logo3.gif (702 bytes)

HOME


පැරැණි ශිෂ්ටාචාරවල විද්‍යා දර්ශනය (08)

අප සාකච්ජා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳ යම් අදහසක්‌ විද්‍යාවෙන් හෝ එහි දර්ශනයෙන් හෝ ලබාගත හැකි දැයි යන්න පිළිබඳ ව ය. පැරැණි ශිෂ්ටාචාරවල විද්‍යාව සහ එහි දර්ශනය හැදෑරීමෙන් අපට කරුණු කිහිපයක්‌ ලබාගත හැකි විය. එම කරුණු පහත සඳහන් ලෙස ආවර්ජනය කළ හැකි ය.

1. මිනිසා බිහි වූ දා පටන් තම පරිසරයේ රහස්‌ ගැන විපරම් කළේ තමා දකින, තමාට ඇහෙන, රස බලන, සුවඳ දැනෙන, ස්‌පර්ශ කරන දෙයෙහි යම්කිසි සත්‍යයක්‌ ඇතැයි යන මතයේ පිහිටා ය.

2. ඔවුන් එදා පිළිගත් යථාර්ථය අද දක්‌වා වර්ධනය වී ඇති බව පැවසිය හැකි ය.

3. ඔවුන් දැනුම ලබාගන්නට එදා භාවිත කළේ තම ඉන්ද්‍රිය පද්ධතියයි. අද ඒ සඳහා භාවිත වන්නේ ද ඉන්ද්‍රිය පද්ධතිය ය. ඊට උපකාර වීමට නොයෙකුත් උපකරණ මිනිසා තම ඥානය සහ නිර්මාණශීලිත්වය යොදාගනිමින් නිපදවා ඇත.

4. ඉන්ද්‍රිය පද්ධතිය භාවිත කොට ලබාගන්නා දැනුම සංඛ්‍යාත්මකව ප්‍රමාණය කිරීම පිණිස ගණිතය නිර්මාණය විය. අද ඒ සඳහා භාවිත වන්නේ ද දියුණු වූ ගණිතය ය.

5. මිනිසා එදා පටන් අද දක්‌වා මෙලෙස වර්ධනය වූයේ ඔහු ගේ ඥානය, නිර්මාණශීලිත්වය සහ තෘෂ්ණාව නිසා බව කිව හැකි ය. මේ ගුණාංග ද ජීව පරිණාමයේ නීතිරීතිවලට අනුකුලව වර්ධනය විය.

6. මේ සැම දෙයක්‌ ම සිදු වූයේ ද සිදු වන්නේ ද ස්‌වභාවධර්මය/විශ්වය තුළ සැම තැන පවතින ශක්‌තියේ ක්‍රියාකාරීත්වයට අනුකූල ව ය. ස්‌වභාවධර්මය/විශ්වය යනු ශක්‌තිය පමණක්‌ බව අප පෙන්වා දී ඇත. එසේ නම් එහි තුළ සිදු වන දේ ශක්‌තියේ වෙනස්‌ වීම් ලෙස පිළිගත හැකි ය.

මේ යථාර්ථය නො පිළිගත් දාර්ශනිකයෝ, චින්තකයෝ සහ බහුභූතවාදීහු එදත් සිටියෝ ය, අදත් සිටිති. ඔවුන් ගැන කෙටි සටහනක්‌ තැබීම යෝග්‍ය යෑයි සිතමි. මේ කරුණු පිළිබඳව මත දෙකක්‌ ඇති හෙයින් ඒවා වෙන ම සලකා බැලිය යුතු ය. එම මත දෙක ම එකක්‌ හැටියට සලකන දාර්ශනිකයන් ද සිටින බව පැවසිය හැකි ය.

