logo3.gif (702 bytes)

HOME


මිනිසා ස්‌වභාවධර්මයට අයත් ද?

ඩී එස්‌ සී උපාධිධාරී සේවාර්ජිත මහාචාර්ය අශෝක අමරතුංග මහතාට දැන් ලිවීමට වල්පල් වුවත් නැති වන තත්ත්වයකට පත් වී ඇත. ඔහුට තවම ජීවිතයේ අරුත දැනගැනීමට නොහැකි වී ඇත. ඒ මහතා ගේ ජූලි 29 වැනි දින ලිපිය දුක්‌ගැනවිල්ලක්‌ පමණකි. ජීවිතයේ අරුත කුමක්‌ දැයි ඔහු තබා කිසිවකු නො දැන සිටි බව ඔහු කියයි. ජීවිතයේ අරුත යනු යුදෙවු ක්‍රිස්‌තියානි සංකල්පයකි. පැරැණි උපනිෂද් ග්‍රන්ථවල ද ජීවිතයේ අරුත ගැන යමක්‌ කියවී නැති බව අමරතුංග මහතා පවසයි.

එක්‌ උපනිsෂද් ග්‍රන්ථයක ඇති දෙයක්‌ අමරතුංග මහතා උපුටා දක්‌වයි. "අසත්‍යයෙන් මා සත්‍යයට කැඳවාගෙන යන්න. අඳුරෙන් මා ආලෝකයට කැඳවාගෙන යන්න. මරණයෙන් මා අමරණීයත්වයට කැඳවාගෙන යන්න. මෙහි අසත්‍ය සහ අඳුර යනුවෙන් දැක්‌වෙන්නේ මිනිසා ගේ ජීවිතයේ අරුත, එහි පටන් ගැන්ම, අවසානය වැනි දේ මිනිසා නො දැන සිටින බව ය. මරණය කුමක්‌ දැයි තේරුම්ගන්නට බැරි නිසා අමරණීයත්වය පැතුවේ ය."

තමන්ට ලිවීමට දෙයක්‌ නොමැති නම් අමරතුංග මහතා කළ යුතු ව ඇත්තේ ඉහත සඳහන් විකාර ලිවීම නො ව කිසිවක්‌ නො ලියා සිටීම ය. මිනිසා අමරණීයත්වය පැතුවේ මරණය තේරුම්ගැනීමට නොහැකි නිසා ද? මරණය තේරුම් නො ගෙන අමරණීයත්වය තේරුම්ගත්තේ ද? යමක්‌ තේaරුම් නො ගෙන එහි විරුද්ධය තේරුම්ගත හැකි ද? අමරණීයත්වය පැතුවේ ඒ තේරුම්ගෙන ද?

අමරතුංග මහතා තණ්‌හාව ගැන නැවතත් බුදුබණේ නැති කතා කියයි. ඔහු නැවතත් කියන්නේ මිනිසා ද ස්‌වභාවධර්මය වෙනුවෙන් සේවය කිරීමට බැඳ දමා ඇති බව ය. මේ සේවය කිරීම යනු කුමක්‌ ද? අපි පසුගිය සතියේ ඇසූ ප්‍රශ්නය නැවතත් අසමු. ඒ අතර ස්‌වභාවධර්මය යනු කුමක්‌ ද යන ප්‍රශ්නය ද අසමු. මිනිසා ස්‌වභාවධර්මයේ කොටසක්‌ ද? නැත් ද? ස්‌වභාවධර්මයෙහි කොටසක්‌ නම් මිනිසා ස්‌වභාවධර්මයට සේවය කරන්නේ කෙසේ ද? වෙනත් වචනවලින් කිව හොත් සේවය කිරීමේ දී මිනිසා ස්‌වභාවධර්මයෙන් ඉවතට යන්නේ ද?

මිනිසා ස්‌වභාවධර්මයෙහි කොටසක්‌ නො වේ නම් එයින් අදහස්‌ කරන්නේ කුමක්‌ ද? ස්‌වභාවධර්මයට අයත් නැති තවත් එවැනි දේ විශ්වයෙහි පවතී ද? එවිට විශ්වයෙහි ස්‌වභාවධර්මයට අයත් දැ හා අයත් නො වන දැ යනුවෙන් කොටස්‌ දෙකක්‌ වේ ද? අමරතුංග මහතා ගේ ස්‌වභාවධර්මය යනු කුමක්‌ දැයි පළමුව පැහැදිලි කර, ඉන්පසු විශ්වයෙහි ස්‌වභාවධර්මයට අයත් නො වන කොටස්‌ නම් කර ස්‌වභාවධර්මයට සේවය කිරීම යනුවෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි පැහැදිලි කරන්නේ නම් ඒ හුදී ජනයා ගේ පහන් සංවේගයට ම හේතු වනු ඇත.

