logo3.gif (702 bytes)

HOME


ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 03

අප සාකච්ඡා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳව විද්‍යාවෙන් සහ දර්ශනයෙන් (ආගම් ඇතුළු) ලබාගත හැකි කරුණු ගැන ය. පසුගිය සතියේ ලිපියෙන් ජීවිතයේ අරුත පිළිබඳව ඉදිරිපත් කරන මතවාදය සැකෙවින් යළි මතක්‌ කළෙමු. තව ද එම ලිපියේ දීර්ඝ ලෙස සාකච්ඡා වූයේ නියතිවාදය පිළිබඳ ව ය. මේ නියතිවාදය නවීන විද්‍යාවට බොහෝ අගනේ ය. එසේ ම පෙර කල සිට ම නොයෙකුත් දර්ශනවල සහ ආගම්වල නියතිවාදය සහ එහි ගුරුකලයන් පැවැති බව පෙනෙන්ට ඇත.

භෞතිකවාදය විසින් හේතුව සහ එලය අතර ඇති සම්බන්ධතාව කාරක නියතිවාදය ලෙස පිළිගැනෙයි. කාරක නියතිවාදයට අනුව යම්කිසි වස්‌තුවක හෝ සිදුවීමක එක්‌ අවස්‌ථාවක්‌ ඊට පෙර අවස්‌ථාවක්‌ විසින් සම්පූර්ණයෙන් ම නියති ලෙස නිගමනය කෙරෙන්නේ ය. නියතිවාදයේ වෙනත් ගුරුකුල මීට වෙනස්‌ වූ අර්ථකථන දී ඇත. දේව නියතිවාදය, තාර්කික නියතිවාදය, ස්‌වභාව නියතිවාදය, සංස්‌කෘතික නියතිවාදය, ආර්ථික නියතිවාදය, තාක්‌ෂණික නියතිවාදය යනාදි වශයෙන් මේවා මීට පෙර ලිපියේ සඳහන් විය. මේවා වැදගත් සංකල්ප වුව ද ඒ සැම එකක්‌ ම මේ අප ගේ සාකච්ඡාවට අදාළ නො වන නිසා දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය නැත. කුමක්‌ දැයි සඳහන් කිරීම පමණක්‌ සෑහේ. කුමක්‌ හෝ එක්‌ හේතුවක්‌/ප්‍රත්‍යයක්‌ නිසා ක්‍රියාදාම සිදු වන්නේ ය යන්න මේ සැම නියතිවාදයකින් ම පැවසේ.

බුදු දහමේ නියතිවාදී ලක්‌ෂණ ඇති ද? බුදු දහමේ එන කර්මය නියතිවාදය නො වන බව පෙන්වා දිය හැකි ය. පෙර කළ කාර්යයක්‌ පමණක්‌ හේතු කොටගෙන කර්මඑලය නිගමනය වන්නේ නැත. ඒ සඳහා ප්‍රත්‍යයන් කිහිපයක්‌ අවශ්‍ය වන්නේ ය. මිනිසා ගේ සතුට සහ දුක කර්මය පමණක්‌ හේතු කොටගෙන ඇති වන්නේ නැති බව ද පෙන්වා දී ඇත. ඒ සඳහා ස්‌වෛරී අභිප්‍රායේ බලපෑම ද තිබෙන බව පෙන්වා දී ඇත. තව ද ආරය, ශරීර ව්‍යqහය, සහ ක්‍රියාකාරිත්වය, පාරිසරික සහ සමාජී¨ය සාධක අවශ්‍ය ප්‍රත්‍යයන් ලෙස බුදු දහම සඳහන් කරයි. කර්මය සහ සදාචාරය අතර ඇති සම්බන්ධතාව බුදුන් පෙන්වා දී ඇත. මහා කම්මවිභංග සූත්‍රය මේ කරුණු පැහැදිලි කරයි. එකල ඉන්දියාවේ ද ගී්‍රසීයේ ද එක හේතුවක්‌ යන සංකල්පය ප්‍රචලිත ව තිබිය දී බුදුන් ගේ මේ දේශනාව සහ ඉන් සිදු වූ පැහැදිලි කිරීම ඒ කාලයේ පමණක්‌ නො ව අද වුව ද කිසිවකුට කළ නොහැකි දෙයක්‌ බව කිව හැකි ය.

