logo3.gif (702 bytes)

HOME


තණ්‌හා ආශා වහල් කතා

ඩී එස්‌ සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා පසුගිය ජූලි 22 වැනි දා ලිපියෙහි මෙසපොතේමියාව ගැන විශේෂයෙන් සඳහන් කරයි. එහෙත් එයට කලින් චීනයේ යිං යෑන් දර්ශනය ගැන සුපුරුදු පරිදි තමන්ට නො තේරෙන දේ කියයි. අමරතුංග මහතා ගේ ලිපියට ප්‍රතිචාර දැක්‌වීමට පෙර කැනඩාවේ වාසය කරන බෝධි ධනපාල මහතා ගේ එදින ම ලිපිය මාතෘකා කරගෙන යමක්‌ කිව යුතු ය.

බෝධි ධනපාල මහතා ටික කලකට පෙර මා සමග විදුසර සගරාවෙහි ද විද්යුත් ලිපි මගින් සංවාදයක නිsරත විය. ටික කලෙකට පසු විදුසරට ලිපි ලිවීමට ඒ මහතාට වෙලාවක්‌ නැතැයි කියමින් විදුසර හැර ගියේ ය. ඉන් කලකට පසු විද්යුත් ලිපි මගින් කෙරෙන සංවාදය එතරම් ප්‍රතිඵල ගෙන නො එන බැවින් මා සමග ප්‍රසිද්ධ සංවාදයකට එළඹෙන ලෙස ආරාධනා කර ඒ මහතාට කැනඩාවේ සිට ලංකාවට පැමිණීමට ගුවන් බලපත්‍රයක්‌ ලබා දෙන බවට පොරොන්දු වූයෙමි.

ඒ මහතාට ගුවන් බලපත්‍රයක්‌ අවශ්‍ය නො වන බවත් අදාළ මුදල ධර්ම විජය පදනමට ලබා දෙන ලෙසත් ඒ මහතා මගෙන් ඉල්ලා සිටියේ ය. මම එයට එකග වීමි. එහෙත් සති කිහිපයකින් ඒ මහතා කියා සිටියේ මා සමග ප්‍රසිද්ධ විවාදයකට සහභාගි වීම වෙනුවට මැතිවරණයෙන් පසුව පෞද්ගලික සංවාදයක නිරත විය හැකි බව ය. මේ සංවාදවලින් යමක්‌ ඉගෙනගන්නේ නම් ඒ එයට සහභාගි වන අය නො ව කියවන හා අසන අය ය. එබැවින් ධනපාල මහතා සමග පෞද්ගලික සංවාදයක නිsරත වීම කාලය කා දැමීමක්‌ පමණක්‌ වන හෙයින් මම එය ප්‍රතික්‍ෂෙප කළෙමි. පසුව ඔහු විද්යුත් ලිපි කිහිපයක කරුණක්‌ දෙකක්‌ සටහන් කළත් මා ඔහුට පැවසුවේ ඔහු බුද්ධිමය වංචනිකයකු බවත් අවශ්‍ය නම් ඒ සියල්ල ලංකාවේ පැවැත්aවෙන ප්‍රසිද්ධ විවාදයක දී සාකච්ඡා කළ හැකි බවත් ය.

දැන් ඔහු නැවතත් විද්‍යාව සම්බන්ධ ලිපියක්‌ විදුසරට ලියා ඇත. එහි මගේ නම සඳහන් වුවත් නැතත් මම ඔහුට ප්‍රතිචාර නො දක්‌වමි. ඔහු යමක්‌ කියවා ඇති බව පෙනෙයි. එහෙත් ඔහුට ද අමරතුංග මහතාට මෙන් ම තමා කියවා ඇති දේ දිරවාගත නො හැකි ය. මා අත්දැකීමෙන් හා නිරීක්‌ෂණයෙන් සිංහලයන් පිළිබඳ දන්නා කරුණු රාශියක්‌ වෙයි. සිංහලයන්ට වියුක්‌ත ව සිතිය නො හැකි ය. ඔවුන්ට සැලසුම් කිරීමට එතරම් දක්‌ෂතාවක්‌ නැත. නිරවුල් ව සිතීමට හැකියාවක්‌ ඇත්තේ ඔවුන් කිහිප දෙනකුට පමණකි. ඔවුන් පිළිතුරු දෙන්නේ අසන ප්‍රශ්නයට නො වේ. යන්නේ කොහෙද මල්ලේ පොල් වැනි පිරුළු බිහි වී ඇත්තේ ද ඒ නිසා ය. සැලසුම් කිරීමෙහි දී ඔවුන් දක්‌වන අදක්‌ෂතාව ගග හත්a ගව්වක්‌ තියෙද්දී අමුඩ ගහන්න එපා වැනි පිරුළුවලින් පිළිබිඹු වෙයි. සමහර විට සිංහලයන්ට ඔවුන් ගේ ම වූ සැලසුම් කිරීමේ ක්‍රම තිබෙන්නට ඇත. එහෙත් අද ඒ දක්‌නට නො ලැබෙයි.

දඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙන, කබරගොයා තලගොයා කිරීම ආදියෙහි සිංහලයන් ගේ අසංගත බව මෙන්ම දෙලොවක ජීවත් වීම ද මැනවින් කියෑවෙයි. සිංහලයෝ වර්තමානයෙහි ජීවත් වෙති. ඔවුහු වියුක්‌ත සාධාරණීකරණයට ලක්‌ වූ කතන්දරවලට අකැමැති වෙති. චුල්ලහත්ථිපදොaපම සූත්‍රයෙන් කියෑවෙන්නේ ඊනියා ප්‍රවාද හෙවත් කතන්දර ගැන විශ්වාසයක්‌ නො තබන ලෙස ය. ඇතා දකිනා තුර ඇතකු ඇති බවට අනුමානය කිරීම සිංහලයන්ට අකැප ය. සිංහලයන් ගේ ලෝකය මනස ආධාරයෙන් දකින පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයට හා මනසට පමණක්‌ ගෝචර වන ලෝකයට සීමා වෙයි.

අපේ ප්‍රවාද මගින් අප බලාපොරොත්තු වූයේ තාවකාලික ව නමුත් අපේ සංස්‌කෘතියෙහි හා චින්තනයෙහි ප්‍රවාද හෙවත් කතන්දර ගෙතීමට ශිෂ්‍යයන් යොමු කිරීමට ය. එහෙත් එය සාර්ථක නො වූවා පමණක්‌ නො ව බොහෝ දෙනකුට කරන්නේ කුමක්‌ ද යන්න වත් තේරුම්ගැනීමට නොහැකි විය. එයට ප්‍රධාන හේතුවක්‌ වනුයේ සිංහල බෞද්ධ යෑයි කියාගන්නා උගතුන් ගේ කුහකකම ය. මේ උගත්තු තමන් නිශ්චිතව ම තේරුම් නො ගන්නා බටහිsර විද්‍යාව එයට පටහැනි වූ බුදුදහම සමග සංසන්දනය කරති.

අමරතුංග මහතා ද අයත් වන්නේ මේ ගුරු කුලයට ය. බටහිර විද්‍යාවෙහි ආනුභවිකය පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයට සීමා වෙයි. එහෙත් බුදුදහමෙහි මනසින් පමණක්‌ කෙරෙන පසක්‌ කිරීම් ද වෙයි. බුදුන් වහන්සේ බටහිර විද්‍යාඥයන් මෙන් පර්යේෂණ නො කළ හ. උන්වහන්සේ ගේ පර්යේෂණය ආර්ය පර්යේෂණයට සීමා විය. එය චතුරාර්ය සත්‍යයෙහි දුක නැති කිරීම හා සම්බන්ධ විය. මේ දුක ත්‍රිලක්‌ෂණයෙහි කියෑවෙන දුක නො වන බව පැහැදිලි විය යුතු නමුත් බොහෝ දෙනාට ඒ ගැන කිසිදු වැටහීමක්‌ නැත.

චතුරාර්ය සත්‍යයෙහි දුක පංචෙන්ද්‍රියයන්ට ගෝචර වෙයි. අමරතුංග මහතා වැන්නවුන්ට එපමණකින් බුදුදහම ආනුභවික වෙයි. දුකට හේතුව තණ්‌හාව ද පංචෙන්ද්‍රිය ගෝචර යෑයි සිතමු. එහෙත් නිවන පංචෙන්ද්‍රිය ගෝචර ද? ත්‍රිලක්‌ෂණය පංචෙන්ද්‍රිය ගෝචර ද? අනිත්‍ය යනු වෙනස්‌ වීම යෑයි ගෙන අපට අප මුළා කරගත හැකි ය. අනාත්ම පංචෙන්ද්‍රිය ගෝචර ද? අවසානයේ ත්‍රිලක්‌ෂණයේ කියෑවෙන දුක පංචෙන්ද්‍රිය ගෝචර ද? බුදුදහමෙහි වැදගත් කොටස්‌ පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. එහෙත් සිංහල බෞද්ධ විද්‍යාඥයන් යෑයි කියාගන්නා අය බුදුදහම පංචෙන්ද්‍රිය ගෝචර ආනුභවික යෑයි ලෝකයට ඇසෙන්නට කෑගසා කියති. ඒ අන් කිසිවකට නො ව තම හීනමානය වසාගැනීමට ය. බටහිර විද්‍යාව තරමක්‌ ඉගෙනගත් මොවුහු එය සුවිශේෂ දැනුමක්‌ ලෙස සලකති. ඔවුන් බොහෝ දෙනාට බුදුදහම අත්හැරීමට ද නොහැකි ය. එබැවින් ඔහු බුදුදහම බටහිර විද්‍යාව සමග සංසන්දනය කර තම ආත්ම වින්දනය සඳහා පට්‌ටපල් බොරු කියති.

අපි අමරතුංග මහතා ගේ ජුලි 22 වැනි දා ලිපියෙන් ඡේද කිහිපයක්‌ උපුටා දක්‌වමු. ඒ මහතා මෙසේ කියයි. "අප ගේ මූලික අදහස වන්නේ අප ස්‌වභාවධර්මයට අවශ්‍ය සේවයක්‌ ඉටු කරන බව ය. ස්‌වභාවධර්මය අපට සේවය කරන්නේ නැත. අප ස්‌වභාවධර්මයට අවශ්‍ය DNA, RNA සහ ප්‍රොaටීන් නිෂ්පාදනය කරමින් සිටියි. කුමක්‌ නිසා දැයි නො දනිමු. විද්‍යාවේ ද පැරැණි විද්‍යා දර්ශනයේ ද මේ අදහසට එකඟ වන කරුණු ඇති බව අප පෙන්වා දී ඇත. උදාහරණයක්‌ ලෙස පැරැණි චීනයේ යින් සහ යෑන්ග් සංකල්පය ස්‌වභාවධර්මය වෙත පුමුඛස්‌ථානය ලබා දී ඇත. ස්‌වභාවධර්මය මිනිසාට සේවය කරන්නේ යෑයි සිතනවා නම් එවැනි සංකල්පයක්‌ චීනයේ වර්ධනය වන්නේ නැත."

මෙය කිසි ම තේරුමක්‌ ඇති කථාවක්‌ නො වේ. ස්‌වභාවධර්මයට සේවය කිරීම යනු කුමක්‌ ද? ස්‌වභාවධර්මය අපට සේවය නො කරයි යන්නෙහි තේරුම කුමක්‌ ද? කෙටියෙන් කිව හොත් සේවය කරයි යනුවෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ ද? බටහිර විද්‍යාවේ බටහිර මහාචාර්යවරු නම් නව සංකල්පයක්‌ ඉදිරිපත් කරන විට ඒ තේරුම් කර දෙති. එහෙත් මෙරට මහාචාර්යවරුන්ට එවැනි පුහුණුවක්‌ නැත. අනෙක්‌ අතට යින් යෑන් සංකල්පය යනු ස්‌වභාවධර්මය තේරුම් කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයකි. විරුද්ධ ගුණ (ස්‌ත්‍රී පුරුෂ මෙන්) එකිනෙකට උපකාර කරමින් එකිනෙක සමඟ සමතුලිතයෙහි පිහිටීමක්‌ යින් යෑන් සංකල්පයෙහි අඩංගු වෙයි. මෙහි ඇති තවත් ලක්‌ෂණයක්‌ නම් යින් තුළ යෑන් ද යෑන් තුළ යින් ද තිබීම ය.

ස්‌වභාවධර්මය මිනිසාට සේවය කරන්නේ නම් එවැනි සංකල්පයක්‌ චීනයෙහි වර්ධනය වන්නේ නැත යන්න හුදෙක්‌ කියමනක්‌ පමණකි. අමරතුංග මහතාට ඒ බව පෙන්වා දිය හැකි ද? ස්‌වභාවධර්මය තේරුම් කිරීමට නිර්මාණය කරගත් සංකල්පයක්‌ ස්‌වභාවධර්මයට ප්‍රමුඛස්‌ථානය ලබා දී ඇතැයි කීම ද කිසි ම තේරුමක්‌ ඇති කතාවක්‌ නො වේ. චීන සංස්‌කෘතිය බටහිර සංස්‌කෘතිය මෙන් නො ව ස්‌වභාවධර්මය සමග සහජීවන ප්‍රතිපත්තියක්‌ අනුගමනය කෙළේ ය. බටහිර සංස්‌කෘතිය ස්‌වභාවධර්මය සමඟ ගැටුමට යයි. බටහිර විද්‍යාව ද මේ ගැටුමේ ප්‍රතිඵලයකි.

මේ අමරතුංග මහතා ගේ ලිපියෙහි තවත් කොටසකි. "තෘෂ්ණාව නිසා මිනිසා තම නිර්මාණ හැකියාව සහ Æණය භාවිත කරමින් නොයෙකුත් නව නිර්මාණ සිදු කරන බව අප පෙන්වා දී ඇත. එහි ප්‍රතිඑලයක්‌ ලෙස මිනිස්‌ ඤාණය වර්ධනය වන්නේ ය. මිනිසා මරණයට පත් වන්නේ ය. එහෙත් එසේ වර්ධනය වූ ඤාණය විනාශ වන්නේ නැත. එය ජාන මාර්ගයෙන් පරම්පරාවෙන් පරම්පරාවට සංක්‍රමණය වන්නේ ය. මෙසේ වර්ධනය වන DNA,RNA ප්‍රොaටීන් නිෂ්පාදනය සඳහා මිනිස්‌ තෘෂ්ණාව අත්‍යවශ්‍ය වන්නේ මෙලෙස ය. ස්‌වභාවධර්මය වෙනුවෙන් මිනිසා කරන සේවය සඳහා ඔහු වහලකු ලෙස බැඳ තබන්නේ මේ තෘෂ්ණාව ය. ස්‌වභාවධර්මය විසින් මිනිසා ස්‌වභාවධර්මයේ සේවය සඳහා වහලකු බවට පත් කොට ඇත්තේ තෘෂ්ණාව මගිනි. මිනිසා තෘෂ්ණාවේ වහලකු වී ඇත්තේ ඒ ලෙසිනි."

මේ මොන තරම් විකෘති කිරීමක්‌ ද? දුකට හේතුව තණ්‌හාව වෙයි. අමරතුංග මහතාට බුදුදහම විකෘති කිරීමට සිදු වී ඇත්තේ බටහිර විද්‍යාව සමග බුදුදහම සැසඳීමට ය. මිනිසා ස්‌වභාවධර්මයේ සේවය සඳහා වහලකු බවට පත් කර ඇත්තේ තණ්‌හාව මගිනියි කියන අමරතුංග මහතා ඒ බව බුදුන් වහන්සේ පිට ද පටවයි. "බුදුරදුන් මේ බව වටහා ගත් සේක. මේ වහල් බවෙන් මුදවා ගන්නා ක්‍රමයක්‌ බුදුන් සොයාගත් සේක. තෘෂ්ණාව සහ දුක එක ම කාසියේ දෙපැත්ත ය. තෘෂ්ණාව සහ දුක එකිනෙක පෝෂණය කිරීමේ හැකියාව ඇති සේ නිර්මාණය වී ඇත. යම් දෙයක්‌ ලබාගන්නට ඇති තෘෂ්ණාව නිසා ඒ දෙය පසුපස යයි. එය නො ලැබුණු විට දුක ඇති වේ. එවිට ඒ දෙය පසුපස තවත් ලුහුබඳින්නට පෙලඹේ. මේ ලෙස ආශා කරන දේවල් නිෂ්පාදනය කිරීමේ කාර්යයේ මිනිසා නිරන්තර ව යොමු වී ඇත. ඒ මගින් DNA, RNA සහ ප්‍රොaටීන් වර්ධනය වන්නේ ය. ස්‌වභාවධර්මයට අවශ්‍ය එය වන්නේ ය. මිනිසා තෘෂ්ණාව නිසා දුකින් සිටීම පිළිබඳව ස්‌වභාවධර්මය කම්පා වන්නේ නැත. අවශ්‍ය සේවය සිදු වීම පමණි. එහි වුවමනාව. බුදුරදුන් තෘෂ්ණාව නමැති වහල් භාවයෙන් මිදෙන මාර්ගය පෙන්වා දුන් සේක." අමරතුංග මහතාට නිර්මාණශීලිත්වයක්‌ නැත. එහෙත් එපමණින් ඒ මහතා බුදුදහම විකෘති කළ යුතු නො වේ.

අමරතුංග මහතාට කෙතෙක්‌ කීව ද ඔහු වත්මන් බටහිර ගණිතය හා පැරණි ගණිතය අතර වෙනස අවබෝධ කර නො ගනියි. ඔහුට ඒ සඳහා හැකියාවක්‌ ද නැත. එයට හේතුව ඔහු වියුක්‌තය යනු කුමක්‌ දැයි නො දැනීම ය. අමරතුංග මහතා මෙසේ කියයි. "බැබිලෝනියානු විද්‍යාඥයන් නව සොයාගැනීම් අති විශාල සංඛ්‍යාවක්‌ සිදු කොට ඇත. ඔවුනට සූර්ය සහ චන්ද්‍රග්‍රහණය පිළිබඳ අනාවැකි පළ කිරීමේ හැකියාව තිබිණි. මේ සඳහා හොඳ ගණිතාවබෝධයක්‌ තිබිය යුතු ය. ඔවුහු පෘථිවිය සූර්යයා වටා ගමන් කරන බව විශ්වාස කළෝ ය. ලෝකයේ බොහෝ පැරැණි රටවල තාරකා විද්‍යාව පදනම් වී ඇත්තේ බැබිලෝනියානු තාරකා විද්‍යා දර්ශනය මත ය."

අමරතුංග මහතා නො දන්නා කරුණක්‌ නම් බැබිලෝනියානු තාරකා විද්‍යාව යන්න ඔවුන් ගේ ගණිතය සමග බැඳී තිබුණු සංයුක්‌ත දැනුමක්‌ වූ බවත් එකල ගණිත සංයුක්‌ත ගණිත වූ බවත් ය. වෛදික ගණිතය සූත්‍රවලට සීමා විය. එහි සාධාරණීකරණයක්‌ නො වී ය. වෛදිකයෝ පෛතගරස්‌ ප්‍රමේයය දැන සිටියේ සාධාරණ ප්‍රමේයයක්‌ ලෙස නො ව ඒ ඒ සෘජුකෝණී ත්‍රිකෝණවලට අදාළ සූත්‍රයක්‌ ලෙස ය. ඔවුන්ට පෛතගරස්‌ ප්‍රමේයයේ සාධාරණ සාධනයක්‌ නො වී ය. ඕනෑ ම සෘජුකෝණී ත්‍රිකෝණයකට අදාළ පෛතගරස්‌ ප්‍රමේයයක්‌ ගැන වෛදිකයෝ දැන නො සිටිය හ. බැබිලෝනියාවට නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණය නො තිබුණු බවත් ඔවුන්ට පෘථිවියේ චලනය නිර්ප්‍රවාද දැනුමක්‌ වූ පමණක්‌ බවත් අමරතුංග මහතාට මේ භවයේ දී නම් දැනගැනීමට නොහැකි වනු ඇත.

අමරතුංග මහතා කියන දේ පහත සඳහන් ඡේදයෙහි සාරාංශ කර ඇත. "මා පවසා ඇත්තේ මේ ශිෂ්ටාචාරවල තිබූ විද්‍යාව විශේෂයෙන් එහි ක්‍රමවේදය එකක්‌ ම වූ බව ය. ඉන්ද්‍රිය පද්ධතියෙන් සහ මොළයෙන් සිදු කළ හැකි නිරීක්‌ෂණය පරීක්‌ෂණය සහ නිගමනය එම ක්‍රමවේදය විය. මීට වෙනස්‌ වූ ක්‍රමවේදයක්‌ ඇති විද්‍යාවක්‌ ඇති බව කිසිවකු පෙන්වා දී නැත. මේ ක්‍රමවේදය වර්ධනය කිරීමේ හැකියාව පමණි ස්‌වභාවධර්මය මිනිසාට ලබා දී ඇත්තේ. ඇස, කන, නාසය, දිව සහ ස්‌පර්ශය මේ ඉන්ද්‍රිය වන්නේ ය. මොළය මේවායින් ලබා ගන්නා දැනුම විශ්ලේෂණය කොට ඒවා ඔප්පු කරගන්නට අවශ්‍ය පර්යේෂණ නිර්මාණය කොට ඒවා ක්‍රියාවට යොදවා ලැබෙන නිරීක්‌ෂණ භාවිත කොට නිගමනයකට පැමිණේ. විද්‍යාත්මක ක්‍රමවේදය කොතැනත් කවදත් මෙය විය. වෙන ක්‍රමවේදයක්‌ තිබිය නොහැකි ය. එවැනි වෙනස්‌ වූ ක්‍රමවේදයක්‌ තිබෙන බවට සාක්‌ෂි කිසිවකු ඉදිරිපත් කොට නැත."

මෙය ඊනියා බටහිර විද්‍යාව නො වේ. ඇතැම් පැරැන්නන් දැනුම ලබාගෙන ඇත්තේ එලෙස ය. එහෙත් එය බුදුන් වහන්සේ ගේ ආර්යපර්යේෂණය නො වී ය. ඒ අනුව අමරතුංග මහතා කියන පරිදි බුදුදහම විද්‍යාව සමග සැසඳිය නොහැකි ය. අනෙක්‌ අතට වත්මන් බටහිර විද්‍යාවේ මේ සියල්ලට වඩා වියුක්‌ත ප්‍රවාද ඇත. එහි ඇත්තේ වෙනස්‌ ම කතාවකි. අද බටහිර භෞතික විද්‍යාව ඊනියා පර්යේෂණ ඉක්‌මවා යන තැනකට පත් වී ඇත. පසුගිය දා කැනඩාවේ පැවැති සම්මන්ත්‍රණයක දී මේ කරුණ වඩාත් අවධානයට ලක්‌ විණි. අද බටහිර භෞතික විද්‍යාවට පංචෙන්ද්‍රිය අවශ්‍ය නො වේ. සිත දියුණු කර නැති මේ විද්‍යාඥයෝ අද සෛද්ධාන්තික (ප්‍රවාදාත්මක) ලෝකයක අතරමං වී සිටිති.

නලින් ද සිල්වා