අමරතුංග මහතා ජූලි 22 වැනි දින ලිපියෙහි මෙසේ සඳහන් කර ඇත. "පැරැණි ඊජිප්තුවේ විද්‍යාව සහ තාක්‌ෂණය අනෙකුත් පැරැණි ශිෂ්ටාචාරවලට සමාන විය. නයිල් ගංගා නිම්නයේ බිහි වූ මේ ශිෂ්ටාචාරය ක්‍රි. පූ. වර්ෂ 5000 පමණ

පැරැණි විය හැකි ය. ඔවුන් ගේ විද්‍යාව සහ තාක්‌ෂණය දියුණු වූයේ කඩදාසි නිෂ්පාදනය, මුද්‍රණය, විශාල ගොඩනැගිලි නිර්මාණය, විශාල සිහිවටන නැව් සෑදීම සහ යාත්‍රණය, වීදුරු කර්මාන්තය, තාරකා ශාස්‌ත්‍රය, වෛද්‍ය විද්‍යාව යන ක්‍ෂේත්‍ර තුළ ය. මේ තාක්‌ෂණය සහ විද්‍යාව හේතු කොටගෙන ඊජිප්තුව ඒ ප්‍රදේශයේ පොහොසත් ම රට බවට ද කයිරෝ විශාල ම නගරය බවට ද පත් විය. ඒ හා සමාන නගරයක්‌ වූයේ බැග්ඩෑඩ් නගරයයි. ඉස්‌ලාමීය දේශයක්‌ බවට පත් වූ පසු ද ඊජිප්තුව දියුණු රටක්‌ වශයෙන් පැවතිණි.

මා පවසා ඇත්තේ මේ ශිෂ්ටාචාරවල තිබූ විද්‍යාව විශේෂයෙන් එහි ක්‍රමවේදය එකක්‌ ම වූ බව ය. ඉන්ද්‍රිය පද්ධතියෙන් සහ මොළයෙන් සිදු කළ හැකි නිරීක්‌ෂණය පරීක්‌ෂණය සහ නිගමනය එම ක්‍රමවේදය විය. මීට වෙනස්‌ වූ ක්‍රමවේදයක්‌ ඇති විද්‍යාවක්‌ ඇති බව කිසිවකු පෙන්වා දී නැත. මේ ක්‍රමවේදය වර්ධනය කිරීමේ හැකියාව පමණි ස්‌වභාවධර්මය මිනිසාට ලබා දී ඇත්තේ. ඇස්‌, කණ, නාසය, දිව සහ ස්‌පර්ශය මේ ඉන්ද්‍රිය වන්නේ ය. මොළය මේවායින් ලබාගන්නා දැනුම විශ්ලේෂණය කොට ඒවා ඔප්පු කරගන්නට අවශ්‍ය පර්යේෂණ නිර්මාණය කොට ඒවා ක්‍රියාවට යොදවා ලැබෙන නිරීක්‌ෂණ භාවිත කොට නිගමනයකට පැමිණේ. විද්‍යාත්මක ක්‍රමවේදය කොතැනත් කවදත් මෙය විය. වෙන ක්‍රමවේදයක්‌ තිබිය නොහැකි ය. එවැනි වෙනස්‌ වූ ක්‍රමවේදයක්‌ තිබෙන බවට සාක්‌ෂි කිසිවකු ඉදිරිපත් කොට නැත.

මෙසොපොතේමියාවේ සහ ඊජිප්තුවේ පැවැති ශිෂ්ටාචාරය පසු කාලයක දී ඉස්‌ලාමීය ශිෂ්ටාචාරය ලෙස විශාල ප්‍රදේශයක ව්‍යාප්ත විය. 8 වැනි ශත වර්ෂයේ සිට 13 වැනි ශත වර්ෂය දක්‌වා ද ඊටත් පසු කාලයක්‌ දක්‌වා ද විශාල භුමි ප්‍රමාණයක්‌ වසාගෙන එම රාජ්‍යය පැවතිණි. මේ ප්‍රදේශයේ විසූ මුස්‌ලිම් විද්‍යාඥයන් වෙනස්‌ වූ ජාතින්ට අයත් වූයේ ය. පර්සියානු, අරාබි, ඇසිරියානු, කුර්දුන් සහ ඊජිප්තු ජාතිකයෝ ඒ අතර වූ හ. ඒ අතර ස්‌වල්ප දෙනෙක්‌ ක්‍රිස්‌තියානි සහ යුදෙව්වෝ ද වූ හ."