එම නිසා බුදුන් ගේ කර්මය පිළිබඳ දේශනාව පමණක්‌ නො ව පටිච්චසමුප්පාදය පිළිබඳව ද සාකච්ඡා කළ යුතු ව ඇත. බුදුන් භාෂා විශාරදයකු බව අවිවාදයෙන් පිළිsගත හැකි ය. උන්වහන්සේ ගේ මේ ගුණය පිළිබිඹු වන්නේ උන්වහන්සේ නිර්මාණය කළ ඊට පෙර භාවිත නො වූ අලුත් වචන තුළිනි. පටිච්චසමුප්පාදය, පටිච්චසමුප්පන්න, නිබ්බාණ, පච්චුප්පන්න යන වචන, බුදුන් නිර්මාණය කළ මේ වචන ඊට පෙර හෝ පසුව හෝ බිහි වූ ආගම්වල හෝ දාර්ශනික කෘතිවල හෝ දැකිය නොහැකි ය. උදාහරණයක්‌ ලෙස එකල පාලි භාෂාවේ භාවිත වූ වර්තමාන යන වචනය බුදුන් ගේ දේශනාවල දකින්නට නැත. ඒ වෙනුවට උන්වහන්සේ භාවිත කළේ පච්චුප්පන්න යන උන්වහන්සේ ගේ ම නිර්මාණයකි. එහි වර්තමාන යන වචනයට වඩා වැදගත් වූ කාලය පිළිබඳ බුදුන් ගේ දර්ශනයට යෝග්‍ය වූ තේරුමක්‌ ගැබ් වී තිබිණි. එම වචනයේ තේරුම වූයේ "බිහි වී ඉදිරියට යන" යන්න වන්නේ ය. "වර්තමාන" යන වචනයේ තේරුම දැන් පවතින යන්න ය. එම වචනය භාවිත කොට බුදුන් ගේ අනිත්‍ය ධර්මය සහ ඒ තුළින් එන නිත්‍ය ලෙස කිසිවක්‌ පවතින්නේ නැත යන අදහස ඉදිරිපත් කළ නොහැකි බව බුදුහු දැනගත් සේක. වර්තමාන යන වචනය භාවිත කළා නම් නිත්‍ය පැවැත්ම පිළිබඳ අදහසක්‌ ඉදිරිපත් වන්නේ ය. මේ නිසා බිහි වී ඉදිරියට යන වැනි තේරුමක්‌ ඇති අලුත් වචනයක්‌ උන්වහන්සේ නිර්මාණය කළ සේක. බිහි වී ඉදිරියට යන දෙයක එක තැන තිබෙන වර්තමානයක්‌ නැත. වර්තමානය සහ අනාගතය සම්බන්ධ කරන වචනයක්‌ බුදුහු නිර්මාණය කළ සේක. කාලය අතීතය, වර්තමානය, අනාගතය යනුවෙන් බෙදා වෙන් කොට අනිත්‍ය ධර්මය භාවිත කළ නොහැකි නිසා බුදුහු ඒ ලෙස අලුත් වචන නිර්මාණය කළ සේක.

