logo3.gif (702 bytes)

HOME


පැරැණි ශිෂ්ටාචාරවල විද්‍යා දර්ශනය (07)

අප සාකච්ජා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳ අදහස්‌ විද්‍යා දර්ශනය තුළින් ලබාගත හැකි ද යන්න ගැන ය. ගංගා නිම්නවල වර්ධනය වූ පැරැණි ශිෂ්ටාචාර හතරක්‌ අධ්‍යයනය කොට අපි කරුණු රාශියක්‌ සොයාගත්තෙමු. පැරැණි ශිෂ්ටාචාරවල විද්‍යා දර්ශනය පදනම් වී තිබුණේ ආනුභාවය මත බව අපි වටහා ගත්තෙමු. මේ පිළිබඳව එම ශිෂ්ටාචාර හතර අතර වෙනසක්‌ නො තිබිණි. තව ද එම දර්ශනය අද පවතින නවීන විද්‍යාවේ දර්ශනය සමඟ මූලික වශයෙන් වෙනසක්‌ නැත. කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාව ය. පෙර ලිපියේ සඳහන් වී ඇත්තේ වර්තමානයේ මෙන් පැරැන්නන් ද ඔවුන් ඉන්ද්‍රිය මගින් ලබාගන්නා දැනුම තුළ යම් කිසි යථාර්ථයක්‌ ඇතැයි විශ්වාස කළ බව ය. එම විශ්වාසය නිසා ඔවුන්ට යහපතක්‌ සිදු විය. එම දැනුමෙන් ප්‍රයෝජන ගන්නට ඔවුන්ට පුළුවන් විය.

පැරැණි ශිෂ්ටාචාරවල පැවැති යථාර්ථය පිළිබඳ අදහස්‌ අප ගේ සාකච්ඡාවට අදාළ විය හැකි ය.

යථාර්ථය යනුවෙන් හැඳින්වන්නේ කුමක්‌ ද? එය සාර්වත්‍ර සංකල්පයක්‌ ද? එය සැමට පොදු ද? එය සැමට පොදු විය යුතු ද? නැත හොත් එය සංස්‌කෘති අනුව වෙනස්‌ වන්නේ ද? අප ගේ ඉන්ද්‍රිය සංජානනයෙන් ස්‌වායත්ත වූ ලෝකයක්‌ පවතින්නේ ද? අප ගේ ඉන්ද්‍රියයන් ගෙන් වෙන් වූ ලෝකයක්‌ ඇති ද? එවැනි ලෝකයක්‌ නැතැයි පැවසීම, අප බලන්නේ නැත්නම් ලෝකයක්‌ නැතැයි පැවසීම හා සමාන ය. අප ගේ ඉන්ද්‍රිය පද්ධතියෙන් ස්‌වායත්ත වූ ලෝකයක්‌ ඇත නමුත් එය තවමත් හරිහැටි දැනගන්නට බැරි වී ඇතැයි පැවසීම සත්‍යයට කිට්‌ටු ය. මෙසේ පැවසීම යථාර්ථය යනුවෙන් අර්ථ ගැන්වෙන්නේ අප ගේ ඉන්ද්‍රිය පද්ධතියට ස්‌වායත්ත වූ ලෝකයක්‌ ඇති ය යන අදහස සමග එකඟ නො වන්නේ නැත. ලෝකයේ සත්‍ය ස්‌වභාවය අපට කවදා වත් දැනගන්නට නොහැකි විය හැකි ය. එහෙත් එම නිසා ම අප සංජානනය නො කරන්නේ නම් ලෝකයක්‌ නැතැයි පැවසිය නොහැකි ය. එසේ පැවසීම සඳහා අවශ්‍ය සාක්‌ෂි නැත. අප දකින ලොව නො ව ඇත්තේ වෙනත් ලොවක්‌ යෑයි පැවසීම එක්‌ දෙයකි. දකින ලොව නැතැයි පැවසීම වෙනත් දෙයකි. මෙවැනි වෙනස්‌ වූ අදහස්‌ පැවසූ අය පැරැණි ශිෂ්ටාචාරවල ද වර්තමානයේ ද සිටින බව පෙන්වා දිය හැකි ය.