පැරණි ඊජිප්තුවේ හෝ වෙනත් පැරණි රටක හෝ තිබුණු විද්‍යාව කුමක්‌ ද? එහි තිබූ වියුක්‌ත ප්‍රවාද කවරේ ද? පැරණි ඊජිප්තුවේ නයිල් නදිය පිටාර ගිය ඇතැම් අවස්‌ථාවල නැති වූ භූමි ප්‍රමාණය ගණනය කිරීමේ අවශ්‍යතාව විය. ජ්‍යාමිතික (Geometry) බිහි වූයේ එපරිදි ය. ජියෝමෙට්‌රි යන්නෙහි තේරුම භූමිතිය යන්න ය. ජියෝ යනු භුමිය හා සම්බන්ධ පදයකි. ජියෝග්‍රෆි යනු භූ ප්‍රස්‌තාර හෙවත් අද ව්‍යවහාරය අනුව භූ විද්‍යාව හෝ භූගෝල විද්‍යාව ය.

එකල සිංහලෙන් වචන නිර්මාණය කිරීමේ දී ඇතැම් අඩුපාඩු සිදු වී ඇති බව පෙනී යයි. ඉංගිරිසි වචනයක තේරුම, ඉතිහාසය, සම්ප්‍රදාය ආදිය ගැන එතරම් සැලකිල්ලක්‌ නො දක්‌වා සිංහල වචන නිර්මාණය කර ඇති බව පෙනෙයි. ජ්‍යාමිතිය යන්න ද එසේ නිර්මාණය වූ වචනයකි. ජ්‍යාමිතිය යනු ජ්‍යාය මැනීම නො වන බව පැහැදිලි ය. එයට යෙදිය යුතු වචනය වූයේ බිම් මැනීම යන තේරුම දෙන භූමිතිය යන්න ය. කෙසේ වෙතත් අද එය වෙනස්‌ කළ හැකි දැයි නො දනිමි.

ඊජිප්තුවේ භූමිතියක්‌ ඇති වුව ද එය වියුක්‌ත නො වී ය. එහි භූමියෙහි යොදාගත් සරල රේඛා, වෘත්ත ආදී සංකල්ප ඇහැට කණට පෙනෙන ආනුභවික සංකල්ප විය. ඒ සංකල්ප පංචෙන්ද්‍රිය ගෝචර විය. ඊජිප්තු වැසියන්ට භූමිතිය හැරෙන්නට බටහිර මෙන් ත්‍රිකෝණමිතියක්‌ නො වී ය. එමෙන් ම ඔවුන්ට ස්‌වසිද්ධි (Axioms) පද්ධතියක්‌ ද නො වී ය. ස්‌වසිද්ධිවලට සිංහලෙන් ප්‍රත්‍යක්‌ෂ යන්න ද යෙදෙයි.

ප්‍රත්‍යක්‌ෂ යන්න අමරතුංග මහතාට මතක ඇතැයි සිතමි. සෘජුව ම ඉන්ද්‍රිය මගින් (මනස හා සංකල්ප නැති ව කිසිවක්‌ කළ නො හැකි බව අමතක නො කළ යුතු ය) ගෝචර වීම ප්‍රත්‍යක්‌ෂ යන්නෙහි මුල වෙයි. ඊජිප්තු වැසියන්ට ස්‌වසිද්ධි (වෙනත් ප්‍රකාශයක ආධාරයක්‌ නැති ව) නො තිබුණ ද ගී්‍රකයන්ට එවැනි පද්ධතියක්‌ විය. ඔවුන් ගේ භූමිතිය පසුව බටහිර වර්ධනය වූ භූමිතිය තරමට ම වියුක්‌ත නො වුව ද, ඒ ඊජිප්තු භූමිතියෙන් හා වෛදික භූමිතියෙන් වෙනස්‌ විය.