අප හේතු යනු කුමක්‌ දැයි සාකච්ඡා කරන නිසාත්, පටිච්චසමුප්පාද ධර්මය මේ ගැන මතවාදයක්‌ ඉදිරිපත් කරන නිසාත් ඒ ගැන සොයා බලමු. බුදුන්ට අවශ්‍ය වූයේ හේතුව සහ එලය, වෙන් වූ දේවල් නො ව එකට සම්බන්ධ වූ දේවල් බව පෙන්වා දීමට ය. එක දිගට ගලා යන ක්‍රියාදාමයක්‌ බව ය. පාලි භාෂාවේ එන හේතු යන වචනය ඊට සුදුසු නැති බව දැනගත් බුදුන් ඒ සඳහා පච්චයා යන අලුත් වචනය නිර්මාණය කළ සේක. බුදුහු හේතු සහ පච්චයා යන වචන දෙක ම එක විට භාවිත කළ සේක. පක්‌කාය යන්නේ තේරුම "දෙයක්‌ යන්නේ කුමක්‌ වෙත ද" ලෙස දැක්‌විය හැකි ය. මේ සඳහා යොදා ගත හැකි සුදුසු ඉංගි්‍රසී වචනය condition වන්නේ ය. සිංහල ලියන විට අප ප්‍රත්‍යය (condition) යන්න යෙදුවෙමු. තව ද ප්‍රත්‍යය සහ එලය අතර ඇත්තේ නියතිවාදී සම්බන්ධයක්‌ නො වන බව පෙන්වීම සඳහා උන්වහන්සේ තවත් අලුත් වචනයක්‌ නිෂ්පාදනය කළ සේක. එම වචනය ඉදප්පච්චයා වන්නේ ය. එහි තේරුම මේ ප්‍රත්‍යයන් ගෙන් බිහි වූ භාවය (conditions) යනුවෙන් දැක්‌විය හැකි ය. පටිච්චසමුප්පාද ධර්මය චක්‍රීය එකකි. බුදුන් එය කිහිප වතාවක්‌ දේශනා කොට ඇත. එම දේශනාවල සංදර්භයට අනුව එම චක්‍රීය ක්‍රියාදාමය එක්‌ එක්‌ තැන්වලින් ආරම්භ කර ඇත. මුලක්‌ හෝ අගක්‌ හෝ නැති නිසා එසේ කළ සේක. උන්වහන්සේ කච්ඡායනගොත්ත සූත්‍රය නමැති දේශනාවේ පටිච්චසමුප්පාද ධර්මය ආරම්භ කරන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයක්‌ ලෙස ගෙන ය. මධුපිණ්‌ඩික සූත්‍රයෙහි එම ධර්මය ආරම්භ කරන්නේ විඤ්ඤාණය ඇති වන සැටි පහදා දෙමිනි. Æණස්‌ස වත්තු (සංයුත්ත නිකාය) නමැති දේශනාවේ එම ධර්මය භාවිත වන්නේ වෙනත් විදියකට ය. මහාතණ්‌හාසංඛාය සූත්‍රය (මඡ්Cධිම නිකාය) එය වෙනත් විදියකට විභාග කරයි. එම සූත්‍රයේ බුදුන් පවසන්නේ "මෙය තිබෙන විට එය ඇති වේ - එය ඇති වීමෙන් මෙය ඇති වේ" යන අන්දමිනි. එසේ පවසා උන්වහන්සේ අවිද්‍යාවෙන් පටිච්චසමුප්පාද ධර්මය ආරම්භ කර සේක. මෙලෙසින් බලන කල පටිච්චසමුප්පාදය විස්‌තර කරන්නේ චක්‍රීය ක්‍රියාදාමයක්‌ බව පෙනී යයි.