චීනයේ පැවැති විවිධ වූ දර්ශන වන Hundred schools of Thought, කොන්ෆියුසියස්‌ ධර්මය, ඛැට්‌කසිපල ස්‌වභාවධර්මවාදය වැනි පැරැණි මතවාද යථාර්ථය පිළිබඳව වැදගත් දෙයක්‌ පවසා තිබුණේ නැත. බුදු දහම චීනයට පැමිණියේ ක්‍රි.ව. 4 වැනි ශත වර්ෂයේ දී ය. මහායානය (මා ගේ අදහසට අනුව මහායානය බුදු දහම නො වන්නේ ය. එය හිංදු ආගම විසින් විකෘති කරන ලද්දකි). චීනයේ ස්‌ථාපිත වූ පසුව සෙන් ධර්මය ලෙස වර්ධනය වූයේ ය. මහායානය විඥානවාදී ධර්මයකි. එය පවසන්නේ ලෝකය පවතින්නේ මනස තුළ බව ය. සැම දෙනාට ම එක ම දෙය පෙනෙන්නේ සැම ගේ විඥානය එකට බැඳී පවතින නිසා ය. ලෝකය විඥාන මාත්‍රයකි. මහායාන සූත්‍ර යථාර්ථය පිළිබඳ දක්‌වන අදහස්‌ මේවා වන්නේ ය.

විඥානය මනස තුළ පවතින ශක්‌ති විශේෂයක්‌ විය හැකි ය. සැම දෙයක්‌ ම ශක්‌තිය බව අප පෙන්වා දී ඇත. පවතින්නේ මනස පමණ ය යන මහායාන අදහස මනස ශක්‌ති විශේෂයක්‌ ය යන අදහසට පටහැනි නො වේ. ශක්‌තිය හැර වෙන දෙයක්‌ ලෝකයේ නැත. ලෝකය පාලනය වන්නේ ද ශක්‌තිය මාර්ගයෙනි. ශක්‌තියට අවශ්‍ය දේ ශක්‌තිය විසින් නිෂ්පාදනය කෙරෙන්නේ ය. නොයෙකුත් වස්‌තු, සතා සිව්පාවා, ගස්‌වැල්, DNA, RNA, ප්‍රොaටීන් ශක්‌තිය විසින් නිෂ්පාදනය කෙරෙන්නේ ය. DNA, RNA ප්‍රොaටීන් නිෂ්පාදනය කිරීම පිණිස ජීවීන් භාවිත කරයි. විඥානවාදය වුව ද අප ගේ DNA, RNA ප්‍රොaටීන් පිළිබඳ අදහස්‌ නිශ්ප්‍රභ නො කරන බව මින් පෙනී යයි.

යථාර්ථය පැරැණි ඉන්දියාවේ ගැඹුරින් සාකච්ඡා වූ විෂයයක්‌ විය. බුදුන් ගේ කාලයට පෙර වෛදික යුගයේ ද ඒ ගැන තර්ක විතර්ක ඉදිරිපත් වී ඇත. වෛදික යුගයට පෙර පැවැති මොහෙන්දොජාරෝ හරප්පා ශිෂ්ටාචාරය හෝ ආර්යයන් හෝ ද්‍රවිඩයන් යථාර්ථය පිළිබඳව ඒ කාලයේ පැවසූ දේවල් හොඳින් වටහාගෙන නැත. මොහෙන්දොජාරෝ හරප්පා නගර දෙකින් සොයා ගන්නා ලද මුද්‍රවල අකුරු කියවීම අසීරු වී ඇත. ඒවා වෛදික අක්‌ෂර නො වන බව සොයාගෙන ඇත. මේ ඉන්දු ගං නිම්නයේ වැසියෝ ශිව දෙවියන්, ජගන්මාතා, බෝධිය සහ ලිංග වන්දනාව තම ආගම් ලෙස ඇදහුවෝ ය. එම ශිෂ්ටාචාරය විනාශයට පත් වූවාට පසු එම ආගමික ලක්‌ෂණ පසු කලක වෛදික යුගයට සහ හිංදු ආගමට අවශෝෂණය වී ඇත. ජගන්මාතා, බෝධිය සහ ලිංග වන්දනාවෙන් අදහස්‌ වන්නේ ඒ මිනිසුන් ස්‌වභාවධර්මයට වන්දනාමාන කළ බව ය. ස්‌වභාවධර්මය තුළ සත්‍යයක්‌ ඇතැයි ඔවුන් විශ්වාස කරන්නට ඇත. වර්තමානයේ ඇත්තේ ද මේ විශ්වාසය මිස අනෙකක්‌ නො වේ.

