්න් ගේ අදහස්‌ අපට කෙසේ අදාළ විය හැකි දැයි සොයා බැලිය යුතු ය.

විද්වත් මැක්‌ස්‌ බොර්න් 1882 උපත ලද ජර්මන් ජාතික විද්‍යාඥයෙක්‌ සහ ගණිතඥයෙක්‌ වන්නේ ය. ඔහු ක්‌වොන්ටම් යාන්ත්‍රණය නිර්මාණය කිරීමේ ලා විශේෂ කාර්යභාරයක්‌ ඉටු කළ පුද්ගලයෙක්‌ වන්නේ ය. එතුමා වර්ෂ 1954 නොබෙල් ත්‍යාගලාභියා බවට පත් විය. ක්‌වොන්ටම් යාන්ත්‍රණයේ එන තරංග ශ්‍රිතයේ සංඛ්‍යානීය අර්ථකථනය පහදා දීම සඳහා ඔහු සිදු කළ පර්යේෂණ වෙනුවෙන් එම ත්‍යාගය හිමි විය. ආචාර්ය උපාධිය සඳහා බොර්න් යටතේ අධ්‍යයන කටයුතු කළ කිහිප දෙනකු නොබෙල් ත්‍යාගය ලබාගෙන ඇත. හයිසන්බර්ග් ඔහු යටතේ පර්යේෂණ කටයුතු කළ බව සඳහන් වී ඇත. බොර්න් න්‍යාමය (Born Rule, Born Law) ක්‌වොන්ටම් යාන්ත්‍රණයේ වැදගත් මූලධර්මයකි. එම න්‍යාමය ලබා දෙන්නේ ක්‌වොන්ටම් පද්ධතියේ මිණුම්වල සම්භාවිතාව ය. වර්ෂ 1954 නොබෙල් ත්‍යාගය පිළිගැනීමේ දී බෝර්න් කළ ප්‍රකාශය අප ගේ සාකච්ඡාවට වැදගත් වේ. ඔහු පැවසුවේ පරම සත්‍ය කියා දෙයක්‌ නැති බව ය. එසේ ම යම්කිසි සම්භාවිතාවක්‌ හරි හෝ වැරැදි යෑයි කිව හැක්‌කේ එය පදනම් වන මතවාදයේ ස්‌ථාවරය අනුව ය. මින් ලැබෙන සිතීමේ නිදහස විද්‍යාව විසින් ලබා දී ඇති උතුම් යහපත වන්නේ ය. එක්‌ සත්‍යයක්‌ පිළිබඳ විශ්වාසය ලෝකයේ සැම විපතකට ම මූලික හේතුව වන බව ද ඔහු පැවසුවේ ය.

හයිසර්න්බර්ග් ගේ සහ බොර්න් ගේ මූලධර්ම බිහි වීමට චාල්ස්‌ පියර්ස්‌ ගේ අදහස්‌ තුඩු දුන්නා යෑයි පවසන්නේ කාර්ල් පොපර් බව අප පවසා ඇත. එහෙත් හයිසන්බර්ග් සහ බොර්න් ලෝකයේ ක්‍රියාදාමයන් ඒකාන්තයෙන් අහඹු ලෙස සිදු වන බව විශ්වාස කළා යෑයි කිව නොහැකි ය. පියර්ස්‌ට පසුව වර්ෂ 1931 ජීවත් වූ ආර්තර් කොම්ප්ටන් එම අදහස්‌ තවත් ඉදිරියට ගෙන ගියේ ය. මිනිසා ගේ නිදහස ක්‌වොන්ටම් අනියතිවාදය නිසා ඇති වූවක්‌ විය හැකි බව ඔහු පැවසුවේ ය. තව ද භෞතික විද්‍යා මූලධර්ම සත්‍ය ලෙස පිළිගැනේ නම් මිනිසා ගේ ස්‌වෛරී අභිප්‍රාය මිථ්‍යාවක්‌ වන්නේ ය. එලෙස ම මිනිස්‌ නිදහස ප්‍රතිඑල සහිත නම් විද්‍යාත්මක නිSති සත්‍ය විය නොහැකි ය. කාර්ල් පොපර් ගේ Of Clouds and Clocks නමැති පරිච්ඡේදය ගැන මීට පෙර ලිපියේ අප සඳහන් කොට ඇත. එතුමා වලාකුළු ලෙස හැඳින්වූයේ අනියතිවාදී පද්ධතින් ය. ඔරලෝසු ලෙස හැඳින්වූයේ නියතිවාදී පද්ධතීන් ය. සැම ඔරලෝසුවක්‌ ම වලාකුළක්‌ වශයෙන් පිළිගැනීම පියර්ස්‌ ගේ අදහස්‌ පිළිගැනීම බව පොපර් සඳහන් කරයි. එසේ ම සැම වලාකුළක්‌ ම ඔරලෝසුවක්‌ බව පිළිගැනීම වැරැදි බව පෙන්වා දීම ඉතා වැදගත් වූ බව ද පොපර් පවසයි.