තව ද පටිච්චසමුප්පාදය සහ පටිච්චසමුප්පන්න යන වචන දෙක නව නිර්මාණ ලෙස බුදුහු භාවිත කළ සේක. පටිච්ච යන වචනයේ තේරුම "කිට්‌ටුවට හෝ දෙසට ගොස්‌ ඇති" ලෙස ගත හැකි ය. සමුප්පන්න යන්නෙන් "උත්පාදනය වී ඇති" යන තේරුම ලැබේ. සමුප්පාදය යන්නේ තේරුම "උත්පාදනය වීම" ලෙස ගත හැකි ය. මෙය චක්‍රීය ක්‍රියාදාමයක්‌ ලෙස ඉදිරිපත් කර ඇත්තේ ප්‍රත්‍යයක්‌ නිසා ඇති වූ එලයක්‌ නැවත ප්‍රත්‍යයක්‌ ලෙස හැසිරිය හැකි නිසා ය. මරණයෙන් පසු එම ක්‍රියාදාමය නවතින්නේ නැති බව ද සංසාරය රෝදයක්‌ ලෙස චක්‍රීය ව පවතින බව ද ඉන් අදහස්‌ වේ. තව ද අනෙකුත් දාර්ශනිකයන් මෙන් ප්‍රත්‍යයට වැදගත්කමක්‌ බුදුහු නුදුන් සේක. වැදගත් වූයේ එලය ය. එලය නැවතත් ප්‍රත්‍යය බවට පත් වීමේ දී එහි වැදගත්කම ද අඩු වන්නේ ය. බුදුන් ගේ මේ ධර්මය අතීතය වර්තමානය සහ අනාගතය ලෙස කාලයට අනුව වෙන් කළ හැකි එකක්‌ නො වේ. මේ අදහස ඉදිරිපත් වීමට උන්වහන්සේ පටිච්චසමුප්පාදය, පටිච්චසමුප්පන්න, පච්චුප්පන්න යන වචන භාවිත කළ සේක.

බුදුන් ගේ මේ ධර්මය නියතිවාදයට පටහැනි ද? බුදුන් ගේ කාලයේ පැවැති නියතිවාද පිළිබඳව මීට පෙර ලිපිවල සාකච්ඡා කොට ඇත. සාම්ප්‍රදායික නියතිවාදය පවසන්නේ සැම සිදුවීමක්‌ ම එක්‌ ප්‍රත්‍යයක්‌ හේතු කොටගෙන සිදු වන බව ද එම ප්‍රත්‍යය වෙනත් සිදුවීමකට හේතු නො වන බව ද වන්නේ ය. එහෙත් බුදුන් පවසා ඇත්තේ සිදුවීම්වලට හේතු කිහිපයක්‌ තිබිය හැකි බව ය. උදාහරණයක්‌ ලෙස මිනිසා ගේ සතුට සහ දුකට හේතු විය හැක්‌කේ මිනිසා ගේ ව්‍යqහය සහ ක්‍රියාකාරිත්වය, ආරය, ස්‌වභාවධර්මය සහ කර්මය වන්නේ ය. තව ද ස්‌වෛරී අභිප්‍රාය භාවිත කොට කර්මයේ එල විපාක වෙනස්‌ කර ගත හැකි ය.

බුදුන් ගේ සමකාලීන ජෛන ආගමේ නායක මහාවීර නියතිවාදය සහ ස්‌වෛරී අධිෂ්ඨානය පොදු මතවාදයක්‌ යටතට ගෙන ඒමට සාපේක්‌ෂතාවාදී අදහස්‌ ඉදිරිපත් කළේ ය. සංජය බෙල්ලට්‌ඨ§පුත්ත අඥෙයවාදී ධර්මයක්‌ (skepticism) දේශනා කළ හ. එතුමා ගේ ශ්‍රාවකයන් දෙදෙනකු වන උපතිස්‌ස සහ කෝලිත බුදුන් වෙත ගොස්‌ සැරියුත් සහ මුගලන් නමින් බුදු දහම පිළිගෙන මහණ වූ හ ඔවුන් එසේ කළේ කුමක්‌ නිසා දැයි සැරියුත් තෙරුන් පවසා ඇත. අඥෙයවාදය විසින් ඉදිරිපත් කෙරෙන ප්‍රශ්නයට බුදුන් ගේ පිළිතුර සැරියුත් තෙරුන් ගේ එම දේශනාවේ අඩංගු වන්නේ ය. උන්වහන්සේ පවසා සිටියේ හේතුවකින් ඇති වූ දෙයක ඇති වීම සහ නැති වීම බුදුන් පහදා දී ඇති බව ය. සංජය බෙල්ලට්‌ඨ§පුත්ත ගේa අඥෙයවාදය, කිසිවක්‌ විශ්වාස නො කිරීම නිසා එතුමා ඇත්හැර බුදුන් සොයා ගිය මේ තෙරුන් දෙදෙනා බුදු දහමට මහත් සේවයක්‌ කළ බවත් බුදුන් ගේ අග සව් බවට පත් වූ බවත් අපි දනිමු.