පසු කලක ආරණ්‍යක සහ උපනිෂද් යන වෛදික ග්‍රන්ථයන්හි බලපෑම් හේතු කොටගෙන යාග හෝම විධි වෙනුවට භාවනාව සහ සමාධි විධි ක්‍රමයෙන් භාවිතයට හුරු විය. යාග හෝමවල ආනුභාවික සත්‍යතාවක්‌ නැති බවත් භාවනාවෙන් මනස පාලනය කළ හැකි බවත් ආනුභවිකව දැනගන්නා ලදි. ආනුභාවික ක්‍රමවල යම් කිසි යථාර්ථයක්‌ ඇති බව වටහාගැනිණි. යාග හෝම විධි පැවැත්වීමේ නිශ්එලත්වය පැහැදිලි කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් මුණ්‌ඩකොපනිෂදය විසිනි. එය මෙසේ පවසයි. මේ යාග නමැති පහුරු සවි ශක්‌ති නැති ඒවා ය. මේ යාගය හොඳ යෑයි පිළිගත් මෝඩයෝ වෙද්ද, ඔවුහු නැවත නැවත ජරාවට හා මරණයට පත් වෙති. යාග හෝමවලට විරුද්ධව නැගී සිටියෝ ක්‌ෂත්‍රිය කුමාරවරු ය. මේ විප්ලවයේ ප්‍රතිඑලය වූයේ ජෛනාගම සහ බුදුදහම බිහි වීමයි. ඉන්දියානු නැණවතුන් අන්ධ විශ්වාස අතහැර විද්‍යාත්මක ධර්මයකට අවතීර්ණ වූයේ මේ ලෙසිනි.

එසේ නමුත් වෛදික යුගයේ ග්‍රන්ථ එක ම මතයක්‌ ඉදිරිපත් කළේ නැති බව ද පැවසිය යුතු ය. සමහර ග්‍රන්ථ යාග හෝම විධි තේරුමක්‌ නැති ක්‍රියාවන් ලෙස පෙන්නුම් කර දුන්නත් වෙනත් ග්‍රන්ථ ඒවායේ ගුණ වර්ණනා කළේ ය. බොහෝ ග්‍රන්ථ ආත්මය සහ බ්‍රහ්ම යන සංකල්ප පිළිබඳව ගැඹුරින් සාකච්ජා කළේ ය. මේ ග්‍රන්ථ පවසා සිටියේ ලෝකයේ ඇත්තේ ආත්මය පමණක්‌ බව ය. ආත්ම සියල්ලක්‌ ම ගංගා මෙන් ගලා ගොස්‌ එකතු වී බ්‍රහ්ම සමග එකක්‌ වන්නේ ය.

නිත්‍ය වූ ආත්මය යන සංකල්පය බුදුන් ගේ විවේචනයට භාජන වූයේ බුදුන් ගේ අනිත්‍යය යන සංකල්පය සමග එය එකඟ නො වන නිසා ය. ආත්මය සැම දා පවතින බව උපනිෂද් පැවසුවේ ය. සැම දේ ම අනිත්‍ය බව බුදුන් දැන ගත්තේ අත්දැකීමෙනි. නැත හොත් ආනුභාවිත මාර්ගයෙනි. ආත්මය පිළිබඳ විශ්වාසයෙන් යුතු ව කතා කළ උපනිෂද් තුළින් ඉදිරිපත් වූයේ ආත්මය යථාර්ථය ය යන අදහස ය. ලොවෙහි ඇත්තේ ආත්මය පමණක්‌ නම් ලොවෙහි යථාර්ථය ආත්මය වන්නේ ය. බුදුන් පැවසුවේ ලොවෙහි සැම දෙයක්‌ ම අනිත්‍ය නිසා එහි කිසිවක ආත්මයක්‌ තිබිය නොහැකි බව ය. ලොවේ සැම දෙයක්‌ ම අනිත්‍ය බව ද අනාත්ම බව ද පැවසීම එහි යථාර්ථයක්‌ නැතැයි පැවසීම ද?

අනිත්‍ය යන්නේ අරුත සැම දෙයක්‌ ම වෙනස්‌ වනසුලු බව ය. වෙනස්‌ වන දෙයෙහි යථාර්ථයක්‌ නැති ද? වෙනස්‌ වන දෙය ඉන්ද්‍රිය සංජානනය මගින් දැනගන්නට බැරි ද? බුදුන් ඒ බව නො කීව ද සැම දෙය වෙනස්‌ වන බව අපට ද ආනුභාවිකව දැනගත හැකි ය.