අමරතුංග මහතා ඒ වැදගත් වෙනස තේරුම් කර දෙන්නේ කෙසේ ද? වෛදිකයන් ගේ භූමිතියෙහි ගී්‍රක භූමිතිකයෙහි මෙන් පෛතගරස්‌ ප්‍රමේයක්‌ නො වී ය. ගී්‍රක භූමිතිකයෙහි ඕනෑ ම සෘජුකෝණී ත්‍රිකෝණයක්‌ සඳහා පෛතගරස්‌ ප්‍රමේයය වලංගු වූ අතර ගී්‍රකයන්ට ඒ සාධනය කිරීමේ හැකියාව ද විය. වෛදිකයන් ගේ භූමිතිකයෙහි (වෛදික භූමිතිකයක්‌ තිබිණි යෑයි කිව නො හැකිs ය. එහෙත් අප වෛදික භූමිතිකයක්‌ ගැන කතා කරමු) ඕනෑ ම සෘජුකෝණී ත්‍රිකෝණයකට වලංගු වන පෛතගරස්‌ ප්‍රමේයයක්‌ නො වී ය.

ඒ වෙනුවට එහි තිබුණේ ඒ ඒ සෘජුකෝණී ත්‍රිකෝණයෙහි කර්ණයෙහි දිග සොයාගැනීම සඳහා සූත්‍ර සමූහයකි. සාධනය යන්න වෛදිකයන්ට නො වී ය. සාධනය කරන්නේ ගණිතමය වශයෙන් සාධාරණ වස්‌තු (භූතාර්ථ) සඳහා ය. එවැනි සාධාරණ භූතාර්ථ වෛදික ගණිතයෙහි නො වී ය. සාධාරණ භූතාර්ථ වියුක්‌ත වෙයි. ඒ පංචෙන්ද්‍රිය ගෝචර නො වෙයි. බටහිර ගණිතය හා බටහිර විද්‍යාව වියුක්‌ත සංකල්ප හා වියුක්‌ත ප්‍රවාදවලින් සමන්විත වෙයි.

පැරණි වෛදිකයන්ට තබා පසුගිය සියවසේ සිටි රාමනුජන්ට වත් සාධනය යන සංකල්පය නො වී ය. ඔහු උදේ නැගිට කාලි දෙවඟන ගේ ආධාරයෙන් (ඔහු කී ආකාරයට) අනන්ත ශ්‍රේණි ලිවී ය. ඒ ශ්‍රේණිවල පද එකතු කළ විට වීජීය ප්‍රකාශයක්‌ ලැබිණි. එහෙත් රාමනුජන් ඒ සාධනය නො කෙළේ ය. ඒ සූත්‍ර සාධනය කළෝ කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයෙහි හාඩ් ගේ ශිෂ්‍යයෝ වූ හ.

ඉතා පැහැදිලි ව ඊජිප්තු විද්‍යාව හා ගණිතය වෛදික විද්‍යාවෙන් හා ගණිතයෙන් ද, ඒ සියල්ල මෙසපොතේමියාවේ විද්‍යාවෙන් හා ගණිතයෙන් ද වෙනස්‌ විය. ඒ සියල්ල ගී්‍රක භූමිතිකයෙන් වෙනස්‌ විය. ගී්‍රක භූමිතිකය පසු කලෙක බටහිර ගණිතයෙහි වර්ධනයට දායකත්වය සැපයී ය. අමරතුංග මහතා ඒ සියල්ල තේරුම් කරන්නේ කෙසේ ද?

එදා ඒ ඒ රටවල ගණිතය ද ආනුභවික විය. එනම් ගණිත සංකල්ප පංචෙන්ද්‍රිය ගෝචර විය. එහෙත් ද වන විට බටහිර ගණිතය ආනුභවික නො වේ. බටහිර ගණිතයෙහි සංකල්ප වියුක්‌ත වන අතර ඒ සංකල්ප හා ඊනියා ලෝකය අතර සම්බන්ධයක්‌ නැත. අද බටහිර ගණිතයෙහි ඇත්තේ p නම් එවිට q යන ආකාරයේ ප්‍රකාශ ය. බටහිර ගණිතය යනු ඒ ආකාරයේ ප්‍රකාශ කුලකයකි. බටහිර ගණිතය පමණක්‌ නො ව අද වන විට බටහිර ප්‍රවාදාත්මක භෞතික විද්‍යාව ද ආනුභවික ලෝකයෙන් ඈත් වෙමින් පවතියි.

නලින් ද සිල්වා