පළමුව මත දෙක මොනවා දැයි පවසා සිටිමු. එකක්‌ පවසන්නේ මේ ලෝකයේ යථාර්ථයක්‌ තිබෙන්නට පුළුවන් නමුත් එය අපට දැනගැනීමට නොහැකි ය යන්න ය. අනෙක පවසන්නේ මේ ලෝකයේ මනසින් ස්‌වායත්ත වූ යථාර්ථයක්‌ නැත, ඇත්තේ මනස විසින් මවාගන්නා ලද මායාවක්‌ පමණි ය යන්න ය. පළමුවැනි අදහසට අනුව මනසින් ස්‌වායත්ත වූ ලෝකයක්‌ තිබිය හැකි ය. එහෙත් එය මිනිසාට දැනගැනීමට නොහැකි ය. මෙය මිනිසා ගේ නොහැකියාව නැත හොත් ඉන්ද්‍රිය පද්ධතියේ ඇති සීමිත වූ හැකියාව පිළිබඳව ඉදිරිපත් වූ අදහසක්‌ මිස ලෝකයේ පැවැත්ම පිළිබඳ වූ අදහසක්‌ නො වන බව කිව හැකි ය. දෙවැනි අදහසට අනුව මනසින් ස්‌වායත්ත වූ ලෝකයක්‌ නැත. අප සංජානනය නො කරන්නේ නම් ලෝකයක්‌ නැත. එසේ නම් කිසිවක්‌ නැති ද? එසේ නම් මනස ඇත්තේ කොහි ද? කුමක්‌ හෝ ක්‍රියාදාමයක්‌ සිදු වෙමින් පවතී. එහෙත් එය කුමක්‌ දැයි සොයාගැනීම කළ නොහැකි දෙයකි. ආතර් ෂෝපන්හුවර් (Arthur Schopenhauer 1788) නමැති ජර්මන් ජාතික දාර්ශනිකයා පැවසුවේ ලෝකය/විශ්වය පවතින්නේ මිනිසා ගේ අභිමතය තුළ බව ය. ඔහු උපනිෂද් සහ බෞද්ධ ග්‍රන්ථ අධ්‍යයනය කොට ඒ තුළින් ආභාසයක්‌ ලද කෙනකු බව පැවසේ.

වේද සාහිත්‍යය මිනිසුන් අතින් ලියෑවුණු ග්‍රන්ථ නො ව සැම කල තිබුණු ක්‍රියාදාමයක්‌ බව බ්‍රාහ්මණයෝ විශ්වාස කළ හ. බමුණන් තම ධ්‍යාන බලයෙන් ඒවා සොයාගෙන ඇත. ඉන්ද්‍රිය සභ්‍යත්වයේ, සංස්‌කෘතියේ සහ ශිෂ්ටාචාරයේ උල්පත ලෙස සැලකෙන වේද සාහිත්‍යය පහත සඳහන් අන්දමට කොටස්‌ හතරකට බෙදා ඇත.

1. වේද

2. බ්‍රහ්මන්

3. අරණ්‍යක

4. උපනිෂද්

මේ ග්‍රන්ථවලින් එක ම දර්ශනයක්‌ හෝ ආගමක්‌ හෝ විශ්වාසයක්‌ හෝ පිළිබිඹු වන්නේ නැත. උදාහරණයක්‌ ලෙස යජුර්-සාම-අතර්ව වේද නමැති ග්‍රන්ථ යාග විධි පවත්වන පිළිවෙළ විස්‌තර කරයි. එහෙත් යාග හෝම විධි පැවැත්වීමේ නිෂ්එලත්වය මුණ්‌ඩකොපනිෂද් නමැති ග්‍රන්ථයේ සඳහන් කරයි. තව ද මේ ග්‍රන්ථවලට ආත්මන් කවරේ ද, බ්‍රහ්මන් කවරේ ද යන ප්‍රශ්නයට පිළිතුරක්‌ සපයාගන්නට නොහැකි ව පුන පුනා වාද කළ බව පෙනේ. යථාර්ථය පිළිබඳ යම් අදහසක්‌ වේද සාහිත්‍යය තුළින් ගත හැකි වන්නේ බ්‍රහ්මන් සහ ආත්මන් යන සංකල්ප විශ්ලේෂණය කරන ආකාරය අධ්‍යයනය කිරීමෙනි.

එක්‌ එක්‌ උපනිෂද් ආත්මය පිළිබඳ වෙනස්‌ වූ මත දරයි. මේ විවිධ වූ ආත්මවලට විවිධ නම් භාවිත කරන ලදි. ඒ නම් මේ ලෙස සඳහන් කළ හැකි ය. ප්‍රාණමය ආත්මය, මනෝමය ආත්මය, විඥානමය ආත්මය, අනන්දමය ආත්මය, අනන්මය ආත්මය, යනුවෙනි. ආත්මය මිනිසා මැරුණු පසු මේ ආත්ම අතර සංක්‍රමණය වන්නේ ය. ආත්මය (මම) ශරීරයෙන් වෙන් වූ පදාර්ථයකි. (දශඋපනිෂද්). ආත්මය පවින් තැවී ඇතැයි කේන උපනිෂද් පවසන විට ආත්මය පවෙන් විනිර්මුක්‌ත බව චාන්දොග්‍ය උපනිෂද් කියයි.

බ්‍රහ්මන් ඇසින් දැකිය නොහැකි බව අඨොපනිෂදය පවසයි. එය ගූඨ ය, නො පිවිසිය හැකි ය. පඤ් විශුද්ධි මාර්ගයෙන් චිත්ත විශුද්ධිය ලබාගෙන බ්‍රහ්මන් දැක්‌ක හැකි ය. කඨොපනිෂදය ආත්මය පිළිබඳව කියන්නේ එය නූපදී, නො මැරේ, එය කිසිවකිනුදු හට නො ගනී, ඉදිරියට කිසිවක්‌ හටගන්නේ ද නැත. එය සර්වකාලික ය. සිරුර වැනසුණ ද ආත්මය නො වැනසෙන්නේ ය. මින් අදහස්‌ වන්නේ ආත්මය අනිත්‍ය බවත් එය හේතු එල ක්‍රියාදාමයකට යටත් නො වන බවත් ය. එසේ ම බ්‍රහ්මන් හඳුනාගැනීම කළ හැකි වන්නේ විශේෂ වූ චිත්ත විශුද්ධි මාර්ගයකින් බව ය. ආතර් ෂෝපන්හුවර් මේ අදහස්‌වලින් ආභාසයක්‌ ලද බව සිතිය හැකි ය. විශේෂයෙන් බ්‍රහ්මන් ඇසින් දැකිය නොහැකි බව ද එය විශ්වයේ මැවුම් පදාර්ථය විය හැකි බව ද යන අදහස්‌ ඔහු ගේ සිත්ගත් බව පෙනෙන්නට ඇත.

මේ නයින් බලන කල පෙනී යන්නේ උපනිෂද්වලට අනුව බ්‍රහ්මන් සහ ආත්මන් යනුවෙන් යම් කිසි යථාර්ථයක්‌ ඇත, එහෙත් එය මිනිසාට දැනගත නොහැකි ය. ලෝකෝත්පත්තිය පිළිබඳව වේද සාහිත්‍යය පවසන්නේ මුලින් ම පැවතුණේ ජලය බව ය. (සෘග්වේදය, බෘහදරණ්‍යක උපනිෂදය), ජලය පැවතුණේ මිනිසාට පෙර නම් ජලය මිනිසා ගේ මනසේ නිර්මිතයක්‌ විය නොහැකි ය. ජලය විශ්වය නමැති ක්‍රියාදාමයේ යම් කිසි ක්‍රියාවක්‌ ඉටු කරන ද්‍රව්‍යමය දෙයකි. එහෙත් එම ක්‍රියාදාමය කුමක්‌ දැයි මිනිස්‌ මනස විසින් සොයා බලන විට දකින්නේ සත්‍යයෙන් සිදු වන ක්‍රියාදාමය නො ව මනස විසින් නිර්මාණ කෙරෙන ක්‍රියාදාමයකි. ෂෝපන්හුවර්ට අනුව එම නිර්මාණය සිදු වන්නේ මිනිසා ගේ අභිමතය (will) පරිදි ය. එම නිසා ජලය ඇතුළු විශ්වය මිනිසා ගේ මනසින් ස්‌වායත්ත වූ යථාර්ථයකි. එහෙත් එහි සැබෑ ව්‍යqහය හෝ ක්‍රියාකාරීත්වය හෝ මිනිස්‌ මනසට දැනගැනීමට නොහැකි ය.

වෛදික යුගය පසු කර බෞද්ධ යුගයට පැමිණෙන විට විශාල වෙනසක්‌ සිදු වන බව පෙනේ. වෛදික ග්‍රන්ථ හඳුනාගත් නිත්‍ය වූ ආත්මන් සහ බ්‍රහ්මන් නමැති යථාර්ථය ඉවත් වී අනිත්‍ය වූ ලෝකයක්‌ සහ එය සංජානනය කරන මනසක්‌ ඇති අනාත්ම වූ මිනිසා යන ද්විත්වය පිළිබඳව බුදුහු දේශනා කොට වදාළ සේක. මනසින් ස්‌වායත්ත වූ ලෝකයක්‌ නැතැයි බුදුන් පවසා නැත. සිදු වන්නේ මනස විසින් ලෝකය සංජානනය කොට එය වරදවා තේරුම්ගැනීමකි. ලෝකය නිත්‍ය වූ ආත්මයක්‌ ඇති ක්‍රියාදාමයක්‌ ලෙස වරදවා හැඳිනගෙන එය සමග බැඳීමක්‌ මිනිසා ඇති කරගනී. මිනිසා සහ ලෝකය අතර ඇති මේ සම්බන්ධය යථාර්ථය ලෙස බුදුහු හැඳිනගත් සේක. මිනිසා ගේ ව්‍යqහය සම්බන්ධව නාමරූප සංකල්පය ද, ලෝකයේ වස්‌තූන් සහ ද්‍රව්‍ය පිළිබඳව ඉතා ම ගැඹුරු විස්‌තරාත්මක විශ්ලේෂණයක්‌ බුදු දහම ඉදිරිපත් කොට ඇත. විශ්වයේ විශාල ග්‍රහලෝක පිළිබඳව ද, ද්‍රව්‍ය සෑදී ඇති කුඩා අංශු පිළිබඳව ද, නවීන විද්‍යාත්මක දැනුම සමග වුව ද සැසඳිය හැකි විස්‌තරයක්‌ බුදු දහම ඉදිරිපත් කොට ඇත. මනසින් ස්‌වායත්ත වූ ලෝකයක්‌ නැති නම් බුදු දහම මේවා මේ ලෙස විග්‍රහ නො කරයි.

මනසින් ස්‌වායත්ත වූ ලෝකයක්‌ ඇත. එහෙත් ඒ ගැන දැනගැනීමට නොහැකි ය යන මතය ප්‍රාග් බෞද්ධ වෛදික ග්‍රන්ථ සඳහන් කොට ඇති බව ද ආතර් ෂොපන්හුවර් වැනි යුරෝපීය දාර්ශනිකයන් ඒ මතය ඔවුන් ගේ සංකල්ප තුළට ඇතුළත් කරගෙන ඇති බව ද පැවසිය හැකි ය. බුදුන් ගේ සමකාලීන ශෘස්‌තෘවරු ලෝකයේ යථාර්ථය පිළිබඳව නොයෙකුත් මත ඉදිරිපත් කළෝ ය. ඔවුන් කොටස්‌ තුනකට බෙදිය හැකි ය.

1. අඥයවාදීන් (skeptics)

2. ද්‍රව්‍ය/භෞතිකවාදීන් (materialists)

3. දේවවාදීන් (Theists)

ද්‍රව්‍යවාදීන් (අජිත කේශකම්බල) ලෝකයේ ද්‍රව්‍යමය යථාර්ථයක්‌ තිබෙන බව පිළිගත් බව අමුතුවෙන් කිව යුතු නැත. දේවවාදින්ද (මක්‌ඛලී ගෝසාල) ලෝකය දෙවි කෙනකු විසින් මවන ලද බව පවසන හෙයින් එවැනි ලෝකයක යථාර්ථයක්‌ ඇතැයි විශ්වාස කරන බව තහවුරු වේ. අඥයවාදීහු (සංජය බෙල්ලට්‌ඨපුත්ත) ලෝකයේ කිසිවක්‌ දැනගන්නට හෝ ඔප්පු කරන්නට හෝ බැරි බව පැවසුවෝ ය. මනසින් ස්‌වායත්ත වූ ලෝකයක්‌ ඇති දැයි යන ප්‍රශ්නයට ඔවුන් දුන් පිළිතුර වූයේ ඒ ගැන කිසිවක්‌ පැවසිය නොහැකි බව ය.

යුරෝපයේ විසූ දාර්ශනිකයන් ඉන්දියාවේ වර්ධනය වූ දර්ශනයෙන් අභාසයක්‌ ලද බව ඉහත සඳහන් වේ. ෂෝපන්හුවර් පැවසුවේ ඔහු ආභාසයක්‌ ලබාගත්තේ ප්ලේටෝ (Plato), ඉමානුවෙල් කාන්ට්‌ (Emanuel Kant) ගෙන් සහ උපනිෂද්වලින් බව ය. ඉමානුවෙල් කාන්ට්‌ පවසා සිටියේ අප ලබාගන්නා දැනුම පිණිස අත්දැකීම් මෙන්ම තර්කය ද අවශ්‍ය බව ය. තර්කය සඳහා මනස වටිනා කාර්යයක්‌ ඉටු කරන බව ය. නිරීක්‌ෂකයා ගෙන් ස්‌වායත්ත වූ නිරීක්‌ෂණයක්‌ තිබිය නොහැකි බව ඔහු පැවසුවේ ය. විෂය මූලික අත්දැකීම් වනාහි මනස විසින් නිර්මාණය කරන ලද බව ඔහු පැවසුවේ ය (Critique of Pure Reason - 1781). මේ අදහස්‌ ෂෝපන්හුවර් තම සංකල්ප වර්ධනය කරගන්නට යොදාගන්නට ඇත. එහෙත් ඉමානුවෙල් කාන්ට්‌ විසින් ඩේවිඩ් හියුම් ගේ (David Hume - 1711) අඥයවාදී අදහස්‌වලට විරුද්ධව තම දැනුම (epistemology) පිළිබඳ මතවාදය ඉදිරිපත් කරන ලදි. නවීන විද්‍යාත්මක දැනුමේ ක්‍රමවේදය මේ මතවාදය මත පදනම් වී ඇත.

ආතර් ෂොපන්හුවර් ගේ චින්තනය විසින් දාර්ශනිකයන් බොහෝ දෙනකු ගේ ද සාහිත්‍යකරුවන් බොහෝ දෙනකු ගේ ද දේශපාලන විද්‍යාඥයන් බොහෝ දෙනකු ගේ ද අදහස්‌ වෙනස්‌ කළ බව පැවසිය හැකි ය. ඒ අතර ෆෙඩ්රික්‌ නිට්‌ෂේ (Fedrick Nietsche) ලියෝ ටෝල්ස්‌ටෝයි (Tolstoy), ශ්‍රොඩින්ගර් (Schrodinger), ට්‍රොට්‌ස්‌කි (Trotsky) සිටිනා බව කිව හැකි ය. එසේ ම යුදෙව් ක්‍රිස්‌තියානි දේව වාදයට ද මේ චින්තනය නිසා මරු පහරක්‌ වැදිණි. දේවවාදයේ තිබුණු යථාර්ථය බිඳ වැටී වෙනත් යථාර්ථයක්‌ සෙවීමට දාර්ශනිකයන් ගේ අවධානය යොමු විය.

ආතර් ෂොපන්හුවර් ගේ ආභාසය ලද ෆෙඩ්රික්‌ නිට්‌ෂේ (1844) කියා සිටියේ පරම සත්‍යය යනුවෙන් දෙයක්‌ නැති බව ය. සාපේක්‌ෂ සත්‍යය පමණක්‌ තිබිය හැකි බව ය. අප සංජානනය කරන දෙයෙහි පරම සත්‍යයක්‌ නැත. කිසියම් දෘෂ්ටියකට අනුව ඒ ඒ යුගයේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි මිනිසා සත්‍යය නිෂ්පාදනය කරන බව ඔහු පැවසුවේ ය. එසේ ම සත්‍යය වනාහි භාෂාත්මක නිර්මිතයක්‌ බව ඔහු පැවසුවේ ය.

ෂොපන්හුවර් ගේ අභාසය ලද තවත් දාර්ශනිකයකු වූයේ මාර්ටින් හයිඩෙගර් (Martin Heidegger - 1889) නමැති ජර්මන් ජාතිකයා ය. ඔහු භාෂාව පිළිබඳ නව අදහස්‌ ඉදිරිපත් කළේ ය. ඔහු පැවසුවේ භාෂාව වනාහි මිනිස්‌ අදහස්‌ සහ මතවාද ඉදිරිපත් කිරීමට භාවිත වන උපකරණයක්‌ නො ව අදහස්‌ උපදවන ගර්භය වන්නේ භාෂාව බව සැලකිය යුතු බව ය. මේ අදහස තුළ වුව ද ගැබ් වී ඇත්තේ සත්‍යය සහ යථාර්ථය මූලික සංකල්ප ලෙස සැලකිය නොහැකි බව ය. සත්‍යය සහ යථාර්ථය භාෂාව තුළින් උපදින දේ නම් ඒවා මනසින් ස්‌වායත්ත විය නොහැකි ය. භාෂාව ඇත්තේ මිනිස්‌ මනසේ ය. භාෂාව මනසේ ක්‍රියාදාමයක්‌ වන්නේ ය. භාෂාව විසින් සත්‍ය නිර්මාණය කරන්නේ නම් සත්‍යය මනසින් ස්‌වායත්ත නො වන්නේ ය. ලෝකය පිළිබඳ අදහස ද භාෂාත්මක නිර්මිතයක්‌ වන්නේ ය. භාෂාවට දී ඇති මේ පුමුඛත්වය අද ජීවත් වන දාර්ශනිකයන් ගේ ඉමහත් ගැරහීමට ලක්‌ වී ඇත. බටහිර සහ නැෙගනහිර පැවැති විඥානවාදය පිළිබඳව ඉදිරි ලිපි මගින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග D.Sc.