පැවැත්ම (existence) ගැන බුදුන් දැක්‌වූ අදහස්‌ කච්චායන-ගොත්ත සුත්‍රයෙහි පහදා දී ඇත. එහි පැවසෙන්නේ සැම දෙයක්‌ ම පවතී යන්න එක්‌ අන්තවාදයක්‌ බව ය. එය අන්තවාදයක්‌ වන්නේ කෙසේ ද? සැම දෙයක්‌ ම නියත ව වෙනස්‌ නො වී සැම දා පවතී යන්න ඉන් අදහස්‌ වන්නේ නම් එය අන්තවාදයක්‌ වන්නේ ය. සැම දෙයක්‌ ම නො පවතී යන්න අනෙක්‌ අන්තවාදය බව පැවසීමෙන් බුදුහු තම අදහස පැහැදිලි කරති. මේ අන්තවාද දෙක එකල දාර්ශනිකයන් අතර පැවැති බව පෙන්වා දිය හැකි ය. උපනිෂද් පැවසුවේ නිත්‍ය වූ ආත්මයක්‌ පවතින බව ය. එය ශාශ්වතවාදය විය. කාර්වක (එකල පැවැති ධර්මයක්‌) මතය වූයේ කිසිවක්‌ නො පවතින බව ය. එය උච්ඡේදවාදය ලෙස හැඳින්වේ. මේ නයින් බලන කල යථාර්ථයක්‌ බුදුන් නො පිළිගත් බව කිව නොහැකි ය. මක්‌ නිසා ද සැම දෙයක්‌ ම නො පවතී යන්න අන්තවාදයක්‌ බව උන්වහන්සේ පැවසූ හෙයිනි. තව ද ලෝකයේ යථාර්ථයක්‌ නැතැයි බුදුන් පවසා නැත.

භෞතික ලෝකයේ වාස්‌තවිකත්වය බුදු දහම ප්‍රතික්‌ෂේප නො කරයි. රූප නැතිනම් ද්‍රව්‍ය මනස නො වන බව බුදු දහම පෙන්වා දෙයි. තව ද එය චිත්ත විප්පයුත්ත ලෙස මුල් බුදු දහම පහදා දෙයි. ඉන් අදහස්‌ වන්නේ ද්‍රව්‍ය මනසින් ස්‌වායත්ත වූ බවයි. (K.N.Jayatileke – 2000).

බුදුන් ගේ සමකාලීන ඡේHෂ්ඨ ආගම් කර්තෘන් සහ දාර්ශනිකයන් යථාර්ථය පිළිබඳව නොයෙකුත් මත පළ කොට ඇත. මක්‌ඛලී ගෝසාල දෙවි කෙනකු විසින් ලෝකය මවන ලද බව පැවසුවේ ය. එය නූල් බෝලයක්‌ සේ දිගහැරෙමින් පවතී. ජීවින් තමන්ට පාලනය කර නොහැකි පරිණාම බලයන්ට අසු වී අවසානයේ ඉන් ගැලවී සහනයක්‌ ලබාගනී. අජිත කේසකම්බල ද්‍රව්‍යවාදියෙක්‌ විය. මනස ඇතුළුව සැම දෙයක්‌ ම ද්‍රව්‍ය පමණක්‌ බව එතුමා පැවසුවේ ය. මේ අදහස්‌ දෙකට ම විරුද්ධ වු සංජය බෙල්ලට්‌ඨ§පුත්ත පැවසුවේ ඒවා කිසිවක්‌ ඔප්පු කරන්නට බැරි බව ය. ඔහු අඥෙයවාදියෙක්‌ විය (skeptic). පුනරුත්පත්තිය, ගැලවීම, සදාචාරාත්මක වගකීම වැනි දේ ඔප්පු කළ නොහැකි බව ඔහු පැවසුවේ ය. දේවවාදය, ද්‍රව්‍යවාදය සහ අඥෙයවාදය විශ්වාස කරන අය වර්තමානයේ ද සිටිති. යථාර්ථය පිළිබඳ ඔවුන් ගේ මතය කුමක්‌ ද? දෙවියකු ලෝකය මැව්වා නම් එය මිනිසා ගේ මනසේ පමණක්‌ පවතින දෙයක්‌ වන්නට බැරි ය. එය ඉන්ද්‍රිය පද්ධතියෙන් ස්‌වායත්ත වූ වස්‌තුවක්‌ විය යුතු ය. ද්‍රව්‍යවාදය මනස ද ද්‍රව්‍යයක්‌ බව පවසන හෙයින් ලෝකයේ පැවැත්ම එය ඉවත දමන්නේ නැත. අඥෙයවාදය කිසිවක්‌ විශ්වාස නො කරන හෙයින් යථාර්ථය පිළිබඳව කිව හැකි දෙයක්‌ නැත.

පූරණ කස්‌සප නමැති බුදුන් ගේ සමකාලීන දාර්ශනිකයා ස්‌වභාවධර්මය විසින් සැම දෙයක්‌ ම තීරණය කෙරෙන බව පැවසුවේ ය. තව ද හොඳ හෝ නරක යනුවෙන් මිනිසා ගේ හෝ ස්‌වභාවධර්මයේ ක්‍රියාවන් හැඳින්විය නොහැකි බව ද එතුමා පැවසුවේ ය. මේ අදහස්‌ තුළ අප ගේ අදහස්‌වලට යම් කිසි සමානත්වයක්‌ ඇති බව පෙනේ. අද ජීවත් වන ස්‌වභාවධර්මවාදීන් ද (Naturalists) මෙවැනි මතයක්‌ දරන බව පෙනේ. අප ගේ අදහස්‌ ඊටත් එහාට ගොස්‌ _ජීවීන් ස්‌වභාවධර්මයට සේවයක්‌ කරන බව ද ඔවුන් ස්‌වභාවධර්මයේ වහලුන් බව ද පෙන්වා දෙයි. මේ වහල් බවෙන් මුදාගන්නා ක්‍රමය බුදුන් වහන්සේ දේශනා කොට වදාළ බව ද අප පවසා ඇත.

පකුධ කච්ඡායන සැම ක්‍රියාදාමයක්‌ ම වෙන් වූ කොටස්‌වලට බෙදා වෙන් කොට යථාර්ථය ඒ මගින් තේරුම්ගන්නට වෑයම් කළේ ය. මේ ක්‍රියාදාමවල යථාර්ථයක්‌ ඇතැයි එතුමා විශ්වාස කළේ ය. පසු කාලයක ජීවත් වූ ඇරිස්‌ටෝටල් පඬිවරයා ද මෙවැනි මගක්‌ අනුගමනය කළේ ය. ජෛනාගමේ නායකයා ලෙස පිළිගැනෙන නිගන්ඨනාථපුත්ත සාපේක්‌ෂතාවාදියෙක්‌ විය. සැම අදහසක ම සත්‍යයක්‌ තිබිය හැකි බව පැවසූ එතුමා විරුද්ධ මත වුව ද එකතු කොට ඒ තුලින් සත්‍ය නිර්මාණය කරන්නට වෑයම් කළේ ය.

මේ නයින් බලන කල පෙනී යන්නේ අඥෙයවාදය හැර බුදුන් හෝ උන්වහන්සේ ගේ සම කාලීන දර්ශනිකයන් හෝ අප සංජානනය කරන ලෝකයේ යථාර්ථයක්‌ නැතැයි පවසා නැත. අප ගේ ඉන්ද්‍රිය පද්ධතියෙන් ස්‌වායත්ත වූ ලෝකයක්‌ නැතැයි පවසා නැත.

පැරැන්නන්ට ඔවුන් ගේ විද්‍යාවෙන් ප්‍රයෝජනයක්‌ ගත හැකි වූයේ ඔවුන් සංජානනය කරන ක්‍රියාදාමයක යථාර්ථයක්‌ නැත හොත් සත්‍යයක්‌ ඇතැයි විශ්වාස කළොත් පමණි. යම්කිසි පර්යේෂණයක්‌ සිදු කොට ඉන් ලබාගන්නා දැනුම භාවිත කොට යම් ප්‍රයෝජනයක්‌ ලබාගත හැක්‌කේ එවැනි විශ්වාසයක්‌ ඇත්නම් පමණි. හඳ නමැති වස්‌තුව අභ්‍යවකාශයේ යම් කිසි දුරකින් පෘථිවිය වටා යම්කිසි වේගයකින් ගමන් කරන බව විද්‍යාඥයින් විසින් සොයාගන්නා ලදී. එම දැනුම පිළිබඳ සියයට සියයක විශ්වාසයක්‌ නොමැති ව හඳ මතට මිනිසකු යවන්නට නොහැකි ය. එම විශ්වාසය පැරැන්නන් ගෙන් පටන්ගෙන වර්ධනය වූ විශ්වාසය ම ය. එම විශ්වාසය යථාර්ථයේ විශ්වාසය ය. හඳ ඇත්තේ විද්‍යාඥයා ගේ මනසේ නම් ඒ මතට මිනිසකු යෑවිය නොහැකි ය. අප ගේ මතවාදය ඉදිරියට ගෙන යැමට ඉදිරි ලිපිවලින් බලාපොරොත්තු වෙමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග D.Sc.