මෙලෙස ම තර්ක කරන රොබර්ට්‌ කේන් සහ මර්ක්‌ බැල්රගර් පවසන්නේ ස්‌වෛරී අභිප්‍රාය ක්‍රියාකාරි වීමට නම් අනියතිවාදය පැවතිය යුතු ය යන්න ය. මෙය නිවැරැදි වන්නේ ද? බුදු දහම ස්‌වෛරී අභිප්‍රාය භාවිත කොට කර්ම විපාක වළක්‌වාගත හෝ වෙනස්‌ කරගත හැකි බව පවසයි. මෙසේ සිදුවීම පිණිස අනියතිවාදයේ බලපෑමක්‌ ගැන බුදුදහම පවසා නැත. බුදු දහම නියතිවාදය විශ්වාස කරන්නේ ද නැත. කර්මය පිළිබඳව ද හේතු එල සම්බන්ධතාව ගැන ද බුදු දහම ඉතා අනගි වූ මතවාදයන් ඉදිරිපත් කොට ඇත. නවීන විද්‍යාවට පවා මෙවැනි මතවාද නිර්මාණය කරන්නට නොහැකි වී තිබිණි. අයින්ස්‌ටයින් වැනි නවීන චින්තකයන් බුදු දහම දෙසට හැරෙන්නේ ඒ නිසා ය. යම් ක්‍රියාදාමයක්‌ පටන්ගන්නා විට එහි අවසන් එලය එකක්‌ නො ව කිහිපයක්‌ විය හැකි ය. ඒවා සිදුවීමේ සම්භාවිතාව විබෙදීම මගින් පෙන්වා දිය හැකි ය. පටන්ගැනීමේ දී පවතින මූලික ප්‍රත්‍යය දැන ගත්තා වුව ද අවසන් එලය ගැන සම්භාවිතාවකට වඩා එහා ගිය එකක්‌ ලෙස අනාවැකි පළ කළ නොහැකි ය. නියතිවාදය සහ අනියතිවාදය නිව්ටන් ගේ අයින්ස්‌ටයින් ගේ නීල්ස්‌ බෝර් ගේ සහ අනෙකුත් අය ගේ මතවාදවලට බලපාන්නේ කෙසේ දැයි නැවතත් සොයා බලමු.

නිව්ටන් ගේ මතවාද නියතිවාදය සමග හොඳින් පෑහේ. අයින්ස්‌ටයින් ගේ විශේෂ සාපේක්‌ෂතාවාදය අනියතිවාදය සමග සම්බන්ධ කිරීමට හැකි වන්නේ යෑයි සමහර දාර්ශනිකයෝ පවසති. එසේ ම එතුමා ගේ සාධාරණ සාපේක්‌ෂතාවාදය තුළ නියතිවාදී මෙන්ම අනියතිවාදී ලක්‌ෂණ ඇති බව ඔවුහු පවසති. නීල්ස්‌ බෝර් ගේ ක්‌වොන්ටම් මතවාදය තුළ ඇත්තේ අනියතිවාදය බව ද ඔවුහු පවසති. ස්‌ටීවන් හෝකින්ග් මේ ප්‍රශ්නය විසඳන්නට තැත් කළ අන්දම මීට පෙර ලිපියක සඳහන් කොට ඇත. එතුමා පවසා සිටියේ ක්‌වොන්ටම් ලෝකයේ සිදුවීම සාම්ප්‍රදායික නියතිවාදයකට අනුව නො ව නියති සම්භාවිතාවට (determined probabilities) අනුව සිදු වන බව ය. තව ද සම්භාවිතා යාන්ත්‍රණයේ ඉතා සාර්ථක වු අනාවැකි ක්‌වොන්ටම් එලය විසින් වෙනස්‌ නො කෙරෙන බව ය. මේ කරුණු මතකයේ රඳවාගෙන ඉදිරියට යැමට තැත් කරමු.

චාර්ල්ස්‌ ඩාර්වින් ගේ ජීව පරිනාමවාදයේ එන ස්‌වාභාවික වරණය (natural selection) නියතිවාදී ද නැතිනම් අනියතිවාදී දැයි සලකා බැලිය යුතු ය. අප ගේ මතවාදයට ජීව පරිණාමය සහ ස්‌වාභාවික වරණය ඉතා ම වැදගත් ය. මක්‌නිසා ද යත් අප පවසන්නේ ජීවිතයේ අරුත වන්නේ විශ්වයට අවශ්‍ය DNA, RNA ප්‍රොaටීන් නිෂ්පාදනය කිරීම බව ය. ඒවා නිෂ්පාදනය වන්නේ ස්‌වාභාවික වරණයේ ක්‍රියාකාරීත්වය උපයෝගි කරගනිමිනි. ස්‌වාභාවික වරණය සිදු වන්නේ ශක්‌තියේ පාලනයට යටත් ව බව අප පෙන්වා දී ඇත. ශක්‌තියේ පාලනය නියතිවාදී ලක්‌ෂණයක්‌ යෑයි කිව හැකි ය. එහෙත් ස්‌වාභාවික වරණය සම්පූර්ණයෙන් නියතිවාදී යෑයි සිතිය නොහැකි ය. ඒ තුළ සසම්භාවී ක්‍රියාදාමයන් තිබෙන බව පෙන්වා දිය හැකි ය. එසේ ම ස්‌වාභාවික වරණය සම්පූර්ණයෙන් අනියතිවාදී යෑයි ද සිතිය නොහැකි ය. එසේ නම් එය ප්‍රමාණවත් නියතිවාදී (adequate determinism) යන සංකල්පයට අනුකූල විය හැකි යෑයි සිතේ. මේ සංකල්පය කුමක්‌ දැයි මීට පෙර ලිපියක සඳහන් කොට ඇත. එසේ ම ස්‌වාභාවික වරණය ස්‌ටීවන් හෝකින්ග් ගේ නියති සම්භාවිතාව (determined
probability) යන සංකල්පයට ද අනුකූල විය හැකි ය.

මේ නයින් බලන කල ක්‌වෝන්ටම් අනියතිවාදය පිළිබඳව පක්‌ෂ සහ විපක්‌ෂ දාර්ශනිකයන් සිටිය බව පෙනේ. උදාහරණයක්‌ ලෙස විද්වත් අයින්ස්‌ටයින් ඊට පක්‌ෂපාති වූයේ නැත. එම දාර්ශනිකයන් පවසා සිටිය් නියතිවාදය ස්‌ථාපිත කිරීම පිණිස ප්‍රතිඑල නියති වශයෙන් හැකි වන පරිදි සැඟවුණු විචල්‍ය (hidden variables) ආවරණය වන පරිදි නව මතවාදයක්‌ ගොඩනැගිය යුතු බව ය (Einstein , Podolsky & Rosen). වර්ෂ 1964 දී ජෝන් එස්‌ බෙල් (John S Bell) මේ සැඟවුණු විචල්‍ය සඳහා පරීක්‌ෂණ නිර්මාණය කළේ ය. වර්ෂ 1980 දී ඇලෙන් ඇසපෙක්‌ට්‌ (Alain Aspect) එම පරීක්‌ෂණ සිදු කළේ ය. ප්‍රතිඑලය වූයේ සැඟවුණු විචල්‍ය පිළිබඳ සාධක සොයාගන්නට බැරි වීම ය. කෙසේ නමුත් ඩේවිඩ් බොහෝම් ගේ මතවාදය මේ ගැන හෝඩුවාවක්‌ සපයනවා ද යන්න සොයා බැලිය යුතු ය.

ඩේවිඩ් බොහෝම් (David Bohm) යුදෙව් ජාතිකයෙකි. ඇමෙරිකාවේ ඉපිද පසුව බ්‍රිතාන්‍යයට සංක්‍රමණය කළ ඔහු යථාර්ථයේ සහ විඥානයේ ස්‌වභාවය අධ්‍යයනය කරන්නට වෙහෙසිණි. සම්භාවිතාවී මතවාදයක්‌ නියතිවාදී මතවාදයක්‌ බවට පත් කිරීම සන්නිකර්ෂණය (approximation) මගින් පමණක්‌ කළ නොහැකි බව ඔහු විශ්වාස කළේ ය. නියතිවාදී දාර්ශනිකයන් එසේ කළ හැකි බව පැවසුව බව අපි දනිමු. බොහෝම් තැත් කළේ නියතිවාදී මතය මත පිහිටා අදහස්‌ දක්‌වන්නට නො ව ස්‌වාභාවික ලක්‌ෂණවලට හේතුව යටිතලයේ පවතින යථාර්ථය බව පෙන්වා දීමට ය. De Broglie –Bohm මතවාදය ඉදිරිපත් වූයේ මෙහි ප්‍රතිඑලයක්‌ ලෙස ය.

බ්‍රොග්ලි-බොහෝම් මතවාදය ක්‌වෝන්ටම් මතවාදයේ නව අර්ථකථනයකි. එම මතවාදය ලූවී ඩී බ්‍රොග්ලි (Louis de Broglieැ 1892 -1987) සහ ඩේවිඩ් බොහෝම් (David Bohm 1917-1992) යන දෙදෙනා ගේ නමින් ඉදිරිපත් වී ඇත. තරංග ශ්‍රිතය සහ අනෙකුත් ආකෘතිවලට අමතරව නිරීක්‌ෂණය නො කරන අවස්‌ථාවේ ද පවතින ආකෘතියක්‌ (configuration) ක්‌වොන්ටම් යාන්ත්‍රණය තුළ තිබෙන බව එම මතවාදය පවසයි. තව ද එම මතවාදය නියතිවාදී වන්නේ ය. එසේ ම එය ස්‌ථානීය නො වන්නේ ය (non-local). ස්‌ථානීය නො වන්නේ ය යන්නේ අදහස කුමක්‌ද ? අංශු පද්ධතියක තරංග ශ්‍රිතය විසින් එහි ආකෘතිය නිගමනය කෙරෙන්නේ ය. ආකෘතිය විසින් නියාමක සමීකරණය නිගමනය කෙරෙන්නේ ය. සමීකරණය විසින් පද්ධතියේ අංශුවක වේගය ගණනය කෙරෙන්නේ ය. තරංග ශ්‍රිතය පදනම් වන්නේ එම පද්ධතියේ මායිම් මත ය. එම මායිම් මුළු විශ්වය විය හැකි යෑයි මේ මතවාදය සලකයි. එසේ සැලකීම ස්‌ථානීය නො වන්නේ ය යන්නේ තේරුම වන්නේ ය. මේ ගැන විද්වත් බෝධි ධනපාල මහතා විදුසර සඟරාවට ලිපි සපයා ඇත.

මේ මතවාදය දෙදික්‌ සිදුරු පරීක්‌ෂණය (double slit experiment) මත බලපාන්නේ කෙසේ දැයි සොයා බලමු. දෙදික්‌ සිදුරු පරීක්‌ෂණය ගැන මහාචාර්ය කිර්ති තෙන්නකෝන් මහතා දීර්ඝ ලිපියක්‌ විදුසර සඟරාවේ පළ කොට තිබිණි. මේ පර්යේෂණයෙන් අංශු සහ තරංග යන ද්විත්වයේ ස්‌වභාවය පෙන්වා දිය හැකි ය. එනම් ඉලෙක්‌ට්‍රොaනයක්‌ වැනි දෙයක්‌ අංශු සහ තරංග යන දෙවිධියට ම හැසිරෙන බව එම පර්යේෂණය පෙන්වා දෙයි. මේ පර්යේෂණය ගැන මතකය අලුත් කිරීමට ඒ ගැන කෙටි සටහනක්‌ කරමු. ආලෝක ධාරාවක්‌ දික්‌ සිදුරු දෙකක්‌ තිබෙන තහඩුවක්‌ තුළින් යවන්නට සලස්‌වා එම ආලෝක ධාරාව තිරයක්‌ මත පතිත වන්නේ කෙසේ ද යන්න සොයා බැලිය හැකි ය. එසේ පතිත වන රටා තිත් සහ නිරෝධන (interference) වශයෙන් සටහන් වන්නේ තිත් අංශු නිසා ඇති වන බවත් නිරෝධන තරංග නිසා ඇති වන බවත් පෙන්වා දෙමිනි. ඉලෙක්‌ට්‍රොaන ධාරාවක්‌ දෙදික්‌ සිදුරු පරීක්‌ෂණයට ලක්‌ කළ විට ද මෙය සිදු වේ. එක සිදුරක්‌ වැසූ විට නිරෝධ රටා සටහන් නො වේ. තව ද ඉලෙක්‌ට්‍රොaන ගමන් කරන්නේ කුමන සිදුරෙන්ද යන්න සොයා බැලීමට සංවේදක උපකරණයක්‌ භාවිත කළ හොත් නිරෝධන රටා සටහන් නො වේ. එසේ සිදු වන්නේ ඇයි දැයි ක්‌වොන්ටම් මතවාදයේ නොයෙකුත් අර්ථකථන පෙන්වා දීමට තැත් කරයි. ක්‌වොන්ටම් මතවාදය අර්ථකථන කිහිපයකට ලක්‌ වී ඇත. කෝපන්හේගන් අර්ථකථනය ඒ අතර සුවිශේෂී වන්නේ ය. එම අර්ථකථනයට අනුව අංශු අවකාශයේ ස්‌ථානගත (localize) වන්නේ ඒවා සොයාගත් විට (detect) පමණ ය. එම නිසා සොයාගැනීමට තැත් කළ විට තරංග ශ්‍රිතය නැති වී අංශු ලෙස හැසිරෙයි.

කෝපන්හේගන් අර්ථකථනය තැත් කරන්නේ ක්‌වොන්ටම් යාන්ත්‍රණය පහදා දීමට ය. එය නිර්මාණය කළේ මූලිකව නීල්ස්‌ බෝර් සහ වර්නර් හයිසන්බර්ගර් විසින් වර්ෂ 1925-27 කාලයේ දී ය. බහුලව භාවිත වූයේ මේ අර්ථකථනය විය. ඉන් පවසන්නේ ක්‌වොන්ටම් යාන්ත්‍රණය විසින් වාස්‌තවික වූ යථාර්ථයක්‌ ඉදිරිපත් නො කෙරෙන බව සහ එය සිදු කරන්නේ මිනුම් කරන විට ලැබෙන ප්‍රතිඵල පිළිබඳව සම්භාවිතාව ලෙස අනාවැකි පළ කරනවා මිස නියති වූ ප්‍රතිඵලයක්‌ නො දෙන බව ය. තව ද මිනුම් කිරීමට තැත් කළ විට පද්ධතිය වෙනස්‌ වී සම්භාවිතාව (probability) වෙනුවට එක්‌ අගයක්‌ සසම්භාවී (random) ලෙස ලබා දෙයි. මේ සිදුවීම තරංග ශ්‍රිතයේ බිඳවැටීම (collapse of the wave function) ලෙස හැඳින්වේ.

මේ කෝපන්හේගන් අර්ථකථනයට විරුද්ධ මත බෝහෝ ය. මින් දැනට ප්‍රධාන වන්නේ බහුලෝක අර්ථකථනය (many-world interpretation) සහ ඩී බ්‍රොග්ලි-බොහෝමර් අර්ථකථනය වන්නේ ය. මැක්‌ස්‌ බෝර්න් සහ කාර්ල් පොපර් යන විද්වතුන් ද අර්ථකථන ඉදිරිපත් කොට ඇතැයි සැලකිය හැකි ය. තවත් අය ද ඉදිරිපත් කොට ඇත. මේවා සමහරක ගේ මූලික වෙනස්‌කම් පහත සඳහන් ලෙස දැක්‌විය හැකි ය.

මේ මතවාද දෙකේ ප්‍රධාන වැදගත් වෙනස්‌කම් වන්නේ ස්‌ථානීය වන්නේර ද සහ නිරීක්‌ෂකයා නිසා වෙනස්‌ වීමක්‌ සිදුවනවා ද යන්න පිළිබඳ ය. ඩී බොග්ලි-බොහෝමර් මතවාදය තැත් කරන්නේ පද්ධතියේ මායිම් මුළු විශ්වය දක්‌වා පුළුල් කිරීමට ය. මායිම් වෙනස්‌ කළ විට තරංග ශ්‍රිතය වෙනස්‌ වේ. එවිට ආකෘතිය වෙනස්‌ වේ. එවිට සමීකරණය වෙනස්‌ වේ. සමීකරණය භාවිත කොට ලැබෙන ප්‍රතිඵල වෙනස්‌ වේ. මේ ලෙස ඔප්පු කරන්නට තැත් කරන්නේ සම්භාවිත යාන්ත්‍රණය භාවිත කොට ලබාගන්නා ඉතා සාර්ථක ප්‍රතිඵල ක්‌වොන්ටම් යාන්ත්‍රණය භාවිත කොට ලබාගන්නා ප්‍රතිඵල නිසා නිෂ්ප්‍රභ නො වන බව ය. මේ මතවාද අප ගේ මතවාද සමග ගැටෙන්නේ කෙසේ දැයි ඉදිරි ලිපිවලින් සාකච්ඡා කරමු.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc