logo3.gif (702 bytes)

HOME


පැරැණි ශිෂ්ටාචාරවල විද්‍යා දර්ශනය (06)

අප සාකච්ජා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත කුමක්‌ විය හැකි දැයි යන ප්‍රශ්නය පිළිබඳව ය. එය මූලික ප්‍රශ්නය ලෙස කවදත් කොතැනත් තිබුණු විද්‍යාව විසින් ද, ආගම් විසින් ද, දර්ශනය විසින් ද සොයා බලනු ලැබ ඇත. දැනුදු සොයා බලමින් සිටින්නේ ය. විද්‍යාව ඒ ප්‍රශ්නය සොයා බලන්නේ අප ඉන්ද්‍රිය සංජානනය මගින් ලබාගන්නා දැනුම තුළ යම්කිසි යථාර්ථයක්‌ ඇතැයි යන මතයේ පිහිටා ය. ආගම් එම ප්‍රශ්නය දෙස යොමු වන්නේ මරණින් පසු කුමක්‌ පවතින්නේ දැයි යන ප්‍රශ්නයට පිළිතුරක්‌ දීමට ප්‍රයත්නයක්‌ දරමිනි.

වර්තමානයේ මෙන් පැරැණි ශිෂ්ටාචාරවල වර්ධනය වූ විද්‍යාවේ දර්ශනය වූයේ ද අප ඉන්ද්‍රිය මගින් ලබාගන්නා දැනුම තුළ යම්කිසි යථාර්ථයක්‌ ඇතැයි යන විශ්වාසය ය. උදාහරණයක්‌ ලෙස වෛද්‍ය විද්‍යාව ගත හොත් පැරැණි චීනයේ ද, ඉන්දියාවේ ද, අරාබියේ ද රෝග ලක්‌ෂණ, රෝග විනිශ්චය, ප්‍රතිකාරය සිදු කළේ ඉන්ද්‍රිය මගින් ලබාගත් දැනුම භාවිත කොට ය. යම්කිසි රෝගයක්‌ හෝ රෝග ලක්‌ෂණයක්‌ යම්කිසි ප්‍රතිකාරයකින් සුව වන බව අත්දැකීමෙන් දැනගත්තා නම් එම දැනුමේ යථාර්ථයක්‌ ඇතැයි ඔවුහු විශ්වාස කළෝ ය. ඉන් ඔවුන්ට ප්‍රයෝජනයක්‌ ලැබිණි. වර්තමානයේ අප ගේ දැනුම පාවච්චි කොට ඉහත සඳහන් දැනුමේ යථාර්ථයක්‌ නැතැයි පැවසිය හැකි ද? රෝගය සහ ප්‍රතිකාරය අතර ඇති සම්බන්ධතාව දැකීම තුළ යථාර්ථයක්‌ නැතැයි වර්තමානයේ ජීවත් වන අපට කිව හැකි ද? අප යථාර්ථය යනුවෙන් හැඳින්වන්නේ කුමක්‌ ද? අප ඉන්ද්‍රිය මාර්ගයෙන් ලබාගන්නා දැනුම තුළ සත්‍යයක්‌ ඇතැයි යන විශ්වාසය යථාර්ථය ලෙස සැලකිය හැකි ය. අප දකින දෙය සත්‍යයක්‌ ලෙස පවතින බව විශ්වාස කිරීම යථාර්ථය ලෙස ගත හැකි ය. අප ගේ ඉන්ද්‍රිය පද්ධතියෙන් ස්‌වායත්ත වූ ලෝකයක්‌ ඇතැයි විශ්වාස කිරීම යථාර්ථය ලෙස සැලකේ. අප ගේ ඉන්ද්‍රිය පද්ධතියෙන් ස්‌වායත්ත ලෝකයක්‌ ඇතැයි විශ්වාස කිරීම යථාර්ථය ලෙස බටහිර දාර්ශනිකයෝ අර්ථ දක්‌වති.

බටහිර දර්ශනය යථාර්ථය පිළිබඳව අධ්‍යයනය කරන විට යථාර්ථයේ ස්‌වභාවය ද යථාර්ථය සහ මනස, භාෂාව සහ සංස්‌කෘතිය අතර ඇති සම්බන්ධය කෙරෙහි අවධානය යොමු කරන්නේ ය. බුදු දහම යථාර්ථය දෙස බලන්නේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම යන ත්‍රිත්වය මත පදනම් වී ය. බුදු දහමේ පදනම එය බැවිනි. දෙවියන් විශ්වාස කරන ආගම් යථාර්ථය දකින්නේ දෙවියන් පදනම් කරගනිමිනි. මේ කරුණු පිළිබඳව දීර්ඝ ලෙස ඉදිරියේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. ජීවිතයේ අරුත පිළිබඳව සාකච්ඡා කරන විට යථාර්ථය ගැන මනා අවබෝධයක්‌ ලබාගත යුතු ය.

පැරැණි ශිෂ්ටාචාරවල විසූ විද්‍යාඥයෝ මේ යථාර්ථය මත පිහිටා නොයෙකුත් නව නිර්මාණ සිදු කළෝ ය. නොයෙකුත් අනාවැකි පළ කළෝ ය. ඒවායින් ඔවුන්ට ඵල ප්‍රයෝජන ලැබිණි. දැනුදු සිදු වන්නේ එය ම ය. මේ ලෝකයේ විශ්වයේ යථාර්ථයක්‌ නැතැයි සිතා අපට මේ දේවල් සිදු කළ නොහැකි ය. ඒ දේවල් කළ හැක්‌කේ යථාර්ථයක්‌ ඇතැයි සිතා ය. අප ඉන්ද්‍රිය මගින් ලබාගන්නා දැනුම සියයට සියයක්‌ සත්‍ය නො වන්නට ඉඩ ඇත. විද්‍යාවේ දියුණුව නිසා එම දැනුම සත්‍යයට කිට්‌ටු වෙමින් පවතින බව කිව හැකි ය. සියයට සියයක්‌ සත්‍යතාව කරා ගොස්‌ ඇති දැනුම් සම්භාරයක්‌ අප සතු බව කිව හැකි ය. සියයට සියයක්‌ සත්‍ය වූ අනාවැකි පළ කිරීම් සිදු ව තිබෙන බව කිව හැකි ය. සැම දැනුමක්‌ ම එසේ නො වුණ ද සියයට අනූවකට වඩා සම්භාවිතාවක්‌ ඇති දැනුම් විශාල ප්‍රමාණයක්‌ විද්‍යාඥයන් සොයාගෙන ඇත. මේ දියුණු වූ විද්‍යාවේ ආරම්භය සිදු වූයේ පැරැණි ශිෂ්ටාචාරවල බව කිව යුතු ය.

විද්‍යාවේ අත්තිවාරම බවට ගණිතය පත් වූයේ කෙසේ ද? ගණිතයේ ආරම්භය කුමක්‌ ද? වර්තමානයේ භාවිත වන ගණිතය ආරම්භ වූයේ ඉන්දියාවේ විය හැකි බව මීට පෙර ලිපිවලින් අප පෙන්වා දී ඇත. එම ගණිතය අරාබියට සංක්‍රමණය වී එහි දී එය පොත්පත්වල ලියවුණු බව අප පෙන්වා දී ඇත. පැරැණි ඉන්දියාවේ වර්ධනය වූ ගණිතය විස්‌තර සහිතව සාකච්ජා විය යුතු ය. ගණිතඥයකු නො වන මා විසින් මෙය සිදු කෙරෙන විට ගණිතඥයකු වන බහුභුතවාදීන් කෝපාවිෂ්ඨ වීම වැළැක්‌විය නොහැකි ය. එවිට ඔවුන් කරන්නේ මා ගේ ලිපිවල නැති වැරැදි නැති පරස්‌පර ගැන ලියමින් මාගේ ලිපිවලින් භාගයක්‌ උපුටා දක්‌වමින් ඔවුන් ගේ ලිපි පුරවා ගැනීම ය. මේ අයට කියන්නට දෙයක්‌ නැත්නම් වෙන කුමක්‌ කරන්න ද? මින් පෙනී යන්නේ ඔවුනට කීමට හෝ කිරීමට දෙයක්‌ නැති බව ය. කියන්නට අලුත් දෙයක්‌ ඇත්නම් කළ යුත්තේ එය ගැන ලිවීම ය. මා ගේ ලිපි විකෘති කොට විවේචනය කිරීම ජීවිතයේ අරමුණ කරගන්නට අවශ්‍යතාවක්‌ නැත. මට මේ අය සමග වාද කිරීමට අවශ්‍යතාවක්‌ හෝ කාලයක්‌ හෝ නැත. ඊට වඩා ප්‍රයෝජනවත් දෙයක්‌ කිරීමට මට අවශ්‍ය වී ඇත. සැම දේ දන්නා මහා පඩිවරයකු නම් අප වැන්නන් ගේ කියුම් බිනුම් ගැන තැකීමක්‌ නො කළ යුතු ය.

බිංදුව නමැති සංකල්පය අද කාලයේ භාවිත වන අන්දමට වර්ධනය වූයේ ඉන්දියාවේ ය. ඊජිප්තුවේ ක්‍රි. පූ. 1740 දී බිංදුව පිණිස සලකුණක්‌ පාවිචිච් කළා වුව ද එය සීමිත අර්ථයකින් සමන්විත විය. මෙසොපොතේමියාවේ ගණිතඥයෝ බිංදුව වෙනුවට ඉලක්‌කම් අතර හිස්‌ තැනක්‌ තැබුවෝ ය. මින් අදහස්‌ වූයේ එම හිස්‌ තැන බිංදුව හා සමාන වූ අගයක්‌ රහිත යන අර්ථය හිමි වූ බව ය. බිංදුව සලකුණක්‌ පමණක්‌ නො ව ඉලක්‌කමක්‌ ලෙස අර්ථගන්වන ලද්දේ ඉන්දියාවේ ගණිතඥයන් විසිනි. ක්‍රි. පූ. දෙවැනි ශත වර්ෂයේ විසූ පින්ගල නමැති ගණිතඥයා බිංදුව හැඳින්වීමට සුන්‍ය යන වචනය යෙදුවේ ය. ඉල්ලකම් කිහිපයක්‌ භාවිත කොට යම් සංඛ්‍යාවක්‌ පෙන්නුම් කිරීම පළමුවරට සිදු කළේ ජයිනාගමට අයත් වන ලොකාම්භා (458-AD) නමැති ග්‍රන්ථය මඟිනි. මෙසේ ඉල්ලක්‌කම් යෙදීමේ දී ඉලක්‌කමක ස්‌ථානයට අනුව ඊට වටිනාකමක්‌ නියම වීමේ අදහස ප්‍රථමයෙන් ඉදිරිපත් කරන ලද්දේ ඉන්දියානු ගණිතඥ ආර්යභට්‌ට (Aryabhata 498 AD) විසිනි. ඔහු පැවසුවේ එක ස්‌ථානයකින් ඊළග ස්‌ථානයට යන විට ඉලක්‌කම දස ගුණයකින් වැඩි වන බව ය. අද භාවිත වන දශම මත පදනම් වූ ඉලක්‌කම්වල ස්‌ථාන අනුව එහි වටිනාකම අංකනය කිරීම ආරම්භ වූයේ ඒ ලෙසිනි. 10 නමැති සංඛ්‍යාවේ 1 නමැති ඉල්ලකම දස ගුණයකින් වැඩි වී ඇති බව පෙන්වීම සඳහා එහි ස්‌ථානය වෙනස්‌ කිරීමට බිංදුවක්‌ එහි ඉදිරියෙන් තබා ඇත. 100 නමැති සංඛ්‍යාවේ 1 නමැති ඉලක්‌කම සිය ගුණයකින් වැඩි වී ඇති බව පෙන්වීම සඳහා එහි ස්‌ථානය වෙනස්‌ කිරීමට බිංදු දෙකක්‌ ඉදිරි ස්‌ථාන දෙකක තබා ඇත. මේ ක්‍රමය සම්පූර්ණයෙන් ඉන්දියාවේ නිර්මාණය වූ ක්‍රමයකි. අද මුළු ලොව ම භාවිත කරන්නේ ඒ ක්‍රමයයි.

ඉන්දියානු විද්‍යාඥයන්ට මෙවැනි ගණිත ක්‍රමයක්‌ නිර්මාණය කරන්නට අවශ්‍ය වූයේ ඇයි? ඕනෑ ම වස්‌තු ප්‍රමාණයක ඇති සංඛ්‍යාව ගණනය කිරීමට, අන් අයට ඉගැන්වීමට, ලියා තැබීමට, ගණිත ක්‍රමයක්‌ අවශ්‍ය වීම සැම ශිෂ්ටාචාරයක ම සිදු වූ දෙයකි. ඉන්දියාවේ තාරකා විද්‍යාව දියුණු වූයේ ගණිතය දියුණු වීමත් සමග ය. මේ සඳහා ජ්‍යාමිතිය ද වීජ ගණිතය ද ඔවුනට අවශ්‍ය විය. වීජ ගණිතයේ ප්‍රථම මූලික න්‍යාමය බිහි වූයේ බිංදුව පිළිබඳ නීති රීති නිර්මාණය වීමත් සමග ය. බ්‍රහ්මගුප්ත නමැති ගණිතඥයා බ්‍රහ්මස්‌පුත්ත සිද්ධාන්ත (628 AD) නමැති ග්‍රන්ථය ලියා මේ නීති මාලාව එළිදැක්‌වී ය.

බිංදුව සහ සෘණ සංඛ්‍යාවක්‌ එකතු කළ විට සෘණ සංඛ්‍යාවක්‌ ලැබේ.

බිංදුව සහ ධන සංඛ්‍යාවක්‌ එකතු කළ විට ධන සංඛ්‍යාවක්‌ ලැබේ.

බිංදුව සහ බිංදුව එකතු කළ විට බිංදුව ලැබේ.

ධන සහ සෘණ සංඛ්‍යා එකතු කළ විට ලැබෙන්නේ එහි අන්තරය ය.

බිංදුව බිංදුවෙන් බෙදූ විට ලැබෙන්නේ බිංදුව ය.

ධන හෝ සෘණ සංඛ්‍යාවක්‌ බිංදුවෙන් බෙදූ විට ලැබෙන්නේ භාග ගණනකි.

බිංදුව ධන හෝ සෘණ සංඛ්‍යාවකින් බෙදූ විට ලැබෙන්නේ බිංදුව ය.

මේ නීති සමහරක්‌ වර්තමාන වීජ ගණිතය සමග එකග වන්නේ නැති බව පෙනේ. කෙසේ නමුත් ගණිතය සම්බන්ධව අනෙකුත් රටවලට වඩා ඉදිරියෙන් ඉන්දියාව සිටි බව පෙනෙන්නට ඇත. පැරැණි ඊජිප්තුව, මෙසොපොතේමියාව සහ චීනයට වඩා ඉදිරියෙන් පැරැණි ඉන්දියාව ගණිතය අතින් දියුණු වී සිටියේ ය.

ගී්‍රසියේ ගණිතඥයන්ට බිංදුව ගැන අවබෝධයක්‌ තිබුණේ නැත. ඔවුන් ඇසුවේ බිංදුවේ වටිනාකමක්‌ නැතිනම් ඊට වටිනාකමක්‌ දෙන්නේ කෙසේ ද යන්න ය. ඔවුන් ඉලක්‌කම් වෙනුවට භාවිත කළේ අක්‌ෂර ය. ඉලක්‌කම් එකතු වී සෑදෙන සංඛ්‍යාවක්‌ ලිවීමේ දී බිංදුව පාවිච්චි වූයේ නැත. ස්‌ථානයක්‌ දැරීම සඳහා බිංදුව පාවිච්චි කළේ නැත. සංඛ්‍යාවක ඉලක්‌කම් දරන ස්‌ථානය අනුව ඒවායේ වටිනාකම වෙනස්‌ වන ක්‍රමයේ බිංදුව විශේෂ කාර්යයක්‌ ඉටු කරයි. එය වටිනාකමක්‌ නැති ව ස්‌ථානයක්‌ දරයි. මේ සඳහා ඉන්දියාව හැරුණු විට බොහෝ පැරැණි රටවල යෙදුණේ හිස්‌ තැනක්‌ විය.

දහය මත පදනම් වූ ඉන්දියානු ඉල්ලකම් ක්‍රමය යුරෝපයට ළගා වූයේ ක්‍රි. ව. 11 දී ය. මෙය සිදු වූයේ ස්‌පාඤ්ඤ මුස්‌ලිම්වරුන් විසින් සිදු කරන ලද ග්‍රන්ථ පරිවර්තනය මාර්ගයෙනි. මේ ග්‍රන්ථ පරිවර්තනය ලතින් - අරාබි පරිවර්තනය ලෙස නම් කර ඇත. ගණිතය ඇතුළු අනෙකුත් විද්‍යාවන්, කලාවන්, තාක්‌ෂණයන්, රසායනික, භෞතික, වෛද්‍ය විද්‍යාවන් බොහොමයක්‌ නැෙගනහිරින් බටහිරට සංක්‍රමණය වූයේ මේ මහා ග්‍රන්ථ පරිවර්තනය නිසා ය. මේ ගැන මීට පෙර මා ලිපියක්‌ ලියූ විට බහුභූතවාදීන් කිව්වේ එය අරාබි නිසොල්ලාශය වැනි හිතලුවක්‌ බවයි. ඒ ලෙස මේ අය මේ කිසිවක්‌ ගැන නො දන්නා බව පෙන්වා දී ඇත. යුරෝපයේ භාවිත වන ඉල්ලකම් අරාබි ඉල්ලකම් (Arabic numerals) ලෙස හැඳින්වන්නේ මේ නිසා ය. මේ ගණිත ක්‍රමය යුරෝපයට ගෙන එන ලද්දේ ෆිබොනාසි (Fibonacci) නමැති ගණිතඥයා විසින් වර්ෂ 1202 දී ය. ඔහු පැවසුවේ සැම ක්‍රමයක්‌ ම හැදෑරූ පසු ඔහුට ප්‍රත්‍යක්‌ෂ වූයේ ඉන්දියානු ක්‍රමය නිවැරැදි බව ය. තව ද ඉන්දියානු ඉල්ලකම් බිංදුව සමග භාවිත කොට ඕනෑ ම සංඛ්‍යාවක්‌ ලිවිය හැකි බව ය.

දහය හැරුනු විට වෙනත් සංඛ්‍යාවක්‌ මත පදනම් වූ ඉල්ලකම් පද්ධති පැරැණි ශිෂ්ටාචාරවල තිබුණු බව ද අප සඳහන් කොට ඇත. මෙසොපොතේමියාවේ ඉලක්‌කම් පද්ධතිය ෂාෂ්ඨික (sexagesimal) ක්‍රමය විය. එය දහය වෙනුවට 60 මත පදනම් විය. පැරැණි ඇමෙරිකාවේ එය 20 මත පදනම් විය.

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගොඩනැගූ මිනිසුන් සරල ගණිතය සහ ජ්‍යාමිතිය දැන සිටිය බවට සාධක ඇත. ඊට පසු වෛදික යුගයේ ලියෑවුණු ආගමික ග්‍රන්ථවල විශාල සංඛ්‍යාවන් සඳහන් වී ඇති බව පෙනේ. ඔවුන්ට සියයේ සිට ටි්‍රලියනය දක්‌වා ගණන් සෑදීමට පුළුවන් බවට සාක්‌ෂි සොයාගෙන ඇත. 1/3, 1/4 වැනි භාග ගණන් පිළිබඳව අවබෝධයක්‌ ඔවුන්ට තිබුණු බව ද කිව හැකි ය. පයිතගරස්‌ගේ ප්‍රමේය පැරැණි බැබිලෝනියානුවන් දැනගෙන සිටි බව පෙර ලිපියේ සඳහන් කළෙමි. වෛදික යුගයේ ඉන්දියානු ගණිතඥයන් ද මේ ප්‍රමේය දැනගත් බව සුල්බා සුත්‍ර (700 - 400 BCE)වල සඳහන් වේ.

වෛදික යුගයට පසු කාලයේ විසු ගණිතඥයන් ගෙන් ප්‍රධාන වන්නේ පිංගාල ය. (Pingala 300 - 200 BCE)ග ඔහු පිස්‌කල් ත්‍රිකෝණය (Piscal triangle) සහ ද්විපද සංගුණකය (Binomial coeficiency) පිළිබඳව අවබෝධයක්‌ ලබා සිටියේය. වෛදික යුගයේ ගණිතය සහ සම්භාව්‍ය යුගයේ ගණිතය අතර ඇති පුරුක වන්නේ ජෛන යුගයේ ගණිතය ය. ජෛන ගණිතය විසින් සිදු කරන ලද වැදගත් ම කාර්යය වන්නේ ඊට පෙර ඉන්දියානු ගණිතය ආගමික හා පූජා කිරීම සමග තිබූ බැඳීම් ඉවත් කිරීම විය. බිංදුව හැඳිනගැනීමට ශුන්‍ය යන වචනය පළමු වරට භාවිත කරන ලද්දේ ජෛන ගණිතඥයන් විසිනි. ජෛන ගණිතඥයෝ වැදගත් ග්‍රන්ථ නිර්මාණය කළෝ ය. ඉන් ප්‍රධාන වන්නේ සූර්ය ප්‍රඥප්ත වෛශාලි ගණිත (ක්‍රි. පූ. 3 වැනි ශත වර්ෂයේ) සහ ස්‌තානන්ග සූත්‍රය යන ග්‍රන්ථ ය.

ඉන්දියානු ගණිතය මුල දී ආගම සහ පූජා විධි සමග බැඳී තිබිණි. උදාහරණයක්‌ ලෙස ප්‍රධාන වශයෙන් ගණිතය භාවිත කළේ පූජනීය ස්‌ථානවල අල්තාරය සෑදීම පිණිස විය. ඒ කාලයේ දී ගණිතය වර්ධනය වූයේ ආගමික අවශ්‍යතාවන්ට අනුව මිස ස්‌වභාවධර්මයේ රහස්‌ සහ ප්‍රශ්න විස¹ගැනීම පිණිස විද්‍යාව සමග එක්‌ව ක්‍රියා කිරීමට නො වේ. මේ විලංගුවෙන් ගණිතය මුදාගන්නා ලද්දේ ජෛන ගණිතඥයන් විසිනි. ජෛනාගම මැවුම්කාර දෙවි කෙනකු විශ්වාස නො කළේ ය. එහි නායකයා හැටියට සැලකෙන මහාවීර ශාස්‌තෘන් වහන්සේට වඩා පැරැණි ඉතිහාසයක්‌ එම ධර්මයට ඇත. මහාවීරතුමාණන් බුදුන් ගේ සමකාලීන දාර්ශනිකයකු සහ මිත්‍රයකු ද විය. ජෛන ගණිතඥයන් ගණිතය ආගමෙන් නිදහස්‌ කර ගැනීම වැදගත් වන්නේ විද්‍යාව සංස්‌කෘතියෙන් වෙන් වී තිබිය යුතු ය යන මූලික අවශ්‍යතාව ඒ මගින් ඉටු වන නිසා ය.

ගණිතය විද්‍යාවේ අඩිතාලම වන බව ඉහත සඳහන් වේ. උදාහරණයක්‌ ලෙස විද්aවත් නිව්ටන්, අයින්ස්‌ටයින් ලෝකය වෙනස්‌ කළ මතවාද ගොඩනැගුවේ ගණිතයේ පිහිටෙනි. විද්වත් අයින්ස්‌ටයින් ගේ සාපේක්‌ෂතාවාදය ප්‍රථමයෙන් ඉදිරිපත් වූයේ ගණිතමය මොඩලයක්‌ වශයෙනි. එය ඔප්පු කිරීමට අවශ්‍ය සාක්‌ෂි පර්යේෂණ මගින් සොයා ගැනුණේ කාලයකට පසුව ය. (ඊටත් පසු ලොව හෙල්ලූ අයින්ස්‌ටයින් ගේ සාපේක්‌ෂතාවාදය බොරුවක්‌ බව බහ=භූතවාදියකු ඔප්පු කළේ මහනුවර දී ක්‍රි. ව. 2013 දී ය). එලෙස ම ඉන්දියානු විද්‍යාඥයන් ඇතුළුව පැරැණි ශිෂ්ටාචාරවල විද්‍යාඥයෝ ද තාරකා විද්‍යාව, භෞතික විද්‍යාව, ගොඩනැගීමට ගණිතය භාවිත කළෝ ය.

ඉන්දියානු ගණිතය ඉන්දියානු විද්‍යාවේ උදව්වට පැමිණිය හැකි වූයේ ඉහත සඳහන් ලෙස ආගමික බන්ධනවලින් එය නිදහස්‌ වූ පසුව ය. මේ ගැන ඉදිරි ලිපිවල දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග D.Sc.