කෙසේ නුමුදු බුදුන් පරම වාස්‌තවිකත්වයක්‌ ගැන විශ්වාසය නො තැබුවේ මිනිසා ගේ දැනුම ලබාගැනීමේ හැකියාව සිමිත වූ නිසා ය. බුදුන් පවා සර්වඥ නො වන බව උන්වහන්සේ පවසා ඇත. මේ නිසා පරම සත්‍යය, ජීවීන් ගේ සහ විශ්වයේ මුල සහ අග වැනි ප්‍රශ්න අසන්නට හෝ උත්තර සැපයීමට හෝ උන්වහන්සේ ඉදිරිපත් වූයේ නැත. මේ නිසා බුදුහු පරමාර්ථවාදය (absolutism) නමැති අන්තය ද අඥෙයවාදය (skepticism) නමැති අන්තය ද අතහැර මැද පිළිවෙතක්‌ අනුගමනය කළ සේක. එම මැද පිළිවෙත පවසන්නේ ක්‍රියාදාමයක්‌ ප්‍රත්‍යයන් හේතු කොටගෙන සිදු වන බවයි. කර්ම ධර්මය ද, පටිච්චසමුප්පාද ධර්මය ද මෙය පහදා දෙයි. ජීවීන් ගේ බිහි වීම එක හේතුවක්‌ නිසා නො වන බව පටිච්චසමුප්පාදය පෙන්වා දෙයි. ජීවීන් ගේ පැවැත්ම ද එසේ ම ය.

මේ දාර්ශනික මතවාද සලකා බලන විට අනියතිවාදය (indeterminism) නමැති අදහස ගැන ද සොයා බැලිය යුතු ය. එය නියතිවාදයට විරුද්ධ වූ එකකි. ඊට අනුව සිදුවීම්වලට හේතුවක්‌ හෝ ප්‍රත්‍යයන් හෝ නැත. ඒවා ඉබේ හෝ අහම්බෙන් සිදු වේ. අනියතිවාදය ස්‌වෛරී අභිප්‍රාය නමති දාර්ශනික මතවාදයට අදාළ වන්නේ ය. විද්‍යාවේ විශේෂයෙන් ක්‌වොන්ටම් මතවාදයේ අනියතිවාදය පෙන්වා දෙන්නේ සිදුවීම් සම්භාවිතාව අනුව සිදු වන බවයි. වර්නර් හයිsසන්බර්ග් ඉදිරිපත් කළ අනිශ්චය මූලධර්මය සහ මැක්‌ස්‌ බෝන් (Max Born) ඉදිරිපත් කළ බෝන් නියමය අනියතිවාදයේ මූලාරම්භයට වැදගත් වූ බව පැවසේ.

අනියතිවාදය සහ සාමාන්‍ය දෙයක්‌ වන නිශ්චිත වශයෙන් විචල්‍ය (variables) මිණිය හැකි නො වීම එක ම දේ නො වේ. වෙනත් වචනයෙන් කියන්නේ නම් යථාතථ්‍යතාවයේ සීමා (limits of precission) සහ අනියතිවාදය සමාන නො වන්නේ ය. එහෙත් සමහර භෞතික විද්‍යාඥයන් පවසන්නේ අනියතිවාදය සහ පුරෝකථනය කිරීමේ නොහැකියාව එක හා සමාන බව ය. බුදුන්ට පසු කාලයක විසූ විද්වත් ඇරිස්‌ටෝටල් යම් තරමකට අනියතිවාදය විශ්වාස කළ බව පෙනේ. එතුමා පැවසුවේ හේතු හතරක්‌ තිබිය හැකි බව ය. ඒවා ද්‍රව්‍ය, ඵලදායකත්වය, විධිමත් බව සහ අවසානය යන වචනවලින් හඳුන්වා දී තිබිණි. කෙසේ නමුත් තනි හේතූවක්‌ යන සංකල්පය එතූමා නො පිළිගත් බව පෙනේ. එය සැලකිල්ලට භාජන වූයේ පසු කාලයක දී ය. ඇරිස්‌ටෝටල්ට පසුව ජීවත් වූ එපිකියුරස්‌ (Epicurus) පැවසුවේ පරමාණු අවකාශයේ ගමන් කරන විට නියති ලෙස නිගමනය වී තිබූ ගමන් මාර්ගයෙන් පිටතට පැන වෙනත් දේවල් කරන්නට ඉඩ ඇති බව ය. ඊට පසු කාලයක දී ලියුපස්‌ (Leuppus) නමැති දාර්ශනිsකයා පැවසුවේ ජීවිතය සහ ක්‍රියාදාමයන් නියතිවාදයකට හෝ හේතූවක්‌ නිසා හෝ නො ව අහඔq ලෙස සිදු වන බව ය.

විශ්වයේ ක්‍රියාදාමයන් අහඔq ලෙස සිදු වන බව නවීන දර්ශනයේ මුල් භාගයේ විසූ දාර්ශනිකයන් විශ්වාස කළ බව පෙනේ. 18 වැනි ශත වර්ෂයේ විසූ ජීන් මෙස්‌ලියර් (Jean Meslier 1729) පැවසුවේ ද්‍රව්‍ය තුළ ම ඇති බලයක්‌ නිසා ඒවා චලනය වී අන්ධ ලෙස ක්‍රියා කරන බව ය. ඊට පසු ජුලියන් මෙට්‌රි (Jullien Mettrie 1748) පවසා සිටියේ මිනිසා ගේ පැවැත්මේ හේතුව පැවැත්ම පමණක්‌ විය හැකි බව ය. තව ද මිනිසා මේ ලෝ තලයට ඇතුළු වී ඇත්තේ අහඹු ලෙස මිස කොහොම ද, කෙසේ ද, ඇයි ද යන ප්‍රශ්න සලකා බලා නො වේ. ඇමෙරිකානු ජාතික චාර්ල්ස්‌ පියර්ස්‌ (Charles Peirce 1890) නමැති දාර්ශනිකයා අහඹු ක්‍රියාදාමයන් පිළිබඳ මතවාදයක්‌ ඉදිරිපත් කළේ ය. ඔහු ගේ මතය වූයේ අහඹු ක්‍රියාදාමයන් ඒකාන්ත වශයෙන් පවතින බව ය. මේ මතය විද්වත් අයින්ස්‌ටයින් ගේ ප්‍රසිද්ධ කියමනක්‌ වන "දෙවියන් විශ්වය සමග දාදු සෙල්ලම් නො කරයි" යන්නට විරුද්ධ වන්නේ ය. එසේ ම එම මතය පසුව ඉදිරිපත් වූ වර්නර් හයිසන්බර්ග් ගේ අනිශ්චය මූලධර්මය (uncertainty principle) යන සංකල්පයේ මුල් ආරම්භය විය හැකි ය. කාර්ල් පොපර් (Karl Popper) පැවසුවේ පියර්ස්‌ ගේ අහඹු සිදුවීම පිළිබඳ අදහස්‌ වෙනත් දාර්ශනිsකයන් ගේ සැලකිල්ලට භාජන වූයේ ක්‌වොන්ටම් මතවාදය බිහි වූ පසුව බව ය. කාර්ල් පොපර් "zzOf Clouds and Clocks" නමැති පරිච්ඡේදය තම "zzObjective Knowledge" නමැති කෘතියේ අඩංගු කළේ පියර්ස්‌ ගේ අදහස්‌ අනුමත කිරීමේ අදහසිනි. අහඹු සිදුවීම් ඒකාන්තයෙන් සිදු වේ නම් ජීවිතයට අරුතක්‌ තිබිය හැකි ද යන ප්‍රශ්නය ඇසිය යුතු ය. මෙය අප ගේ මතවාදයට බෙහෙවින් අදාළ ය. මේ ගැන ඉදිරි ලිපිවල සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc