logo3.gif (702 bytes)

HOME


පැරැණි ශිෂ්ටාචාරවල විද්‍යා දර්ශනය (09)

අප සාකච්ජා කරමින් සිටින්නේ විද්‍යාව තුළින් හෝ එහි දර්ශනය තුළින් හෝ ජීවිතයේ අරුත පිළිබඳව කරුණු සොයාගත හැකි ද යන්න ය. පැරැණි ශිෂ්ටාචාරවල පැවැති විද්‍යා දර්ශනය මූලිකව නවීන විද්‍යා දර්ශනයට සමාන බව අප පෙන්වා දී ඇත. මූලිකව කවදත් කොතැනත් තිබුණේa එක ම විද්‍යාව බව අප පෙන්වා දී ඇත. එසේ නම් මූලිකව වෙනස්‌ වූ දර්ශනයක්‌ තිබිය නොහැකි ය. දර්ශනය සහ විද්‍යාව දියුණු වී ඇත. එහෙත් මූලික දර්ශනය වෙනස්‌ වී නැත. එම දර්ශනය වන්නේ අප සංජානනය කරන ලෝකයේ අප ගේ මනසින් ස්‌වායත්ත වූ යථාර්ථයක්‌ ඇත යන්න ය. මේ දර්ශනය මත පදනම් වූ විද්‍යාත්මක ක්‍රමවේදය වූයේ අනුභූතික ක්‍රමය විය. එනම් අප ගේ ඉන්ද්‍රිය මත තැබූ විශ්වාසය විය. යථාර්ථය පිළිබඳව පසුගිය සති දෙකේ පළ කළ ලිපිවලින් දීර්ඝ වශයෙන් සාකච්ජා විය. විඥනවාදය දෙස ගැඹුරින් බැලීම අවශ්‍ය බව මා පවසා ඇත. අප සංජානනය කරන දෙයෙහි සත්‍යතාවක්‌ ඇත් ද යන්න විද්‍යාවට ඉතා ම වැදගත් හෙයින් විඥනවාදය මේ සාකච්ඡාවට බෙහෙවින් අදාළ ය.

විඤ්Æණවාදය යන්නෙන් අදහස්‌ වන්නේ යථාර්ථය හෝ අප දකින යථාර්ථය හෝ මානසික ක්‍රියාදාමයක්‌ බව ය. එය මනසේ නිර්මිතයක්‌ හෝ අද්‍රව්‍ය වූ ක්‍රියාදාමයක්‌ හෝ වන්නේ ය. එය එසේ නම් විද්‍යාවෙන් සොයාගන්නා දේ තුළ සත්‍යයක්‌ හෝ යථාර්ථයක්‌ හෝ තිබිය නොහැකි ය. විඤ්Æණවාදය තුළින් දැනුම දෙස බලන විට පෙනී යන්නේ මනසින් ස්‌වායත්ත වූ දෙයක්‌ පිළිබඳව දැනගැනීම කළ නොහැකි බව ය. මෙවැනි අදහස්‌ පැරැණිතම ශිෂ්ටාචාරවල දැකිය හැක්‌කේ ඉන්දියාවේ සහ ගී්‍රසියේ ය. ප්ලේටෝ ගේ අදහස්‌වලට ගරු කළ ගී්‍රසියේ විසූ දාර්ශනිකයන් පැවසුවේ යථාර්ථය වනාහි සැම දෙයක්‌ ම තුළ ව්‍යාප්ත වූ විඤ්Æණය බව ය. ඉන්දියාවේ හිංදු දාර්ශනිකයෝ ද මෙවැනි අදහස්‌ පළ කළෝ ය. මහායානයේ ගුරුකුලයක්‌ වූ යෝගාකාර ධර්මය (ක්‍රි.ව. 4 වැනි සියවස) මිනිසා ගේ අත්දැකීම් ප්‍රපංචවාදය මගින් විශ්ලේෂණය කරමින් සැම දෙයක්‌ ම මනස තුළ ඇති වන ක්‍රියාදාම බව පැවසුවේ ය. ඔවුන් ගේ විඤ්Æණවාදය එය විය. මාධ්‍යමික ගුරුකුලය ඊටත් එහා යමින් පැවසුවේ මනස වුව ද ශුන්‍ය බව ය. මහායානයේ මේ ගුරුකුල දෙක පිළිබඳව සාකච්ඡා කිරීම ඉතා ම අවශ්‍ය දෙයකි. එහෙත් ඊට පෙර විඥනවාදී බටහිර දාර්ශනිකයන් ගේ අදහස්‌ කිහිපයක්‌ සැලකිල්ලට ගත යුතු ව ඇත. ඇනක්‌සගොර්ස්‌ (Anaxagoras – 480 BC) නමැති දාර්ශනිකයා පවසා සිටියේ සැම දෙයක්‌ ම මනසේ නිර්මිතයක්‌ බවත්, විශ්වය එකට බැඳ තැබෙන්නේ මනස විසින් බවත්, ඒ මගින් දේවත්වය කරා යා හැකි බවත් ය. බටහිර ආගම් බොහොමයක්‌ මේ අදහස තුළින් සිය විඤ්Æණවාදය සකසාගත්තේ ය. උදාහරණයක්‌ ලෙස ක්‍රිස්‌තියානි ධර්මය පවසන්නේ සත්‍ය ලෙස පවතින්නේ දෙවියන් වහන්සේ සහ උන්වහන්සේ ගේ අදහස්‌ පමණක්‌ බව ය. ඊට පසු වර්ධනය වූ බටහිර විඥනවාදය ගුරුකුල කිහිපයකට බෙදා වෙන් කළ හැකි ය. එකක්‌ අද්‍රව්‍යවාදය (Immaterialism) හෝ ප්‍රපංචවාදය (Phenomenalism) ලෙස නම් කළ හැකි ය. මෙය ආත්මගත විඥනවාදය (Subjective Idealism) ලෙස වර්ධනය විය. ජෝර්ඡ් බර්ක්‌ලී (George Berkeley 18th century) වැනි දාර්ශනිකයෝ මේ අදහස්‌ වර්ධනය කළෝ ය. ඊට අනුව අපට දැනගත හැක්‌කේ යම් දෙයක්‌ පිළිබඳ අදහස්‌ හෝ සංවේදනා පමණි. ද්‍රව්‍ය යනු වියුක්‌ත දෙයකි. එය දැනගත නොහැකි ය.

පෙර ලිපියක සඳහන් කළ ඉමානුවේල් කාන්ට්‌ (18 සියවස) නමැති ජර්මන් දාර්ශනිකයා ලෝකෝත්තර විඤ්Æණවාදය (Transcendental Idealism) නමැති සංකල්පය ඉදිරිපත් කළේ ය. ඊට අනුව අප දකින ලෝකය අවකාශය සහ කාලය ලෙස සකසාගන්නේ විඤ්Æණය මගිනි. රීන් ඩේකාර්ට්‌ස්‌ ඉදිරිපත් කළේ අෙඥ්‍යවාදී විඤ්Æණවාදයකි (Skeptical Idealism). ජෝර්ඡ් බර්ක්‌ලි සහ ඩේකාර්ට්‌ස්‌ යන දෙදෙනා ගේ ම අදහස්‌වලට පටහැනි වූ අදහස්‌ ඉමානුවෙල් කාන්ට්‌ ගේ A Critique of Pure Reason නමැති ග්‍රන්ථයේ 2 වැනි මුද්‍රණයේ අඩංගු කොට ඇත. එම අදහස්‌ A Refutation of Idealism යන ශීර්ෂ පාඨය යටතේ ලියවී ඇත. ඩේකාර්ට්‌ස්‌ පවසා තිබුණේ "මම සිතමි. එම නිසා මම වෙමි" (I think Therefore I am) යනුවෙනි. කාන්ට්‌ මේ අදහසට විරුද්ධ විය. මම යන්න වස්‌තුවක්‌ ලෙස ඊට සිතීමට ඇති හැකියාව නිසා ම දැනගත නොහැකි බව කාන්ට්‌ පැවසුවේ ය. යම් වස්‌තුවක්‌ නිරීක්‌ෂකයාට පෙනෙන අන්දමත් එම වස්‌තුව තුළ ඇති දෙයත් (thing in itself) අතර වෙනසක්‌ ඇති බව කාන්ට්‌ පැවසුවේ ය. එහෙත් වස්‌තුව තුළ ඇති දෙය (thing in itself) දැනගැනීමට අප ගේ මනස නැති ව ම බැරි ය.

බර්ක්‌ලී ගේ ආත්මගත විඤ්Æණවාදය (Subjective Idealism) සහ කාන්ට්‌ ගේ ලෝකෝත්තර විඤ්Æණවාදය (Transcendental Idealism) යන මතවාද දෙක ම ප්‍රතික්‌ෂේප කළ G.W.F හේගල් (G.W.F.Hegal - 1800) පරම විඤ්Æණවාදය (Absolute Idealism) නමින් මතවාදයක්‌ ඉදිරිපත් කළේ ය. තර්කය (reason) සහ ඥානය (intellect) භාවිත කොට සත්‍ය දැනගත හැකි බව ඔහු කියා සිටියේ ය. නියත (finite) දේවල සත්‍යයක්‌ නැති බවත් අනියත (infinite) දේවල සත්‍යයක්‌ ඇති බවත් ඔහු පැවසුවේ ය.

ඉහත සඳහන් අදහස්‌ වර්ධනය වීමට මහායාන දහමේ විඤ්Æණවාදය තුළින් ලද ආභාසය හේතු වන්නට ඇතැයි සිතිය හැකි ය. මහායාන ධර්මයේ විඥනවාදය වර්ධනය වූයේ 4 වැනි ශත වර්ෂයේ ය. මේ ගැන සාකච්ඡා කිරීමට පෙර විද්වත් බර්ට්‍රන්ඩ් රසල් නමැති දාර්ශනිකයා ජෝර්ඡ් බර්ක්‌ලී ගේ විඤ්Æණවාදය පිළිබඳව ඉදිරිපත් කළ අදහස්‌ සැකෙවින් සලකා බලමු.

එතුමා පැවසුවේ අප දන්නා දේ ඇත්තේ මනස තුළ පමණක්‌ යෑයි කියන්නේ මනස සතු දැනුම ලබාගැනීමේ හැකියාව අප විසින් ම සීමිත කිරීමෙන් බව ය. එම නිසා දැනුමේ ස්‌වභාවය තේරුම් ගත් විට බර්ක්‌ලී ගේ අදහස වැරැදි බව පෙනී යා යුතු ය. බර්ක්‌ලී ගේ ආත්මගත විඤ්Æණය (නමැති සංකල්පය) අද්‍රව්‍යවාදය තුළින් නැගී එන එකක්‌ නම් සියල්ල ඇත්තේ මනසේ ය. විද්වත් රසල් මේ අදහසට විරුද්ධ විය. එහෙත් එතුමා දැනුම ලබාගැනීමේ ක්‍රමවේදයේ ඇති සංකීර්ණ ප්‍රශ්න හොඳින් තේරුම්ගත්තේ ය.

මහායාන ධර්මයේ ඇති විඤ්Æණවාදය වර්ධනය වූයේ 4 වැනි ශත වර්ෂයේ බව බොහෝ දෙනෙක්‌ විශ්වාස කරති. විඤ්Æණවාදය ඉදිරියට ගෙන එන මහායාන සූත්‍ර මොනවා දැයි සොයා බැලිය යුතු ය. 4 වැනි ශතවර්ෂයේ විඤ්Æණවාදය ඉදිරිපත් වූයේ යෝගාකාර ගුරුකුලය මගින් යෑයි පැවසේ. ඊට ප්‍රථම 1-2 වැනි ශත වර්ෂයේ දී නාගර්ජුන හිමියන් මාධ්‍යමික ධර්මය ඉදිරිපත් කොට තිබිණි. ඒ මගින් එළිදැක්‌වූ ශූන්‍යතාවාදය විඤ්Æණවාදයක්‌ දැයි සොයා බැලීම කළ යුතු ව ඇත. එසේ ම යෝගාකාර ගුරුකුලය විසින් විඤ්Æණවාදයක්‌ ඉදිරිපත් කරන ලද්දේ දැයි සොයා බලමු. මාධ්‍යමික සහ යෝගාකාර ගුරුකුලයන් බිහි වීමට ප්‍රථම මහායානය පැවතිණි. එහි මුල් ග්‍රන්ථ එළිදැක්‌වූයේ 1 වැනි ශත වර්ෂයේ දී පමණ ය. ප්‍රධාන මහායාන අදහස්‌ ඒ ග්‍රන්ථවල අන්තර්ගත විය. ප්‍රධාන මහායාන සංකල්ප වන්නේ බුදුන් ලෝකෝත්තර තත්ත්වයට පත් කිරීම, ආර්යඅෂ්ඨාංගික මාර්ගයෙන් නිවන කරා යා හැක්‌කේ සම්පූර්ණ ගමන නො වන බව, බෝධි සත්ත්ව සංකල්පය, අරහත් නිවන ළඟා කරගෙන නැති බව, නිවන ළඟා වන්නේ බුද්ධත්වයේ දී පමණක්‌ බව වැනි අදහස්‌ ය. මේවා මුල් බුදු දහමට අයත් වන සූත්‍ර පිටකයේ හෝ චීන ආගම නමැති කෘතිවල දක්‌නට නො ලැබේ. මුල් බුදු දහම ලියවී ඇත්තේ පාලි සූත්‍ර පිටකයේ සහ චීන ආගම නමැති කෘතිවල ය. නොයෙකුත් බෞද්ධ යෑයි කියවෙන ගුරුකුල ඉදිරිපත් කර ඇති නොයෙකුත් අදහස්‌ සංකල්ප මුල් බුදු දහමට කෙතරම් සමීප දැයි සොයා නො බලා ඒවා පිළිගැනීම යෝග්‍ය නො වේ. අප ගේ සාකච්ඡාවට අදාළ වන විඤ්Æණවාදය මුල් බුදු දහමේ තිබුණේ ද, එසේ නො වේ නම් එය මහායානය තුළට ආවේ කොහේ සිට ද යන්න සොයා බැලිය යුතු ය. මනසින් ස්‌වායත්ත වූ ලෝකයක්‌ නැතැයි බුදුන් පවසා නැති බව මා පෙන්වා දී ඇත. විශාල අභ්‍යවකාශ වස්‌තු මෙන්ම ඉතා කුඩා බෙදිය නොහැකි අංශූ පිළිබඳව මුල් බුදු දහම කරුණු පහදා දී ඇත. මනසින් ස්‌වායත්ත වූ ලෝකයක්‌ නැතිනම් මේ වස්‌තු ගැන සඳහන් කිරීම අවශ්‍ය නැත. ඒවා අනිත්‍ය, අනාත්ම බව ද පවසා ඇත. එහෙත් ඒවා නියත වශයෙන් නො පවතින බව මුල් බුදු දහම පවසා නැත.

විඤ්Æණවාදය මහායානය තුළට ආවේ කෙසේ දැයි සොයා බැලීම විද්‍යාව සහ එහි දර්ශනය පිළිබඳ සාකච්ඡාවට අදාළ බව කිව හැකි ය. මෙහි දී මා තැත් කරන්නේ මහායාන ගුරුකුල තුළට විඤ්Æණවාදය ඇතුළු වූයේ කෙසේ ද යන්න පහදා දීමට ය. මහායානයේ ඉහත සඳහන් ප්‍රධාන සංකල්ප සහ අදහස්‌ ප්‍රථමයෙන් පළ වූයේ එහි වැදගත් ම සූත්‍රය වන සද්ධර්මපුන්ඩරීක සූත්‍රය මගිනි. එය නාගර්ජුන හිමියන් ගේ කාලයට පෙර ලියවී උන්වහන්සේ ගේ කාලයේ දී සම්පූර්ණ වූ ග්‍රන්ථයකි. එහි විඤ්Æණවාදයක්‌ පිළිබඳව කතිකාවක්‌ නොමැත. නාගර්ජුන හිමියන් ජීවත් වූයේ මේ ග්‍රන්ථ බිහි වූ කාල පරිච්ඡේදයෙහි ය. එකල ප්‍රධාන බෞද්ධ ගුරුකුල දෙකක්‌ වන සර්වාස්‌තිවාදය සහ සෞත්‍රාන්ත්‍රිකවාදය විසින් ශාස්‌වත (eternal) සහ උච්ඡේදවාදී (nihilist) අදහස්‌ ඉදිරිපත් කරන්නට විය. මේ අදහස්‌ බුදුන් ගේ අනිත්‍ය, අනාත්ම ධර්මයට පටහැනි වූ හෙයින් නාගර්ජුන හිමියෝ ඊට විරුද්ධව නැගී සිටිය හ. බුදුන් තම ධර්මය සම්පූර්ණයෙන් යෙදෙව්වේ නිත්‍ය, ආත්ම යන සංකල්පවලට විරුද්ධව සටන් කිරීමට ය. නාගර්ජුන හිමියන් ද තම තර්ක බුද්ධිය පාවිච්චි කළේ නිත්‍ය, සාස්‌වත සහ උච්ඡේදවාදී අදහස්‌ පලවා හැරීම සඳහා ය. එම නිසා ය නාගර්ජුන හිමියන් දෙවැනි බුදුන් ලෙස හැඳින්වෙන්නේ. උන්වහන්සේ ලියූ කෘතිවලින් ප්‍රධාන වන්නේ මූලමධ්‍යමිකකාර්කා නමැති ග්‍රන්ථය ය. මේ ග්‍රන්ථය ශූන්‍යතාවාදය මගින් ලෝකය ශූන්‍ය ය නැත හොත් එහි කිසිවක්‌ නැතැයි යන තර්කය ඉදිරිපත් කරන බව බොහෝ අය පවසති. එහෙත් එම ග්‍රන්ථය සැලකිලිමත් ව අධ්‍යයනය කරන්නකුට පෙනී යන්නේ නාගර්ජුන හිමියන් කාතිකාව ලිවීමෙන් කාරණා දෙකක්‌ ඉෂ්ට කරගත් බවයි. එකක්‌ බෞද්ධ ගුරුකුල විසින් ඉදිරිපත් කෙරුණු මුල් බුදු දහමට විරුද්ධ වූ ශාස්‌වතවාදී පාරභෞතික අදහස්‌ නිෂ්ප්‍රභ කිරීමයි. දෙවැන්න වූයේ එකල වර්ධනය වෙමින් පෙළ ගැසෙමින් තිබූ බ්‍රහේමණයන් ගේ ගුරුකුලය විසින් නැවත ගොඩනගන්නට තැත් කෙරුණු බ්‍රහ්ම සංකල්පය නිෂ්ප්‍රභ කිරීම ය. නාගර්ජුන හිමියන් අලුත් සංකල්පයක්‌ හෝ මතවාදයක්‌ හෝ ගොඩනගන්නට වෙහෙසුණුq බවක්‌ එම ග්‍රන්ථය තුළ පෙනෙන්නට නැත. මේ බව නාගර්ජුන හිමියන් විසින් ම එම ග්‍රන්ථයේ ම සඳහන් කිරීමෙන් තහවුරු වී ඇත. ශුන්‍ය යන වචනය බුදුන් වහන්සේ පාව්ච්චි කළේ ලොවෙහි කිසිවක නිත්‍ය වූ දෙයක්‌ හෝ ආත්මීය වූ දෙයක්‌ හෝ නැති බව පැහැදිලි කිරීමට ය. අභ්‍යවකාශයේ විශාල වස්‌තු හෝ නො බෙදිය හැකි ඉතා කුඩා අංශු පිළිබඳව දේශනා කොට ඇති බුදුන් ඒවා නැති බව පැවසුවේ නැත. ඒවායේ නිත්‍ය හෝ ආත්මීය හෝ කිසිවක්‌ නැති බව පමණක්‌ උන්වහන්සේ පැවසූ සේක. නාගර්ජුන හිමියන් ද ශූන්‍ය යන වචනය භාවිත කරන්නේ ඒ අරුතින් බව උන්වහන්සේ ඒ ගැන පවසා ඇති වචනවලින් පැහැදිලි ය. ශූන්‍ය යන වචනයේ අධානාග්‍රාහී ලෙස එල්බගත් අය උන්වහන්සේ ගේ කාලයේ ද සිටියෝ ය. ඔවුන් පිළිබඳව උන්වහන්සේ පැවසුවේ මෙබන්දකි. "ශූන්‍යාතාව කෙරෙහි බැඳීමක්‌ ඇති කරගත්තේ නම් එය අප ගේ දෝෂයක්‌ නො වේ. එය සුදුසු නැත".

තව ද උන්වහන්සේ එම ග්‍රන්ථයේ ම මෙසේ පවසා ඇත - "ඉදිරිපත් කිරීමට මා හට දෘෂ්ටියක්‌ නැත. තව ද ශූන්‍යතාව දෘෂ්ටියක්‌ නො වේ. යම් කෙනකුට එය දෘෂ්ටියක්‌ වේ ද ඔවුන් සුව කළ නොහැක්‌කන් ය" යෑයි උන්වහන්සේ පවසා ඇත. මින් පැහැදිලි වන්නේ නාගර්ජුන හිමියන් ගේ ශූන්‍යතාව මගින් ලෝකය නො පවතී හෝ මනස නො පවතී හෝ වැනි විඤ්Æණවාදී හෝ අෙඥ්‍යයවාදී හෝ උච්ඡේදවාදී අදහස්‌ ඉදිරිපත් වී නැති බවයි. ශුන්‍යතාව අලුත් ධර්මයක්‌ ලෙස සලකා ඊට එවැනි අර්ථකථනයක්‌ නිර්මාණය කළේ චන්ද්‍රකීර්ති නමැති භික්‌ෂුව ය. ඊට පසු මේ අදහස්‌ ටිබැට්‌ රටට රැගෙන ගොස්‌ උන්වහන්සේ ගේ සිසු පරපුර ශූන්‍යතාවාදය බුදුදහමේ ගුරුකුලයක්‌ ලෙස ප්‍රචලිත කළෝ ය. මාධ්‍යමික ගුරුකුලය බිහි වූයේ එලෙසිනි. නාගර්ජුන හිමියන් මහායාන ධර්මයට අයත් අලුත් ගුරුකුලයක්‌ ආරම්භ කළේ නැත. උන්වහන්සේ සිදු කරන්නට යෙදුණේ තර්ජනයට භාජන වී තිබූ මුල් බුදු දහමේ ධර්මය නැවත ස්‌ථාපිත කිරීම විය.

දැන් අපි මහායානයේ තවත් ගුරුකුලයක්‌ ලෙස සැලකෙන යෝගාකාර ධර්මය දෙස බලමු. මෙය විඤ්Æණවාදී ධර්මයක්‌ ලෙස බොහෝ අය සලකති. මේ ධර්මය බිහි වීමට පෙර පැවැති මහායානයේ විඤ්Æණවාදී අදහස්‌ නො තිබිණි. එහි තිබුණු මහායාන සංකල්ප මා ඉහත සඳහන් කොට ඇත. ඒ ප්‍රධාන සංකල්ප වෛදික සහ හින්දු බලපෑම් නිසා ඇති වූ බව පෙන්වා දිය හැකි ය. එහෙත් එය මේ සාකච්ඡාවට අදාළ නැත. අදාළ වන්නේ විඤ්Æණවාදී අදහස්‌ ඇත්තේ කොහි ද යන්න ය. යෝගාකාර ගුරුකුලය ඇති වූයේ මුල් බුදු දහමේ තිබුණුq විඤ්Æණවාදී අදහස්‌ වර්ධනය වූ නිසා ද? එහෙත් එවැනි අදහස්‌ මුල් බුදු දහමේ නො තිබුණු බව අප පෙන්වා දී ඇත. එසේ නම් යෝගාකාර ගුරුකුලයට එවැනි අදහස්‌ ඇතුළු වූයේ කෙසේ ද? අසංග හිමියන් සහ වාසුබන්ධු හිමියන් යන සහෝදරවරුන් ලියා ඇති පිළිවෙළින් ලංකාවතර සහ විඤ්Æණප්තිමාත්‍රසිද්ධි යන සූත්‍ර දෙක යෝගාකාර ගුරුකුලය තුළ විඥනවාදය බිහි කළ බව බොහෝ අය විශ්වාස කරති. ලංකාවතර සූත්‍රයේ විස්‌තර වන විඥනය පාරභෞතික ස්‌වරූපයක්‌ ගන්නා අතර සියල්ල සංජානනය වන්නේ විඤ්Æණාප්ත්‍රයක්‌ ලෙස යෑයි එය පවසයි. මේ කෘතිය සංඛ්‍යා හා අදෛවත වේදාන්ත යන දර්ශනවල බලපෑම්වලට ලක්‌ වී ඇති බව පෙනේ. එහෙත් වාසුබන්ධු පඩිවරයා ගේ කෘතියේ එන ආලයවිඤ්Æණය යන සංකල්පය විඤ්Æණයේ පරිණාම අවස්‌ථාවක්‌ පහදා දීමට ගත් තැතක්‌ මිස විඥානවාදය ඇති කිරීමට ගත් ප්‍රයත්නයක්‌ නො වන බව පෙන්වා දිය හැකි ය.

සියල්ල විඤ්Æප්ති මාත්‍රයක්‌ පමණක්‌ යන්නේ අදහස සියල්ල ඇත්තේ මනසේ බව නො වේ. වාසුබන්ධු හිමියන් ගේ කෘතියෙන් මෙය පැහැදිලි වේ. මින් අදහස්‌ වන්නේ සියලු අනුභුතීන් සිදු වන්නේ විඤ්Æණයෙන් බව පමණ ය. සියලු දේ අනුභුතිය මගින් දැනගනී. අනුභුතීන් විඤ්Æප්තින් ය. නාගර්ජුන හිමියන් ගේ ශුන්‍ය යන වචනය වැරැදි ලෙස අර්ථකථනය කළා මෙන් වසුබන්ධු හිමියන් ගේ විඥාප්ති යන වචනය වැරැදි ලෙස අර්ථකථනය කර ඇත.

වසුබන්ධු හිමියන් ගේ අදහස්‌ විකෘති කළේ උන්වහන්සේ ගේ කෘතිය වැරැදි ලෙස අර්ථකථනය කළ ස්‌තිර්මති හිමියන් විය. සංජානනය පිළිබඳ ඉතා ම විද්‍යාත්මක වූ විස්‌තරයක්‌ බුදුන් දේශනා කර තිබිණි. ඉන්ද්‍රිය සහ වස්‌තුව ගැටීමෙන් විඤ්Æණය ඇති වන බව උන්වහන්සේ පහදා දී තිබිණි. බුද්ධ වචනයට අනුව චක්‌ඛු විඥනය ඇති වන්නේ ඇස සහ වස්‌තුව ගැටීමට පසුව ය. මින් අදහස්‌ වන්නේ විඤ්Æණයට සහ මනසට ස්‌වායත්ත වූ වස්‌තුවක්‌ ලෝකයක්‌ ඇති බව නො වේ ද? වාසුබන්ධු හිමියන් මේ දහමට විරුද්ධ වූයේ නැත. මේ නිසා වසුබන්ධු හිමියන්ට බුදුන් ගේ අදහස්‌වලට පිටින් යන්නට බැරි විය. වස්‌තුව පිළිබඳ ඉන්ද්‍රිය සංජානනය සිදු වන්නේ විඤ්Æණය විසින් නිගමනය කෙරෙන අන්දමට යෑයි උන්වහන්සේට පවසන්නට බැරි ය. එවිට උන්වහන්සේ බුදුදහමට විරුද්ධ විඤ්Æණවාදියකු බවට පත් වේ. මෙවැනි තත්ත්වයකට පත් වීමට උන්වහන්සේට අවශ්‍ය වූයේ නැත. එම නිසා උන්වහන්සේ විඥන පරිණාමය නමැති සංකල්පය ඉදිරිපත් කළේ ය. එම විඤ්Æණ පරිණාමය ආලය විඥනය ලෙස වර්ධනය විය. මින් පෙනී යන්නේ නාගර්ජුන හිමියන් විඤ්Æණවාදයක්‌ ඉදිරිපත් නො කළා සේ ම වාසුබන්ධු හිමියන් ද විඤ්Æණවාදයක්‌ ඉදිරිපත් නො කළ බව ය. උන්වහන්සේ දෙනම මහායානයට අයත් භික්‌ෂූන් ලෙස හෝ විඤ්Æණවාදී බෞද්ධ ගුරුකුල ආරම්භ කළ භික්‌ෂූන් ලෙස හෝ පිළිගත නොහැකි ය. මේ සාකච්ඡා ඉදිරියට ගෙන යැමට බලාපොරොත්තු වෙමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග